යූඒඩබ්ලිව් දූෂන සෝලිය: කම්කරු කමිටු වල අවශ්‍යතාව ඉස්මතු කරයි

The UAW corruption scandal: The case for workers’ committees

2018 ජනවාරි 26

සමිති කොන්ත‍්‍රාත්තු තුල සමාගමට වාසිදායක කොන්දේසි ඇතුලත් කිරීමට හිලවු ලෙස ෆියැට් ක‍්‍රයිස්ලර් (එෆ්සීඒ) සංගතයෙන් යුනයිටඩ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව් - එක්සත් මෝටර් කම්කරු සමිතිය) නිලධරයන් ඩොලර් මිලියන 1.5කට වැඩි ගෙවීම් ලබාගත් බව, ජනවාරි 22දා මධ්‍යම උසාවියේ ගොනුකෙරුනු අභියාචනයකට අනුව හෙලිදරවු වේ.

එෆ්සීඒ සමාගමේ ප‍්‍රධාන සාකච්ඡාකරු වන ඇල්ෆොන්ස් ඉයකොබෙලි ගොනුකල අභියාචනා ගිවිසුම, සමාගම සමග සාකච්ඡා බාරව සිටි හිටපු යූඒඩබ්ලිව් උප සභාපති ජෙනරල් හොලිෆීල්ඩ් ඇතුලු යූඒඩබ්ලිව් නිලධරයන්ට, 2009 හා 2015 අතර කොන්ත‍්‍රාත්තූන් “සාකච්ඡා කිරීම්, ක‍්‍රියාත්මක කිරීම් හා පරිපාලනය කිරීම්වල දී එෆ්සීඒ සමාගමට ප‍්‍රතිලාභ, සහන හා වාසි ලබාගැනීම” සඳහා තමන් මුදල් ගෙවූ බව ප‍්‍රථම වරට සෘජු ව සඳහන් කරයි.

එෆ්සීඒ සමග පමනක් නො ව ෆෝඩ් හා ජීඑම් යන සමාගම් ද සමග ඇති කරගත් මෙම කොන්ත‍්‍රාත් ගිවිසුම් ශුන්‍ය හා අවලංගු ඒවා ලෙස මෝටර් රථ කම්කරුවන් විසින් සැලකිය යුතු ය. ප්‍රෝඩාකාරීත්වයේ නිෂ්පාදිතයන් වන එම ගිවිසුම්වලට නීත්‍යානුකූල භාවයක් නැත.

2015 දී මියගිය හොලිෆීල්ඩ්, වරද පිලිගන්නා බවට අපේක්ෂිත ඔහුගේ බිරිඳ වන මොනිකා මෝගන් හා පසුගිය අගෝස්තුවේ වරද පිලිගත් යූඒඩබ්ලිව් සහකාර අධ්‍යක්ෂ වර්ඩල් කිං ඇතුලු ප‍්‍රධාන යූඒඩබ්ලිව් නිලධරයන් හා එහි සහකාරයන් වැඩිවන සංඛ්‍යාවක් සෝලියට සම්බන්ධ බව පෙනී යයි. ඉයකොබෙලිගේ අභියාචන ගිවිසුමේ ලැයිස්තුගත අනෙක් නිලධාරීන් තිදෙනා “යූඒඩබ්ලිව් නිලධාරී අංක 2, යූඒඩබ්ලිව් නිලධාරී අංක 3 හා යූඒඩබ්ලිව් නිලධාරී අංක 4” ලෙස පමනක් නම් කරනු ලැබ තිබේ. “අනෙක් යූඒඩබ්ලිව් නිලධාරීන්” ද සම්බන්ධ වූ බවට ලියැවිල්ල සඳහන් කරයි. එෆ්සීඒ සමාගමේ හිටපු යූඒඩබ්ලිව් උප සභාපති නෝවුඩ් ජුවෙල්, සමිතියේ පුහුනු අරමුදල්වලින් හොරකම් කරන ලද මුදල් ත්‍යාග ලෙස ලබාගත් බව සුප‍්‍රකට ය.

ඉයකොබෙලිගේ අභියාචන ගිවිසුම තුල ඇතුලත් වන නව හෙලිදරවු වීම් අතරට, 2015 කොන්ත‍්‍රාත් සාකච්ඡාවන්ට පෙර එම වසරේ පෙබරවාරියේ දී, තෝරාගත් යූඒඩබ්ලිව් නිලධාරීන් ව කම්කරුවන්ගෙන් සඟවා තබාගැනීම සඳහා, ඔවුන්ට ඩොලර් 50,000 බැගින් ගෙවීමට තමන් “හතරවන යූඒඩබ්ලිව් නිලධාරියා” සමගින් සැලසුමක් සකස් කලේ ය යන්න අඩංගු වේ.

දූෂන සෝලිය අවිවාදනීය ලෙස සනාථ කරන්නේ යූඒඩබ්ලිව් යනු සංගත ව්‍යාපාරයක් මිස කම්කරුවන්ගේ සංවිධානයක් නො වන බව යි. කම්කරු විනය පැටවීම, සංගත සඳහා සහන තල්ලු කරදීම හා කම්කරුවන්ගේ අරගල හුදකලා කිරීම සඳහා එය සේවය කරයි. මේ වෙනුවෙන් යූඒඩබ්ලිව් පාලනය කරන පුද්ගලයන්ට ඔවුන්ගේ සමිති වැටුප් හා පිරිවැය ගිනුම්වලට අමතර ව අල්ලස්, සංගත-යූඒඩබ්ලිව් මන්ඩල හා සෞඛ්‍යාරක්ෂන හා විශ‍්‍රාම අරමුදල් පාලනය යනාදිය හරහා හොඳින් පාරිතෝෂික ගෙවනු ලබයි.

ඉයකොබෙලිගේ දූෂන සෝලිය මගින් ආවරනය කෙරෙන කාලසීමාව සුවිශේෂී වසයෙන් අර්ථභාරී ය. 2008 මූල්‍ය අර්බුදයෙන් වසරකට පසුව 2009 දී මෝටර් රථ කර්මාන්තය ඔබාමා පරිපාලනය යටතේ ප‍්‍රතිව්‍යුහගත කරනු ලැබී ය. වෝල් වීදියේ ක‍්‍රියාකාරීන් ප‍්‍රධානත්වය දැරූ, යූඒඩබ්ලිව් සමිතිය සමග සමීපව ක‍්‍රියාකල ඔබාමාගේ මෝටර් කර්මාන්ත කාර්යසාධක බලකාය, රැකියා දස දහස් ගනනින් කපමින් හා සෞඛ්‍යාරක්ෂන ප‍්‍රතිලාභ කප්පාදු කරන කොන්ත‍්‍රාත්තු පටවමින්, ජීඑම් හා ක‍්‍රයිස්ලර් සංගතයන් තුල “කලමනාකෘත බංකොලොත් බවක්” සංවිධානය කොට, අලුතින් බඳවාගන්නවුන්ගේ වැටුප් අඩකින් කපා අඩු වැටුප් සහිත දෙවන ශ්‍රේනියේ කම්කරුවන් ගනන විශාල ලෙස වැඩිකලේ ය.

ෆියට් නමැති ඉතාලියානු මෝටර් රථ සමාගම, යූඒඩබ්ලිව් සමිතිය සහ එක්සත් ජනපද හා කැනේඩියානු ආන්ඩු සම්බන්ධ වී ඇති කරගත් බද්ධ ආයෝජන සැලසුමක් තුලින් ක‍්‍රයිස්ලර් සංගතය බංකොලොත් බවින් ගැලවී ගත්තේය. මෙය සිදුවූයේ, එක්සත් ජනපදයේ ප‍්‍රධාන මෝටර් රථ සමාගම් තුනේ දී ම 2011 වසරේ ඇති කරගත් සහන කොන්ත‍්‍රාත්තුවලින් පසුව වූ අතර, එම ගිවිසුම් තුන ම ශ‍්‍රම පිරිවැය වර්ධනය වාර්තාගත පහල මට්ටමක තබමින් වැඩිදුර ප‍්‍රතිව්‍යුහකරනය හා රැකියා කප්පාදු සඳහා කොන්දේසි නිර්මානය කලේ ය.

2015 දී යූඒඩබ්ලිව් සමිතිය එෆ්සීඒ, ජෙනරල් මෝටර්ස් හා ෆෝඩ් විශාල සමාගම් තුනෙහි කම්කරුවන් ආවරනය කරන නව ගිවිසුම් සඳහා මෝස්තරය ලෙස එෆ්සීඒ තෝරාගත් අතර එය කාර්මික විශ්ලේෂකයන් පවා විස්මයට පත්කල තීරනයක් විය. මෙම තීරනය ගැනීමේ දී යූඒඩබ්ලිව් විධායකයන් හා එෆ්සීඒ නිලධාරීන් අතර වූ සමීප හා දූෂිත සම්බන්ධතාව නිසැකව ම යම් භූමිකාවක් ඉටුකලේ ය.

අල්ලස්වලින් ස්නේහනය වී තිබූ යූඒඩබ්ලිව් එලඹුනු ගිවිසුම මෝටර් රථ කම්කරුවන් වෙතින් විශාල විරුද්ධත්වයක් පැනනැංවී ය. යූඒඩබ්ලිව් යෝජනා කල කොන්ත‍්‍රාත් ගිවිසුම එෆ්සීඒ කම්කරුවන් ප‍්‍රතික්ෂේප කල අතර, එය 1982න් මෙපිට යූඒඩබ්ලිව්හි ජාතික කොන්ත‍්‍රාත්තුවක් ප‍්‍රතික්ෂේප කෙරුනු පලමු අවස්ථාව විය. එෆ්සීඒ කම්හලේ දී යන්තමින් වචන වෙනස් කල දෙවන ගිවිසුමක් තල්ලු කරගැනීමට යූඒඩබ්ලිව් කටයුතු කල අතර, ඉන්පසු ජීඑම් හා ෆෝඩ් කම්හල්වල දී ද එලෙසින් ම කලේ ය. සමිතිය එලෙස කලේ, ජීඑම්හි නිපුන සේවා කම්කරුවන්ගේ “නැත” යන ඡන්දයක් ආපසු හැරවීම ඇතුලු එහි ම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් හා ඡන්ද පුරවාගැනීම් යනාදිය අසත්‍යයන් සමග සම්මිශ‍්‍රනය කරගනිමිනි. අවසන් ෆෝඩ් ඡන්ද ප‍්‍රතිඵලය සියයට 51ක “ඔව්” යන්න වනතෙක් සමිතිය විසින් ඡන්ද පෙට්ටි පුරවනු ලැබූ බවට ෆෝඩ් කම්කරුවෝ චෝදනා කරති.

2015 ගිවිසුමට විරුද්ධත්වය සංවිධානය කිරීමේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පත ඉදිරිපෙලේ භූමිකාවක් ඉටුකලේ ය. කොන්ත‍්‍රාත්තු විශ්ලේෂනය කරමින් ඒවාට විරුද්ධ වන එහි ලිපි මෝටර් රථ කම්කරුවන් දස දහස් ගනනක් විසින් කියවා විශේෂයෙන් ම මුහුනුපොත තුලින් බෙදාහැරී ය. යූඒඩබ්ලිව් සමිතියෙන් ස්වාධීන ව හා එයට විරුද්ධ ව කම්හල් කමිටු ගොඩනැගීම සඳහා ලෝසවෙඅ කල කැඳවුම ශක්තිමත් ප‍්‍රතිචාරයක් දිනාගත්තේ ය.

මේ හේතුවෙන් යූඒඩබ්ලිව් නිලධරයන් හා ඔවුන්ගේ බත්බැලයන් විසින් ලෝසවෙඅ රචකයන්ට “සටනට පිටතින් සිටිමින් විරෝධය අවුලුවන්නන්” යයි ප‍්‍රහාර එල්ල කරනු ලැබී ය. තොරතුරු බෙදාහැරීම සහ විරෝධය සංවිධානය කිරීම සඳහා සමාජ මාධ්‍ය වෙත හැරුනු කම්කරුවන්ට විරුද්ධ ව “ව්‍යාජ තොරතුරු” පතුරුවන්නන් ලෙස හෙලාදකින උද්ඝෝෂනයක් යූඒඩබ්ලිව් මහජන සම්බන්ධතා සමාගම විසින් ආරම්භ කලේ ය. කම්කරු-පන්තික විරෝධය මර්දනය කිරීමේ එල්ලය ඇති ව “ව්‍යාජ තොරතුරු” යන කඩතුරා ධජය යටතේ අන්තර් ජාලය වාරනය කිරීම සඳහා මෙම ප්‍රෝඩාකාරී මර්දනීය ආවරනය එතැන් පටන් පාලක පන්තිය විසින් ඩැහැගෙන ඇත.

කොන්ත‍්‍රාත්තුවට එරෙහි කම්කරුවන්ගේ විරෝධය ආපසු හැරවීම සඳහා 2015 ඔක්තෝබර් 2දා ක‍්‍රයිස්ලර් යූඒඩබ්ලිව් සමිතිය පලකල රූපය

ලෝසවෙඅ වනාහි “වැඩකරන ජනයාගේ හතුරන් වෙනුවෙන් අද්වකාත්කම් කරන අතර කම්කරුවන්ට තම ආදරය දේශනා කරන රතු ඇඳුමින් සැරසුනු වාම ගිජුලිහිනියන්” පිරිසකැයි සඳහන් ප‍්‍රහාරාත්මක ලිපියක් 2015 ඔක්තෝබරයේ දී ඩිට්‍රොයිට් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ඒඑෆ්එල්-සීඅයි ඕ නීතිවේදී බෲස් මිලර් විසින් ලියනු ලැබී ය. “යූඒඩබ්ලිව් වෙත කොන්ත‍්‍රාත් ගිවිසුම් සමගින් එහි සාමාජිකයන් විකුනන බවට” ලෝසවෙඅ චෝදනා කරතියි යනුවෙන්, මිලර් තව දුරටත් ලිවීය.

යථාර්ථය වන්නේ යූඒඩබ්ලිව් එහි සාමාජිකයන් ව විකුනතියි යන කරුන දැන් එහි පදාර්තයෙන්ම සනාථ වී තිබේ. කොන්ත‍්‍රාත්තූන් හා යූඒඩබ්ලිව් පිලිබඳ ව ලෝසවෙඅ කියූ සියල්ල නිවැරදි විය.

දූෂන සෝලිය ආයතනයක් ලෙස යූඒඩබ්ලිව්හි පැවැත්මේ අවසානය වනු හැකි අතර එසේ විය යුතු ය. දැනට මත් එය මෝටර් රථ කම්කරුවන්ගේ ගැඹුරු වෛරයට පාත‍්‍ර වේ. ඩිමොක‍්‍රටික් පක්ෂයේ ද එම පක්ෂයෙහි වපසරියේ ක‍්‍රියාකාරී වන විවිධාකාර ව්‍යාජ-වාම සංවිධානවල හොඳ ම උත්සාහයන් නො තකා දකුනේ මෝටර් රථ කම්හල්වල කම්කරුවන් විසින් යූඒඩබ්ලිව් සමිතිය ඡන්දයෙන් පරාජය කර තිබේ. එය දැන් සමස්ත කම්කරු පන්තිය ඉදිරියේ දූෂිත හා අපරාධකාරී සංවිධානයක් ලෙස නිරුවතින් පෙනී සිටී.

යූඒඩබ්ලිව් සමිතිය හුදෙක් කුදු මහත් ජාතිකවාදී හා ධනපති ගැති වෘත්තීය සමිතිවල කම්කරු පන්ති-විරෝධී ස්වභාවය ප‍්‍රකාශ කරනවා පමනි. පසුගිය දශක හතර තුල, වෘත්තීය සමිති ඒවායේ සියලු උත්සාහයන් පන්ති අරගලය මර්දනය කිරීම මත නාභිගත කර තිබෙනවා පමනි. 2007 සිට 2016 දක්වා ගෙවුනු දස වසරේ කාලසීමාව තුල බලපෑම් සහගත වැඩනැවැත්වීම් ගනන වසරකට 14ක් පමනක් වන අතර එය කම්කරු සංඛ්‍යාන කාර්යාංශය දත්ත එකතු කිරීම ඇරඹූ 1947 සිට වාර්තා වුනු අඩුතම සංඛ්‍යාව යි. අනෙක් රටවල වෘත්තීය සමිති ද එවැනි ම භූමිකාවක් ඉටුකර තිබේ.

කම්කරු පන්තියේ කෝපය ලොව පුරා වර්ධනය වෙමින් පවතී. මේ වසර තුල දැනට මත් ඉරානය, ටියුනීසියාව, මොරොක්කෝව, ජර්මනිය, ඉන්දියාව හා ග‍්‍රීසියේ විරෝධතාවන් පුපුරා ගොස් ඇත. පසුගිය වර්ෂය අවසන් වූයේ රුමේනියාවේ ෆෝඞ් කම්කරුවන්ගේ ක්ෂනික වැඩවර්ජනයක් සමගිනි.

2015 වසරේ මෝටර් රථ කම්කරුවන්ගේ කැරලිකාරීත්වය එක්සත් ජනපදය තුල කම්කරුවන්ගේ කෝපය හා යූඒඩබ්ලිව්හි ග‍්‍රහනය දුර්වල වීම ප‍්‍රදර්ශනය කලේ ය. ඩිමොක‍්‍රටිකයන්ගේ අනුබලය හා වෘත්තීය සමිතිවල හවුල්කාරීත්වය ලබන ට‍්‍රම්ප් පරිපාලනය ධනවතුන් වෙත වැඩිදුර ධනය මාරු කිරීම අධීක්ෂනය කරමින් සිටී.

යූඒඩබ්ලිව් සෝලියෙන් අවශ්‍ය නිගමන උකහා ගන්නා ලෙස මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලූ කොටස්වලින් ලෝසවෙඅ ඉල්ලා සිටී. ප්‍රෝඩාවන් හා අල්ලස් දීම් හරහා එලැඹුනු සියලූ කොන්ත‍්‍රාත්තු ආපසු හැරවීම සඳහා ඉල්ලා සිටීමට සෑම කම්හල් හා වැඩහල් තුල ම සාමාන්‍ය කම්කරුවන්ගේ ක‍්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ලෝසවෙඅ කැඳවුම් කරයි.

කොන්ත‍්‍රාත්තු මගින් හාම්පුතුන්ට දුන් සියලූ සහන ආපසු ගැනීම, දෙවන හා තුන්වන ශ්‍රේනීන් අහෝසි කිරීම, සියලූ තාවකාලික කම්කරුවන් ස්ථීර පදනමින් බඳවා ගැනීම, සියලූ කම්කරුවන්ගේ වැටුප් වහා ම ඉහල දැමීම, කලමනාකාරීත්වයේ ආඥාදායකත්වය අවසන් කිරීම හා කම්හල් තුල කම්කරුවන්ට අමානුෂික හා අවමන්කාරී ලෙස සැලකීම අවසන් කිරීම ඇතුලු තමන්ගේ ම ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ කොන්දේසි එවැනි කමිටු මගිින් කම්කරුවන්ට නිර්මානය කරදෙනු ඇත. එම කමිටු ඵලදායක හා ප‍්‍රජාතන්ත‍්‍රීය වීමට, ඒවායේ රැස්වීම් හා සමාජ මාධ්‍ය පිටුවලින් සමාගම්වල ඒජන්තයන් හා ඔත්තු බලන්නන් මෙන් ම සමිති නිලධාරීන් ද පලවා හැරිය යුතු ය.

මහජනයාගේ සැබෑ අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රනය කරන ධනවාද-විරෝධී, අධිරාජ්‍ය-විරෝධී සහ සමාජවාදී ඉල්ලීම්වලට කම්හල් කමිටුවල ක‍්‍රියාකාරීත්වය බද්ධ කල යුතු ය. මෝටර් රථ සමාගම් ද ඇතුලු යෝධ සංගත, පුද්ගලික ලාබය වෙනුවට සමාජ අවශ්‍යතාවේ පදනම මත මහජන උපයෝගීතාවන් බවට පෙරලනු ලැබිය යුතු ය.

ජාතිකවාදී වෘත්තීය සමිතිවල පාලනයෙන් නිදහස් කම්කරුවන්ගේ ස්වාධීන කමිටු ලොව පුරා කම්කරුවන් පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීමේ කොන්දේසි නිර්මානය කරනු ඇත.

පන්ති අරගලයේ වර්ධනය සමාජවාදී ඉදිරිදර්ශනයකට හා ක‍්‍රියාමාර්ගයකට සම්බන්ධ කරමින් ලෝසවෙඅ හා සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගේ ස්වාධීන සංවිධාන ස්ථාපනය කිරීම සඳහා ඔවුන්ට හැකි සෑම දෙයක් ම කරනු ඇත.

ජෝසෆ් කිෂෝර්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පතට පිවිසෙන්න

මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ සියලු කොටස්වලින් ලෝසවෙඅ ඉල්ලා සිටින්නේ ඔටෝවර්කර් (මෝටර් කම්කරු) පුවත්පත නිරතුරුව ම යාවත්කාලීන කරමින් තමන්ගේ ම විස්තර විභාගයන් හා ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සහ තවත් දෑ. එලෙස කරනු පිනිස, මෙතැනින් පිවිසෙන්න.

Share this article: