වානේ හා ඇලුමිනියම් සඳහා තීරුබදු පනවමින් ඇමරිකාවේ ට්‍රම්ප් ආන්ඩුව ගෝලීය වෙලඳ යුද්ධය දෙසට ලොකු පියවරක් තබයි

US imposes steel and aluminium tariffs Trump administration takes major step toward global trade war

නික් බීම්ස් විසිනි, 2018 ජූනි 1

1962 ඇමරිකානු නීතියකට අනුව යමින් “ජාතික ආරක්ෂාව” පිලිබඳ කාරනය මුල්කරගෙන ට්‍රම්ප් පාලනය, යුරෝපීය සංගමය (යුසං), මෙක්සිකෝව හා කැනඩාවෙන් නිර්යාත කරන වානේ හා ඇලුමිනියම් සඳහා තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව පවසන අතර එය, 1930 ගනන් සිහියට නංවන වෙලඳ යුද්ධයේ අවදානම මතු කරයි.

තීරුබදු පලමුවෙන් නිවේදනය කලේ මාර්තු මාසයේදීය. යුසං බදු පැනවීම ස්ථිර ලෙස නතර කර ගනීමට වෑයම් කරන අතර මෙක්සිකෝව හා කැනඩාව ඇමරිකාව සමග උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම (නැෆ්ටා) යලි කෙටුම්පත් කිරීම ගැන සාකච්ඡා කිරීමත් හමුවේ එය කල් දමන ලදී. යුසං, කැනඩාව හා මෙක්සිකෝව ඇමරිකාවේ වානේ ආනයනයන්ගෙන් සියයට 40ට පමන වග කියයි.

බදු ක්‍රියාවලිය පෙරට ගෙන යන බව නිවේදනය කරමින් වානිජ්‍ය ලේකම් විල්බර් රොස් පැවසුවේ, නැෆ්ටා සාකච්ඡා කල් දැමීමට තවදුරටත් ඉඩ දෙන තරම් දුර ගියේ නැති බවය.

යුරෝපය සමග සාකච්ඡා, කිසිවක් විසඳුවේ නැත. යුසං පැවසුවේ, ඇමරිකාව තීරුබදු තර්ජනය ඉවත් කරන්නේ නම් පමනක් තමන් ඇමරිකාව සමග වෙලඳාම පිලිබඳව “එකඟත්වයකට” සූදානම් බවය. ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවකට අනුව වොෂින්ටනය, මේ ප්‍රවිෂ්ටය ප්‍රතික්ෂේප කලේය. පලදායි නොවනු ඇති සාකච්ඡාවන්ට එලඹීම සඳහා ඇමරිකාව සිය “ලොකු මිටිය” අත්හල යුතු බව යුසං කියන බව ඇමරිකාව පවසා ඇති බව එහි සඳහන්වේ.

යුසං ක්ෂනික ප්‍රතිප්‍රහාරාත්මක පියවර ගන්නා බව පවසයි. බදු පැනවීම සඳහා යුරෝ බිලියන 2.8ක් වන, බර්බන් මද්‍යසාරවල සිට යතුරුපැදි දක්වා වන ඇමරිකානු භාන්ඬ ලැයිස්තුවක් ඔවුන් පිලියෙල කර තිබේ.

ඇමරිකානු භාන්ඩ ගනනාවකට තමන් තීරුබදු පනවන බව මෙක්සිකෝව කියා සිටින අතර කැනඩාවේ ආන්ඩුව, ඩොලර් බිලියන 12.8ක අගයකින් යුත් ඇමරිකානු වානේ සඳහා බදු පැනවීමට තර්ජනය කර ඇත.

තීරනය යුක්තිසහගත කිරීම සඳහා “ජාතික ආරක්ෂාව” ඉදිරියට ගැනීම කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ හෙලා දැකීමට ලක් විය. කැනඩාව වසර 150ක් තිස්සේ ඇමරිකාවේ මිතුරෙක් ලෙස සිටිමින් “නෝමන්ඩි වෙරලේ සිට ඇෆ්ගනිස්ථාන කඳුකරය දක්වා සටන් කර ඇත.” කැනඩාව ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැවසීම “සිතාගත නොහැකි” දෙයකි.

“මෙම බදු කැනේඩියානු-එක්සත් ජනපද දේශසීමාව දෙපසෙහිම කර්මාන්ත හා කම්කරුවන්ට හානිකරය. එමඟින්, උතුරු ඇමරිකානු වානේ ලෝකය පුරා වඩාත් තරඟකාරී බවට පත්කර තිබෙන සැපයුම් මාර්ග කඩාකප්පල් කරනු ලබන” බව අගමැති පැවසීය. “සමහර අවස්ථාවල යලිත් ප්‍රකෘති සිහිය ඇතිකරගන්නා” නමුත් දැනට එවැන්නක් ගැන සලකුනු කෙරෙන්නේ ඉතා අල්ප ලෙසිනි.

පුලුල් වශයෙන් බලාපොරොත්තුවූ නිවේදනය නිකුත් කිරීමට කලින් ප්‍රන්ස මුදල් ඇමති බෘනෝ ලේ මාරි, රොස් සමඟ පැවති කථාබහෙන් පසුව අනතුරු ඇඟවා තිබුනේ, යුසංට ඇමරිකාව සමඟ “වෙලඳ යුද්ධයකට එලඹෙනවා” හැර වෙනත් විකල්පයක් නැතැයි යනුවෙනි. “යුරෝපයට එරෙහිව ආක්‍රමනකාරී කටයුතු සිදුකරන්නේ නම්, යුරෝපයට ප්‍රතික්‍රියා නොකර සිටිය නොහැකි බව අපගේ එක්සත් ජනපද මිතුරන් දැනගත යුතුව ඇත.”

යුරෝපීය කොමිසමේ සභාපති ජීන් ක්ලව්ඩි ජුන්කර්, ඇමරිකානු නිෂ්පාදන ගනනාවකට තීරුබදු පැනවීමේ සැලසුම ක්‍රියාවට නඟනු ඇති බව පැවසීය. “මෙය ලෝක වෙලඳාමට අශුභ දිනයකි. ලෝක වෙලඳාම කරා පැමිනි කල එක් රටක් හිතූ මතේට සීමාවන් පැනවීම කිසිසේත් පිලිගත නොහැක්කකි” යයි ඔහු පැවසීය.

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිලිබඳ සංවිධානයේ වාර්ෂික වෙලඳ සංසදයේදී 30දා කථා කල ප්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන්, ඇමරිකාවෙන් හා අනෙකුත් ප්‍රධාන ජාතින්ගෙන් ඉල්ලා සිටියේ, ට්‍රම්ප් ආන්ඩුවේ දෝෂ දර්ශනයට ලක්ව ඇති ලෝක වෙලඳ සංවිධානය, “පරිවර්තනය කරන සැලැස්මක්” සකසාගන්නා ලෙසය.

අවසානයේදී දෙවන ලෝක යුද්ධයට මඟ පෑදූ, මහා අවපාතය ගැඹුරු කිරීමෙහිලා ඇමරිකවේ තීරුබදු පැනවීම ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කල, 1930 ගනන්වල අත්දැකීම් ගැන ඔහු සඳහන් කලේය. ”අපට අද දිනයේ නින්දෙන් ඇවිදින්නන් විය නොහැකිය. යමෙකු මෙම දුෂ්කෘතියට ලාභ ජාතිකවාදී ප්‍රතිචාර දැක්විය නොයුතුය. මක්නිසා ද යත්, එවන් ප්‍රතිචාර අර්බුදය හා ලෝක අසමතුලිතතා ගැඹුරු කරන බැවින්ය.”

මෙම අනතුරු ඇඟවීම් හා අවසන් මොහොතේ කරන ලද ආයාචන ට්‍රම්ප් ආන්ඩුවට නම් බිහිරි අලින්ට වීනා වැයීමක් විය.

නිවේදනය නිකුත්වීමට ආසන්නව තිබියදී ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගේ අන්තර් අත්ලාන්තික් සහයෝගිතාවේ සම්බන්ධීකරන නිලධාරියා වන පීටර් බේයර්, ඇමරිකානු පියවරේ දිගුකාලීන වැදගත්කම පෙන්වා දුන්නේය. “අන්තර් අත්ලාන්තික සම්බන්ධතාවන්හි ද....තත්වය පිලිබඳ ගුරුත්වාකර්ශනයේ ද ප්‍රගාඪ වෙනසක් ඇතිව තිබෙන බව දැන් යුරෝපය වටහා ගත යුතුය.”

එවැනිම අදහස් ලක්සම්බර්ගයේ විදේශ ඇමති ජීන් ඇසන්හෝල් ද ඉදිරිපත් කර ඇත. “යුරෝපය ලෝක පර්යාය වෙනස්කිරීමට සූදානම් නැත. අපි හැමවිටම ඇමරිකාව සමඟ එක්ව නිදහස් වෙලඳාමට මනාප වුනෙමු. දැන් අප සිටින්නේ මුලුමනින්ම වෙනස්වුන චිත්‍රපටයකය.”

යුරෝපීය ප්‍රතික්‍රියා ගලා එන්නේ, ඩොලර් බිලියන ගනනක වෙලඳාමට බලපාන තීරුබදු පැනවීම, තවත් හානිකර පියවරයන්හි ආරම්භය පමනක් වන බවට ඇති වැටහීමෙනි.

ඇමරිකානු මෙහෙයුම සිදුවන්නේ, එරට 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමෙන් ද ඇමරිකානු තහංචි උල්ලංඝනය කරමින් යුරෝපීය සමාගම් ටෙහෙරානය සමග සිය වෙලඳ සම්බන්ධකම් පවත්වාගෙන යාම ඇමරිකාව නොඉවසනු ඇති බවට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් කරන ලද අනතුරු ඇඟවීම් වලින් ද පසුවය.

ඇමරිකාව මේ ක්ෂේත්‍රයේ දැවැන්ත බලයක් සතුව සිටී. මක්නිසා ද යත්, ඇමරිකානු වෙලඳපොලේ වැදගත්කම ද ලෝකයේ ප්‍රධාන මුදල ලෙස ඩොලරයට හිමිව ඇති භූමිකාව ද නිසාය. එමඟින් ඇමරිකාවට, සිය නියෝග නොපිලිපදින සමාගම් මත විනාශකාරී තහංචි පැනවීමේ හැකියාව ලබාදෙයි.

ඊට අමතරව ට්‍රම්ප් පාලනය, යුරෝපීය මෝටර් රථ කර්මාන්තය මත ද තීරුබදු පනවන බවට තර්ජනය කර ඇත. පසුගිය මාසයේදී ධවල මන්ඳිරය, වානේ හා ඇලුමිනියම් මත බදු පැනවීමට යොදාගත් “ජාතික ආරක්ෂාව” පිලිබඳ රෙගුලාසිය යටතේ පරීක්ෂනයක් දියත් කලේය. ෆිනෑන්ෂල් ටයිම්ස්හි උපුටා දැක්වූ එක් විශ්ලේෂකයෙක් අනතුරු අඟවා ඇත්තේ, ජර්මන් මෝටර් රථ සඳහා ට්‍රම්ප් තර්ජනය කර ඇති සියයට 25ක බදු පැනවුවහොත්, කිසිදු ජර්මානු වාහනයක් ලාභදායක ලෙස අලෙවි කල නොහැකි වන අතර එය “ජර්මානු-ඇමරිකා වෙලඳ සම්බන්ධතාවන්හි අවසානය වනු ඇති” බවයි.

ඇමරිකානු ව්‍යාපාරික කවයන්හි ප්‍රතික්‍රියාව රිනාත්මක විය. ඩව් ජෝන්ස් දර්ශකය 31දා ඒකක 250න් පහත වැටුනි. ආනයනික ඇලුමිනියම් හා වානේ පාවිච්චිය මත වාරුවී සිටින පාරිභෝගිකයින්ට තීරු බදු බෙහෙවින් හානිකර ලෙස බලපානු ඇති බවටත්, ගෝලීය සැපයුම් මාර්ග කඩාකප්පල් වනු ඇති බවටත් කනස්සල්ල පලවේ.

නැෆ්ටාවෙන් ඉවත්වීමේ හැකියාවද ඇතුලු ආන්ඩුවේ වෙලඳ ප්‍රතිපත්ති, ඇමරිකාවේ ආර්ථික වර්ධනය අඩපන කල හැකි බවටත් මිලියන 2.6ක රැකියාවන්ට තර්ජනයක් වනු ඇති බවටත් ඇමරිකාවේ වානිජ්‍ය මන්ලය බිය පල කරයි.

ව්‍යාපාරික ලෝකයේ පොදු මනෝ ගතිය චීනයට එරෙහි පියවරයන්ට සහාය පලවීමකි. විශේෂයෙන්ම එරට අධි තාක්ෂනික සංවර්ධන ක්‍රියාවලිය පෝෂනය කිරීමේ පියවරයන්ට එරෙහිවය. එසේ වන්නේ බීජිනය ඇමරිකාවේ බුද්ධිමය දේපොල “සොරාගන්නා” බවට පලවන චෝදනා මධ්‍යයේය. එහෙත් ඇමරිකාවේ සහචරයින්ට එරෙහිව තීරුබදු පැනවීමේ පිලිවෙත, බීජිනයට එරෙහි හවුලක් ගොඩනැඟීමට බාධාවක් යයි කනස්සල්ලක් ද පවතී.

බදු සඳහා ප්‍රධාන කොටම සහයෝගය පල වන්නේ වානේ කර්මාන්තයෙනි. ඊට වැඩිපුරම සහාය දක්වන්නේ වෘත්තීය සමිතිය. ඇමරිකානු යකඩ හා වානේ සම්මේලනයේ සභාපති ටොම් ගිබ්සන්, “අපගේ ජාතික හා ආර්ථික ආරක්ෂාව සඳහා මූලික වන ඇමරිකානු වානේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම” සහතික කිරීම වෙනුවෙන් ට්‍රම්ප්ට තුති පුද කලේය.

තීරු බද්ද, ඇලුමිනියම් බඳුනකට සතයක් තරම් සොච්චමකින් ද සමස්ත ආර්ථිකයට සියයට එකක් තරම් “ඉතා සුලු ප්‍රමානයකින් ද” පමනක් බලපානු ඇතැයි පවසමින් රොස් විවේචන පසෙක දැමීය.

කෙසේ වෙතත්, තවත් පියවර සූදානම් කෙරෙමින් තිබෙන තතු යටතේ තීරුබදු, ඒවායේ ක්ෂනික බලපෑමට වඩා බොහෝ දුර යන ඇඟවුම් ගැබ්කර ගනී. 1930 ගනන්වල ව්‍යසනයෙන් පසුව ඇමරිකාව ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටුකරමින් ගොඩනඟන ලද පශ්චාත් යුද්ධ සමස්ත පද්ධතියම කැඩී බිඳෙමින් ඇති බවට වැඩෙන පිලිගැනීමක් ඇත.

තීරුබදු “බිහිරි” යයි හෙලා දකින රිපබ්ලිකානු සෙනේට් සභික බෙන් සෙසී පිලිබිඹු කරන්නේ, එම පියවර සැබෑ ඉලක්කය මඟහැර යන බවට වන, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සැලකිය යුතු කොටසකගේ අදහසය. “යුරෝපය, කැනඩාව හා මෙක්සිකෝව චීනය නොවේ. සතුරාට සලකන ආකාරයටම මිතුරාට ද සැලකීමට ඔබට නොහැකිය. අපි මීට පෙර ද මේ මාවතේ ගමන්කර ඇත්තෙමු. පූර්න ආරක්ෂනවාදය ඔස්සේ ඇමරිකාව මහා අවපාතයේදී බොහෝ දුර ගියේය. යලිත් ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීමේ අර්ථය යලි වතාවක් 1929 ඇමරිකාව බිහිකිරීම නොවිය යුතු” යයි ඔහු පැවසීය.

කෙසේ හෝ සෙසී හා අනෙකුත් අය චීනයට එරෙහිව “තෝරාගත්” වෙලඳ යුද්ධයකට මනාප වුව ද ගෝලීය ආර්ථිකයේ ඒකාග්‍රිත ස්වභාවය නිසා එවන් ක්‍රියාමාර්ගවල පවා ප්‍රතිවිපාක ව්‍යසනකාරී වනු ඇත.

Share this article: