හෙල්සින්කි සමලුවෙන් පසුව ඩිමොක්‍රටිකයෝ, ට්‍රම්ප්ට එරෙහිව “ගැඹුරු රාජ්‍ය” මැදිහත්වීමක් අවුලුවති

After Helsinki, Democrats incite “deep state” action against Trump

2018 ජූලි 17

16දා හෙල්සින්කි නුවර පැවති සමුලුව, ට්‍රම්ප් ධවල මන්ඳිරයෙන් නෙරපා හැරීමට බල කෙරෙන පරිදි කටයුතු කරන ලෙස මිලිටරියෙන් හා ඔත්තු අංශ වලින් සෘජුව ම ඉල්ලා සිටින තැනටම ගමන් කරන කටුක හෙලාදැකීම් මාලාවක් පැන නැංවීය.

ඩිමොක්‍රටික් පක්ෂය ද ව්‍යාපාරික මාධ්‍ය හා ඇමරිකානු මිලිටරිය ද ඔත්තු අංශ ද ට්‍රම්ප් ක්‍රෙම්ලිනයේ ඒජන්තයෙක් ලෙස කටයුතු කරන ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසීම සඳහා අත්වැල් බැඳගෙන ඇත.

ට්‍රම්ප් හා ඔහුගේ අනුගාමිකයින් බොහෝ අපරාධ පිලිබඳව පිලිතුරු බැඳිය යුතුය. එහෙත් ට්‍රම්ප් විරෝධී උමතුව උසිගැන්වෙන, මාධ්‍යය හා ඩිමොක්‍රටිකයින් නැඹුරුවී සිටින කුමන්ත්‍රනකාරී ක්‍රමෝපායන්හි අරමුනු තරයේම ප්‍රතිගාමීය.

හෙල්සින්කි සමුලුවට පෙරාතුව ට්‍රම්ප් අතට ද පත්කරන ලද මූලෝපායිකව ගනන් බලන ලද නිවේදනයක් පල විය. එනම්, විශේෂ නීතිවේදී රොබට් මුලර් විසින් ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ හා හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරයේ සභාපති ජෝන් පොඩෙස්ටාගේ පරිගනක හැක් කලේය යන චෝදනා මත, රුසියානු මිලිටරි ඔත්තු සේවයේ නිලධාරීන් 12කට චෝදනා නැඟීමය.

සනාථ නොකල කරුනු ඇතුලත් මේ චෝදනාව, පුටින් සමඟ සාකච්ඡාව අවලංඟු කල යුතුයයි ට්‍රම්ප්ට බලකිරීම පිනිස ඩිමොක්‍රටික් නායකයින් හා සමහර මාධ්‍ය විසින් වහාම ඩැහැ ගත්තේය. රිපබ්ලිකානු ජනාධිපති මේ ඉල්ලීම් නොතකා සිය හෙල්සින්කි ගමනේ යෙදුනු කල ඩිමොක්‍රටිකයින් හා ඔවුන්ගේ සහචර මාධ්‍යජාල සාකච්ඡා අවසන්වූ වහාම ක්‍රියාත්මකවීමට සූදානම් වූහ. මෙය නිව් යෝර්ක් ටයිම්ස් ලේඛක චාල්ස් බ්ලෝ විසින් පල කල විශේෂයෙන්ම ප්‍රතිගාමී ලිපියකින් හොඳින්ම පැහැදිලි විය. “ට්‍රම්ප් ජාති ද්‍රෝහියෙක්” යන සිරස්තලය සහිතව, රැස්වීම පැවැත්වෙන දින උදෑසන පලවූ මෙම ලිපියෙන් ට්‍රම්ප්, “මේ රටට විරුද්ධව විශ්වාස නොකල හැකි හා සමාව දිය නොහැකි අපරාධයක් සිදුකරන්නේ” යයි චෝදනා නැඟීය.

එම උමතු තානය ට්‍රම්ප්-පුටින් රැස්වීමට පෙරාතුව තීන්දු කරන ලද අතර, රැස්වීම අවසන්වූ වහාම ප්‍රතිචාරය එලිබැස්සේය. ඇමරිකානු හා රුසියානු ජනාධිපතිවරු තම ඒකාබද්ධ මාධ්‍ය හමුව අවසන්කල වහාම, වැන්ඩර්බිල්ට් වාසනාවේ උරුමක්කාර හා රූපවාහිනී සේවයට එක්වීමට පෙර සීඅයිඒ නියෝජිතයෙක් වූ, හෙල්සින්කි නුවර සිටින සීඑන්එන් වාර්තාකාර ඇන්ඩර්සන් කූපර් තම දෘෂ්ටිය එලිදැක්වූයේ මෙසේය. “මම මීට පෙර දැක නැති ආකාරයේ..ඇමරිකානු ජනාධිපතිවරයෙක් විසින් පෙන්නුම් කරන ලද අතිශයින්ම නින්දිත චර්යාවක් ඔබට දැකගන්නට ලැබුනි...”

“ජනාධිපතිවරයෙකු විසින් පෙන්වන ලද අතිශයින්ම නින්දිත චර්යාව?” එයින් සැබෑවටම යමක් කියවේ.

මිලියනයකට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මරා දමන ලද, බොරු මත පදනම්වූ, ඉරාකයට එරෙහි ආක්‍රමනකාරී යුද්ධය දියත් කරන ලද, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ටත් වඩා නින්දිත? ඔබාමා විසින් ගෙන යන ලද, දහස් ගනනක් මරුමුවට පත් කල ඩ්‍රෝන් ඝාතක ව්‍යාපාරයටත් වඩා නින්දිත? දරුවන් සිතාමතාම වධහිංසාවට ලක් කිරීම අවියක් කරගත්, සංක්‍රමනිකයින්ට එරෙහි ට්‍රම්ප්ගේම ම්ලේච්ච යුද්ධයටත් වඩා නින්දිත?

මෙම යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ පරයා යමින් ට්‍රම්ප් හෙල්සින්කිහිදී කල අපරාධය කුමක් ද? අපට “ජනඝාතන අවි” පිලිබඳ කථාව පැවසූ එම ඇමරිකානු ඔත්තු සේවා ආයතනම, 2016 මැතිවරනයට රුසියාව “ඇඟිලිගැසුවා” යයි කරන අවධාරනය බඩබැඳගත් මාධ්‍ය, කිසිදු ස්ථිරභාවයකින් තොරව ඒවා සනාථ කෙරුනු කාරනා ලෙස ගෙනහැර පාන ව්‍යාපාරය ගැන ප්‍රශ්න මතු කරයි.

හෙල්සින්කි මාධ්‍ය හමුවේ එක් තියුනු මොහොතක, හිටපු කේජීබී ඒජන්තයෙක් වන පුටින්, හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු වශයෙන්, “මෙම ලිපිගොනු සකස්කර ඇත්තේ කෙසේදැයි” යන්න ගැන තමාට යම් පුරුද්දක් තිබෙන බව පැවසීය.

මෙම ව්‍යාපාරය ඇමරිකානු වැඩකරන ජනතාව තුල ඇතිකර තිබෙන්නේ සුලු උන්නදුවක් පමනක් වන තතු හමුවේ, පාලක කතිපයාධිකාරයේ සමහර කොටස් ද මාධ්‍ය සමාගම් හා විසල් ඇමරිකානු ඔත්තු සේවා සංස්ථාපිතය විසින් ද මෙය ප්‍රචාරය කිරීම වඩා උමතු ස්වභාවයක් ගෙන ඇත. හෙල්සින්කිහිදී ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශ හෙලාදැකීමට යොදාගෙන තිබෙන නපුරු භාෂාව, නොවරදින සුලු ස්වභාවයකින් යුක්තය.

ඔබාමා පාලන සමයේ සීඅයිඒහි අධ්‍යක්ෂ ලෙස පත්ව සිටි වෘත්තීය සීඅයිඒ නිලධාරියෙකු වන ජෝන් බ්‍රෙනන් පැවසුවේ, ට්‍රම්ප් පුටින් සමඟ පෙනී සිටීම “බරපතල හා සුලු අපරාධ” පිලිබඳ එලිපත්ත පැන ඇති බවත්, එය ජාති ද්‍රෝහිත්වයට නොඅඩු දෙයක්” බවත්ය.

හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් ට්‍රම්ප්ට චෝදනා කලේ, “අනිවාර්යය යටත්වීමක් හා ව්ලැඩිමීර් පුටින් විසින් බියගන්වා ඇති බව පෙනී යන්නේය” යනුවෙනි.

ඉරාක යුද්ධයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රචාරකයෙකු වන නිව් යෝර්ක් ටයිම්ස්හි විදේශ විත්ති විචාරක තෝමස් ෆ්‍රීඞ්මාන් ට්‍රම්ප්ව විස්තර කලේ, “රුසියානු ඔත්තු ආයතනවල තැරැව්කරුවෙකු” ලෙසය. මහත් ඝෝෂාකාරී ලෙස ඔහු තවදුරටත් පැවසුවේ, “මාගේ සහෝදර ඇමරිකානුවනි, අපි අර්බුදයකට මුහුනපා සිටින්නෙමු. අද අපට ලොකු තීන්දු ගැනීමට සිදුව ඇත. මෙය සමස්ත ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවකි, එනම් ට්‍රම්ප් යෙදී සිටින්නේ ජාතිද්‍රෝහී චර්යාවකය. මැතිවරන ව්‍යාපාරයේදී සෑම තනි රිපබ්ලිකානු මන්ත්‍රීවරයෙකුම, අසනු ඇත්තේ හා ඇසිය යුත්තේ, ඔබ ට්‍රම්ප් හා පුටින් සමඟ ද නැත්නම් සීඅයිඒ, එෆ්බීඅයි හා එන්එස්ඒ සමග ද?” යන්නයි.

ඇමරිකානු පාලක පන්තිය ඇමරිකානු ජනතාවට ඉදිරිපත්කර ඇති තේරීම එයයි: එක්කෝ ට්‍රම්ප් සමග පෙලගැසෙනු නැත්නම් “ගැඹුරු රාජ්‍යයේ” වගකීම් විරහිත හා මිනීමරු ක්‍රියාකාරීන් සමඟ පෙලගැසෙනු යන්නයි. විශ්වාසවන්ත ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ පිලිවෙත අනුයන ෆ්‍රීඞ්මාන් හා ටයිම්ස් පත්‍රය පැහැදිලි කර ඇත්තේ, ඩිමොක්‍රටිකයින් පසුව කී අය සමග ඉන්නා බවයි.

ෆ්‍රීඞ්මාන් හෝ එවැනිම පිලිවෙත් ඔස්සේ කථා කල හෝ ලියා ඇති දුසිම් ගනනක් වන මාධ්‍ය පන්ඩිතයින් කිසිවෙකුත් සඳහන් කර නැත්තේ, කුමන්ත්‍රනයන්ගේ සිට විදේශ නායකයින් ඝාතනය කර ඇති, වධබන්ධන හා රටතුල ඔත්තු බැලීමේ නිරතව ඇති මෙම ඒජන්සි විසින් සිදුකර තිබෙන දැවැන්ත අපරාධ ගැනයි. ට්‍රම්ප් විසින් පුටින් වෙත දිය යුතුව තිබුනු එකම නියම පනිවිඩය නම්, රුසියානු “ඇඟිලිගැසීම්, යුද්ධ ප්‍රකාශ කිරීමක් වන අතර, අපි අන් කවරදාකවත් නොතිබුනු තරමේ සම්බාධක පමනක් නොව, අපගේ අවි තොගයට ඇතුලත් සෑම සයිබර් අවියකම රස බැලීමට ඔබට සලස්වනු ඇත” යන තර්ජනය බව ෆ්‍රීඞ්මාන් අවධාරනය කරයි.

මේ වර්ගයේ භාෂාවක නොවරදින සුලු තර්කයක් ඇත. දෝෂාභියෝගයකින් ට්‍රම්ප් ඉවත් කල නොහැකිවනතාක් දුරට එයින් අර්ථවත් වන්නේ, මිලිටරි කුමන්ත්‍රනයකට දොර විවෘතව ඇතැයි යන්නය.

මෙම අදහසට සංයුක්ත ප්‍රකාශනයක් දුන්නේ, සීඅයිඒ මෙන්ම ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) ද නායකත්වය ඉසිලූ, ගුවන් හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයෙක් වූ මයිකල් හේඩන් විසිනි. ජාතික පොදු ගුවන්විදුලිය සමඟ පැවති හමුවකදී 16දා ඔහු, හෙල්සින්කියේදී කල ට්‍රම්ප්ගේ ප්‍රකාශ හෙලාදකිමින්, “මධ්‍යම තරමේ නිලධාරීන් පැමින මගෙන් අසන්නේ, මම මගේ ජනතාවට කුමක් පැවසිය යුතු ද යන්නයි. එය සැබවින්ම වැදගත් ප්‍රශ්නයකි.”

මිලිටරි සේවයේ නියුතුව සිටින, සීඅයිඒ හෙංචයියන් හා ඇමරිකානු ඔත්තු සේවා අංශවල හිටපු නිලධාරීන්ගේ කොටස් තිරයට පිටුපසින්, ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ කල යුත්තේ කුමක්දැයි සාකච්ඡා කරමින් සිටිති. මිලිටරිය ට්‍රම්ප්ට විරුද්ධව කුමන්ත්‍රනයක් මෙහෙයවුවහොත් ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය ඇමරිකානු ජුන්ටාව පිටුපස පෙල ගැසෙනු නොඅනුමානය.

පාලක පන්තිය තුල ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන්ගේ කනස්සල්ලට හේතු තෙආකාර ය. වෙලඳ යුද්ධය හා නැටෝව වැනි දිගුකාලීන මිත්‍ර සන්ධාන කඩාකප්පල් කිරීම මත පදනම්වුන ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන විදේශ පිලිවෙත ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යයට වල කපනු ඇතැයි ඔව්හු බිය වෙති.

දෙවනුව, ට්‍රම්ප්ට විරුද්ධ පාලක පන්තියේ හා රාජ්‍ය යාන්ත්‍රනයේ කොටස් දැකගන්නේ, මොස්කෝව සමඟ තාවකාලික හෝ අනුගතවීමේ ව්‍යායාමයක්, ඇමරිකාවේ මූලෝපායික අවශ්‍යතාවන්ට ප්‍රධාන තර්ජනයක් සේ සලකන රටක් සමඟ ගැටුමෙන්, අන්තරායකාරී ලෙස අපසරනය වීමක් සේය.

තෙවැනුව, ට්‍රම්ප් ආන්ඩුවට මැඩපැවැත්විය නොහැකි බව සනාථවී තිබෙන, ඇමරිකාව තුලම පන්ති ගැටුම් පුපුරා යාමේ කොන්දේසි මතුව ඒම පිලිබඳව පාලක පන්තිය තුල වැඩෙමින් ඇති බියයි. පැනනැගෙමින් තිබෙන සමාජ කැලඹීම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘතීන් ගේ සීමාවන් තුල මැඩපැවැත්විය නොහැකි වීම පිලිබඳව පාලක පන්තිය තුල අවබෝධයක් වැඩෙමින් තිබේ.

අන් සියල්ලටමත් වඩා, ඇමරිකාව තුලත් ලෝකය පුරාත් කම්කරුවන් අතර ධනවාදය කෙරේ වැඩෙන සමාජ ප්‍රතිරෝධය මගින් ගැඹුරු කෙරෙන දේශපාලන අර්බුදයෙන් මතු කෙරෙන අන්තරායන්ට මුහුන දිය හැක්කේ, පක්ෂ දෙකටම හා ධනපති පන්තියේ සියලු කොටස් වලට එරෙහිව වර්ධනය කෙරෙන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් හරහාය. එය කම්කරුවන්ගේ රාජ්‍ය බලය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව හා සමාජවාදය මත පදනම් විය යුතුය.

බිල් වෑන් ඕකන්

Share this article: