වෘත්තීය සමිතිවල සීමාකිරීම් මධ්‍යයේ ගුරුවරු වර්ජනයට එක්වෙති

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 ජූලි 8

පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ගුරුවරු

අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු සේවයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් බදාදා කැඳවන ලද වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහොමයක් පාසල් වල දෛනික කටයුතු අකර්මන්‍ය විය. වර්ජනයට සම්බන්ධ වූ දහසකට ආසන්න විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහ ගුරුවරු බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

ආන්ඩුව විරෝධතාවයට පහර දීම සඳහා අධි පීඩන ජල විදින රථ සහ කැරලි මර්දන ඒකක සීරුවෙන් තබා තිබූ අතර විරෝධතාවය අතරතුර එතැනට කඩාවැදුනු ආන්ඩුවෙන් පත්වීම් ලද නිලධාරීන් යැයි කියාගත් මැර කන්ඩායමක් පොලිසිය බලාසිටියදී ම ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් විරෝධතාකරුවන් දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කලේය. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලත් ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම රෝහල් ගත කෙරින.

විරෝධතාවයට පහර දීම සඳහා ආන්ඩුවෙන් පත්වීම් ලද නිලධාරීන් යැයි කියාගත් මැර කන්ඩායම

සේවයට වාර්තා කරන්නන්ට බාධා කරන අය සම්බන්ධයෙන් “තදින්” ක්‍රියා කරන බවට වර්ජකයන් ට විරුද්ධව ආධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් සියුම් තර්ජනයක් කල අතර “අධ්‍යාපන ක්ෂේත්‍රය පටු දේශපාලන න්‍යායපත්‍ර සඳහා යොදා නොගත යුතු” බව කියමින් වර්ජනයට සූදානම් වන ගුරුවරුන්ට අනතුරු ඇඟවීමක් ද කලේය. වර්ජනයෙන් පසු එයට සම්බන්ධ වූවන්ට එරෙහිව දඩයමක් දියත් කිරීමට ආන්ඩුවේ උත්සුකය ප්‍රකාශයට පත්කරමින් “ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් නොයෑමට බලකල නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා” බව ද ඇමති නිවේදනය කලේය. එමෙන් ම පාසල්වලට පොලීසිය විසින් දුරකථන ඇමතුම් දී සේවයට වාර්තා නොකල අය පිලිබඳව විමසා ඇත.

වර්ජනය කැඳවුම් කලේ ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස), ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සමිතිය ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති එකතුවක් විසිනි. අධ්‍යාපන පරිපාලන සේවයට සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමේදී “දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීමේ මුවාවෙන්” ආන්ඩුවේ හිතවතුන් බඳවා ගැනීමට විරෝධය පෑම වර්ජනයේ අරමුන විය.

වෘත්තීය සමිති සඳහන් කරන අන්දමට නියමිත පටිපාටියට පිටින් බඳවා ගනු ලබන නිලධාරීන් ගනන 1200ක් පමන වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලතල වලට තමන්ගේ හිතවතුන් පත්කර ගැනීම සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක් විසින්ම සිදුකර ඇති අතර එහි අරමුන වනුයේ එම ක්ෂේත්‍රයේ කප්පාදුව ඇතුලු තමන්ගේ ප්‍රතිගාමී න්‍යාය පත්‍රයන් ක්‍රියාවේ යෙදවීම සඳහා කන්ඩායමක් ගොඩනගා ගැනීමයි.

කෙසේ නමුත් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම සිසුන් ද මුහුන දී සිටින මූලික ප්‍රශ්න මග හැර “දේශපාලන හිතවතුන්ට පත්වීම් සහ උසස්වීම් දීමට” විරුද්ධවීම පදනම් කරගෙන ගුරු වෘත්තීය සමිති විසින් වර්ජනයක් කැඳවීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල බෙදීමක් නිර්මානය කිරීම සහ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි පිලිබඳව ඔවුන් මුහුන දෙන පොදු ප්‍රශ්න සඳහා අරගලයකින් ඔවුන් ඉවත හැරවීමකි.

වෘත්තීය සමිති වල සීමා කිරීම් පවතිද්දී වුවත් බොහොමයක් ගුරුවරු “ලෙඩ නිවාඩු” දමා සේවයට වාර්තා නොකර සිටීමෙන් සිය අයිතීන් ලබාගැනීම සඳහා සටන් කිරීමට පවතින තමන්ගේ සූදානම ප්‍රදර්ශනය කලහ. වර්ජනයට සහභාගීත්වය යම් පමනකින් අඩුවූයේ නම් ඊට හේතුව වූයේ වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය හේතුවෙන් ගුරුවරුන් අතර ඇති වී තිබූ ව්‍යාකුලත්වය සහ සමිති කෙරෙහි ම පවතින අවිශ්වාසයයි.

තියුනු වන ආර්ථික අර්බුදය මැද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අන කෙරෙන කප්පාදු වැඩපිලිවෙලයි. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු රාජ්‍ය සුබසාධනයන් සඳහා වන ආන්ඩුවේ වියදම් දිගින් දිගටම කපා හැරීම නිසා එම ක්ෂේත්‍රයන් හි කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසි මෙන්ම එම සේවාවන්ගේ තත්වය පිරිහී යමින් පවතී.

සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල දියත් කෙරී ඇති කප්පාදුවේ කොටසක් ලෙස පාසල් තුල අධ්‍යාපනයට සහ ගුරුවරුන්ගේ රැකියා කොන්දේසි වලට එල්ල වී ඇත්තේ තියුනු ප්‍රහාරයකි. පාසල් තුල ගුරුවරුන්ගේ පුරප්පාඩු සම්පූර්න නොකිරීම හේතුවෙන් උපරිම කාලච්ඡේද සංඛ්‍යාවක් ඉගැන්වීම් වල නිරත වීමට ගුරුවරුන්ට බල කෙරී තිබේ. එමෙන් ම, පාසල් පරිපාලනයෙන් ඉල්ලා සිටින ප්‍රතිඵල ලඟාකර දීම සඳහා නියමිත වේලාවෙන් පසුව පාසල තුල උපකාරක පන්ති පැවැත්වීම, සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වල වගකීම් දැරීම සහ සිසුන්ගේ ලිපිගොනු නඩත්තු කිරීම ආදී දැරිය නොහැකි රාජකාරී ප්‍රමානයක් බොහොමයක් ගුරුවරුනට පවරා ඇත.

එවැනි වැඩප්‍රමානයක් වෙනුවෙන් කිසිසේත් ප්‍රමානවත් නොවන වැටුපක් ලැබීම සහ වැටුප් වර්ධක වසර ගනන් ප්‍රමාද වීම නිසා ගුරුවරුන් අතර පැතිර පවතින්නේ තමන්ගේ රැකියා කොන්දේසි සම්බන්ධ බලවත් අතෘප්තියකි. එහෙයින් තමන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා අවශේෂ කම්කරුවන් මෙන්ම ගුරුවරු ද පුලුල් අරගලයකට ප්‍රවිෂ්ට වීමේ උවමනාවෙන් පසුවෙති.

රාජ්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන කප්පාදු කිරීම සහ ගුරුවරුන් මත වැඩ වේගවත් කිරීමේ සැලසුම් පැටවීම ගැඹුරුවෙමින් පවතින ලෝක ධනවාදයේ අර්බුදය තුල කම්කරු පන්තියට විරුද්ධව සෑම රටක් තුල ම පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ ප්‍රතිවිප්ලවයේ කොටසකි. සති කිහිපයකට පෙරාතුව ඇමරිකාවේ ගුරුවරු දසදහස් ගනනක් වීදී අරක් ගත් අරගලවලට ප්‍රවිෂ්ට වුයේ එරට ප්‍රාන්ත ආන්ඩු විසින් ක්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් වලට එරෙහිවය.

බදාදා පැවති අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ හා ගුරුවරුන්ගේ උද්ඝෝෂනය මෙම ජාත්‍යන්තර අරගලයන්ගේ මෙන් ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන ප්‍රහාරවලට එරෙහිව පොදුවේ කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් තිබෙන අරගල වල කොටසකි. මෑත සතිවල විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්, ජල සම්පාදන මංඩලයේ හා තැපැල් සේවකයන් ගේ දීර්ගකාලීන අරගල පැන නැගුනේ ආන්ඩුවේ එම ප්‍රහාරවලට විරුද්ධව ය.

එහෙත් උද්ඝෝෂකයන් ඇමතු ලංකා ගුරු සංගමයේ (ලගුස) ලේකම් ජෝසප් ස්ටැලින් “වැටුප් ප්‍රශ්න තියෙනවා , උසස්වීම් ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී අපි මූලික ප්‍රශ්නේ අරන් තියෙන්නේ. මොකද පද්ධතිය පිරිසිඳු නැත්නම් ඒ කිසිවක් විසඳගන්න ලැබෙන්නේ නැහැ” යයි ප්‍රකාශකරමින් ගුරුවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු සේවකයන් මුහුන දෙන පොදු ප්‍රශ්න දෙවන ගනයට දැමී ය.

බදාදා උද්ඝෝෂනය කැඳවුම් කල සමිති එකතුවේ ලගුස සහ ජවිපෙට සම්බන්ධ ලගුසේස ඇතුලු සමිති සියල්ලම හෝ ඉන් බහුතරයක් මහින්ද රාජපක්ෂගේ “ඒකාධිපති පාලනය පරාජය” කිරීමේ නමින් වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒ මට දර දිය ඇද්දාහ. රාජපක්ෂ නතර කල තැනින් පටන් ගෙන ජාමුඅ විසින් අන කරන ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම මෙම ආන්ඩුව විසින් තීව්‍ර කර ඇත.

එම තතු තුල ගුරුවරුන්ගේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු සේවකයන් ගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් අරගලයක් කැඳවුම් කලහොත් එය ආන්ඩුව සමග ගැටෙන බලගතු දේශපාලන අරගලයක් වේයයි මෙම සමිති නායකයෝ බිය වී සිටිති. සමිති නිලධරයේ නොමග යැවීම් සහ මග අහිරීම් තිබිය දීම තමන්ගේ රැකියා වැටුප් හා සේවා කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාරවලට විරුද්ධව පොදු අරගලයක් කිරීමේ උවමනාව ගුරුවරුන් අතර වර්ධනය වෙමින් තිබේ.

වර්ජනයට සම්බන්ධ වූ පුත්තලම අධ්‍යාපන කලාපයේ ජාතික පාසලක තොරතුරු තාක්ෂනය ඉගැන්වීමේ නිරත ගුරුවරයෙක් “ගුරු සංගම්වලින් කිසිම දැනුවත් කිරීමක් නොකර තිබිය දීත් ඇත්තටම මම වර්ජනයට සම්බන්ධ වුනේ ආන්ඩුව ගෙනල්ලා තියෙන ප්‍රහාරවලට විරුද්ධත්වය දැක්වීම අවශ්‍ය නිසා” යැයි පැවසුවේය.

හලාවත කලාපයේ ජාතික පාසලක ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කරන ගුරුවරියක් තමන් මුහුනදෙන දුෂ්කර කොන්දේසි විස්තර කලාය. “ගුරුවරු විදිහට අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. පලවෙනි එක තමා අපේ වැටුප. රුපියල් 35,000 ක වැටුපකින් දැන් මොනව ද කරන්න පුලුවන්. ආහාර මිල, ගමන් වියදම් හැම එකක් ම වැඩි වෙලා. කැන්ටිමේ බත් එක දැන් රුපියල් 120 යි. අනික ඉස්කෝලේ එක එක වැඩවලට අපි පැය ගනන් ගත කරනවා. ඒවාට අතිකාල ගෙවන්නේ නැහැ. පන්තියේ ලමයි 38 ක් එක්ක උදේ ඉඳන් කෑ ගහන්න ඕන. ලමයින්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕන. මේ ඔක්කොම අපිට තනියෙන් කරන්න බැහැ. අපි මැරෙන එක තමා වෙන්නේ.”

ගුරුවරුන්ගේ මෙම ප්‍රශ්න ගැන කතා කිරීම පවා වෘත්තීය සමිති පැහැර හැර තිබෙන බවට චෝදනා කරන ඇය “අපි වර්ජන කරන්න ලෑස්තියි. නමුත් ගුරුවරුන්ව ඒකාබද්ධ කරන්න වෘත්තීය සමිති කිසිදු වැඩක් කරන්නේ නැහැ. කලින් වර්ජනවලදීත් එහෙමයි.” යැයි පැවසුවාය.

“ගුරුවරුන්ට තව ඕනෑ තරම් ප්‍රශ්න තියෙද්දි වෘත්තිය සමිති අවශේෂ කාරනා අල්ලගෙන ගුරුවරු නොමඟ යවනවා. ගුරුවරුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට ආමන්ත්‍රනය කරලා වර්ජනයක් කැඳෙව්වොත් ලංකාවෙම ගුරුවරු එලියට බහියි. ගුරුවරු එහෙම සටනක් එනතුරු බලාගෙන ඉන්න” බව හෝමාගම කලාපයේ ජාතික පාසලක උසස් පෙල භෞතික විද්‍යා ගුරවරයෙක් සඳහන් කලේ ය.

Share this article: