කම්කරු පන්තිය සහ ධනේශ්වර ආර්ථිකය

The working class and the capitalist economy

2018 පෙබරවාරි 5

කාල් මාක්ස් විසින් වසර 150 කට පෙර සිය අග‍්‍රගන්‍ය කෘතිය වන දාස් කැපිටාල් ප‍්‍රකාශයට පත් කල දා පටන්ම, ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන්, ධනේශ්වර ආර්ථිකයේ අභ්‍යන්තරය ක්‍රියා කරන ආකාරය අනාවරනය කරන ඔහුගේ වටිනාකම පිලිබඳ ශ‍්‍රම නියාමය, අසත්‍ය බව පෙන්වීමට උත්සාහ කර ඇත.

මුල්‍ය සහ නිෂ්පාදන බලවේගවල පුද්ගලික හිමිකරුවන්, නිෂ්පාදන ලාභ, බදු කුලී සහ විශාල පරාසයක මූල්‍ය වෙලඳපල වල කටයුතු වලින් ලබා ගන්නා ලාභ ලෙස එහි විවිධාකාර ස්වරූප වලින් ධනපති පන්තිය අත ගොඩගැසෙන ධනය, ප‍්‍රධානකොටම උපුටා ගන්නේ, ධනවාදයේ පදනම් සමාජ සම්බන්ධතාවය වන වැටුප් ක‍්‍රමය හරහා, කම්කරු පන්තියෙන් මිරිකා ගන්නා අතිරික්ත වටිනාකමෙන් බව, මෙම න්‍යාය පැහැදිලි කරයි.

මෑත දශකයන් තුල, මාක්ස් වැරදි බව ඔප්පු කර ඇතැයි යන ප‍්‍රකාශ දිරිමත් කලේ, ශ‍්‍රමය විසින් සිදු කරන කුමනාකාරයේ හෝ ධනය නිර්මානය කිරීමකින් තොරව, නව තාක්ෂනය සහ මූල්‍ය වෙලඳපලවල් තුලදී, මුදල් විසින් තවත් මුදල් උත්පාදනය කිරීමට මුදල්වලට තිබේයැයි පෙනෙන්නට ඇති හැකියාව විසින් ධනය උත්පාදනය කෙරුනු “නව ආර්ථිකයෙහි” නැගීම යනුවෙන් සඳහන් වූ දෙය විසිනි.

ඇත්ත වශයෙන්ම මාක්ස්, මෙවැනි සංසිද්ධි, ඔහු විසින් “භාන්ඩ වන්දනාව” නමින් හැඳින්වූ දෙය සම්බන්ධ විශ්ලේෂනය තුලදී විස්තර කර තිබුනි. එහිදී ඔහු ධනේශ්වර ආර්ථිකය විසින් උත්පාදනය කරන රූපයන්ගේ පෙනුම විසින් එහි යටින් දිවෙන සමාජ සම්බන්ධතා සඟවන සහ ව්‍යාකූල කල ආකාරය පෙන්වීය.

බොහෝ වාර ගනනක් සිදුවී ඇති ආකාරයට, මාක්ස්ගේ න්‍යාය මරනයට පත්ව භූමදානය කර ඇතැයි දහස්වාරයක් ප‍්‍රකාශයට පත් කර තිබියදීම ධනේශ්වර ආර්ථිකයේ වර්ධනය නැවත වරක් මාක්ස් නිවැරදි යයි සනාථ කර ඇත.

ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 666කින් පහල දමමින් පසුගිය 3දා වෝල් වීදියේ සිදුවූ හදිසි විකුනා දැමීම් රැල්ල -වසර දෙකක් තුල සිදුවූ විශාලම වැටීම- එවැනි සිදුවීමකි. එය සිදුවුනේ, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පත්වීමේ සිට ඩව් ජෝන්ස් කාර්මික දර්ශකයේ සිදුවූ සියයට 40ක ඉහල නැගීම මධ්‍යයේය.

දස වසරේ ඇමරිකානු බැඳුම්කර ප‍්‍රතිලාභ සියයට 2.85කින් ඉහල නැංවූ බැඳුම්කර වෙලඳ පොලෙහි පොලී අනුපාත ඉහල නැගීමක් මගින් එය කඩිනම් කෙරුනි. 2008 මුල්‍ය අර්බුදයේ සිට ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව සහ ලෝකයේ අනෙකුත් ප‍්‍රමුඛ මහා බැංකු විසින් හැසිරවූ, කොටස් වල මිල වාර්තාගත ඉහලකට නංවා ඇති, මුල්‍ය වෙලඳ පලවල් තුලට ලාභ මුදල් ගලාඒම අවසන් විය හැකිය යන භීතිය, බැඳුම්කර වලින් ලැබෙන ප‍්‍රතිලාභ ඉහල යෑම මගින්, ඇති කලේය.

බැඳුම්කර වෙලඳපලේ නැගීම, පසුගිය වසර තුල ඇමරිකානු වැටුප් සියයට 2.9න් වැඩිවී ඇතැයි යන ප‍්‍රවෘත්තියට ප‍්‍රතිචාරයක් ලෙස සිදුවුනු දෙයකි. මෙය 2009 සිට සිදුවූ වැටුප්වල විශාලම ඉහල නැගීමයි.

වැටුප්වල සිදුවූ ඉහල නැගීම සාපේක්ෂව කුඩාය. කෙසේවෙතත් එය මූල්‍ය වෙලඳපලවල් තුල ප‍්‍රබල කම්පනයක් ඇති කලේය. මක් නිසාදයත් එහි ඇඟවුම් පිලිබඳ භීතිය නිසාය: එක්සත් ජනපදයේ සහ ලෝකය පුරා සිටින කම්කරුවන්, දශක ගනනාවක් පැවතී වැටුප් කැපීමට සහ කම්කරු පන්තියේ ජීවන කොන්දේසි වල පිරිහීමට විරුද්ධව පෙල ගැසීමක් සමග පන්ති අරගලයේ නව හිසඑසවීමක් පිලිබඳ බිය නිසා.

3දා බැඳුම්කර වෙලඳපොලෙහි පොලී අනුපාතයේ සීඝ‍්‍ර ඉහල නැගීම, බැඳුම්කර වල දීර්ඝ කාලීනව සිදුවන මිල ඉහල නැගීම -ඉහල යන බැඳුම්කර මිල සහ පහල වැටෙන පොලී අනුපාත (ද්විත්වය ගමන් කරන්නේ ප‍්‍රතිලෝම සම්බන්ධයකට අනුවය)- අවසාන වෙමින් ඇති බවට කල්තියා අනතුරු ඇඟවීමකි. දශක හතරකට පමන පෙර කොටස් වෙලඳපොලේ මිල ඉහල නැගීම පටන් ගැනීම ම, මූල්‍යයේ වෙලඳ පලවල් සහ පන්ති අරගල අතර යටින් දිවෙන සම්බන්ධය සහ මුලු මහත් ධනපති පද්ධතියට අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමේ මූලික වැදගත්කම අනාවරනය කිරීමකි.

1968-1975 අතර කාලයේදී ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගීටීම් පරාජය කිරීමෙන් පසුව ඇරඹි 1979-80 දක්වා කාල පරිච්ඡේදය, එක්සත් ජනපදයේ සිට ලෝකය පුරා ධනපති පාලක පන්ති ප‍්‍රතිප‍්‍රහාරයක ආරම්භය සනිටුහන් කලේය.

ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ ඩිමොක‍්‍රටික් පරිපාලනය, පොලී අනුපාත නැංවීම හරහා උද්ධමනය අවසන් කිරීමේ අධිෂ්ඨානයෙන්, ෆෙඩරල් රිසර්ව් හී සභාපති ලෙස පෝල් වෝකර් පත් කලේය. මෙම පත්කිරීම සිදුකල අවස්තාව අර්ථභාරීය. මක් නිසාද යත් එය සිදු වන්නේ කාටර් පරිපාලනය හෙම්බත් කල 1977-78 ගල් අඟුරු වැඩ වර්ජනයෙන් පසුව වීම නිසාය.

වෝකර්ගේ ආර්ථික සහ මූල්‍ය න්‍යාය පත‍්‍රය අභිප්‍රේරනය කරනු ලැබුවේ, මූලික පන්ති ප‍්‍රතිෂ්ඨාවන් විසින්ය. එහි ඉලක්කය වූයේ, ඊට කලින් දශක වල කම්කරු පන්ති සටන්කාමීත්වයේ කේන්ද්‍රක ස්ථානය වූ ඇමරිකානු කර්මාන්ත වලින් විශාල ප‍්‍රමානයක් විනාශය කරා මෙහෙයවූ, මූල්‍ය කොන්දේසි නිර්මානය කිරීමයි.

1930 ගනන් වලින් පසුව ඇතිවූ වඩාත්ම අර්ථභාරී ආර්ථික පසුබැස්ම කරා මෙහෙයවූ මූල්‍ය ක්‍රියාමාර්ග වලට වඩා වැඩි දෙයක් එහි තිබුනි. වර්ජනයේ යෙදුන 11359ක් වූ සියලුම සේවකයන් රැකියාවෙන් දොට්ට දමමින්, 1981 පැට්කෝ ගුවන් ගමන් පරිපාලකයන්ගේ වැඩවර්ජනය බිඳ දැමීම ඇතුලූ, රේගන් යටතේ මුදා හරින ලද ධනේශ්වර රාජ්‍ය ප‍්‍රහාරයක් හරහා, පන්ති යුද්ධ වැඩසටහන බලගැන්වුනි.

රේගන් විසින් පැට්කෝ කම්කරුවන් සේවයෙන් පහකිරීම සහ අප ලේඛනගත කිරීම, සංගතවල සහ ආන්ඩුවේ වැඩවර්ජන බිඳ දැමීමේ සහ රථවාහන, වානේ, පතල්, ප‍්‍රවාහන, මස් ඇසුරුම් සහ අනෙකුත් කර්මාන්ත වල වෘත්තීය සමිති පොඩිකර දැමීමේ රැල්ලක් සම්බන්ධ සංඥාව විය. එම ක්‍රියාවලිය දස වසකට වඩා ඇදී ගියේය.

වොර්කර් විසින් පසුව සඳහන් කල ආකාරයට, රේගන් පරිපාලනයේ ක්‍රියාකලාපය “උද්ධමනකාරී තත්වය ආපසු හැරවීමට” “ප‍්‍රධාන සාධකයක්” විය. මෙහිදී වෝර්කර් සඳහන් කලේ වැටුප්, රැකියා සහා ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරුවන් විසින් සිදුකල සටන්කාමී අරගල මැඞීමයි.

බ්‍රිතාන්‍යයේ තැචර් ආන්ඩුව විසින් 1984-85 පතල්කරුවන්ගේ වැඩවර්ජනය පොඩිකර දැමීම කේන්ද්‍රී ය සංරචකයක් වූ, පාලක පන්තිය විසින් සිදු කල ලෝක පරිමාන ප‍්‍රහාරයක්, පැට්කෝ සිද්ධියෙන් පසුව ක්‍රියාත්මක විය.

මෙම ප‍්‍රහාරය වෘත්තීය සමිති වල නිලධාරීන්ගේ සෘජු සහයෝගීත්වයෙන් තොරව කිරීමට නොහැකි විය. ඇමරිකාව තුල ඒඑෆ්එල් - සීඅයි ඕ සංවිධාන, පැට්කෝ අරගලයට හොරිකඩ කම් කල අතර බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිති කොන්ග‍්‍රසය පතල් කම්කරුවන්ට සහාය දීම ප‍්‍රතික්ෂේප කලේය. මෙම රටාව, කම්කරුවන්ගේ පරාජය සහතික කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සෑම අර්ථභාරී අරගලයක් තුලම නැවත නැවතත් සිදු විය.

මෙම පරාජයන්ගේ ප‍්‍රථිපලයක් ලෙස නව දේශපාලන සම්බන්ධයක් ස්ථාපිත විය. වෘත්තීය සමිති තව දුරටත් මොනම ආකාරයකින්වත් කම්කරු පන්තියේ ඉතාම කුඩා අවශ්‍යතාවන්ගේ පවා ආරක්ෂකයන් ලෙස ක්‍රියා කිරීමෙන් වැලකුනි. ඒ වෙනුවට, සෑම රටකම සංගත වල “ජාත්‍යන්තර තරඟකාරීත්වය” සහතික කිරීමේ ජාතිකවාදී බැනරය යටතේ ප‍්‍රාග්ධනයේ අන ක්‍රියාත්මක කරන්නන් බවට ඒවා පත් විය. මාක්ස්ගේ න්‍යාය විස්තර කරන ආකාරයට, ධනපති ආර්ථිකයේ සහ එහි මූල්‍ය පද්ධතියේ පදනම වන කම්කරු පන්තියෙන්, ධනපති පන්තිය සඳහා අතිරික්ත වටිනාකම් මිරිකා ගැනීමේ කේන්ද්‍රීය යාන්ත‍්‍රනයක් බවට ඔවුන් පත් විය.

වෘත්තීය සමිති සංස්ථාපිතයේ දායකත්වය යටතේ පන්ති අරගලය මර්දනය කිරීම, 1980 ගනන්වල ආරම්භවී 1990 ගනන්වල වේගවත්වූ සහ නව ශතවර්ෂයකට ද විහිද ගිය, මූල්යාකරනය නැගීමේ මූලික සාධකයි.

2008 මූල්‍ය අර්බුදයෙන් පසු ලෝකයේ ප‍්‍රධාන බැංකු වල මූල්‍ය ගනුදෙනු වලට එය පුර්ව කොන්දේසිය බවට පත් විය. ඩොලර් ට්‍රිලියන ගනනින් මූල්‍ය පද්ධතියට පොම්ප කරමින්, එම නිසාම ඓතිහාසිකව පෙර නොවූ විරූ ආකාරයෙන් ධනය ගෝලීය ධනේශ්වර කතිපයාධිකාරය වෙතට යලි හරවා ඇති ආන්ඩු සහ මහ බැංකු, ඔවුනට සහන සැලසීය. ලෝක ආර්ථිකයේ මෙම කොල්ල කෑම සඳහා වූ ප‍්‍රධාන යාන්ත‍්‍රනය වූයේ, කොටස් සහ බැඳුම්කර වෙලඳපලවල් තුලට සිදුකරන ලද දැවැන්ත කඩාපැනීමය. එය කම්කරු පන්තියේ සමාජ කොන්දේසි සහ වැටුප් වල අඛන්ඩ පිරිහීම තුල ප‍්‍රකාශයට පත් විය.

යමෙකුට මතුකරන්නට සිදුවන ප‍්‍රශ්නය මෙයයි: ඇමරිකාව සහ අනෙකුත් ප‍්‍රධාන ධනේශ්වර රටවල්, වර්ධනය වන පන්ති අරගලයකට මුහුන දී තිබුනි නම්, කොටස් වෙලඳපොල වාර්තාගත ඉහල නැගීමට මෙන්ම, සැබවින්ම රැයක් ගෙවෙන විට එක පිට එක වශයෙන් බිලියන ගනන් ඉපයීමට ධනපතියන්ට හැකිවන්නේ ද?

මූල්‍ය වෙලඳ පලවල් සම්බන්ධ අනාගත වර්ධනයන් කෙසේ වුව ද 3දා සිද්ධීන් ඉතා වැදගත් ආර්ථික සහ පන්ති සම්බන්ධතා පහදා දෙයි. සමාජයේ මූල්‍ය තුඩෙහි සංකේන්ද්‍රනය වී ඇති දැවැන්ත ධන සම්භාරය, අවසාන විග‍්‍රහයේදී, ලෝකයේ හැම තැනම සිටින කම්කරුවන්ගේ ශ‍්‍රමය මගින් නිෂ්පාදනය කරන ධනය, ඉතා සුලු පිරිසක් විසින් අත්පත් කරගන්නා යෝධ උරාගැනීමේ වැඩපිලිවෙලක ප‍්‍රතිපලයකි.

වර්ධනය වන කම්කරු පන්ති ව්‍යාපාරයක් පිලිබඳ භීතිය මගින් නිර්මානය කල මූල්‍ය වෙලඳපලවල කැලඹීම, ඇමරිකාවේ පමනක් නොව ජාත්‍යන්තරවම, පන්ති අරගලය මර්දනය කිරීමට පසුගිය දශක හතර පුරාවට සේවයේ යෙදවූ යාන්ත‍්‍රනයන් බිඳ වැටීම සම්බන්ධ භීතිය තුලින් ගලා එයි.

මෙය කම්කරු පන්තිය මුහුන දෙන මූලික දේශපාලන අභියෝගයන් පෙන්වාදෙයි. ඉහල වැටුප් සඳහා සහ සූරාකෑමේ පෙර නොවූ විරූ කොන්දේසි අවසාන කිරීමට ජාත්‍යන්තරව සිදුවන කම්කරු පන්තියේ තල්ලුව, ඉහලින් එන දුෂ්ඨ ප‍්‍රතිචාරයක් සමග අභිමුඛ වනු ඇත. මක් නිසාද යත් එය පහර දෙන්නේ ධනේශ්වර ධන සංකේන්ද්‍රනයේ අති මූලික පදනමට නිසාය.

කම්කරු පන්තියේ ඉල්ලීම් සඳහා ධනපති පාලක පන්තිය කිසියම් සාමකාමී ප‍්‍රතිචාරයක් දක්වනු නැත. මක් නිසාද යත්, ඔවුන් අරා සිටින සමස්ත ලාභ පද්ධතියම ප‍්‍රතිඝතිතතාවන් මාලාවකින් ඉරිතලා තිබීමයි. සමස්ත මූල්‍ය පද්ධතිය බිඳ වැටීමේ හැකියාව, තීව‍්‍ර වන වෙලඳ සහ මූල්‍ය ගැටුම්, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ගැන විශ්වාසය බිඳ වැටීම පමනක් නොව ලෝක යුද්ධය පිලිබඳ වර්ධනය වන තර්ජනය සහ ඉහල යන දේශපාලන අස්ථාවරත්වය ද එහි තිබේ.

කම්කරු පන්තිය මුහුන දෙන අරගලය, වෘත්තීය සමිති ප‍්‍රතිසංස්කරනවාදය විසින් කලින් ප‍්‍රකාශයට පත් කල රැවටිලි සහගත ඉලක්කයන් පදනම් කරගෙන පෙරට යා නොහැක: “සාධාරන දිනයක වැඩ සඳහා සාධාරන දිනයක වැටුප.” ඇත්තෙන්ම එය, මාක්ස් පැවසු ආකාරයට “අත්පත්කර ගන්නන් අත්පත්කර ගැනීම” මත පදනම් වූ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක වර්ධනය හරහා ලාභ පද්ධතිය බලයෙන් පහ කිරීමට මෙහෙය විය යුතුය.

නික් බීම්ස්

Share this article: