එක්සත් ජනපද ආන්ඩුව අකර්මන්‍ය කිරීමේ ව්‍යාජයෙහි දේශපාලනික පාඩම්

Political lessons from the sham US government shutdown

2018 ජනවාරි 24

බාල වියේදී සංක‍්‍රමනය වූවන්ට එරෙහිව කටයුතු කිරීම කල් දැමීමේ (ඞීඒසීඒ* වැඩ පිලිවෙල මගින් ආරක්ෂා වූ තරුන සංක‍්‍රමනිකයන් 800,000ක් සඳහා ආරක්ෂාව නො සැපයීම ද ඇතුලත් වන ගිවිසුමක් මත පදනම් ව, ආන්ඩුවේ කටයුතු දින තුනක් තිස්සේ වසා දැමීම අවසන් කිරීමට සෙනේට් ඩෙමොක‍්‍රටිකයන් විසින් දෙන ලද ඡන්දය මිලියන ගනනාවක් කෝපයට හා කල කිරීමට ඇද දැමී ය.

සෙනෙට් සභා සුලුතර නායක චාල්ස් ෂූමර්, ඔහුගේ “හිතුවක්කාරකම”වෙනුවෙන් ට‍්‍රම්ප්ට දොස් නැගීමට සෙනෙට් සභා රැස්වීම යොදා ගත්තේ කනස්සලු සහිත හඬකින් මෙසේ නිවේදනය කරමිනි, “සංකීර්න මෙන් ම මෙම දීර්ග සාකච්ඡා මගින්, ඩෙමොක‍්‍රටිකයන් හැම විට ම යුක්තිසහගත වීමට, යහපත් විශ්වාසයකින් වැඩ කිරීමට හා යමක් හරියට කිරීමට උත්සාහ දරා ඇත.”

ඩෙමොක‍්‍රටික් සෙනෙට් සභික රිචඩ් ඩුර්බින්, ඩීඒසීඒ වැඩසටහන අවසන් වීමට නියමිත මාර්තු 5වැනිදාට පෙර සෙනෙට් සභාව තුල ඩීඒසීඒ සහන දීර්ග කිරීමකට ඡන්දයක් පැවත්වීම ගැන රිපබ්ලිකානු සෙනෙට් බහුතර නායක මිට්ච් මැකනොල්ගේ පොරොන්දුවට සීනි තැවරීමට උත්සාහ කලේ, ඡන්දය පැවත්වීමට ඉඩ දීම වෙනුවෙන් මැකනොල්ට අප‍්‍රමාන ලෙස ස්තුති කරමිනි. මෙම සම්මුතිය “අපට එකට වැඩ කිරීම සඳහා වේදිකාව සකස් කර දී ඇතැ”යි කියමින් ඔහු වැඳ වැටුනේය.

ආන්ඩුවේ කටයුතු වසා දැමීම ට‍්‍රම්ප්ට එරෙහිව ඩෙමොක‍්‍රටිකයන්ගේ කූට විරුද්ධත්වයේ අලුත් ම සිදුවීම යි. එය ඩෙමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර බේරිය නො හැකි අවුලක නිර්මිතයක් නො ව, අධිරාජ්‍යවාදී මූලෝපායන් පිලිබඳ වෙනස්කම් පක්ෂ විසින් බේරුම් කර ගන්නා අතර ඩෙමොක‍්‍රටිකයන්ට විරුද්ධපාක්ෂික කඩතුරාවක් සැපයීමට මෙහෙයවුනු, ආරම්භයේ සිට ම කෙරුනු ප‍්‍රයෝගයෙකි. එබැවින් අවම බලපෑමක් ඇතිවනු පිනිස ආන්ඩුව අකර්මන්‍ය කිරීම සති අන්තයේදී සිදු කෙරුනු අතර, සඳුදා කොටස් වෙලඳපොල වාර්තාගත මුදුනකට ලඟා විය. අකර්මන්‍ය කිරීම මහජන පරිභෝජනය සඳහා පමනක් බව සැබෑ තීරන ගන්නෝ වටහා ගත්හ.

තුන්වැනි ලෝකයේ රටවල් “අසූචි වලවල්” යැයි ට‍්‍රම්ප් විසින් හැඳින්වීමෙන් සතියකටත් අඩු කාලයක දී, සිකුරාදා සවස, අයවැය ගිවිස ගැනීම් සාකච්ඡා කිරීමට ෂූමර් ධවල මන්දිරයේ දී ට‍්‍රම්ප් හමු විය. ෂූමර් එය හැඳින්වූයේ “අතිවිශිෂ්ට මූලික හමුවීමක්” යනුවෙනි. ෂූමර් බොහෝ අවස්ථාවල දී ට‍්‍රම්ප්ගේ කාර්යාලයට ගොස් ඇත් නම්, ඒ මුදල් හිඟා කෑම පිනිස පමනි. ට‍්‍රම්ප් (ඩොලර් 9,000), ට‍්‍රම්ප්ගේ ලමුන් වන එරික් හා කනිෂ්ට ඩොනල්ඩ්, හා ඉවන්කා (ඩොලර් 6,800), එමෙන් ම ජරාඩ් කුෂ්නර් (ඩොලර් 4,000) ඇතුලුව ධවල මන්දිරය සෙනෙට් සභාව සඳහා ෂූමර්ගේ ඉහත මැතිවරන ව්‍යාපාරයේ දායකයෝ ය. 1998 සිට ෂූමර් පත් කර ගැනීම තම මූලික වගකීම කර ගත් නිව් යෝක් ඩෙමොක‍්‍රටික් සෙනෙට් උද්ඝෝෂන කමිටුවට ට‍්‍රම්ප් ඩොලර් 125,000ක් ලබා දුන්නේ ය.

ෂූමර්ගේ හැසිරීම ඔහුගේ දේශපාලනික ස්වභාවය සමග ගැලපේ. ඔහු දේශපාලනික බොරුකාරයෙකුගේ සාරය යි. 19වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ ලිබරල් අගමැතිවරයෙකු වූ පාමර්ස්ටන් සාමිවරයා පිලිබඳ ඔහුගේ ආලේඛනයක දී මාක්ස් මේ වර්ගයේ ප‍්‍රතිපත්ති විරහිත දේශපාලඥයින් ගැන විස්තර කර යි, “ඔහු වරදට අනුබල දීමේ දී ආක‍්‍රමනිකයෙකු ලෙස ද, පාවා දෙන තැන ආරක්ෂකයෙකු ලෙස ද පෙනී සිටින්නේ කෙසේ දැයි දනී ... කාලානුරූපී මොහොතක, දුර්වලයන්ට එරෙහිව බලගතු පාර්ශ්වය තුල තෙමේ ම සොයා ගන්නේ කෙසේ ද, එමෙන් ම පසු බසින අවස්ථාවක නිර්භීත වදන් දොඩන්නේ කෙසේ දැ යි ඔහු දනී.” ඉක්මනින් අමතක කෙරෙන ෂූමර් සමග සන්සන්දනය කරන විට පාර්මර්ස්ටන් දේශපාලනික යෝධයෙක් විය.

චිත්තාපර සංක‍්‍රමනික තරුනයින් සිය දහස් ගනනක් මුහුන දෙන අවස්ථාව හැසිරවීමේදී ඩෙමොක‍්‍රටිකයන්ගේ කොන්ද පන නැති ස්වභාවය, මිලිටරි හා ඔත්තුසේවා ඒජන්සිවල භූ-මූලෝපායික උත්සුකයන්ට චෝදනා එල්ල කිරීමේ පක්ෂයේ උත්සාහය සමග මුලුමනින් ම වෙනස් ය. පුලුල් මහජනතාවට හදිසි මෙන් ම වැදගත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ගත් විට, ඩෙමොක‍්‍රටික් පක්ෂය ඉකි බිඳින්නේ ඔස් රූපවාහිනී කතා මාලාවේ බියගුලු සිංහයා මෙනි. නමුත් වඩා ආක‍්‍රමනකාරී රුසියානු විරෝධී විදේශ ප‍්‍රතිපත්තියක් බලාත්මක කිරීමට එය පැමිනෙන විට, මිලිටරිය, ඔත්තුසේවා ඒජන්සි, එමෙන් ම බොහෝ බලගතු සමාගම් විසින් පිටුබලය සැපයෙන මෙම පක්ෂය ගොරවන්නේ යෝධ මෘගයෙකු ලෙස ය.

යන්තම් ඊයේ, සෙනෙට් සභා ඩෙමොක‍්‍රටිකයන් විසින් රිපබ්ලිකානුවන්ගේ යෝජනාව ඉදිරියට ගෙන යාමට එකඟ වීමෙන් පැය කීපයකට පසු, රුසියාව සමග ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂන සම්බන්ධකම් මගින් ට‍්‍රම්ප් “රුසියානු මැතිවරන අත පෙවීම්” වල කුමන්ත‍්‍රනකරුවා ලෙස ලේබල් කෙරෙන අයුරින් විශේෂ විනිශ්චයකාර රොබට් මියුලර් ට‍්‍රම්ප්ගේ නීතිපති ජෙෆර්සන් සෙෂන් හා හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේගෙන් ප‍්‍රශ්න කිරීමේ ඩෙමොක‍්‍රටික පූර්න අධිකරන ප‍්‍රයත්නයක් ඇතුලුව වර්ධනයන් කීපයක් ගැන ප‍්‍රවෘත්ති පැතිර ගියේ ය. එලඹෙන සතියේ දී මියුලර් ට‍්‍රම්ප්ගෙන් ම ද ප‍්‍රශ්න කිරීමට සැලැසුම් කරන බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කල අතර, ඩෙමොක‍්‍රටිකයෝ සජීවි ව “රුසියානු ඉත්තන්” විමර්ශනය කරන ලෙස ෆේස්බුක් හා ට්වීටර් (සමාගම්වලින්) ඉල්ලා සිටියෝ ය.

ට‍්‍රම්ප්ගේ තනතුරේ පලමු වසර පුරා, රුසියාව සමග ඔහුට පැවතුනා යැයි කියන සම්බන්ධකම් මත ට‍්‍රම්ප්ට එරෙහිව ඩෙමොක‍්‍රටිකයන් රුදුරු සටනක් ගෙන ගොස් ඇත්තේ, දේශපාලනික ප‍්‍රග්ධනය හා මූල්‍ය සම්පත් දැවන්ත ප‍්‍රමානයක් කැප කරමින් රුසියානු විරෝධී භීතිකාව දෙසට පෙලඹවීම වේගවත් කිරීමට ය.

ඊට ප‍්‍රතිකූලව, ඩෙමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිගාමී දේශපාලනයට විරුද්ධ වීම පැහදිලිව ම මග හැර ඇත.

2017 දෙසැම්බරයේ දී, ට‍්‍රම්ප්ගේ නාසි-ගැති අදහස් දැක්වීම් හා සංක‍්‍රමනිකයන් මත ඔහුගේ ප‍්‍රහාරයන් මත පදනම් ව ඩෙමොක‍්‍රටික අල් ග්‍රීන් දෝෂාභියෝගයක් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් කල අවස්ථාවේ දී, ඩෙමොක‍්‍රටිකයෝ 126ට 58ක් ලෙස එම පියවරට එරෙහිව ඡන්දය දුන්හ.

පාර්ලිමේන්තු සුලූතර නායිකා නැන්සි පෙලෝසි හා සුලූතර සංවිධායක ස්ටෙනි හේයර් ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති මත පදනම් ව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒම ප‍්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තු ඩෙමොක‍්‍රටිකයන්ගෙන් ඉල්ලමින් ඒකාබද්ධ ප‍්‍රකාශනයන් නිකුත් කලහ: “මේ අවථාවේදී, කොංග‍්‍රස් මන්ඩල කමිටු ඔහුගේ සමාරම්භයට පෙර හා ඊට පසු ජනාධිපතිගේ ක්‍රියා පිලිබඳ විමර්ශනය තුල නො කඩවා තදින් ම නිරත වනු ඇත. එමෙන් ම විශේෂ උපදේශකගේ විමර්ශනය ද හොඳින් පෙරට යමින් තිබේ; මෙම විමර්ශන ඉදිරියට යාමට ඉඩ දිය යුතු ය. මෙම අවස්ථාව දෝෂාභියෝගයක් සලකා බැලීමට අවස්ථාව නො වේ.”

ශ්‍රේෂ්ඨාධිකරනයේ ඩෙමොක‍්‍රටික් නාමිකයන්ගේ ඡන්දවලට ස්තුති වන්නට, ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමන විරෝධී සංචාරක තහනමේ නව සංස්කරනයක් දැන් තහවුරු කර ඇත. පිටුවහල් කිරීමේ හමුදාවේ ප‍්‍රමානය වැඩි කිරීමට පොරොන්දු වී ඇති ඩෙමොක‍්‍රටිකයෝ මිලිටරියට ඩොලර් බිලියන ගනනක් වැඩි කිරීමට ඡන්දය දුන් අතර විදේශ ඔත්තුසේවා ඒජන්සියේ බලපත‍්‍ර රහිතව දුරකතනවලට රහසේ සවන්දීමේ බලතල (එෆ්අයිඑස්ඒ) දීර්ඝ කිරීමට සහාය දැක්වූහ. පොහොසතුන් සඳහා ට‍්‍රම්ප්ගේ දැවන්ත බදු කප්පාදු අවහිර කිරීමට ඩෙමොක‍්‍රටිකයන් ඇඟිල්ලක් හෝ නො ඉස්සුවේ ඩෙමොක‍්‍රටිකයන් හා ඔවුන්ගේ සංගත අනුග‍්‍රාහයකයන් එයට සහාය දුන් බැවිනි.

එක්සත් ජනපද මහජනයා අතර ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවලට ඇත්තේ අතිවිශාල විරුද්ධත්වයකි. ඇමරිකානුවන්ගෙන් සියයට 90ක් ඩීඒසීඒ ප‍්‍රතිග‍්‍රාහකයින් සඳහා පුරවැසිබව ලබා දීමේ වැඩපිලිවෙලකට සහාය දක්වති, ට‍්‍රම්ප් අනුමත කිරීමේ අනුපාතය දැන් පවතින්නේ සියයට 33ක් තරම් පහල ය. සමාජ අසමානතාව, පොලිස් ඝාතන, දූෂිත ජලය, සමාජ ශුභසාදන වැඩසටහන් කප්පාදු කිරීම හා කම්කරු පන්තිය තුල ඛේදජනක සේවා හා ජීවන කොන්දේසි සම්බන්ධයෙන් කෝපය ගොඩනැගෙමින් තිබේ.

සමාජ විරෝධයේ වර්ධනයට හතුරු ඩෙමොක‍්‍රටිකයෝ, එය තමන්ගේ ම ප‍්‍රතිගාමී උත්සුකයන්ට යට කර දැමීමට උත්සාහ ගනිති. මේ හේතුව නිසා, ඩෙමොක‍්‍රටික් පක්ෂය සමාජ විරෝධය සම්බන්ධයෙන් දෝෂාරෝපනය පැටවීමට උත්සාහ ගත්තේ රුසියාව හා රුසියානු “සමාජ මාධ්‍යයට ඇබ්බැහිවූවන්ගේ” “ඇඟිලි ගැසීම්” මත ය. විදේශ සම්බන්ධතා ගැන සෙනේට් කමිටුවට ඉදිරිපත් කෙරුනු ඩෙමොක‍්‍රටික් පක්ෂ වාර්තාව, “සමාජ මාධ්‍ය වේදිකා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වල කපන වැරදි තොරුතුරුවල ප‍්‍රධාන නාලය” වන බැවින් ”සමාජ මාධ්‍ය සමාගම්වලට වගකීම පැවරිය යුතු” යැයි ආන්ඩුවෙන් ඉල්ල යි. “ව්‍යාජ ප‍්‍රවෘත්ති කතන්දර ප‍්‍රචාරය කිරීමට මූලික වසයෙන් යොදා ගැනෙන... එවැනි ගිනුම් වැලක්වීමට, අල්ලා ගැනීමට හා ඉවත් කිරීමට” අන්තර්ජාලය වාරනය කිරීමට වාර්තාව සමාගම්වලින් ඉල්ල යි.

ඩෙමොක‍්‍රටික් පක්ෂය මූල්‍ය ප‍්‍රභූව, මිලිටරිය, ඔත්තුසේවා ඒජන්සි හා ආගමනවිගමන අධිකාරීන්ගේ නියෝජිතයෙකි. දේශපාලන පක්ෂයකට මෙම ප‍්‍රතිගාමී බලවේගයන්ට සේවය කිරීම හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හෝ ජීවන තත්වයන් ආරක්ෂා කිරීම යන දෙක ම කල නො හැක. මෙම පක්ෂවලට පීඩනය යෙදීමේ සියලු උත්සාහයන් විනාසකාරී බව ඔප්පු කෙරෙනු ඇත.

එරික් ලන්ඩන්

Share this article: