බෙසෝස්ට තත්පරයකට ඩොලර් 3,000ක්, ඇමසන් කම්කරුවන්ට දරිද්‍රතා වැටුප්

$3,000 per second for Bezos, poverty wages for Amazon workers

2018 ජූලි 18

සඳුදා ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 150 ඉක්මවා ගියේ, ඔහු නූතන ලෝක ඉතිහාසයේ පොහොසත් ම මිනිසා බවට පත් කරමිනි.

එවැනි මුදලක විශාලත්වය වටහා ගැනීම අපහසු ය. එහි නියම අර්ථය මතු වන්නේ ඇමසන් කම්කරුවන් 500,000කගේ සමාජ තත්වය සමග එකිනෙක කිට්ටුව තබන විට දී ය.

* 2018දී ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 50ක් උපයා ගෙන ඇත. වර්ෂයේ සෑම දිනකම ඔහු උපයා ඇති ඩොලර් මිලියන 255 එක්සත් ජනපදය තුල ඇමසන් කම්කරුවන් 10,000කගේ වාර්ෂික වැටුප්වලට සමාන ය.

* 2018දී බෙසෝස් තත්පරයකට උපයා ඇති ඩොලර් 2,950ක මුදල, ඉන්දියාවේ ඇමසන් කම්කරුවෙකුගේ වාර්ෂික වැටුප වන ඩොලර් 2,796ට වඩා වැඩි ය.

* 2018 දින පහක දී, බෙසෝස් 2017 ලෝකයේ ඇමසන් සාපල්‍යතා මධ්‍යස්ථානවල ( fufillment center ) සියලුම කම්කරුවන්ගේ ඒකාබද්ධ ආදායමට වඩා වැඩි මුදලක් උපයා ඇත.

* ඇමසන් සේවකයන් අතර බෙසෝස්ගේ ධනය බෙදා හැරුනේ නම්, සෑම අයෙකුට ම ඩොලර් 300,000ක චෙක් පතක් ලැබෙනු ඇත.

* සාමාන්‍ය කියවන්නෙකු මෙම කරුනු පහ කියවීමට ගන්නා කාලයේදී ,ජෙෆ් බෙසෝ ස් තවත් ඩොලර් 70,000ක් උපයා තිබෙනු ඇත, එය ඩොලර් 10,000ක් වන ගෝලීය සාමාන්‍ය වාර්ෂික අදායම මෙන් හත් ගුනයකි.

එවැනි ධනස්කන්ධයන්ගේ පැවතීම හෙලිදරව් කරන්නේ ඇමරිකානු හා ගෝලීය සමාජයේ කතිපයාධිකාරී ස්වභාවය යි. ධනවාදය යටතේ, බෙසෝස් හා ඔහු වැනි බිලියනපතියෝ දේශපාලන පක්ෂවල ආධිපත්‍යය දරති, රාජ්‍ය නිලයට පත් විය යුත්තේ කව්රු දැ යි තෝරති, ලෝක ආන්ඩුවල ප්‍රතිපත්ති තීන්දු කරති, එමෙන් ම ශාස්ත්‍රාලික ආයතන හා මාධ්‍ය මත තම පාලනය ඔස්සේ “මහජන මතය” හසුරුවති. මෙහි දී ද, බෙසෝස් ප්‍රධාන උදාහරනයකි. 2013දී ඔහු ඩොලර් මිලියන 250ට වොෂින්ටන් පෝස්ට් පත්‍රය මිල දී ගත්තේ ය. එම මුදල අද ඔහු දවසකට උපයන මුදලට වඩා අඩු ය.

මහා ධනස්කන්ධය පිටුපස මහා අපරාධ පවතී. බෙසෝස් තම බිලියන ගනන් උපයා ඇත්තේ ඇමසන් කම්කරු බලකාය කුරිරු ලෙස සූරාකෑම මගිනි, බෙසෝස්ගේ ධනය ඩොලර් බිලියන 60 වූ 2015 සිට මෙම සංඛ්‍යාව දෙගුනයකට වඩා වැඩි වී ඇත. 2015 සිට ඇමසන් දල වසයෙන් නව කම්කරුවන් 300,000ක් බඳවා ගෙන ඇත්තේ, සූරා කැවෙන නියම හමුදාවක අතිරික්ත ශ්‍රම වටිනාකම සාක්කුවේ දමා ගැනීමට බෙසෝස්ට මග පාදමිනි.

ඔවුන් කොතරම් වෙහෙසී වැඩ කරනවා දැයි මනින අධීක්ෂන උපකරන පලඳින, දිනකට පැය 14ක් දක්වා ඇවිදීමට හෝ දිවීමට බල කෙරෙන, තම කම්කරුවන්ගෙන් සෑම අන්තිම දහඩිය බිඳුවක් ම කැටි කර ගැනීමට 21වැනි සියවසේ ක්‍රමවේද හඳුන්වා දෙමින් ඇමසන් තරඟකාරී මුවහත ලබා ඇත. තුවාල වීම් සුලභ ය, මරන හෝ සිය දිවි නසා ගැනීම් ද අඛන්ඩව සිදු වේ. (ඇමරිකානු) වෘත්තීය ආරක්ෂාව පිලිබඳ ජාතික කවුන්සිලය නිගමනය කර ඇත්තේ ඇමසන් එක්සත් ජනපදය තුල ඉතාමත් අනතුරුදායක සේවාස්ථාන වන බව යි.

විදේශයන් හි තම අධිරාජ්‍යවාදී යුද්ධ හා රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ගෙස්ටපෝ ආකාරයේ ප්‍රහාරයන් ගෙන යන එක්සත් ජනපද ආන්ඩුවේ අපරාධවලට ඇමසන් අතිශයින් සම්බන්ධ බව ඇඟ වේ.

එම සමාගම එක්සත් ජනපද මිලිටරිය හා මධ්‍යම ඔත්තුසේවා ඒජන්සියේ වෙබ් සර්වර් (පරිගනක) වල සත්කාරක ලෙස කටයුතු කරන අතර, කඩා පැනීම් හැසිර වීමට හා සංක්‍රමනිකයන් ගාල් කිරීමට ආගමන හා රේගු බලගැන්වීම් (අයිසීඊ) ආයතනය විසින් යොදා ගැනෙන මෘදුකාංග සපයන දත්ත විශ්ලේෂක සමාගමක් වන පැලන්ටිර් සමාගමට තම ක්ලවුඞ් සර්විස් නම් පරිගනක තාක්ෂනය අලවි කරයි. මැයි මාසේ දී, පොලිස් දෙපාර්තමේන්තුවට හා ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඇමසන් ඔර්වේලියානි මුහුනු හඳුනා ගැනීමේ මෘදුකාංගය ද අලවි කරන බව අයිසීඊ වාර්තා කලේ ය.

මෙම සංගත යෝධයාට එරෙහිව සමාගම තුලින් ම ද ඇතුලුව විරුද්ධත්වය මතු වෙමින් තිබේ.

ජූනි මාසයේ දී, හෙලි නොකල සංඛ්‍යාවක ඇමසන් සේවකයෝ මහා පිටුවාහල් කිරීම් හා පොලිස් සෝදිසි කිරීම් තුල එහි සම්බන්ධය නවතා දමන ලෙස ඉල්ලන ලිපියක් ප්‍රසිද්ධ කලෝ ය. “මෙය රාජ්‍ය සෝදිසි කිරීම් සඳහා බලගතු උපකරනයක් වනු ඇති අතර, අවසාන වසයෙන් උදව් කරන්නේ වඩාත් ම කොන් කෙරුනු පුද්ගලයන්ට හානි කිරීමට” යැයි ලිපිය පවසන්නේ, සමූහ සිර කඳවුරුවල මිලියන ගනනාවක් ඝාතනය කිරීමට හිට්ලර්ට පොදුකාර්ය පහසුකම් සැපයීමේ දී අයිබීඑම් (ජාත්‍යන්තර ව්‍යාපාර යන්ත්‍ර) නම් ඇමරිකානු බහු ජාතික තාක්ෂන සමාගමේ පැටලීම සඳහන් කරමිනි.

මෙම වසරේ දී ද ලෝක පරිමානව ඇමසන් සේවාස්ථානවල වැඩවර්ජන මාලාවක වර්ධනය දක්නට ලැබුනි. ස්පාඤ්ඤය, පෝලන්තය හා ජර්මනියේ කම්කරුවන් පහල වැටුප්, “තාවකාලික තත්වයේ සැමදා තබා ගැනීම”, හා ආසන්න වසයෙන් විශ්වව්‍යාපී ම්ලේච්ඡ වැඩ කොන්දේසි සම්බන්ධයෙන් කෝපයට පත් ව, “වැදගත් දවස” නමින් ජූලි 16 සිට 17 දක්වා පැවති පැය 36ක අලවි ප්‍රවර්ධන කාල පරිච්ඡේදය හා සම්පාත වන පරිදි සීමිත විරෝධතා වැඩවර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කලහ.

වැදගත් දවස විරෝධතා වැඩවර්ජනයක් කැඳවීමේ දී වෘත්තීය සමිතියේ ඉලක්කය වන්නේ ඒවාට සහභාගී වන කම්කරුවන්ගේ අපේක්ෂාවන්ගේ සැබෑ විරුද්ධ පැත්ත යි.

ස්පාඤ්ඤයේ දී වෘත්තීය සමිති තනි සාපල්‍යතා මධ්‍යස්ථානයකට වැඩවර්ජනය කොටු කර ඇත. ජර්මනිය තුල, කම්කරුවන්ගෙන් බහුතරය වර්ඩි වෘත්තීය සමිතිය (ජර්මානු එක්සත් සේවා වෘත්තීය සමිතිය) විසින් කැඳවන ලද එක් දින වැඩවර්ජනයට සහභාගී වීමට තෝරා නො ගත්තේ, වර්ඩි නිතිපතා සංගත ලාභවලට බල නො පාන හුදකලා වැඩවර්ජන කැඳවන බව දන්නා බැවිනි. පෝලන්තයේ දී, වෘත්තීය සමිතිය පාර්ශ්වීය අකුරට වැඩ කිරීමක් කැඳවා තිබුනේ පලල් වැඩවර්ජනයන් අවහිර කරනු පිනිස ය.

කම්කරුවන්ට ඇමසන් සැපයීම් දාමයන් වසා දැමීමට හා දැවැන්ත වැටුප් වැඩිවීමක් හා සේවා තත්වයන්ගේ සැලකියයුතු වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වූ අතර, ආරම්භයේ දී ම වෘත්තීය සමිති පිලිගෙන ඇත්තේ, ඇමසන් සැපයීම් දාමයට බලපෑමක් ඇති නො කෙරෙන සීමිත විරෝධතාවක් ලෙස වැඩවර්ජනය සංවිධානය කරන බව යි.

ජාතික සීමා හරහා සම-කම්කරුවන් සමග පොදු ජාත්‍යන්තර අරගලයක් තුල එක්සත් වීමට කම්කරුවන් අපේක්ෂා කරන අතර, ඒවායේ ස්වභාවය අනුව වෘත්තීය සමිති “තමන්ගේ ම” ජාතික රාජ්‍යය හා ආන්ඩුවලට කම්කරුවන් බැඳ තබති.

ඇමසන් තුල මෙන් ම ලෝක පරිමානව සියලු වැඩපොලවල, වෘත්තීය සමිති සේවය කරන්නේ පන්ති අරගලයේ වර්ධනය සඳහා ප්‍රනාලයක් (conduit) ලෙස නොව බාධකයක් ලෙස ය. දේශපාලන ක්‍රියාකාරිත්වය හා සමාජ සංයුතිය යන අර්ථ දෙකෙන් ම ඒවායේ නායකයෝ, තම වෘත්තීය සමිති ගාස්තුවලින් ඔවුන්ට වැටුප් ගෙවන කම්කරු පන්තික සාමාජිකයින්ට විරුද්ධ ය. ඇමසන් තුල හා අනෙකුත් තැන්වල පන්ති අරගලයේ කුරිරු මර්දනය හරහා වෘත්තීය සමිති ජෙෆ් බෙසෝස්ගේ ධනය ගොඩ ගසා ගැනීම පිලිබඳව වග කිව යුතු ය.

අන්තර්ජාතික සංගතවලට එරෙහි තම අරගලයන් හි දී, කම්කරුවන් වෘත්තීය සමිතිවල මාංචු ඉවත් කල යුතු අතර, නව, සාමාජිකයින්ගේ කම්කරු කමිටු ගොඩනැගිය යුතු ය.

එක් එක් වැඩපොලවලට කම්කරුවන් කොටු නො කිරීමට, මෙම කම්කරු කමිටු එකිනෙකට වෙනස් සේවාස්ථානවල කම්කරුවන් අතර සන්නිවේදන මාර්ග ස්ථාපිත කිරීමට සටන් කල යුතු ය. මේවා ස්ථාපිත කල යුත්තේ කම්කරුවන්ගේ හා ධනපතීන්ගේ උත්සුකයන් එකිනෙකට නො පෑහේ යන්න මත මිස, කම්කරුවන් හා කලමනාකරනය අතර “සහයෝගය” මත නො වේ. ඒවා කම්කරුවන් අතර ම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා, සැලසුම් කිරීම හා වාදවිවාදවල ඉහල ම මට්ටම් පවත්වා ගත යුතු ය. ඒවා පදනම් කල යුත්තේ කම්කරු පන්තිය යනු ජාත්‍යන්තර සමාජ බලවේගයක් වන අතර ජාතිකත්වය මත බෙදීමෙන් කම්කරුවන් බෙලහීන වෙත යි යන වැටහීම මත ය.

පන්ති අරගලයේ මර්දනය පෙර නො වූ විරූ මට්ටම්වල සමාජ අසමානත්වය ඇති කර ඇත. එක්සත් ජනපදය තුල, පුද්ගලයන් තිදෙනෙකුට ජනගහනයේ දුප්පත්ම අර්ධයේ, එනම් පුද්ගලගයන් මිලියන 160ගේ ධනය තරම් ධනයක් හිමි වේ. ලෝක මට්ටමින්, පොහොසත් ම පස්දෙනාට දුප්පත්ම අර්ධයට වඩා, එනම් පුද්ගලයන් බිලියන 3.6ට වඩා වැඩි ධනයක් හිමි ය. ලෝක ජනගහනයේ පොහොසත් ම සියයට 5 සිට 10ට පිටත, මහජනතාව ආන්තික මට්ටමේ ස්වභාවයෙන් පමනක් වෙනස් වන ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දෙති.

අසමානත්වයේ එවැනි අන්ත මට්ටම් පැවතීම සමාජවාදී විප්ලවයේ හදිසි අවශ්‍යතාව මතු කරයි. සමාජයට ධනේශ්වර පද්ධතිය දැරිය නො හැක. සංගත බැංකු සුරක්ෂිතාගාරවල හා සුපිරි පොහොසතුන්ගේ බාරකාර අරමුදල්වල ලගින ඩොලර් ට්‍රිලියන ගනනාවේ අයිතිය පැහර ගත යුතු අතර, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර ජලය, ආහාර, අධ්‍යාපනය, සංස්කෘතිය, නිවාස හා පොදුකාර්යපහසුකම් සැපයීමට යෝධ ජාත්‍යන්තර වැඩසටහන් සඳහා වියදම් කල යුතු ය.

ධනවාදය යටතේ ගැටුම්, යුද්ධ හා තරඟයේ මූලය ලෙස සේවය කරන ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර සමෝධානය, සමාජවාදය යටතේ, ලෝකයේ එක් එක් කාලපවලින් තම හැකියාව අනුව, එක් එක් කලාපයට තම ජනගහනයේ අවශ්‍යතාව අනුව සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රනයක් වනු ඇත. සෑම මහාද්වීපයකම, රටවල් දුසිම් ගනනාවක, තම සංකීර්න ප්‍රවර්ධනීය වෙබ් අඩවි විහිදීම සහිත ඇමසන්, ලෝකය පුරා ඖෂධ, ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර හා ආපදා සහනාධාර බෙදා හැරීමේ මහජන උපයෝගිතාවක් බවට පරිවර්තනය කෙරෙනු ඇත.

එරික් ලන්ඩන්

Share this article: