ඇමරිකා එක්සත් ජනපදය: හිර කඳවුරුවල දේශය

The United States of America: Land of internment camps

2018 ජූනි 20

එක්සත් ජනපද ආන්ඩුව සංක්‍රමනික ලමුන් දහස් ගනනක් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කිරීමේ ද ඔවුන් කාන්තාර කූඩාරම් නගරවල කූඩුවල හිර කිරීමේ ද ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත. ලමා රෝග වෛද්‍යවිද්‍යාව පිලිබඳ ඇමරිකානු ශාස්ත්‍රාලය මෙය “ලමා දුෂ්ප්‍රයුක්තයන්” යැයි හඳුන්වයි, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය එය “වධහිංසා වලට අඩු කිසිවක්” නො වේ යැයි පවසන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය එය හෙලා දකින්නේ “අධම” හා “අයුක්තිසහගත” මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ය.

ඇමරිකානු ඉතිහාසය තුල අශෝභන සිදුවීම්වල අඩුවක් නොමැත. ට්‍රේල් ඔෆ් ටියර්ස් නමින් ප්‍රසිද්ධ දේශීය ඇමරිකානුවන් බලහත්කාරයෙන් වෙනත් තැනක පදිංචි කරවීම, පලා යන වහලුන් හිරගත කිරීම, පලමු ලෝක යුද්ධයෙන් පසු සැක කෙරුනු රැඩිකල්වාදීන් පිටමං කිරීම හා දෙවැනි ලෝක යුද්ධයේ දී ජපාන-ඇමරිකානුවන් වෙනත් තැනක පදිංචි කරවීම වඩාත් ම කුප්‍රකට ඒවා අතර කීපයක් පමනි. නමුත් වර්තමානයේ ලමුන්ට අමානුෂික ලෙස වධ දීම හා විපතට ඇද දැමීම නියෝජනය කරන්නේ දේශපාලනික දූෂිතභාවය හා බොහෝ දුරට විස්තර කිරීමකට පවා නො හැකි සදාචාරාත්මක පරිහානිය යි. විසිඑක්වැනි සියවසේ මෙය සිදුවෙමින් තියෙන්නේ, එහි නායකයින් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් පිලිබඳ ගෞරවය ගැන අවසානයක් නැති ව හා කුහුක ලෙස කයිවාරු ගසමින් සිටින රටක ය.

එක්සත් ජනපදය පුරා, මේ වන විට කූඩුවල සතුන් මෙන් හිර කෙරනු ලමයි දහස් ගනනක් කොන්ක්‍රීට් ලෑලි මත වැතිරී සිටිති. බොහෝ දෙනකු ඔවුන්ගේ දෙමවිපියන් කොහි දැ යි නො දන්නා අතර, ඔවුන් සමග කතා කිරීමෙන් ද වලක්වා ඇත. සෑම දිනකම රඳවා ගැනුනු ලමුන් සංඛ්‍යාව, ඊට පෙර දිනට වඩා 250කින් වැඩි වෙයි.

වැඩිවෙන්නා වූ රැඳවියන්ගේ ගහනය හැසිරවීමට, කඳවුරු හා කූඩාරම් නගර සමූහයෝ රට පුරා මතුවෙමින් තිබේ, සමහරක් තිබෙන්නේ උෂ්නත්වය සෙන්ටි ග්‍රේඩ් අංශක 100ට වඩා ඉහල කාන්තාර ප්‍රදේශවල ය. තදබද වූ හිරගෙවල් බිය වී අඬන ලමුන්ගේ හඬින් පිරී යයි. ආරක්ෂකයෝ බොහෝ ලමුන් වාචික, කායික හා ලිංගික අපයෝජනයනට ලක් කරති.

එහි අන්ත ම්ලේච්ඡත්වය හා දයා විරහිත භාවය, හා පවුල් වෙන් කිරීමේ ප්‍රතිපත්තියේ මට්ටම සමාන වන්නේ නාසි ගෙස්ටපෝවේ ප්‍රතිපත්තිවලට ය. එය එතනින් ආපසු හැරීමක් නැති ඇමරිකානු ඉතිහාසය තුල තීරනාත්මක සන්ධිස්ථානයකි.

එක්සත් ජනපදය ලෝක පරිමානව “ප්‍රජාතන්ත්‍රවාදය” හා “මානව අයිතීන්” සඳහා බලයක් නියෝජනය කරන්නේ ය යන්න කුඩුපට්ටම් වී යමින් තිබේ.

ආක්‍රමනය කිරීමට හෝ මැදිහත්වීමට එවැනි ප්‍රකාශ යොදා ගැනනු ලෝකයේ එම කලාපවලින් මිලියන ගනනාවක් දැන් පලා යාමට උත්සාහ ගනිමින් සිටිති. 1970 ගනන් හා 1980 ගනන්වල මධ්‍යම ඇමරිකාව පුරා එක්සත් ජනපදය අනුග්‍රහ දැක් වූ ඒකාධිපතියන්ගේ ඝාතක කල්ලි සියදහස් ගනනක් මරාදැමූහ, වධහිංසාවට ලක්කලහ. මෙදින වන විට සමස්ත සමාජය ම නටබුන්ව පවතී. 1960 ගනන් හා 1970 ගන්නවල එක්සත් ජනපදය වියට්නාමය, කාම්බෝජය හා ලාඕස්වල පුද්ගලයන් මිලියන 3ක් ඝාතනය කලේ ය. ඇමරිකානු අධිරාජ්‍යවාදය උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ වැඩි හරිය දිගට ම පාලු කරන්නේ මිලියන ගනනාවකගේ මරන සමගිනි. දැන්, මෙම යුද්ධවලින් විපතට පත්වූවන්ගේ ලමයි ඔවුන්ගේ පැරනි ආක්‍රමනිකයන් විසින් කූඩු තුලට ඇද දැමෙති.

මහජන කෝපය අභියස, ට්‍රම්ප් පාලනාධිකාරිය ප්‍රතිචාර දක්වා ඇත්තේ ලමා කූඩාරම් නගර ව්‍යාප්ත කරමින් හා සංක්‍රමනිකයන් මත ඔහුගේ ෆැසිස්ට්තාලයේ ප්‍රහාරයන් උත්සන්න කරමිනි.

“නීතිවිරෝධී සංක්‍රමනිකයෝ, ඔවුන් කොතරම් නරක වියැ හැකි දැ යි යන්න කාරියක් නැතිව, අප රටට ගලා එමින් ද රෝග බෝ කරමින් ද සිටිති” යි පවසමින් ට්‍රම්ප් ඊයේ ට්වීටර් පනිවුඩයක් නිකත් කලේ ය. සඳුදා සම්මුඛ සාකච්ඡාවක දී, නීතිපති ජෙෆ් සෙසන් සංක්‍රමනිකයන් මත (තම) කඩාපැනීම හා නාසි ජර්මනිය අතර ප්‍රධාන වෙනස “නාසි ජර්මනියේ දී ඔවුන් යුදෙව්වන් රට අත හැර යාමෙන් වැලක්වීම” යැයි පැවසූහ.

වොෂින්ටන් නගරයේ කුඩා ව්‍යාපාරික කවයක දී ඊයේ කල තම කතාවේ දී, ට්‍රම්ප් සංක්‍රමනික දෙමව්පියන් හෙලා දුටුවේ “ලමා හොර ජාවාරම්කාරයින්” කියා ය. සංක්‍රමනිකයන් ස්ත්‍රී දූෂකයින් හා අපාරාධකරුවන් ය යන ඔහුගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින්, “ඔවුන් එවමින් සිටින්නේ තමන්ගේ හොඳම අය නොවේ යයි මා කී විට ඉන් මා සියයට සියයක් නිවැරදි බව ඉස්මතුවේ.”

මෙම කැලිකසල වෙනුවෙන් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාශයක් ගොඩනගිමින් සිටී. “අපි ඔවුන් දහස් ගනනින් පිටතට ගෙන යනවා” යැයි ට්‍රම්ප් ප්‍රකාශ කල විට ව්‍යාපාරිකයෝ රොත්ත මහ හඬ නගා ඔල්වරසන් දුන්නෝ ය.

පලමු වතාවට ට්‍රම්ප් සංක්‍රමනිකයන් සඳහා නීත්‍යානුකූල ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා ඵලදායි ලෙස ඉල්ලා ඇති බව ද මෙම කතාව සලකුනු කර යි. “අපිට නඩුකාරයෝ ඕනෑ නෑ, අපිට ඕනෑ අපේ දේශසීමාවේ ආරක්ෂාව” යැයි ඔහු පැවසී ය. “අපිට මිනිස්සු ඒම අවශ්‍ය නෑ.”

සංක්‍රමනිකයන්ට උසාවියක පෙනී සිටීමට ඇති අයිතියට ඔහු සිනා සුනේ ය. “මට මිනිස්සු විනිශ්චය කරන්න ඕනෑ නෑ, මට මිනිස්සු ඇතුලට ඒම අවශ්‍ය නෑ, ඔබලාට කවර දා වත් ඔවුන්ව එලවා දමන්නට ලැබෙන්නේ නෑ.” සංක්‍රමනිකන් සම්බන්ධ නීතිඥයෝ “නරක ඈයෝ,” ඔවුන් “වංචා කරනවා” වගේ ම “හරියට ම කියන්න ඕනෑ කුමක් ද කියලා මේ මිනිස්සුන්ට කියලා දෙනවා” යැයි ඔහු තව දුරටත් පැවසී ය.

මෙම සඳහන් කිරීම් අඟවන්නේ ඔවුන්ගේ අයිතීන් පමනක් නො ව ඔවුන්ගේ ජීවිත පවා අනතුරේ හෙලන, සංක්‍රමනිකයන් මත දැඩි නව ප්‍රහාර සඳහා, ෆැසිස්ට්වාදී ස්ටීවන් මිලර් ප්‍රතිපත්ති මෙහෙයවමින් සිටින, ට්‍රම්ප්ගේ ධවල මන්දිරය තුල නව සැලැසුම් යහතින් සකස් වෙමින් තිබෙන බව යි. පාලනාධිකාරය යොදා ගන්නා භාෂාවට හා එය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලට භයානක තර්කයක් ඇත.

මිලියන ගනනාවක් පුද්ගලයන්ට දැන ගැනීමට අවශ්‍ය: මෙය නැවත් විය හැක්කේ කෙසේ ද? යන්න යි.

පවුල් වෙන් කිරීමේ වැඩසටහනට තමන් විරුද්ධ යැයි නරුම ලෙස කියන, ඩෙමොක්‍රටික් පක්ෂයේ බෙලහීනතාවය හා උදාසීනත්වය තේරුම් ගැනීම පලමු කොට ම අවශ්‍ය ය. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, බිල් ක්ලින්ටන් හා විශේෂයෙන් ම, පුද්ගලයන් මිලියන 2.7ක් පිටුවාහල් කල සහ හිරගෙවල් හා රඳවා ගැනීම් කඳවුර ජාලයක් ගොඩනැගූ බරක් ඔබාමා යටතේ පනවන ලද පිටුවාහල් කිරීම හා රඳවා ගැනීමේ ප්‍රතිපත්තිවල ව්‍යාප්තියකි.

ට්‍රම්ප් බලයට ආ අවස්ථාවේ දී, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙස විශ්‍රාමික ජනරාල් ජෝන් කෙලී තහවුරු කිරීමට ඩෙමොක්‍රටිකයෝ 37-11 ලෙස ඡන්දය දුන්හ. සතියක් ඇතුලත, කෙලී පලමුවෙන් ම පවුල් වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාක්මක කිරීම යෝජනා කලේ ය.

පසුව 1917දී, සෙනේට් බහුතර නායක චාල්ස් ස්ෂූමර් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් බැඳීමේ ට්‍රම්ප්ගේ යෝජනාවට ප්‍රසිද්ධියේ සහාය පුද කලේ ය. 2018 ජනවාරියේ දී, කෙලී තහවුරු කිරීමට ඡන්දය දුන්, ඩෙමොක්‍රටික් සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්, ට්‍රම්ප්ගේ සංක්‍රමනික විරෝධී ප්‍රතිපත්තිය සමග සහයෝගය දැක්වීමට තම කැමත්ත ප්‍රකාශ කලේ මෙසේ කියමිනි, “අපට ශක්තිමත් දේශ සීමා ආරක්ෂාවක් අවශ්‍යය යන්න ගැන එකඟ නො වන කිසිවෙකු ඇති කියලා මම හිතන්නේ නෑ. අපට ශක්තිමත් දේශ සීමාවක් හැදීමට ජනාධිපතිට අප සමග වැඩ කිරීමට ඕනෑ නම්, අපි එසේ කරමු.”

සංක්‍රමනිකයන් ආරක්ෂා කිරිමේ සටන සඳහා අර්බුදය යටින් පවතින හේතුවට, එනම් ධනෙශ්වර ක්‍රමයට එරෙහි අරගලය මත පදනම් ව කම්කරු පන්තියේ විරෝධය සංවිධනය කල යුතු ය.

සමස්ත ඇමරිකානු දේශපාලන පද්ධතිය එහි අරටුවට ම කුනුවී ඇත. ඇමරිකානු පාලක පන්තිය සියවස් කාලක් අධිරාජ්‍යවාදී කොල්ල කෑම ක්‍රියාත්මක කර සීමාවක් නැති සංගත සූරා කෑමට ඉඩ හැර ඇත්තේ, මිලියන ගනනාවක් මරා දමමින්, මිලියන ගනනාවක සරනාගතයින් ඇති කරමින් හා පෙර නො වඋ විරූ මට්ටමක මර්දනය, සෝදිසි කිරීම්, වාරනය හා දේශීය ජීවිතයේ පසුගාමිත්වය හඳුන්වා දෙමිනි. ට්‍රම්ප්, ඔහුගේ ෆැසිස්ට්වාදී ආධාරකරුවෝ හා ඔවුන්ගේ ඩෙමොක්‍රටික අපසහායකයෝ මෙම දේශපාලනික පිරිහීමේ ක්‍රියාදාමයේ නිර්මිතයෝ ය.

සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීමේ සටන විදේශිකයන් නො රිස්සීම හා ජාතිකවාදයට එරෙහිව ලෝකය වටා කම්කරුවන් එක්සත් කිරීමට යොදා ගත යුතු ය. එක්සත් ජනපදය තුල ලමා කඳවුරු ස්ථාපිත කිරීම ව්‍යාප්ත වෙමින් තිබෙන ජාත්‍යන්තර ප්‍රපංචයක කොටසකි.

ලොව සෑම තැනම පාලක පන්තිය වර්ගවාදය හා ජාතික ස්වෝත්තමවාදය උසිගන්වන්නේ, ( 1) වැඩවර්ජනය කරමින් සිටින කම්කරුවන් හා විරෝධතා දක්වමින් සිටින තරුනයන් මර්දනය සඳහා නීතිමය රූපරාමුව හා භෞතික යටිතල පහසුකම් නිර්මානය කිරීමට හා (2) වර්ගය හා ජාතිකත්වයේ පදනම මත කම්කරුවන් එකිනෙකාට එරෙහිව අවුස්සමින් කම්කරු පන්තිය දුර්වල කිරීමට හා යුද විරෝධී මනෝගතිය අඳුරු කිරීමටත් ය.

ඉතාලිය තුල, අභ්‍යන්තර ඇමති මටෙඕ සල්විනී සමස්ත රොමා ජනයා සඳහා ජාති.ක ලේඛන ගත කිරීමක් ඉල්ලා ඇත. සංක්‍රමනියක් 500,000ක් පිටුවාහල් කිරීම සඳහා වන දක්ෂිනාංශික ඉල්ලීම සංක්‍රමනිකයන් මත නිතර ප්‍රචන්ඩ ප්‍රහාරයන් සිදු වන වාතාවරනයක් නිර්මානය කර ඇත.

ජර්මනිය තුල, චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ ම පක්ෂය තුල හා නව ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්පය තුලින් බහුජන පිටුවහල් කිරීමක් සඳහා වන ඉල්ලීමට මුහුන දෙයි. ප්‍රන්ස ආන්ඩුව අප්‍රේල් මාසයේ දී රැකවරන අයිතිය දැඩි ලෙස සීමා කලේ ය.

ලෝකය පුරා සංක්‍රමනිකයන් මත වැඩි වන ප්‍රහාරය කම්කරුවන්ගේ වැඩවර්ජන හා විරෝධතා රැල්ල සමග සාමාන්තර වේ. 1934දී ලියොන් ට්‍රොට්ස්කි තම “ජාතිකවාදය හා ආර්ථික ජීවිතය” නම් රචනාව තුල සඳහන් කල පරිදි ධනවාදය යටතේ, පාලක පන්තිය උත්සාහ කරන්නේ “රේගු තාප්පයක් හා බයිනේත්තු වැටක් මගින් (තෙමේ ම) ආරක්ෂා වීමට ය. ”

සංක්‍රමනිකයන්ගේ අයිතීන් අරක්ෂා කිරීම සඳහා පෙලපාලි හා විරෝධතා පවත්වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී. අප ඉල්ලන්නේ:

* එක්සත් ජනපදයේ රඳවා ගෙන සිටින සියලු ලමුන්. මෙන් ම ලෝකය පුරා කඳවුරුවල හා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ගෙන සිටින සියලු සංක්‍රමනිකයන් වහාම නිදහස් කිරීම

* ඇමරිකානු ගෙස්ටපෝව (සංක්‍රමනික හා රේගු බලගැන්වීම් - අයිසීඊ - හා රේගු හා දේශසීමා ආරක්ෂාව -සීබීපී) විසුරුවා හැරීම

* පිටුවාහල් කිරීමේ යාන්ත්‍රනය සමග සක්‍රීය සහයෝගිතා වර්ජනය

* එක්සත් ජනපදය තුල ලේඛන රහිත සියලු සංක්‍රමනිකයන් සඳහා වහා ක්ෂමාව සහ සංචාරය කිරීමේ හා වැඩ කිරීමේ අයිතිය සහතික කිරීම

* සංක්‍රමනික හා සංක්‍රමනික නොවන සියලු කම්කරුවන්ට රජයේ සේවාවා හා රැකියා පුහුනුව සඳහා ඩොලර් ටි්‍රලියන ගනනාවක ප්‍රතිපාදන. සියලු දෙනා සඳහා ඇති තරම් ධනය හා ඉඩකඩ ඇත.

සංක්‍රමනිකයන් ආරක්ෂා කිරීමේ සටන බාර ගැනීමට කම්කරු පන්තිය තම සමාජ ශක්තිය පෙරට ගෙන ආ යුතු ය. ඇමරිකානු ගෙස්ටපෝව විසින් වැඩ පොලවල් හා ජනතාව ත්‍රස්තකරනයට එරෙහිව, සංක්‍රමනික සහෝදර කම්කරුවන් හා අසල්වාසීන් ආරක්ෂා කිරීමට, සහ ආධාර හා සහාය සැපයීමට වැඩපොල හා අසල්වැසි කමිටු පිහිටුවිය යුතු ය. කම්කරුවන් ඔවුන්ගේ රැකියාවලින් ද ආදරනීයයන් ඔවුන්ගේ පවුල්වලින් ද වෙන් කිරීමට ආන්ඩුවට අයිතියක් නැත.

මෙය කල හැක්කේ ධනේශ්වර පද්ධතියට එරෙහි විප්ලවවාදී සටනක පදනම මත පමනි.

එරික් ලන්ඩන්

Share this article: