ට්‍රම්ප්ගේ මිලිටරි ප්‍රහාරයට එරෙහිව සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කරනු

Defend immigrant workers against Trump’s military crackdown

2018 ඔක්තෝබර් 27

දැනටමත් නිරිත දිග එක්සත් ජනපද දේශසීමා ප්‍රාන්තයන්ට පිටත් කොට ඇති ජාතික අරක්ෂක භටයින් 2100 ක අමතර බලඇනියකට අතිරේකව එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවට නිත්‍ය හමුදා සහ ගුවන් හමුදා භටයින් 1000 කට අධික ප්‍රමානයක් පිටත් කොට හැරීමට වූ පෙන්ටගනයේ සැලසුම්, පරිපාලන නිලධාරීන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්. 25) සනාථකලේය.

මෙම හමුදා පිටත් කොට හැරීම සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි යුද ක්‍රියාවකි. හොන්ඩුරාන ජාතිකයින් දහස් ගනනින් සහ සැල්වදෝර් සහ ගෝතමාලා වල පිරිස් වලින් සමන්විත සරනාගත තවලමට සිය පවුල් පිටින් සහභාගී වෙමින් සිටින ඔවුන්ගෙන් බොහෝ දෙනා, මධ්‍යම ඇමෙරිකානු රටවල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් නිර්මානය කල දරිද්‍රතාවයේ සහ ප්‍රචන්ඩත්වයේ කුරිරු කොන්දේසි වලින් පලා යාමට පටන් ගෙන ඇත.

ක්‍රියාකාරී මෙහෙයුම් භටයින් සංක්‍රමනිකයන් දඩයම් කිරීමට නොව, ‘සැපයුම් සහාය’ සඳහා යොදා ගනු ඇති බව එක්සත් ජනපද නිලධාරීන් අවධාරනය කලද කිසිවකු මෙම ප්‍රකාශ එය පවසන අයුරින්ම විශ්වාස කල යුතු නැත. මෙම හමුදා යෙදවීම මගින් එක්සත් ජනපද මිලිටරිය විසින් එක්සත් ජනපද භූමිය තුල නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වලක්වන පොසෙ කොමිටේටස් (ඡදිැ ක්‍දපසඒඑමි) පනතෙහි සංගෘහිත කර ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අති මූලික වශයෙන් උල්ලංඝනය කරනබව වසන් කිරීම සදහා ඒවා සැලසුම් කර ඇත.

හමුදා කන්ඩායම් පිටත් කොට යැවීම පිටුපස ඇති සැබෑ චින්තනය ෆොක්ස් නිව්ස් වෙත ප්‍රකාශයක් සිදු කල අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් (ෘ්‍යී* ක්‍රිස්ටීන් නීල්සන් සාරාංශ ගත කලේය. “මේ අවස්ථාවේ දී මිනිසුන්ට වෙඩි තැබීමට අපගේ කිසිදු අදහසක් නැති නමුත් කෙසේ වුවද ඔවුන්ව සිරභාරයේ රඳවනු ඇත. නමුත් මගේ නිලධාරීන් සහ නියෝජිතයන්ද, ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාවද, අත්‍යසාමාන්‍යව බරපතල ලෙස සලකමි. සත්තකින්ම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ඔවුනට හැකියාව ඇත.”

නීල්සන්ගේ ප්‍රකාශය සරනාගත භාවය සහ දේශ සීමා රැකවරනය පතා එක්සත් ජනපද දේශසීමාවට පැමිනෙන මිනිසුන්, කාන්තාවන් සහ ලමුන් ඇතුලු සංක්‍රමනික කම්කරුවන්ට එරෙහිව සන්නද්ධ බලය මුදාහැරීමේ මැර තර්ජනයකට සමාන වේ. ඊස්රායලය හා ඔවුන් අල්ලාගෙන ඇති පලස්තීන දේශයෙහි ගාසාහි දිග හැරී ඇති ඝාතන දර්ශන රියෝ ග්‍රෑන්ඞ් (එක්සත් ජනපද - මෙක්සිකානු දේශ සීමා මායිම් ගඟ) ගංගාව දිගේ ප්‍රතිනිර්මානය කල හැකි පිලිවෙත් ක්‍රියාවේ යොදවමින් සිටී.

එක්සත් ජනපද ආන්ඩුවේ නොපනත්බව, එක්සත් ජනපදයේ සරනාගත භාවය අයදුම් කිරීම සඳහා වූ මධ්‍යම ඇමරිකානුවන්ගේ අයිතිය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට ධවල මන්දිරය, අධිකරන දෙපාර්තමේන්තුව සහ ෘ්‍යී විසින් සූදානම් කරමින් සිටින ක්‍රියාමාර්ග මාලාවකින් තවදුරටත් හෙලිදරව් වේ.

ලබන සතිය ආරම්භයේදීම වුව ට්‍රම්ප් විසින් විධායක නියෝග දෙකක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවට පරිපාලන ආරංචි මාර්ග පෙන්වා දී ඇත. ඉන් එකකින් එක්සත් ජනපද පාලනාධිකාරය විසින් මීට පෙර පැනවූ මුස්ලිම් විරෝධී තහනමකට සමානවම මධ්‍යම ඇමරිකානුවන් සදහාද ප්‍රවේශ වීම සම්බන්ධයෙන් තහනමක් පනවනු ඇත.දෙවැන්න මගින් වහාම මධ්‍යම ඇමරිකාවේ සිට එක්සත් ජනපද දේශසීමාවට ලගා වන ඕනෑම අයෙකුට සරනාගත භාවය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ඇත. මෙම ප්‍රතිපත්ති සරනාතයන්ට සැලකීම සම්බන්ධ ජාත්‍යන්තර නීති ප්‍රතික්ෂේප කිරීමක් වන අතර එජ ය තක්කඩි රාජ්‍යයක් ලෙස හංවඩු ගසයි.

මධ්‍ය වාර මැතිවරනය සදහා රිපබ්ලිකන් උද්ඝෝෂනයේ කේන්ද්‍රය ලෙස මධ්‍යම ඇමරිකාවෙන් පලා යන කම්කරුවන් යක්ෂාවේශ ගැන්වීම මගින් මෙම ප්‍රතිපත්ති සඳහා ට්‍රම්ප් සූදානම් ව සිටී.

ඔහුගේ ඡන්ද පදනම අවුස්සා නැගිටුවා ගැනීම සඳහා විදේශිකයින් නොරිස්සීම, ජාතිකවාදය හා සංක්‍රමනික විරෝධී ස්වෝත්තමවාදය වගා කරමින් “සංක්‍රමනිකයන් ඇමරිකානු රැකියාවල් සොරකම් කරන්නේය” යිද, අපරාධ සඳහා වගකිව යුතු වන්නේ යයිද, සුභසාධකලාභී ලයිස්තු පුරවන්නේ යයිද යනුවෙන් ද වූ ප්‍රතිගාමී වාචාල කතා මඟින් කම්කරු කොටස් අවමංගත කිරීම සඳහා ඔහුගේ උපරිම උත්සාහය දරමින් සිටී.

මේ සියලු ප්‍රකාශයන් බොරු ය. ධනවාදය විසින් නිර්මානය කල සහ ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන මහ ව්‍යාපාරික පක්ෂ දෙකේම පිලිවෙත් හරහා ක්‍රියාත්මක කරන ලද ජීවන කොන්දේසි වලට එරෙහි ප්‍රහාර සහ දැවැන්ත සමාජ අසමානතාවය වෙනුවෙන් ජනගහනයේ වඩාත්ම පීඩිත පාර්ශ්වයන් දඩ මීමා කිරීමටත් කම්කරු පන්තිය බෙදා වෙන් කිරීම පිනිසත් ඒවා සැලසුම් කොට ඇත.

සිය මව් රටවල පවත්නා ඝොරතර කොන්දේසි කෙරෙන් උපද්‍රවයන් පිරි පලායාමක් සිදු කිරීමට පෙල ගැසී ඇති මිනිසුන්, කාන්තාවන් සහ ලමුන් එක්සත් ජනපදයේ සෑම කම්කරුවකුම වෙර දරමින් අපේක්ෂා කරන දේ මෙන්ම ඔවුන්ට ලැබිය යුතුදේ, එනම් ජීවත් විය හැකි මට්ටමේ ආදායමක් සහිත රැකියාවක්, ශිලාචාර නිවාස පහසුකම්, සෞඛ්‍යාවරනය සහ අධ්‍යාපනය, ඔහුගේ හෝ ඇයගේ දරුවන් සඳහා වඩා හොඳ අනාගතයක් යන ඒවාට වඩා වැඩි යමක් නොඉල්ලන කම්කරුවන්ය.

ආරක්ෂාව සොයා අති දුෂ්කර ව්‍යායාමයක දිය පට්ටා නැගුනු අඩි තබමින්, සිය බිලිදු තොටිලි තල්ලු කරමින් ඉදිරියට ඇදෙන මෙම කම්කරු පන්තික ජනයාට එරෙහිව ජනතාව තුල බියජනක හැඟීම් ඉස්මතු කිරීම ජරපත් සමාජ පර්යායක සලකුනකි. සංක්‍රමනිකයන් යක්ෂවෙස් ගැන්වීම අර්බුද- ග්‍රස්ථ ධනේශ්වර පද්ධතියේ දූෂිත ප්‍රකාශනවලින් එකකි..

ලෝක යුද්ධය පැන නංවමින් පුපුරා ගිය ගෝලීය ධනේශ්වර අර්බුදයක් මධ්‍යයේ, හිට්ලර්ගෙන් මිදී පලා යන යුදෙව් සරනාගතයන් ආපසු හැරවීම පිලිබඳව, 1940 දී ලියමින් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ පෙන්වා දුන්නේ ය:

දිරාපත්වන ධනවාදයේ ලෝකය ජනයාගෙන් පිරී ඉතිරී ඇත. කිහිප සිය ගනනක අමතර සරනාගතයන් භාර ගැනීම පිලිබද ප්‍රශ්නය එක්සත් ජනපදය බඳු ලෝක බලවතකු සඳහා ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වේ. අහස්තරනය, විදුලි පනිවුඩ සේවාව ,දුරකථන, ගුවන් විදුලිය සහ රූපවාහිනීය සහිත යුගයක රටකින් රටකට සංචාරය කිරීම විදේශ ගමන් බලපත්‍ර සහ වීසා මගින් පක්ෂඝාත කර ඇත. සුවිසල් භූමිතලයක් සහ, පොලව මෙන් ම අහස්කුස ද මිනිසා සඳහා ජය ග්‍රහනය කර දී ඇති තාක්ෂනයේ ආශ්චර්ය මධ්‍යයේ, ධනපති පන්තිය අප ග්‍රහලෝකය දූෂිත සිර ගෙයක් බවට පත් කිරීමට සමත්ව ඇත.

අද, නිශ්පාදනයේ පෙර නොවූ විරූ ගෝලීය සමෝධානය හා ක්ෂනික අන්තර්ජාල සන්නිවේදනය මගින් මෙම ග්‍රහලෝකය සම්බන්ධ වීමත් සමග ජාතික දේශ සීමාවන් සන්නද්ධකරනය කිරීමේ ප්‍රතිගාමී සහ අතාර්කික ගති ස්වභාවය වෙන කවරදාකටත් වඩා ප්‍රකටව පෙනේ.

ට්‍රම්ප් පරිපාලනයේ අපහාසයන් ප්‍රතික්ෂේප කරමින්, මෙක්සිකෝව හරහා ඉදිරියට ඇදෙන නිර්භීත මධ්‍යම ඇමරිකානුවන් “සංක්‍රමනිකයන් අපරාධකරුවන් නොවේ, අපි ජාත්‍යන්තර කම්කරුවන්ය” යන සටන් පාඨය පෙරට ගෙන ඇත. එය ඔවුන්ගේ සත්‍ය ස්වාභාවයයි.

ජාත්‍යන්තර නීතිය යටතේ සහ මානව වර්ගයාගේ සාමාජිකයන් ලෙස මිලිටරි ප්‍රචන්ඩත්වයේ තර්ජන හා සිය මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම කම්කරුවන් කවුරුන් විසින් ආරක්ෂා කරනු ඇත්ද?

නිසැකවම, “නෙරපා හැරීමේ ප්‍රධානී” ලෙස නම් ලැබූ ඔබාමා යටතේ වාර්තාමය මිලියන 2.5 ක සංක්‍රමනිකයන් පිටුවහල් කල ඩිමොක්‍රටික් පක්ෂය නම් නොවේ. ඉනික්බිතිව එය ට්‍රම්ප්ගේ සංක්‍රමනික විරෝධී ව්‍යාපාරයට මුලුමනින් ම අනුගත වී ඇත.

ධවල මන්දිර සහ සෙනෙට් මන්ඩල ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් වන නැන්සි පෙලෝසි සහ චාල්ස් ෂූමර් විසින් නිකුත් කල ප්‍රකාශනයක් මගින්, සංක්‍රමනිකයන්ට සහ, සරනාගතයන්ට සලකන ආකාරය සම්බන්ධ ගැටලුව කිසිදු වැදගැම්මකට ඇති දෙයක් නොමැති පරිද්දෙන් “සෞඛ්‍යාරක්ෂාවෙන් ආගමනය වෙතට විෂය වෙනස් කිරීමට” උත්සාහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිට චෝදනා කලේය. “මෙම ජනයා සමග කටයුතු කිරීමට” ට්‍රම්ප් මෙක්සිකෝව යොදාගත යුතු බවට බදාදා විස්කොන්සින් වල උද්ඝෝෂනයේ නියැලෙමින් සිටිනා අතරතුර වර්ජිනියාවේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික හා 2016 උප ජනාධිපති අපේක්ෂකයා වූ ටිම් කේන් ප්‍රකාශ කලේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් එක්සත් ජනපද දේශසීමාවට පැමිනීමට මත්තෙන් සිරභාරයට ගැනීමට හෝ ඔවුනට වෙඩි තැබීමට මෙක්සිකානු ආණ්ඩුව යොදාගත යුතු බවයි.

වෘත්තීය සමිති නොවේ. ඒඑෆ්එල්-සීඅයිඕ, එක්සත් මෝටර් රථ කම්කරුවන් (යූඒඩබ්) ට්‍රක්රථ රියදුරන් සහ අනෙකුත් නිලධාරිවාදී වෘත්තීය සමිති සංවිධාන සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධව වචනයකුදු ප්‍රකාශ කොට නැත. එක්සත් ජනපදයේ කම්කරුවන් විසින් මූලිකත්වය ගන්නා ලද සෑම අරගලයක්ම පාවා දීමට හා මර්දනය කිරීමට ඔවුන් වැඩ කරන ගමන්ම ඔවුන් සියලු දෙනා ධවල මන්දිරයේ “පලමුව ඇමරිකා” ජාතිකවාදය සමග පෙල ගැසී ඇත.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ඇමෙරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් යනාදී විවිධ ව්‍යාජ වාම සංවිධානද එබදුමය. මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් හා ඔවුන් මුහුන දෙන තර්ජන ගැන ඔවුන් ඉතා අල්ප වශයෙන් හෝ කිසිවක්ම ප්‍රකාශ කොට නැත. ඔවුන් සියලු දෙනාම ජාතිකවාදී වෘත්තීය සමිති හා ඩිමොක්‍රටික් පක්ෂයට අනුගත වී සහය දක්වති.

සිය ජීවිතාරක්ෂාව සදහා පලා යන සංක්‍රමනික කම්කරුවන් සහ සරනාගතයන් ගේ ආරක්ෂාව පැමිනෙනු ඇත්තේ, ශතවර්ෂ ගනනාවක් තිස්සේ සිදුවුනු ආගමනයෙ ප්‍රතිඵලයක්වශයෙන් ඔවුන්මද බිහිවූ, ඇමරිකානු කම්කරු පන්තියෙන් සහ ජාත්‍යන්තර පංති සහයෝගිතාවයෙ පුනර්ජීවනයෙන් හා ”එකෙකුට හානිය සියල්ලන්ටම වන හානියක් වේ ”යන මූලධර්මයෙන් පමනි.

මේවා හුදු වචන පමනක් නොවේ. දේශසීමාවේදී ආගමනිකයන්ට විරුද්ධව මිලිටරිය යෙදවීම, (ප්‍රශ්න කර රඳවා ගැනීම සඳහා තුවක්කු එල්ල කර මුලු වැඩමුරය ම වැඩ බිම් වලින් එලියට දක්කනා ආගමන හා රේගු බලාධිකාරය (ෂක්‍ෑ) මෙහෙයවන මිලිටරිමය කර්මාන්තශාලා වැටලීම් මෙන්ම), කම්කරු පන්තියේ අරගල මැඩ පැවැත්වීම හා ඒවායේ නායකත්වයන් සිරගත කිරීම සඳහා හමුදා නීතියට හා පොලිස් රාජ්‍යයකට පූර්වාදර්ශ නිර්මානය කෙරේ.

එක්සත් ජනපද පාලක ප්‍රභූව විසින් ප්‍රවර්ධනය කරන ජාතිකවාදී වාචල්‍යය හා සංක්‍රමනික විරෝධී ස්වෝත්තමවාදයට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේම ජාත්‍යන්තරවාදී හා සමාජවාදී මූලෝපායක් වර්ධනය කල යුතුය. අනෙකුත් සෑම රටකම කම්කරුවන් සමග ජාතික දේශ සීමා හරහා සිය අරගලයන් ඒකාබද්ධ කිරීමෙන් තොරව ගෝලීය වශයෙන් සංචලිත ධනේශ්වර සංගතයන්ට එරෙහිව සාර්ථක අරගලයක් දියත් කිරීමට එක්සත් ජනපදයේ හෝ වෙනත් ඕනෑම රටක කම්කරුවන්ට කල නොහැක්කකි යන අවබෝධය මත මෙය පදනම් විය යුතුය.

මෙම උපායෙහි කැපුම් මුහුනත වනුයේ ට්‍රම්ප් සහ අනෙකුත් ධනේශ්වර දේශපාලනඥයන් විසින් වගා දිගා කරන සංක්‍රමන විරෝධී විෂ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කිරීම සහ විවෘත දේශ සීමාවන්සදහා වූ සටනක් - එනම් මර්දනය හෝ පිටුවහල් කිරීම පිළිබඳ භීතියකින් තොරවවැඩ කිරීමේ අයිතිය හා සංචාරය කිරීමද ඇතුලුව සම්පූර්න පුරවැසි අයිතිවාසිකම් සහිතව සිය කැමැත්ත පරිදි කැමති රටක ජීවත් වීමට ලෝකයේ සෑම කොටසකම කම්කරුවන්ගේ අයිතිය සදහා වූ සටනයි.

මධ්‍යම ඇමරිකාවෙන් උතුරට පලා යන අයට එරෙහි මිලිටරි ප්‍රචන්ඩත්වයේ සහ වහා පිටුවහල් කිරීමේ තර්ජනයට, යුද්ධය, සමාජ අසමානතාවය සහ ධනේශ්වර පද්ධතියට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බල මුලු ගැන්වීමට වූ අරගලයේ කොටසක් ලෙස සංක්‍රමනිකයන්ගේ අයිතීන් සුරුකීමට කම්කරුවන් සහ තරුනයින් පුලුල්තම පරිමානයෙන් බල මුලු ගැන්වීම මගින් පිලිතුරු දිය යුතුය.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: