එක්සත් ජනපදය සිරියාව තුල දිගට ම මිලිටරිය රඳවන බව නිවේදනය කරයි

US announces indefinite deployment of military forces in Syria

2018 ජනවාරි 19

රුසියාවේ හා ඉරානයේ පිටුබලය ලබන ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ සිරියානු තන්ත‍්‍රය පෙරලා දැමීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදී නව විජිතවාදී අරමුනෙන් තමන් බැහැර නොවන බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ජනවාරි 18දා සහතික විය. එක්සත් ජනපදය, සිරියාව තුල දිගට ම මිලිටරිය රඳවනු ඇති බවත් ඇමරිකානු සහචර තන්ත‍්‍රයක් හැරෙන්නට එරට තුල වෙනත් කිසිදු ආන්ඩුවක පැවැත්ම පිලි නො ගන්නා බවත් අධිරාජ්‍යවාදී උද්ධච්ඡ කම ප‍්‍රදර්ශනය කරමින් ටිලර්සන් ප‍්‍රකාශ කලේ ය.

කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ හූවර් ආයතනයේ දී කල කතාවක දී සිරියාව තුල තන්ත‍්‍ර මාරුවක් සිදු කිරීමට එක්සත් ජනපදයට පවත්නා අභිලාශය ටිලර්සන් යලි පෙන්නුම් කලේය. ඔහුගේ කතාවට ආරාධනා කර තිබුනේ, ඉරාකය නීති විරෝධී ලෙස ආක‍්‍රමනය කිරීම හේතුවෙන් යුද අපරාධ පිලිබඳ චෝදනාවන්ට ලක්විය යුතු, පැරනි බුෂ් පරිපාලනයේ ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩොලීසා රයිස් විසින් ය යන්න මෙය සමග මොනවට ගැලපේ.

එක්සත් ජනපදයට සිරියාව තුල පවත්නා එකම අභිලාශය ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්අයිඑස්) යන සංවිධානයට එරෙහි ව සටන් කිරීම යන ප්‍රෝඩාකාරී කඩතුරාව දැන් පසෙකට දමා ඇත. ඉරාකය ආක‍්‍රමනය කලා වූත් සවුදි අරාබියේ හා ගල්ෆ් රාජ්‍යයන් තුල රාජාන්ඩුවාදී ආඥාදායකත්වයන්ට පිටුබලය දෙන්නා වූත් අධිරාජ්‍යවාදී බලවතා, “මැද පෙරදිග තුල ආධිපත්‍යය වෙනුවෙන්” උත්සාහ දරන බවට ටෙහෙරානයට චෝදනා කලේ ය. “සිරියාව තුලින් ද්වේෂ සහගත ඉරාන බලපෑම අඩු කිරීම හා පන්නා දැමීම” සඳහා එක්සත් ජනපදය කැප වී සිටින බව ඔහු ප‍්‍රකාශ කලේ ය.

දමස්කසයට උපකාර කිරීම නවත්වා “එම තන්ත‍්‍රයට පසෙකට වන ලෙසට නව මට්ටමේ පීඩනයක් යොදන” ලෙසත්, ඇමරිකාවේ රූකඩ තන්ත‍්‍රයක් එහි ඇටවීම පිලිගන්නා ලෙසත් ටිලර්සන් රුසියාවට දැනුම් දුන්නේ ය. එක්සත් ජනපදයේ අරමුන “අසාද් ඉවත් කිරීම” බව ඔහු එකහෙලා අවධාරනය කලේ ය.

ඇමරිකානු පාලක පන්තියේ සාපරාධිත්වයට හා නරුමත්වයට සීමාවක් නැත. එක්සත් ජනපද මැතිවරනයට “රුසියානු අතපෙවීම්” පිලිබඳව එල්ල වන උමතු චෝදනාවන් මධ්‍යයේ, එක්සත් ජනපදය සිරියාවේ ඉරනම තීරනය කරනු ඇති බව ටිලර්සන් දැඩි ලෙස අවධාරනය කලේ ය. සිරියාව තුල එක්සත් ජනපදය සමග එකට වැඩ කරන දේශපාලන බලවේග අතරට, එරට වනසා ඇති හත් අවුරුදු සිවිල් යුද්ධය සඳහා මැදිහත් වීම සාධාරනීකරනය කිරීමට වොෂින්ටනය විසින් ගසා කෑ ඉස්ලාමීය අන්තවාදී බලයන් ම අයත් වේ.

ටිලර්සන් විසින් ඉදිරිපත් කරන ලද පිලිවෙතේ ඉවබව නැතිකම අසාමාන්‍ය ය. තන්ත‍්‍ර මාරුව සඳහා වන මෙහෙයුමේ දී, සිරියාවේ උතුරු ප‍්‍රදේශය කුර්දි ජාතිකවාදී හමුදාවන්ගේ පාලනය යටතේ පවත්නා ඇමරිකානු කොලනියක් ලෙසත්, නැගෙනහිර ප‍්‍රදේශය ඉස්ලාමීය සටන්කාමීන් යටතේ පවතින ප‍්‍රදේශයක් ලෙසත් රට බෙදාලීම එක්සත් ජනපදයේ අපේක්ෂාව යි.

සිරියානු ආන්ඩුව යටතේ පවතින පෙදෙස්වලට ආර්ථික සම්බාධක පැනවීමට කටයුතු කරන අතර එක්සත් ජනපදයේ කුලීකාර හමුදාවන් යටතේ පවතින පෙදෙස්වලට ඊනියා යලි ගොඩනැගීමේ ආධාර යවන බව ටිලර්සන් අවධාරනය කලේ ය. දැනට මත් සිරියාව තුල රැඳී සිටින එක්සත් ජනපද මිලිටරි භටයන් 2,000ක් සහ ඉරාකයේ හා ගල්ෆ් රාජ්‍යයන් තුල සිටින එක්සත් ජනපද ගුවන් හමුදා එක්සත් ජනපදය යටතේ පවතින ප‍්‍රදේශයට ආරක්ෂාව සපයනු ඇත.

30,000ක් වන අසාද් විරෝධී සටන්කාමීන් කැඳවා සන්නද්ධ කිරීමේ සැලසුමක් ටිලර්සන්ගේ කතාවට දිනකට පෙර මැද පෙරදිග සිටින එක්සත් ජනපද හමුදා ප‍්‍රකාශකයෙක් විසින් නිවේදනය කරනු ලැබී ය. ලැයිස්තු ගත කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන්නවුන් අතරට, හිටපු අයිඑස්අයිඑස් සටන්කාමීන් සිය ගනනක් හා අල් නුස්රා පෙරමුන වැනි අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමී හමුදාවල සාමාජිකයන් ඇතුලත් ය.

එක්සත් ජනපද සැලසුම්වල ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ, සිරියාවේ සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කැඳවීමට රුසියාවේ නායකත්වය යටතේ ගැනෙන පියවර කඩාකප්පල් කර අවමංගත කිරීම යි. ලබන මාසයේ රුසියාවේ සෝචි නුවර කැඳවා ඇති සම්මේලනයකට විවිධාකාර අසාද් විරෝධී කන්ඩායම්ලට ද ආරාධනා කර තිබේ. මේ වනවිට, ගැටුම දිගට ම පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදයේ විවෘත මිලිටරි හා මූල්‍යමය ආධාර මෙම කන්ඩායම්වලට දෙනු ලැබේ.

2011 සිට මේ දක්වා සිරියානු යුද්ධය නිසා අවම වසයෙන් මරන 500,000ක් වත් සිදුව ඇතැයි තක්සේරු කරනු ලැබේ. මිලියන පහකට වැඩි දෙනෙක් සරනාගතයන් බවට පත් ව රටින් පිටව ගොස් ඇති අතර, අවම වසයෙන් තවත් මිලියන හයක් දෙනාට සිරියාවේ තම නිවාසවලින් විතැන් වීමට බලකෙරී ඇත. මෙම මාරක ගැටුමේ දී සෑම පැත්තකින් ම සිදු කරන ඉවබව නැති බෝම්බ දැමීම් නිසා සමස්ත නගර හා නාගරික ප‍්‍රදේශ අලු දූලි බවට පත්ව තිබේ.

ටිලර්සන්ගේ කතාව, හුදෙක් සිරියානු වැසියන් තුල ඇති කරන සන්ත‍්‍රාසය දිගට ම පවත්වාගෙන යාම පමනක් නො ව ප‍්‍රචන්ඩත්වය තීව‍්‍ර කිරීමක් ද පිලිබඳ ව පෙර නිමිත්තකි.

සිරියානු ආන්ඩුව දැනට මත් එක්සත් ජනපද න්‍යාය පත‍්‍රය ප‍්‍රතික්ෂේප කර තිබේ. “ඇමරිකානු මිලිටරිය නීති විරෝධී ලෙස සිරියානු භූමිය තුල රැඳී සිටීම, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් හා ජාතික ස්වෛරීත්වයට එරෙහි ආක‍්‍රමනයකට සමානවේ” යනුවෙන් සඳහන් කල ප‍්‍රකාශයක් සිරියානු විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කලේ ය.

ක්ෂනික අන්තරාය වන්නේ, එක්සත් ජනපද පිටුබලය ලබන හමුදාවන් එක් පසෙකින් ද අනෙක් පසින් සිරියානු හමුදාව හා ඔවුන් සමගිින් සටන් කරන විවිධ ෂියා සටන්කාමී කන්ඩායම්වලට අයත් ඉරාන, ඉරාක හා ලෙබනන ස්වේච්ඡා භටයින් ද අතර විශාල පරිමාන මිලිටරි ගැටුමක් ඇතිවීමේ හැකියාව යි. රටෙහි අනෙකුත් තැන්වල කැරලිකාර හමුදාවන් පරාජය කර ඇති සිරියානු ආන්ඩුව දැන් අවධානය යොමු කරන්නේ, උතුරු හා නැගෙනහිර පෙදෙස්වල විරුද්ධවාදීන් අත ඇති භූමිය යලි අල්ලා ගැනීමට යි. රුසියානු ගුවන් යානා හා ආයුධ සන්නද්ධ හෙලිකොප්ටර්වල පිටුබලය තවමත් මෙම මෙහෙයුම්වලට දෙනු ලැබේ.

ටිලර්සන්ගේ කතාව මගින් මතු කෙරෙන පැහැදිලි ප‍්‍රශ්නය වන්නේ, රුසියානු ගුවන්යානාවලට ඇමරිකානු හමුදාවන් විසින් ප‍්‍රහාර එල්ල කරන්නේ ද යන්නයි. එමගින් බිහිසුනු ප‍්‍රතිපල ජනිත කල හැකිය.

සිරියාව තුල එක්සත් ජනපද හමුදා විසින් සිදු කරන ප‍්‍රහාර, ඉරානය සමග විවෘත යුද්ධයකට පාර කැපීම හෝ බැග්ඩෑඩ්හි ඇමරිකානු පිටුබලය ලබන ආන්ඩුවට විරුද්ධ ව ෂියා සටන්කාමීන් සන්නද්ධ වෙමින් සිටින තතු තුල ඉරාකයේ නව සිවිල් යුද්ධයට තෙල් වක්කරනු ඇද්ද යන අන්තරාය ද පවතී.

වොෂින්ටනයේ නැටෝ සහකරුවෙක් වන තුර්කිය ද එක්සත් ජනපද සැලසුම්වලට විරුද්ධ වන්නේ අඩුවෙන් නො වේ. එක්සත් ජනපදයේ පිටුබලය ලබන වයිපීජී සටන්කාමීන්, බෙදුම්වාදී කුර්දි කම්කරු පක්ෂයේ (පීකේකේ) පෙරමුනු සහකරුවෙකු යයි ද එම පක්ෂය “ත‍්‍රස්තවාදී” සංවිධානයක් ලෙස හෙලාදකිමින් ද තුර්කි ආන්ඩුව, දශක ගනනක් තිස්සේ කෲර ලෙස එය මර්දනය කර ඇත. “අපගේ දේශසීමාව මත ත‍්‍රස්තවාදය නිර්මානය” කරතියි තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් අර්ඩෝගන් පසුගිය සති අන්තයේ ට‍්‍රම්ප් පරිපාලනය හෙලා දුටුවේ ය.

ටිලර්සන් කල කතාවේ දී “පීකේකේ ත‍්‍රස්තවාදීන් ගැන තුර්කියට පවතින උත්සුකයන් ගැන සලකා බැලීමට” වාචිකව යලි සහතික වීම හා “සමීප සබඳතා ගැන” සහතික නිකුත් කල ද යථාර්ථය වන්නේ, තුර්කි පාලක පන්තිය තම අභ්‍යන්තර ස්ථාවරත්වයට හා භෞමික අඛන්ඩතාවට තර්ජනයක් ලෙස දකින කන්ඩායමකට වොෂින්ටනය පිටුබලය දෙමින් සිටින බව යි. වයිපීජී කන්ඩායම සිරියාවේ උතුරු ප‍්‍රදේශය තුල කුර්දි රාජ්‍ය කැබැල්ලක් ඇටවීම වැලැක්වීම සඳහා තුර්කිය එම ප‍්‍රදේශය ආක‍්‍රමනය කිරීමට සූදානම් බව අර්ඩෝගන් යලි යලිත් අනතුරු ඇඟවීම් කර ඇත. මෙයට එක්සත් ජනපදයේ ප‍්‍රතිචාරය වියහැක්කේ කුමක් ද?

මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනයේ නව අවධිය, ඇමරිකානු පිටුබලය ලබන කැරලිකරුවන් “ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා විප්ලවයක්” සිදු කරන්නේ යයි කියාපාමින්, අසාද් තන්ත‍්‍රය බලයෙන් පහ කිරීමට කරන කුමන්ත‍්‍රනයට සහයෝගය දක්වන විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම්වලට එරෙහි චෝදනා පත‍්‍රයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ඇතුලු එක්සත් ජනපදයේ තන්ත‍්‍ර මාරු මෙහෙයුමට විරුද්ධ වන්නන්ට “ප‍්‍රතීක අධිරාජ්‍ය-විරෝධයෙන් පෙලෙන්නන්” ලෙස චෝදනා කරනු ලැබේ.

කුර්දි ජාතිකවාදී රූපාකාරයන් වේවා අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන් වේවා යුද්ධයේ හත්වසරක් ගෙවුනු තැන එක්සත් ජනපද කුලීකාර හමුදාවන්ගේ අධිරාජ්‍ය ගැති ස්වභාවය ප‍්‍රතික්ෂේප කල නො හැක. මුල පටන් ම තහවුරු කෙරී තිබෙන පරිදි, මැද පෙරදිග කලාපය තුල ඉරාන හා රුසියානු බලපෑමට වලකපමින් තෙල්වලින් පොහොසත් එම කලාපයේ ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කරන වොෂින්ටනයේ උපකරනයක් ලෙස ඔවුහු සේවය කරමින් සිටිති.

මෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ, කලාපීය හෝ න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක් පිලිබඳ අතිශයින් තියුනු අන්තරාය යි.

ජේම්ස් කොගාන්

Share this article: