ඇමරිකාව තුල සමූහ සිර කඳවුරු

Concentration camps in America

2018 ජුනි 25

සිකුරාදා නිකුත් කෙරුනු නාවික හමුදා සටහනක් හෙලිදරව් කරන්නේ පුද්ගලයන් 120,000ක් රැඳවීමට එක්සත් ජනපදය පුරා “දැඩි” රැඳවුම් කඳවුරු ජාලයක් ගොඩනැගීමට ආන්ඩුව සැලැසුම් සකස් කරමින් සිටින බව යි. මෙම යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම හා ඒකාධිපතිත්වයට දෙසට වන තල්ලුවේ තවත් එක් සන්ධිස්ථානයකි.

නාවික හමුදා සැලැස්මට කැලිෆෝනියා ප්‍රාන්තයේ අති විශාල කඳවුරු දෙකක් ස්ථාපිත කිරීම ඇතුලත් වන අතර, එකක පුද්ගලයන් 47,000ක් බැඟින් රඳවන මින් එකක් සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කෙන් පිටත ද අනෙක ලොස් ඇන්ජලිස් හා සැන් ඩියෝගෝ අතර ද පිහිටවනු ඇත. මේවා විශාල ලෙස කම්කරු පන්තික සංක්‍රමනිකයන් සිටින ප්‍රදේශ යි. මෙම කඳවුරු මෙකී ප්‍රධාන නාගරික ප්‍රදේශවලට ප්‍රමානවත් තරම් කිට්ටුවෙන් පිහිට වනු ඇත්තේ බහුජන පිටුවහල් කිරීම්වලට හා ප්‍රාන්ත ආන්ඩුවේ මිලිටරි මැදිහත් වීම්වලට පහසු වන පරිදි ය.

නාවික හමුදා යෝජනාව සංගත මාධ්‍ය විසින් බොහෝ සේ නො සලකා හරිනු ලැබ ඇත. ඉරිදා උදෑසන මාධ්‍ය කතා සන්දර්ශනවල දොඩන ලොක්කන් හෝ ඩෙමොක්‍රටික් හෝ රිපබ්ලිකන් දේශපාලනික ආරාධිතයන්, කිසිවෙකුත් මිලිටරි සැලැසුම් ගැන සඳහන් නො කලේ, ලේඛන රහිත සංක්‍රමනිකයන්ගේ “වඩා මානුෂික” පිටුවාහල් කිරීමක් සඳහා ඔවුන්ගේ කුහක අදහස් දැක්වීම් සීමා කරමිනි.

ව්‍යවස්ථාදායක මූලධර්ම හා නියමිත නීතිමය ක්‍රියාදාමයන් සම්බන්ධ පවතින පිලිකුල පිලිබඳ තවත් ප්‍රදර්ශනයක දී, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ ෆැසිස්ට්වාදී කුනු තප්පු ලෑම ඉදිරියට ගෙන ගියේ, “මෙම මිනිස්සු ඔක්කොටම අප රට ආක්‍රමනය කිරීමට ඉඩ දෙන්න බෑ. යමෙකු රට තුලට ආ විගස, විනිශ්චයකරුවන් හෝ උසාවි නඩු නැතිව, ඔවුන් ආපු තැනට හරවා යැවිය යුතු ය. අපපේ ක්‍රමය යහපත් සංක්‍රමනික ක්‍රමවේදයට මෙන් ම නීතිය හා සාමයට සමච්චලයකි” යැයි ට්වීටර් කරමිනි.

තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කෙරී, හිර කෙරුනු ලමයි 2,053ක් තවමත් සිටිති. “බියකරු ලෙස නිහඬ” වී සිටින සංක්‍රමනික ලමයි “කටහඬවලට සවන් දෙමින්” සිටින අතර, ඔවුන්ගේ මංමුලාව කොතරම් ද යත් ඕනෑ ම වැඩිහිටියෙකු කායිකව වලැඳ ගනිති.

මාස ගනනක් හෝ ඊටත් වඩා දිගු කලත් ගත වෙනු ඇති, පිටුවාහල් කිරීමේ උසාවි කටයුතු නිමවෙන තෙක් සංක්‍රමනික දෙමව්පියන් ඔවුන්ගේ ලමුන් සමග නැවත එක් නො කරන බව ද පාලනාධිකාරිය නිවේදනය කර ඇත. දෙමව්පියන් ඔවුන්ගේ ලමයින් ඉක්මනින් දැකීම ප්‍රාර්ථනා කරන්නේ නම්, ඔවුන්ට රැකවරන පැතීම අතහැර දැමීමට සිදුවනු ඇති අතර පලා යාමේ අනතුරට තම ජීවිත භා ජනයා ඇද දැමූ හිංසා කිරීම්, ප්‍රචන්ඩත්වය හා යුද්ධයට ස්වේච්ඡාවෙන් ම ආපසු යාමට එකඟ විය යුතු ය. බොහෝ දෙමව්පියන් මේ වන විටත් පිටුවාහල් කෙරී ඇති අතර තම ලමුන් දැක ගත හැක්කේ කෙසේ දැ යි ඔවුහු නො දනිති.

ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය වගකට නැති කමේ හා කුහකත්වයේ එකතුවකි. පවුල් වෙන් කිරීමේ ප්‍රතිපත්තිය “කෘර” හා “අමානුෂික”යැයි කියමින් ඩෙමොක්‍රටික් නියෝජිතයින් ප්‍රකාශනයක් නිකුත් කර ඇත්තේ, 2018 මධ්‍යකාලීන මැතිවරනය අරුමුනු කර ගනිමින් සංක්‍රමනිකයන්ට පක්ෂ බව මවා පෑමේ උත්සාහයක් ලෙස ය. නිව් යෝක් ටයිම්ස් පත්‍රය සංක්‍රමනිකයන් මත ප්‍රහාරයන්ට ඩෙමොක්‍රටිකයන්ගේ ම ද වන වගකීමට සුදුහුනු ගෑමට උත්සාහ කලේ, “ජීඕපීය ඩොනල්ඞ් ට්‍රම්ගේ කූඩු ඉදි කලේ කෙසේද” යන ශීර්ෂ පාඨයෙන් යුතු ව ඊයේ පල කෙරුනු කතුවැකියක් තුල ය.

රිපබ්ලිකානුවන් “ඔවුන්ගේ පදනමේ වඩා අඳුරු හදිසි ආවේගයන්ට අනුව ක්‍රියාත්මක වන” අතර ඔබාමා යටතේ ඩෙමොක්‍රටික් පක්ෂය “ප්‍රතිසංස්කරනවල පාලනයක් ඇති කල” අතර පිටුවාහල් කිරීම් කල් දැමීමෙන් “කොන්සර්වටිව්වාදීන් ප්‍රකෝප කලේ ය.” “ට්‍රම්ප් මහතාට හා ඔහුගේ සංක්‍රමනික ප්‍රතිපත්තිවලට පාර කැපීමට බොහෝ දේ කර” ඇත්තේ රිපබ්ලිකානුවන් බව ටයිම්ස් පවස යි.

යථා වශයෙන් ගත්කල බරක් ඔබාමා පුද්ගලයන් මිලයන 2.7ක් පිටුවාහල් කලේ ය, එය අනෙකුත් කිසිම ජනාධිපතිවරයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වන අතර, ඔහුගේ පාලනාධිකාරිය දේශ සීමා තාප්පය පුලුල් කර, වර්තමානයේ දී සංක්‍රමනික ලමුන් ගාල් කෙරෙන ලාභය උදෙසා වන හිරගෙවල් බොහොමයක් ඉදි කලේ, නියත වශයෙන්ම ට්‍රම්ප්ගේ වර්තමාන ප්‍රතිපත්තියට මග පාදමිනි.

විශේෂයෙන් ම සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්ගේ ප්‍රතිචාරය කැපී පෙනෙ යි. ඉරිදා සීඑන්එන් “ස්ටේට් ඔෆ් ද යූනියන්” වැඩසටහනේ පෙනී සිටිමින් සෑන්ඩර්ස් ස්වෙච්ඡාවෙන් ම පැවසුවේ තමා ට්‍රම්ප්ගේ දේශසීමා පනතට ඡන්දය දුන් බව යි.

සංක්‍රමනිතයන් මත ගෙස්ටාපෝ ආකාරයේ ප්‍රහාරයක් අධීක්ෂනය කරමින් සිටින, මධ්‍යම ආන්ඩු ඒජන්සියක් වන සංක්‍රමනික හා රේගු බලගැන්වීම් (අයිසීඊ) ඒජන්සිය අහෝසි කිරීමට ඔහු පක්ෂ දැයි කෙලින් ම ඇසූ විට, සෑන්ඩර්ස් හිතාමතා ම ඉන් මග හැරීමේ උත්තරයක් දුන්නේ මෙසේ ප්‍රකාශ කරමිනි, “අපට ඕනෑ තාර්කික ආකාරයකින් සංක්‍රමනිකයක් සමග ගනදෙනු කරන ප්‍රතිපත්ති නිර්මානය කිරීමයි කියලා මම හිතනවා... අපට ඕනෑ ට්‍රම්ප් කොංග්‍රසයේ සාමාජිකයින් සමග වාඩි වෙලා මෙම බැරෑරුම් ප්‍රශ්නය සමග කටයුතු කරන තාර්කික වැඩසටහනක් සම්බන්ධයෙන් වැඩ කිරීම යි.”

මෙය ට්‍රම්ප්ගේ සංක්‍රමනික විරෝධී වැඩසටහනට යටත් වීමකි. ඩෙමොක්‍රටික් හා සෑන්ඩර්ස්ගේ දෘෂ්ටියෙන් “තාර්කික” සංක්‍රමනික සැලැස්මක් යනු, සංක්‍රමනිකයන් මිලියන ගනනාවක් හිරේ ලන හෝ පිටුවාහල් කරන, මිලිටරි තාක්ෂනය සමග දේශ සීමා ආරක්ෂා කරන, හා දරිද්‍රතාවෙන් හා ප්‍රචන්ඩත්වයෙන් පලා යමින් සිටින සංක්‍රමනිකයන් දහස් ගනනකට කාන්තාරයේ මිය යාමට බල කරන එකකි. එය පිටුවාහල් කිරීමේ යන්ත්‍රනය වේගවත් කරන මෙන් ම අයිසීඊ හා රේගු හා දේශසීමා ආරක්ෂා ප්‍රහාරක විශේෂ හමුදා (ිඑදරපඑරදදචැරි* වසන් කරන වක්‍රෝක්තියකි.

සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ප්‍රහාරයට වන විරුද්ධත්වය දිගටම වර්ධනය වන්නේ, එලඹෙන දින හා සතිවල දී ජාතික පරිමානව නගර දුසිම් ගනනාවක පෙලපාලි පැවත් වීමට නියම කර ගනිමිනි. මෙම විරුද්ධත්වයට පැහදිලි දේශපාලනික එල්ලයක් තිබිය යුතු ය.

එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව සංක්‍රමනිකයන් මත ප්‍රහාරයන් හඳුනා ගත යුත්තේ දරිද්‍රතාව හා අසමානතාවේ සැබෑ හේතුවෙන්, එනම් ධනවාදයෙන් අවධානය ඉවතට හරවනු පිනිස දරුනු ලෙස පීඩාවට පත් වූවන් දඩමීමා කර ගැනීම විශාල ව්‍යයාමයක කොටසක් ලෙස ය. පරිහානියට පත්වෙමින් තිබෙන ජීවන තත්වයන් වෙනුවෙන් සංක්‍රමනිකයන්ට දෝෂාරෝපනය කිරීම බොරුවකි.

සංක්‍රමනිකයන් මත ප්‍රහාරයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට මිලිටරිය විසින් එල්ල කෙරෙමින් තිබෙන තර්ජනය වෙනුවෙන් රිපබ්ලිකානුවන්ට වඩා ඩෙමොක්‍රටික් පක්ෂයේ වගකීම අඩු නොමැති බව හඳුනා ගත යුතු ය. මිලිටරි අයවැය ඩොලර් බිලියන 82කින් වැඩි කරන විසර්ජන පනතට පසු ගිය සතියේ ඩෙමොක්‍රටිකයෝ ඒකමතකිව ඡන්දය දී, වොෂින්ටන් නගරයේ මිලිටරි ප්‍රදර්ශනයක් පැවත්වීමේ බලය ට්‍රම්ප්ට ප්‍රදානය කලෝ ය.

ට්‍රම්ප් පාලනාධිකාරියේ පලමු වසර දෙකේ දී, ඩෙමොක්‍රටිකයන් උත්සාහ කර ඇත්තේ ට්‍රම්ප්ගේ සංක්‍රමන විරෝධී ප්‍රතිපත්තියට වන විරුද්ධත්වය අවමංගත කර විසුරුවා හැරීමට එය ඔවුන්ගේ රුසියානු විරෝධී යුදකාමය පිටුපස පෙල ගැස්සවීමටය. එමෙන්ම පරීක්ෂනය මෙහෙය වමින් සිටින මිලටරි ඔත්තු සේවාවන් විවේචනය කරන ඕනෑ ම අයෙකුට පහර දීමටය.

ඒකාධිපතිත්වය දෙසට වන තල්ලුව නැවත්විය හැකි හා යුතු සමාජ බලවේගය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයේ කේන්ද්‍රීය ඉලක්කය වන කම්කරු පන්තිය යි. ට්‍රම්ප් පාලනාධිකාරිය හරහා, මිලිටරිය දේශීය දේශපාලනය තුල හැකිතාක් වඩා විශාල කාර්යභාරයක් තහවුරු කර ගනිමින් සිටී. සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ප්‍රහාරය වැඩවර්ජන සහ යුද්ධය හා අසමානතාවට එරෙහි විරුද්ධත්වය මත කඩා පැනීම සූදානම් කිරීමට මිලිටරියට ආවරනයක් සපය යි.

ඩෙමොක්‍රටික් පක්ෂය, සෑන්ඩර්ස් හා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංවිධානය තුල ඔහුගේ සහචරයන්, අනෙකුත් ව්‍යාජ-වාම සංවිධාන හා වෘත්තීය සමිතිවලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතු ය. සංක්‍රමනිකයෙකු පිටුවාහල් කිරීමේ තර්ජනයට යටත් කෙරෙන විට, විරෝධතා සංවිධානය කිරීමට පවුල්, අසල්වැසි හා වැඩපොල කමිටු ස්ථාපිත කිරීම අවශ්‍ය ය.

සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලන්නේ:

* එක්සත් ජනපදයේ රඳවා ගෙන සිටින සියලු ලමුන්. මෙන් ම ලෝකය පුරා කඳවුරුවල හා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ගෙන සිටින සියලු සංක්‍රමනිකයන් වහාම නිදහස් කිරීම

* ඇමරිකානු ගෙස්ටපෝව (සංක්‍රමනික හා රේගු බලගැන්වීම් - අයිසීඊ - හා රේගු හා දේශසීමා ආරක්ෂාව -සීබීපී) විසුරුවා හැරීම

* පිටුවාහල් කිරීමේ යාන්ත්‍රනය සමග සක්‍රීය සහයෝගය ප්‍රතික්ෂේප කිරීම

* එක්සත් ජනපදය තුල ලේඛන රහිත සියලු සංක්‍රමනිකයන් සඳහා වහා ක්ෂමාව සහ සංචාරය කිරීමේ හා වැඩ කිරීමේ අයිතිය සහතික කිරීම

* සංක්‍රමනික හා සංක්‍රමනික නොවන සියලු කම්කරුවන්ට රජයේ සේවා හා රැකියා පුහුනුව සඳහා ඩොලර් ටි්‍රලියන ගනනාවක ප්‍රතිපාදන. සියලු දෙනා සඳහා ඇති තරම් ධනය හා ඉඩකඩ ඇත.

සුරක්ෂිත රැකවරනය සොයමින් අධිරාජ්‍යවාදී යුද්ධය හා දරිද්‍රතාවෙන් පලායමින් සිටන මිලියන ගනනාවක් මිනිසුන් වැලක්වීමේ “තාර්කික” මගක් ඇත යි යන්න සමාජවාදීහු ප්‍රතික්ෂේප කරති. දේශසීමා තරනය කිරීමේ “අපරාධය” සඳහා කම්කරුවන් හා දුප්පතුන්ට පහර දී, හිරගත කර, හෝ ඝාතනය කෙරෙන අතර ලෝක මූල්‍ය සමපේක්ෂකයින්, කොටස් වෙලෙන්දන් හා සංගත විධායකයන් බොත්තමක් එබීමෙන් ගෝලිය පරිමානව තමන්ගේ වංචාකාරී ධනය පිටත් කර හැරීම ධනේශ්වර පද්ධතියේ අතිමූලික ප්‍රතිඝතිතාවකි.

සමාජවාදය හා ජාතිකවාදය අනෝන්‍ය වසයෙන් බහිෂ්කාර ය. පොහොසතුන්ගේ ධනයේ අයිතිය අස්වාමික කිරීම හා ලෝක නිෂ්පාදන බලවේග කම්කරු පන්තියේ පාලනය යටතේ තැබීමේ විප්ලවවාදී කර්තව්‍ය සම්පූර්න කල හැකි වන්නේ දේශසීමා තුරන් කර දමමින් නිෂ්පාදන ක්‍රියාදාමයන්ගේ ජාත්‍යන්තර ස්වභාවය සමග ලෝක දේශපාලන සිතියම සමෝධානයකට ගෙන එමිනි.

සමාජවාදය යටතේ, කම්කරු පන්තියට හිරහැර කිරීම, රඳවා තබා ගැනීම හෝ පිටුවාහල් කිරීමෙන් තොරව, ලෝකයේ ඕනෑම තැනක සංචාරය කිරීමට ද්‍රව්‍යමය සම්පත් හා නීත්‍යානුකූල අයිතිය යන දෙක ම තිබෙනු ඇත. සමාජවාදී විප්ලවය සඳහා පොදු ජාත්‍යන්තර අරගලයක දී සියලුම වර්ගයන්ගේ හා ජාතීන්ගේ කම්කරුවන් එක්සත් කිරීම අත්‍යාවශ්‍ය ය.

එරික් ලන්ඩන්

Share this article: