වෘත්තීය සමිතිය හම්බන්තොට වරාය කම්කරු අරගලය පාවා දෙයි

නන්දන නන්නෙත්ති විසිනි, 2018 ජනවාරි 26

චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් සමාගමට හම්බන්තොට වරාය පැවරීමත් සමග රැකියා අහිමි වූ වරාය කම්කරුවන්ගේ, දින හැටක අඛන්ඩ අරගලය වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහගේ පොරොන්දුවකට යටත් කර අවසන් කිරීමට මාගම්පුර වරාය සේවක සමිතිය සමිතිය (මාවසේස) ජනවාරි 19 දා තීන්දු කලේ ය.

ඒ අනුව දොට්ට දැමූ කම්කරුවන් 438 දෙනාගෙන් 135කට පමනක් “සුදුසුකම්” මත වරාය අධිකාරියේ රැකියා ලබා දීමට ද ඉතිරි පිරිසට ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට ද “පොරොන්දු” වූ බව බව ජනවාරි 23 වෙනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක දී ඇමති සමරසිංහ ප‍්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් ආන්ඩුව විසින් පත්කෙරුනු අනිවාර්ය බේරුම්කරු සහ වෘත්තීය සමිතිය අතර ගිවිසුමක් ඊයේ අත්සන් කිරීමට නියමිත ව තිබුනි.

මාගම්පුර වරාය සමාගම යටතේ සේවයේ යොදවා සිටි මෙම කම්කරුවන්ට වරාය අධිකාරියේ රැකියා ලබාදීමේ “නීත්‍යානුකුල අවශ්‍යතාවයක්” නැතත් “මනුෂ්‍යත්වය” සලකා එම තීරනය ගත් බව ද සමරසිංහ එහිදී සඳහන් කර ඇත. ඇමතිගේ උද්ධච්ච ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ කම්කරුවන් කෙරෙහි ධනපතියන්ගේ හා ආන්ඩුවේ පිලිකුල් සහගහත ආකල්පයයි.

2016 දෙසැම්බර් මාසයේ සිට කම්කරුවන්ගේ යුක්තියුක්ත අරගලය කඩාකප්පල් කිරීම සඳහා හමුදාව හා පොලීසිය යොදාගෙන පහර දීම, අධිකරන වාරන නියෝග, වරාය පරිශ‍්‍රයට ඇතුලුවීම වැලක් වීම ඇතුලු වසරක් පුරා යොදාගත් නොයෙකුත් මර්දනකාරී පියවර අසාර්ථක වූ තැන ආන්ඩුව මේ පොරොන්දු දී ඇත්තේ අවශේෂ කම්කරුවන්ගේ අවධානය එම අරගලය කෙරෙහි යොමුවන තත්වයක් තුලය. හම්බන්තොට වරාය කම්කරුවන් විරෝධතා ගෙනගියේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට විරුද්ධව පන්ති සටන් වර්ධනය වන තත්වයක ය.

ඊනියා “විසඳුම්” ලබාදීම ද මැතිවරන සමයක කල නොහැකි බව පවසමින් ඒවා “ඉටු කිරීම” මැතිවරනය අවසන් වන තුරු කල් දමා ඇත. රැකියා අහිමි වූ කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම හෝ ඔවුන්ට වන්දි ලබා දීම මැතිවරන නීතිය යටතේ තහනම් කිරීමට හේතුවක් නැත. එහෙයින් මෙම පොරොන්දු රැකියා සඳහා අරගලය කඩාකප්පල් කිරීමේ ප්‍රෝඩාකාරී ක්‍රියාවක් වීමට හොඳට ම ඉඩ තිබේ.

ආන්ඩුවේ විසඳුම වෘත්තීය සමිතිය හරහා කම්කරුවන් මත පැටවීමේ අතරමැදි තැරැව්කාරයා ලෙස ක්‍රියාකර ඇත්තේ කම්කරු විරෝධී හා වර්ගවාදී ජාතික හෙල උරුමයේ නායකයෙකු වන ඕමල්පේ සෝභිත භික්ෂුව ය. සමරසිංහ ඒ සම්බන්ධයෙන් සෝභිත භික්ෂුවට ස්තුති කර ඇත.

රැකියා යලි ලබා දීම හෝ රැකියා අහිමි වූවන් සඳහා එක් අයෙකුට ලක්ෂ පනහක වන්දියක් ලබාදීම පිලිබඳ ඉල්ලීම් අතහැර ආන්ඩුවේ පොරොන්දු පිලිගෙන කම්කරුවන්ගේ අරගලය නතර කල මාවසේස රැකියා අහිමි කිරීමට විරුද්ධව කම්කරු උසාවියේ සහ ශ්‍රේෂ්ඨාධිකරනයේ පවරා තිබු නඩු ඉවත් කර ගැනීමට ද පියවර ගෙන ඇත.

ආන්ඩුවේ විසඳුම “ජයග‍්‍රහනයක්” ලෙස හුවා දක්වන සමිතිය තදුරටත් කම්කරුවන් මුලා කිරීම පිනිස “සමරහරවිට පොරොන්දු වූ දස ලක්ෂය ට වඩා මුදලක් වන්දි වශයෙන් ලැබෙනු ඇතැ” යි කම්කරුවන්ට කියා ඇත. ආන්ඩුවේ පොරොන්දුව පිලිගෙන අරගලය නතර කලේ ඇයිදැයි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් විමසූවිට වෘත්තිය සමිතියේ සභාපති වීර ඔමේෂ් කියා සිටියේ තමන්ට කරන්නට අන් කිසිවක් නොවූ බව ය. “අපට ආන්ඩු පෙරලන්න බැහැ” යි ඔහු තව දුරටත් පැවසුවේ ය.

අරගලයේ නිරතව සිටි වලස්මුල්ල පෙදෙසේ ලක්මාල් රත්නපාල ප‍්‍රකාශ කලේ ආන්ඩුව සහ සමිතිය අතර ඇතිකරගෙන තිබෙන එකඟතාව කිසිසේත්ම ජයග‍්‍රහනයක් ලෙස තමන් පිලි නොගන්නා බවත් ඇත්තට ම සිදුව ඇත්තේ පාවාදීමක් බවත් ය. ආන්ඩුවේ යෝජනා සම්බන්ධයෙන් සමිති නායකයන් කලේ අදහස් විමසීමක් වත් නොකර හිතුවක්කාර ලෙස ඒවා කම්කරුවන් මත පැටවීමක් බව රත්නපාලගේ ප‍්‍රකාශයෙන් පැහැදිලිය.

වන්දි මුදලක් ලබාගෙන ස්වේච්ජාවෙන් රැකියා හැර යන ලෙස මාගම්පුර වරාය කලමනාකාර පුද්ගලික සමාගම නොවැම්බර් 20 දා කල යෝජනා ප‍්‍රතික්ෂේප කල කම්කරුවන් තම පවුල්වල සාමාජිකයන්ද කැටුව උද්ඝෝෂනයට සහභාගි වීමේදී එක ම අභිලාශය වූයේ රැකියා සුරක්ෂිත කර ගැනීමය.

එහෙත් වෘත්තිය සමිතියට ඒ සඳහා ක්‍රියා මාර්ගයක් නොවූ අතර ඇමති සමරසිංහ සමග දිගින් දිගට ම සාකච්ජා පවත්වා අවසානයේදී 250කට රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ඹහුගෙන් ඉල්ලා සිටියේය. ඔහු එය එකහෙලා ප‍්‍රතික්ෂේප කලේ ය.

දැන් සමිති නායකත්වය කියා සිටින්නේ 135කට පමනක් රැකියා දීම සඳහා මුලින් ඉදිරිපත් කල යෝජනාවට වඩා වර්තමාන යෝජනාව වාසි සහගත බවය. මුල් ඉල්ලීම අතහැර දෙවන යෝජනාවට එකඟවීම ගැන සමිතිය තම යටත් වීම සාධාරනීයකරනය කරන්නේ පෙර යෝජනාව තාක්ෂනවේදී සුදුසුකම් ඇති අයට පමනක් සීමා වූ අතර දැන් සාමාන්‍ය පෙල සුදුසුකම ද පිලි ගැනීමට ඇමති එකඟවූ බව පවසමිනි.

හම්බන්තොට වරාය කම්කරුවන් ගේ ඉල්ලීම් ගැටෙන්නේ අර්බුදයේ ගිලූනු ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කෙරුනු රාජ්‍ය ආයතන පුද්ගලීකරනයකිරීම ඇතුලු ප‍්‍රහාර ක්‍රියාවට දමමින් ගෙනයන ආර්ථික පිලිවෙත් සමග නිසා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදකව අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය අරගලයට දිනා ගැනීමේ අවශ්‍යතාවය සමාජවාදී සමානතා පක්ෂය (සසප* 2016 දෙසැම්බර් අරගලය පුපුරා ගිය අවස්ථාවේ සිට එක දිගට අවධාරනය කලේ ය.

වෘත්තිය සමිතිය එයට එරෙහි වූයේ කම්කරුවන්ට “දැන් තිබෙන ප‍්‍රශ්නයට විසඳුමක්” මිස ඒ සා දුරදිග යන අරගල අවශ්‍ය නොවන බව කියමිනි. සමිති නායකයන් මුල සිටම වැඩ කලේ ආන්ඩුවට සහ වරාය අධිකාරියට බලපෑම් දැමීම මගින් රැකියා යලි ලබා ගත හැකිය යන මිත්‍යාවකට කම්කරුවන් කොටුකර තැබීමට ය.

රැකියා අහිමි වූ කම්කරුවන්ගේ අරගලය වටා අවශේෂ වැඩකරන ජනතාවගේ සහාය ගොනු කර ගැනීම වෙනුවට ඔවුන් පෙලගැසුනේ ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, බෞද්ධ භික්ෂුන් සහ ඊනියා බහුජන සංවිධාන සමග ය. එමගින් ඔවුන් කලේ කම්කරුවන්ගේ අරගලය හුදකලා කොට ඔවුන් මත රැකියා කප්පාදුව පැටවීමට කොන්දේසි සකස්කර දීමය.

Share this article: