එජ ෆෙඩරල් ආන්ඩුව අකර්මන්‍ය වීම තුල ඇති පන්ති ප‍්‍රශ්නයන්

The class issues in the US federal shutdown

2018 ජනවාරි 22

එජ ෆෙඩරල් ආන්ඩුවේ අර්ධ අකර්මන්‍ය වීම, කුමන හෝ කඩිනම් තීරනයකට පැමිනීමේ පැහැදිලි හැකියාවකින් තොරව ඉරිදා රාත‍්‍රිය තෙක් ඇදී ගියේය. සිවිල් ෆෙඩරල් ශ‍්‍රම බලකායේ බොහෝමයක ගෙන්, නිල ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගනක බාර දීම සහ ඔවුන්ගේ සේවා ස්ථාන වසා දැමීම සඳහා සඳුදා කෙටි කාලයකට සේවයට වාර්තා කිරීම, හෝ සම්පූර්නයෙන්ම නිවසට වී සිටීම බලාපොරොත්තු වෙයි. 800,000ක් තරම් දෙනා තාවකාලිකව සේවයෙන් බැහැර කරනු ඇත.

අකර්මන්‍ය වීමට මුල පිරුවේ සංක‍්‍රමනය පිලිබඳ පිලිවෙත සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් සහ ඩිමොක‍්‍රටිකයන් අතර සාකච්ඡාව විසින් වන අතර මෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ නිල ඇමරිකානු දේශපාලනය තුල තව දුරටත් දක්ෂිනාංශික හැරී ගැනීමකි. සෙනෙට් මන්ඩලයේ සුලූතරයේ නායක, ප‍්‍රධාන ඩිමොක‍්‍රටික් කේවල්කරු වන චාර්ල්ස් ශූමර් මුහුනට මුහුනලා කෙරෙන සාකච්ඡාවන් සඳහා සිකුරාදා ධවල මන්දිරයට ගොස්, සිදු කල ට‍්‍රම්ප්ට යටත් වීම මගින් මේ බව ඉඟි කලේය. මෙහිදී ඔහු, ට‍්‍රම්ප්ට හට ඔහු විසින් එජ-මෙක්සිකානු දේශසීමාව දිගේ ගොඩනැගීමට යන තාප්පය සඳහා සම්පූර්න අරමුදල් ලබා දෙන සහ ඊට ප‍්‍රතිචාර වශයෙන් ලේඛන ගත නොවූ, දරුවන් ලෙස එක්සත් ජනපදයට ගෙන ආ සහ ඞීඒසීඒ වැඩපිලිවෙල (ලමා වියේදී පැමිනි අයට විරුද්ධව පියවර ගැනීම පමා කිරීම) යටතේ ආරක්ෂා කෙරෙන 800,000කට ආසන්න තරුන සංක‍්‍රමනිකයන් නීත්‍යානුකූලභාවය ලබා දෙන යෝජනාවක් ඉදිරිපත් කලේය.

අන්ත දක්ෂිනාංශික දේශපාලන “පදනමට” ඔහුගේ සුවිශේෂී මැතිවරන උද්ඝෝෂන පොරොන්දුව වූ තාප්පය ගොඩනැගීම සඳහා ඩිමොක‍්‍රටිකයන්ගේ සහයෝගය දිනා ගැනීමට, ඞීඒසීඒ අහෝසි කල විධායක නියෝගය, තමන් විසින් අවලංගු කිරීම, බොහෝ දුරට, ට‍්‍රම්ප් විසින් භාවිතා කරනු ඇත. එවැනි ගනුදෙනුවක්, උග‍්‍ර අර්බුදයක සිටි පරිපාලනයකට නව ප‍්‍රානවායුව පිඹිමින් ට‍්‍රම්ප්ව මිනිය නොහැකි තරම් ශක්තිමත් කරනු ඇත. ට‍්‍රම්ප් විසින් ඩිමොක‍්‍රටිකයන්ගේ වැඳ වැටීම අවබෝධකර ගැනීම, ඔහු විසින් ශුමර්ගේ යෝජනාවට පයින් ගැසීමට සහ නෛතික සංක‍්‍රමනිකයන් තියුනු ලෙස අඩු කිරීමද ඇතුලත් තවත් වැඩි වැඩියෙන් එකඟවීම් ඉල්ලා සිටීමට ඔහු ගත් තීරනය මගින් පෙන්නුම් කෙරුනි.

ඩිමොක‍්‍රටික් පක්ෂයට ට‍්‍රම්ප් පරිපාලනය බලයෙන් පහ කිරීමට වෙනුවට අවශ්‍ය වන්නේ ට‍්‍රම්ප් වඩා “සාධාරන” වීමට කැමති කරවා ගැනීම සහ ඔහුගේ දක්ෂිනාංශික දේශපාලන න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට කොටස් කරුවන් ලෙස සහභාගී වීම බව යෝජිත ගනුදෙනුව පෙන්වා දෙයි. අවසානයේදී , ඩිමොක‍්‍රටිකයන්ට, ඔවුන් විසින් දැන් කරමින් සිටින දෙයට, එනම් ට‍්‍රම්ප් ගේ තාප්පයට සහය දීමට, ආවරනයක් සහ නිදහසට කරුනක් සපයා ගැනීමට ඇත්ත වශයෙන්ම කෙටි අකර්මන්‍ය වීමක් අවශ්‍ය විය.

සංක‍්‍රමනිකයන්ට එල්ල කරන ඔහුගේ ප‍්‍රහාරයන්ට විරුද්ධ වන ඩිමොක‍්‍රටිකයන්, “නීත්‍යානුකූල නොවන සංක‍්‍රමනිකයන් විසින් සිදු කරන සෑම මිනීමරුමකටම වග කිවයුතු වනු ඇතැ”යි ප‍්‍රකාශ කරමින්, රූපවාහිනී වෙලඳ දැන්වීමක් නිකුත් කර තිබෙන, ඔහුගේ නැවත මැතිවරනයට තරඟ කිරීමේ උද්ඝෝෂනය සමග ට‍්‍රම්ප් කරමින් සිටින්නේ ෆැසිස්ට්වාදී කොටස් වලට කරන සිය කැඳවුම තීව‍්‍ර කිරීමයි.

ආන්ඩුව අකර්මන්‍ය වීමේ සැබෑ බලපෑම සම්බන්ධයෙන් සඳහන් කරන විට, මිලිටරිය සහ දේශ සීමා මුර සංචාරක ඛන්ඩයන්, ආගමන විගමන සහ රේගු බලකායන් සහ ගුවන් තොටුපල වල සිටින ටීඑස්ඒ ගමන් මලූ සහ මගී නිරීක්ෂකයන් ඇතුලූ අනෙකුත් නිල ඇඳුම් අඳින සේවාවන්, මීට පෙර සෑම ෆෙඩරල් අකර්මන්‍ය වීමකදී සිදු වූවාක් මෙන්, කොන්ග‍්‍රසය විසින්, අතීතයට බලපැවැත්වෙන ගෙවීම අනුමත කරනු ලබන තුරු, වැටුප් නොගෙවා සිටිනු ඇති වුවත්, රැකියාවට වාර්තා කරනු ඇත.

ට‍්‍රම්ප් පරිපාලනයට අනුව (මේ සම්බන්ධයෙන් ගත් කල රිපබ්ලිකන් ජනාධිපති වරයාගේ සහ කොන්ග‍්‍රසයේ ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් අතර සිටින ඔහුගේ “විපක්ෂය” අතර වෙනසක් නොමැත) අති විශාල ඇමරිකානු මිලිටරි බුද්ධි අංශ සංවිධාන, විදේශයන්හි මිනිසුන් ඝාතනය කරමින්, ඈත එපිට මහාද්වීප වල යුධ පිටි වල මුර සංචාර කරමින් සහ ඇමරිකානු ජනතාවද ඇතුලත්ව මුලුමහත් ලෝකයම පිලිබඳව ඔත්තු බලමින්, සේවයේ නිරතව සිටිය යුතුය.

නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පැට්ටි‍්‍රක් ෂැනහන් බ‍්‍රහස්පතින්දා පනිවුඩයක ලියා තිබූ ආකාරයට එජ මිලිටරිය “ඇෆ්ගනිස්තානය තුල යුද්ධයේ නිරත වීම, අල් කයිඩා සහ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යයට එරහිව දැනට කෙරීගෙන යන මෙහෙයුම් මෙන්ම මෙම ගැටුම් වලට යැවීමට බලකායන් සූදානම් කිරීම දිගටම සිදු කරගෙන යනු ඇත.”

නමුත් ඇත්තවශයෙන්ම ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍යට සහ සුභසාධනයට සම්බන්ධ ෆෙඩරල් ආන්ඩුවේ ක‍්‍රියාකාරිත්වයන් අනවශ්‍ය ලෙස සලකා අකර්මන්‍ය වීමට ඉඩ හැරේ. රෝග පාලනය සහ නිවාරනය සඳහා වූ මධ්‍යස්ථාන වල කාර්යය මන්ඩලයෙන් සියයට 60ක් (උන වසංගතයක් රටපුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තත්වයන් යටතේ), අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියට 80ක් (රට පුරා තිබෙන ප‍්‍රාදේශීය රජයේ පාසල් සඳහා අතිරේක අරමුදල් සැපයීමද ඇතුලුව) සහ ජාතික ප‍්‍රවාහන ආරක්ෂක මන්ඩලයේ දැවැන්ත බහුතරයක් වන සියයට 95ක් (වොෂින්ටන් ප‍්‍රාන්තයේ මෑතකදී සිදුවූ දුම්රිය අනතුර වැනි ව්‍යසනයන් සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීම නවත්වා දමමින්) නිවාඩු යැවීම මෙයට අයත් වේ.

ෆෙඩරල් කාර්යාල සහ කටයුතු “අත්‍යවශ්‍ය” ඒවා ලෙස විවෘතව තබන හෝ වසා දමන තීරනය, ධනේශ්වර රාජ්‍ය යන්ත‍්‍රයේ සැබෑ ස්වභාවය නිරාවරනය කරනු ඇත. එය සම්පූර්යෙන්ම, කාල් මාක්ස්ගේ ශ්‍රේෂ්ඨ සහායකයා වන ෆෙඩි‍්‍රක් එංගල්ස් විසින්, අභ්‍යන්තර මර්දනයට මෙන්ම බාහිර ප‍්‍රචන්ඩත්වය සඳහා වන අනෙකුත් පහසුකම් සහ සිර ගෙවල්ද ඇතුලත්ව “සන්නද්ධ මිනිසුන්ගේ විශේෂ සමුච්චයන්” ලෙස රාජ්‍ය සම්බන්ධයෙන් කරන ලද විස්තරයට අනුරූපී වෙයි.

ෆෙඩරල් ආන්ඩුව විසින් සපයන හෝ සහය දෙන සමාජ සේවාවන් ස්ථාපනය කෙරුනේ 1930 ගනන් වල සිට 1960 ගනන් පුරාවට සිදු කෙරුනු කම්කරු පන්තියේ අරගල වල අතුරු ප්‍රතිඵලයක් ලෙස වන අතර තමන්ගේ විදේශීය තරඟකරුවන්ට සාපේක්ෂව ඇමරිකානු ධනවාධයේ දීර්ඝකාලීන පිරිහීමේ තත්වයන් යටතේ, ඒවා දැන් ඇමරිකානු පාලක ප‍්‍රභූව විසින් අනවශ්‍ය සහ වඩ වඩාත් දැරිය නොහැකි සුඛෝපභෝගී සුඛ විහරන ලෙස සලකයි.

දේශපාලන සිදුවීමක් ලෙස ෆෙඩරල් ආන්ඩුව අකර්මන්‍ය වීම, ට‍්‍රම්ප් පුද්ගලිකව පමනක් නොව, සමස්තයක් ලෙස ඇමරිකානු පාලක ප‍්‍රභූවම මිලියන 330කට වඩා මිනිසුන් සිටින විශාල, සංකීර්න සමාජයක් පවත්වාගෙන යාමට “නුසුදුසු” බවට වන ආදර්ශනයකි. ඇතැම් විට එජ කොන්ග‍්‍රස් සභිකයකුගේ වඩාත්ම සත්‍යවාදීම ප‍්‍රකාශය පැමිනියේ, “අපේ රට ගොඩනැගුවේ බුද්ධිමතුන් විසින් නමුත් එය පාලනය කරමින් සිටින්නේ මෝඩයන් විසිනි” යනුවෙන් සිකුරාදා මාධ්‍යට පැවසූ ලූසියානා හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් කෙනඩි ගෙන් විය යුතුය. අපරාධකරුවන් විසින් යැයි පැවසීම වඩා නිවැරදි වනු ඇත. නමුත් කෙනෙකුට සෙනෙට් සභිකයෙකුගෙන් එතරම් දෙයක් බලාපොරොත්තු විය නොහැක.

ඇමරිකානු ජනතාවගෙන් සඟවා ගනිමින් තිබෙන විදේශ පිලිවෙත් සම්බන්ධයෙන් වන කට්ටිවාදී විරුද්ධවාදී කම් විසින් විශාල වශයෙන් මෙහෙයවන දක්ෂිනාංශික පක්ෂ දෙක අතර දැඩි ගැටුම, දැන් දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා යැපෙන මූලික පොදු සේවාවන් පවත්වාගෙන යාම තර්ජනයට ලක් කරමින් සිටී. සෞඛ්‍ය සේවාව, පාරසරික ආරක්ෂාව, සහ අනෙකුත් සමාජ අවශ්‍යතාවන් මෙන්ම, තාවකාලිකව සේවයෙන් බැහැර කල සේවකයන්ට අහිමිවන වැටුප් සහ ෆෙඩරල් කොන්ත‍්‍රාත්තු මත යැපෙන කුඩා ව්‍යාපාර මත වන ආර්ථික බලපෑම සම්බන්ධයෙන් ගත් කල සැබෑ හානියක් ඇති වීමට නියමිතය.

2018 ආරම්භ වන විට ඩිමොක‍්‍රටිකයන්ගේ නරුම දේශපාලනික හැසිරීම, ට‍්‍රම්ප්ගේ පලමු වසර තුල ඔවුන්ගේ භූමිකාව අනුගමනය කරන අතර එහි සිට ගලා එයි. එනම්, භාවිතයේදී ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිගාමී දේශීය පිලිවෙත්වලට සහය දෙන අතර, කම්කරු පන්තියේ විරුද්ධතාවය මර්දනය කිරීම සහ එම විරුද්ධතාවය විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන පාලක පන්තියේ ගැටුම පිටුපස මෙහෙයවීමට උත්සහ ගැනීමයි.

වොෂින්ටනයේ දේශපාලන ඇනහිටීමේ ක්ෂනික ප‍්‍රතිපලය කුමක් වුවද, ධනපති පක්ෂ දෙකට එරහිව කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමකින් තොරව කිසිදු ප‍්‍රගතිශීලී ප‍්‍රතිපලයක් ඇති නොවනු ඇත. ඔවුන් හට අර්බුදය තුලින් ඉදිරියට යාමට හැකියාව ලැබුනත්, එජ පාලක පන්තියේ පක්ෂ ද්වන්ධය විසින් ඇති රනු ලබන්නේ, තවත් සමාජ ව්‍යසනයන් පමනක් සහ කම්කරු ජනතාවගේ ජීවන කොන්දේසි වලට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන් මෙන්ම තවදුරටත් යුද්ධයේ සහ මිලිටරිවාදයේ දිශාවට හැරී ගැනීමක් පමනකි.

කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ එයට ස්වාධීන දේශපාලන හඬක් නොමැති වීමයි. කම්කරු ජනතාවට රැකියා සඳහා, සෑහෙන තරමේ ජීවන කොන්දේසි සඳහා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා සටන් කිරීමට මෙන්ම අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වීමට ඔවුන්ගේම දේශපාලන පක්ෂයක් අවශ්‍යය. මෙයින් අදහස් වන්නේ සංගත විසින් පාලනය කෙරෙන ද්වි පක්ෂ ක‍්‍රමයෙන් බිඳීම සහ කම්කරු පන්තියේ පලල් සමාජවාදී පක්ෂයක් ලෙස එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර වශයෙන් සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමයි.

පැට්‍රික් මාර්ටින්

Share this article: