තැපැල් සේවක අරගලය: කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු! සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු !

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2018 ජුනි 8

තැපැල් සහ විදුලි සංදේශ නිලධාරින් 4000ක් ආන්ඩුවේ තර්ජන හා සමිතිවල සීමා කිරීම මධ්‍යයේ ජුනි 5 දා අවසන් වූ දෙදින වර්ජනයට සහභාගි වූහ. ජූනි 11 දින දසදහස් සංඛ්‍යාත අනිකුත් තැපැල් සේවකයෝ “අඛන්ඩ වර්ජනයකට” සහභාගී වීමට නියමිත ය.

තැපැල් සේවකයන් වෙතින් මෙලෙස නැවත නැවතත් පෙන්නුම් කෙරී ඇත්තේ වැටුප් හා සේවා කොන්දේසි දිනා ගැනීමට මෙන්ම පුද්ගලිකරනය ඉලක්ක කරගෙන ආන්ඩුව ක්‍රියාවට දැමීමට යන වැඩපිලිවෙලට විරුද්ධව සටන් කිරීමට ඇති සූදානමයි.

තැපැල් සහ විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (තැවිනිස) ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ කලින් දෙදින වර්ජනය සිදුකර දැන් ජූනි 11 වර්ජනයෙන් කර ඇරීමට යන බවයි. තැවිනිස හා තැපැල් සමිති පෙරමුන සේවකයන් බෙදීමට දැනුවත්වම ක්‍රියාකරති. තැපැල් සේවකයන් මෙම භේදකරනයට විරුද්ධවිය යුතුය. අයිතීන් දිනා ගැනීමේ අඛන්ඩ වර්ජනයට සියල්ලන්ම සහභාගී කිරීමට ද තමන් සේම ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරයට ලක්ව සිටින සියලු කම්කරුවන්ගේ සහාය ඊට දිනා ගැනීමට ද තැපැල් සේවකයන් පෙරමුන ගත යුතුය.

පසුගිය අවුරුදු 12ක් තිස්සේ ගෙන ගිය විරෝධතාවලින් තැපැල් සේවකයන් ලබා ඇති අත්දැකීම වනුයේ තම අයිතීන් දිනා ගැනීම හා සහතික කර ගැනීමට නම් ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කිරීමේ දේශපාලන අරගලයක් අවශ්‍ය බවයි; එහෙත් එවන් අරගලයක් වෘත්තීය සමිති මගින් ගෙන ගිය නොහැකි බවද ඔවුන්ගේ අත්දැකීම වී ඇත.

මෑත දෙදින වර්ජනය කැඳවමින් තැවිනිස නිකුත් කල පත්‍රිකාවේ මෙසේ සඳහන් විය: “තැපැල් සේවකයන් ලෙස අප සෑම කන්ඩායමක් ම මුහුන දී සිටින විවිධාකාර ගැටලුවලට 2006 සිට වසර 12 ක් ගත වී ඇතත් මෙතෙක් පරිපාලනය විසින් සාධාරන විසඳුම් ලබාදීමට සමත් වී නොමැත.” මෙම පාරාජිකා ප්‍රකාශයෙන් නිරුවත් වී ඇත්තේ, අනුප්‍රාප්තික ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකිය යන උගුලේ කම්කරුවන් හිරකරමින් තැවිනිස හා අනෙකුත් තැපැල් සමිති ගෙනගිය ද්‍රෝහී ක්‍රියාකලාපයයි.

පසුගිය දෙසැම්බර් මාසයේ 27-28 තැපැල් විරෝධතා උද්ඝෝෂනය සමිති නිලධරය විසින් අවසන් කරනු ලැබුවේ ද තවත් වර්ජනයක් කරන බවට පාරම්බාමිනි. අනතුරුව රටේ “පවතින දේශපාලන වාතාවරනය” නිසා, එනම් පලාත්පාලන මැතිවරනය නිසා ජනවාරි 10 වෙනිදා ට නියම කරගෙන තිබුන වර්ජනය නතර කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ නායකයෝ කීහ. ඔවුන් එසේ කලේ මැතිවරන කොමිසමේ සභාපති හරහා මැතිවරන කාලය තුල උද්ඝෝෂන නතර කරන ලෙස ආන්ඩුව කල ඉල්ලීමට අවනත වෙමිනි. වෘත්තීය සමිති හා ඒවායේ නිලධරය නියෝජනය කරන්නේ කම්කරුවන්ගේ උවමනාකම් නොව ධනපති ආන්ඩුවේ හා පාලක පන්තියේ උවමනාකම් ය.

මෙම සමිති බලපෑම දමා ඉල්ලීම් දිනාගත හැකිය යන උගුල දිගින්දිගටම ඇටවුයේ ආන්ඩුව තැපැල් දෙපාර්තමේන්තුව මුලුමනින්ම පුද්ගලීකරනයට පිඹුරුපත් සකසන කොන්දේසි තුලය. තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව දෙකඩ කර තැපැල් දෙපාර්තමේන්තුව දිය කර හැරීම ආරම්භ කෙරුනේ 1997 දීය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව යටතේ තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් වූ නමුත් සේවක විරෝධය මැද්දේ එය තාවකාලිකව පසුපසට ගැනුනි.

එහෙත් ලිපි සහ පාර්සල් බෙදීමට පුද්ගලික අංශයට බල පත්‍ර දීම, නියෝජිත තැපැල් කාර්යාල පිහිටුවීමට අවසර දීම හා තැපැල් කාර්යාල මගින් පවත්වාගෙන ගිය මුදල් ඉතිරිකිරීමේ ක්‍රමය අහෝසි කිරීම ඇතුලු පියවරයන් හරහා පසුගිය දශක දෙක තුල දෙපාර්තමේන්තුව දිය කර හැරීමේ සැලසුම් ක්‍රියාවට දැමුනේ ය. වෘත්තීය සමිති ඉඳහිට කන්කෙඳිරිගෑම් කලේ සේවකයන් අතර වැඩෙන විරෝධය වාෂ්ප කර දැමීම සඳහා ය.

වර්තමාන ආන්ඩුව තැපැල් දෙපාර්තමේන්තුවේ “ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමේ” යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාලක පන්තියේ ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ ) නියෝග යටතේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම කඩිනම් කිරීමේ සැලසුම් වලට අනුවය. තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ගැටෙන්නේ ආන්ඩුවේ මෙම ආර්ථික වැඩපිලිවෙලත් ඒවා ක්‍රියාවට දැමීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මඩිමින් ගෙන යන ප්‍රහාරයත් සමග ය. මෙම වැඩපිලිවෙල පරාජය කිරීමකින් තොරව කම්කරුවන්ගේ හා දුගින්ගේ අයිතීන් රැක ගැනීමට හෝ දිනා ගැනීමට නොහැකිය.

මෙම අරගලයේ අත්‍යවශ්‍ය ප්‍රථම පියවර ලෙස තැපැල් සේවකයන් තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් මුලුමනින් ම ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී. තැපැල් සේවකයන් තම ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් තෝරා පත්කර ගනු ලබන ක්‍රියාකාරී කමිටු හරහා අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීම තමන් අතට ගත යුතුය. එවන් ක්‍රියාකාරි කමිටු ගොඩනගා ගැනීම කම්කරු පන්තියේ සෑම කොටසක් සම්බන්ධයෙන්ම අද ඉතා තීරනාත්මක වී ඇත.

වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මෙන් ම පුද්ගලීකරනයට විරුද්ධ සටන ධනපති පන්ති පාලනයට එරෙහි දේශපාලන අරගලයකි. ධනපති පන්ති පාලනය අහෝසිකර සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු -ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් තොරව පුද්ගලීකරනය නතර කිරීමට හෝ රැකියා වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ කිසිදු අයිතියක් රැක ගැනීමට හෝ දිනා ගැනීමට නොහැක.

එහෙයින් ධනපති ආන්ඩුවේ සැලසුම් පරාජය කිරීම සහ කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම අරමුනු කර ගත් රාජ්‍ය, පුද්ගලික හා වතුකරය ඇතුලු සමස්ත කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීම දැවෙන අවශ්‍යතාවයකි. ඒවටා ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලින් බැටකන ගම්බද දුගී ගොවීන්, නාගරික දුප්පතුන්, ශිෂ්‍යයන් හා රැකියා විරහිත තරුනයන් රැලි කර ගත යුතුය. එමෙන් ම සමාන ප්‍රහාරවලට මුහුන දෙන හා ඒවාට විරුද්ධව අරගලවලට එලඹෙමින් සිටින ආසියානු කලාපයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගත යුතුය.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කරන සමාජවාදී සමානතා පක්ෂය (සසප) ට බැදී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙසගොඩ නැගීමට එකතු වන්න.

Share this article: