බ්‍රිතාන්‍යයේදී හිටපු ඔත්තුකරුවාට වස දුන්නේය යන චෝදනා මත රුසියානු තානාපතිවරු නෙරපේ

Russian diplomats expelled over allegations of poisoning of ex-spy in UK

බිල් වෑන් ඕකන් විසිනි, 2018 මාර්තු 27

ඇමරිකාව හා යුරෝපීය සංගමයට අයත් රටවල් ද කැනඩාව හා යුක්රේනය ද රුසියානු තානාපතිවරුන් තොග පිටින් නෙරපා හැරීම, යුද්ධයට පාර කපන සම්බන්ධීකරනය කල ව්‍යායාමයක් සලකුනු කරයි.

දකුනු ඉංග්‍රීසි නගරයක් වන සැලිස්බරිහිදී, හිටපු රුසියානු ඔත්තුකරුවෙකු හා බ්‍රිතාන්‍යයේ ද්විත්ව ඒජන්තයෙකු වූ සර්ගේයි ස්ක්‍රිපාල් හා ඔහුගේ දියනියට මාර්තු 4දා වස දීමට මොස්කෝව වගකිය යුතුය යන චෝදනාව මත වොෂින්ටනය, යුරෝපීය සංගමයට අයත් රටවල් 14ක්, යුක්රේනය හා කැනඩාව, රුසියානු තානාපතිවරුන් තොග පිටින් නෙරපා හැරීම සම්බන්ධීකරනය කල ව්‍යායාමයක් නිවේදනය කර ඇත. එය සලකුනු කරන්නේ, ලෝකයේ දෙවන ප්‍රධාන න්‍යෂ්ටික බලවතා වන රුසියාවට එරෙහි දේශපාලන හා මිලිටරි තර්ජනයේ තියුනු වීමකි.

අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ඕස්ට්‍රේලියානු ආන්ඩුව ද මෙම මෙහෙයුමට එක්වෙමින් රුසියානු තානාපතිවරුන් දෙදෙනෙක් පිටමං කරන බව 22දා උදේ නිවේදනය කලේය. ඔවුන් “රහසිගත බුද්ධි නිලධාරීන්” බව ආන්ඩුව කියා සිටියේය.

බ්‍රිතාන්‍ය විදේශ ඇමති බෝරිස් ජොන්සන් 21දා කයිවාරු ගැසුවේ, විවිධ ආන්ඩු විසින් ගෙන ඇති පියවරයන් “කවර කලෙක හෝ සිදුවූ රුසියානු ඔත්තු සේවා නිලධාරීන්ගේ විශාලතම සාමුහික නෙරපීම ඉතිහාසයට එක්වන අතර, අපගේ සාමුහික ආරක්ෂාව සුරැකීමට උපකාරීවන” බව පවසමිනි. ඔහු අදහස් කරන්නේ, පැරනි සෝවියට් සංගමයට එරෙහි සීතල යුද්ධයේ ඉතා උනුසුම් කාලයකදීටත් වඩා මොස්කෝවට එරෙහි බටහිර ප්‍රතිප්‍රහාරය එල්ල වූ බවයි.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ මිලිටරිය හා ඔත්තු ආයතන විසින් නිර්මානය කල මේ අන්තරායකාරී හා ප්‍රකෝපකාරී ව්‍යාපාරය දියත් කරනු ලැබ ඇත්තේ, කිසිසේත්ම සනාථ නොකල චෝදනා මත පදනම් වෙමිනි. හිටපු දිත්ව ඒජන්තයාට එල්ල කරන ලද ස්නායු විෂ වායු ප්‍රහාරය පිටුපස රුසියාව සිටීමේ “වැඩි ඉඩක්” පවතින බවට බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ හා විදේශ ඇමති ජොන්ස්ටන් විසින් සති දෙකකට පෙර කරන ලද තහවුරු නොකල ප්‍රකාශ හැරුනු කොට, අලුතෙන්ම තානාපතිවරුන් නෙරපීම යුක්ති සහගත කරන කිසිදු වැඩිදුර සාක්ෂියක් ඉදිරිපත්ව නැත.

බ්‍රිතාන්‍ය ආන්ඩුව කියා ඇත්තේ, ඔවුන්ට එරෙහිව එල්ල කරන ලද නොවිචොක් නමැති වර්ගයේ විස වායුවක් සෝවියට් සංගමය පැවති කාලයේ සාදන ලද බවය. කෙසේ වුව ද බ්‍රිතාන්‍ය බලධාරීහු එවන් වායුවක සාම්පලයක් ඉදිරිපත් කරන ලෙසට මොස්කෝවෙන් කෙරුන ඉල්ලීම ප්‍රතික්ෂේප කලහ. එය එක්සත් ජාතීන්ගේ රසායනික අවි වැලැක්වීමේ ගිවිසුම යටතේ පවතින එක් කොන්දේසියකි. “එවන් වර්ගයක්” යන්නෙහි අර්ථය, යොදාගත් මූලද්‍රව්‍යය අනෙක් ඕනෑම තැනක පවා නිපදවිය හැකිය යන්නයි.

ලන්ඩනය හා නේටෝව සමග “සහයෝගිතාව” මත රුසියානු තානාපතීන් තිදෙනෙක් චෙක් සමූහාන්ඩුව විසින් පිටුවහල් කරනු ලැබුව ද එය තම ඔත්තු අංශ වලට නියෝග කලේ, ස්නායු වායුව එරට තුල නිපදවිය හැකි ද යන්න සොයාබලන ලෙසය.

වොෂින්ටනයේ මොස්කව් තානාපති කාර්යාලයේ 48ක් හා එක්සත් ජාතීන්ගේ රුසියානු දූත සේවයේ 12 දෙනෙක් ද වශයෙන්, ට්‍රම්ප් ආන්ඩුව විසින් පිටුවහල් කරන ලද රුසියානු තානාපතිවරු, සතියක් තුල රටින් පිටවිය යුතුය.

ඊට අමතරව වොෂින්ටනය, ආසන්නයේ ඇති සියැටල් නගරයේ රුසියානු උප තානාපති කාර්යාලය වසා දැමීමට ද නියෝග කර ඇත. එම පියවර යුක්තිසහගත කර ඇත්තේ, එය ඇමරිකානු සබ්මැරින් කඳවුරට හා බෝයිං ගුවන් යානා කම්හලට සමීපව ඇති නිසා, යම් ආකාරයක මිලිටරි තර්ජනයක් එල්ලවේය යන ගොතන ලද කඩතුරාව යටතේය.

“රුසියාව විසින් බ්‍රිතාන්‍ය භූමිය තුල මිලිටරි වර්ගයේ රසායනික අවියක් භාවිතා කර ඇතැයි” යන චෝදනාව අවධාරනය කරමින් 21දා ධවල මන්ඳිරය නිකුත් කල ප්‍රකාශය සඳහන් කරන්නේ, “එය ලෝකය පුරා අස්ථාවරකාරී කටයුතුවල යෙදීමේ අලුත්ම ක්‍රියාව” ලෙසය.

මෙම “අස්ථාවරකාරී කටයුතු” අතර, සිරියාවේ ඩැමස්කස් ආසන්නයේ පිහිටි ගෞතාහි ඉස්ලාමීය “කැරලිකරුවන්ගේ” අවසන් බල කඳවුර බිඳ හෙලීමට රුසියාව, අසාද් තන්ත්‍රයට ගුවන් ආධාර සැපයීම ද වේ. එය තන්ත්‍ර මාරුවක් අරමුනු කරගෙන ඇමරිකාවේ පිටුබලය සහිතව ගෙන යන සත් අවුරුදු යුද්ධයේ මූලික වෙනසක් සලකුනු කරයි.

පසුගිය සතියේදී ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ඇමරිකානු ආඥාපති ජෙනරාල් ජෝන් නිකොල්ස් රුසියාවට එරෙහිව චෝදනා කරමින් පැවසුවේ, එය තලිබාන් වරුන්ට අවි සම්පාදනය කරන බවය. මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මොස්කෝව පැවසුවේ, එය “මුලුමනින්ම පදනම් විරහිත විකාරයක්” බවය.

යථාර්තය නම්, මැද පෙරදිග සිට නැගෙනහිර යුරෝපය දක්වා ද දකුනු හා මධ්‍යම ආසියාව දක්වා ද රුසියාවේ පැවැත්ම, මිලිටරි මාධ්‍යයන් තුලින් සිය ගෝලීය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට දරන ඇමරිකානු අධිරාජ්‍යවාදී ව්‍යායාමයට බාධාවක්ව තිබීමයි. වොෂින්ටනය හිටපු රුසියානු ඔත්තුකරුවා ඝාතනය කිරීමේ උත්සාහය පිලිබඳ ඝෝෂාව මැදට පැනගෙන, අනෙකුත් යුරෝපීය බලවතුනට ද ඒ ඔස්සේ යාමට බල කරන ව්‍යායාමයක් ඇරඹුවේ එබැවිනි.

ලන්ඩනය රුසියානු තානාපතීන් 23ක් රටින් නෙරපා හලේය. මොස්කෝව එයට ප්‍රතික්‍රියා දැක්වූයේ එරට බ්‍රිතාන්‍ය තානාපතිවරු 23ක් නෙරපා හැරීමෙනි. 19දා වන විට අනෙකුත් යුරෝපීය බලවතුන් තානාපතියන් නෙරපා හැරීමට කල නියෝග බොහෝකොටම සංකේතාත්මක විය. ජර්මනිය හා ප්‍රන්සය තානාපතීන් සිව් දෙනෙක් පිටුවහල් කල අතර කැනඩාව ද එවැනිම සංඛ්‍යාවකට රටින් පිටවන ලෙස දැනුම්දී ඇත. වෙනසකට තිබුනේ උග්‍ර රුසියානු විරෝධී ආන්ඩුවක් ඇති යුක්රේනය රුසියානු තානාපතීන් 13ක් නෙරපා හැරීමයි.

චෝදනාවට ලක්ව ඇති රුසියානු අපරාධයට එරෙහි සහයෝගිතාව ප්‍රකාශ කිරීම මධ්‍යයේ මොස්කෝව සමග සම්බන්ධතා පිලිබඳව නේටෝව තුල ගැඹුරු ඛෙදීම් හටගෙන තිබේ. රුසියාවෙන් ජර්මනියට සැපයෙන ගෑස් ප්‍රමානය දෙගුන කරන නෝර්ඩ් ස්ට්‍රීම් 2 නල මාර්ගයට බර්ලිනය සහාය දීමත් සමග රුසියානු බොර තෙල් හා ස්වාභාවික ගෑස් පිලිබඳව ජර්මනිය රුසියාව සමග සමීප වෙලඳ සබඳතා ගොඩනගාගෙන ඇත.

වොෂින්ටනය හා ලන්ඩනය විසින් ස්ක්‍රිපාල් සිද්ධිය ගසාකනු ලබන්නේ, ඇමරිකාව අධිකාරය උසුලන නේටෝවට ප්‍රති බලයක් ලෙස ස්වාධීන යුරෝපීය මිලිටරි සන්ධානයක් ගොඩනගා ගැනීමට පැරිසිය හා බර්ලිනය විසින් ගනු ලබන පියවර අඩාල කිරීමටය. බ්‍රිතාන්‍යය සමග සහයෝගය පල කරන නිල නිවේදන තිබියදීම ජර්මනිය හා ප්‍රන්සය යන බලවතුන් දෙදෙනාට ම රුසියාවට එරෙහිව දැඩි ආස්ථානයක් ගැනීම පිලිබඳ මතභේද පවතී.

මේ අතර මොස්කෝව, තම තානාපතිවරුන් නෙරපා හැරීමට පියවර ගත් සෑම රටකටම එරෙහිව ප්‍රතික්‍රියා දක්වන බවට තර්ජනය කර ඇත.

“රුසියානු තානාපතිවරුන් නෙරපීමට තීරනය කල යුරෝපීය සංගමයේ හා නේටෝවේ රටවල් කෙරෙහි අපගේ දැඩි විරෝධය පලකරන්නෙමු. ඊට කැඩපතකින් පිලිබිඹු වන ආකාරයේ ප්‍රතිචාරයක් පල වනු ඇත. අපි එලඹෙන දිනවල වැඩ සටහනක් සකස්කර සෑම රටක් සම්බන්ධයෙන්ම අපගේ ප්‍රතිචාරය දක්වන්නෙමු. අප සලකන්නේ මේ පියවර සතුරු එකක් ලෙසටය. සැලිස්බරියේදී මාර්තු 4දා ඇතිවූ සිද්ධියේ නියම වගකිවයුත්තන් සොයා ගැනීමටත් මෙය උපකාරී නොවන්නේය.” රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක එසේ සඳහන් විය.

ඇමරිකාවේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටොනොව් 26දා මාධ්‍ය වෙත පැවසුවේ, “ඇමරිකා එක්සත් ජනපදය දැන් කරමින් සිටින්නේ, රුසියානු ඇමරිකානු සම්බන්ධකම් වල යමක් ඉතිරිව ඇත් නම් එයත් විනාශ කිරීමයි. රුසියානු-ඇමරිකා සම්බන්ධකම්වල විනාශයේ ප්‍රතිවිපාක පිලිබඳ සියලු වගකීම් පැවරෙන්නේ එක්සත් ජනපදයටය.”

“රුසියානු සමූහාන්ඩුව එම පරීක්ෂනයට මැදිහත්වීම පිලිබඳ කිසිදු සාක්ෂියක් නොමැතිවාක් මෙන්ම, සැලිස්බරියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමට රුසියාවේ කිසිදු සම්බන්ධයක් ඇති බවට ද සාක්ෂි ඇත්තේ නැත” යයි ඔහු පැවසීය.

බ්‍රිතාන්‍යය රුසියාවට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනා මොස්කෝව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට ප්‍රතිචාර දක්වමින් එරට ආරක්ෂක ඇමති ගැවින් විලියම්සන් මෑතකදී පැවසුවේ, “රුසියාව පැත්තකටවී කට පියාගත යුතු” බවයි. ඔහු එම ප්‍රකෝපකාරී කථාව පැවැත්වූයේ, රුසියානු දේශසීමාවේ නේටෝ හමුදා රැඳවීමේ කොටසක් ලෙස එස්තෝනියාවේ රඳවා සිටින බ්‍රිතාන්‍ය සෙබලුන් අමතමිනි. “ජනාධිපති පුටින් ගැන හා ඔහුගේ කටයුතු පිලිබඳ ලෝකයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබේ.”

මේ අතර වොෂින්ටනයේ ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින්, ට්‍රම්ප් ආන්ඩුවේ අලුත්ම රුසියානු විරෝධී පියවර ගැන ප්‍රතිචාර දැක්වූයේ, මොස්කෝවට එරෙහි ප්‍රකෝපකරනයන් ඇති තරම් දුර ගෙන නොයාම පිලිබඳව ජනාධිපතිට දොස් පවරමිනි.

කොන්ග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ සාමාජික ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික එලියට් ඒන්ජල්, රුසියානු තානාපතීන් නෙරපා හැරීම ගැන පැවසුවේ, “එය බටහිර එක්සත්කම හා සහයෝගය පිලිබඳ සාදරයෙන් පිලිගත හැකි තත්වයක්” බවය. එසේම ඔහු, “රුසියානු අකටයුතුකම් වලට එරෙහිව වඩාත් ඒකාබද්ධ පියවර ඉදිරියේදී ගනු ලබන ආකාරය අපට බලාගත හැකිය.”

කෙසේ වුවත් ඒන්ජල්ස් පැවසුවේ, ඇමරිකාවේ කටයුතු සලකුනු කලේ, “රුසියාව මෙහිදී, එක්සත් ජනපදය තුල, ගෙන යන ප්‍රහාරයන්ට පරිපාලනය දක්වා ඇත්තේ දුබල ප්‍රතිචාරයක්” බවය. ඔහු සඳහන් කලේ 2016 ජනාධිපතිවරනයට රුසියානු “අඟිිලිගැසීම්” පිලිබඳ චෝදනා ගැනය.

සීඅයිඒ හා ඇමරිකානු මිලිටරියේ හා ඔත්තු සේවාවන්හි තීරනාත්මක කොටස් වෙනුවෙන් කථා කරමින් ඒන්ජල් වැනි ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ට දක්වන විරුද්ධත්වය මුල්බැස ඇත්තේ, ප්‍රධානකොටම, ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මූලෝපාය සම්බන්ධ වෙනස්කම් තුලය. ඔවුන් තල්ලු වෙමින් ඇත්තේ රුසියාව සමග කල්පසුවනවාට වඩා ඉක්මන් මිලිටරි ගැටුමක් කරාය.

Share this article: