ශ්‍රී ලංකාවේ ජනාධිපති නෙරපන ලද අගමැති යලි පත්කරයි

Sri Lankan president reinstates sacked prime minister

කේ. රත්නායක විසිනි, 2018 දෙසැම්බර් 17

සති හතකට පෙර දේශපාලන කුමන්ත්‍රනයකින් ව්‍යවස්ථා-විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කල ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දෙසැම්බර් 16දා ඔහු යලිත් අගමැති තනතුරට පත්කලේ ය. තමන්ට වික්‍රමසිංහ සමග වැඩකල නො හැකි බව කියමින් ඔහු යලි පත්කල නො හැකි බව යලි යලිත් අවධාරනය කල සිරිසේනගේ මෙම තීන්දුව ප්‍රධාන පසුබෑමකි.

කොලඹ මාධ්‍ය ප්‍රකාශ වලට පටහැනිව වික්‍රමසිංහ යලි පත්කිරීමට ගත් තීරනය, දේශපාලන අර්බුදය අවසන් නො කරන අතර, පාලක ප්‍රභූව තුල පවතින ගැටුම තාවකාලික ව අත්හිටුවීමක් පමනි.

ඔක්තෝබර් 26දා වික්‍රමසිංහ ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කල සිරිසේන නව කැබිනට් මන්ඩලයක් පත්කරමින් එය ආන්ඩුව බව පැවසීය. මෙම තීරනය, පාලක ප්‍රභූවේ සිරිසේන හා රාජපක්ෂ නායකත්වය දෙන පාර්ශවය ද වික්‍රමසිංහ නායකත්වය දෙන අනෙක් පාර්ශවය ද අතර කර්කෂ යුද්ධයක් ඉස්මත්තට ගෙන ආවේ ය.

වික්‍රමසිංහ නෙරපීමෙන් පසුව සිරිසේන නොවැම්බර් 14දා දක්වා පාර්ලිමේන්තුව කල්තැබුවේ බියවැද්දීම් හා අල්ලස් තුලින් රාජපක්ෂට පාර්ලිමේන්තු බහුතරයක් තහවුරු කරගැනීමට ඉඩ ලබාදෙමිනි. එසේ කිරීමට රාජපක්ෂ අසමත් වූ විට පාර්ලිමේන්තුව විසිර වූ සිරිසේන නව මැතිවරනයක් කැඳවුම් කලේ ය.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ද දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු එහි ආධාරකරුවන් ද ඉදිරිපත් කල පෙත්සම්වලට ප්‍රතිචාර දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී උපාමාරුව තාවකාලික ව අත්හිටුවී ය.

රාජපක්ෂට විරුද්ධ ව පාර්ලිමේන්තුවේ එක පිට එක සම්මත කල විශ්වාසභංග යෝජනා දෙකක් සිරිසේන විසින් නො තකා හැරියේ ය. එහෙත් කොලඹ අභියාචනාධිකරනය රට ක්‍රියාකාරී ආන්ඩුවක් රහිත රටක් බවට පත්කරමින් රාජපක්ෂ හා ඔහුගේ කැබිනට්ටුව ඇමති ධූර දැරීම වලක්වමින් තාවකාලික තහනම් නියෝගයක් පැනවී ය.

ඊයේ වික්‍රමසිංහ දිවුරුම් දුන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා-විරෝධී බවට දෙසැම්බර් 13දා ශ්‍රේෂ්ඨාධිකරනය දුන් අවසන් නියෝගයෙන් අනතුරු ව ය. ඉන් පසුදින තවත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක්, රාජපක්ෂ හා ඔහුගේ කැබිනට්ටුවට එරෙහි අභියාචනාධිකරනයේ තහනම් නියෝගය බල රහිත කිරීම ප්‍රතික්ෂේප කලේ ය. එය එම නඩුව ඇසීම ජනවාරි මැද දක්වා කල්තබා ඇත.

තමන් වික්‍රමසිංහ යලි පත්කලේ “පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්ට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන” නායකයෙකු ලෙස කියමින් එම පත් කිරීම පිලිබඳ ව විවිධාකාර මුහුන බේරාගැනීමේ අදහස් සිරිසේන විසින් පලකොට ඇත. පාර්ලිමේන්තුව විසිරවීම ඇතුලු ඔහුගේ සියලු ක්‍රියා “නීති විශාරදයන්ගේ” උපදෙස්වලට අනුව “යහපත් අභිලාෂයෙන්” සිදුකල ඒවා බව ඔහු තවදුරටත් කීවේ ය.

සමහර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදුකර ඇති දෝෂාභියෝග තර්ජනයන්ට ප්‍රතිචාර දක්වමින්, තමන් “හිරේ යාමට බිය නැති” බව සිරිසේන කීවේ ය. එහෙත් දෝෂාභියෝගයක් ඉදිරිපත් නො කරන බව ප්‍රකාශ කල එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඔහු සමග සාමූහිකව වැඩකරන බව පැවසී ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු ලෙස නරුම ලෙස පෙනී සිටි වික්‍රමසිංහ, “ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ දී හා ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනය තහවුරු කිරීමේ දී අධිෂ්ටානවත් ව සිටි” සියල්ලන්ට ඊයේ ස්තුති කලේ ය. පලමු අරමුන වන්නේ ශ්‍රී ලංකාව “සාමාන්‍ය තත්ත්වයට” යලි ගෙනැවිත් “සංවර්ධන ක්‍රියාවලිය යලි ඇරඹීම” බව ඔහු තවදුරටත් කීවේ ය.

වික්‍රමසිංහ අද දින නව කැබිනට්ටුවක් තෝරා එම ලැයිස්තුව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිත ය. එහෙත් මන්ත්‍රීවරුන් 103ක් පමනක් සිටින එජාපය නායකත්වය දෙන එක්සත් ජාතික පෙරමුනට (එජාපෙ) බහුතරයක් සඳහා තවත් මන්ත්‍රීන් 10ක් අවශ්‍ය ය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රීලමුකො) සමගින් ‘ජාතික ආන්ඩුවක්’ ප්‍රකාශයට පත්කර, කැබිනට්ටුව ප්‍රසාරනය කිරීමට වික්‍රමසිංහ තිරයෙන් පිටුපස සිට උත්සාහ ගනිමින් සිටී. ව්‍යවස්ථාවට අනුව එක් පක්ෂයක ආන්ඩුවකට ඉඩ ඇත්තේ සාමාජිකයන් 30ක කැබිනට්ටුවක් පත්කිරීමට යි. එජාපය සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සාමාජිකයන්ගේ ආධාරය ලබාගැනීමට ද උත්සාහ දරයි.

පසුගිය මාස දෙක පුරා තමන් කටයුතු කලේ රට හා ප්‍රජාතන්ත්‍රවාදය “ආරක්ෂා කිරීමට” ය යන සිරිසේනගේ කියාපෑම් තරම් ම වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම් ද ව්‍යාජ ය.

සිරිසේන අඩිය පස්සට ගැනීම, වික්‍රමසිංහ යලි පත්කරන ලෙස ඉල්ලා ඇති, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා එහි යුරෝපා සගයන්ගේ ද ඉන්දියාවේ ද ජාත්‍යන්තර පීඩනයට දැක්වූ ප්‍රතිචාරයක් ද නැඟී එන වැඩ වර්ජන හා විරෝධතා කෙරෙහි පවතින භීතිය නිසා දැක්වූ ප්‍රතිචාරයක් ද වේ.

වොෂින්ටනයේ මූලික උත්සුකය වන්නේ, සිරිසේනගේ හා වික්‍රමසිංහගේ ඊනියා සමගි ආන්ඩුව යටතේ පසුගිය වසර තුන තුල ගොඩනගා ගත් මිලිටරි හා දේශපාලන සබඳතාවන්ට, රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් වලකැපෙනු ඇතැයි යන්න යි.

2015 දී සිරිසේන බලයට පත්වූයේ, බීජිනය සමග රාජපක්ෂගේ සමීප සබඳතාවන්ට විරුද්ධ වූ වොෂින්ටනය විසින් දියත් කරන ලද තන්ත්‍ර-මාරු මෙහෙයුමක කොටසක් වසයෙනි. වික්‍රමසිංහගේ ද සහයෝගය ලද සිරිසේන රාජපක්ෂ ආඥාදායකයෙකු ලෙස හෙලාදකිමින් 2015 මැතිවරනයේ දී ඔහු ජනාධිපති ධුරයෙන් පහ කලේ ය. වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන ලදී.

සිරිසේන හා වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත චීනයට එරෙහි ව එක්සත් ජනපද නායකත්වයෙන් යුත් තීව්රි වන ගැටුමට සරිලන ලෙස වහා ම වෙනස් කලේ ය. ඇප නයකට හිලවු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කල කප්පාදු පියවරයන් පැටවීම ද නව “එකමුතුවේ” ආන්ඩුව විසින් ආරම්භ කරන ලදී.

කොලඹ දිගහැරෙමින් පැවති කටුක කන්ඩායමික යුද්ධය ආරම්භයේ පටන් ම වික්‍රමසිංහට පිටුබලය දෙමින් එයට ප්‍රතිචාර දැක්වූ වොෂින්ටනය, එය පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා “විසඳාගත” යුතු යයි ප්‍රකාශ කලේ ය. කොලඹ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහයෝගය සහතික කරගැනීමට නිරර්ථක උත්සාහයක යෙදෙමින් රාජපක්ෂ, තම පක්ෂයේ නායකයන් ඔවුන් හමුවීමට යැවී ය.

සිරිසේන ජාත්‍යන්තර ආර්ථික පීඩනයට ද මුහුනපෑවේය. “දේශපාලන අවිනිශ්චිතභාවය” විසඳෙන තෙක් නයෙහි අවසන් වාරිකය ලබාදීම ජාමූඅ විසින් අත්හිටුවී ය; එක්සත් ජනපදය එහි සහන ආධාර කල්දැමී ය; ජපානය සිය ආධාර හා ආයෝජන ව්‍යාපෘති ප්‍රමාද කරන බව නිවේදනය කලේ ය.

ඬේලි මිරර් පත්‍රයට මෑත දී ලියූ ශ්‍රී ලංකාවේ හිටපු එක්සත් ජනපද තානාපති රොබට් බ්ලේක්, රාජපක්ෂ කෙරෙහි වොෂින්ටනයේ විරෝධය නො වලහා ඉදිරිපත් කලේ ය. “වර්තමාන දේශපාලන ව්‍යාකූලත්වය විසඳීමටත්, නව ඉන්දු-පැසිෆික් මහා ගැටුම් දිගහැරෙද්දී ශ්‍රී ලංකාව එහි නායකයෙකු හා ජයග්‍රාහකයෙකු බවට පත්කිරීමටත්” රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බව බ්ලේක් ප්‍රකාශ කලේ ය.

සරල බසට පෙරලූ කල ඊනියා “ඉන්දු-පැසිෆික් මහා ගැටුම” වන්නේ, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි යනාදී සියලු විධික්‍රම හරහා චීනය යටත් කරගැනීමට වොෂින්ටනය දරන උත්සාහයන් ය. මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ න්‍යෂ්ටික බලවතුන් අතර ව්‍යසනකාරී මිලිටරි ගැටුමකි.

දිග්ගැස්සෙන දේශපාලන අර්බුදය, නව අයවැයක් ඇතුලු ආන්ඩුවේ කටයුතු අඩාල කරමින්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයන්ට විරුද්ධ ව මෑත මාස කිහිපය තුල පැනනැගී ඇති කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ වැඩ වර්ජන හා විරෝධතා වර්ධනය වීම වේගවත් කරනු ඇතැයි ද පාලක ප්‍රභූව බියපත් ව ඇත.

සිරිසේනගේ ශ්‍රීලනිපය හා වික්‍රමසිංහගේ එජාපය, රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) අතින් පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී ලද අන්ත පරාජයන් තුලින් ද මෙම විරෝධය පිලිබිඹු විය. ”එකමුතුවේ” ආන්ඩුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කල ප්‍රහාර පිලිබඳ ව වික්‍රමසිංහට දොස් පවරමින් සිරිසේන ඔහුගෙන් ඈත්වීමට උත්සාහ දැරී ය.

එක් පසෙක සිරිසේන හා රාජපක්ෂ ද අනෙක් පස වික්‍රමසිංහ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටීමට පුරසාරම් දොඩමින් දරන උත්සාහය මුලුමනින් ම ව්‍යාජ ය. මෙම කන්ඩායම් දෙකට ම රුදුරු ආඥාදායක පාලනයේ දිගු ඉතිහාසයක් තිබේ. ඔවුන් කටුක ගැටුම්වල පැටලී සිටින්නේ ධනේශ්වර පාලනයට වඩා හොඳින් මුක්කුව දී කම්කරු පන්තිය තුලින් ඉස්මතු වන විරෝධය මර්දනය කරන්නේ කෙසේ ද යන්න අරබයා ය.

දැන් යලි අගමැති ධූරයට පත්ව සිටින වික්‍රමසිංහ, මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාර තීව්‍ර කිරීම සඳහා කන්ඩායමික ගැටුම මගින් නරක අතට හැරවූ ආර්ථික අර්බුදය යොදාගනු ඇත.

එහෙත් කිසිවක් විසඳී නැත. සෙනසුරාදා අගමැති ධූරයෙන් ඉවත් වීම නිල වසයෙන් නිවේදනය කල රාජපක්ෂ, නව මැතිවරනයක් පැවැත්වීමට සහයෝගය දීමට අසමත් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරනයට පහර දුන්නේ ය.

“මැතිවරනවලට මුහුන දීමෙන් වැලකීමට විවිධ උපාමාරු දමා ඇති දේශපාලන පක්ෂ සමග ගැටුමකට දැන් අපි ඍජු ව මුහුන දී සිටිනවා. රටට එරෙහි බලවේග දනගැස්සවීමට අපි මහජනයා හමුවට යනවා” යයි ඔහු අනතුරු ඇඟවී ය.

සිය දෙමල-විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය තීව්‍ර කරන බව ද රාජපක්ෂ පැහැදිලි කලේ ය. “ටීඑන්ඒ විසින් ග්‍රහනයට ගෙන තිබීම” ගැන හා “එහි නියෝගයන්ට අවනත වීම” ගැන ඔහු එජාපයට දොස් පැවරී ය. දෙමල ජාතික සන්ධානය සිරිසේනගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවන්ට එරෙහි ව වික්‍රමසිංහ සමග පෙලගැසී ඇත.

ඔක්තෝබරයේ පුපුරා ගිය දේශපාලන අර්බුදය ධනේශ්වරයේ සෑම කන්ඩායමක ම ප්‍රපතිගාමී ස්වභාවය හෙලිදරවු කලේ ය. “ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම” පිලිබඳ පුහු කයිවාරු වලට පිටුපසින් ඇත්තේ කම්කරු පන්තියේ මහජන අරගල කෙරෙහි පාලක ප්‍රභූවට පවතින භීතිය යි.

කම්කරුවන් හා දුගීන් මුහුන දෙන දේශපාලනික අන්තරායන් අඩුවනවා වෙනුවට දැන් තීව්‍ර වී ඇත. පාලක පැලැන්තියේ ආර්ථික හා දේශපාලන ගැටලු විසඳා ගැනීමට ඉඩහැර පසෙකට වී බලාසිටීමට කම්කරු පන්තියට නොහැකිය. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය මත තමන්ගේ ම පන්ති අවශ්‍යතා සඳහා ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරුවන් බලමුලුගැන්වී මැදිහත් විය යුතු ය.

සෑම වත්තක ම, වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම කම්කරුවෝ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) දෙසට හැරී වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගමින් ඇබොස්ලී වතු කම්කරුවන් විසින් දුන් ආදර්ශය අනුගමනය කල යුතු ය. අවශ්‍ය කරන්නේ සමාජවාදී දේශපාලනය ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ඒකාබද්ධ දේශපාලන අරගලයකි. සියල්ලට ඉහලින් අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අරගලයට ඉදිරියට ගැනීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) වෙත බැඳී එය ගොඩනගන ලෙස යි.

Share this article: