අන්ත දක්ෂිනාංශය ඉතාලියේ බලය ලබා ගනී

Extreme right takes power in Italy

2018 ජූනි 02

ඊයේ සවස (සිකුරාදා) රෝමයේදී දිව්රුම් දුන් නව ඉතාලි ආන්ඩුව 1945 ෆැසිස්ට්වාදී ඩියුස් බෙනිටෝ මුසෝලිනීගේ තන්ත්‍රයේ කඩා වැටීමෙන් මෙපිට බලයට පත්වූ වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩුව වේ. ජනාධිපති සර්ජියෝ මැටරිල්ලාගේ අනුමැතිය සහිතව ස්ථාපනය කල එය අති දක්ෂිනාංශික ලීගා සහ ජනප්‍රියවාදී තරුපහේ ව්‍යාපාරය අතර සංධානයකි.

ආන්ඩුව ඇතුලත ශක්තිමත් ම පුද්ගලයා වනුයේ ලීගා නායක මැටියෝ සැල්විනීය. පාර්ලිමේන්තු මැතිවරනයේදී සිය පක්ෂයට ආරක්ෂා කර ගැනීමට හැකිවූයේ සියයට 17 ක ඡන්ද ප්‍රතිශතයක් පමනක් වුවද, සැල්විනී සති ගනනාවක් තිස්සේ ආන්ඩුව සෑදීමට කේවල් කරමින් සිය අධිකාරය යොදා කොන්දේසි පැනවීය.

සිය සංධාන ආන්ඩු ගිවිසුම තුල ලීගා සහ තරු පහේ ව්‍යාපාරය විසින් එකඟ වූ පරිදි අඩ මිලියනයක සරනාගතයන් පිටුවහල් කිරීම සහ පොලීසිය ශක්තිමත් කිරීම යන ඒවා ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර ඇමති ලෙස ඔහු දැන් බලය ඒකරාශී කරමින් සිටී. සියලු සමාජ සහ දේශපාලන විරුද්ධත්වයන් නිර්දය ලෙස මර්දනය කෙරෙනු ඇති පොලිස් රාජ්‍යයක් ගොඩනැගීමට ඔහු අදහස් කරයි.

සැල්විනී සිය ෆැසිස්ට් දෘෂ්ටියේ කිසිදු රහසක් සඟවනුයේ නැත. සිය රැලිවලට ජර්මානු නව දක්ෂිනාංශික මතධාරී ගෝට්ස් කුබිට්ස්චෙක් සහ ග්‍රීසියේ නව නාසි පක්ෂය වන ගෝල්ඩන් ඩෝන් ද ඇතුලුව යුරෝපීය නව නාසි රඟමඬලේ ප්‍රධාන පුද්ගලයින්ට ඔහු ආරාධනා කලේය. ඔහු ප්‍රන්ස ජාතික පෙරමුන, ජර්මනිය සඳහා විකල්පය සහ අනෙකුත් නව නාසිවාදී පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරයි. ඔහු නිරන්තරයෙන් සරනාගතයන් සහ මුස්ලිම්වරුන් පිලිබඳ ෆැසිස්ට් පන්නයේ චෝදනාවන් කරයි.

සාමාන්‍යයෙන් ලීගා නෝඩ් ලෙස හඳුන්වන පක්ෂය ජාතික පරිමාන පක්ෂයක් බවට වර්ධනය වීමට පෙර දකුනු දිග ඉතාලියේ සංවර්ධිත ප්‍රදේශවල ජනතාවගේ වරප්‍රසාදිත කොටස් වල අභිලාෂයන් ආරක්ෂා කලේය. ඉතාලි ධනපතියන්ගේ දූෂන සහ අපරාධ වෙන කිසිවකුටත් වඩා නියෝජනය කරන සිල්වියෝ බර්ලුස්කොනිගේ ෆෝර්සා ඉටැලියා පක්ෂය මෙන්ම ඉතාලි ෆැසිස්ට්වාදයට සෘජුවම සම්බන්ධිත මූලයන් පවතින ෆ්‍රැටලි ඩි ඉටැලියා පක්ෂය සමග සංධානයකින් එය මැතිවරනයට තරග කලේය.

සංධානයේ විශාලතම පක්ෂය වන තරු පහේ ව්‍යාපාරය මෙකී දක්ෂිනාංශික කුනු ගොඩවල් වලට බලය ලබා ගැනීමට උදව් කරමින් සිටී යන කරුන තරුපහේ ව්‍යාපාරය වාම හෝ දක්ෂින හෝ නොවන පක්ෂයකි යන මිත්‍යාව විනාශ කර දමයි.

ඉතාලිය විනාශ කර දැමූ 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව විකට රංගන ශිල්පී බෙපේ ග්‍රිල්ලෝ විසින් තරු පහේ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. දශක ගනනාවක් තිස්සේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (පීඩී) සහ රිෆන්ඩෝසයින් කමියුනිස්ටා බඳු විවිධ ව්‍යාජ වාම පක්ෂද ඇතුලුව සෑම ඉතාලි ආන්ඩුවක්ම මිලිටරිවාදී සහ කප්පාදු පියවරයන් සම්බන්ධ පිලිවෙත් අනුගමනය කොට ඇත. එහි ප්‍රතිපලයක් ලෙස පැන නැගුනු සමාජ විනාශය සහ වම සම්බන්ධ දේශපාලන ශුන්‍යත්වය ඉතාලි දේශපාලඥයන්ගේ දූෂන සහ සිය මඩිය තරකර ගැනීම පිලිබඳ උද්වේගකර ප්‍රහාරයන් මගින් ශ්‍රාවකයක් දිනා ගැනීමට ග්‍රිල්ලෝට ඉඩ හසර ලබා දුනි. පීඩී ය වටා සිටින ඊනියා වම්මුන් ධනවාදය ආරක්ෂා කල බව දැනුනු තරුනයන් අතර ග්‍රහනය තරුපහේ ව්‍යාපාරය නතුකරගත්තේය.

කෙසේ වුවද, ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසර පහකට පෙර සටහන් කල පරිදි තරු පහ ව්‍යාපාරයේ වැඩ පිලිවෙල එහි ආරම්භයේ පටන්ම හරයෙන් දක්ෂිනාංශික විය. “දූෂනයට, අධිකාරිත්වයට සහ නිලධාරීවාදයට එරෙහි අරගලයක නාමයෙන් එය කම්කරුවන්ට සහ සමස්ත පශ්චාත් යුදකාලීන සුභසාධක රාජ්‍ය රූපකාරයට එරෙහිව ඓතිහාසික ප්‍රහාරයක් කැඳවුම් කරයි. තරු පහ ව්‍යාපාරය දූෂිත දේශපාලන පන්තියට එරෙහි වන ලෙස ප්‍රකාශ කරන අතර එහි ඉලක්කය වනුයේ ඉතාලි කම්කරු පන්තියේ සමාජ ජයග්‍රහනයන්ය.” යනුවෙන් අපි ලීවෙමු.

මේ තක්සේරුව දැන් සනාථ වී ඇත. තරු පහ ව්‍යාපාරය විසින් සම්පූර්නයෙන්ම පාහේ වැලඳගෙන ඇති විදේශිකයින් නුරුස්නා වැඩ පිලිවෙලක් සහිත ලීගා සමග එහි වූ සම්බන්ධය සෘජුව ම කම්කරු පන්තිය සහ තරුනයන් ඉලක්ක කරයි.

මැතිවරනය තුලදී, තරු පහ ව්‍යාපාරය සෑම අයෙකුටම මූලික අවම වැටුපක් ලබා දීමට පොරොන්දු වීම මගින් තමන්ට දක්වන සහයෝගය ආරක්ෂා කර ගත්තේය. සියල්ලටමත් ඉහලින් තරුන අයගෙන් එය ජන්ද දිනා ගත්තේය. ඔවුන්ගෙන් බහුතරයක් සිය ජීවිතයේ තිස් වන වසර අවසානය වන තුරුත් සිය දෙමව්පියන්ගේ නිවෙස් අතහැර ගොස් පවුලක් ආරම්භ කර ගත නොහැකි තරම් ඉතා දිලිඳු බවට පත්වූවන්ය. එය දරිද්‍රතාවයෙන් පිරි දකුනේද හොඳින් ඡන්ද දිනා ගත්තේය.

සංගත ප්‍රභූවට ත්‍යාගයක් ලෙස ගනන් ගැනෙන මේ මැතිවරන පොරොන්දු ක්‍රියාවේ යෙදවීම වෙනුවෙන්, දෙවන නියෝජ්‍ය අගමැති සහ කර්මාන්ත සහ කම්කරු ඇමති ලෙස තරු පහ ව්‍යාපාරයේ නායක ලුයිජි ඩි මායියෝ දැන් වගකිව යුතු වේ. මෙමගින් ඕනෑම සහ සියලුම රැකියා පිලිගන්නා අයට මසකට යුරෝ 780 ක මූලික ආදායමක් නියම කරයි. ජර්මනියේ හතරවන හාර්ට්ස් මෙන් එය දැවැන්ත අඩු වැටුප් සහිත අංශයක් නිර්මානය කිරීම සඳහා වූ යාන්ත්‍රනයක් ලෙස සේවය කරයි.

ධනවතුන්ට සහ මහ ව්‍යාපාරිකයන්ට බිලියන ගනනක් යුරෝ ලබා දෙන අදියර දෙකේ සහන බදු ක්‍රමයක් හඳුන්වාදීමට ද ලීගා සහ තරු පහ ව්‍යාපාරය එකඟ වී ඇත.

එබඳු ආන්ඩුවක ස්ථාපනය ඉතාලියේ පමනක් නොව යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි. පාලක ප්‍රභූව වහ වහා අධිකාරීමය පාලන ආකෘතියකට හැරී ගනිමින් සිටී.

ෆැසිස්ට් පන්නයේ ලීගා සහ තරු පහ ව්‍යාපාරයේ සන්ධානය යුරෝපා සංගමයේ නිල අනුමැතිය සහිතව බලයට පැමිනෙමින් සිටී. තරු පහ ව්‍යාපාරය සහ ලීගා හවුල් ආන්ඩුවක් සකස් කිරීමට අනුමැතිය දීම පිනිස මැටරෙල්ලා සිය ව්‍යවස්ථාමය බලතල භාවිතා කිරීමට යන්තම් දින කිහිපයකට පෙර යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆෙඩෙරිකා මෝගරිනී ඇයට ඉතාලි ජනාධිපති පිලිබඳ “සම්පූර්න විශ්වාසය” ඇති බව අවධාරනය කලේය.

ඊයේ රාත්‍රියේ යුරෝපය පුරා පාලනාධිකාරීන් රෝමයේ අති දක්ෂිනාංශික තන්ත්‍රයක පත්වීම නරුම ලෙස සැමරීය. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් “දේශපාලන, සංස්කෘතික සහ ආර්ථිකමය යන සියලු ක්ෂේත්‍රයන්ගෙන් ජර්මනිය සහ ඉතාලිය එක්සත් කරන සමීප සහ මිත්‍ර ශීලී බැදීමක්” ලෙස වර්නනා කල අතර “ඔබ සමග මෙම සමීප සම්බන්ධතාවයන් වැඩිදියුනු කිරීමට සහ ගැඹුරු කිරීමට මම බලා පොරොත්තු වෙමි” යනුවෙන් නව ඉතාලි ආන්ඩුවට ප්‍රකාශ කලේය.

“යමෙකු දේශපාලනඥයන් මිනිය යුත්තේ ඔවුනගේ ක්‍රියාවන් මගින් විනා ඔවුනගේ පූච්චානම් ප්‍රකාශනයන්ගෙන් නොවේ” යන සැඳහුමද සහිතව යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලවුඩ් ජන්කර් විසින් සැල්විනීගේ ෆැසිස්ට් පන්නයේ මතුවීම නොවැදගත් ලෙස සලකමින් යුරෝපා සංගමය සහ නව ආන්ඩුව අතර සමීප සහයෝගී තාවයක් කැඳවුම් කලේය.

මැටරෙල්ලා සහ යුරෝපා සංගමයට ඇති එකම කනස්සල්ල වූයේ සැල්විනී යටතේ ඉතාලිය යූරෝ මුදල් ඒකකයෙන් ඉවත් වීමට හෝ එහි එහි යූරෝ ට්‍රිලියන 2.3 ක් තරම් දැවැන්ත නය ගෙවීම පැහැරහැරීමට ඇති ඉඩ පිලිබඳ පමනි. පොලී අනුපාතය සියයට 0.7 ක් තරම් අඩු වුවද පසුගිය වසරේ පමනක් නයෙහි පොලිය යූරෝ බිලියන 66.4 ක් ගෙවිය යුතුව තිබුනි. පොලී අනුපාතයේ ඉහල යාමක් මගින් මේ ගනන් සැනින් ඉහල යනු ඇත.

මැටරෙල්ලා වත් යුරෝපා සංගමය වත් සිය දහස්ගනන් සරනාගතයන් සිර කොට රඳවා තබා ගෙන පිටුවහල් කිරීමට වූ ආන්ඩුවේ සැලසුම තැකුවේ නැත. නව අභ්‍යන්තර ඇමතිගේ වර්ගවාදී පරිභවයන් සහ අධිකාරීමය පාලනය සඳහා ඔහුගේ සහය පිලිබඳ පැවසීමට දෙයක් ඔවුන්ට නොතිබුනු තරම්ය. මන්ද මෙකී පිලිවෙත් යුරෝපය තුල එකඟත්වයකට පැමින ඇති පිලිවෙත් වන හෙයිනි.

සෑම රටකම පාලක පන්තිය සිය පාලනය ආරක්ෂා කර ගැනීමට වාරනය, රාජ්‍ය මර්දනය සහ ෆැසිස්ට් පන්නයේ ක්‍රම වේද භාවිතා කරමින් සිටී. මෙය එක් අතකින් යුරෝපානු සහ ලෝක ධනවාදයේ පෙර නොවූ විරූ අර්බුදය මගින් ද අනෙක් අතින් සමාජ කප්පාදූන්, මර්දනය සහ යුදවාදයට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය මගින් ද ධාවනය වේ. මෙකී විරුද්ධත්වය, පන්ති අරගල පාලනය කොට මර්දනය කිරීමේ හැකියාව සේදී යමින් පවතින වෘත්තීය සමිති වල, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහ ව්‍යාජ වමේ ඔවුනගේ සගයන්ගේ හුස්ම හිර කරවන දඬු අඬුවෙන් නිදහස අත් කර ගැනීමේ තර්ජනය මතු කරයි.

ඔස්ට්‍රියාව, හංගේරියාව, පෝලන්තය ඇතුලු යුරෝපානු රටවල් කිහිපයක ආන්ඩුවල දැන් අති දක්ෂිනාංශික පක්ෂ වාඩි ගෙන සිටී. මිලියන 60 ක ජනගහනයක් සහිත සහ යුරෝපා සංගමයේ සිව්වන විශාලතම ආර්ථිකය වන එමෙන්ම යුරෝපා සංගමයේ ආරම්භක සාමාජිකයෙකු වන ඉතාලියේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් බලය අල්ලා ගෙන ඇත යන කාරනය සමස්ථ යුරෝපානු කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමක් ලෙස දැකගත යුතුය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, ව්‍යාජ වාම සංවිධාන සහ වෘත්තීය සමිති වලට ෆැසිස්ට්වාදයේ අන්තරයාට එරෙහි වීමට හැකියාව හෝ ඒ සඳහා කැමැත්ත හෝ නොමැත. ඔවුන් අන්ත දක්ෂිනාංශයට නීත්‍යානුකූල භාවයක් ලබා දීමට සහය දක්වා ඇත. මහා ප්‍රාග්ධනයේ අභිලාෂයන් තුල දක්ෂිනාංශික පිලිවෙත් අනුගමනය කිරීම මගින් පවත්නා රාජ්‍ය ක්‍රමයේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටීමට ෆැසිස්ට්වාදී පක්ෂ වලට ඔවුන් විසින් ඉඩ ලබා දී ඇත. ඊටත් වඩා, සරනාගතයන් මතට කඩා පැනීමක්, රට අභ්‍යන්තරයේ මර්දනයක් සහ සමාජය යලි මිලිටරීකරනය කිරීමක් ඉල්ලා සිටිමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යාජ වාම පක්ෂ බොහෝ අන්ත දක්ෂිනාංශික පදනම් පිලිගෙන ඇත.

අන්ත දක්ෂිනාංශයෙන් මතුකර ඇති තර්ජනයට විරුද්ධ විය හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට පමනි. එබඳු ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය වෛෂයික පූර්ව කොන්දේසි දැන් පවතී. ප්‍රජාතන්ත්‍ර සහ සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර සහ මහද්වීපය මිලිටරීකරනය කිරීමට එරෙහිව විරුද්ධත්වය ද සමග යුරෝපය හරහා සමාජ ආතතීන් සහ පන්ති අරගලයන් වර්ධනය වෙමින් ඇත.

දැන් සියල්ල රඳා පවතින්නේ, ඉතාලි, යුරෝපීය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමට නව මාක්ස්වාදී පක්ෂයක් ගොඩනැගීම සහ ධනවාදය පරාජය කිරීම සඳහා එහි විප්ලවවාදී විභවය බලමුලු ගැන්වීම මතයි. මෙය ඉතාලියේ සහ අනෙකුත් යුරෝපා රටවල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමේ කර්තව්‍යයෙහි හදිසි භාවය ඉස්මතු කරයි.

පීටර් ෂ්වාස්

Share this article: