මධ්‍යම කඳුකරයේ වෙන්චර් වත්තේ කම්කරුවෝ දුෂ්කර කොන්දේසිවලට එරෙහි ව අරගල කරති

இலங்கை: வென்சர் தோட்டத் தொழிலாளர்கள் கடுமையான நிலைமைகளுக்கு எதிராக வேலைநிறுத்தம் செய்தனர்

එම්. දේවරාජා විසිනි, 2018 ජනවාරි 25

මධ්‍යම කඳුකරයේ නෝවුඩ්හි, වෙන්චර් වත්තේ කොටස් හතරේ වැඩකරන කම්කරුවෝ 800 දෙනා දුෂ්කර කොන්දේසිවලට එරෙහි ව ජනවාරි 22 දා වැඩ වර්ජනයකට ගිය හ. වැඩවර්ජනයට ආසන්නතම හේතුව වූයේ ට‍්‍රැක්ටරයක් පෙරලීමෙන් එහි ගමන්ගත් කම්කරුවන් පස් දෙනෙකුට තුවාල සිදුවීම යි. ට‍්‍රැක්ටරය පෙරලී ගියේ එහි අධික ලෙස තේ ද පටවා තිබීම නිසාය. මෙම අනතුර පිලිබඳ වගකිව යුත්තේ වතු සමූහය අයිති මඩොල්සිම වතු සමාගමේ කලමනාකාරීත්වය බවට කම්කරුවෝ චෝදනා කල හ.

වම් කෙලවරේ අනතුරට ලක්වූ සිවයෝගරාජා ඔහු අසලින්ම - සුරේෂ් කුමාර් සහ ඔවුන්ගේ පවුල්වල අය

සිද්ධිය විස්තර කල කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ කීවේ ය: “ට‍්‍රැක්ටරය තිබුනේ හොඳ තත්ත්වයක නෙවෙයි. ඒකෙ පටවන්න පුලුවන් දලූ කිලෝ 1,500ක් විතරයි. ඒත් එදා දලු කිලෝ 2,500කටත් වැඩිය පටවලා තිබුනා. කලින් වතාවකත් එක් කම්කරුවෙක් ට‍්‍රැක්ටරයෙන් ඇදගෙන වැටුනා. ඒ පිලිබඳ ව කම්කරුවන් පැමිනිලි කලවිට සහකාර කලමනාකාර අසිස් පෙරෙයිරා කියා සිටියේ වත්තට තිබෙන්නේ එක් ට‍්‍රැක්ටරයක් පමනක් බව හා එයට විකල්පයක් නැති බව යි. මේ සිද්ධියට කලමනාකාරීත්වය වගකිව යුතුයි.”

“පොලීසියට පැමිනීමට පෙර අනතුර සිදු වූ ස්ථානයෙන් ට‍්‍රැක්ටරය ඉවත් කරගැනීමට කලමනාකාරීත්වය කටයුතු කලා. ඒගොල්ලො එහෙම කලේ තමන්ගෙ අත්වැරැද්ද වහගන්න. තුවාල ලැබූ කම්කරුවන් ව ඉස්පිරිතාලෙට කම්කරුවන් තමන්ගෙ ම වියදමින් අරගන ගියා,” යයි තවත් කම්කරුවෙක් පැවසුවේය.

එස්. සිවයෝගරාජා, පද්මනාදන්, දයාපරන්, කලයිකුමාර් හා ෆ‍්‍රැන්සිස් යන කම්කරුවෝ අනතුරින් තුවාල ලැබූ හ. බරපතල තුවාල හේතුවෙන් පද්මනාදන් මහනුවර මහරෝහලට ඇතුලත් කෙරුනි. අනෙක් අය දික්ඔය ග්ලැන්ක්ගන් රෝහලට ඇතුලත් කරන ලදී. 25 හැවිරිදි එස්. සිවයෝගරාජාට අනතුරින් දත් දෙකක් අහිමි විය. එහෙත් පවුලේ උත්සවයකට සහභාගි වීම පිනිස තාවකාලික ව නිවසට ආපසු එවනු ලැබී ය.

වැඩ වර්ජනයට ආසන්න හේතුව මෙම සිද්ධිය වුවත් එයට සැබෑ හේතුව වන්නේ වෘත්තීය සමිතිවල ද පිටුබලය සහිත ව කලමනාකාරීත්වය කම්කරුවන්ගේ වැඩ කොන්දේසි මතට එල්ල කරන ප‍්‍රහාර යි.

කලමනාකාරීත්වය ගිය වසරේ වත්තේ තේ කම්හල වසා දැමූ අතර ඒ හේතුවෙන් බොහෝ කම්කරුවන්ට රැකියා අහිමි විය. වැඩ වර්ජිත කම්කරුවන්ගේ එක් ඉල්ලීමක් වූයේ කම්හල වහා ම විවෘත කිරීම යි.

වත්තේ සමහර කම්කරුවන් තාවකාලික පදනමේ වැඩ කරති. තුවාල ලැබූ සිවයෝගරාජා පසුගිය වසර 11 තිස්සේ තාවකාලික පදනමින් රුපියල් 330ක දෛනික වැටුපකට වැඩකරමින් සිටියේ ය.

කම්කරුවන්ගේ විරෝධතාව ආරංචි වූ ලංකා කම්කරු කොංග‍්‍රසය (ලංකකො), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (කජපෙ) යන ඒවායේ ප‍්‍රාදේශීය නායකයෝ හැල්මේ වත්තට දිවගෙන ආවෝ ය. ඔවුන් පැමිනියේ කම්කරුවන්ගේ අරගලයට උදවු කිරීමට නො ව එය නවත්වා කලමනාකාරීත්වයට උදවු කිරීමට යි.

කලමනාකාරීත්වය සමග සාකච්ඡා කල ඔවුහු කම්කරුවන්ට ආපසු වැඩට යන ලෙස කී හ. විරෝධතාව පිලිබඳ ව කලමනාකාරීත්වය විසින් දැනුම් දුන් විට පොලීසිය ද කන්ඩායමක් පිටත් කර එවා තිබුනි.

මාස හයක් වසා තිබූ තේ කම්හල විවෘත කිරීමට කලමනාකරනය එකඟ වූ අතර දැන් එය ක්‍රියාත්මකය. ලංකකො හා එන්යූඩබ්ලිව් නායකයෝ අනතුරට පත් කම්කරුවන්ට වන්දි ගෙවීම ගැන සාකච්ඡාවක් වත් නො කල අතර, අනතුර මත් යටගසන බවට පෙනෙන්නට තිබේ.

කම්හල ඉක්මනින් විවෘත කලේ කම්කරුවන් ආපසු වැඩට යැවීම සඳහා තාවකාලික පැලැස්තරයක් ලෙස බව පෙනෙන්නට තිබේ. සමිති නායකයන්ගේ මැදිහත් වීමට තවත් හේතුවක් වන්නේ වර්ජනය දිගට ම පැවතීම අනෙක් කම්කරුවන්ගේ ද සහයෝගය ලබාගනී ය යන භීතිය යි.

එකකට පසු තවෙකක් වසයෙන් පාවාදීම් සිදුකොට අපකීර්තියට පත් ව ඇති වෘත්තීය සමිති එලඹෙන පලාත් පාලන මැතිවරනයේ දී වතු කම්කරුවන්ගේ ඡන්ද උදුරා ගැනීම සඳහා වියරු උත්සාහයක හා තරඟයක යෙදී සිටිති. දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක මෙම වෘත්තීය සමිති පලාත් පාලන ආයතනවලට හා පාර්ලිමේන්තුවට තේරී පත්වීම ධනේශ්වර රාජ්‍යයට සේවය කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය ලෙස සලකති.

තවත් කම්කරුවෙක් ලෝසවෙඅ වෙත මෙසේ කීවේ ය: “මේ සමිති වහා ම දුවගෙන ආවෙ පලාත් පාලන ඡන්දෙ හින්ද යි. එහෙම නැත්නම් ඔවුන් අපේ ප‍්‍රශ්න ගැන කතාකරන්න එන්නෙ නැහැ. දරුනු වැඩ කොන්දේසි හා කම්හල වැසීම ගැන අපි පැමිනිලි කලත් ඔවුන් කවදාවත් මෙහේ ආවෙ නැහැ. කම්හල පවත්වාගෙන යාමට තරම් තේ දලූ අස්වැන්නක් නැති ය යන කලමනාකාරීත්වයේ ආස්ථානය සමිති නායකයෝ සාධාරනීරකරනය කලා. ඔවුන්ගේ උදවුව ද ඇතිව මේ වත්තෙ තේ දලු මඩොල්සිම වතු සමාගම යටතේ ම පවතින කිව් වත්තෙ කම්හලට ප‍්‍රවාහනය කරනවා.”

වත්තේ රුදුරු කොන්දේසි ගැන එස්. සුරේෂ් කුමාර් මෙලෙසින් විස්තර කලේ ය: “වත්තෙ කලමනාකරුවන් මටයි මගේ බිරිඳටයි වැඩ දෙන එක ප‍්‍රතික්ෂේප කලා. ලමය හම්බ වුන හින්ද මගේ බිරිඳ වැඩට ගියේ නැහැ. මාතෘ නිවාඩු ඉවර වෙනවත් එක්ක ම එයාගෙ ලෙඩක් හින්ද වැඩට යන්නත් බැරි වුනා. දැන් එයාට වැඩට යන්න පුලුවන් වුනත් කලමනාකරුවො වැඩ දෙන්නෙ නැහැ. එයාගෙ ස්ථීර රැකියාව නවත්වල තාවකාලික ව වැඩට එන්න කියල ඒගොල්ලො කිවුව. මටත් වුනේ ඒකම යි. මම ලෙඩ වෙලා මාස හතරක් වැඩට යන්න බැරුව හිටිය. කලමනාකරුවො වැඩ දෙන එක ප‍්‍රතික්ෂේප කලා. අපි ජීවත් වෙන්නෙ දුෂ්කර කොන්දේසි යටතෙ.”

මේ වත්තෙ බොහෝ කම්කරුවන්ට වැසිකිලි හා ප‍්‍රමානවත් ජල පහසුකම් නැත.

“වෘත්තීය සමිතිවලින් වැඩක් නැහැ. ඒගොල්ලො අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නෙ නැහැ. බලයෙ ඉන්න කිසි ආන්ඩුවක් අපිට උදවු කරන්නෙ නැහැ. මේ ඡන්දෙදි ඡන්ද දුන්න කියල ඇති වැඬේ මොකද්ද?”

වෙන්චර් වතු සමූහයේ තත්ත්වය වතු කම්කරුවන්ගේ දුෂ්කර කොන්දේසි පිලිබඳ තවත් ප‍්‍රකාශනයකි. ආන්ඩුවේ ආශීර්වාදය හා වෘත්තීය සමිතිවල උදවුව ලබන වතු සමාගම්, ලෝක වෙලඳපොලේ දී මුහුන දෙන අර්බුදයේ බර පැටවීම සඳහා කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා අනෙකුත් කොන්දේසිවලට ක‍්‍රමානුකූල ව ප‍්‍රහාර එල්ල කරති.

Share this article: