ආර්ජෙන්ටිනාවේ කම්කරු පක්ෂය ස්ටැලින්වාදය සමඟ සන්ධාන ගත වෙමින් හතරවැනි ජාත්‍යන්තරය “ප්‍රතිස්ථාපනය කිරීමේ” තැතක

Workers Party in Argentina seeks to “refound” Fourth International in alliance with Stalinism

එරික් ලන්ඩන් හා බිල් වෑන් ඕකන් විසිනි , 2018 ජූනි 7

2018 අප්‍රේල් 2 හා 3 දෙදින තුල ආර්ජෙන්ටිනාවේ පාර්ටිඩෝ ඔබ්රෙරෝ (කම්කරු පක්ෂය), සිය සත්කාරකත්වයෙන් යුතුව, හතරවැනි ජාත්‍යන්තරය ප්‍රතිස්ථාපනය කිරීමේ සම්බන්ධීකරන කමිටුව (සීආර්එෆ්අයි) යන නාමයෙන් සම්මේලනයක් පැවැත්වීය.

1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද හතරවැනි ජාත්‍යන්තරය “ප්‍රතිස්ථාපනය කිරීමේ” හෝ “යලි ගොඩනැඟීමේ” සටන්පාඨය කිසිසේත් අලුත් එකක් නොවේ. පාර්ටිඩෝ ඔබ්රෙරෝව (පීඕව), පියරේ ලැම්බර්ට්ගේ ප්‍රන්ස ඕසීඅයි (ජාත්‍යන්තරවාදී කොමියුනිස්ට් සංවිධානය) සමඟ සීඕආර්කිව්අයි (Comité d’Organisation pour la Reconstruction de la Quatrième International) නමින් හඳුන්වන ලද සන්ධානය තුල සන්ධානගතව සිටි කාලයේ සිට අවුරුදු 45 ක් පමන පුරා එවැනි ප්‍රයත්නයන්හි නිරත වී ඇත. ලැම්බර්ට්, සීඕආර්කිව්අයිහි සිය පූර්වකාලීන අනුචරයන් පොලිස් ඒජන්තයන් ලෙස හෙලා දකිමින් ප්‍රන්සයේ සමාජවාදී පක්ෂය වෙත ද ලතින් ඇමරිකාවේ සෑම ආකාරයකම දක්ෂිනාංශික ධනපති ජාතිකවාදී ව්‍යාපාර වෙත ද හැරී ගත් කල්හි එකී ව්‍යාපාරය සී සී කඩ විසිර ගියේය. පීඕව පසුකලෙක ආර්ජෙන්ටිනාවේ නොවෙල් මොරීනෝ නායකත්වය දුන් අන්ත පැබ්ලෝවාදී ප්‍රවනතාවය සමඟ “ප්‍රතිස්ථාපනය” සඳහා එබඳුම - ඊට ද වඩා මන්දායුෂ්ක වූ - ප්‍රයත්නයක නිමග්න වෙයි.

මේ සියලු අල්පායුෂ්ක සන්ධාන පදනම් වුනේ, හතරවැනි ජාත්‍යන්තරය නොපවතින බවට, හා එය කිසි කලෙක නොපැවතුනු බවට පවා, වන පොදු එකඟතාවයක් මතය. “යලි ගොඩනැඟීම” යන්නෙන් සැබවින්ම අදහස් කෙරෙන්නේ දේශපාලනිකව විෂමජාතීය වූ සංවිධාන වැඩ පිලිවෙලේ හා මූලෝපායයේ අත්‍යවශ්‍ය ප්‍රශ්න පිලිබඳ කිසිදු එකඟතාවයකින් තොරව ඒකාබද්ධ කිරීමයි. ඔවුන් අවිශේෂවම එකඟ වන එකම කරුන වන්නේ තමන්ගේ ඉහලම උත්සුකයන්ට ඉවහල් වේයැයි සිතනු ලබන කවර හෝ ජාතික පිලිවෙතක් අනුයාමට සෑම සංවිධානයකටම ඇති අයිතිය පිලිගැනීමයි. දේශපාලනය කෙරේ වන මෙම මුලුමනින්ම ප්‍රතිපත්ති විරහිත ප්‍රවිෂ්ටය සමඟ පොදු වූ කිසිවක් ට්‍රොට්ස්කිවාදයට නැත. 1938 සිට හතරවැනි ජාත්‍යන්තරය රැස් කල අත්දැකීම් හා පාඩම් සම්භාරය කෙරේ එය දක්වන ආකල්පය අර්ථකථනය කෙරෙන්නේ, දේශපාලන සතුරුභාවයේ, න්‍යායික උදාසීනත්වයේ, දිගදුර නොදකින ජාතිකවාදී අවස්ථාවාදයේ හා ගොරහැඩි ඔලමොට්ටලකමේ සංකලනයකිනි.

හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි වෛෂයික වැදගැම්මක් නොමැති බවත් අධ්‍යයනය කිරීමට හා උගැනීමට කිසිත් නොමැති බවත් ඉන් ගම්‍යමාන වෙයි. ස්ටැලින්වාදයටත්, මාධ්‍යමිකවාදයේ හා අවස්ථාවාදයේ නොගිනිය හැකි තරම් ප්‍රවනතාවලටත් එරෙහිව සිය අරගලය තුල ට්‍රොට්ස්කි ලියූ සියල්ල දුරාතීතයකට අයත් සේ සලකා නොතකා හැරිය හැකිය. සංශෝධනවාදී ප්‍රති-ට්‍රොට්ස්කිවාදී ප්‍රවනතාවලට-ප්‍රධාන වශයෙන් පැබ්ලෝවාදයට හා ෂැට්මන්වාදයට - එරෙහිව හතරවැනි ජාත්‍යන්තරය දියත් කල දේශපාලන අරගල දකිනු ලබන්නේ දේශපාලනිකව නිරර්ථක ඒවා ලෙසය. ඒ අනුව, පසුගිය 80 වසර තුල මෙකී ප්‍රති-ට්‍රොට්ස්කිවාදී පක්ෂ හා ප්‍රවනතා විසින් ඉටු කෙරුනු කාර්යභාරය පිලිබඳව කිසිදු පරීක්ෂාවක් හෝ සාකච්ඡාවක් සිදු කල යුතු නැත. අතීත පාවාදීම් හා අපරාධ සියල්ල අමතක කර දැමිය හැකිය. සෑම සියලු දෙනාටම පොදු සමාවක් ලැබෙන අතර ඔවුන් සැමට අතීත වැරදි මකා හැර පිරිසිදු කර ගත් සිය ගල්ලෑලි ගෙන යලිත් අලුතෙන් පටන් ගත හැක.

අප්‍රේල් මස බුවනෝස් අයර්ස්හි පැවැති සභාව, හතරවැනි ජාත්‍යන්තරය “ප්‍රතිස්ථාපනය කිරීමේ” හා “යලි ගොඩනැඟීමේ” මීට ඉහත ව්‍යායාමයන්හි දූෂිත දේශපාලන ඉතිහාසයේ වාර්තා ඉක්මවා බොහෝ දුර ගියේය. පාර්ටිඩෝ ඔබ්රෙරෝහි නායක ජෝර්ජ් අල්ටාමීරා සහ ග්‍රීක ඊඊකේ (කම්කරු විප්ලවකාරී පක්ෂය) නායක සවාස් මයිකල්-මට්සාස් නිවේදනය කලේ රුසියාවේ ස්ටැලින්වාදයට පක්ෂපාත සංවිධාන ද යලි ගොඩනැංවෙන හතරවැනි ජාත්‍යන්තරයට ඇතුලත් කර ගත යුතු බවයි. ලක්ෂ සංඛ්‍යාත කොමියුනිස්ට්වාදීන් සංහාරය කිරීම හා ට්‍රොට්ස්කි ඝාතනය ද ඇතුලු, ස්ටැලින්වාදී තන්ත්‍ර විසින් සිදු කරන ලද අපරාධ “සමගියේ” උත්සුකයන් තුල අමතක කර දැමිය යුතුය. ට්‍රොට්ස්කි පැවැසූ පරිදි ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය එකිනෙකින් වෙන් කෙරෙන “රුධිර ගංගාව” හරහා, පාලමක් ඉදි කල යුතුය.

උන්මත්තක ලෙස ස්ටැලින්වාදයට පක්ෂපාතී එක්සත් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (ඕකේපී) නායිකාවක වන දර්යා ඇලෙක්සන්ද්රෝව්නා මිටිනා වෙත සම්මේලනයට සහභාගිවීමට සීආර්එෆ්අයිය යවන ලද ආරාධනය මඟින්, ස්ටැලින්වාදය හා ට්‍රොට්ස්කිවාදය අතර යෝජිත සමාදානය සංයුක්ත ලෙස ප්‍රකාශයට පත් විය. ඇය සීආර්එෆ්අයිහි සාකච්ඡා සඳහා පූර්න ලෙස සහභාගී වූ අතර සමුලුව අවසානයේ රැස්ව සිටි පීඕවේ සාමාජිකත්වය අමතා ප්‍රධාන දේශනයක් පැවැත්වීමට ද ආරාධනා ලද්දීය. සමුලුව සඳහා ඇයට ඇරයුම් කිරීම සූදානම් කරන ලද්දේ දශකයකට වැඩි කාලයක් මිටිනා සමඟ සමීප දේශපාලන සබඳතා පවත්වා ගෙන ගොස් තුබූ මයිකල්-මට්සාස් විසිනි.

මිටිනා හා මයිකල් මට්සාස් බුවනෝස් අයර්ස් සමුලුව තුල

“ජාත්‍යන්තර සහයෝගිතා ක්‍රියාකාරිත්වයන්” සංවිධානය කිරීමට හා, “වෙනස් රටවල් තුල පන්ති අරගලය වඩාත් හොඳින් සමායෝජනය කිරීම සඳහා නව ජාත්‍යන්තරයක්” පිහිටුවීමට මිටිනා සිය එකඟතාවය නිවේදනය කලාය. ඕකේපීයේ වැඩපිලිවෙල හා ඉතිහාසය තබා මිටිනාගේ දේශපාලන අනුබද්ධයන් හා ක්‍රියාකාරකම් පිලිබඳව හෝ කිසිවක් නොදත් ප්‍රේක්ෂාගාරය ඇගේ කතාවට උනුසුම් ආචාර පල කලේය. අල්ටාමීරා හා මයිකල්-මට්සාස් විසින් පීඕවේ සාමාජිකත්වයෙන් සඟවන ලද කරුනු අපි විමසා බලන්නෙමු.

රුසියානු එක්සත් කොමියුනිස්ට් පක්ෂය 2014 දී මතු වූයේ ගෙනඩි ස්(‘)යුගානොව් විසින් නායකත්වය දෙන ලද රුසියානු සමුහාන්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයෙන් (සීපීආර්එෆ්) බිඳී ගිය සංවිධානයක් ලෙසය. පුටින් පාලනයේ අනුචරයෙකු වන ස්(‘)යුගානොව්ගේ ජාත්‍යෝත්තමවාදී සංවිධානය සමඟ ඕකේපීයට පවත්නා වෙනස්කම් උපායාත්මක ස්වභාවයේ ඒවාය. ස්(‘)යුගානොව්ගේ පක්ෂය මෙන්ම ඕකේපීය ද ස්ටැලින් උත්කර්ෂයට නංවමින් ඔහුගේ අපරාධ සාධාරනීකරනය කරයි. ඕකේපීයේ වෙබ් අඩවියෙහි මෑතකදී පල කෙරුනු ලිපියක් මෙසේ නිවේදනය කරයි:

තිරසාර හා විශ්වාසදායී බෝල්ෂෙවිකයන් කන්ඩායමක් තමා වටා රැස් කොට ගෙන ශ්‍රේෂ්ඨ ලෙනින්ගේ කටයුතු දිගටම පවත්වා ගෙන ගියේ ස්ටැලින්ය. සමාජවාදී කාර්මිකරනය, කෘෂි කර්මාන්තයෙහි සාමූහිකරනය හා සංස්කෘතික විප්ලවය සාක්ෂාත් කෙරුනේ ඔහුගේ නායකත්වය යටතේය. පෙරලා ධනපති ක්‍රමය කරා යාමේ ආධාරකරුවන් - එනම්, ට්‍රොට්ස්කිවාදීන්, සිනොවියෙව්වාදීන්, බුකාරින්වාදීන්, විවිධාකාර ධනපති ජාතිකවාදීන් හා අනෙකුත් යටත්වන්නන් - හෙලිදරව් කල ස්ටැලින්, ඔවුන් පරාජය කලේය.

“සෝවියට් සංගමය පුනරුත්ථාපනය කිරීම”ට කැඳවුම් කර සිටින ඕකේපීය, මොස්කව් හොර නඩු විභාග හා 1936-1940 භීෂනය මුදා හැරීමේ අද්දරදී භාවිතයට ලූ ප්‍රතිගාමී ලේඛනයක් වන, ”ස්ටැලින් ව්‍යවස්ථාව” නමින් හඳුන්වනු ලැබෙන 1936 සෝවියට් ව්‍යවස්ථාව වර්නනා කරයි. ඕකේපීයේ ප්‍රමුඛ දේශපාලන පරමාර්ථය වනුයේ ඕර්තොඩොක්ස් පල්ලිය සමඟ සන්ධානගත වෙමින් රුසියාව ‘ප්‍රති-ස්ටැලිනීකරනය කිරීමට තැත් කරන ස්(‘)යුගානොව්ගේ සීපීආර්එෆ් සංවිධානය වමට තල්ලු කිරීමයි.

රුසියානු එක්සත් කොමියුනිස්ට් පක්ෂයේ පෙලපාලියක්

දර්යා මිටිනා යනු රුසියානු රාජ්‍යය සමඟ ගැඹුරු බැඳීම් ඇති දීර්ඝකාලීන ස්ටැලින්වාදී දේශපාලන ක්‍රියාකාරිනියකි. ඇය පසුකලෙක සෝවියට් සංගමයට තානාපතිවරයා ලෙස පත් කර එවන ලද හිටපු ඇෆ්ගන් අගමැති මොහොමඞ් යූසුෆ්ගේ මිනිපිරියයි. විකිපීඩියාහි එන ඇගේ චරිතාපදානයට අනුව:

2014 සිට ඇය (රුසියානු) එක්සත් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරියක් ලෙස එහි ජාත්‍යන්තර කටයුතු පිලිබඳ වගකීම් දරයි. එම පක්ෂයේ දේශපාලන කොමිසමේ සාමාජිකාවකි.

රාජ්‍ය ඩුමා සභාවේ දෙවැනි සම්මේලනයේ (1995-1999) උප ප්‍රධානියක වූවාය. 2016 රාජ්‍ය ඩුමා සභා මැතිවරනයේදී ඇය ‘රුසියානු කොමියුනිස්ට්වරු‘ සංවිධානයේ අපේක්ෂිකාවක ලෙස චෙරමුෂ්කින්ස්කි මැතිවරන දිස්ත්‍රික්කයෙන් තරඟ කල නමුදු ජය ගැනීමට අසමත් වූවාය.

ඇය රුසියානු කොමියුනිස්ට් තරුන සංගමයේ (කොම්සොමොල්) ප්‍රථම ලේකම්වරියයි. තවද, 1993 දී එය බිහි කල ස්ථාපකයන්ගෙන් එක් අයෙකි.

2014 මැයි - අගෝස්තු කාල සීමාවේ මිටිනා මොස්කව්හි ඩොනෙට්ස්ක් මහජන සමූහාන්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජිතවරිය වූවාය.

මිටිනා ඩොනෙට්ස්ක්හි යුද භටයන් සමඟ

ඕකේපීයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ලේකම් වශයෙන් මිටිනාට රුසියානු රජය වෙනුවෙන් පුලුල් පරාසයක ස්ටැලින්වාදී, පැබ්ලෝවාදී, ධනපති ජාතිකවාදී හා සංක්‍රමනික-විරෝධී සංවිධාන සමඟ ජාත්‍යන්තර සම්බන්ධකම් වර්ධනය කර ගැනීමට පැවරී ඇත.

මෑත සංචාරයකදී ඇය යුරෝ-රුස් සංවිධානයේ නියෝජිතයන් මුන ගැසුනාය. මෙකී සංවිධානය “කුටුම්භ සාරධර්මවල”, “ජීවිතයට ඇති අයිතියේ”, “ජාතික ආරක්ෂනවාදයේ” “යුරෝපීය දේශසීමා ආරක්ෂා කිරීමේ” හා සුදු ජාතිකවාදයේ පදනම් මත යුරෝපය හා රුසියාව අතර එක්සත්කමට අනුග්‍රහ දක්වන දක්ෂිනාංශික කන්ඩායමකි. ඇගේ සංචාරවල පරාසය පුලුල් වන අතර, එමඟින් පෙන්නුම් කෙරෙන පරිදි ඒවා සඳහා සැලකිය යුතු මූල්‍ය පිටුබලයක් සැපයේ. බුවනොස් අයර්ස්වලින් පිටත් වූ තැන් පටන් ඇය චීනයට, වියට්නාමයට හා නේපාලයට සංචාරය කරමින් ඒවායේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ස්ටැලින්වාදී හා මාවෝවාදී පක්ෂ ද සමඟ සාකච්ඡා කොට ඇත.

මිටිනා යුරෝ-රුස් නායක ක්‍රිස් රොමන් සමඟ (කලු කබායක් හැඳ සිටින වියපත් තැනැත්තා ක්‍රිස් රොමන්ය)

2018 මාර්තු 5 වන දින - එනම්, පීඕවේ ප්‍රතිස්ථාපන සමුලුවට සහභාගී වීම සඳහා ආර්ජෙන්ටිනාව බලා පියාසර කිරීමට යන්තම් මාසයකට ඉහතදී - මිටිනා, ජෝසෆ් ස්ටැලින්ගේ මරනයේ 65 වන සංවත්සරය වෙනුවෙන් එකී ආඥාදායකයාට මහජන ගෞරවය පල කිරීමේ අවස්ථාවකට සහභාගී වූවාය. ඇය හා ඕකේපීයේ සෙසු සාමාජිකයෝ ස්ටැලින්වාදීන්ගේ, රුසියානු ජාතිකවාදීන්ගේ, සංක්‍රමන-විරෝධී ජාත්‍යෝත්තමවාදීන්ගේ, හා නව-ෆැසිස්ට්වාදීන්ගේ කන්ඩායම් සමඟ උරෙනුර ගැටී සිටිමින් ක්‍රෙම්ලින තාප්පය අසල පිහිටි ස්ටැලින්ගේ සොහොන පා මුල මලින් පුදමින් ස්ටැලින් පිලිබඳ මතකයට ගෞරවය පල කලෝය. මිටිනා හා ඇගේ ඕකේපී සගයෝ ස්ටැලින්ගේ අනුප්‍රාප්තිකයන් වූ ලියොනිඩ් බ්‍රෙශ්නෙව් හා යූරි අන්ද්‍රපොව්ගේ සොහොන් අසල ද මල්වඩම් තැන්පත් කලෝය.

සිය බ්ලොග් ලිපියක් තුල මෙම සමරු උත්සවය සාඩම්බරව සිහිපත් කරමින් ඕ මෙසේ ලීවාය: “අද මේ දිනය දක්වා කිසිවෙකුට තමන් හා හරිහරියට පය ගසා සිටිය නොහැකි ආකාරයේ මිනිසෙක් අවුරුදු 65 කට ඉහත දී වෙන්ව ගියේය... මම ජෝසෆ් විසාරියෝනොවිච් [ස්ටැලින්] හා සිටිමි... වසරකට දෙවතාවක් මම ඔහුගේ ස්මාරකය මලින් පුදමි.”

අවුරුද්දකට දෙවතාවක් ස්ටැලින්ගේ සොහොන මලින් පුදන යමෙක් වේ ද, ඔහු හෝ ඇය හඳුන්වා දිය හැක්කේ අධම දේශපාලන ප්‍රතිගාමියෙකු ලෙස පමනෙකි; ඉදින් ඔහුට හෝ ඇයට වේදිකාවක් සම්පාදනය කරන යමෙකු අපරාධ සහායකයෙකු විනා අනෙකෙක් නොවේ.

දර්යා අලෙක්සන්ද්රෝව්නා මිටිනා පීඕවේ සමුලුවෙහි පෙනී සිටීම අහම්බයක් නොවේ. එබඳු බලවේග සමඟ සන්ධානගතවීම අල්ටාමිරා විසින් සැලසුම් කෙරෙන “ප්‍රතිස්ථාපනයේ” තීරනාත්මක සංරචකයක් වෙයි.

සමුලුව තුල සිය ප්‍රකාශයන්හිදී අල්ටාමිරා ඕකේපී නියෝජිතයාගේ සහභාගිත්වය සාධාරනීකරනය කරමින් මෙසේ නිවේදනය කලේය:

අපි “තමන්ටම තනා ගත හැකි වර්ගයේ” ජාත්‍යන්තරයක්- එනම්, එක රටෙක සිට අනෙකුත් රටවල් කරා විස්තාරනය කෙරෙන කිසියම් දේශපාලන නිකායක දිගුවක් - ගොඩ නො නඟන්නෙමු. මෙම දේශපාලන සටන තුල, අද දින මෙම වේදිකාව මත, රුසියාව තුල කොමියුනිස්ට්වාදයේ සම්ප්‍රදායයේ නාමයෙන් කථා කරන සහෝදරියක සිටී. ඇය සම්බන්ධයෙන් ගත් කල එම සම්ප්‍රදායය වනු ඇත්තේ ස්ටැලින්වාදයයි... රුසියාව, එය දීර්ඝ ඓතිහාසික කාල පරිච්ඡේදයක් පුරා පැවැති පරිදි, ඔක්තෝබර් විප්ලවයේ භූමි ප්‍රදේශය තුල යලි පිහිටුවිය හැකි වන පරිද්දෙන් ජාත්‍යන්තරයක් ගොඩනැඟීමේ දිශාවට එක් පියවරක් තැබීම සඳහා අපට එකට වැඩ කල හැකිදැයි උගැනීම පිනිස අපි මෙම සහෝදරවරුන් සමඟ දේශපාලන සාකච්ඡා පවත්වන්නෙමු.

මෙම වචනවලින් අල්ටාමිරා හතරවැනි ජාත්‍යන්තරයේ ඓතිහාසිකව මුල් බැසගත් වැඩ පිලිවෙල හා පිලිවෙත් පමනක් නොව, ඉතිහාසයේ ඇති වැදගත්කමමත් ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන දෙය, අතීතයේ සිදු වූ දෑ වර්තමානයට කිසිදු වැදගත්කමක් නැතැයි කීමට තරම් දුරදිග යන්නකි. එනම්, ස්ටැලින්වාදී තන්ත්‍රය ලක්ෂ සංඛ්‍යාත කොමියුනිස්ට්වරුන් ඝාතනය කිරීම, ගනන් කර නිම කල නොහැකි තරම් පාවාදීම් මෙහෙයවීම, සහ අවසානයේ සෝවියට් සංගමයේ විනාශයට මඟ හෙලි කිරීම හතරවැනි ජාත්‍යන්තරය යලි ගොඩ නැඟීම සඳහා අද දවසේ ස්ටැලින්වාදීන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට බාධාවක් නොවිය යුතුයැයි කියා සිටීමකි.

මුලුමනින්ම උපයෝගිතාවාදී වන මෙම ප්‍රවේශය, භාවිතය තුල ඇත්තෙන්ම ඕනෑම දේශපාලන සංවිධානයක්, ප්‍රවනතාවක් හෝ පුද්ගලයෙකු සමඟ සහයෝගී වීමට දොරටු හැර දෙයි. අතීතයේ ඔවුන් විසින් කරන්නට ඇති කොයියම්ම දෙයක් වුව කිසිත් සුවිශේෂී වැදගත්කමකින් තොර සේ - චිරස්ථායී වැදගත්කමක් ගැන කියනුම කවරේද - සැලකිය යුතුය. අතීත අපරාධ සැලකිය යුත්තේ අවාසනාවන්ත -හා කනගාටුදායක පවා- අත්වැරදි මුත්, අවශ්‍යයෙන්ම ඔවුන්ගේ වර්තමාන දේශපාලන අනන්‍යතාවයට අසම්බන්ධ දේ ලෙසය. ඇත්තෙන්ම වැදගත් දේ වන්නේ මේ මොහොතේ හා මෙතැනදී නිශ්චිත ප්‍රායෝගික ඉලක්ක සම්බන්ධයෙන් එකඟ විය හැකි කරුනු - ඉදින් ඒවා කෙතරම් අවම හා අවස්ථාවාදී වුව - සොයා ගැනීමයි.

ඉදින් දේශපාලන හෙට්ටු කිරීම්වල මෙම අවස්ථාවාදී විධික්‍රමය, පාවාදීම් හා අපරාධවල දනක් එරී ගත් ඉතිහාසයක් සහිත ස්ටැලින්වාදී පක්ෂ වෙනුවෙන් උපයෝගී කොට ගත හැකි නම්, එය - දේශානුරාගවාදී හා ෆැසිස්ට් දක්ෂිනාංශය ද ඇතුලු - සියලු සංවිධාන සඳහා යොදා ගත නොහැක්කේ මන්ද? ඇත්තෙන්ම ස්ටැලින්වාදී හා නව-ස්ටැලින්වාදී සංවිධාන සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට දැරෙන අල්ටාමිරාගේ ප්‍රයත්නයේ සැබෑ වර්තමාන අභිප්‍රාය වන්නේ, හුදෙක් රුසියාව තුල පමනක් නොව ජාත්‍යන්තරවම, හරියටම එවැනි බලවේග සමඟ දේශපාලන සහයෝගිතාව පැවැත්වීම යුක්තියුක්ත කිරීමයි.

ස්ටැලින්වාදී සංවිධානවල, විශේෂයෙන්ම රුසියාව තුල ස්ටැලින්වාදී සංවිධානවල, ප්‍රමුඛ ලක්ෂනය වන්නේ ඒවායේ ජාතිකවාදී ස්වභාවයයි. වරින්වර ඔවුන් උපයෝගී කොට ගන්නා “කොමියුනිස්ට්” වාංමාලා රුසියානු ජාත්‍යෝන්මාදය ආවරනය කිරීමට යොදා ගනු ලබන අතිශය තුනී පතුරක් විනා අනෙකක් නොවේ. ස්ටැලින් ශ්‍රේෂ්ඨ ජාතික නායකයෙකු ලෙස උත්කර්ෂයට නැංවීම වූ කලී, සමාජවාදී ලෙස යුක්තියුක්තව හඳුන්වා දිය හැකි කිසිවකට හෝ වඩා බොහෝ සෙයින් නෑකම් කියන්නේ ෆැසිස්ට්වාදයටය.

ග්‍රීක ඊඊකේහි ප්‍රධාන ලේකම් හා යුරෝපය තුල පාර්ටිඩෝ ඔබ්රෙරෝහි ප්‍රධාන සහචරයා වන සවාස් මයිකල්-මට්සාස් ආර්ජෙන්ටිනා පක්ෂය හා දර්යා මිටිනා අතර සම්බන්ධය ගොඩනගන අතරමැදියාගේ කාර්යභාරය ඉටුකරයි. අවස්ථාවාදී “වාම” සංවිධාන සමඟ ගනුදෙනු කිරීමේ පුටින්ගේ රස්තියාදුකාර තානාපතිවරිය ජාතිකවාදයේ තුරුම්පුව ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරයි.

මයිකල්-මට්සාස් හා මිටිනා අතර දේශපාලන සබඳතා දශකයකට වැඩි කාලයක් එපිටට දිව යයි. 2007 දී ඊඊකේය ග්‍රීසියේ පැවැත්වූ ඔක්තෝබර් විප්ලවයේ 90 වන සමරු රැස්වීමෙහි ඇය ආරාධිත කථිකයෙක් වූවාය. දෙවසරක ඇවෑමෙන් 2009 සැප්තැම්බරයේ, “අප විසින් රුසියාව නියෝජනය කෙරුනු” යුරෝපියන් සෝෂල් ෆෝරම්හි සංවිධායක කමිටුවේ රැස්වීම සඳහා තමන් හා තම සැමියා වන සෙයිඞ් ගෆුරොව් ඇතන්ස් කරා පැමිනි කල්හි ඔවුන් කැටුව යාමට මයිකල්-මට්සාස් ගුවන් තොටුපොලට පැමිනි බව ඇය සිය බ්ලොග් අඩවිය තුල වාර්තා කලාය.

දර්යා මිටිනා සහ සවාස් මයිකල්-මට්සාස් 2007 ග්‍රීසියේ පැවැති රැස්වීමේ වේදිකාව මත

සයිඩ් ගෆුරොව්ට ද, ඔහුගේ බිරියට මෙන්ම, රුසියානු රාජ්‍යය සමඟ සමීප බැඳීම් පවතියි. විවිධ රාජ්‍ය අමාත්‍යාංශවල සේවය කර ඇති ඔහු, ව්ලැදිමීර් පුටින්ට දක්වන බලගතු සහාය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති රුසියානු මාසික ආර්ථික සඟරාවක නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කොට ඇත. රුසියානු භූ දේශපාලන උත්සුකයන්ට සහයෝගය දෙන විකාශනයන් ක්‍රමානුකූලව අරාබි භාෂාවෙන් පවත්වා ගෙන යන ඔහු ස්ටැලින්වාදයට පක්ෂපාතී Pravda.ru හි ප්‍රචාරකයෙකි.

යුරෝපියන් සෝෂල් ෆෝරම්හි දී “රුසියාව නියෝජනය කිරීම” යනු රාජ්‍ය නොවන සංවිධාන (එන්ජීඕ), රහස් තොරතුරු ඒජන්සි, සහ ආන්ඩුවල නියෝජිතයන් ද, විවිධ “වාම” සංවිධාන ද එකට එක් කරන මාධ්‍යයක් හමුවේ ක්‍රෙම්ලිනයේ උත්සුකයන් ආරක්ෂා කිරීමයි.

රුසියාව තුල ස්ටැලින්වාදී කව අතර පුලුල් සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට මිටිනා මයිකල්-මට්සාස්ට ආධාර කොට ඇත. 2017 සෙන්ට් පීටර්ස්බර්ග්හි දී, රුසියාවේ හා අනෙකුත් ඉහත සෝවියට් සංගමයට අයත්ව තිබූ ජනරජයන්හි “කොමියුනිස්ට් පක්ෂ” එක්සත් කිරීමට කැප වූ සමුලුවක ඔහු ආරාධිත අමුත්තෙකු විය.

මෙකී ප්‍රයත්න පල දැරීමට පටන් ගෙන ඇති සෙයක් පෙනී යයි. වර්කින් රෂියා සංවිධානය මොස්කව්හි සිය සාමාජිකත්වයට තම පක්ෂයට බැඳෙන ලෙස බල කර ඇතැයි ඕකේපීය මෑතකදී නිවේදනය කලේය. මෑතක සිදු වූ ඔහුගේ මරනය දක්වා වික්ටර් ඇන්පිලොව් විසින් නායකත්වය දෙන ලද වර්කින් රෂියා සංවිධානය එහි අන්ත ජාතිකවාදය හා ප්‍රති-යුදෙව්වාදය සම්බන්ධයෙන් කුප්‍රකටය. එය “ස්ටැලින්වාදී පක්ෂ කාන්ඩයක” ධජය යටතේ, ස්ටැලින්ගේ මුනුපුරා සමඟ සන්ධානගත වෙමින් මැතිවරනයට තරඟ කලේය.

සවාස් මයිකල්-මට්සාස් යනු කවරෙක්ද?

මයිකල්-මට්සාස් දශක දෙකක් පුරා පීඕව විසින් සංවිධානය කෙරුනු සම්මේලනවල පෙනී සිට ඇතත්, එම පුද්ගලයාගේ දේශපාලන ඉතිහාසය පිලිබඳ බැරෑරුම් තක්සේරුවක් සිය සාමාජිකත්වයට ලබා දීමට ආර්ජෙන්ටිනා පක්ෂය කිසිදා කටයුතු කොට නැත. ප්‍රේක්ෂාගාරයට ඔහු හඳුන්වා දෙනු ලැබුවේ, “සීආර්එෆ්අයිහි ආරම්භකයෙක් හා නිර්මාපකයෙක් ද, යුරෝපය හා මැද පෙරදිග තුල සීආර්එෆ්අයිය ගොඩනැඟීමේ ප්‍රමුඛ කාර්යධරයෙකු ද වන සහෝදරයෙක්, හා ග්‍රීසියේ පන්ති අරගලය තුල 50 වසරක් පුරා මැදිහත්වීමේ කීර්තියට හිමිකම් කියන පක්ෂයක නායකත්වය දරන සහෝදරයෙක්” ලෙසය.

එබඳු විස්තර කිරීමක් පීඕ සාමාජිකත්වය හිතාමතා ම මුලා කිරීමක් වෙයි.

මයිකල්-මට්සාස් යනු සිය සමස්ත ඉතිහාසයම ප්‍රතිපත්ති විරහිත හා දෙපිටකාට්ටු දේශපාලන උපාමාරු දැමීම්වලින් සමන්විත සැක සහිත දේශපාලන චරිතයකි. 1970 ගනන්වල අග භාගයේ ඔහු හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) ග්‍රීක ශාඛාව වූ වර්කර්ස් ඉන්ටර්නැෂනල් ලීගයේ ජාතික ලේකම් බවට පත් විය. ඔහු මේ පදවියට නැඟ ගැනුනේ ඊට ඉහත සිටි නායකයන් දෙදෙනෙක් දේශපාලන වෙනස්කම් මත ඉවත් කිරීමෙන් පසුවය. එකී දේශපාලන වෙනස්කම් කිසිදා හජාජාක තුල පැහැදිලි නොකෙරින. මයිකල්-මට්සාස්ගේ දේශපාලනයෙහි එකම ස්ථායී ලක්ෂනය වනුයේ ඔහුගේ ජාතිකවාදී දිශානුයෝජනයයි. දිගින්දිගටම සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම වඩාත්ම ග්‍රාම්‍ය ජාතික ගනන් බැලීම්වලට යටත් කෙරින. 1983 වසරේ, කොමෙයිනි රජය වාමාංශික කන්ඩායම් හා ක්‍රියාධරයන් කුරිරු ලෙස මර්දනය කරන අතරතුර මයිකල්-මට්සාස් හජාජාක ඇස් වසා ඉරානයට සංචාරය කලේය. මෙම මැඩ පැවැත්වීම මධ්‍යයේම 1985 දී මයිකල්-මට්සාස් ඉරාන ආන්ඩුව වර්නනා කරමින් ලිපි මාලාවක් ලිවීය. එම රාජ්‍ය තන්ත්‍රයට මහජන සහාය දිනා දීමක් ලෙස ඔහු ඉරාන රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටියේය.

1985 දී හජාජාකය ජෙරී හීලිගේ නායකත්වයෙන් පැවැති බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාතිකවාදී හා අවස්ථාවාදී පරිහානියට එරෙහිව දේශපාලන අරගලයක් ගෙන යද්දී මයිකල්-මට්සාස් ප්‍රතිපත්ති-විරහිත භේදයක් ඇති කලේය. හජාජාකයේ “ඓතිහාසික නායකයා” ලෙස ඔහු හැඳින්වූ හීලිගේ අවසරයෙන් තොරව අනෙකුත් ශාඛාවලට රැස්වීමට හෝ අයිතියක් නැතැයි යන අභූත තර්කය මත පදනම් වෙමින් ඔහු එකී ශාඛා සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කලේය.

හීලි සමඟ පෙල ගැසීම හා ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී යාම තුලින් දැන් ඔහුට ග්‍රීසිය තුල හෝ ජාත්‍යන්තරව තමාගේ උපයෝගීතාවාදී ගනනයන්ට වඩාත්ම හොඳින් සේවය කරතැයි සිතිය හැකි කවරාකාර හෝ සන්ධානයන් සඳහා යත්න දැරීමේ නිදහස උදා වනු ඇතැයි මයිකල්-මට්සාස් ගනන් බැලීය. හජාජාකයෙන් බිඳී යාමෙන් හා සිය ඊඊකේය දියත් කිරීමෙන් මාස ගනනක් ඇතුලත ඔහු, “වියුක්ත ප්‍රචාරකවාදයෙන්” හා “ට්‍රොට්ස්කිවාදයේ පරාජයන්හි හා හුදෙකලාවේ කාල පරිච්ඡේදයන්හි භාවිතයන්ගෙන්” බිඳී යාම සනිටුහන් කරන “හතරවැනි ජාත්‍යන්තරයේ නව යුගයක්” ප්‍රකාශයට පත් කලේය. යථාර්ථයේ දී මෙම “නව යුගය” යනු, පැබ්ලෝවාදී දේශපාලනය එහි වඩාත්ම ආන්තික ආකාරයෙන් ක්‍රියාවට නැංවීම විය.

ජාත්‍යන්තර කමිටුවේ හා ට්‍රොට්ස්කිවාදී ප්‍රතිපත්තිවල සීමා කිරීම්වලින් නිදහස්ව සිටි මයිකල්-මට්සාස්, ග්‍රීසිය තුල ධනපති පසොක් පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය සමඟ ප්‍රතිපත්ති විරහිත සන්ධාන වට ගනනාවකට ඊඊකේය පටලැවීය. ජාත්‍යන්තර පෙරමුනේ දී ඔහු සෝවියට් සංගමයේ දේශපාලන විප්ලවයේ නායකයායැයි මිඛායෙල් ගොර්බචොව්ට හුරේ දැමුවේය. ඊඊකේහි සාමාජිකත්වය අල්පතරව පවතින අතරම, මයිකල්-මට්සාස් ඇතැන්ස්හි සුලු ධනපති වමේ දූෂිත වටපිටාව තුල ස්ථාවර අංගෝපාංගයක් බවට පත් විය.

ජෝර්ජ් අල්ටාමිරා හා සවාස් මයිකල්-මට්සාස් අතර පවතින සබඳතාව පදනම් වී ඇත්තේ හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය කෙරේ ඔවුන් දෙදෙනාම දක්වන වෛරීසහගත ආකල්පය මතය.

සීආර්එෆ්අයිය පිහිටුවා ගනු ලැබුවේ ඊට සම්බන්ධ වන විවිධ ප්‍රවනතා සමඟ ඉහත පැවැති වෙනස්කම් හෝ එම ප්‍රවනතාවල ඓතිහාසික වර්ධනය පිලිබඳව හෝ කිසිදු සාකච්ඡාවක් ඇති නොවිය යුතුය යන “ප්‍රතිපත්තිය” මතය. එම කමිටුවේ ප්‍රාරම්භක ලේඛනයේ මෙය නිශ්චිතව දැක්වේ. එහි අවසාන පේලිවල මෙසේ දැක්වේ:

පැවතිය හැකි දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් පූර්ව නිශ්චිත - එපමනක් නොව හුදු ශාස්ත්‍රීය පවා වන - විසඳුමකට අනුකූල වන පරිද්දෙන් හතරවැනි ජාත්‍යන්තරය සාන්දෘෂ්ඨික ලෙස සකසා ප්‍රතිස්ථාපනය කිරීමේ, නිකායයන්ගේ විධික්‍රමයට පටහැනි ලෙස අපි, සියලු අපසරනයන් සම්බන්ධයෙන් නිශ්චිත දේශපාලන සීමා නිර්නය කිරීමේ පදනම මත, ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂවල සංවිධානය - එහි හතරවැන්න - ඉදිකරන්නෙමු.

ඒ අනුව හතරවැනි ජාත්‍යන්තරය “ප්‍රතිස්ථාපනය” කල යුත්තේ, පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික පාඩම් කිසිවක් සාකච්ඡා නොකිරීමේ “නිකාය-විරෝධී” එකඟතාවයක හා සීආර්එෆ්අයියට සම්බන්ධ වන සෑම සංවිධානයකටම තමන්ගේම ජාතික අවස්ථාවාදී දේශපාලන කටයුතු විවේචනයකින් හෝ ඇඟිලි ගැසීමෙන් තොරව කර ගෙන යා හැකිය යන එකඟතාවයක ද පදනම මතය.

ඊඊකේය සම්බන්ධයෙන් ගත් විට මෙය සමන්විතව තුබුනේ සිරිසාවේ පරිධිය තුල කටයුතු කිරීමෙන් හා ඒ පිලිබඳ මුලාවන් ප්‍රවර්ධනය කිරීමෙනි. 2015 ජනවාරියේ සිරිසාවේ මැතිවරන ජයග්‍රහනය පිලිබඳව, එය ග්‍රීක කම්කරු පන්තියේ ජයග්‍රහනයකැයි සුබ පතමින්, එකී ධනපති පක්ෂය වමට තල්ලු කොට “ධනේශ්වරයෙන් බිඳී වෙන්වීමට සැලැස්විය හැකිය” යන මතයට ඊඊකේය තල්ලුව ලබා දුන්නේය.

සිරිසාව ප්‍රවර්ධනය කිරීම මඟින් හා සිරිසාව යනු ග්‍රීක කම්කරු පන්තිය විරුද්ධ විය යුතු ධනපති පක්ෂයකැයි අනතුරු හැඟවීම සම්බන්ධයෙන් හජාජාකයට “නිකායවාදීන්” ලෙස පහර දීම මඟින් ඊඊකේය ඓතිහාසික පාවාදීමක් සඳහා උපකාරක කාර්යභාරයක් ඉටු කලේය.

පාර්ටිඩෝ ඔබ්රෙරෝව තමන්ගේම ජාතික අවස්ථාවාදී පිලිවෙත් අනුයන අතර, සීආර්එෆ්සීය අවශ්‍ය වන්නේ ඊට “ජාත්‍යන්තරවාදී” ආවරනයක් සම්පාදනය කර ගනු පිනිසය. 1964 දී එය පිහිටුවනු ලැබීමෙන් අනතුරුව කෙටි කලක් තුල පීඕවේ දේශපාලනය සමන්විත වූයේ, මොරීනෝවාදය නමින් හඳුන්වනු ලැබූ දක්ෂිනාංශික පැබ්ලෝවාදී ප්‍රවනතාව පිලිබඳව කෙරෙන රූපික විවේචනයන්, එකී මොරීනෝවාදීන් සමඟ ම සන්ධානයක් ඇති කර ගැනීම කෙරේ කේන්ද්‍රගත වූ දේශපාලන භාවිතයක් සමඟ ඒකාබද්ධ කිරීමෙනි.

2017 දී පීඕ නායක අල්ටාමිරා මොරීනෝවාදී සමාජවාදී කම්කරු පක්ෂය (Partido de los Trabajadores Socialistas(පීටීඑස්) විවේචනය කලේ එය “ඉන කඩෙන් පමනක් සැරසුනු පොදෙමොස් පක්ෂයක්” ලෙස හඳුන්වා දෙමිනි. මෙම සඳහන මඟින් කියැවුනු පොදෙමොස් වූ කලී ස්පාඤ්ඤයේ පාලක සංස්ථාපිතයට තමා සමෝධානය කර ගත් ධනේශ්වර “වාම” පක්ෂයකි. පීටීඑස් පක්ෂය එසේ හඳුන්වා දුන් එම වසරේ ම පීඕව යලිත් වරක් එම පක්ෂය සමඟ ඊනියා වාම පෙරමුන (එෆ්අයිටී) නමින් යුත් ප්‍රතිපත්ති විරහිත මැතිවරන හවුලකට එලැඹ ගත්තේ, ඔවුන් පිලිබඳව පැවැති කවර හෝ විවේචන මැක්රි-විරෝධී ජනතාවාදයේ හා, වඩාත් වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවම පොදු සාධකයේ වැඩ පිලිවෙලකට යටත් කරමිනි. මොරීනෝවාදින් හා පෙරෝන්වාදයේ කර්ච්නර් පාර්ශ්වය සමඟ පීඕවේ අවස්ථාවාදී උපාමාරු දැමීම් යොමු වී ඇත්තේ ආර්ජෙන්ටිනා කම්කරු පන්තිය සඳහා පොදෙමොස් හෝ සිරිසා මාදිලියේ උගුලක් සූදානම් කිරීම සඳහාය.

බුවනෝස් අයර්ස් රැලිය අමතා කල සිය කථාව තුල අල්ටාමිරා, ආර්ජෙන්ටිනාව තුල ගබ්සා කිරීමේ අයිතිය දිනා ගැනීමට කල අරගලය පිලිබඳ විශේෂ අවධාරනයක් කලේ, “අපට මෙම ජයග්‍රහනය මත පාර්ටිඩෝ ඔබ්රෙරෝහි හා වාම පෙරමුනේ මුද්‍රාව තැබිය හැකි නම්, කෙටි කලක් ඇතුලත අප බලය සඳහා අපේක්ෂකයන් වනු ඇතැ”යි නිවේදනය කරමිනි.

ගබ්සාව නීතිගත කිරීමට සහයෝගය දක්වන විරෝධතා තුල තමන්ගේම ව්‍යාපාරයේ මෙන්ම පීටීඑස්හි ආර්ජෙන්ටිනා මොරීනෝවාදින් සමඟ ඇති සිය අවස්ථාවාදී මැතිවරන පෙරමුනේ ද කාර්යභාරයේ ප්‍රතිඵලයක් ලෙස තමන් “බලය සඳහා අපේක්ෂකයන්” වීම පිලිබඳව පීඕවේ නායකයා කථා කරන විට ඉන් අදහස් විය හැක්කේ, එක් දෙයක් පමනෙකි. එනම් ඔහු කථා කරන්නේ, කම්කරු පන්තිය විප්ලවවාදී ව්‍යාපාරයක් තුල බලය ගෙන කම්කරු ආන්ඩුවක් පිහිටුවීම පිලිබඳව නොවේ. ඊට පටහැනි ලෙස ඔහු අදහස් කරන්නේ, ආර්ජෙන්ටිනාවේ ධනපති ක්‍රමය මුහුන දෙන තීව්‍ර අර්බුදයේ කොන්දේසි යටතේ, ග්‍රීසිය තුල සිරිසාව සිදු කල පරිදි, ධනපති ආන්ඩුවක් ඇටවීමට වාම පෙරමුන (එෆ්අයිටීය) කැඳවනු ලැබීමේ ශක්‍යතාවය පිලිබඳවය.

රාජ්‍ය බලයට සූදානම් වන පක්ෂයක් ලෙස පීඕ නායකත්වය රාජ්‍ය සබඳතා ගොඩ නඟමින් සිටී. ඕකේපීය හා දර්යා මිටිනා සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමේ සැබෑ අර්ථය එයයි.

දර්යා මිටිනා (දකුනේ සිට දෙවැන්නිය) ව්ලදිමීර් පුටින් සමඟ

සීආර්එෆ්අයි සම්මේලනයට ඉදිරිපත් කල ස්වකීය එකතු කිරීම තුල පීඕව ඉදිරිපත් කල ආස්ථානය වූයේ “චීනයේ හෝ රුසියාවේ ධනේශ්වරය, පන්තියක් ලෙස ඉස්මතු වී නැති” බවයි. “ඊට හේතුව මේ දෙරටෙහි දී ම, ‘පූර්ව-ධනපති‘ අවධියේ පැවැති නිලධර ව්‍යුහයේ වැඩි කොටස තවමත් දිගටම උසුලනු ලබන රජය, මැදිහත්කරුවා ලෙස ක්‍රියාකිරීමය.” පීඕව පුටින් හා ෂි ජින්පිං පිලිබඳව සඳහන් කරන්නේ ඔවුන්, ඉස්මතුවෙමින් එන ධනපතීන් හා “ස්වකීය රාජ්‍ය කැබැලිවලට කැඩීබිඳී යාම වලක්වා පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය” ද අතර සමතුලනයෙහි යෙදෙන “විශේෂ බොනපාට්වාදීන්” ලෙසය.

මෙම නව-පැබ්ලෝවාදී ඉදිරි දර්ශනයට යටින් පවතින්නේ යම් ආකාරයක අධිරාජ්‍ය-විරෝධී විකල්පයක්; ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට ප්‍රතිතෝලකයක්; ඉදිරිපත් කිරීමට ශක්‍යතාවයක් පුටින්ට ඇතැයි යන සංකල්පයයි. චීනය හා රුසියාව යන දෙරටම ලතින් ඇමරිකාව තුල සිය ආනුභාවය පැතිරවීමට තැත් කරන තතු යටතේ, රාජ්‍ය ප්‍රතිපත්තිවල සන්දර්භය තුල මෙකී දෘෂ්ටියට සංයුක්ත ගම්‍යාර්ථ පවතී.

පාර්ටිඩෝ ඔබ්රෙරෝ වැනි පක්ෂයක ජාත්‍යන්තර පිලිවෙත් සෑම විටම ඒවායේ ජාතික දේශපාලනයේ විස්තාරනයෝ වෙති. දක්ෂිනාංශික බලවේගයක් වන රුසියානු ස්ටැලින්වාදය සමඟ සන්ධානයක් කරා හැරී ගැනීම, ආර්ජෙන්ටිනාව තුලම එහි අවස්ථාවාදී මැතිවරන පෙලගැස්ම සමඟ එක පෙලට සිටී. සීආර්එෆ්අයි සම්මේලනයට ඉදිරිපත් කල සිය වාර්තාව තුල පිලි ගෙන ඇති පරිදි, එය තමන් මොරීනෝවාදින් සමඟ එක්සත් වී සිටින එෆ්අයිටී පෙරමුන ගොඩ නංවා ඇත්තේ, “කර්ච්නර්වාදයේ වාමාංශය” - එනම්, පෙරෝන්වාදය - “දිනා ගැනීමේ අවශ්‍යතාවය එ‘විසින්ම සාධාරනීකරනය කරනු ලැබෙන මැතිවරන උපයෝජනයක්” මතය.

හතරවැනි ජාත්‍යන්තරය “ප්‍රතිස්ථාපනය කිරීමේ” ආවරනය යටතේ, ධනපති ජාතිකවාදීන් හා දක්ෂිනාංශික ධාරාවන් සමඟ පවා ගොඩනැගෙන සන්ධානයක් හා වෙලී ගත්, ගැඹුරින්ම ප්‍රතිගාමී අක්ෂයක් සූදානම් කෙරෙමින් පවතී.

බුවනෝස් අයර්ස්හි සමුලුව හා ස්ටැලින්වාදය සමඟ සන්ධාන ගත වෙමින් හතරවැනි ජාත්‍යන්තරය “ප්‍රතිස්ථාපනය කිරීමේ” ව්‍යාජ මවා පෑම, කම්කරු පන්තියට කෙරුනු අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුය. එමඟින් නියෝජනය කෙරෙන්නේ, හරියටම සෑම මහාද්වීපයකම පන්ති අරගලයේ පුනරුත්ථාපනයක් නැඟී එන මොහොතේ ම කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කිරීම සඳහා අලුත් දේශපාලන මෙවලම් වාත්තු කිරීමේ ප්‍රයත්නයකි.

හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවා වසර 80 ක් ගත වී ඇති අතර, පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා හජා තුල 1953 දී ඇති වූ භේදයෙන් හා ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගැනීමෙන් පසු වසර 65 ක් ඉකුත් වී ඇත. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයේ පාඩම් මැඩ පැවැත්වීම මත පදනම් වූ ජාත්‍යන්තර ප්‍රවනතාවක් නිර්මානය කිරීමට ප්‍රයත්න දැරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ කම්කරු පන්තිය පාවා දීම පමනෙකි.

ආර්ජෙන්ටිනාව තුල හා ලතින් ඇමරිකාව පුරා වෙසෙන ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු දෙනා, මෙකී පාවාදීම්වලත්, පැබ්ලෝවාදයට හා සියලු ආකාරයන්හි අවස්ථාවාදයට එරෙහිව හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර කමිටුව සිදු කල දීර්ඝ අරගලයෙන් පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍යය. මෙම අරගල පිලිබඳ ලේඛන බැරෑරුම්ව හැදෑරීමටත්, සෑම රටකම හජාජාකයේ ශාඛා ගොඩනැඟීමේ අරගලය ආරම්භ කිරීමටත් අපි ආර්ජෙන්ටිනාවේ හා ඇමරිකානු මහාද්වීපය පුරා වෙසෙන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන් කැඳවා සිටිමු.

Share this article: