හුවාවි විධායක නිලධාරී මෙන්ග් වැන්ෂොව් පැහැර ගැනීම

The kidnapping of Huawei executive Meng Wanzhou

2018 දෙසැම්බර් 08

පසුගිය බදදා ඉරානයට එරෙහිව ඇමරිකානු සම්බාධක උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද නීති නිලධාරීන් විසින් ගෙන එනු ලැබූ චෝදනා මත චීන අති නවීන දුරකථන නිශ්පාදන යෝධයෙකු වන හුවාවි සමාගමේ උප සභාපති මෙන්ග් වැන්ෂොව් අත් අඩංගුවට ගෙන ඇපදීමෙන් තොරව රඳවා තබාගෙන ඇති බවට වූ පුවතින් ලෝකයම සසල වී ගියේය. වොෂින්ටනය එජ යට ඇයගේ උදර්පනය සඳහා කැඳවුම් කරමින් සිටී.

“මෙම පියවරට වෙලද යුද්ධය සමග කිසිදු සම්බන්ධයක් නැතැ” යි එජ නිලධාරීන් කරන ප්‍රකාශ, එකී ක්‍රියාව ආරක්ෂා කරනු ලබන මාධ්‍යයන් පවා ප්‍රතික්ෂේප කරන ලද, පැහැදිලිව පෙනෙන මුසාවන් වේ. දෙසැම්බර් 01 වනදා මෙන්ග් ව අත් අඩංගුවට ගැනීම සහ 60 වසරක දඩුවම් ලබා දිය හැකි අපැහැදිලි සහ අගති සහගත රඳවා ගැනීම මගින් පැහැර ගැනීමට වඩා වැඩි යමක් ප්‍රකාශ වේ.

සිය මිතුරාගේ ක්‍රියාවෙන් නිසැකවම තැතිගත් බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත “නීතිය බලාත්මක කිරීම ඉදිරියට ගැනීම වෙනුවට දේශපාලන සහ ආර්ථික අන්තයන් හඹා යාමට ඇමරිකානු බලය භාවිතා කිරීමක්” ලෙස විස්තර කරමින් මෙම ක්‍රියාව “කුපිත කරවන සුලු” බව ප්‍රකාශ කලේය.

වෙනත් වචන වලින් කිවහොත් එය එක්සත් ජනපදයේ නියෝගයන්ට අනුව කටයුතු කරනු, නොඑසේ නම් මෙන්ග් ගේ මෙන් ඔබේ ද අවසානය සිදුවනු ඇත, නැතහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැ යි යන පනිවුඩය තම “මිතුරන්ට” සහ “සතුරන්ට” එක හා සමානවම ලබා දීමට අදහස් කල මැරවාදී ක්‍රියාවකි. සිය භූ-දේශපාලනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිනිස එක්සත් ජනපදය දඩබ්බර ක්‍රියාවන් ද සහිතව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් මැර රාජ්‍යයක් ලෙස කටයුතු කරයි.

එය දෙවන ලෝක යුද්ධයට මග පෑදූ මහ බලයන් අතර ගැටුම සහ සාපරාධිත්වයේ කොන්දේසි යලි සිහිපත් කරන, නීතිය නොතකන තත්වයක් දෙසට යොමු වූ ජාත්‍යන්තර ධාවනයේ ප්‍රධාන කතානායකයා ය. එක්සත් ජනපදය සිය අධිපතිධාරී න්‍යායපත්‍රයට බාධාවක් ලෙස දැකගන්නා ඕනෑම රටක් මත ඒකපාර්ශ්වීය සහ නීත්‍යානුකූල නොවන සම්බාධක පනවන අතර අනතුරුව සිය ආඥාදායකත්වය ප්‍රතික්ෂේප කරන අයට දඩුවම් කිරීමට ප්‍රචන්ඩ ක්‍රමවේද යොදාගනී. නමුත් මෙන්ග් අත් අඩංගුවට ගනිමින් ලෝකය විශ්මයට පත් කල පුවතින් පසු නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ඊලඟ උදෑසන තවත් හෙන ගෙඩියක් අත හැරියේය. එනම් එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ “විරාමයක්” සූදානම් කිරීමට පසුගිය සෙනසුරාදා චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග රාත්‍රී ආහාරයකට ඩොනල්ඞ් ට්‍රම්ප් වාඩිවී සිටි හෙයින් එජ ජනාධිපති මෙම පෙර නොවූ විරූ අත් අඩංගුවට ගැනීම සිදුවීමට නියමිත බව නොදැනුවත්ව සිටි බවයි.

මෙය ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් සහ රිපබ්ලිකන් සෙනෙට් සභික රිචඞ් බර් මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ජෝන් ආර් බෝල්ටන් වැනි අය මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවට වූ කාරනය නොසලකා හැරීමක් විය. ෂි සමග වූ හමුවේදී ට්‍රම්ප් සමග සිටි බෝල්ටන් ජනාධිපතිට එය නොකීවේ මන්දැයි ඇසූවිට අමුතු අයුරින් ප්‍රකාශ කලේ “ අපි නිශ්චිතවම අධිකරන දෙපාර්තමේන්තුවෙන් ලැබෙන සෑම තොරතුරක්ම ජනාධිපතිට පවසනුයේ නැත” යනුවෙනි.

මෙන්ග්ව අත්ඩංගුවට ගැනීම එක්සත් ජනපදය සහ චීනය අතර වෙලද යුද්ධයේ සමාදානයකට ඇති කවර හෝ හැකියාවක් වලකා ඇත. ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත “එකී මිත්‍ර ගිවිසුම දැනටමත් අවුල් වීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවට” අනතුරු ඇඟවීය. මෙන්ග්ව අත් අඩංගුවට ගැනීමෙන් පසු, එකඟතාවයේ ප්‍රගතිය පිලිබඳව නියම කරගෙන ඇති අවසන් කාලය කාල බෝම්බයක් බවට පත්ව ඇතිවාක් මෙන් පෙනේ.

ඇමරිකානු ජනාධිපතිගේ අනු දැනුමෙන් තොරව, අර්ධ නිල ප්‍රබන්ධයන්ට අනුව, එබඳු ප්‍රකෝපකාරී ක්‍රියාවක් සිදුවිය හැකිය යන කරුනෙන් එක් දෙයක් ඉතා ගැඹුරින්ම පැහැදිලි කෙරෙයි. එනම් චීනය සමග එජ ගැටුම ට්‍රම්ප්ගේ පුද්ගලිකත්වයේ හෝ “ඇමරිකාව පලමුව” යන ඔහුගේ සුවිශේෂිත ජනතාවාදයේ නිර්මානයක් නොවන බවයි. සත්තකින්ම, ට්‍රම්ප් පරිපාලනයේ පමනක් නොව, බුද්ධි අංශ නිලධාරී තන්ත්‍රයේ මෙන්ම ප්‍රමුඛ නීති සම්පාදකයන්ගේ ද සැලකිය යුතු කොටසක් ට්‍රම්ප්ගේ චීන විරෝධී ආක්‍රමනශීලී පිලිවෙත අනුමත කොට ඇත.

අත් අඩංගුවට ගැනීමේ පුවතට ප්‍රතිචාර දක්වමින්, එජ තාක්ෂන සමාගම් විසින් සිදු කල අන්තර්ජාල වාරනයේ ප්‍රධාන යෝජකයෙකු වූ, සෙනෙට් සභික වෝර්නර් “ඇතැම් විට හුවාවි අපගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන බව පැහැදිලිය” යනුවෙන් පවසමින් එම ක්‍රියාව වග වර්නනා කලේය. “සම්බාධක නීති කැඩීම සම්බන්ධයෙන් හුවාවි සමාගම වගකිව යුතුය යන අදහස ට්‍රම්ප් පරිපාලනය විසින් දිගටම දරනු ඇති බව මගේ අපේක්ෂාවයි” ඔහු තවදුරටත් එකතු කලේය.

ඩිමොක්‍රටිකයන්ට සමීප අනෙක් පුද්ගලයින් චීනය මත ඇතිතරම් දැඩි පිලිවෙතක් අනුගමනය නොකීරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට දොස් පැවරීම දක්වා ඈතට යමින් එම ක්‍රියාව වර්නනා කිරීමට ඉක්මන් විය .“ඉතා දිගු කාලයක් තිස්සේ ඇමරිකානු නායකයින් චීනයේ ඉහල යන බලාධිකාරයට ප්‍රමානවත් තරමින් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් විය” යනුවෙන් නිව්යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචකයෙකු වන ඬේවිඞ් ලියෝන් හාර්ඞ්ට් ලිවීය. “චීනය කෙරෙහි වඩාත් කුටිල පිලිවෙතක් අනුගමනය කිරීම අර්ථාන්විතය.”

ටයිම්ස්, වොෂිංටන් පෝස්ට්, සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් යන ප්‍රධාන ඇමරිකානු පුවත්පත් තුනෙන් එකක්වත් ධවල මන්දිරයේ සාපරාධී ක්‍රියාව පිලිබද යන්තමින් හෝ විවේචනාත්මක එකදු ලිපියක්වත් පල කලේ නැත.

චීනය සමග නව “සීතල යුද්ධයක” උදාව ලෙස අටුවාකරුවන් විසින් හඳුන්වනු ලැබූ, ඔක්තෝබර් 04 වන දා උප ජනාධිපති මයික් පෙන්ස් විසින් පැවැත්වූ චීනය පිලිබඳ ප්‍රධාන පිලිවෙත් කථාවකදී ප්‍රකාශයට පත් කෙරුනු මූලධර්ම පිලිබඳ ද්වි-පාර්ශ්වීය පිලිගැනීම එයින් පිලිබිඹු කරයි. එම කථාව තුල “රොබෝ තාක්ෂනය, ජීව තාක්ෂනය, සහ කෘතීම බුද්ධිය ඇතුලු ලෝකයේ වඩාත් දියුනු කර්මාන්ත වල සියයට 90 ක ” පාලනය සියතට ලබා ගැනීමට දරන උත්සාහයක් ලෙස පෙන්ස් ප්‍රකාශ කල “මේඞ් ඉන් චයිනා 2025” සැලසුම බීජීනය විසින් අත්හැර දැමිය යුතු බවට පෙන්ස් ඉල්ලා සිටියේය.

පෙන්ස්ගේ කථාවෙන් දින කිහිපයට පසු චීනය සමග මිලිටරි ගැටුමක් සඳහා සූදානම් වීමට “සමස්ත සමාජයීය” ප්‍රවිෂ්ටයක් අවශ්‍ය බවට තර්ක කරමින් එජ ආරක්ෂක කර්මාන්ත පදනම් පිලිබඳ අධ්‍යයනයක් පෙන්ටගනය විසින් පල කලේය. ට්‍රම්ප්ගේ හිටපු දේශපාලන උපදේශකයෙකු හා නව ෆැසිස්ට්වාදියෙකු වන ස්ටීව් බැනන් “චීනයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සමස්ත ආන්ඩුවේම වූ ප්‍රවිෂ්ටයේ” කොටසක් ලෙස මෙන්ග්ව අත්අඩංගුවට ගැනීම වග වර්නනා කලේය. “ට්‍රම්ප් යටතේ චීනය සමග අභිමුඛ වීමට පලමු වතාවට එජ යේ සියලු රාජ්‍ය බලයන් අවසානයේ එකට එක්වන බව ඔබට දර්ශනය වෙමින් ඇත” යනුවෙන් ඔහු ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතට පැවසීය.

චීනය කෙරෙහි ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ වඩාත් ආක්‍රමනශීලී ආස්ථානයෙන් රුසියාව හෝ ඉරානය සමග ගැටුමෙන් පසු බැසීමක් කවර ලෙසකින් හෝ අදහස් නොවේ. සත්‍ය වශයෙන්ම පෙන්ස් චීනය සමග ඔහුගේ නව “සීතල යුද්ධය” නිවේදනය කොට මාස දෙකක් තුල වොෂිංටනය රුසියාව අයිතිවාසිකම් කියන මුහුදු සීමාවට යුද නැව් යාත්‍රා කරවීමට සිය මිතුරු යුක්රේනය පෙලඹවීම, වෙඩි හුවමාරු කර ගැනීමට පෙලඹවීම සහ අන්තර් මාධ්‍ය න්‍යෂ්ටික බල ගිවිසුමෙන් (අයිඑන්එෆ්) එය ඉවත් වනු ඇති බවට නිවේදනය කිරීම ඇතුලු සිය වඩාත් ආක්‍රමනකාරී රුසියානු විරෝධී පියවර ගෙන ඇත.

න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ බලයක් වන චීනයට එරෙහි යුද්ධයක් සඳහා ඔවුන්ගේ සූදානම තුල ඇමරිකානු පාලක පන්තිය සහ එහි මිලිටරි බුද්ධි කොටස්, ඉහල තාක්ෂනික තරගකරුවෙකු ලෙස බීජීනය අත්පත් කර ගනිමින් සිටින වර්ධනයට බාධා කිරීම දැක ගනුයේ, සංගත කතිපයාධිකාරයේ ආර්ථික අවශ්‍යතාවයන්ට පමනක් නොව එජ මිලිටරි අධිකාරිත්වය පවත්වා ගැනීමට තීරනාත්මක කරුනක් ලෙසයි.

එහි යෝජකයන්ට අනුව අද පවත්නා “අති නවීන උපාංගයන්ට” වඩා ඉතා දියුනු සහ ලාභදායී මෙන්ම, “දේවල් පිලිබඳ අන්තර්ජාලයේ” දැවැන්ත විස්තාරනයකට තුඩුදෙනු ඇති, 5ජී ලෙස ප්‍රසිද්ධ රැහැන් රහිත තාක්ෂනය තුල පරම්පරාමය වෙනසක අද්දර ලෝකය සිටී. 5 ජී හරහා සම්බන්ධ කෙරෙන “දේවල්” අතර නිවාස උපකරන හා කර්මාන්ත ශාලා රොබෝවරුන් පමනක් නොව නිවැරදිව සහ වේගයෙන් කිසියම් ඉලක්කයක් සඳහා සන්නිවේදන ජාලය භාවිතා කල හැකි යුද අවිද පවතිනු ඇත.

හුවාවි යනු ලෝකයේ මූලික වශයෙන්ම 5 ජී සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයන්නා වන අතර එක්සත් ජනපදය සිය ගෝලීය ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය වෙනුවෙන් එම අංශයෙන් චීනය මිරිකා ඉවත් කිරීමට සිය ආර්ථික මිලිටරි හා භූ දේශපාලනික බලයේ සියලු උපකරන භාවිතා කිරීමට උත්සාහ කරමින් සිටී.

දෙවන කරුන වනුයේ -එය අඩු වැදගත්කමක් දරනුයේ නැත- අභ්‍යන්තර සමාජ ආතතින් සහ දේශපාලන විරෝධයේ වර්ධනයයි. වර්ධනය වන කම්කරු පන්ති විරෝධතාවය මධ්‍යයේ රාජ්‍යය සඳහා “නීත්‍යානුකූලභාවය පිලිබඳ අර්බුදයක්” ලෙස අත්ලාන්තික් කවුන්සිලය ප්‍රකාශ කොට ඇති කොන්දේසි යටතේ පුපුරන සුලු පන්ති ආතතිය වෙනතක හැරවීමේ අදහසින් චීනය හෝ වේවා රුසියාව හෝ වේවා බාහිර සතුරකු නිර්මානය කිරීම පාලක පන්තිය විසින් සිදු කරයි. ටයිම්ස් තීරු ලිපි රචක ලියෝන් හාර්ඞ්ට් මෑතකදී ප්‍රකාශ කල පරිදි චීනයට ඇමරිකානු මහජනතාව සඳහා “පැහැදිලි සතුරකු ” නිර්මානය කිරීම සඳහා සේවය කල හැක.

අවසාන වශයෙන්, ඇමරිකානු තාක්ෂන අංශය ආරක්ෂා කිරීම සහ එහි ගෝලීය ඒකාධිකාරයන් විස්තාරනය කිරීම යන කරුනු, එජ බුද්ධි අංශය සමග එජ තාක්ෂන අංශය ඒකාග්‍ර කිරීම ගැඹුරු කිරීම තුල ප්‍රධාන භූමිකාවක් රඟපාන බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කල හැක. වෝර්නර් බඳු පුද්ගලයන්ගේ ඉල්ලීම පරිදි ඇමරිකානු තාක්ෂන යෝධයන් පසුගිය වසර දෙක පුරා විරෝධාභාෂි අදහස් වාරනය කිරීම සහ ඔවුන්ට එරෙහිව ඔත්තු බැලීම ක්‍රියාත්මක කොට ඇත. හුවාවි බඳු සිය සතුරන් ඇමරිකානු රාජ්‍යය විසින් ඉලක්ක කොට ගෙන ඇති අතරම ඔවුන්ට දැඩි මිලිටරි, පොලිස් සහ බුද්ධි කොන්ත්‍රාත් ලැබී ඇත.

වොෂිංටනයේ ක්‍රියාවන් වඩාත් විනාශකාරී ප්‍රතිඵල ඇති කරන බවට තර්ජනය කරයි. චීනයට එරෙහි සිය ප්‍රහාරය තුල එක්සත් ජනපදය පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකකට මග පෑදු කොන්දේසි සඳහා ඉන්ධන සපයමින් සිටී.

අන්ඩ්‍රේ ඬේමන්

Share this article: