ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ “නුසුදුසුකම” පිලිබඳ උද්ඝෝෂනය

The campaign over the “unfitness” of Donald Trump

2018 ජනවාරි 8

ට‍්‍රම්ප් පරිපාලනයේ මුල් මාස පිලිබඳව මයිකල් වොල්ෆ්ගේ රහස් තොරතුරු ප‍්‍රකාශයට පත්වීම, එනම් Fire and Fury (ගින්දර සහ භීෂනය) කෘතිය, ට‍්‍රම්ප් ජනාධිපතිවරයකු වීමට මානසිකව යෝග්‍ය නොවන බවට වන චෝදනා කැටිකරගත්, මාධ්‍ය ගිනි ජාලාවකට පාදක වී ඇත. මාධ්‍ය පන්ඩිතයන් සහ ඩිමොක‍්‍රටික් දේශපාලඥයන්, ජනාධිපතිවරයා අදක්ෂ යැයි ප‍්‍රකාශයට පත්කල යුතුබව ඉල්ලා සිටීමට, කෘතිය තුල ට‍්‍රම්ප් නිරූපනය කර ඇති ආකාරය උපුටා දක්වා ඇත. එය සාර්ථක වේ යයි උපකල්පනය කලහොත්, එවැනි ක‍්‍රියාවලියක ප‍්‍රතිපලය වනු ඇත්තේ මයික් පෙන්ස් (උප ජනාධිපති) ජනාධිපති වීමයි.

ට‍්‍රම්ප් සුපුරුදු පරිදි ගින්දරට තෙල් වක්කලේය.

ප‍්‍රථමයෙන්ම, කෘතිය යටපත් කිරීමට උත්සාහ කරමින්, ලේඛකයාට සහ ප‍්‍රකාශකයාට එරහිව ඔහුගේ නිර්දය තර්ජන සහ ඔහුගේ මැතිවරන උද්ඝෝෂනයේ කලමනාකරු ලෙස සේවය කල, දැන් ෆැසිස්ට්වාදී බ්‍රේයිට්බාර්ට් නිව්ස් හි ප‍්‍රධානී සහ වොල්ෆ්ගේ ප‍්‍රමුඛ ආධාරකරුවා ලෙස සේවය කල, ස්ටෙපන් බැනන්ට එරහි ඔහුගේ දෝෂාරෝපන එල්ල විය. ඊට පසුව, තමන්වම “කෙලින් සිටින බුද්ධිමතෙක්” ලෙස විස්තර කරමින් ට‍්‍රම්ප් තමන්ගේ ඇතැයි කියන බුද්ධිය ප‍්‍රසිද්ධියේ ප‍්‍රසංසාවට ලක් කල ඔහුගේ මන්දබුද්ධික ට්විටර් පනිවිඩ එලිදැක්වුනි.

වොල්ෆ් ගේ ගින්දර සහ භීෂනය, මෑන්හැට්න් ඉහල පැලැන්තියේ ඇදකුද (සහ ඔවුන් සම්බන්ධ හිතලූන්) පිලිබඳ දීර්ඝ කාලීනව වාර්තා කල මෙම වාර්තාකරු විසින් නිෂ්පාදිත ඕපාදූප වින්දනයේ සංකේතයකි. ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය ගැන ඔහුගේ වාර්තාවේ පුදුමයට හේතු වන කිසිවක් නොමැත. දේපල වෙලඳාම් රැවටිලිකාරකු ද වන රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නා සිත එක අරමුනක තබා ගත නොහැකි ආත්මාර්ථකාමී පූච්චානම් දොඩන්නෙකු බව සහ කියවීම පිලිකුල් කරන්නෙකු බව පුදුමයට හේතුවක්වත් අපූරු දෙයක්වත් නොවේ. එය ට‍්‍රම්ප් දසදහස් ගනනක් වූ අනෙකුත් ඇමරිකානු ප‍්‍රධාන විධායක නිලධාරීන්ගෙන් වෙන් කර දක්වන්නේ ද නැත.

වොල්ෆ් ගේ කෘතිය සම්බන්ධයෙන් කෙරෙන මහත් කලබලය, මාධ්‍ය බොහොමයක් විසින් අනුබල දෙන, වොෂින්ටන් කුමන්ත‍්‍රන සහ කටකතා පැතිරවීමේ ක‍්‍රමයන් හරහා ට‍්‍රම්ප් ඉවත් කිරීම සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂය දරන පරිශ‍්‍රමයට උඩගෙඩි දීමකි. 2016 මැතිවරන සමයේදී ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය සහ රුසියාව අතර ඇති වූවායැයි කියන රහස් සන්ධානයක් පිලිබඳ වූ චෝදනාවන් සම්බන්ධයෙන්, විශේෂ උපදේශක රොබර්ට් මුලර්ගේ නායකත්වය යටතේ කෙරෙන පරීක්ෂනය වටා සිදු කෙරීගෙන යන උද්ඝෝෂනයට, මානසික “යෝග්‍යතාවය” පිලිබඳව චෝදනාවන්, අතිරේකයක් සපයයි.

සෙනෙට් මන්ඩලය සහ මන්ත‍්‍රී මන්ඩලයේ හැඩගැස්ම සැලකිල්ලට ගත් කල, ට‍්‍රම්ප්ගේ ඩිමොක‍්‍රටික් පාක්ෂික විරුද්ධවාදීන්, ඔහු දෝෂාභියෝගයට ලක් කිරීම තමන්ට කල නොහැක්කක් යැයි සිතයි. ඔවුන් වඩ වඩාත් විකල්ප මාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. එනම්, මානසික සෞඛ්‍ය ඇතුලුව සෞඛ්‍ය හේතූන් නිසා තම රාජකාරි ඉටු කිරීමට අසමත් යැයි තමන් විසින් සලකන ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට, උප ජනාධිපති සහ කැබිනට් මන්ඩලයේ බහුතරයකට, ඉඩ ලබාදෙන 25 වන ව්‍යවස්ථා සංශෝධනයයි.

ඉහල පෙලේ සහායකයන්, ජනාධිපති විසින් සිදු කරන ලද විශේෂිත වූ ප‍්‍රකාශයක් හෝ ක‍්‍රියාවක්, “25 වන ව්‍යවස්ථා සංශෝධනයේ සීමාව තුල” තබනු ඇත්ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන අතර ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය තුල දිනපතා සිදුකෙරෙන සාකච්ඡාවන්ගේ නිමිත්ත බවට පත්ව ඇත්තේ 25 වන ව්‍යවස්ථා සංශෝධනය බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් වොල්ෆ් ඔහුගේ කෘතියේ දේශපාලන අරමුන පැහැදිලි කලේය. ඒ ඉරිදා “මාධ්‍ය හමුවන්න” නමැති එන්බීසී ප‍්‍රවෘත්ති වැඩසටහනේ පෙනී සිටිමින්ය.

මානසික අයෝග්‍යකම පිලිබඳ චෝදනාවන් පදනම් කරගෙන ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ මෙම උද්ඝෝෂනයට සුලු හෝ ප‍්‍රගතිශීලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයක් නොමැත. එය, ට‍්‍රම්ප් පරිපාලනයේ දක්ෂිනාංශික පිලිවෙත් වලට එරහිව වර්ධනය වන මහජන විරෝධය ගසාකෑමට සහ එය අවමංගත කිරීමට පාලක පන්තියේ සිටින ඔහුගේ විරුද්ධවාදීන්ගේ නවතම උත්සාහය පමනි.

යුද්ධයට, රට තුල මර්දනයට සහ සමාජ අසමානතාවයට ඇති විරෝධයේ වර්ධනයට කුමන හෝ ආකාරයකින් මහජන ආකර්ශනයක් ඇති කල හැකි කරුනු මතු කිරීම ඩිමොක‍්‍රටිකයන් මගහරියි. ට‍්‍රම්ප් ඉවත් කිරීම, ඇමරිකානු කම්කරු ජනතාව මැදිහත් කර නොගෙන, මාලිගා කුමන්ත‍්‍රනයක විධි ක‍්‍රමයන්ගෙන් සිදු කිරීමට ඔවුන් කැමැත්තක් දක්වයි.

කම්කරු ජනතාව අතර ට‍්‍රම්ප්ට එරහිව ඇති විරෝධය සහ ඩිමොක‍්‍රටික් දේශපාලඥයන්, සංගත විසින් පාලනය කෙරෙන මාධ්‍යයේ කොටස් සහ මිලිටරි-බුද්ධි සංස්ථාපිතය තුල සිටින කොටස් අතර ඇති ට‍්‍රම්ප් විරෝධය අතර මූලධර්මාත්මක වෙනසක් ඇත.

ට‍්‍රම්ප්ට එරහි පාලක පන්තියේ විරෝධය කේන්ද්‍රගත වන්නේ විදේශ ප‍්‍රතිපත්තිය පිලිබඳ ප‍්‍රශ්න මුල් කරගෙනය, විශේෂයෙන්ම ක්ලින්ටන් සහ ඔබාමා පරිපාලනය යටතේ ආරම්භ කල රුදුරු රුසියානු විරෝධී ආස්ථානය කුමන හෝ ආකාරයකින් ලිහිල් කිරීමට ඇති විරුද්ධත්වය මතය. ජනාධිපතිවරයාගේ දෝෂ සහගත සහ ප‍්‍රකෝපකාරී හැසිරීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ලෝකය තුල හිමි තැන බිඳ දමමින් සහ ඔහුට යුද්ධයකදී හෝ රට තුල සිදුවන විශාල සමාජ අර්බුදයකදී මහජන සහාය රැලි කර ගැනීම වඩා අසීරු වන්නේය යන ගැඹුරු කනස්සල්ල සමග මෙය අත්වැල් බැඳ ගනී.

එබැවින් ඩිමොක‍්‍රටිකයන් විසින් ට‍්‍රම්ප් වෙත එල්ල කරන විවේචනයන්ගේ ස්වභාවය, රුසියානු විරෝධී උද්ඝෝෂනයේ සිට, ලිංගික අතවර චෝදනා සහ ට‍්‍රම්ප්ගේ ඇතැයි කියන මානසික අසමත්කම පිලිබඳ වර්තමාන කලබැගෑනිය දක්වා වෙයි. සියල්ල ඉලක්ක වී ඇත්තේ රාජ්‍ය, දේශපාලන සංස්ථාපිතය සහ වෝල් වීදිය තුලින් ට‍්‍රම්ප්ට ඇති සහය බිඳ දැමීමටය. කිසිවක් කම්කරු ජනතාවගේ සහය දිනා දැනීම ඉලක්ක කරගෙන නැත.

ට‍්‍රම්ප් රුසියාව පිලිබඳ පරීක්ෂන පවත්වන මුලර් ඉවත් කලහොත් රටපුරා විරෝධතා කැඳවීමට ඩිමොක‍්‍රටිකයන් සූදානම් වී සිටී. ඉමහත් සේ අපකීර්තියට පත්වූ ට‍්‍රම්ප්ගේ සංගත සහ ධනවතුන් සඳහා වූ බදු කැපීමේ වාසිය සලසන නීති සම්මත කිරීමට එරහිව ජනතාව බලමුලු ගැන්වීම සඳහා ඔවුන් එවැනි කැඳවීමක් කලේ නැත. මුස්ලිම් ජනතාවට සහ සරනාගතයන්ට එරහි ඔහුගේ ගමනාගමන තහනමට, සංක‍්‍රමනිකයන්ට එරහි ඔහුගේ නඩු දැමීම් වලට, ෆැසිස්ට්වාදී අන්ත දක්ෂිනාංශිකය සමග ඔහුගේ තුරුල්වීමට හෝ කොරියාවට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීම පිලිබඳ ඔහුගේ තර්ජනයන් ට එරහි මහජන විරෝධයට ද ඔවුන් කිසිදු මැදිහත්වීමක් කලේ නැත.

ට‍්‍රම්ප් දුෂ්ඨ ආක‍්‍රමනිකයෙකු ලෙස නිරූපනය කරන අතරතුරම, මිලිටරිවාදය, ධනවතුන්ගේ බදු කැපීම, සහ කම්කරුවන් සඳහා කප්පාදුව සම්බන්ධ ඔහුගේ පිලිවෙත්, පසුගිය දශක හතර පුරාවට ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් ජනාධිපති වරුන් විසින් ඉදිරියට ගෙන ගිය ඇමරිකානු මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ වැඩපිලිවෙල තීව‍්‍ර කරමින්, අඛන්ඩව ඉදිරියට ගෙනයයි.

වෝටර්ගේට් සෝලිය, ඉරාන-කොන්ට‍්‍රා අර්බුදය සහ ක්ලින්ටන් ධුරයෙන් පහ කිරීම අඟුටුමිටන් බවට පත් කරන අන්දමට තීව‍්‍ර මට්ටමකට ලඟා වී ඇති එක්සත් ජනපදයේ ගැඹුරු වන දේශපාලන අර්බුදයට වෛෂයික සමාජ ස්වභාවයක් පවතී. එය ට‍්‍රම්ප්ගේ අසමත්කමෙහි හෝ ඔහු විසින් ජනාධිපතිවරනයේදී පරාජය කල ඩිමොක‍්‍රටිකයන්ගේ හිතරිදවන හැඟීම් වල නිෂ්පාදනයක් නොවේ, ඒ වෙනුවට එය ඇමරිකානු ධනවාදය තුල ඇති සමාජ ප‍්‍රතිඝතිතාවන්ගේ නිෂ්පාදනයකි.

ඇමරිකානු බිලියනපතියන් තුන්දෙනෙකු අත ජනගහනයේ දුප්පත්ම සියයට 60 අත ඇති ධනයට සමාන ධනයක් හිමි තැනට ආර්ථික අසමානතාවය පැමින ඇත. කම්කරු ජනතාවගෙන් අතිමහත් බහුතරයකගේ ජීවන තත්වයන් වසර හතලිහක් පුරාවට එක තැන පල්වෙමින් හෝ පහත වැටී ඇත. විදේශයේදී නිමක් නැති අධිරාජ්‍යවාදී යුද්ධ සහ රට තුල සමාජ තත්වයන් පිරිහෙමින් පවතින කොන්දේසි යටතේ ඇමරිකානු තරුනයින් හැදී වැඩී ඇත. ප‍්‍රගතිශීලී වෙනසක් පිලිබඳ කුඩා හෝ අපේක්ෂාවක්වත් නොදෙන ධනේශ්වර පක්ෂ දෙක සම්බන්ධයෙන් ඇත්තේ පුල්ල්ව පැතිර පවතින අතෘප්තියකි.

පාලක ප‍්‍රභූව තුල පවතින අර්බුදයේ වියරු ස්වභාවය, එක්සත් ජනපදය තුල සිදුවීමට අසන්නව ඇති සමාජ සහ දේශපාලන පිපිරීම පිලිබඳ සංඥාවන්ගෙන් එකක් පමනි. නමුත්, අපචාර ඉස්මත්තට ගෙන ඒම සහ කුමන්ත‍්‍රන වැනි ක‍්‍රියා මාර්ග මගින් ට‍්‍රම්ප් ඉවත්

කිරීම, කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනයට සහ බලමුලුගැන්වීම ට කිසිදු ප‍්‍රතිපදානයක් නොකරයි. ඊට ප‍්‍රතිපක්ෂව ඩිමොක‍්‍රටිකයන්ගේ සහ ඔවුන්ගේ මාධ්‍ය සහායකයන්ගේ ඉලක්කය වන්නේ, ට‍්‍රම්ප් පරිපාලනයට පමනක් නොව සංගත විසින් පාලනය කෙරෙන ද්වි පක්ෂ ව්‍යුහයට සහ සමස්තයක් ලෙස ධනේශ්වර පද්ධතියටම තර්ජනය කරන පහලින් එන කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීමයි.

පැට්‍රික් මාර්ටින්

Share this article: