ඩිමොක්‍රටිකයන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනයෙන් බොහෝ ඇමරිකානුවෝ නො සැලෙති

Democrats’ anti-Russia campaign leaves most Americans unmoved

2018 ජුලි 25

හෙල්සින්කි නගරයේ දී ව්ලැඩිමීර් පුටින් සමග පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුවෙන් පසු, ඩිමොක්‍රටික් පක්ෂය ද ඇමරිකානු මාධ්‍ය රොත්ත ද එක්සත් ජනපද ජනාධිපතිට කුරිරු ලෙස පහර දී ඇත්තේ, ඔහු පවාදෙන්නෙකු හෝ ක්‍රෙම්ලිනයේ රූකඩයෙකු යයි නම් කරමිනි. ට්‍රම්ප්ගේ ජය සහතික කිරීමට 2016 ජනාධිපතිවරනයට රුසියාව මැදිහත් වූ බවට එක්සත් ජනපද ඔත්තුසේවා ඒජන්සි විසින් කරන ලද ප්‍රකාශ ප්‍රශ්න කිරීම මගින්, “ඇමරිකාව විකුනා දැමීම” වෙනුවෙන් සැබෑ ඒකමතිකභාවයක් ඇතිව මාධ්‍ය ට්‍රම්ප් හෙලා දකිනු ලැබ ඇත.

දේශපාලන සංස්ථාපිතය ඇතුලත හා ඩිමොක්‍රටික් පක්ෂය සමග සන්ධානගත ඉහල මධ්‍යම පන්තියේ පොහොසත් කන්ඩායම් අතර උත්සන්න කෙරෙන සංක්ෂෝභය නොතකා, ඩිමොක්‍රටිකයන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනය ඇමරිකානු මහජනතාවගේ පුලුල් සමූහයන් අතර කැපී පෙනෙන ප්‍රතිචාරයක් ලබා නොමැත.

හෙල්සින්කි සමුලුවෙන් පසු පැවති මත විමසුමක් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල වාර්තා කරන අතර, එක් වෝල් ස්ට්‍රීට් ජර්නල්/එන්බීසී මත විමසුමකට අනුව ජූනි මාසය හා සසඳන විට ට්‍රම්ප්ගේ අනුමත කිරීමේ ශ්‍රේනිය සියයට එකක වර්ධනයක් පෙන්වන්නේ, එය සියයට 45 දක්වා ගෙන එමිනි. එය ඔහුගේ ජනාධිපතිත්වයේ දී ලැබූ ඉහල ම ඇගයුම යි.

ඒ අතරම, මෙම මත විමසුම පෙන්වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරියේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට වන පුලුල් මහජන විරුද්ධත්වය යි. අධ්‍යයනයට අනුව ඡන්දදායකයින්ගෙන් සියයට 55ක් ට්‍රම්ප් දේශසීමා ආරක්ෂාව හසුරුවන ආකාරය සමග නො එකඟ වන අතර, සංක්‍රමනික ලමුන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කිරීම හා ඔවුන් රඳවා ගැනීමේ කඳවුරුවල හිර කිරීමට සියයට 58ක් විරුද්ධ වෙති.

වොෂින්ටන් පෝස්ට් හා ඒබීසී නිව්ස් විසින්, හෙල්සින්කි සමුලුවට පසුව පවත්වන ලද තවත් මත විමසුමක් වාර්තා කරන්නේ, ඇමරිකානුවන්ගෙන් අඩකට වඩා ට්‍රම්ප් එම හමුව හැසිර වූ ආකාරය අනුමත කරන බව යි.

එමෙන් ම ධනේශ්වර මාධ්‍ය විසින් පවත්වනු ලබන මත විමසුම්වලට හැමවිට ම සැකයෙන් යුතුව සැලකීම අවශ්‍ය වන්නේ, මේවා ම ද වොෂින්ටනයේ අභ්‍යන්තර යුද්ධයේ කොටස් වන බැවිනි. වෙනත් මත විමසුම් පෙන්වන්නේ ට්‍රම්ප් අනුමත කිරීමේ ශ්‍රේනිය පහල යමින් තිබෙන බවයි, ඔහු දැඩි ලෙස වෛරයට පාත්‍ර වී සිටින බවට සැකයක් නොමැත.

කෙසේ නමුත්, රුසියානු “ඇඟිලි ගැසීම්” සම්බන්ධ ඩිමොක්‍රටික් උද්ඝෝෂනය මහජන ප්‍රතිචාරයක් උපදවමින් නො තිබෙන බව පැහදිලි ය. “සීඅයිඒ සමග දිගටම!” “රුසියාව සමග යුද්ධය!” හෝ සමහර විට “අභ්‍යන්තර රාජ්‍ය දෙවියෝ රකිත්වා” යන ඔවුන් මනාප සටන්පාඨ යටතේ ඩිමොක්‍රටිකයන් පෙලපාලි කැඳවී නම්, සැලකියයුතු සහභාගිත්වයක් ඇති නො නො වන්නට ඉඩ තිබුනි. ඇමරිකානු ජනගහනයේ පුලුල් බහුතරය යුද්ධයට පක්ෂ අය නො වෙති. තව ද, 2016 තමන් කල ආකාරයට තමන් ඡන්දය දුන්නේ මන්ද යන්න, හා එමෙන් ම එයට පුටින් සමග කරන්න දෙයක් නො තිබූ බව ද ඔවුහු දනිති.

2016 ජනාධිපතිවරන අපේක්ෂකයින් දෙදෙනා එක්සත් ජනපද ඡන්ද ඉතිහාසයේ වඩාත් ම අපකීර්තිමත් අය වූහ. ඔබාමා විසින් තමන් රවටන ලද බව දැනුනු බෙහෝ කම්කරුවන් ඩිමොක්‍රටිකයන්ගෙන් ඉවතට හැරුනේ, යුද්ධය, කප්පාදු කිරීම් හා බැංකුකරුවන්ට දොලපිදේනි දුන් ඔහුගේ අටවසර තුල ජනිත පිලිකුල සමගිනි.

වෝල් වීදිය හා මිලිටරි-ඔත්තුසේවා සංවිධනාවල දූෂිත ඉත්තෙකු වන ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පෙනී සිටින්නේ කව්රු වෙනුවෙන් දැ යි ඔවුහු දුටුවෝ ය. බර්නී සෑන්ඩර්ස් කල්තියා සැකසුන තම යටත් වීම ක්‍රියාවට නගා ක්ලින්ටන්ට පිටුබලය දුන් අවස්ථාවේ, වැඩබිම් වසා දැමීම හා දොට්ට දැමීම් මගින් විනාස කෙරුනු කම්කරුවන්ගේ කොටස් අතර ද ඇතුලුව, සංස්ථාපිත විරෝධී මනෝගතීන්ට, ගෝසාබදු ලෙස ආයාචනා කිරීමට ට්‍රම්ප්ට පූර්න ලෙස වේදිකාව සකස් කර දෙනු ලැබිනි.

රුසියානු “ඇඟිලි ගැසීම්” හා 2016දී ට්‍රම්ප්ගේ “කුමන්ත්‍රනය” පිලිබඳ ප්‍රබන්ධය මත ඩිමොක්‍රටිකයන් වාරු වූයේ, ක්ලින්ටන් විවෘත ලෙසටම පිලිකුලෙන් සැලකූ, කම්කරු පන්තියේ සැබෑ උත්සුකයන් විසඳීමට මොන යම් හෝ ප්‍රතිපත්තීන් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වූ නිසා ය. කම්කරුවන්ගේ හා තරුනයන්ගේ උත්සුකයන් මත පදනම් ව මහජනයාට ආයාචනයක් කිරීමට අද ඔවුහු ඊටත් වඩා අසමත් ය. ඒ වෙනුවට, ඔවුන් පුනුරුච්ඡාරනය කරන්නේ, 2016 ඔවුන්ගේ මැතිවරන පරාජය ඇති කල එකම පොලඹවා ගැනීම යි.

සැබවින් ම, හෙල්සින්කි සමුලුව සම්බන්ධ මාධ්‍ය සංක්ෂෝභයේ එක් ප්‍රතිඵලයක් ලෙස එය මෙම ප්‍රශ්නය මත 2018 තම මැතිවරනය උද්ඝෝෂනය කේන්ද්‍රගත කිරීමට ඔවුන්ට ඉඩ ලබා දෙනු ඇත යි ඩිමොක්‍රටිකයෝ අපේක්ෂා කරති. වොෂින්ටන් පෝස්ට් පත්‍රය පසු ගිය සතියේ මෙසේ වාර්තතා කලේ ය, “ට්‍රම්ප් හා රුසියාව ඡන්දදායක ප්‍රමුඛත්වයන්ගේ ලැයිස්තුවේ පහලට දමා ඇති මත විමසුම් හා කේන්ද්‍රීය කන්ඩායම් උපුටා දක්වමින්, ඩිමොක්‍රටික මූලෝපායඥයන් අපේක්ෂකයින්ට හා පක්ෂ නායකයින්ට මාස ගනනාවක් තිස්සේ උපදෙස් දී ඇත්තේ ‘කුස්සි මේසේ’ ප්‍රශ්න කතා කිරීමට ය. දැන් ... මෙම මූලෝපායඥයින් විශ්වාස කරන්නේ පදනම වෙනස් වී ඇති බව විය හැකි යි.”

ට්‍රම්ප්ගේ පත්වීමේ සිට, ඩිමොක්‍රටිකයන් තම ශක්තීන් කැපකර ඇත්තේ ෆැසිස්ට්වාදී බිලයනපතියාට පවතින විරුද්ධත්වයට යටින් වල හාරමින් හා එය මර්දනය කරමිනි. ට්‍රම්ප්ගේ සමාරම්භක අවස්ථාවේ පිපිරුනු මහජන විරෝධතාවන්ගෙන් හා මෙම වසරේ ඇති වූ ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ලෙන් ඔවුහු බියට පත් කෙරුනි. ඔවුන් මුලු හිතින් ම වැඩ කර ඇත්තේ රුසියාව සමග මිලිටරි ගැටුම, අන්තර්ජාල වාරනය හා මිලිටරි -ඔත්තුසේවා “ගැඹුරු රාජ්‍ය” ආරක්ෂා කිරීම පිටුපස සමාජ හා දේශපාලන අතෘප්තිය හරවා යැවීමට යි.

මෙය බොහෝ දුරට මතු කරන්නේ සැබෑ අනතුරකි. හෙල්සින්කි සමුලුවෙන් පසු ඩිමොක්‍රටිකයන්ගේ යුද ගැති සංක්ෂෝභය ඔහුගේ දක්ෂිනාංශික ජාතිකවාදී ස්වරූපය නීත්‍යානුකූල කිරීමට උදව් කරමින්, ට්‍රම්ප්ගේ සංස්ථාපිත විරෝධී විශ්වාසනීයත්වය ඔප දමා ඇතිවා පමනි. ට්‍රම්ප්ට ඇති ඩිමොක්‍රටික් විරුද්ධත්වයේ මුලුමනින් ම දක්ෂිනාංශික, යුද ගැති ස්වභාවය අවධාරනය කරන්නේ ධනේශ්වර ද්විපක්ෂ පද්ධතියේ රූපරාමුව තුල කම්කරු පන්තියේ මනෝගතීන් හා උත්සුකයන්ට කිසි යම් හෝ ප්‍රකාශනයක් සොයා ගැනීමට නො හැකි බව යි.

ඩිමොක්‍රටිකයන් කතා කරන්නේ, රුසියාවට එරෙහිව ඔබාමා පාලනාධිකාරිය විසින් ආරම්භ කරන ලද ආක්‍රමනකාරී ප්‍රතිපත්තියෙන් පසු බසින ඕනෑ ම අයෙකුට විරුද්ධ වන, එක්සත් ජනපද ඔත්තුසේවා සංකීර්නයේ බලගතු කල්ලි හා මිලිටරි සේනාපතිත්වයේ හා මූල්‍ය ප්‍රභූවේ කන්ඩායම් වෙනුවෙනි. ඔවුන් මහජන මතය මෙහෙය වීමට උත්සාහ කරමින් සිටින්නේ ජෝ මැකාති හා ජෝන් බර්ච් සමාජයේ දිනවලට ආපසු යන රුසියානු විරෝධී සංක්ෂෝභයේ ප්‍රබන්ධය පුනරුත්ථාපනය කිරීමෙනි.

අනෙක් අතට, ට්‍රම්ප් කතා කරන්නේ වොෂින්ටනයේ වෙලඳ ශේෂය ආපසු හරවනු පිනිස ගෝලීය ආර්ථිකය හා භූමූලෝපායික පර්යාය තුල එක්සත් ජනපදයේ ප්‍රමුඛ තත්වය ඉස්සීමට පක්ෂ වන්නා වූ ද එමෙන් ම ඉරානයට එරෙහිව එක්සත් ජනපදය අනුබලය දෙන යුද්ධය පිලිබඳ රුසියාවේ පිලිගැනීම වෙනුවෙන් මොස්කව්ව සමග තාවතාලික එකඟත්වයකට සහාය දක්වන්නා වූ ද පාලක පන්තියේ කල්ලියකට ය.

යුද්ධය හා ප්‍රතිගාමිත්වය මත පක්ෂ දෙකේ මූලික එකඟත්වය ප්‍රදර්ශනය කෙරෙන්නේ කොන්ග්‍රස් මන්ඩලය ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙන ඩොලර් බිලියන 717ක වාර්තාගත මිලිටරි අයවැයට වන අතිවිශාල ද්විපාක්ෂික සහයෝගය මගිනි.

කෙසේ නමුත්, සම්පූර්නයෙන් ම වෙනස් හා විරුද්ධ සමාජ ස්වභාවයක තවත් විරුද්ධත්වයක් ට්‍රම්ප්ට ඇත. යුද්ධය, අසමානතාව හා ඒකාධිපතිවාදයට එරෙහි අරගලයක දී සමාජයේ ප්‍රගතිශීලී කොටස් තමන් පිටුපස බලමුලු ගැන්වීමට සමත් එකම සමාජ බලවේගය කම්කරු පන්තිය යි.

පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයේ කොටසක් වන, එක්සත් ජනපදය තුල ගුරුවරුන්ගේ නැගිටීම පෙන්වා දී ඇත්තේ කම්කරු පන්තියේ විරුද්ධත්වය මර්දනය කිරීමේ වෘත්තීය සමිතිවල හැකියාව දෙදරා යමින් තිබෙන බව යි. කම්හල්වල සාමාජිකයන්ගේ හා අසල්වාසින්ගේ කමිටු ලෙස කම්කරු පන්තියේ නව සංවිධාන ගොඩ නැගීම මගින්ද පාලක පන්තියේ දේශපාලනඥයින්ට හා පක්ෂ වලටද ඔවුන් ආරක්ෂා කරන ධනපති ක්‍රමයට ද එරෙහිව සමාජවාදී, විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් එල්ල කිරීම මගින්ද මෙම ප්‍රතිරෝධය පුලුල් කර ඊට සංවිධානාත්මක හා දේශපාලනික ප්‍රකාශනයක් අත්කර දිය යුතුය.

බැරී ග්‍රේ

Share this article: