සිරියාවෙන් ඉවත්වීමට ට්‍රම්ප් දුන් නියෝගයත් සමඟ වොෂින්ටනය තුල දේශපාලන ගිනිජාලාවක් ඇවිලේ

Trump’s Syrian withdrawal order sparks political firestorm in Washington

බිල් වෑන් ඔකන් විසිනි, 2018 දෙසැම්බර් 20

ඉදිරි දින 60-100 පමන කාලයක් තුල, සිරියාවේ රඳවා ඇති 2000ක් පමන වන සියලු හමුදා ඉවත්කර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නිකුත් කල බව පෙනීයන නියෝගය, පෙන්ටගනයේ ද කැපිටොල් හිල්හි ප්‍රමුඛ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානුවන්ගේ මෙන්ම වොෂින්ටනයේ නැටෝ සහචරයන්ගේ ද තැතිගැන්මට හා තියුනු විරුද්ධතත්වයට තුඩුදී ඇත.

ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මිලිටරිය විසින් මාධ්‍යය වෙත කාන්දු කරන ලද ඉවත්වීමේ නියෝගය, ට්‍රම්ප් 19දා ලිවූ කෙටි ට්වීටර් පනිවිඩයකින් සනාථ කල බව පෙනී යයි. එහිදී ඔහු පැවසුවේ, “අපි සිරියාවේ අයිඑස්අයිඑස්වරු පරාජය කර ඇත්තෙමු, ට්‍රම්ප්ගේ ජනාධිපති කාලය තුල එහි රැඳී සිටීමේ එකම හේතුව එයයි.”

ඉන් පසුව ධවල මන්ඳිර ප්‍රකාශිකා සරා සෑන්ඩර්ස් එදිනම සවස ප්‍රකාශයක් නිකුත් කලාය. ඇය පැවසුවේ, “මේ ව්‍යායාමයේ ඊලඟ අදියරට මාරුවීමේදී අපි එක්සත් ජනපද හමුදා ආපසු ගැනීමට පටන් ගෙන තියෙනවා, එක්සත් ජනපදය හා අපගේ මිතුරන් අවශ්‍ය ඕනෑම වෙලාවක ඇමරිකානු අවශ්‍යතා ආරක්ෂා කිරීමට සෑම මට්ටමකදීම යලි මැදිහත්වීමට සූදානමින් සිටිනවා” යනුවෙනි.

ධවල මන්ඳිර නිවේදනයෙන් පසුව පෙන්ටගනයෙන් ද තවත් නිවේදනයක් නිකුත් විය. එහි ප්‍රකාශිකා ඩානා වයිට් ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රකාශය එකහෙලා ප්‍රතික්ෂේප කලාය. ඇය පැවසුවේ “හවුල අයිඑස්අයිඑස් අල්ලාගෙන සිටි ප්‍රදේශ නිදහස් කරගෙන ඇති නමුත් අයිඑස්අයිඑස්ට එරෙහි ව්‍යායාමය අවසන්වී නැත” යනුවෙනි. අයිඑස්අයිඑස් යනු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කන්ඬායම හඳුන්වන නාමයයි.

“අපි අපගේ සහකරුවන් හා මිතුරන් සමඟ අයිඑස්අයිඑස් ක්‍රියාත්මක වන සෑම තැනකදීම ඔවුන් පරාජය කිරීමට වැඩ කරන්නෙමු” ඇය කාල නිර්නයක් ඉදිරිපත් නොකරන්නේ “හමුදාවන්හි ආරක්ෂාවට හා ක්‍රියාන්විත ආරක්ෂක හේතු නිසා” යයි පවසමිනි. ඇය වෙනත් විස්තර නොදැක්වූවාය.

මේ අතර නම් නොකල ඇමරිකානු නිලධාරියෙක් පැවසූ බව සඳහන් කරමින් රොයිටර් 19දා පැවසුවේ, සිරියාව තුල මෙහෙයුම්වල නිරත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 24ක් තුල එරටින් ඉවත්කර ගන්නා බවයි.

ඉවත්කර ගන්නා සැලසුම් සෘජුව ම සකස්වී ඇත්තේ, “පසුගිය සිකුරාදා ට්‍රම්ප් හා තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් ඒඩොගන් අතර පැවති දුරකථන සංවාදයකදී ඇතිකරගත් එකඟතා අනුව” බව එම නිලධරුවා පැවසීය. “සියලු දේ ඒ අනුව ක්‍රියාත්මක වන්නේය.” වාර්තාවුන පරිදි දුරකථන සාකච්ඡාව පැවැත්වුනේ, සිරියානු-තුර්කි දේශසීමාව අසබඩ සිරියාවේ කුර්දි බෙදුම්වාදී වයිපීජී වරුන් සිටීම පිලිබඳ තුර්කියේ කනස්සල්ල සාකච්ඡා කිරීමටය. වයිපීජී යනු ඊසානදිග සිරියාවේ ඇමරිකාව පිටුබලය දෙන කුලීකාර හමුදාව ඇතුලු සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ ප්‍රධාන කොටසයි. දශක ගනනාවක් තිස්සේ ඇන්කාරාව ප්‍රති ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ගෙන යමින් සිටින තුර්කියේ පීකේකේ යන කුර්දි බෙදුම්වාදී සංවිධානයේ දිගුවක් ලෙස වයිපීජීය දැකගන්නා ඒඩොගන්ගේ ආන්ඩුව, යලි යලිත් තර්ජනය කර ඇත්තේ වයිපීජීයට එරෙහිව තුර්කියේ මැදිහත්වීම නොවැලැක්විය හැකි බවටයි. සන්නද්ධ රථ ඇතුලු තුර්කි හමුදා දේශසීමාවේ රඳවා තිබෙන බව වාර්තාවේ.

වොෂින්ටනය, නැටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන තුර්කිය සමඟ ඇතිවිය හැකි මිලිටරි ගැටුමක් මඟහැරීමට උත්සුක වන බව නිසැක අතර ට්‍රම්ප්ගේ ධවල මන්ඳිරය, වොෂින්ටනයේ රහසිගත පිටුබලය ලැබූ, 2016 අසාර්ථක කුමන්ත්‍රනයෙන් පසුව පලුදුව ඇති ඇමරිකා-තුර්කි සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුනෙන් වෙනත් පියවරයන් ද ගෙන ඇත.

ඉවත්කර ගැනීමේ නියෝගය නිකුත්වීමට පැය ගනනකට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුව, තුර්කියට ඩොලර් බිලියන 3.5ක් වන පේට්‍රියට් මිසයිල් නාෂක පද්ධතින් අලෙවි කිරීමේ යෝජනා ගැන කොන්ග්‍රසයට දැනුම් දුන්නේය. ඒවා නිපදවන්නේ රේතියන් සමාගම විසිනි. ඇන්කාරාව කලින් ඇඟවුම් කර තිබුනේ රුසියාවෙන් එස්-400 ගොඩබිම සිට ගුවනට විදින මිසයිල් පද්ධතීන් මිලට ගැනීමේ සූදානමයි. එම ගනුදෙනුව සිදුකරන්නට නම් තුර්කිය ඇමරිකානු එෆ් 35 යුද ගුවන්යානා මිලට ගැනීම නතර කල යුතුව ඇති අතර එසේ වුවහොත් නැටෝව සමඟ එරට සම්බන්ධකම් බිඳී යන තැනටම පැමිනෙනු ඇත.

ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීමේ නිවේදනය, නැගෙනහිර සිරියාව ආක්‍රමනය කර කුර්දි හමුදා එරට දේශසීමාවෙන් පලවා හැරීමට කරන තර්ජනය අනුව ක්‍රියා කිරීමට ඒඩොගන් ආන්ඩුවට කොල එලිය දල්වන සංඥාවක් විය හැකිව තිබේ. ඇමරිකානු හමුදා නොමැති තතු හමුවේ වයිපීජීවරු ඩැමස්කසය සමඟ ගනුදෙනුවකට හැරීමට උත්සාහ කරනු ඇත. ඒ අනුව කලාපයේ පාලනය ජනාධිපති බෂර් අල් අසාද්ගේ සිරියානු ආන්ඩුවට හිමිවනු ඇත.

සිරියාවේ නීති විරෝධී ඇමරිකානු වාඩිලෑම ආරම්භ වුනේ 2015 ඔබාමාගේ ආන්ඩුව යටතේය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ හෝ සිරියානු ආන්ඩුවේ අවසරයක් ලැබී නොතිබුනි. එය ඉරාකය හා දකුනෙන් ජෝර්දාන දේශසීමාව අසල විශේෂ කාර්ය සාධක හමුදා ද ඊසානදිග සිරියාවේ 2000ක ඇමරිකානු හමුදාවක් රැඳවීම දක්වා ද ට්‍රම්ප් පාලනය යටතේ පුලුල් විය.

සිරියාව තුල ඊනියා අයිඑස්අයිඑස්වරුන්ට එරෙහි යුද්ධය දියත් කිරීම, අසාද් ආන්ඩුව පෙරලා දැමීමට අල් කයිඩාවට සම්බන්ධ මිලිෂියාවන්ට සීඅයිඒ සංවිධානය හරහා ලබාදුන් ආධාර මත පදනම්ව දියත් කල, “තන්ත්‍ර මාරුවක්” පිලිබඳ අසාර්ථක ඇමරිකානු මූලෝපායෙන් ඉවතට හැරීමක් සලකුනු කලේය.

සිරියාවේ ඇමරිකානු ගොඩබිම් හමුදා, අයිඑස්එයිඑස්වරුන්ගේ පාලනය යටතේ පැවති රකා හා අනෙකුත් නගර බිමට සමතලා කරන බිහිසුනු ගුවන් ප්‍රහාර හා බෝම්බ හෙලීම් සම්බන්ධීකරනය කලේය.

2016 ජනාධිපතිවරන ව්‍යාපාරයේදී ට්‍රම්ප්, සිරියාවෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගන්නා බවට දිව්රුම් දුන්න ද පෙන්ටගනය, ඔත්තු ආයතන හා අනෙක් ජාතික ආරක්ෂක නිලධාරීහු එම පොරොන්දුව අනුව කටයුතු කිරීමෙන් ට්‍රම්ප් වලක්වා ගත්හ.

ආරක්ෂක ලේකම් “පිස්සු බල්ලා” යන ජේම්ස් මැටිස්, ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝර්ඞ් වැනි පුද්ගලයින් සති කිහිපයකට උඩදී තරම් මෑතක යලි අවධාරනය කර තිබුනේ, සිරියාව තුල සිටින ඇමරිකානු මිලිටරියේ අරමුන, ඉරාන හා රුසියානු බලපෑම් අතුගා දමමින් අවසානයේ අසාද් පෙරලා දමා ඩැමස්කසයේ වඩාත් කීකරු රූකඩ පාලන තන්ත්‍රයක් ඇටවීමේ ආරම්භක ඇමරිකානු එල්ලය සාක්ෂාත් කිරීම බවය.

ඩන්ෆෝර්ඞ් මේ සතිය මුලදී පැවසුවේ ඇමරිකානු මිලිටරිය සාක්ෂාත් කරගෙන ඇත්තේ, එම මැද පෙරදිග රට ඇමරිකානු වැයික්කියක් බවට කපා වෙන්කර ගැනීමේදී, එහි “ආරක්ෂාව” සැපයීම සඳහා ඊසානදිග සිරියාව තුල 35,000-40,000ක් තරම් කුලී හමුදාවක් පුහුනුකර සන්නද්ධ කිරීමේ කටයුතු වලින් පහෙන් එකක් පමනක් බවය.

ඊසානදිග සිරියාව වාඩිලා ගැනීමේදී ඇමරිකානු මිලිටරිය හා එහි කුලී හමුදා, සිරියාවේ වඩාත්ම තීරනාත්මක තෙල් හා ස්වාභාවික ගෑස් බිම් මෙන්ම එහි නැගෙනහිර ඉරාක දේශසීමාව ද ඇතුලු රටෙන් තුනෙන් එකක පමන ප්‍රදේශයක පාලනය අල්ලාගෙන ඇත. සිය අධිකාරය පවත්වාගෙන යාමේදී වොෂින්ටනයේ අරමුන, සිය මූලෝපායික ඉලක්ක සාක්ෂාත් කරගන්නා තුරු යුද්ධයෙන් බැටකෑ රටේ කිසිදු ප්‍රතිනිර්මානයක් හෝ ඒකාබද්ධ වීමක් වලක්වා ලේවැකි ගැටුම පවත්වාගෙන යාමය.

සැලසුම්කල ඉවත්වීම නිවේදනය කිරීම, පිලිවෙතේ මාරුවෙන් දෑස් නිලංකාරවූ බවක් පෙනී යන කොංග්‍රසයේ ප්‍රමුඛ රිපබ්ලිකානුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. සෙනේට් සභික ලින්ඞ්සේ ග්‍රෙහැම් එය හැඳින්වූයේ, “ඔබාමාගේ වැනි දැවැන්ත වැරැද්දක්” ලෙසය. ඒ ඔබාමා යටතේ 2011දී ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීම පිලිබඳව රිපබ්ලිකානුවන් කලින් එල්ල කල විවේචන යලි මතුකරමිනි.

“සිරියාවෙන් ඉවත්වීමේ තීන්දුව ගෙන ඇත්තේ, ඊට එරෙහිව මිලිටරිය දුන් දැඩි උපදෙස් මධ්‍යයේ බව සෙනේට් සභික මාකෝ රූබියෝ ට්විටර් පනිවිඩයකින් කියා සිටියේය. “එය මූලික පසුබෑමකි. එය වෙනස්කර නොගන්නේ නම් වසර ගනනාවක් යනතෙක් මේ ආන්ඩුවත් ඇමරිකාවත් වසාගෙන එය හොල්මන් කරනු ඇත.”

පෙනෙන්නට ඇති ඇමරිකානු ප්‍රතිපත්ති මාරුවෙන් වික්ෂිප්තවූ බව පෙනී යන්නේ, වොෂින්ටනයේ සමීපතම නැටෝ සහචරයා වන බි්‍රතාන්‍යයයි. එරට ආරක්ෂක ඇමති ටොබියාස් එල්වුඞ් නිවේදනයකින් කියා සිටියේ ඔහු ට්‍රම්ප්ගේ තීන්දුව ගැන “මුලුමනින්ම නොඑකඟ” වන බවයි. “අයිඑස්අයිඑස් වෙනත් වර්ගයේ අන්තවාදයන්ට යොමුවිය හැකි අතර තර්ජනය එලෙසම පවතින්නේය.” ඔහු ට්විටර් සටහනකින් එසේ පැවසීය.

කල්තියා අනතුරු ඇඟවීම් ලැබුනු අනෙක් අය අතර ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද විය. “එක්සත් ජනපද පාලනය මට පවසා ඇත්තේ, ජනාධිපතිගේ අදහස සිරියාවෙන් තම හමුදා ඉවත්කර ගැනීම බවයි. ඔවුන් සහතික කල පරිදි ඔවුන්ට එම භූමිය තුල තම අනසක පැතිරවීමට වෙනත් මාර්ග ඇත.” ඔහු ඊස්රායල් හැරට්ස් දිනපතා පුවත්පතට එසේ පැවසීය.

ඇමරිකානු “බලපෑමේ” ප්‍රධාන උපකරනය වන විනාශකාරී ගුවන් ප්‍රහාර එල්ලකර ඇත්තේ කටාරයේ හා මැද පෙරදිග වෙනත් තැන්වල කඳවුරුවල සිටය. මේ අතර ඇමරිකාව, නැගෙනහිර සිරියාව වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත අඩුම තරමින් 5,000ක හමුදාවක් ඉරාක දේශසීමාවේ රඳවා ඇත.

ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත්කරගැනීමේ නිවේදනය, නිසැකවම ඇමරිකානු පාලක සංස්ථාපිතය හා රාජ්‍යය තුල භාතෘහාරක ගැටුම් උත්සන්න කරනු ඇති අතරම, මැදපෙරදිග තුල ආතතීන් ද ඉහල නංවනු ඇත. එය කිසිසේත්ම කලාපය තුල සන්නද්ධ ගැටුම් තුරල් කිරීමේ ක්‍රියාවලියක් නොවේ. සිරියානු “භූමිය තුල ගොඩබිම් හමුදා” ඇතත් නැතත් රුසියාවට හා ඉරානයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි ආක්‍රමනිකත්වය උත්සන්න වනවා පමනි.

Share this article: