අනධ්‍යන කම්කරු වර්ජනයට සහභාගි නොවීම සඳහා තාක්ෂනික නිලධාරි සමිතිය
ගත් තීන්දුවට මොරටුව ශාඛා සාමාජිකයෝ එරෙහි වෙති

එම්. දේහින් වසන්ත විසිනි, 2018 පෙබරවාරි 26

වැඩි වැටුප් ඇතුලු තවත් ඉල්ලීම් කීපයක් මත, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කැඳවා ඇති අනධ්‍යන කම්කරුවන්ගේ අඛන්ඩ වැඩ වර්ජනයට සහභාගි නොවීම සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය ගෙන ඇති තීන්දුවට එරෙහි වෙමින්, එම සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාව, වර්ජනයට සහභාගිවීමේ යෝජනාවක් සම්මත කර ගත්තේය.

පෙබරවාරි 23 දා හදිසියේ කැඳවූ තාක්ෂනික නිලධාරීන්ගේ සංගමයේ මොරටුව ශාඛා සමිති රැස්වීමේ දී, සංගමය විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවන ලද ලිපියක් ඉදිරිපත් කරමින්, ශාඛා ලේකම් මෙල්රෝයි පැවසුවේ තම සංගමය ඒකාබද්ධ කමිටුවෙන් ඉවත්වූ බව සහ මෙතැන් සිට වෙනම පාර්ශ්වයක් ලෙස කටයුතු කරන බවයි. ඒ අනුව 28 දා ඇරැඹෙන වර්ජනයට තම සංගමය සහභාගි නොවන බවත්, ඉන් දින තුනකට පසු, එනම් මාර්තු 3 දා සිට වෙනම පාර්ශ්වයක් ලෙසින් වර්ජනයේ යෙදෙන බවත් ඔහු කීවේය.

කමිටුවේ සම සභාපතිත්වය ලබා දෙන බවට ඒකාබද්ධ කමිටුව ගොඩ නැගීමේදී ඇතිකරගත් එකඟතාව කඩ කිරීම නිසා කමිටුවෙන් ඉවත් වූ බව තාක්ෂනික නිලධාරීන්ගේ සංගමයේ නායකයින් ප‍්‍රකාශ කල නමුදු, මෙහි සැබෑ අරමුන වනුයේ කම්කරුවන් බෙදා වෙන් කොට කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනයවීම වලකා ලීම බව වඩාත් සවිඤ්ඤානිත කම්කරුවෝ වටහා ගත්හ.

අනෙකුත් කම්කරුවන් සමග තම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා අධිෂ්ඨාන සහගතව සිටි ඔවුහු, තම සංගමය රැගෙන ඇති තීන්දුවට එරෙහි වූහ. “අපි අනෙක් කම්කරුවන් සමග එක්ව ආරම්භ කල අරගලය මැද්දේදී ඉන් ඉවත්ව යාම පාවා දීමක්” බව පවසමින් සංගමයේ තීන්දුව විවේචනය කල ඔවුහු 28 වන දා සිටම වැඩ වර්ජනයට සහභාගිවිය යුතුයැයි කියා සිටියහ.

2016 වර්ජනයේදී පරිවාස තත්වයේ සිටි කම්කරුවන් රැකියාවෙන් නෙරපා දැමීමට ආන්ඩුව ගත් තීරනය මතකයට නංවමින් ශාඛා සමිති නිලධරය කියා සිටියේ, සංගමයේ තීන්දුවට පටහැනිව වර්ජනයට සහභාගි වී රැකියා අහිමිවුවහොත් නායකත්වය ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවිය හැකි බවයි.

මෙය පරිවාස කම්කරුවන්ට පමනක් නොව අනෙකුත් සාමාජික කම්කරුවන්ට ද නිලධරය විසින් කරන ලද තර්ජනයක් බව සාමාජිකත්වයට පහදා දුන් දේහින් වසන්ත, “අවශේෂ අනධ්‍යන කම්කරුවන් සමග 28 දා සිටම අඛන්ඩ වැඩවර්ජනයට එක්වියයුතු” යැයි යෝජනා කලේය.

පරිවාස කම්කරුවන්ගේ රැකියා අහිමි කලහොත් එයට එරෙහිව සටන් කිරීම සඳහා වසන්තට ඇති වැඩපිලිවෙල කුමක්දැයි ශාඛාවේ කාරක සභික හේරත් ප‍්‍රශ්න කලේය. වසන්ත ඒ සඳහා පිලිතුරු දීමට උත්සාහ කල නමුත් නිලධරය එය වැලැක්වූයේ ය.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෙකු වන දේහින් වසන්ත, වෘත්තීය සමිති නිලධරයට සහ වෘත්තීය සමිතිවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා නිරතුරුව සටන් කිරීම හේතුවෙන් නිලධරයේ වෛරයට පාත‍්‍රව සිටී. එම සටන අත් නොහැරියහොත් තාක්ෂනික නිලධාරින්ගේ සංගමයෙන් නෙරපා හරින බවට තර්ජනය කෙරෙන ලිපියක් ද එහි නායකත්වය විසින් මීට මාස කීපයකට පෙර වසන්තට එවා ඇත.

වසන්තගේ යෝජනාවට සාමාජිකත්වයෙන් ලැබුන සහයෝගය හමුවේ හේරත් කියා සිටියේ, පෙබරවාරි 28, මාර්තු 1 සහ මාර්තු 2 යන දිනයන්හි අනියම් නිවාඩු ගැනීමෙන් අනතුරුව මාර්තු 3 වන දා සිට වර්ජනයට එක්විය හැකි බව යි.

පසුව වසන්තගේ සහ හේරත්ගේ යෝජනා පිලිබඳව කරන ලද ඡන්ද විමසීමේදී වසන්තගේ යෝජනාව වැඩිඡන්දයෙන් සම්මත විය.

ඒකාබද්ධ කමිටුව විසින් 28 දා ආරම්භ කිරීමට නියමිත අඛන්ඩ වැඩ වර්ජනය සඳහා තීන්දුව ගනු ලැබුවේ, පෙබරවාරි 6 දා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සමග පැවැත්වූ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුවයි. ඒකාබද්ධ කමිටුවෙන් ඉවත් වන බවට ඒ වන විටත් ප‍්‍රකාශ කොට තිබූ තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය, පෙබරවාරි 6 දා කොමිෂන් සභා පරිශ‍්‍රය ඉදිරියේ පැවති උද්ඝෝෂනයට ද සම්බන්ධ නොවුනි.

තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය, වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සහ විශ්ව විද්‍යාල පරිපාලනය සමග ඉතා සහයෝගීව වැඩ කිරීම සම්බන්ධයෙන් කුප‍්‍රකට වෘත්තීය සමිතියකි. එය, 2016 අගෝස්තු මාසයේ පැවති තම 60 වන සංවත්සර උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස කැඳවා ගත්තේ, අනධ්‍යන කම්කරුවන් ඇතුලු අවශේෂ පීඩිතයන්ගේ සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර පිට පහර එල්ල කරමින් සිටින වත්මන් ආන්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු වන සුසිල් ෙප්‍ර්මජයන්ත සහ මොහාන් ලාල් ෙග්‍ර්රෝ ය.

අනුප‍්‍රාප්තික ආන්ඩුවලින් තම ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව පසුගිය කාලය පුරා නිරන්තරව අරගලයට පිවිසි විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ සටන්කාමිත්වය විරෝධතා වටවංගුවල ගෙන ගොස් ඒවා දියකර දැමීමට, තාක්ෂනික නිලධාරීන්ගේ සංගමය පමනක් නොව, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ අනෙකුත් සියලුම පාර්ශ්වයන් එකාවන්ව ක්‍රියා කොට ඇත.

දැවැන්ත නය බරකින් සහ ගැඹුරු වෙමින් පවත්නා ලෝක ධනේශ්වර අර්බුදයේ පීඩනයෙන් මිරිකී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ආර්ථික පිලිවෙතේ අත්‍යවශ්‍යම කොටසක් බවට පත්ව ඇත්තේ රාජ්‍ය වියදම් දැවැන්ත පරිමානව කපා දැමීමයි. මේ පිලිවෙත් හේතුවෙන් දැවැන්ත මහජන විරෝධයකට ලක්ව ඇති ආන්ඩුව පසුගිය පලාත් පාලන මැතිවරනයෙන් අන්ත පරාජයක් අත් විඳියේ වුවද, ඇමති මුහුනු මාරු කිරීමේ ප්‍රෝඩාවක් හරහා සූදානම් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත ඉහත ප‍්‍රහාරයන් වඩාත් ගැඹුරු සහ තීව‍්‍ර මට්ටමකින් ක්‍රියාත්මක කිරීමටයි.

මෙම රුදුරු ආර්ථික පිලිවෙත් වලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරු-පීඩිත මහජනතාව පොලිස්-මිලිටරි බලයෙන් මර්දනය කිරීම ආන්ඩුවට ඇති එකම විකල්පය යි. අනෙක් අතට, ආන්ඩුවට සහ සමස්ත ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන සටනක් බවට තම අරගලයන් වර්ධනය කිරීම කම්කරු පන්තියට ඇති එකම විකල්පය බවට පත්ව ඇත.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක සමිති ඇතුලු සියලූ වෘත්තීය සමිති එවන් දේශපාලන සටනකට මුලුමනින්ම එරෙහිය. ජාතිකවාදී උපකරනයන් වන වෘත්තීය සමිති, නිශ්පාදනයේ ගෝලීයකරනය යටතේ යල්පැන, කම්කරු පන්තියට එරෙහි ධනේශ්වර උපකරන බවට පරිවර්තනය වී ඇත. ආන්ඩුවල ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය අවමංගත කොට ඔවුන් එම ප‍්‍රහාරයන්ට යටත්කරදීම වෘත්තීය සමිතිවල භූමිකාව බවට පත්ව ඇත්තේ එබැවිනි.

කෙසේ නමුදු, වෘත්තීය සමිති මගින් දශක ගනනාවක් පුරා කෘතිම ලෙස යටපත් කරගෙන සිටි පන්ති අරගල, යලි ජාත්‍යන්තර පරිමානව පුපුරා එමින් පවතී. ජර්මනිය, ප‍්‍රන්සය, ග්‍රීසිය, ටියුනීසියාව සහ යාබද ඉන්දියාව ඇතුලු රටවල මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ අරගල මෙන්ම, අනධ්‍යන කම්කරු අරගලය ඇතුලූව, ශ්‍රී ලංකාව තුල නොකඩවා වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල මෙම නව ජාත්‍යන්තර රැඩිකලීකරනයේ ප‍්‍රකාශනයන් ය.

කම්කරු පන්තියට මෙම අරගල ඉදිරියට ගෙන යා හැක්කේ, වෘත්තීය සමිති වලින් මලුමනින්ම බිඳී වෙන්වී ගොඩ නගා ගන්නා තමාගේම නව සංවිධානයන් අතට, එනම් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පදනම්වූ කම්කරු ක්‍රියාකාරී කමිටු අතට ගැනීමෙන් පමනකි.

තම සමිති නායකත්වයේ ද්‍රෝහී පියවරට එරෙහිව, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමයේ මොරටුව ශාඛා සාමාජිකයන් ගෙන ඇති තීන්දුව වෘත්තීය සමිති වලින් බිඳී අරගලය තමා අතට ගැනීම දෙසට තැබූ වැදගත් පියවරකි.

Share this article: