2007 සිට සිය දිවි හානි කර ගැනීමෙන්, අධික මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් මිලියනයක් මරුමුවට පත්වේ
ඇමරිකාව තුල සමාජ ප්‍රතිවිප්ලවයේ වින්දිතයන්

One million dead from suicide, drug overdoses since 2007
Casualties of the social counterrevolution in America

2018 දෙසැම්බර් 01

රෝග පාලන මධ්‍යස්ථානය (සීඩීසී) විසින් පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද මරන අනුපාත පිලිබද මේ වසරේ වාර්තාව ඇමරිකානු කම්කරු පන්තිය පෙර නොවූ විරූ සමාජ, ආර්ථික, සෞඛ්‍ය සහ මනෝවිද්‍යාත්මක අර්බුදයකට මුහුන පාමින් සිටින බව අනාවරනය කරයි.

සීඩීසී හි සොයාගැනීම් මගින් 2016 සිට 2017 දක්වා යන්තම් වසරක් තුල සමාජ කාලකන්නිභාවය පිලිබද දර්ශකයේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරයි.

ආයු අපේක්ෂාව 78.7 සිට 78.6 දක්වා පහල වැටී අතර එය එසේ එක දිගට පහත වැටුනු තෙවන වසරයි.

මිනිසුන් 100,000 කට මරන 728.8 සිට මිනිසුන් 100,00 කට 731.9 දක්වා වයස සම්පූර්න නොවූ මරන අනුපාතය සියයට 0.4 කින් ඉහල ගොස් ඇත. (මෙයට වයස අවුරුදු 25-34 ත් අතර තරුන ජනතාවගේ ප්‍රතිශතය සියයට 2.9 දක්වා ඉහල යාමද ඇතුලත්ය)

අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් සිදු වන මරන සියයට 9.6 ක් දක්වා ඉහල ගොස් ඇත. (ෆෙන්ටනිල් වලින් සිදුවන මරන සියයට 45 දක්වා ඉහල යාමද ඇතුලුව) වයස අවුරුදු 55 අඩු අයගේ මරන සදහා මූලික හේතුව අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වේ.

මිනිසුන් 100,000 කට 13.5 සිට 14.0 දක්වා වන අයුරින් 2017 තුල සියදිවි හානි කර ගැනීම් අනුපාතය සියයට 3.7 දක්වා ඉහල ගොස් ඇත.

වාර්තාවේ ඓතිහාසික සංඛ්‍යා ලේඛන 2007-2008 දක්වා සහ ඉන්පසු මූල්‍ය අර්බුදය විසින් කම්කරු පන්තිය මත ඇතිකල විනාශකාරී බලපෑම ගනනය කරයි.

2007 සිට 2017 දක්වා සියදිවි හානි කර ගැනීම් 34,598 සිට 47,173 දක්වා ඉහල ගිය අතර එය සියයට 36.3 ක වැඩිවීමකි.

අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන මරන ප්‍රමානය 2007 දී 36,010 ක් වූ අතර 2017 දී එය 70,237 ක් විය. මෙය සියයට 95.0 ක නැතහොත් දෙගුනයක් දක්වා වැඩිවීමකි.

සිය දිවි හානි කර ගැනීමෙන් සහ අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිදුවන මරන 2007 හි පමනක් 954,365 ක් වන අතර එය ඇමරිකාවේ 10 වන විශාලතම නගරයේ ජනගහනයට සමානය. මෙය සිවිල් යුද්ධයේදී හැර අනෙකුත් සියලු ඇමරිකානු යුද්ධ වලදී ඝාතනය වූ සොල්දාදුවන්ගේ සංඛ්‍යාවට වඩා අධිකය. 2018 සම්පූර්න වීමට ආසන්න වීමත් සමගම දැන් සමස්ත මරන ප්‍රමානය මිලියන එකේ සීමාව පසු කොට ගොස් තිබිය හැක.

මෙම වාර්තාවට දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිචාරය කුමක්විය හැකිදැයි සාකල්‍යයෙන්ම පෙරදැකිය හැක: ප්‍රධාන පුවත් පත්වල ලිපියක් හෝ දෙකක්, සන්ධ්‍යා පුවත්වල ක්ෂනික කොටසක්, සහ ඇතැම්විට අතලොස්සක් තරම් දේශපාලනඥයන්ගේ ට්විටර් පනිවිඩ කිසිවක් සිදු නොවනු ඇති බවට සියල්ලන්ම දනී. ආබාධිත හමුදා සෙබලුුන්ට සහ තුවාල ලත් කම්කරුවන්ට උපකරන සපයන සමාගම් වල කොටස් මිල අඛන්ඩව ඉහල යනු ඇත. හෙට වන විට පාලක පන්තියේ රුසියානු විරෝධී සහ චීන විරෝධී ව්‍යාපාරයන්, මී ටූ ව්‍යාපාරයේ කුලප්පුව, සහ අන්තර්ජාල වාරනය සඳහා වූ ඉල්ලීම් යට සීඩීසී වාර්තාවන් වල දමමින් එය සදහටම අමතක කොට දමනු ඇත.

සමාජ කාලකන්නිභාවයෙන් වසරකට මිනිසුන් 100,000 මරුමුවට පත්වීමේ හේතුව දැවැන්ත අභිරහසක් නොවේ. එය ධනේශ්වර පද්ධතියේ මෙන්ම ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙපාර්ශ්වය විසින්ම වෘත්තීය සමිති වල සහයෝගීතාවයෙන් දශක හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදු කරන ලද කාර්මිකහරනයේ සහ සමාජ ප්‍රතිවිප්ලවයේ පිලිවෙත්වල දැනුවත් ප්‍රතිඵලයේ නිශ්පාදිතයකි.

මෙය වෛද්‍ය වෘත්තිකයන් අතර පුලුල්ව පිලිගත් කරුනකි. මහජන සෞඛ්‍ය පිලිබද ඇමරිකානු ජර්නලය විසින් “ඔපිඔයිඞ් අර්බුදය-එහි සමාජ සහ ආර්ථික නිර්නායකයන්ට පහසු පිලිතුරක් නොමැත” යන මැයින් පලවු 2018 සිදු කල අධ්‍යයනයක් මගින් ධනවතුන් සහ දුප්පතුන් අතර ආයු අපේක්ෂාවේ වෙනස වර්ධනය වීම සදහා කාර්මිකහරනය සහ සමාජ සුරක්ෂිතභාවයේ ජාලය කප්පාදු කිරීම මගින් පැනනගින ආදායම් අසමානතාවය සහ ආර්ථික භීතින් දශක ගනනාවක් තිස්සේ වර්ධනය වීම සම්බන්ධයෙන් චෝදනා කරයි.

විශේෂිතවම, 2018 මූල්‍ය කඩා වැටීමෙන් පසු ඔබාමා පරිපාලනය විසින් සිදු කරන ලද දැවැන්ත ධන හුවමාරුවේ විනාශකාරී බලපෑම් අධ්‍යයනය මගින් සටහන් කරයි. “කප්පාදු පිලිවෙත් සහ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සමග 2008 මූල්‍ය අර්බුදය විසින් මානසික සහ ශාරීරික යහ පැවැත්ම ඛාදනයට ලක්කොට ඇත” යනුවෙන් වාර්තාව ප්‍රකාශ කරයි.

බැංකු සහ සමාගම් වලට ටි්‍රලියන ගනනින් ඇප ලැබුනු අතර මිලියන ගනන් කම්කරුවන්ට සිය නිවාස සහ රැකියා මෙන්ම ආත්මගෞරවය සහ අරමුනක් සඳහා වූ සිය හැඟම අහිමි විය.

පසුගිය සඳාූදා ජෙනරල් මෝටර්ස් සමාගම සිය වාහන වැඩබිම් වසාදමන බව සහ එක්සත් ජනපදය තුල සහ කැනඩාව තුල 15,000 ක් කම්කරුවන් ඉවත් කරන බව නිවේදනය කරන විට එහි කොටස් සියයට 7 දක්වා ඉහල ගියේය. එක්සත් වාහන කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) නිලධාරී තන්ත්‍රය ඇතුලුව සමාගමේ බලපෑම් සහගත කොටස් හිමියන් සඳහා මෙම ප්‍රවෘත්තිය දනවනුයේ දිගු සහ වඩාත් සුවිශේෂිත නිවාඩුවක්, නව සහ වඩා මිල අධික මෝටර් රථ සහ නිවාසයන්, එමෙන්ම ඇති තරම් ස්වර්නාභරන සහ නිවාඩු සදහා ෂැම්පේන් ආදිය ලබාගත හැකි අවස්ථාවක් පිලිබඳ හැගීමයි.

නමුත් මෝටර් රථ කම්කරුවන්, ඔවුන්ගේ පවුල් සහ බලපෑමට ලක්වූ ප්‍රදේශයේ මිලියන ගනන් වැසියන් සඳහා ඉන් අදහස් වනුයේ අපේක්ෂා භංගත්වය, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම සහ මරනයයි.

ඩෙට්‍රොයිට් සහ එහි මිචිගන් පරිශ්‍රය, වයිට් මාර්ෂ්, මේරිලන්ඞ් සහ ලෝඞ්ස්ටවුන්, ඔහියෝ ඇතුලුව ජීඑම් වැඩබිම් වසා දැමීම මගින් බලපෑමට ලක්වූ නගර දැනටමත් රුකියා, වැටුප් සහ සමාජ සේවා කප්පාදු කිරීමේ දශක ගනනාවකට පසු ඔපිඔයිඞ් අර්බුදය මගින් දරුනු ලෙස බලපෑමට ලක්ව ඇති නගර අතර සිටී. ඔහියෝ හි යන්ග්ස්ටවුන් හි ධනවත්ම සහ දුප්පත්ම සියයට 25 අතර ආයු අපේක්ෂාවේ වෙනස දැනටමත් වසර 6.7 කි. මෙට්‍රෝ ඩෙට්‍රොයිට්හි ලෝඞ්ස්ටවුන්හි මෙම වෙනස වසර 8.2 කි.

ඩිමොක්‍රටිකයන්, රිපබ්ලිකානුවන් සහ යූඒඩබ්ලිව් නිලධාරීන් අතරින් සාපේක්ෂ වශයෙන් අතලොස්සක් විසින් ජීඑම් හි ක්‍රියාවට එරෙහිව දක්වන දෙබිඩි සහ මවාගත් කෝපය සම්පූර්නයෙන්ම වංචනිකය. එක් අතකින් කථන මේසයට පහර දෙමින් සිටින එකී සියලු දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති නිලධාරීන් සමාගම ඈවර කිරීම පිලිගනිමින් සිටී.

2018 දී, ජීඑම් හි විධායක නිලධාරීන් සහ එහි දේශපාලන ක්‍රියාකාරී කමිටුව, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානු දෙපාර්ශ්වයෙන්ම නියෝජිත මන්ත්‍රී මන්ඩලයට සහ සෙනෙට් මන්ඩලයට පත්වූ බහුතරයක උද්ඝෝෂනයට දායකත්වය දැක්වීය.

සාපේක්ෂ වශයෙන් සුව පහසු ජීවිත ගතකල ප්‍රජාවන් සිටි ඬේටෝන්, ටොලේඩෝ සහ කොකෝමෝ බඳු මෝටර් රථ කර්මාන්ත ආශ්‍රිත නගර ඔපිඔයිඞ් අර්බුදයේ අපි කේන්ද්‍රයන් බවට පරිවර්තනය කිරීම සඳහා දශක ගනනාවක් පුරා දුන් සහනයන් සම්බන්ධයෙන්, යූඒඩබ්ලිව් නම් වූ අල්ලස් ගන්නන්ගේ සහ සමාගම් නියෝජිතයන්ගේ සංවිධානය වගකිව යුතුය. ප්‍රතිචාර වශයෙන් වෘත්තීය සමිති නායකයන්ට හොඳින් වන්දි ගෙවා ඇත. සමාගමේ සූරාකෑම තීව්‍ර කිරීමට සහ ශ්‍රම පිරිවැය කප්පාදු කිරීමට උදව් කිරීම වෙනුවෙන් ජීඑම්, ෆියට්-ක්‍රයිස්ලර් සහ ෆෝර්ඞ් යන සමාගම් වලින් අල්ලස් ලබා ගැනීම සමිබන්ධයෙන් වත්මන් සහ හිටපු යූඒඩබ්ලිව් නිලධාරීන්ගේ දිගුවන ලැයිස්තුවක් මධ්‍යම විමර්ශනයට ලක්ව පවතී.

ධනපති ක්‍රමය යටතේ කම්කරු පන්තිය සම්පූර්නයෙන්ම තීරන ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැර කරයි. කර්මාන්ත ශාලා වසා දැමීම සහ කාර්මීකහරනයේ ගොදුරු බවට පත්වූවන්ට උදව් කිරීමට දේශපාලන සංස්ථාපිතය කිසිවක් නොකරන අතර ඔවුන් මිය යාමට අත්හරිමින් සිටී.

කම්කරු පන්තියේ අවශ්‍යතා සාක්ෂාත් කිරීම වෙනුවට පාලක පන්තිය කම්කරු පන්තිය විසින් නිර්මානය කල ධනය සිය පසුම්බිවලට දමාගන්නා අතර බැංකු සහ සංගතයන්ගේ ඉල්ලීම් මිලිටරි බලය මගින් ක්‍රියාවේ යෙදවීමට ඔවුන්ට හැකිවන පරිදි මිලිටරි සහ බුද්ධි ආයතන වලට ඩොලර් ටි්‍රලියන ගනනින් ලබා දේ.

සිය එකම “අපරාධය” ලෙස යහපත් ජීවන තත්ත්වයක් වෙනුවෙන් මධ්‍යම ඇමරිකාවේ දරිද්‍රතාවයේ ගිලුනු නිජබිම් වලින් පලා ආ කම්කරු පාන්තික ලමුන් 14,000 ක් සිරගත කිරීමේ වියදම් පියවීම පිනිස ට්‍රම්ප් පරිපාලනය සෞඛ්‍ය වැඩපිලිවෙලින් ඩොලර් මිලියන දෙකකට වැඩි ප්‍රමානයක් කපා දැමීය.

සැප්තැම්බර් මාසයේ, සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව එය සීඩීසී වලින් ඩොලර් මිලියන 16.7 ක්, සෞඛ්‍යාවරනයෙන් ඩොලර් මිලියන 9.8 ක්, සෞඛ්‍ය සදහා වූ ජාතික ආයතනයෙන් ඩොලර් මිලියන 87.3 ක් සහ සරනාගත රැකවරනයෙන් ඩොලර් මිලියන 80 ක් ආදී වශයෙන් සංක්‍රමනික දරුවන් සඳහා රැඳවුම් කඳවුරු සකස් කිරීමට යොදවමින් සිටින බව නිවේදනය කලේය. එමෙන්ම වැඩබිම් වසා දැමීම සහ වැටුප් සහ සමාජ වැඩ සටහන් කප්පාදු කිරීම වෙනුවෙන් ආන්ඩුවට හෝ සංගත වලට නොව සංක්‍රමනිකයන්ට බැන වැදිය යුතු බවට කම්කරුවන්ගේ විශ්වාසය ඇති කිරීමට ට්‍රම්ප්ට අවශ්‍යය.

කිසිදු ප්‍රගතිශීලී මාර්ගයක් ඉදිරිපත් නොකෙරෙන සීඩීසී වාර්තාවෙන්, කම්කරු පන්තිය තුල ගොඩනැගී ඇති දැවැන්ත සමාජ කෝපයේ සහ අපේක්ෂා විරහිතභාවයේ ප්‍රමානාත්මක ප්‍රකාශනයක් සම්පාදනය කෙරෙයි. වෘත්තීය සමිති විසින් දශක ගනනාවක් පුරා පන්ති අරගලය යටපත්කරගෙන සිටීම හේතුවෙන් කම්කරුවන්ට සිය කෝපය ඇතුලට හරවා ගැනීමට බල කෙරී ඇති අතර මෙම හුදෙකලාව තුල බොහෝ දෙනා ස්වයං විනාශකාරී පියවර ගනිමින් සිටිති.

නමුදු ඒක පාර්ශ්වීය පන්ති යුද්ධයේ මෙම දිගු කාල පරිච්ඡේදය අවසානයකට පැමිනෙමින් තිබේ. වැඩ වර්ජන ක්‍රියාමාර්ගයන්ගේ දැවැන්ත ඉහල යාමක් අත්දැක ඇති මෙම වසර එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර වශයෙන් බලගතු වැඩ වර්ජන සහ විරෝධතාවයන් වඩ වඩාත් ඉහල යාම මගින් සලකුනු කෙරෙන නව කාල පරිච්ඡේදයක ආරම්භය පමනි.

කම්කරුවන් කර්මාන්ත සහ ජාතික සීමාවන් හරහා සිය අරගල ඒකාබද්ධ කොට සම්බන්ධීකරනය කිරීමට තමන්ගේම සංවිධාන එනම් ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුතුය. මේ අයුරින් කම්කරුවන්ට සිය සාමූහික සමාජ අතෘප්තිය ඒකාග්‍ර කොට එය ධනවාදයට එරෙහිව සමාජවාදය වෙනුවෙන් වූ අරගලය තුල දේශපාලන දිශාවනතියකට හැරවිය හැකිය. සිය දැවැන්ත සමාජ බලය මුදා හැරීම මගින් කම්කරුවන් ධනේශ්වර පද්ධතියේ ආධිපත්‍යධාරී මර්මස්ථාන අත්පත්කර ගනිමින් මානව වර්ගයාගේ ක්ෂනික අවශ්‍යතාවයන් සාක්ෂාත් කිරීමට ඩොලර් ටි්‍රලියන ගනන් නිදහස් කරනු ඇත.

එරික් ලන්ඩන්

Share this article: