ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ සියයට සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කරති

Sri Lankan plantation workers launch indefinite strike for 100 percent pay rise

අපේ වාර්තාකරුවන් විසිනි , 2018 දෙසැම්බර් 06

වතු කම්කරුවන් සියදහස් ගනනක් තමන්ගේ දෛනික වැටුප දෙගුන කරන ලෙස ඉල්ලමින් බදාදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලහ. නුවරඑලිය, බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර, කලුතර හා කොලඹ ඇතුලු ශ්‍රී ලංකාවේ සියලු වතු දිස්ත්‍රික්කවල කම්කරුවෝ එයට සහභාගි වෙති.

සියයට සියයක වැටුප් වැඩිකිරීමක් සඳහා තමන්ගේ දීර්ඝ-කාලීන ඉල්ලීම අවධාරනය කරමින් නොවැම්බර් 26දා කම්කරුවෝ වැඩ නැවැත්වූහ. දිවයිනේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කොටසට අයත් වන වතු කම්කරුවෝ දැනට වැඩ කරන්නේ රුපියල් 500ක සොච්චම් දෛනික දීමනාවකට ය.

ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ඇතුලු වතු වෘත්තීය සමිති අරගලය පීලිපැන්නවීමේ උත්සාහයක යෙදෙමින් අඟහරුවාදා සමාගම් කලමනාකාරීත්වයන් සමග තවත් නිෂ්ඵල සාකච්ඡා වටයක් පැවැත්වූවත්, මූලික වැටුප දෙගුනයකින් වැඩිකිරීම හාම්පුත්තු එකහෙලා ප්‍රතික්ෂේප කලහ.

අකමැත්තෙන් යුතු ව අඛන්ඩ වැඩ වර්ජනයක් කැඳවුම් කල ද සීඩබ්ලිව්සී නායකයන්ට කම්කරුවන් විරෝධතාවල නිරත වීම අවශ්‍ය නො වී ය. එහෙත් වතු කිහිපයක් තුල පිකට් කිරීම්, රැස්වීම් හා විරෝධතා පුපුරා ගොස් ඇත.

ඇබොට්ස්ලෙයි වත්තේ ෆැත්ටරියක කම්කරුවන්ගේ පිකට් වැටක්

ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන (ඩීපීඑෆ්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු ප්‍රතිවිරුද්ධ වෘත්තීය සමිතිවල සාමාජිකයෝ, තමන්ගේ නායකයන් වර්ජනයට සහයෝගය නො දෙන ලෙස කීවත් එය නො තකා වර්ජනය හා එක්වූහ.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සංවිධානය කරන ලද විරෝධතාවල දී, කම්කරුවෝ ප්‍රාදේශීය වතු සමාගම් (ආර්පීසී) හා ආන්ඩුවට එරෙහිව සටන්පාඨ හඬනැගූහ.

කර්ශක කට්ටිවාදී ගැටුම හා වැඩෙන සමාජ විරෝධය විසින් ඉරිතලා දැමෙමින් තිබෙන පාලක ප්‍රභූවේ දේශපාලනික අර්බුදය කම්කරුවන්ගේ මෙම අරගලය විසින් වැඩිදියුනු කරනු ඇත.

ඔක්තෝබර් 26දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා-විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කොට, එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කල විට, සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් රාජපක්ෂ පාලනය සමග එක් විය. තොන්ඩමන් තම ක්‍රියාව සාධාරනීකරනය කලේ, දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කරන බවට රාජපක්ෂ දුන් අත්‍යන්තයෙන් ව්‍යාජ පොරොන්දුව හුවා දක්වමිනි.

කම්කරුවන් වෘත්තීය සමිති හා ඒවායේ නායකයන් කෙරෙහි කෝපය පලකල කඳුරට වතුවලට සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ ගිය හ.

කම්කරුවන්ට තම අයිතීන් දිනාගැනීමට ජාත්‍යන්තර මූලෝපායක් හා නව සංවිධාන රූපවල අවශ්‍යතාව විස්තර කල සසප කථිකයන්ට, හැටන් නගරයේ සිට කිලෝමීටර පහක් දුරින් පිහිටි ඇබොට්ස්ලෙයි වත්තේ කොටස් හතරෙන් එක් කොටසකට අයත් කම්හල අසල පිකට් කරමින් සිටි කම්කරුවන් 70ක් පමන උද්‍යෝගීමත්ව සවන් දුන් හ.

වතු සමාගම් වැටුප් වැඩිකිරීමට සූදානම් නැති බවත්, ඒ වෙනුවට, කර්මාන්තයේ අර්බුදය ජයගැනීමට හා කම්කරුවන් ව අනුකම්පා විරහිතව සූරාකමින් ලාබ උකහා ගැනීම සඳහා ඉහල ඵලදායිතාව අවශ්‍ය යයි අවධාරනය කරන බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන් හ.

එම්. දේවරාජා කම්කරුවන් අමතයි

සසප කථික එම්. දේවරාජා මෙසේ කීවේ ය: “ධනපති පන්තීන් විසින් පටවන ප්‍රහාරයන්ට විරුද්ධ ව සෑම රටක් තුල ම කම්කරුවන්ගේ අරගල පුපුරා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ කම්කරුවන් සමාජවාදී ක්‍රියාමාර්ගයකට සටන් කිරීම සඳහා තම ජාත්‍යන්තර පන්ති සහෝදරයින් සමග ඒකාබද්ධ විය යුතු යි.”

වැඩපල හා වතුවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස දේවරාජා කම්කරුවන්ගෙන් ඉල්ලී ය. එම කමිටු, සමාගම්වල ඒජන්තයන් බවට පත්ව ඇති වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීන විය යුතු ය.

“විශාල වතු, මහා කර්මාන්ත, සමාගම් හා බැංකුවල පාලනය තම අතට ගතයුතු කම්කරුවන් ධනවතුන්ගේ ලාබ වෙනුවට වැඩකරන ජනයාගේ හා දුගීන්ගේ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය හා බෙදාහැරීම සංවිධානය කල යුතු” බව කථිකයා කීවේ ය.

“කම්කරුවන්ට තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, ඒ ආකාරයෙන් පමනයි. ආන්ඩුවේ ද සහයෝගය සහිත ව කම්කරුවන්ගේ ඉල්ලීම් වතු සමාගම් විසින් ප්‍රතික්ෂේප කිරීම පෙන්වා දෙන්නේ, කම්කරුවන්ට තම අයිතීන් ජයගත හැක්කේ, අනෙකුත් ක්ෂේත්‍රවලත් ජාත්‍යන්තරවත් කම්කරුවන් සමග ඒකාබද්ධ ව කරන දේශපාලන අරගලයකින් පමනක් බවයි.”

පිකට් කිරීමේ යෙදුනු කම්කරුවෝ, “සකල දේශවාසී කම්කරුවනි එක්වව්!”, “ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත ක්‍රියාකාරී කමිටු ගොඩනගනු” හා “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිනු” යන සටන්පාඨ හඬ නැගූ හ. සසප සාමාජිකයන් සමග සාකච්ඡා කල ඇබොට්ස්ලෙයි කම්කරුවෝ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට තීරනය කල හ.

කනකසබේ

වත්තේ අවුරුදු 42ක් වැඩකර ඇති 57 හැවිරිදි කනකසබේ ලෝසවෙඅ වාර්තාකරුවන්ට කීවේ: “අනෙකුත් කම්කරුවන් සමග ඒකාබද්ධ වීම හා අපේ ගැටලුවල මූලික හේතුව දැනගැනීම වලක්වමින් වෘත්තීය සමිති නිලධාරීන් දැනුවත් ව අපව පිටස්තර ලෝකයෙන් වෙන්කරනවා. වතු කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න සියලු කම්කරුවන් දැනගත යුතු යි. කම්කරුවන් එක්සත් වුවහොත් අයිතීන් දිනාගත හැකි යි.”

වසර 30ක් වත්තේ වැඩකර ඇති 60 හැවිරිදි සිවපාකියම් අදහස් දක්වමින්: “අපි සුඛෝපභෝගී ජීවිතයක් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ අපේ පවුල්වලට යැපෙන්නත් දරුවන්ට උගන්නන්නත් දවසකට රුපියල් 1,000ක් විතරයි. අපේ දරුවන් සෞඛ්‍යසම්පන්න නැති නිසා ඒගොල්ලන්ට විටමින් දෙන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. දවසට කන්න තරම් වත් ආදායමක් නැති ව අපි කොහොම ද විටමින් හොයාගන්නේ? අනෙකුත් කොටස්වලට ගොස් කම්කරුවන් සංවිධානය කරන්න අපි සූදානම්.”

සිවපාකියම්

මහනුවර අසල හන්තාන වත්තේ කම්කරුවෝ ද වෘත්තීය සමිති හෙලාදුටුවෝ ය.

නවරත්න කීවේ: “අපි මුහුන දෙන සැබෑ ප්‍රශ්නය නායකත්වයක් නැතිකම යි. කිසිම වෘත්තීය සමිතියක් ගැන අපිට විශ්වාස නැහැ. ඒවා තවදුරටත් වතු කම්කරුවො ගැන උනන්දු නැහැ. කම්කරුවන්ට තමන්ගේ අයිතීන් දිනාගන්න නව සංවිධාන ගොඩනැගීම අවශ්‍යයි කියල මම හිතනවා. එවැනි ව්‍යාපාරයක් අපි සාදරයෙන් පිලිගන්නවා.”

මෑත දී විශ්‍රාම ගිය එම වත්තේ ම කම්කරුවෙක් වනකුමාරස්වාමි විස්තර කලේ: “සමාගම් අයිතිකාරයො බොහෝ වතු වසා දමා හෝටල් හා අනෙකුත් ව්‍යාපාරවලට පරිවර්තනය වෙනවා. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයො අක්කර ගනන් තියාගෙන ඉඳිද්දි වතු කම්කරුවො ගෙයක් හදාගන්න පොඩි ඉඩ ප්‍රමානයක් (වර්ග මීටර 25ක්) ඉල්ලා යදිනවා.

“අපේ ඉල්ලීම් ඉදිරිපත් කරනව කියල අපි දැනන් හිටපු එකම සංවිධාන වන්නේ වෘත්තීය සමිති. ඒත් දැන් මම ඒක විශ්වාස කරන්නේ නැහැ. සුදුසු වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන ව්‍යාපාරයකට කම්කරුවො අනිවාර්යයෙන් සහයෝගය දේවි.”

කුමාරස්වාමි

මෙම වැටුප් අරගලය තීරනාත්මක අවධියකට පැමින ඇත. හාම්පුතුන්ගේ අස්වනු බෙදාගැනීමේ ක්‍රමයට කම්කරුවන් එකඟ විය යුතු බවට සමාගම් අවධාරනය කර තිබේ. එම ක්‍රමය යටතේ කම්කරුවන් අඳගොවියන් බවට පත්කරමින් තේ පඳුරු 1,000ක් වැඩකිරීමට ලබා දේ. මුලු පවුලට ම බෙදාදුන් කොටසේ දහඩිය හෙලීමට සිදු වේ.

එම ක්‍රමය ක්‍රියාත්මක කල වතුවල කම්කරුවන් තමන්ට ලබාදුන් කොටස් ආපසු සමාගම් වෙත ලබාදීම අරඹා ඇත්තේ, එය ඔවුන්ගේ පවුල්වලට දැඩි පීඩනයක් බවට පත් ව තිබීම නිසා ය. කම්කරුවන්ගේ විරෝධය හේතුවෙන් එම ක්‍රමය අනෙක් වතුවල ක්‍රියාත්මක කිරීමට සමාගම් අසමත් ව ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ තොන්ඩමන්ගේ සාමාජිකත්වය විලක්ෂනය කරන පරිදි, වෘත්තීය සමිති ක්‍රියාකරන්නේ සමාගම්වල හා ආන්ඩුවේ ඒජන්තයින් ලෙස ය.

එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ් හා යූපීඑෆ්හි නායකයන් වන පී. දිගම්බරම්, මනෝ ගනේෂන් හා පී. රාධාක්‍රිෂ්නන් සිරිසේන හා වික්‍රමසිංහගේ කලින් ආන්ඩුවේ ඇමතිවරු වූ හ. ආන්ඩු මාරුවෙද්දී වරප්‍රසාද ලබාගැනීමට හා කම්කරු අරගල මර්දනය කිරීමට, සමිති නිලධරයෝ දේශපාලන පක්ෂපාතිත්වය මාරු කරති.

වෘත්තීය සමිති ධනපති පන්තියේ ප්‍රතිමල්ලව කන්ඩායම් -සිරිසේන හා රාජපක්ෂ නායකත්වය දෙන එක හා වික්‍රමසිංහ නායකත්වය දෙන අනෙක- අතර අරගලයේ දී එක් හෝ තවත් පැත්තක් ගෙන ඇත. තොන්ඩමන් සිරිසේන හා රාජපක්ෂට සහයෝගය දෙන අතර, අනෙකුත් අය වික්‍රමසිංහට පිටුබලය දෙති.

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරු අරගල පුනර්ජීවනය වෙද්දී මෙම කන්ඩායම් එම විරෝධය තලා දැමීම සූදානම් වෙමින් සිටිති. සසප කථිකයන් අවධාරනය කල පරිදි එකම විකල්පය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම යි. මෙහි අර්ථය වන්නේ සසපට බැඳී, එය, මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස ගොඩනැගීම යි.

Share this article: