ට්‍රම්ප්ට එරෙහිව ඩෙමොක්‍රටිකයෝ: විදේශ ප්‍රතිපත්තිය මත සටන් කරන ප්‍රතිගාමී කන්ඩායම් දෙකක්

Trump vs. the Democrats: Two reactionary factions fight over foreign policy

2018 ජූලි 16

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සඳුදාට නියමිත හමුවට පෙරාතුව, ට්‍රම්ප් රුසියාව මත මිලිටරි පීඩනය උත්සන්න කල යුතු යැයි ඉල්ලමින්, ඩිමොක්‍රටිකයන්, ඔවුන්ගේ සහචර මාධ්‍ය හොරනෑ හා එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සි දැවන්ත ප්‍රචාරක ප්‍රහාරයක් දියත් කර ඇත.

මෙම උද්ඝෝෂනය කේන්ද්‍රගත කර ඇත්තේ, ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ සර්වර් පරිගනක හා ක්ලින්ටන්ගේ උද්ඝෝෂන සභාපති ජෝන් පොඩෙස්ටාගේ විද්‍යුත් තැපැල් ගිනුම හැක් කර පසුව එම තොරතුරු විකිලීක්ස් හරහා මාධ්‍යගත කලේය යන චෝදනාව වෙනුවෙන් රුසියානු මිලිටරි/ඔත්තුසේවා නිලධාරීන් 12දෙනෙකුට එක්සත් ජනපද නියෝජ්‍ය නීතිපති රොඞ් ස්ටේන් විසින් සිකුරාදා නිකුත් කරන ලද අධිචෝදනවක් වටා ය.

පුලුල් ප්‍රකාශයන් කරන නමුත් සාක්ෂි සඳහන් නො කරන, අධිචෝදනාව නිකුත් කිරීම, රුසියාව සමග භූදේශපාලන ගැටුමක් කරා ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය නැවත යොමු කරවීමට, ඩිමොක්‍රටිකයන් සමග කුමන්ත්‍රනය කරමින්, එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සි විසින් ගනු ලබන නරුම හා විනිවිද පෙනෙන උත්සාහයකි.

මෙම උද්ඝෝෂනය ඓතිහාසික වියරුවකට ලඟා වී ඇති අතර මෙහිදී රූපවාහිනී මධ්‍යස්ථාන හා පුවත්පත් අනතුරු අඟවමින් සිටින්නේ ට්‍රම්ප් එක්සත් ජනපද ජාතික උත්සුකයන් ව්ලැඩිමීර් පුටින්ට විකිනීමට අසන්න බව යි.

නිව් යෝක් ටයිම්ස් සඳුදා තම ප්‍රධාන ලිපියේ ශීර්ෂපාඨය “ට්‍රම්ප් සමග හුදෙක් වාඩි වීමෙන්, පුටින් පෙරමුනට පැමිනෙයි” යැයි යෙදුවේ, “ට්‍රම්ප් මහතා සමග ඔහුගේ හමුව සාර්ථක කර ගැනීමට (පුටින්ට) සැබවින් ම අවශ්‍ය වූ සියල්ල නම්, කිසිදු ප්‍රධාන ගැටුමකින් තොරව එය සිදු වීම යි” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

එවැනි ප්‍රකාශ 2016 මැතිවරනය තුල ඊනියා රුසියානු “ඇඟිලි ගැසීම්” යටින් පවත්නා කතන්දරය මෙන් විකාරය. ඉතා කෑදර හා පරපුටු ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරියේ නියෝජිතයෙකු ලෙස ට්‍රම්ප්ට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ උත්සුකයන් “විකුනා දැමීමේ” අභිප්‍රායක් නොමැත.

ඊට වෙනස් ව, සමුලුවට සූදානම් වීම අතරතුර දී ට්‍රම්ප් හා ඩිමොක්‍රටිකයන් අතර මතු වී ඇති කටුක වෙනස්කම් කැරකෙන්නේ ලෝකය පුරා ඇමරිකානු පාලක පන්තියේ උත්සුකයන් ඉතාමත් හොඳින් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න මත ය.

එක්සත් ජනපද වෙලඳ ශේෂය වර්ධනය කර ගනු පිනිස ද්විපාර්ශ්වීය වෙලඳ ගිවිසුම් ඇති කර ගැනීමට ලෝක ආර්ථිකය හා භූමූලෝපායික පර්යාය තුල එක්සත් ජනපදයේ ප්‍රමුඛ තත්වය යොදා ගැනීමට එල්ල කෙරුනු ප්‍රවේශයකට ට්‍රම්ප් අනුග්‍රහ දක්වයි. එසේ කිරීමේ දී, ඔහු යුරෝපා සංගම් (යුසං) රටවල්, විශේෂයෙන්ම ජර්මනිය ඔහුගේ ඉලක්ක ලැයිස්තුවේ තබා ඇත. සමුලුවට පෙරාතුව සීබීඑස් නම් ඇමරිකානු ඉංග්‍රීසි රූපවාහිනී ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකදී, රුසියාව හා චීනය වැනි අනෙකුත් “සතුරන්” පසෙකින් එක්සත් ජනපදයේ ලොකු ම ආර්ථික “සතුරා” යූසං බව ඔහු ප්‍රකාශ ක‍ලේ ය.

මෙය පසු ගිය සතියේ නැටෝ සමුලුව අතරතුර ට්‍රම්ප් කල ප්‍රකාශයන්ගේ දිගුවකි. එහි දී ඔහු එක්සත් ජනපදය වෙනුවට රුසියාවෙන් ස්වභාවික ගෑස් මිල දී ගැනීම වෙනුවෙන් ජර්මනියට දොස් කීවේ ය.

එක්සත් ජනපදයේ රාජ්‍ය ඔත්තුසේවා නිලධරයේ ප්‍රමුඛ පුද්ගලයන් වෙනුවෙන් කතා කරමින්, ඩිමොක්‍රටිකයෝ වෙලඳාම මත ට්‍රම්ප්ගේ අවධානයට වඩා යුරේසියාවේ එක්සත් ජනපද මිලිටරි හා භූමූලෝපායික අරමුනු හඹා යාම වඩා තීරනාත්මක බව දකිති. රුසියාව සමග ඔවුන්ගේ මැඩ පවත්වා ගත නො හැකි ග්‍රස්ථිය සඳහා හේතු වන්නේ එය යි. රුසියාව වට කිරීම හා හුදකලා කිරීම, මිලිටරිය යොදා ගැනීම මගින් එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍ය රැකීමේ උත්සාහයේ ප්‍රධාන මූලිකාංගය වන්නේ ය.

රුසියාව මත ඩිමොක්‍රටිකයන්ගේ අවධානය, වෙනත් ඒ සමානවම වැදගත් අරමුනුවලට ද සේවය කරයි. මොස්කව්ව සමග මිලිටරි ආතතීන් නිරන්තරව ඉහල දැමීමක් ඉලක්ක කෙරෙන්නේ, එක්සත් ජනපදය සමග සන්ධනාගතව, පොදු හතුරෙකුට එරෙහිව, යුරෝපා සංගමය එක්සත් කිරීමට ය.

තව ද, එය 2016 මැතිවරනය තුල ඩිමොක්‍රටිකයන්ගේ පරාජයට ද ඇමරිකානු සමාජය තුල “බෙදුම් වැපිරීමටද” රුසියාව දේශපාලන විසම්මතිය යොදා ගනිමින් සිටී යන ප්‍රකාශය මත පදනම්ව, අන්තර්ජාල වාරනය හරහා දේශපාලන විරුද්ධත්වය මත කඩා පැනීමට ද සහේතුකරනයක් සපයා ඇත. සිදු කලා යැයි කියන රුසියානු කුමන්ත්‍රනය සමග විකීලීක්ස් සම්බන්ධ කරමින්, ඩිමොක්‍රටිකයෝ එම සංවිධානයේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව ඉදිරියට යන උද්ඝෝෂනය යුක්තිසහගත කරති.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයේ දී, රුසියාවට එරෙහිව වඩා ආක්‍රමනකාරී පියවර සඳහා ඉල්ලීම සමග ඉතා ලඟින් බැඳී තිබෙන උත්සුකය වන්නේ සිරියාවේ තන්ත්‍ර වෙනස් කිරීම සඳහා වන අවුරුද හතක උද්ඝෝෂනයට ට්‍රම්ප් ප්‍රමානවත් ලෙස කැප වී නැත යන්න යි.

පසු ගිය සතියේ කතුවැකි පිටුවල පලවූ, “ට්‍රම්ප් පුටින්ට සිරියාව තුල ජයග්‍රහනයක් බාර දෙමින් සිටින්නේ ද” යන ලිපිය තුල වොෂින්ටන් පෝස්ට් තීරූ රචක ඬේඩිඞ් ඉග්නාෂස් මෙසේ ප්‍රකාශ කලේ ය, “සිරියාව තුල විනාසකාරී යුද්ධය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක අවසන් අදියර විය හැකි අවස්ථාවකට ලඟා වෙමින් තිබෙන්නේ, ඉරාන බලපෑම සීමා කිරීමේ රුසියානු පොරොන්දු සඳහා හුවමාරු වසයෙන්, එක්සත් ජනපදය, රුසියාව හා ඊස්රායලය, සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ බලය ආරක්ෂා කරනු ඇති ගිවිසුමක් හැඩ ගැස්වීම සමගිනි.”

සිරියාව හා යුක්‍රේනය තුල රුසියාවට මුහුන දීමේ දී එක්සත් ජනපද උත්සාහයේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ කන්ඩායම් සෘජුව දෝෂාරෝපනය කරමින් සිටිති. මෑත වසරවල සිදුවීම් පෙන්වා දී ඇත්තේ “එක්සත් ජනපදයට තම මනාපය ඉටු කිරීමට රුසියාවට බලපෑම් කල නො හැකි” බව යැයි මයිකල් කිමාගේ, ෆොරීන් එෆෙයාර්ස් නම් සඟරාව තුල සදහන් කලේ ය. “යුක්‍රේනය හා සිරියාවේ දී වොෂින්ටනය රුසියාව හුදකලා කිරීමට උත්සාහ ගෙන ඇත්තේ, ඒ මගින් ඉදිරියට ඒමට හැකි වන නිසා පුටින් එක්සත් ජනපද ඉල්ලීම් ඉටු කරනු ඇතැ යි අපේක්ෂා කරමිනි...මේ දක්වා, බල කිරීම හා හුදකලා කිරීම යන දෙකම අසාර්ථක වී ඇත.”

කෙසේ නමුත්, ඔවුන් වෙනුවෙන් ඩිමොක්‍රටිකයන් කතා කරන රාජ්‍ය ඔත්තුසේවා සංවිධානවල කන්ඩායම් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ මෙම පසුබැසීම් දකින්නේ තදින් සිටීමට තර්කයක් ලෙස ය. “සිරියාවෙන් දොට්ට නො බසිනු” නමින් ෆොරීන් එෆයාර්ස් හි පල කෙරුනු වෙනත් ලිපියක, යුද්ධය පිලිබඳ අධ්‍යයන ආයතනයේ ජෙනිෆර් කැෆරෙලා තර්ක කරන්නේ රට තුල සුලු වාසියක් පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය තම උත්සාහයන් දෙගුන කල යුතු බව යි.

කැෆරෙලා මෙසේ අනතුරු අඟව යි, “එක්සත් ජනපදය වහා ම ක්‍රියාත්මක වන්නේ නැත්නම් (සිරියාවේ) දකුනු පෙදෙස් මිතුරු හමුදාවන් අතට පත් විය හැකි බව පෙනේ.” ඇය එක්සත් ජනපදයට මෙසේ උපදෙස් දෙයි, “සිරියාවේ කැරලිකාර ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගනිමින්, කැරලිකාර හමුදා ශක්තිමත් කරමින්, හා ඔහු බොහෝ මංමුලා සහගත ලෙස ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර සුජාත බව අසාද්ට ලබා දීම ප්‍රතික්ෂේප කරමින්, ගොඩ බිමේ දී මිලිටරිය හා ඔවුන්ගේ හවුල් කරුවන්ගේ පාලන හැකියාවන් ශක්තිමත් කරමින් අනාගත තීරනාත්මක පියවර සඳහා ලීවරයක්සේ යොදා ගැනීමට බලය ගොඩනැගීමට දැන් ආයෝජනය කරනු.”

මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ට්‍රම්ප්ගේ ප්‍රතිගාමී ප්‍රහාර, ඔහුගේ අපරාධකාරී සංක්‍රමනික ප්‍රතිපත්ති හා මිලිටරි වියදම්වල ඔහුගේ දැවන්ත ප්‍රසාරනයට විරුද්ධ වෙනවා වෙනුවට, ඩිමොක්‍රටිකයන් තම මුලු උත්සාහයම යොමු කර ඇත්තේ එක්සත් ජනපදය රුසියාවට එරෙහිව වඩා ආක්‍රමනකාරී විදේශ ප්‍රතිපත්තියක් හඹා යා යුතු ය යන ඉල්ලීම මත ය. සැබවින් ම, රුසියානු අධිචෝදනා සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරියේ බියකරු සැලකීම් මත වන මහජන කෝපයෙන් අවධානය ඉවතට හැරවීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනේ.

මැද පෙරදිග එක්සත් ජනපදයේ වඩා වැඩි මැදිහත්වීම හෝ න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව සමග යුද්ධයට හෝ කිසි සැලකිය යුතු සහයෝගයක් නැත යි යන කාරනය සලකන විට, ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිපත්ති සහාය දෙන්නේ ට්‍රම්ප් සුජාතකරනයට පමනි.

හෙල්සින්කි සමුලුව මත කිසි බලපෑමක් නැති අරගලය පවතින්නේ ඇමරිකානු කතිපයාධිකාරිය හා මිලිටරි/ඔත්තුසේවා නිලධරය බියකරු ලෙස දක්ෂිනාංශික කන්ඩායම් දෙකක් අතර ය. මෙම කැත හා ප්‍රතිගාමී මඩ ගැසීමේ සටන තුල “යුද විරෝධී,” කන්ඩායමක් නැත, ප්‍රගතිශීලී කන්ඩායම් ඊටත් අඩු ය.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: