ඉරානයේ කම්කරු පන්තික විරෝධය පුපුරා යයි: 2018 ලෝකය වෙත පූර්ව නිමිත්තක්

Working class opposition erupts in Iran: A harbinger for the world in 2018

2018 ජනවාරි 4

දීර්ඝ කාලයක් පුරා යටපත් කරනු ලැබූත් මෘග ලෙස සූරාකෑමට ගොදුරු වූත් ඉරාන කම්කරු පන්තිය ධනේශ්වර පූජක තන්ත‍්‍රය සොලවාලමින් කරලියට පැමිනියහ.

දෙසැම්බර් 28 සිට ඉස්ලාමීය රිපබ්ලිකානු මර්දනකාරී තන්ත‍්‍රය ප‍්‍රතික්ෂේප කල දස දහස් ගනන් ජනයා රට පුරා නගරවලත් ගම්වලත් වීදි බැස්සාහ. ඔව්හු එසේ කලේ බඩු මිල ඉහල යාමටත්, විරැකියාවටත්, දැවන්ත සමාජ අසමානතාවයටත්, වසර ගනනාවක් පුරා සිදු කල සමාජ සුභ සාදන කප්පාදුවලටත්, සහ පාලක පන්තියේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වංචාකාරීව හැඩගැස්වූ සහ වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන මොනම තැකීමක්වත් නැති ව්‍යාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පද්ධතියට එරෙහිව තම වෛරය ප‍්‍රකාශ කිරීමටය.

මෙම ව්‍යාපාරයේ පරිමාව සහ තීව‍්‍රතාවය සහ එය ආන්ඩුවත්, සමස්ත ආධිපත්‍යධාරී දේශපාලන පද්ධතියට අභියෝග කරන සටන්පාඨ වහාම වැලඳ ගැනීම, ඉරාන බලධරයන් සහ බටහිර නිරීක්ෂකයින්ද එකසමාන ලෙස වික්ෂිප්ත කර ඇත. එහෙත්, මෙය පැන නගින්නේ, ඊටපෙරාතුව රැකියා කප්පාදුවලටත් කම්හල් වසා දැමීමටත් සහ වැටුප් සහ සහන නොගෙවීමටත් එරෙහිව මාස ගනනාවක් පුරා දිගහැරුනු කම්කරු විරෝධතාවන් මාලාවකින් පසුවය.

ආන්ඩු විරෝධතාවන් පුපුරා යාමට යන්තම් පෙර දිනවල, ඉරානයේ ඉහල ආදායම් ලාභී සියයට 1 සහ 10, හා දරිද්‍රතාවයේ සහ ආර්ථික අනාරක්ෂිතභාවයේ ජීවත් වන විශාල බහුතරයක් අතර වැඩි වෙමින් පවතින ආර්ථික පරතරය පිලිිබඳ, දිගින් දිගටම ගැඹුරු වන සාකච්ඡාවක් සමාජ වෙබ් ජාලයන්හි පැතිර ගියේ ය. මහජන අසහනයේ මෙම පිපිරීමේ උත්තේජනය වූයේ ආන්ඩුවේ මෑතම “පටි තදකිරීමේ” අයවැයයි. එමගින්, සාමාන්‍ය ඉරාන ජනයාගේ ආර්ථික ආධාර තවදුරටත් කපා හැරීම, සියයට 50ක් තරම් ගෑස් මිල වැඩි කිරීම, හා සංවර්ධන වියදම්ද කපා හැරීම සිදුකරන අතරම දැනටමත් ෂියා පූජක තන්ත‍්‍රය යටතේ පාලනය වන අති දැවැන්ත මුදල් හා සම්පත් ප‍්‍රමානය තවත් වැඩිකරනු ඇත.

දිගින් දිගටම කල පුලුල් ආරක්ෂක හමුදා බලමුලු ගැන්වීමද, ජනතාව අත්අඩංගුවට ගැනීම්ද, සහ 21 දෙනෙකුට මරු කැඳවූ ලේවැකි ගැටීම්වලින්ද පසුව, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බටකායේ ප‍්‍රධානී ජෙනරාල් මොහොමඩ් අලි ජෆාරි ඊයේ ප‍්‍රකාශ කලේ නොසන්සුන්තාවය අවසන් බවයි: “අද අපට රාජ්‍ය ද්‍රෝහීකම අවසන් යනුවෙන් නිවේදනය කල හැක.”

ඉස්ලාමීය සමූහාන්ඩුවේ පාලකයෝ වෙර දරන්නේ ටෙහෙරානයේ රාජ්‍ය තාන්ත‍්‍රික මාරුවක් සඳහා අව්ලවන ලද ප‍්‍රයත්නයක කොටසක් ලෙස, වොෂින්ටනය සහ එහි මූලික කලාපීය සගයන් වන ඊස්රායලය සහ සව්දි අරාබිය විසින් මෙම විරෝධතා අව්ලවන බවට ව්‍යාජ චෝදනා දක්වමින් තම මෘග කඩාපැනීම යුක්තියුක්ත කිරීමටයි.

2009 දී “හරිත ව්‍යාපාරය” විසින් ආරම්භ කරන ලද විරෝධතාවට මෙම විරෝධතා සමාන කිරීමේ උත්සාහය විශාල අපරාධ යුක්තිසහගත කිරීමේ තුච්ඡ අපවාදයක් වන්නේය. 2009 ඉරාන ජනාධිපතිවරනයේ ප‍්‍රතිඵලවලට එරෙහි හරිතයින්ගේ අභියෝගය, යුක්රේනය, ජෝර්ජියාව, ලෙබනනය සහ අනෙකුත් ස්ථානවල එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද “වර්න විප්ලව” වලට සමාන පිටපතක් අනුව දීර්ඝ කාලයක් පුරා සූදානම් කරන ලද දේශපාලන මෙහෙයුමකි. මෙහි අරමුන වූයේ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන් සමග යලි මිත‍්‍ර වීම සඳහා කෑදරකමින් පෙලෙන ඉරාන ප‍්‍රභූවේ කන්ඩායමක් බලයට ගෙන ඒමයි. මෙයට ජනප‍්‍රිය සහය ආකර්ෂනය වූයේ සුවිශේෂයෙන් ඉහල මධ්‍යම පන්තියේ වඩාත්ම වරප‍්‍රසාදිත ස්ථරයන්ගෙනි. මොව්හු පිහිටා සිටියේ හිටපු ජනාධිපති මහ්මූද් අහමඩිනිජාඩ්ට එරෙහිව “දුගීන්ගේ මුදල් කොල්ලකෑවේය” යන නව ලිබරල්වාදී හෙලාදැකීම් මතය.

ඉරාන ආන්ඩුව මුහුනදෙන වත්මන් අභියෝගය මුලුමනින්ම වෙනස් ස්වභාවයක් දරා සිටියි. මෙහි (විරෝධතාවල) මුල් පවතින්නේ කුඩා කාර්මික නගර සහ දිස්ත‍්‍රික්කවල සුලු නගර ඇතුලු, කම්කරු පන්තිය තුල වන අතර, මෙය සියයට 40 හෝ ඊටත් වැඩි පමනින් විරැකියාවෙන් පෙලෙන තරුන ජනයාගෙන් ඉහලම සහය ලබාගනිමින්, සමාජ අසමානතාවයට සහ ධනේශ්වර පටිතද කිරීමේ වැඩ පිලිවෙලට එරෙහි විරෝධයෙන් ජවය ලබයි.

වත්මන් විරෝධතා රැල්ලේ ක්ෂනික ඉරනම කුමක් වූවත්, අනාගත සති සහ මාසවල දිග හැරීමට නියමිත කම්කරු පන්තික අරගලවල නව අවධියක් ඉරානය තුල විවෘතවී ඇත. ස්ථිරව කිව හැක්කේ, (දේශපාලනයේ) කරලියට තල්ලු කරනු ලැබ ඇති කම්කරු පන්තිය වහාම හෝ පහසුවෙන් මැඩපැවැත්විය නොහැකි බවයි.

ඉරානයේ කම්කරු පන්තික නොසන්සුන්තාවය දැනටමත් ඉරාන ප‍්‍රභූවේ පමනක් නොව ලෝකයේම ආන්ඩුවල ගනන් බැලීම් උඩුයටිකුරු කර ඇත. ඉරාන ජාතිකයින්ට එරෙහි මුස්ලිම් විරෝධී සංචාරක තහනමක් පැනවූ ට‍්‍රම්ප් කුහක ලෙසත්, තකතීරු ලෙසත් විරෝධතාවන්ට තම “සහය” දක්වා ඇත. ඔහු බලාපොරොත්තු වන්නේ මෙමගින් ටෙහෙරානය යක්ෂයකු බවට කල හැකි බවත්, මෙමගින් ටෙහෙරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධ සූදානම සඳහා බීජයක් සපයා ගැනීමයි. යුරෝපීය බලයන් වඩාත්ම පරීක්ෂාකාරී වී ඇත්තේ ඉරාන ආන්ඩුව විසින් සපයනු ලැබ ඇති තෙල් සහන සහ ලාභ ශ‍්‍රමය මගින් වාසි ලබා ගැනීමේ තම සැලසුම් විරෝධතා මගින් පහර වදින නිසා පමනක් නොවේ. ඔව්හු බියවී ඇත්තේ ඉරානයේ පන්ති අරගලයේ බලපෑම සමස්ත මැදපෙරදිගම අස්ථාවර කරයි යන්න ගැනය.

මැදපෙරදිගටත්, ලෝක දේශපාලනයටත් ඉරාන කම්කරු පන්තියේ පුනර්ජීවනය වැදගත්කම තේරුම් ගැනීමට එය ඓතිහාසික සංදර්භය තුල බහා තක්සේරු කිරීම අවශ්‍ය වෙයි.

දශක හතරකට පෙරාතුව එක්සත් ජනපද අනුග‍්‍රහය සහිත ෂාගේ කෲර ඒකාධිපති රාජ්‍යය පෙරලා දමනු ලැබූ 1979 ඉරාන විප්ලවය කම්කරු පන්තිය මෙහෙයවූ, දැවැන්ත, අධිරාජ්‍යය විරෝධී පිපිරීමකි. මෙය, ෂාගේ රජයෙහි පිටකොන්ද බිඳහෙලූ දේශපාලන වැඩවර්ජන මාලාවක වර්ධනයක් වූ අතර, පසුව ගෙවී ගිය මාසවලදී කම්කරුවෝ ෆැක්ටරි වාඩිලාගෙන මේවා කම්කරු කව්න්සල පාලනයට නතු කලහ.

එහෙත්, ඉරාන ධනපති පන්තිය අස්වාමික කරමින් සහ ගම්බද වැඩකරන ජනතාව සමග සන්ධානගතවෙමින් කම්කරුවන්ගේ රිපබ්ලිකයක් ගොඩනගමින් සමාජ විප්ලවයක් කිරීම, නාමිකව සමාජවාදී සංවිධාන, සියල්ලටත් වඩා ස්ටැලින්වාදී “තුඩේ” පක්ෂය විසින් වලක්වන ලදී. “තුඩේ” පක්ෂය, අනාගමිකවාදයේත් සහ විප්ලවවාදී සමාජවාදයේත් දීර්ඝ ඉතිහාසයක් ඇති කම්කරු පන්තිය තුල, මුල්බැසගෙන තිබිනි. නමුත් ජාතික ධනපති පන්තියේ බෙලහීන ලිබරල් කන්ඩායම දෙසට හැඩගැසුනු එය, 1979 දී අයතොල්ලා කොමෙයිනිට අවිවේචනාත්මකව සහය දීම දක්වා මාරු විය. හේතු ලෙස දැක්වූයේ, ඔහු ධනපති පන්තියේ “ප‍්‍රගතිශීලී” කල්ලියේ දේශපාලන නායකයා යනුවෙන්ද, ඔහු “ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවදී” (එනම්, ධනේශ්වර) විප්ලවය මෙහෙයවන බවද යන්නය.

වයෝවෘද්ධ මෙම ෂියා පූජකයා කාලයක් පුරා දේශපාලනිකව නොතකා හරිනු ලැබූවෙකි. එහෙත් ඔහුට, ස්ටැලින්වාදීන් විසින් නිර්මානය කරන ලද දේශපාලන රික්තකය ගසාකමින්ද සහ ෂියා පූජක තන්ත‍්‍රය සහ ඉරාන ධනපති පන්තියේ සම්ප‍්‍රදායික කල්ලියේ ප‍්‍රමුඛස්ථානය වන බසාරයත් සමග පැවැති දීර්ඝ කාලීන සබඳතාවන් ආකර්ෂනය කර ගනිමින්ද නාගරික සහ ගම්බද දුගීන් අතර ජනතා සහයක් දිනාගත හැකිවිය.

ස්ටැලින්වාදීන් විසින් කම්කරු පන්තිය දේශපාලනිකව අක‍්‍රිය කරන ලදුව, කොමෙයිනිට ෂාගේ පෙරලා දැමීමෙන් පසුව රාජ්‍යය යන්ත‍්‍රය ප‍්‍රතිසංවිධානය කරගත හැකිවිය. මේ අතර ඔහු මහජන ව්‍යාපාරය අවමංගත කරමින්ද, තුඩේ පක්ෂය ඇතුලුව දේශපාලන වාමාංශය රුදුරු ලෙස මර්දනය කරමින්ද, සියලුම ස්වාධීන කම්කරු පන්තික සංවිධාන විනාශ කරමින්ද, ධනේශ්වර පාලනය යලි ස්ථාවර කලේය.

වඩාත් පුලුල් ක‍්‍රියාදාමයක කොටසක් ලෙස මේ වර්ධනයන් පෝෂනය විය. එනම්, ස්ටැලින්වාදීන්ගේ පාවාදීම යටතේ, පලස්තීන විමුක්ති සංවිධානය ඇතුලු පශ්චාත් යටත්විජිත ආන්ඩු සහ ව්‍යාපාරවල උග‍්‍රවෙමින් පවතින අර්බූදයද, සහ තම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ පිලිවෙලවල් ලඟා කර ගැනීමට ඇති නොහැකියාවද, තුලින් ඉස්ලාම්වාදී බලයන්ට දේශපාලනික වාසි ලබා ගැනීමට හැකිවිය.

1989 දී තම මරනයට පෙරාතුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත හැරෙමින්ද “මහා රාක්ෂයා” වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ට යෝජනා ඉදිරිපත් කරමින්ද, කොමෙයිනි ඉස්ලාමික සමූහාන්ඩුව, දකුනට රූටා යාම අධීක්ෂනය කලේය. මෙයට පෙර වසරේ සිටම, දහස් සංඛ්‍යාත දේශපාලන සිරකරුවන් ඝාතනය කරමින්, වාමාංශයට එල්ල කල තවත් රුදුරු ප‍්‍රහාර පෙලක් සංවිධානය කර තිබින.

පසුගිය දශක තුන පුරා, ඉරාන ආන්ඩුව ඊනියා “ප‍්‍රතිසංස්කරනවාදීන්” සහ අහමඩිනිජාඩ් වැනි ෂියා ජනතවාදීන් ඇතුලුව දේශපාලන ප‍්‍රභූවේ විවිධ කල්ලි විසින් මෙහෙයවනු ලැබ ඇත. මේ සියල්ලෝම 1979 විප්ලවයෙන් අනතුරුව වැඩකරන ජනතාවට ලබාදුන් සමාජ සහන යලි උදුරාගෙන ඇති අතර කම්කරු පන්තිය රුදුරු ලෙස මර්දනයට ලක් කර ඇත.

බටහිර ජනමාධ්‍යය ඉරාන දේශපාලනය සහ සමාජ ජීවිතය කාලයක් පුරා අපවාදයට ලක් කර ඇත. එහෙත්, මූලික වශයෙන් ඉරාන කම්කරු පන්තියේ අත්දැකීම් මගින් ප‍්‍රතිබිම්බනය කරන්නේ, දශක ගනනාවක් පුරා තමන්ගේ සමාජ අයිතීන්වලට ක්ෂමා විරහිතව ප‍්‍රහාරවලට ගොදුරුවූද, සහ දේශපානිකව තම අයිතීන් පූර්න වශයෙන්ම අහිමි කරන ලද්දාවූද ලෝකය පුරා වෙසෙන කම්කරුවන්ගේ අත්දැකීම්ය.

2008 ආර්ථික අර්බූදයට ප‍්‍රතිචාරයක් ලෙස, ලෝක ධනපති පන්තියේ ප‍්‍රතිචාරය වී ඇත්තේ මෙම පන්ති යුද්ධය උග‍්‍ර ලෙස තීව‍්‍ර කිරීමයි. අස්ථීර රැකියා නියුක්තය, කඩා වැටෙමින් පවතින සමාජ සේවාවන්, පෙර නොවූ විරූ සමාජ අසමානතාව, දේශපාලන ජීවිතයෙන් ඉවත් කිරීම සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ අනතුර - ලෝකයේ කම්කරු පන්තියට මුහුන දීමට සිදුව ඇත්තේ මේවාටය.

එහෙත් කම්කරු අරගල මැඩ පැවැත්විය හැකි යුගය අවසන් වෙමින් පවතී.

ලෝකයේ රටක් රටක් පාසා, ධනපති පන්තිය විසින් තම වැඩ කටයුතු මෙහෙයවා ගැනීමටත්, සියල්ලටත් වඩා, පන්ති අරගල මැඩපැවැත්වීමට යොදාගත් සංස්ථාපිතයේ වාමාංශික පක්ෂ සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිති ඇතුලු පක්ෂ, සංවිධාන සහ දේශපාලන යාන්ත‍්‍රනයන් බිඳ වැටෙමින් පවතී.

ඉරානයේ සිද්ධීන් මැද පෙරදිග හරහා දෝංකාරය කරයි. මෙහි කම්කරු පන්තිය අනාගමික ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල පමනක් නොව ඉජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය සහ තුර්කියේ එර්ඩොගන්ගේ සාධාරනත්වයේ සහ සංවර්ධනයේ පක්ෂය ඇතුලුව, ඉස්ලාමීය දේශපාලනයේ විවිධ රූපාකාරයන් ද තුලින් දශක ගනනාවක් පුරා කටුක අත් දැකීම් සහිතව ගමන් කර ඇත.

ඉරානයේ අසාධාරනත්වය ගැන අධම ට‍්‍රම්ප් ට්වීට් පනිවිඩ යවන අතර, ඉරාන කම්කරුවන් මුහුන දෙන තත්වයට වඩා වෙනස් තත්වයකට තමන් මුහුන දෙන බව ඇමරිකානු කම්කරුවන්ට සිතිය හැක්කේ කෙසේද? පසුගිය මස, ඉරාන ආන්ඩුව විසින් මුල්ලාවරුන්ට අමතර මුදල් වෙන් කරමින් සමාජ සුභසාදන සඳහා වියදම් කප්පාදු කරන අයවැයක් ඉදිරිපත් කල විට, එක්සත් ජනපද කොන්ග‍්‍රස් මන්ඩලය පොහොසතුන්ට සහ සුපිරි පොහොසතුන්ට බදු කප්පාදු පුද කලේය.

ඉරානයේ සිද්ධීන් හඳුනා ගත යුත්තේ ලෝකයේ දැවැන්ත කම්කරු පන්තික අරගල පුපුරා යාමේ පෙර නිමිත්තක් ලෙස ය.

විප්ලවවාදී සමාජවාදීන්ගේ කර්තව්‍යය වන්නේ මෙම ව්‍යාපාරය දෙසට හැරෙමින්, සහ කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ගේද, අභිලාශයන්ගේද සහ අරගලයන්ගේද හේතු-තර්කනය අවබෝධ කරගනිමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට සටන් කිරීමයි. ධනවාදය සමාජයේ අවශ්‍යතාවන් සමග ගැලපෙන්නේ නැත. ලෝකයේ ධනය නිෂ්පාදනය කරන වැඩකරන පන්තිය, සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමටත් සහ අධිරාජ්‍යවාදී යුද්ධයට තිත තැබීමටත්, කම්කරුවන්ගේ දේශපාලන බලය ස්ථාපිත කිරීමට තම අරගල රාජ්‍ය දේශසීමාවන් සහ මහාද්වීප හරහාද ඒකාබද්ධ කල යුතුය.

කීත් ජෝන්ස්

Share this article: