සිරියාව තුල ඇමරිකානු යුද අපරාධ හෙලිදරව් වෙයි

US war crimes in Syria exposed

2018 ජූනි 7

සිය ගනන් සිවිල් ජනයා ඝාතනය කල ක්‍රෑර ක්ෂනික බෝම්බ ප්‍රහාර සහ කාලතුවක්කු වෙඩි තැබීම් මගින් නගරයෙන් සියයට 80 දක්වා විනාශ කරමින් සිරියාවේ රක්කා නගරයේ පසුගිය වසරේ මාස හතරක් පුරා ඇමරිකාව දැවැන්ත පරිමානයක යුද අපරාධ සිදු කලේය.

ඇමරිකානු හමුදාව සහ තම කුලීකාර ඊනියා සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන් විසින් සිදුකර ගිය විනාශය පිලිබඳ සත්‍ය ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය මගින්, “මූලෝත්පාඨන යුද්ධය” යන හිසින් පලකල කම්පනය දනවන වාර්තාවෙන් විස්තර කෙරින. ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් ඉරාක සහ සිරියානු ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්) වෙතින් නගරයේ පාලනය ලබා ගැනීමේ ප්‍රයත්නය විස්තර කරන විට මෙම වාක්‍ය ඛන්ඩය පුරුද්දක් ලෙස භාවිතා කලේය.

රක්කා වෙත දහස් ගනන් බෝම්බ හෙලූ ඇමරිකාව, යන්තම් මාස පහක් ඇතුලත නගරයට කාලතුවක්කු උන්ඩ 30,000 කින් ප්‍රහාර එල්ල කලේය. රක්කාහි සහ අවට ගම්මානවල ජනගහනය යුද්ධයට පෙර සමයේ වූ 340,000 සිට අද 100,000 ත් වඩා අඩු සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇත. නගරය අතහැර පලාගිය අයගෙන් බොහෝ දෙනෙකුට තම නිවාස බොහෝමයකට සහ අති මූලික යටිතල ව්‍යූහයන් හානි වීම හෝ සම්පූර්නයෙන් විනාශ කිරීම හේතුවෙන් යලි පැමිනිය නොහැක. යලි පැමිනි අයට ඇමරිකාව සහ තම සගයින් විසින් හෙලන ලද නොපිපුරූ බෝම්බ සහ මිසයිල හෝ අයි.එස්.අයි.එස් විසින් අටවන ලද බිම් බෝම්බ වලට ගොදුරු වී සුනු විසුනු වී යාමේ අනතුරට ගොදුරු වී සිටිති.

වාර්තාව සටහන් කරනුයේ අමෙරිකාව නිල වශයෙන් සිරියාවේ අයි.එස්.අයි.එස් පරාජය කිරීමේ යුදයක නිරතව සිටින අතරේ, දහස් ගනන්වූ එහි සාමාජිකයන්ට නගරයෙන් ඉවත්වීමට ඉඩ සලසන එකඟතාවක් තිබියදී පවා සිවිල් ජන ප්‍රදේශවලට නොකඩවා කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි. සිරියාව තුල අඩුම තරමේ අමෙරිකානු භටයන් 2,000ක් දැනට නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටින වොෂිංටනයේ අවසන් ඉලක්කය වනුයේ බශාර් අල් අසාද් ගේ රජය පෙරලා දමා අමෙරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වලට වඩා හිතකර තන්ත්‍රයක් ඇටවීමය.

ඇම්නෙස්ටියේ විමර්ශකයෝ 100 කට වැඩි දිවිගලවාගත් අය හමුවෙමින් සහ නගරය පුරා අමෙරිකානු ගුවන් පහරදීම් වලට ඉලක්කවූ ස්ථාන නිරීක්ෂනය කරමින්, පසු ගිය වසරේ පහරදීම්වලින් සිදුකරනලද විනාශය සහ මරාදැමීම් ගැන අදහසක් ලබා දෙති. 39 දෙනකු ඝාතනය වූ බද්රාන්ස් පවුල සමගද විමර්ශකයෝ සාකච්චා කලහ. අමරිකානු ප්‍රහාර හතරකදී, මියගිය මේ අයගෙන් වැඩි දෙනෙකු ලමයින් සහ කාන්තාවන් වූ අතර ඔවුන් ප්‍රහාර වලට ගොදුරු වුයේ ගැලවීමට ස්ථානයක් සොයා හිස් ලූ ලූ ඇත දිව යද්දිය.

එහි උච්චතම අවස්ථාවේදී ප්‍රහාරය භාරව සිටි අන දෙන නිලධාරි රක්කා වල ප්‍රහාරය “ඉතිහාසයේ වඩාත්ම ප්‍රශස්ත ගුවන් ප්‍රහාරක සටන” බව පාරම් බෑවේය. තම සමස්ථ විවිධ ගෝලීය හමුදා මෙහෙයුම් මගින් 2017 දී සිවිල් ජනතාව 500 ට අඩු සංඛ්‍යාවක් මරනයට ගොදුරු වූ බව අභූත ලෙස කියාපෑ පෙන්ටගනය, රක්කා හිදී මියගියේ සිවිල් වැසියන් 32 ක් පමනක් බව ප්‍රකාශ කලේය.

අප්‍රේල් හි ඇසෝෂියේටඩ් ප්‍රෙස් වාර්තාවක් තහවුරු කලේ සුන්බුන් අතරින් මෘත ශරීර 500 ට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් අතර වටලෑම අවසන් වී මාස කිහිපයකට පසුවත් තවම සිය ගනන් මෘත ශරීර ලැබෙමින් තිබෙන බවයි. ඇමරිකාව සහ සිරියාවේ සහ ඉරාකයේ එහි සගයින් විසින් එල්ල කල ගුවන් ප්‍රහාර සමීපව අධ්‍යයනය කරන “එයාර් වොස්” සංවිධානය විසින් විසින් රක්කා හි ඇමරිකානු ගුවන් ප්‍රහාර මගින් සිවිල් ජනතාව 1,400 ක් ගොදුරු කරගෙන ඇති බව ලේඛන ගත කර ඇත.

මේ වසර මුල ඩෞමා නගරයේ සිදු කලේ යයි කියූ විශ වායු ප්‍රහාරයක් පිලිබඳ ඇතිකල බොරු හාහෝවට සපුරාම වෙනස්ව රක්කා නගරයේ අමෙරිකාව සිදුකල කල දැවැන්ත යුද අපරාධ, මාධ්‍ය විසින් වගේ වගකින් තොරව නොතකා හැරීය. දේශපාලන සංස්තාපිතයේ ප්‍රධාන පුවත්පත් දෙක වන නිව් යෝක් ටයිම්ස් හෝ වොෂිංටන් පෝස්ට් ඔවුන්ගේ මුද්‍රිත සංස්කරන තුල ඇම්නෙස්ටි වාර්තාව ගැන කිසිදු සඳහනක් නොකලේය.

අසාද් රෙජිමය හෝ රුසියානු හමුදා විසින් කලායැයි කියනු ලබන ඕනෑම ප්‍රචන්ඩ ක්‍රියාවක් ඇමරිකාවේ ඊනියා “මානුෂීය” මැදිහත් විම් උත්සන්න කරනුවස් ඉමහත් සදාචාරමය කෝපයකින් යුතුව හෙලා දැකීමට අවස්ථාව කරගන්නාවූ ටයිම්ස් තීරු රචකයන් වන නිකලස් ක්‍රිස්ටොෆ් සහ තෝමස් ෆ්‍රීඞ්මන් යන දෙදෙනාම පෙනෙන විදියටනම් තම රචන කෞශල්‍ය මන්දගාමිවීමේ ආබාධයකට එකවිටම ගොදුරු වී තිබේ.

ඇමෙරිකානු මාධ්‍ය කතුවරුන් සහ අටුවා කරුවන් අඩු හෝ වැඩි ලෙස තර්ක කරනුයේ ට්‍රම්ප් සිරියාව තුල අවශ්‍ය තරම් පෙරට නොගිය බවත්, වසර 15 ඉක්මවා ඇති ඇමරිකානු යුද්ධ හා වාඩිලාගැනීම්, මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යයට රුසියාවෙන් සහ ඉරානයෙන් එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුන දෙනු පිනිස ව්‍යාාප්ත කලයුතු බවත් ය.

2016 මැතිවරන ජයග්‍රහනය තුලදී රුසියාව සමග පැවතියායි පැවසෙන ට්‍රම්ප්ගේ සබඳතා ගැන නිමක් නැති මඩ ප්‍රහාර මධ්‍යයේ සියලුම කන්ඩායම්, සිවිල් ජනතාවට සිදු වන හානිය නොතකා, කලාපයේ තෙල් නිධි මුලුමනින්ම තම පාලනයට නතු කර ගැනීම සඳහා කෙරන යුද්ධ දිගටම කල යුතු බවටත් සහ ඇත්තෙන්ම තවත් ව්‍යාප්ත කල යුතු බවටත් එකඟය.

රක්කා හි දාමරිකකම් ගැන වාර්තා කිරීමට මාධ්‍ය අසමත් වීම සහ ඇම්නෙස්ටි හි එලිදරව් කිරීම් ගැන මාධ්‍ය නිහඬ වීම මගින් ඔවුන්ද මෙම අපරාධවලට හවුල් වෙයි. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව දේශපාලනිකව දැනුවත් ව්‍යාපාරයක් වෙත පුලුල් යුද විරෝධී මනෝගතීන් වර්ධනය වීම අවහිර කිරීමේ වෑයමක් ලෙස, තම නමින් සිදු කරන අපරාධවල පරිමානය අමරිකානු ජනතාවගෙන් සැඟවීමේ දැනුවත් තීරනයකට ඔවුන් එලඹ ඇත.

මෙම ව්‍යායාමයේදී අතිමූලික කර්තව්‍යයක්, තමන් “සමාජවාදී” ලෙස නම් කර ගනිමින් අධිරාජ්‍යවාදී මැදිහත්වීම යුක්ති සහගත කිරීමට වෙහෙස නොතකා වැඩ කරන සංවිධාන ද ඇතුලුව, ව්‍යාජ වම්මු විසින් ඉටු කරති. සිරියාවේ ඇමරිකානු යුද්ධයටත් සහ වොෂින්ටනයේ ඊනියා “කැරලිකාරී” කුලී හමුදාවන්ටත් එරෙහි වන්නන්ට “ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය” නිරන්තරව ප්‍රහාර එල්ල කරයි. ඔවූහු අසාද් ආන්ඩුවට එරෙහිව ජනාධිපති ට්‍රම්ප්ගේ යලි යලිත් සිදු කල නීති විරෝධී මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූයේ සිරියාවට එරෙහි අල්කයිඩාවට සම්බන්ධ “කැරලිකරුවන්” සන්නද්ධ කිරීම සඳහා ඔබාමා සහ ට්‍රම්ප් යන දෙපලම අපොහොසත් වූ බවට පැමිනිලි කරමින්, ඔවුන් ඇති තරම් දුර නොගිය බවට චෝදනා කරමිනි. මෙම මිසයිල ප්‍රහාර මගින් තාපන්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව සමග යුද්ධයක් ඇවිලිය හැකිව තිබින.

ඒ ආකාරයෙන්ම, පැබ්ලෝවාදී “ඉන්ටනැෂනල් වීව්පොයින්ට්” සඟරාව, ඇමරිකාව සහ තම අධිරාජ්‍යයවාදී සගයින් “සිරියාවේ කැරැල්ලේ ප්‍රජාතන්ත්‍රවාදී අංශවලට, තම ආරක්ෂාව සලසා ගැනීමට ඉඩදීම ප්‍රතික්ෂේප කර ඇති” බව කියාපාමින් සිරියාවේ තන්ත්‍ර මාරුවේ යුද්ධය අලුත් කරන ලෙස කැඳවුම් කරන ප්‍රකාශනයක් මෙම සතියේ පල කලේය. මෙහි අර්ථය වන්නේ, ඇමරිකාව ඇති පමනට සිරියාවට බෝම්බ එල්ල කර නොමැති බවත් හෝ තම කුලී භටයින්ට ප්‍රමානවත් ආයුධ ප්‍රමානයක් බෙදා හැර නොමැති බවත්ය.

නිරවද්‍ය ඉලක්ක වලට බෝම්බ එල්ල කිරීම් මගින් ත්‍රස්තවාදීන් පමනක් ඝාතනය වන ලේ නොසැලෙන සුක්ෂම මෙහෙයුම් ලෙස තම යුද්ධ ව්‍යාජ ලෙස හුවා දක්වන පෙන්ටගනය සමග වඩ වඩාත් හීලෑ කමින් මාධ්‍ය එකට වැඩ කරද්දී, ඇත්තටම සිදුවන්නේ අහිංසකයින්ගේ මෘත ශරීර ගොඩ ගැසීමයි. 2016 සහ 2017 දී අයි.එස්.අයි.එස් වෙතින් ඉරාකයේ මෝසුල් නගරය යලි පැහැර ගැනීමේ ඇමරිකානු වෑයමේදී, සිවිල් ජනයා 40,000 ක් තරම් ඝාතනය වූ බවත් මිලියනයකට අධික ජනතාවකට උන් හිටි තැන් අහිමි වී ඇති බවත් ඉරාක කුර්දි ඔත්තු සේවය තකසේරු කර ඇත. ඇමරිකානු විශේෂ හමුදාවන්ගේ පිටුබලය ලබමින් සව්දි අරාබිය විසින් යෙමනයේ මෙහෙයවන වසර තුනක යුද්ධය සිවිල් වැසියන් 13,000 ඉක්මවා ඝාතනයවී ඇති අතර මිලියන 18 ක් ඉක්මවා සාගතයේ තර්ජනයට ලක්කර ඇත.

දැන් ට්‍රම්ප් පරිපාලනය යේමන යුද්ධය සමග සෘජුව සම්බන්ධ වීම ගැන සලකා බලමින් සිටින්නේ, මිලියන ගනනක් සිවිල් වැසියන් ගොදුරට පත්කරමින් ඉරානය සමග වඩාත් භයානක හමුදා අභිමුඛ වීමකට සූදානම් වන අතරය.

නයිල්ස් නීමුත්

Share this article: