ශ්‍රී ලංකාවේ වතු කම්කරු වර්ජනය: ඇබොස්ලී කම්කරුවෝ ක්‍රියාකාරී කමිටු හා සමාජවාදී පිලිවෙත් ඉල්ලා පෙලපාලි දක්වති

Sri Lankan plantation strike: Abbotsleigh workers march to demand action committees and socialist policies

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 දෙසැම්බර් 8

ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස හා සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වදින ලෙස වතු කම්කරුවන්ගෙන් ඉල්ලමින් මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ ඇබොස්ලී තේ වත්තේ කම්කරුවන් 50ක් පමන ඊයේ පැය තුනක පමන පෙලපාලියක නිරත වූ හ.

දේශපාලනික ව අර්ථභාරී වන මෙම පෙලපාලිය පැවැත්වුනේ, තම දෛනික වැටුප සියයට සියයකින් වැඩිකරන මෙන් ඉල්ලමින් දෙසැම්බර් 4දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල 100,000කට අධික වතු කම්කරුවන්ගේ ජාතික වර්ජනය මධ්‍යයේ ය. ඊයේ පැවති පෙලපාලිය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදුකල දේශපාලන මැදිහත්වීමෙන් පසුව පිහිටැවුනු ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කෙරුනි.

ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කෙරුන වතු කම්කරුවන්ගේ පෙලපාලිය

ඇබොස්ලී තේ කර්මාන්තශාලාව අසලින් පෙරවරු 11ට පමන පෙලපාලිය ආරම්භ කල තේ වතු කමකරුවෝ ඇබොස්ලී, මාල්බොරෝ, ස්ට්‍රැත්ඩන් හා දික්ඹය වතු හරහා ගමන් කොට සවස 2ට පමන හැටන් නගරය අසල අලුත්ගල පාලම වෙත ලඟා විය.

රුපියල් 40,000ක මාසික වැටුපක් ඉල්ලන පුවරු රැගත් පෙලපාලිකරුවෝ “වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” “සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වදිනු!” “කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනගනු!” “සිරගත කර ඇති ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් වහා නිදහස් කරනු!” “කම්හල් වසාදැමීමට එරෙහි ව සටන් කරන ජෙනරල් මෝටර්ස් කම්කරුවන්ට සහය දෙනු!” යයි අවශේෂ කම්කරුවන්ගෙන් ඉල්ලන සටන් පාඨ හඬ නගමින් ගමන්ගත් හ.

පෙලපාලිය නරඹමින් සිටි බොහෝ කම්කරුවන් ද මෙම සටන්පාට හඬනැගූ අතර, “ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ සියයට 100ක වැටුප් වැඩිවීමක් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කරති” යන ලෝසවෙඅ ලිපියේ පිටපත් සියගනනක් පෙලපාලිය තුල දී බෙදාහැරුනි.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම පරිපීඩිත කොටසක් වන වතු කම්කරුවෝ, ඔක්තෝබර් මුල සිට දෛනික ව විරෝධතා පවත්වමින් සිටින්නේ ඔවුන්ගේ දෛනික වැටුප දෙගුනයක් කරන ලෙස ඉල්ලමිනි. කොටගල, බොගවන්තලාව, යටියන්තොට, දැරනියගල හා මහනුවර ප්‍රදේශයන්හි වතුවල ද ඊයේ රැස්වීම් හා විරෝධතා පැවති බව වාර්තා විය.

වතු සමාගම් විසින් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් යලි යලිත් ප්‍රතික්ෂේප කරන හා වෘත්තීය සමිති විසින් කම්කරුවන් බෙදීමට කරන වැඩවල තතු යටතේ, ජාතික වැඩ වර්ජනය තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින ඇත.

වැඩ වර්ජනය බිඳීමට අධිෂ්ඨානවත් ව සිටින ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සම්මේලනය (පීඒ) දෙසැම්බර් 5දා යලිත් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කල අතර, වර්ජනය දිගට ම පැවතුනහොත් තේ හා රබර් වතු සමාගම්වලට දිනකට රුපියල් මිලියන 240 සිට 250 දක්වා පාඩුවක් වන බව කීවේ ය.

වැවිලිකරුවන්ගේ සම්මේලනයට අවශ්‍ය වන්නේ දෛනික වැටුප් ක්‍රමය අහෝසි කොට කර්මාන්තය පවත්වාගෙන “ශක්‍ය” විසඳුමක් ලෙස එය විසින් කියන ඊනියා “ආදායම් බෙදාගැනීමේ” ක්‍රමය පැටවීමට යි. මෙම ක්‍රමය යටතේ කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට තේ පඳුරු 1,000ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් ලබා දේ. අස්වැන්න නඩත්තු කරගෙන යාමට හා නෙලීමට බලකෙරෙන පවුලට සමාගමේ වියදම් හා ලාබ අඩුකරගෙන උපයා ගන්නා ආදායමෙන් කොටසක් දෙන බවට පොරොන්දු දෙනු ලැබේ.

කොටගල , ස්ටොනික්ලිෆ් වත්තේ තේ කර්මාන්තශාලාවක් අසල පැවති කම්කරු විරෝධකාව

අතිශයින් වෛරයට පාත්‍ර මෙම ක්‍රමය කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් අඳගොවියන් බවට පත්කොට අරගල හරහා කලින් දිනාගත් අර්ථසාධක අරමුදල වැනි සීමිත ප්‍රතිලාභ පවා අහෝසි කරමින් සූරාකෑම තියුනු කරනු ඇත. මෙම ක්‍රමය පටවා ඇති සමහර වතුවල කම්කරුවෝ එය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ සමස්ත පවුල ම වැඩකල ද ජීවත් වීමට සරිලන ආදායමක් ඉපයිය නො හැකි බව කියමිනි.

වතුකරයේ විශාලතම වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) විසින් මේ සතියේ ජාතික වර්ජනය කැඳවූයේ ඛාදනය වන ජීවන කොන්දේසි අරබයා කම්කරුවන් අතර වැඩෙන කෝපය වාෂ්ප කරදැමීමේ අරමුනෙනි. එය කැඳවීමෙන් පසු සීඩබ්ලිව්සී නායකත්වය, පීඒ හා හාම්පුතුන්ගේ සම්මේලනය අතර නිෂ්ඵල සාකච්ඡා කිහිපයක් ම පැවැත්වුනි.

පොරවැදී සිටින වතු වෘත්තීය සමිති -ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්)- වැඩ වර්ජනයට සහයෝගය නො දෙන ලෙස තම සාමාජිකයන්ට කියා ඇත. එහෙත් මෙම සමිතිවල සාමාජිකයෝ කම්කරුවන් බෙදන එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් බොහෝ වතුවල කාර්මික ක්‍රියාවන්ට සහභාගි වී තිබේ.

දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාකාරී වෙමින් කාර්මික පොලීසිය ලෙස ක්‍රියාකරන ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති, ආන්ඩු බලය සඳහා පාලක ප්‍රභූවේ දේශපාලන කන්ඩායම් ගෙනයන අරගලයේ දී විවිධ පාර්ශවයන් පිටුපස පෙලගැසී ඇත.

උදාහරනයක් ලෙස, ඔක්තෝබර් 26දා දේශපාලන කුමන්ත්‍රනයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් නෙරපා එම තනතුරට මහින්ද රාජපක්ෂ පත්කල පසු සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් රාජපක්ෂට සහයෝගය දෙයි.

ඇබොස්ලී වත්තේ කම්කරුවන් අමතන පානි විජේසිරිවර්ධන

පිලිවෙලින් එන්යූඩබ්ලිව්, ඩීපිඑෆ් හා යූපීඑෆ් නායකයන් වන පී. දිගම්බරම්, මනෝ ගනේෂන් හා පී. රාධාක්‍රිෂ්නන් කලින් ආන්ඩුවේ ඇමතියන් වූ අතර වික්‍රමසිංහට සහයෝගය දෙති.

ඇබොස්ලී වත්තේ කම්කරුවන් ඊයේ පෙලපාලියේ යෙදීමෙන් අනතුරු ව ඔවුන්ගේ තීරනාත්මක ක්‍රියාව අගය කරමින් හා ඔවුන් මුහුන දෙන දේශපාලන ගැටලු විස්තර කරමින් සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන කම්කරුවන් ව ඇමතී ය. සසප තවත් නායකයෙකු වන එම්. දේවරාජා, ඔහුගේ කතාව දෙමල බසට පරිවර්තනය කලේ ය.

සමාගම් හා වෘත්තීය සමිතිවල පීඩනය ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට කම්කරුවන් ගත් තීන්දුව හා පෙලපාලියක් සංවිධානය කිරීම අර්ථභාරී පියවරක් බව විජේසිරිවර්ධන කීවේ ය. නව සංවිධාන රූපයක් වන ඇබොස්ලී වත්තේ ක්‍රියාකාරී කමිටුව තීරනාත්මක එකකි. “වෘත්තීය සමිති කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නො කරන නිසා ඒවායින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප යෝජනා කලා.”

“සිරගත කර ඇති ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් වහා නිදහස් කරනු!” පුවරු රැගත් වතුකම්කරුවෝ

පෙලපාලිය ආර්ථික ඉල්ලීම්වලට සීමා නො වුනු බව ඔහු තවදුරටත් කීවේ ය: “සහභාගිකරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන දේශපාලන සටන්පාඨ හඬනැගුවා. පෙලපාලියේ වඩාත් ම වැදගත් ලක්ෂනය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය හා සමාජවාදය කෙරෙහි වූ එහි නැඹුරුව යි. ධනපති පන්තියට ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර පැටවීම අවශ්‍ය නිසා ජාත්‍යන්තර ව ම කම්කරුවන් මුහුන දෙන්නේ එක ම කොන්දේසිවලට.”

කම්හල් වැසීමට හා දොට්ට දැම්මවලට මුහුන දෙන එක්සත් ජනපදයේ හා කැනඩාවේ ජෙනරල් මෝටර්ස් කම්කරුවන්ගේ අරගලයටත්, යහපත් වැඩ කොන්දේසි වෙනුවෙන් අරගල කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සහෝදර කම්කරුවන් නිදහස් කරගැනීමට සටන් කරන ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන්ගේ අරගලයටත් විජේසිරිවර්ධන අවධානය යොමු කලේ ය.

“බැංකු, අන්තර්ජාතික සංගත හා ශ්‍රී ලංකාව වැනි රටවල සිටින ඔවුන්ගේ නියෝජිතයන්ගේ ජාලයක් විසින් සූරාකෑමට ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙනවා. ඔවුන් සමග පෙලගැසී සිටින වෘත්තීය සමිති ඔවුන්ගේ ලාබ සුරක්ෂිත කරගැනීමට උදවු වෙනවා.”

සියලු කම්කරුවන් මුහුන දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරන ලදුව ආන්ඩුව විසින් පටවන එකම කප්පාදු පිලිවෙත්වලට නිසා වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අනෙක් කොටස් සමග එක්ව ඒකාබද්ධ ව ක්‍රියාකරන මෙන් විජේසිරිවර්ධන කැඳවුම් කලේ ය. අනෙක් වතු, වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සටන් කරන ලෙසත් ඒ සඳහා තම ඒකාබද්ධ ශක්තිය මුදාහරින ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

ඇබොස්ලී වත්තේ රැලියේ කොටසක්

“ධනවාදයට විරුද්ධ ව සටන් කිරීමට කම්කරු පන්තියට ජාත්‍යන්තර මූලෝපායක් හා සංවිධානයක් අවශ්‍ය යි. කම්කරු පන්තියට පවතින එකම මූලෝපාය වන්නේ ජාත්‍යන්තර සමාජවාදය හා කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් කිරීම යි. ඒ සඳහා කම්කරුවන්ට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප එම පක්ෂය යි.”

Share this article: