ශ්‍රේෂ්ඨාධිකරන පුරප්පාඩුව ඩිමොක්‍රටික් පක්ෂයේ බංකොලොත් කම හෙලිදරවු කරයි

Supreme Court vacancy exposes bankruptcy of the Democratic Party

2018 ජූනි 29

එලඹෙන බොහෝ වසර ගනනකට ශ්‍රේෂ්ඨාධිකරනයේ ගමන් මාවත නීර්නය කිරීමේ හා තවත් අහුලා ගත් පුද්ගලයෙකු පත්කිරීමේ අවස්ථාවක් ට්‍රම්ප්ට ලබා දෙනු ඇත්තා වූ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ඇන්තනී කෙනඩිගේ ඉල්ලා අස්වීම, ඩිමොක්‍රටික් පක්ෂයේ බෙලහීනත්වය හා බංකොලොත් කම හෙලිදරවු කර ඇත.

ආන්තික-ප්‍රතිගාමී ෆෙඩරලිස්ට් සමාජයේ සහයෝගය ඇතිව 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී සකස් කරන ලද අපේක්ෂකයන් 25 දෙනෙකුගේ ලැයිස්තුවකින් තම පත්කිරීම සිදුකරන බව ට්‍රම්ප් පවසා තිබේ. කවර පුද්ගලයෙකු පත්කල ද විධායක බලය ශක්තිමත් කිරීමට සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ව කලින් ගත් තීන්දුවලට වලකැපීමට හෝ ඒවා ආපසු හැරවීමට ට්‍රම්ප් දුන් පොරොන්දුව ඉටුකරමින්, එම තෝරාගැනීම, අධිකරනය තුල අන්ත-දක්ෂිනාංශයේ බලය ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

ප්‍රධාන වසයෙන් මුස්ලිම් රටවලින් පැමිනෙන සරනාගතයන් මත සිය වර්ගවාදී තහනම අනුමත කිරීම ඇතුලු ව, මෑත දී දුන් අධිකරන තීන්දු විසින් තමන් දිරිමත් කරන ලද බව ට්‍රම්ප්ට පැහැදිලි ව ම හැඟේ. එහෙත් ඔහුගේ ආන්ඩුව දැඩි මහජන විරෝධයකට මුහුන පා සිටිය ද ආන්ඩුව සිය ප්‍රහාරය උග්‍ර කරමින් සිටී. සිය විරුද්ධවාදීන්ට තර්ජනය කරමින් රට වටා සංචාරය කරන ට්‍රම්ප්, විවෘත ෆැසිස්ට් වාචාලත්වය සමගින් තම සෙනග අවුලුවාලීමට මං සොයයි.

අනෙක් අතට ඩිමොක්‍රටිකයන් පෙන්වන්නේ බියගුලු හා දිරිසුන් බවකි. ට්‍රම්ප්ට එරෙහි අව්‍යාජ හා සුලුම මහජන කෝපය පලවන විට පවා, ඩිමොක්‍රටිකයෝ සාමූහික ව ඇඟිලි දිගු කරමින් “අශීලාචාරත්වයට” එරෙහි ව දේශනා පවත්වති. ධවල මන්දිරය අරක්ගෙන සිටින බිලියනපති මැරයාට එරෙහි පුලුල් මහජන ව්‍යාපාරයක ඉස්මතු වීම තරම් ඔවුන් බියට පත්කරන වෙනත් දෙයක් නැත. සියල්ලට පසුව, හුදෙක් ට්‍රම්ප්ට පමනක් නො ව, සමස්ත දේශපාලන සංස්ථාපිතයටත් එය ආරක්ෂා කරන ආර්ථික ආසක්තයන්ටත් එරෙහි ව එවන් ව්‍යාපාරයක් අනතුරුදායක නො වන්නේ ද?

2016 මැතිවරන උද්ඝෝෂනය සමයේ ද ට්‍රම්ප් වැඩ බාරගෙන ගත වී ඇති අවුරුදු එකහමාර තුල ද ඔහුට එරෙහි ඩිමොක්‍රටිකයන්ගේ සමස්ත විරුද්ධත්වයම නාභිගත ව ඇත්තේ, මැතිවරනය නපුරු පාලකයා වන ව්ලැදිමීර් පුටින් විසින් හැසිරවීම මත ය. මෙම උද්ඝෝෂනයේ සැබෑ ඉලක්කය වී ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂය පෙලගැසී සිටින සීඅයිඒ හා අනෙකුත් රහස් තොරතුරු ඒජන්සීන්ගේ කොටස් විසින් අනවන පරිදි, රුසියාවට එරෙහි ව වඩා ආක්‍රමනශීලී පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප්ට බලපෑම් කිරීම යි.

ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රධාන වසයෙන් නිරත වන අනෙක් දෙය වන්නේ, #මීටූ දඩයම තුල එහි වඩාත් ම දුෂ්ට ප්‍රකාශනය සොයාගෙන ඇති අනන්‍යතා දේශපාලනය දිරිමත් කිරීමෙහි ය. ඩිමොක්‍රටික් පක්ෂයේ වරප්‍රසාදිත ඉහල මධ්‍යම-පන්තියේ අනුග්‍රාහකයන්ට, වෙහෙස නො බලා ලිංගිකත්වය වෙත යොමු වී සිටීම හොඳින් ගැලපෙන අතරේ, ලිංගය, වාර්ගිකත්වය හෝ ලිංගික යොමුවට වඩා ධනේශ්වර සමාජයේ තම පන්ති තත්ත්වය තුලින් පැන නගින ගැටලු පිලිබඳ ව ප්‍රධාන වසයෙන් උත්සුකය පවතින වැඩකරන ජනතාවට නම් එහි වැදගැම්මක් නැත.

ශ්‍රේෂ්ඨාධිකරනය තව තවත් දකුනට මාරුවීමේ ආසන්න තර්ජනය සමගින්, සමාජ අසමානතාව පුපුරා යාමේ, රැඳවුම් කඳවුරු තුල සංක්‍රමනිකයන් මහා පරිමාන ව සිරගත කර තිබීමේ හා (ගබ්සාවක් සිදුකර ගැනීමේ අයිතිය ඇතුලු) ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත ප්‍රහාරය තීව්ර කිරීමේ තතු යටතේ, ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන බෙලහීනත්වය ද එහි ව්‍යාජ “ට්‍රම්ප්-විරෝධී” මූලෝපායේ බංකොලොත්කම ද මුලුමනින් හෙලිදරවු වෙමින් ඇත.

ජුනි 26දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ ප්‍රධාන කතුවැකිය, ඩිමොක්‍රටිකයන්ගේ දේශපාලන දිරිසුන් බවට හඬක් ලබා දුන්නේ ය. කෙනඩිගේ විශ්‍රාම ගැනීමෙන් ඉක්බිති ව ශ්‍රේෂ්ඨාධිකරනයේ ඉරනම අරබයා පිලිකුල් කට යුතු අත්ඇඹරවීමේ අභ්‍යාසයක යෙදෙමින් කතුවරු මෙසේ ලියති: “ප්‍රජනනයේ නිදහස, සියලු ඇමරිකානුවන්ට සමාන අයිතීන්, ජනාධිපතිවරයාගේ බලතල පරීක්ෂාව, වඩා මානවීය අපරාධ නීති පද්ධතිය හා තවත් බොහෝ දේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනය තවදුරටත් පෙනී සිටීම කෙරෙහි විශ්වාස කල අයට පසුගිය දින කිහිපය ඇති තරම් කලකිරවනසුලු නො වී නම්, බදාදා දහවල අවසන් ප්‍රහාරය එය ගෙන ආවේ ය.” කෙනඩිගේ වෙන් වී යාමත් සමගින් “අපගේ ජීවිතයේ ඉතිරී වී ඇති බොහෝ කාලයකට, අධිකරනය මධ්‍යස්ථ භාවයෙන් තොර ව, දෘඪ-දක්ෂිනාංශික බහුතරයකින් සමන්විත වීමේ හැකියාව හොඳින් ම පවතී.”

මෙයට ටයිම්ස්හි විසඳුම, මින් පෙර බොහෝ අවස්ථාවල දී ඇති විසඳුම ම ය: නොවැම්බරයේ දී ඩිමොක්‍රටිකයන්ට ඡන්දය දීම යි. “බදාදායින් පසු බියෙන් යුතු ව අනාගතයට මුහුන දෙය අයට පහසු උත්තර නැත-එහෙත්, පැහැදිලි රාජකාරියක් තිබේ. නොවැම්බරයේ එලියට ඇවිත් ඡන්දය දීමේ වැදගත්කම මොහොතකට වත් අවතක්සේරු නො කරන්න.”

ධනේශ්වර දේශපාලනයේ ගමන් මාවත වෙනස් කිරීමට ඩිමොක්‍රටිකයන් තෝරාගැනීමෙන් කිසිවක් කරනු ඇතැයි කියාපෑම ඉතිහාසය විසින් නිෂ්ප්‍රභ කරයි. බුෂ් පරිපාලනය කෙරෙහි පුලුල් ව පැතිර පැවති වෛරය මධ්‍යයේ, 2006 දී කොංග්‍රස් මන්ඩල දෙකෙහි ම පාලනය ඩිමොක්‍රටිකයන්ට ලබා දෙමින් ඩිමොක්‍රටිකයෝ කොංග්‍රස් මැතිවරනවල දී ප්‍රධාන ජයග්‍රහන දිනාගත් හ. 2008 දී ජනාධිපති ධුරය ජයගත් ඔවුහු, කොංග්‍රස් බහුතරය පුලුල් කරගත් හ.

එහෙත් ඉන්පසුව සිදුවූයේ බුෂ්ගේ ප්‍රතිගාමී දේශපාලනය නො කඩවා පෙරට ගෙන යමින් පුලුල් කිරීම යි. කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන්හි අනවරත ව ඛාදනය සහතික කල ඔබාමා පරිපාලනය, බැංකුවලට ඇප තැබුවේ ය. දරාගතහැකි සුරක්ෂා පනත හෙවත් ඔබාමාකෙයා නමැති ඔහුට අනන්‍ය දේශීය පිලිවෙත කම්කරුවන් සෞඛ්‍යාරක්ෂනය වෙනුවෙන් දැරිය යුතු පිරිවැය ඉහල දැමීය. 1930 ගනන්වල මහා අවපාතයේ සිට දැක නො ගත් මට්ටම්වලට සමාජ අසමානතාව පැතිර ගියේය.

ජාත්‍යන්තර ව, ඇෆ්ඝනිස්තානයේ හා ඉරාකයේ යුද්ධ අඛන්ඩ ව පවත්වාගෙන ගිය එම පරිපාලනය, ලිබියාව තුල නව යුද්ධයක් දියත් කරමින් සිරියාව තුල සීඅයිඒ-පිටුබලය සහිත සිවිල් යුද්ධයක් සංවිධානය කලේ ය. එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලු ඕනෑම අයෙකු නිසි ක්‍රියාදාමයෙන් තොර ව ඝාතනය කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත යන අවධාරනය මගින් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් කෙරෙහි එහි අවඥාව මූර්තිමත් කරනු ලැබිනි.

ඩිමොක්‍රටික් පක්ෂය වනාහි, හුදෙක් කොටස් වටිනාකම් මත ඍනාත්මක ව බලපාන්නා වූ පමනක් නො ව, සමස්ත ධනේශ්වර පද්ධතියට ම තර්ජනය කරන්නා වූ එක්සත් ජනපදය තුල සමාජ පිපිරීමකට පවත්නා බිය ප්‍රධාන දෙය වන මිලියනපතියන්ගේ හා බිලියනපතියන්ගේ ද බොරු හා නරුමත්වයේ ද පක්ෂයකි. එහි ප්‍රතිඵලයක් ලෙස, ගබ්සා කරගැනීමේ අයිතිය හා සමලිංගික විවාහ වීමේ අයිතිය ඇතුලු කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ආරක්ෂා කිරීමට ඔවුන්ට නො හැක.

දේශපාලනික වෙස්මාරු කිරීමේ උත්සාහයේ දී ඩිමොක්‍රටික් පක්ෂයට ඉහල මධ්‍යම-පන්තික සංවිධාන වන ව්‍යාජ-වාම පක්ෂවල ආධාරය ලැබේ. සංගත, විශ්ව විද්‍යාල, වෘත්තීය සමිති හා රාජ්‍ය යාන්ත්‍රනය තුල තානාන්තරවලට ප්‍රවේශ වීම අරබයා වන ගැටුම් සමග බැඳී තිබෙන මෙම කන්ඩායම්වල අරටුව වන්නේ වාර්ගිකය, ලිංගික හා ලිංගිකත්ව අනන්‍යතාව යි. ඔවුන් නියෝජනය කරන අවශ්‍යතා, කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ගෙන් වෙන් වන අතර ඒවාට හතුරු ය.

ජුනි 26දා නිව් යෝක් කොංග්‍රස් ප්‍රාථමික මැතිවරනයේ දී ජෝසෆ් ක්‍රෝලි පරාජයට පත් කල ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (ඩීඑස්ඒ) සාමාජිකා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ-කෝටෙස්ගේ උද්ඝෝෂනය, ව්‍යාජ-වම්මුන් විසින් ඉටුකරන භූමිකාව ප්‍රදර්ශනය කරයි. නියෝජිත සභාවේ හතරවැනියට ඉහල ම ඩිමොක්‍රටිකයා වන ක්‍රෝලි පරාජය කිරීම සඳහා සමාජ අතෘප්තිය යොදාගන්නා අතර ම, වහ වහා ම සංස්ථාපිතය කෙරෙහි තමන්ගේ ලබැඳියාව ඔප දැමීමටත්, අවසාන විග්‍රහයේ දී තමන් වනාහි ගෙවතු වවන වර්ගයේ ධනේශ්වර දේශපාලනඥයෙක් බව ප්‍රදර්ශනය කිරීමටත් ඔකාෂියෝ-කෝටෙස් මාරු වී ඇත.

ඩීඑස්ඒහි ද එහි සහචර ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස්ඕ) හා අනෙකුත් ඒ හා සමාන ව්‍යාජ-වාම පක්ෂවල ද ක්‍රියාමාර්ගය තුල අව්‍යාජ සමාජවාදී ඉල්ලීම්වල සලකුනක් වත් නැත. සංගතයන් හා සර්ව-බලධාරී වෝල් වීදියේ ආයෝජකයන් විසින් ග්‍රහනයට ගෙන ඇති ආර්ථික ආඥාදායකත්වය අවසන් කිරීමෙන් හා ආර්ථික ජීවිතය මත කම්කරුවන්ගේ පාලනය ස්ථාපිත කිරීමෙන් තොර ව කල නො හැක්කක් වන කම්හල් හා වැඩපොලවල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ගැන ඔවුහු කිසිවක් නො කියති. කම්කරු පන්තියේ අවශ්‍යතා අනුව ධනය යලි බෙදාහැරීමේ අරගලය ගැන ඔවුහු කිසිවක් නො කියති. ඇත්ත වසයෙන් ම, රැකියා නියුක්තිය සහතික කිරීම, වැටුප් ඉහල දැමීම, ශිෂ්‍ය නය අහෝසි කිරීම සහ නිදහස් සෞඛ්‍යාරක්ෂනය සියල්ලන්ට සම්පාදනය කිරීම ගැන ඔවුහු යථාර්ථයේ දී කිසිවක් නො කියති. අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට එරෙහි ව සටන් කිරීමෙන් එක්කෝ ඔවුහු ඉවත් ව සිටිති; නැතහොත් අයිඑස්ඕව මෙන් එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් අනුමත කිරීමට වංක තර්ක සම්පාදනය කරති.

හදිසි දේශපාලන නිගමනයන් මෙහි දී උකහාගත යුතු ය. ට්‍රම්ප් හා ඩිමොක්‍රටිකයන් අතර ගැටුම, පාලක ප්‍රභූවේ ප්‍රතිගාමී කන්ඩායම් දෙක අතර අරගලයකි. ට්‍රම්ප්ට එරෙහි අව්‍යාජ ව්‍යාාපාරයක් ඉස්මතු විය යුත්තේ, දේශපාලන ජීවිතයෙන් මුලුමනින් ම බැහැර කරනු ලැබෙන කම්කරු පන්තිය, එනම්, ජනගහනයේ පලල් මහජනයා අතරින් හෙවත් පහලිනි. එවැනි ව්‍යාපාරයක්, ඩිමොක්‍රටික් පක්ෂය හා එහි සියලු සහචරයන් සමග සහයෝගී වීම සැලකිය යුත්තේ නරක ම දේශපාලන අනතුර ලෙසිනි.

ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලගැසී සිටින සංගතවාදී වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව හා ඒවාට විරුද්ධ ව වර්ධනය වී ඇති කම්කරු පන්ති අරගලයේ ආරම්භක ප්‍රකාශනයන් මේ වසර අත්දැක ඇත. මෙම අරගල සවිමත් කල යුතු ය. සෑම වෙන් වෙන් අරගලයක් ම ඒකාබද්ධ කොට ඒවා සමස්ත රාජ්‍ය යන්ත්‍රනයටත් එය දරා සිටින ධනේශ්වර පද්ධතියටත් එරෙහි ව යොමු කිරීම සඳහා, කම්හල් හා වැඩපොල තුල නව සංවිධාන වන සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය.

කම්කරු පන්තියේ සෑම කොටසක් තුල ම සමාජවාදී දේශපාලන නායකත්වයක් ගොඩනැගීමට ක්‍රමානුකූල ප්‍රයත්නයක් දැරිය යුතු ය. සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීම, සංක්‍රමනිකයන් මත ප්‍රහාරය සියලු කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයක් බවත්, වර්ධනය කරමින් පවතින පොලිස් රාජ්‍ය විධික්‍රම පාලක පන්තියේ පිලිවෙත්වලට එරෙහි සියලු විරෝධයන්ට එරෙහි ව යොදාගනු ලැබෙනු ඇති බවත් යන අවබෝධය මත පදනම් විය යුතු ය. වර්ගවාදයට හා ගබ්සා අයිතිය මත ප්‍රහාරයට එරෙහි විරෝධය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම, එහි යථා හා බලගතු සමාජ පදනම සොයාගත යුත්තේ කම්කරු පන්තිය තුල ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෙදී සිටින්නේ, වෛෂයික ව වර්ධනය වන කම්කරු පන්ති ව්‍යාපාරය සම්මුති විරහිත විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීම සඳහා වන අරගලයේ ය. 2018 මැතිවරනයේ දී සසප, මිචිගන් ප්‍රාන්තයේ 12වන කොංග්‍රස් දිස්ත්‍රික්කයේ සිය අපේක්ෂකයා ලෙස නයිල්ස් නීමුත් ඉදිරිපත් කරයි. මෙම උද්ඝෝෂනය හා එහි සියලු දේශපාලන වැඩකටයුතු තුල සසප ඉදිරිපත් කරන්නේ, කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කරගැනීමට, මූල්‍ය කතිපයාධිකාරයේ ධනය ආත්මසාත්කරනයට, විශාල බැංකු හා සංගත මහජන පාලනය යටතේ පවතින ඒවා බවට පරිවර්තනය කිරීමට සහ වැඩපොල හා නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරු පාලනය ස්ථාපනය කිරීමට අවශ්‍ය සමාජවාදී ක්‍රියාමාර්ගයකි.

දක්ෂිනාංශික වියරුව නවත්වමින් හා කම්කරු පන්තියේ අවශ්‍යතා ඉස්මතු කරමින්, ට්‍රම්ප්ට එරෙහි ව සටන් වැදිය හැක්කේ එවන් ව්‍යාපාරයකට පමනි.

ට්‍රම්ප්වාදය පරාජය කිරීම, ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීම, යුද්ධයට විරුද්ධ වීම හා සංගත පාලනය අවසන් කිරීම ගැන ගැඹුරින් සිතන සියලු දෙනාට සමාජවාදී සමානතා පක්ෂය අමතා එයට බැඳෙන ලෙස අපි උනන්දු කරමු.

සසපට සම්බන්ධ වීම පිලිබඳ තොරතුරු සඳහා මෙතැනින් ප්‍රවේශවන්න.

ජෝසෆ් කිෂෝර්

Share this article: