ට්‍රම්ප්ගේ ඉරාක සංචාරය හා වොෂින්ටනයේ නොනවතින මැද පෙරදිග යුද්ධය

Trump’s visit to Iraq and Washington’s never-ending war in the Middle East

2018 දෙසැම්බර් 28

නත්තලට පසුදින ට්‍රම්ප් ඉරාකයට කල කෙටි හා නිවේදනය නො කල සංචාරය ප්‍රත්‍යක්ෂ දේශපාලන අභිප්‍රායයක් සමගින් රඟදැක්වුනි. මිනිත්තු 45ක් තිස්සේ එක් රැස්වුනු භටයන් සමග ඔහු පෙනී සිටීමේ ඉලක්කය වූයේ, ඔහු විසින් සිරියාවෙන් එක්සත් ජනපද භටයන් ඉවත් කරගන්නා බව නිවේදනය කල පසු එයට විරෝධය පෑමට ආරක්ෂක ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් ඉල්ලා අස්වීමෙන් ඉක්බිත්තේ, පෙන්ටගනයේ මෙන් ම සාමාන්‍ය සොල්දාදුවන් අතර සහයෝගය ගොනු කරගැනීම යි.

මෙම රඟ දැක්වීම, ඉරාකයට එරෙහි ව්‍යසනකාරී හා අපරාධකාරී යුද්ධය එක්සත් ජනපදය විසින් දියත් කිරීමෙන් වසරක් පමනක් ගිය තැන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් කල සංචාරයෙන් ආරම්භ වුනු එවැනි සංචාරවල දීර්ඝ ලැයිස්තුවේ නවතම එක යි.

ජනගහනයේ බහුතරයක් විසින් විරුද්ධ වන නොනවතින ආක්‍රමනකාරී යුද්ධ ආරක්ෂා කිරීමට, බොරු හා තකතීරුකම්වලින් ගහන කතාවන්ට සුදුසු අවස්ථාවන්හි දී ජයඝෝෂා පැවැත්වීම පිනිස මිලිටරි විනය විසින් බැඳ තබන මිදී යා නො හැකි නිල ඇඳුම් ලාගත් ශ්‍රාවකයන් ඉදිරියේ පෙනී සිටීමේ උපයෝගීතාව ට්‍රම්ප් මෙන් ම බුෂ් හා ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ බැරැක් ඔබාමා විසින් ද දැකගනු ලැබීය.

යුද භටයන් අඳින වර්ගයේ “බොම්බර්” කබායකින් නුසුදුසු ලෙස සැරසී සිටි ජනාධිපති බවට පත් වූ නිව්යෝක් දේපොල වෙලඳාම් සමපේක්ෂකයා තරමක් විකටරූපී ලෙස වුවත් මෙම සම්ප්‍රදායට ගැලපෙන ප්‍රදර්ශනයක් රඟදැක්වී ය. එක්සත් ජනපද ප්‍රහාරක යානා විසින් සපයන ලද දැවැන්ත ආරක්ෂාවක් සහිතව එයා ෆෝස් වන් ගුවන් යානයේ ජනේල ආවරන වසා විදුලි බුබුලු නිවා අඳුරේ ඉරාකයට පියාසර කිරීමට සිදුවීම ගැන ඔහු අමන්දානන්දයට පත් විය.

“මැද පෙරදිග තුල ඩොලර් ට්‍රිලියන 7ක් වියදම් කරද්දී මෙලෙස යෝධ ලෙස ආවරනය වී සංචාරය කිරීමට සිදුවීම බොහෝ සෙයින් දුකට කරුනක්” යයි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

මැද පෙරදිග තුල එක්සත් ජනපදයේ විසිපස් අවුරුදු යුද්ධය සැබෑවට ම “බොහෝ සෙයින් දුකට කරුනකි.” කලාපය මත ආධිපත්‍යය දැරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ උත්සාහයේ දී වැයකල යෝධ සම්පත්වලට අමතර ව, වොෂින්ටනයේ මැදිහත්වීම් හේතුවෙන් ජීවිත අහිමි වූ දශ ලක්ෂයකට වැඩි පිරිසක් ද නිවාස රහිත සරනාගතයන්ට බවට පත්වූ කෝටි ගනනක් ද වසයෙන් එහි ජීවත් වන්නවුන්ට සිදු වී ඇති විපාක තිබේ.

එක්සත් ජනපදයේ ඉරාක ආක්‍රමනය සහ වොෂින්ටනයත් එහි නැටෝ හා කලාපීය සගයනුත් ලිබියාව හා සිරියාව තුල ආරම්භ කරන ලද තන්ත්‍ර-මාරු යුද්ධ සමස්ත සමාජයන් අවුල් ජාලාවක් හා සුන්බුන් බවට ලඝුකොට ඇත.

සෑම විට ම මැඩලිය නො හැකි බොරුකාරයෙක් හා පුරසාරම් දොඩවන්නෙක් වන ට්‍රම්ප්, තමන් බලයට පත්වන විට භටයන්ට වසර 10ක් තිස්සේ වැටුප් වැඩිවීම් නො ලැබී තිබුන බවත් සියයට 10ට වැඩි වැඩිවීමක් ඔවුන්ට ලබාදීම සඳහා තම සහකරුවන් ද නො තකා කටයුතු කල බවත් පිලිබඳ කයිවාරුවක් ගැසී ය. මේ සියල්ල පෙන්ටගනයෙන් වැටුප් ලබන ශ්‍රාවකය තුල සිටි අයට පැහැදිලි වන අමු මිථ්‍යාවකි. ට්‍රම්ප්ගේ වැටුප් වැඩිකිරීම සියයට 2.4ක් වූ අතර පසුගිය දශකය පුරා වැඩිකර ඇති ප්‍රමානයන්ට එය සමාන විය. “මම ඔබට ලොකු දෙයක් දුන්නා. මම ඔබට ලොකු දෙයක් දුන්නා” යයි ට්‍රම්ප් තකතීරු ලෙස පුනරුච්ඡාරනය කලේ ය.

ට්‍රම්ප් විසින් යෝජිත දේශසීමා තාප්පයට අවශ්‍ය අරමුදල් ලබාදීමට අසමත් වීම ගැන ඩිමොක්‍රටික් පක්ෂයේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් හෙලාදැකීමට ද ඔහු තම කතාව යොදාගත්තේ ය. ඔහු භටයන්ට මෙසේ කීවේ ය: “ඔබ දන්නා පරිදි ඔබ ඒ ගැන සිතන විට, ඔබ අනෙක් රටවල දේශසීමා වෙනුවෙන් සටන් කරමින් සිටිනවා, ඒත් ඔවුන්ට (ඩිමොක්‍රටිකයන්ට) අපේ රටේ දේශසීමා වෙනුවෙන් සටන් කිරීම අවශ්‍ය නැහැ. එය අනුමත කල නොහැකි දෙයක්.”

ඉන්පසුව, රතුපැහැ “ඇමරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත්කරමු” තොප්පි හා අනෙකුත් උද්ඝෝෂන උවාරන ඔහු විසින් සොල්දාදුවන්ට අත්සන් කර දුන්නේ “පාක්ෂික දේශපාලන ක්‍රියාකාරකම්වල” නිරතවීමෙන් ක්‍රියාකාරී රාජකාරියේ යෙදෙන සේවකයන් වලකන මිලිටරි නීති ඍජු ව උල්ලංඝනය කරමිනි. මෙම උල්ලංඝනය කිරීම අත්වැරැද්දක් නො වන අතර, එය ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පරිපාලනය විසින් එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් තුල ව්‍යවස්ථාවට පිටස්තර පදනමක් ගොඩනගා ගැනීමට දරන දැනුවත් උත්සාහයේ කොටසකි.

ට්‍රම්ප්ගේ කතාවේ තෙරපුම් බලය වූයේ 2016 උද්ඝෝෂනයේ පටන් ඔහු ඉදිරියට දමා ඇති “පලමුව ඇමරිකාව” න්‍යාය පත්‍රය යි. එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයන් (විශේෂයෙන් ම සිරියාව තුල එක්සත් ජනපද හමුදා දිගේලි කිරීම) ඔහු සලකන්නේ අතිශයින් ම ගනුදෙනුකාර යෙදුම්වලිනි. “පෘථිවිය මත සිටින සෑම ජාතියක් වෙනුවෙන් ම ඇමරිකාව සටන් නො කල යුත්තේ බොහෝ අවස්ථාවල දී පිරිවැය ආපසු නො ලැබෙන නිසා” යයි ඔහු කීවේ ය. “ඔවුන්ට අප සටන් කිරීම අවශ්‍ය නම්, අපි මෝඩයන් නො වන පරිදි ඔවුන් ඒ වෙනුවෙන් මිලක් ගෙවිය යුතු යි -සමහර විට එය මූල්‍යමය මිලක්. මිත්‍රවරුනි, තවදුරටත් අපි මෝඩයන් නෙවෙයි.”

ඒ අතර ම, දැනටමත් ලෝකයේ ඊලඟ මහ බලවතුන් අටදෙනා සන්නද්ධ වීම සඳහා වැයකරන ඒකාබද්ධ පිරිවැය ඉක්මවා යන එක්සත් ජනපදයේ යෝධ මිලිටරි අයවැය ගැන ඔහු උදම් ඇනී ය. “ඔබලාට නවතම උපකරන ලැබෙන බැවින් ඔබලාගේ දෑස් විවර වනවා, හරි ද?” යනුවෙන් ඔහු ඉරාකයේ භටයන්ට කීවේ ය.

නොනවතින දිගේලි කිරීම්වලට ලක් ව සිටින සොල්දාදුවන් අතරින් මැද පෙරදිග තුල එක්සත් ජනපද යුද්ධ අවසන් කිරීම පිලිබඳ ට්‍රම්ප්ගේ ජාතිකවාදී හා ජනප්‍රිය ආයාචනාවන්ට සහයෝගයක් ගොනු කරගත හැකි අතර ම, ඔහුගේ කතාවේ වඩාත් ම අර්ථභාරී අංශය වූයේ ඉරාකයෙන් එක්සත් ජනපද භටයන් ඉවත් කර නො ගන්නා බවට සපථ කිරීම යි. ඔහු භටයන් ව ආමන්ත්‍රනය කල බැග්ඩෑඩය හා සිරියානු දේශසීමාව අතර පිහිටි බටහිර ඉරාකයේ අල්-අසාද් ගුවන් හමුදා කඳවුර “අවශ්‍ය නම් සිරියාව සම්බන්ධයෙන් යමක් කිරීමට” යොදාගත හැකි බව ඔහු තවදුරටත් කීවේ ය.

“මෙම තීරනය, සිරියාව තුලට ඇමරිකානු භටයන් යලි ඇතුලුවීම, හා යලි නැගී සිටින ඉස්ලාමී රාජ්‍ය (අයිඑස්) හමුදාවන් සමග වැඩකිරීම අවශ්‍ය නම් අසල්වැසි ප්‍රදේශයේ කඳවුරක් පවත්වා ගන්නා අතර ම මැද පෙරදිග මධ්‍ය කොටසේ හමුදා රැඳවීමට හා ඉරානයේ බලපෑමට එරෙහි ආරක්ෂක බැම්මක් නඩත්තු කරගෙන යාමට එක්සත් ජනපදයට ඉඩ ලබා දෙයි” යයි වොෂින්ටන් පෝස්ට් පත්‍රය වාර්තා කලේය.

මෙම සැලසුම් මගින් ඉරාකයේ ස්වෛරීත්වය පිලිබඳ ව විලක්ෂනය කරන අවඥාව ට්‍රම්ප්ගේ සමස්ත සංචාරය පුරා පැහැදිලි විය. යන්තම් පැය දෙකකට පෙර ට්‍රම්ප්ගේ සංචාරය පිලිබඳ ව දැනුම් දෙන ලදුව එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරට කැඳවුම් කරන ලද ඉරාක අගමැති අදෙල් අබ්දූල්-මහ්දිට ට්‍රම්ප් මුනගැසිය නො හැකි විය. ඉරාක පාර්ලිමේන්තුවේ ප්‍රධාන කන්ඩායම් දෙකක් සංචාරය හෙලාදකිමින් රටෙන් එක්සත් ජනපද භටයන් පිටුවහල් කිරීම සඳහා ඡන්දය විමසීමට හදිසි රැස්වීමක් කැඳවූ හ.

සිරියාවෙන් එක්සත් ජනපද භටයන් ඉවත් කරගැනීමට ට්‍රම්ප් ගත් තීරනය අරබයා වොෂින්ටනය තුල මුදාහැරී ඇති දේශපාලන කුනාටුව, ලෝක ආර්ථිකය තුල ඇමරිකානු ධනවාදයේ ස්ථානය පිරිහී යාම මිලිටරි බලය යොදාගෙන හිලවු කරගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යොදන ගෝලීය ප්‍රයත්නය අරබයා එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුලත් එහි ප්‍රධාන පක්ෂ දෙක අතරත් පවතින උපායික වෙනස්කම් මගින් ධාවනය කරනු ලබයි.

වඩාත් ම හදිසි ප්‍රමුඛතාව ලෙස චීනයේ වැඩෙන බලපෑම අපසරනය කිරීමට ආසියා පැසිෆික් කලාපය තුල ඇමරිකානු මිලිටරි බලය සංකේන්ද්‍රනය කිරීම දැකගන්නා එක්සත් ජනපද පාලක පන්තියේ සැලකිය යුතු ස්ථරයක දිශානතිය, ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” පිලිවෙත විසින් පිලිබිඹු කරයි. මෙම කන්ඩායම, භූගෝලය පුරා එක්සත් ජනපදයේ මූල්‍ය හා වානිජ අවශ්‍යතාවන් ලුහුබැඳීමට නග්න ලෙස කැපවුනු ජාතිකවාදී පිලිවෙතක් වෙනුවෙන් දීර්ඝ-කාලීන සන්ධානයන් සුලුකොට තකයි.

ගනන් නැති සිවිල් වැසියන් දහස් ගනනක් සුන්බුන් යට වලලා දමමින් ඉරාකයේ මොසුල් හා සිරියාවේ රක්කා නගර බිමට සමතලා කර ඇති අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහි අරගලයේ ධජය ද ඇතුලු ව මැද පෙරදිග සිදුකර ඇති සංහාරය ගැන ට්‍රම්ප්ගේ ඩිමොක්‍රටික් විරුද්ධවාදීන්ට තැකීමක් නැත.

ඒ වෙනුවට ඔවුන්, සිරියාවේ තන්ත්‍ර මාරුවක් සඳහා සහ දමස්කස් ආන්ඩුවේ ප්‍රධාන ආධාරකරුවන් වන ඉරානය හා රුසියාව සමග සෘජු ඝට්ටනයකට සූදානම් වීම සඳහා වඩා ආක්‍රමනශීලී පිලිවෙතක් අනුයන ලෙස ඉල්ලා සිටී. සිරියාව අරබයා ඔවුන්ගේ වෙනස්කම් බැඳී තිබෙන්නේ 2016 මැතිවරනය ජයග්‍රහනය කිරීම සඳහා ට්‍රම්ප් මොස්කෝව සමග ක්‍රියාකල බවට වන න්‍යෂ්ටික ව සන්නද්ධ රුසියාවට එරෙහි වඩා ආක්‍රමනශීලී පිලිවෙතක් එල්ල කරගත් චෝදනා සමග යි.

සිරියාවෙන් භටයන් ඉවත් කරගැනීමට ට්‍රම්ප් ගත් තීරනය “රුසියාවේ ව්ලැදිමීර් පුටින්ට හා ඉරානයේ අයතුල්ලා කොමෙයිනිට දුන් විශාල නත්තල් තෑග්ගකට” සමාන බව දෙසැම්බර් 23දා ප්‍රකාශ කල ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් විසින් මෙය පැහැදිලි ව පිලිබිඹු කලේ ය.

එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුල යුද්ධයට විරුද්ධ කන්ඩායමක් නැති අතර, සිරියාව තුල එක්සත් ජනපද භටයන් දිගේලි කිරීම නැවැත්වීමට ට්‍රම්ප් ගත් තීරනය සිවිල් වැසියන්ගේ ජීවිත කොතරම් පරදුවට තැබුනත් මැද පෙරදිග තෙල් මූලාශ්‍ර මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කිරීමේ ධාවනය අවසන් කිරීමක් සංඥා කරන්නේ නැත. එය හුදෙක් පෙන්ටගනය හා ජාතික ආරක්ෂක යන්ත්‍රනය විසින් “සංශෝධනවාදී බලයන්” හා “මහා බල” ප්‍රතිමල්ලවයන් ලෙස හඳුන්වන රටවල් වන රුසියාව හා චීනයට එරෙහි ව එලඹෙන වඩා ව්‍යසනකාරී යුද්ධ සඳහා උපායික සූදානම්වීම්වල කොටසක් පමනි.

එක්සත් ජනපදයේත් ජාත්‍යන්තර වත් මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් නොපැවතීම බැඳී තිබෙන්නේ සමාජවාදී යයි කියාගන්නා අතර ම “මානව හිමිකම්වල” නරුම බැනරය යටතේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් හා සංහාරයන් ද, සීඅයිඒ අරමුදල් යටතේ සිරියාව තුල ක්‍රියාත්මක ඉස්ලාමීය සටන්කාමීන්ගේ මෙහෙයුම් “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” සාක්ෂාත් කරන බවට ද යුක්ති සහගත කරන කන්ඩායම් හෙවත් ව්‍යාජ-වම්මුන් ඉටුකරන භූමිකාව සමග යි.

එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ)හා ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) වැනි මෙම කන්ඩායම්, සංස්ථාපිතයේ විදෙස් පිලිවෙත් කවයන් තුල සුලඟ හමන්නේ කවර දෙසටදැයි බලාපාරොත්තුවෙන් සිටින බව පෙන්නුම් කරමින් ට්‍රම්ප්ගේ සිරියානු භටයන් ඉවත් කරගැනීමේ නිවේදනය හා මැටිස්ගේ ඉල්ලා අස්වීම මගින් මුදාහරින ලද දේශපාලන අර්බුදය පිලිබඳ ව පූර්න නිහඬතාවක් පවත්වාගෙන ගොස් ඇත.

න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කෙරෙහි වැඩෙන තර්ජනය ඇතුලු යුද්ධයට එරෙහි අරගලය අතට ගත යුත්තේ කම්කරු පන්තිය විසිනි. සිරියාවෙන් පමනක් නො ව, ඉරාකය, ඇෆ්ගනිස්තානය, අප්‍රිකාව හා භූගෝලය පුරා විසිරී තිබෙන එක්සත් ජනපද මිලිටරි කඳවුරු සියල්ල ක්ෂනික ව හා කොන්දේසි විරහිත ව ඉවත් කරගත යුතු යන ඉල්ලීම ඉස්මතු කල යුතු ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනකාරී යුද්ධ මගින් මිලියන ගනන් දෙනා මරාදමා අංගවිකල බවට පත්කිරීමට වගකිව යුතු බුෂ්, ඔබාමා, ට්‍රම්ප් හා ඔවුන්ගේ ඉහල ජෙනරාල්වරු හා සිවිල් ආධාරකරුවන්ට යුද අපරාධ පිලිබඳ චෝදනා නැගිය යුතු ය.

මේ සඳහා කම්කරු පන්තිය මත පදනම් ව ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුල ලොව පුරා කම්කරුවන් ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගයක් සඳහා සටන්කරන නව මහජන යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: