විශ්ව විද්‍යාල සේවක ඉල්ලීම් ඉටු කිරීමට මුදල් නැතැයි ආන්ඩුව කියයි

මහජන අධ්‍යාපනයට මුදල් සපයා ගන්නේ කෙසේද?

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 මාර්තු 30

මාර්තු 25 වන දා සිරස රූපවාහිනියේ විකාශය වූ “පැතිකඩ” නම් වැඩසටහනකට සහභාගි වෙමින්, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති වන එඩ්වඩ් මල්වත්තගේ සහ සම ලේකම් එස්. ධම්මික ප්‍රියන්ත කියා සිටියේ වර්ජනයේ නිරතව සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට මුදල් නොමැති බව ආන්ඩුව දිගින් දිගටම පවසන බවයි.

අනධ්‍යන කම්කරුවන් පෙබරවාරි 28 වන දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින්නේ, වැටුප් වැඩි වීමක්, වෛද්‍ය රක්ෂනයක් සහ විශ්‍රාම වැටුපක් ඉල්ලමිනි.

පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ සැලකියයුතු වැටුප් වැඩි වීමකින් තොරව ජීවත් විය නොහැකි තත්වයකට සමස්ත කම්කරු පන්තිය ඇද වැටී ඇති තතු හමුවේ, වැඩි වැටුපක් ඉල්ලා අනධ්‍යන කම්කරුවන් කරන ඉල්ලීම අතිශයින්ම යුක්ති යුක්තය.

එමෙන්ම, නිතිපතා කප්පාදුවට ලක්වන නිදහස් රෝහල් සේවය පිලිබඳ කවර හෝ විශ්වාසයක් තැබිය නොහැකි බැවින් සහ පුද්ගලික රෝහල් ගාස්තු ඉසිලිය නොහැකි මට්ටමට ඉහල නැග ඇති බැවින් අනධ්‍යන සේවකයන් ඉල්ලා සිටින වෛද්‍ය රක්ෂනය ද දැවෙන අවශ්‍යතාවයකි.

තම වැටුප කිසිසේත් ප්‍රමානවත් නොවන තතු යටතේ, දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ ගේ දොර තනා ගැනීම ආදී අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා විවිධ නය හේතුවෙන්, ඔවුනගෙන් බහුතරයකට විශ්‍රාම යාමට සිදු වනුයේ දැවැන්ත නය බරක් ද සමගය. ලැබෙන සොච්චම් අර්ථ සාධක අරමුදල නයට හිලව් වී සැනෙකින් වාෂ්ප වී යන තත්වය තුල සමස්ත විශ්‍රාම ජීවිතයම අනාරක්ෂිත තත්වයට ඇද වැටෙයි. අනධ්‍යන කම්කරුවන් ඇතුලු සෑම කම්කරුවෙකුටම තම ජීවිතයේ සැඳෑ කාලය සුරක්ෂිතව ගත කිරීමට මනා විශ්‍රාම වැටුපක් අත්‍යවශ්‍ය ය.

ආන්ඩුව “මුදල් නැතැ”යි කියා ප්‍රතික්ෂේප කරන්නේ මෙම දැවෙන සහ අතිශයින් යුක්තියුක්ත ඉල්ලීම් ය. අනධ්‍යන කම්කරුවන්ට පමනක් නොව, මේ හා සමාන ඉල්ලීම් මත සටන් වැද සිටින විදුලි බල සහ තැපැල් ඇතුලු අවශේෂ කම්කරුවන් සම්බන්ධයෙන් ද ආන්ඩුවේ නරුම ප්‍රතිචාරය “මුදල් නැත” යන්නයි.

අනධ්‍යන කම්කරුවන් සේවයේ නියුතු විශ්ව විද්‍යාල පද්ධතිය ගත් කල, පසුගිය දශක කීපය තුල, ශ්‍රී ලංකාව වැනි අඩු දියුනු රටවල සිට එක්සත් ජනපදය වැනි දියුනු රටවල් දක්වා වන සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියෙහි අධ්‍යාපන පහසුකම් මෙන්ම ඒවායේ සේවයේ නියුතු අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මන්ඩලයන් හි ජීවන සහ සේවා කොන්දේසි වේගයෙන් පහත වැටුනි. නවක සේවකයන් බොහොමයක් බඳවාගනු ලබනුයේ අයිතීන් සහ වරප්‍රසාද අහිමි කෙරුනු කොන්ත්‍රාත් පදනම යටතේ ය.

ශ්‍රී ලංකාවේ මෙන්ම, එක්සත් රාජධානිය, නයිජීරියාව සහ කෙන්යාව ඇතුලු විවිධ රටවල විශ්ව විද්‍යාල සේවකයන් තමා මුහුන දෙන කටුක කොන්දේසි වලට එරෙහිව අරගලයට පිවිස සිටින අතර ඔවුනගේ ඉල්ලීම් වල ඇත්තේ පොදු බවකි.

අධ්‍යාපන කප්පාදුව

ධනේශ්වර ක්‍රමයේ අභ්‍යන්තර පරස්පර විරෝධයන් තීව්‍ර වීම හේතුවෙන්, 1970 ගනන් මුල සිට පශ්චාත් දෙවන ලෝක යුද පර්යාය බිඳ වැටීම ආරම්භ වීමත් සමග සෑම රටකම පාහේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන ක්‍රමයෙන් කප්පාදු වන්නට විය.

2008 දී පුපුරා ගිය ලෝක ආර්ථික අර්බුදය වඩවඩාත් ගැඹුරුවත්ම, පසුගිය සියවසේ කම්කරු පන්තිය දිනාගත්, මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ඇතුලු සියලු සමාජ අයිතීන් ආපසු උදුරා ගැනීමත් එයට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන් රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීමත් ලොවපුරා පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. විශ්ව විද්‍යාල සේවකයන් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් මුහුන දී සිටින්නේ මේ සමාජ-ප්‍රතිවිප්ලවවාදී පිලිවෙතටයි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2018 අය-වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇත්තේ දල ජාතික නිශ්පාදනයෙන් (දජානි) සියයට 1.48 ක මුදලකි. 1970 ගනන් මුල දී ලංකාවේ අධ්‍යාපනය සඳහා දජානියෙන් සියයට 3.3 ක මුදලක් වෙන් කෙරුනි. මේ අනුව පසුගිය දශක පහකට ආසන්න කාලය තුල ලංකාවේ අධ්‍යාපන වියදම අඩකටත් වඩා කප්පාදු කෙරී ඇත.

2018 අය-වැයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 102 ක මුදල සමග සැසඳූ විට ආරක්ෂක කටයුතු සඳහා වෙන්කර ඇති මුදල එමෙන් තුන් ගුනයකට ආසන්න රුපියල් බිලියන 290 ක දැවැන්ත මුදලකි. මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඉහලම ආරක්ෂක වියදම වන අතර, සිවිල් යුද්ධය අවසන් වී ඇති තත්වය යටතේ මෙම මුදල් යොදවනු ඇත්තේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් මැඩීම සඳහා හමුදාව සහ පොලීසිය ශක්තිමත් කරනු පිනිසයි.

සමාජයක සෞඛ්‍යය සහ අධ්‍යාපනය

කිසියම් සමාජයක සෞඛ්‍යය පිලිබඳ වඩාත්ම තීරනාත්මක මිනුම වන්නේ මතු පරම්පරාවේ බුද්ධිමය සහ සංස්කෘතික මට්ටම ඉහල නැංවීම සඳහා එය ලබා දෙන තැන සහ කැප කරන සම්පත් ප්‍රමානයයි. ඒ අර්ථයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරව ද මහජන අධ්‍යාපනයේ වත්මන් තත්වය ධනපති ක්‍රමයට එරෙහි දෝෂාභියෝගයකි.

ධනේශ්වර ක්‍රමය පිබිදෙන යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනපති පාලකයන් සතු වූ ආකල්පයන් වත්මන් ධනපති පාලකයන්ගේ ආකල්පයන්ට සපුරාම පටහැනිය. ඇමරිකානු විප්ලවයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ තෝමස් ජෙෆර්සන්, 1779 දී ඉදිරිපත් කල “දැනුමේ වඩාත් පොදු ව්‍යාප්තියක්” සඳහා වන පනතෙන්, නොමිලේ අධ්‍යාපනය ලබා දෙන පොදු පාසැල් ස්ථාපිත කිරීමට යෝජනා කලේය.

“දරිද්‍රතාව තුල වැලලී යන දැවැන්ත හැකියාවන් ක්‍රියාවට නැංවීම සඳහා මාධ්‍යයන් සෑම රටකටම අවශ්‍ය කෙරී ඇතැ” යි ඔහු ලිවීය.

මෙම ශ්‍රේෂ්ඨ නායකයන් විශ්වාස කලේ ඒකාධිපතිත්වය සහ මර්දනය වැලැක්වීමේ ඒකායන මාර්ගය මහජනතාව දැනුවත් කිරීම බවයි. ඇමරිකානු “මහජන අධ්‍යාපනයේ පියා” ලෙස සලකන හොරේස් මාන් සහ දාර්ශනිකයෙකු වූ ජෝන් ඩුවී ගේ සිට සමාජවාදී නායකයන් දක්වා වන මහජන අධ්‍යාපනයේ සටන්කරුවන් මෙහෙයවුනේ, සෑම දරුවෙකුටම - ඔහු කලින් වහලෙකු ද, ලමා කම්කරුවෙකු ද නැතහොත් සංක්‍රමනික කම්කරුවෙකු ද යන්න නොතකා - අධ්‍යාපනය ලබාදිය යුතු බවයි.

ලෝක ධනපති ක්‍රමයේ පරිහානිගත කාල පරිච්ඡේදයේ කරලියට පැමිනි ලංකාවේ ධනපති නායකයෝ ආරම්භයේ සිටම මහජන අධ්‍යාපනයට හතුරුව සිටියහ. ශ්‍රී ලංකාවේ මහජන අධ්‍යාපනය නැතහොත් නිදහස් අධ්‍යාපනය සඳහා සටනේ පුරෝගාමීන් වූයේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) වන අතර ලංකාව තුල සීමිත නිදහස් අධ්‍යාපනයක් හෝ තහවුරු කෙරුනේ එම සටනේ ප්‍රතිඵලයක් ලෙසයි.

ලසසප නායක එන්.එම්. පෙරේරා විසින් ලියන ලද “නිදහස් අධ්‍යාපනය අවශ්‍යවන්නේ ඇයි (The case for free education)” නම් වූ පොත් පිංචෙන් සෑම ලමයෙකුටම පහල බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම අයිතියක් ලෙස තහවුරු කිරීමේ සංකල්පයන් පැහැදිලිව ඉදිරිපත් කෙරුනි.

මහජන අධ්‍යාපනය සහ සමාජ අසමානතාව

මහජන අධ්‍යාපනයට ලොවපුරා එල්ල කෙරෙන ප්‍රහාරය සමාජ අසමානතාවයේ අතිමහත් වර්ධනයේ ප්‍රතිඵලයකි. නැතහොත් සමාජ ධනයේ අතිමහත් කොටසක් ධනපතියන් අතලොස්සක් අත වඩවඩාත් සංකේන්ද්‍රනය වීමේ ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහලම ආදායම ලබන සියයට 20 ජාතික ආදායමෙන් සියයට 4 ට අඩු අගයක් හිමිකර ගනිද්දී ඉහලම ආදායම ලබන සියයට 20 ජාතික ආදායමෙන් සියයට 60 කට ආසන්න අගයක් හිමිකර ගනී.

එක්සත් ජනපදය ගතහොත්, ජනගහනයේ පහලම ආදායම ලබන සියයට පනහ 1980 දී ජාතික ආදායමෙන් සියයට 20.5 ක් හිමිකරගත් අතර 2015 දී එය සියයට 13 දක්වා පහත වැටී ඇත. මෙම කාල සීමාව තුල ඉහලම ආදායම ලබන සියයට එක තම පංගුව සියයට 10.5 සිට 21.0 දක්වා, එනම් දෙගුනයකින් වැඩිකරගෙන ඇත.

2043 ක් වූ ලෝක බිලියනපතියන්ගේ සමස්ත වත්කම මේ වන විට ඩොලර් ටි්‍රලියන 7.67 දක්වා වර්ධනය වී ඇත. මෑත වාර්තාවකට අනුව, ලොව ධනවත්ම තිදෙනාගේ වත්කම ලෝක ජනගහනයේ දුප්පත් අර්ධයේ සමස්ත වත්කමට වඩා වැඩිය.

මේ අනුව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් කප්පාදු වන්නේ සමාජ වත්කම් උත්පාදනයේ අඩුවක් නිසා නොව එය ඉතා අසමාන ලෙස බෙදී යාම හේතුවෙන් බව පැහැදිලිය.

දීර්ඝ කාලීන බදු විරාමයන් යටතේ ශ්‍රී ලංකාව වැනි නොදියුනු රටවල ආයෝජනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින්, කම්කරුවන් ඇටපොත්තටම සූරා කමින් සමුච්ඡය කර ගන්නා දැවැන්ත ධන ස්කන්ධයන් උරාගනු ලබනුයේ ජාත්‍යන්තර සංගත හිමියන්ගේ වත්කම් තුලටයි.

එමෙන්ම, ජාතික සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට අවශ්‍ය අධිවේගී මාර්ග, වරාය සහ ගුවන් තොටුපලවල් ඇතුලු යටිතල පහසුකම් නිශ්පාදනය කිරීම සඳහා ආන්ඩු විසින් ලබා ගන්නා විදේශීය සහ දේශීය නය, දැවැන්ත පොලී සමග යලි ඇදී යන්නේ එම නය ලබා දුන් බැංකු සහ මූල්‍ය ආතන වෙතයි.

මෙලෙස, සමාජ ධනය, ප්‍රකෝටිපතියන් අතලොස්සක් වෙත ඇදී යාම වඩවඩාත් වේගවත් වෙමින් පවතී.

ශුද්ධ වූ ධනපති ක්‍රමයක් පිලිබඳ ව්‍යාජය

ඉහත පැතිකඩ සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ නායකයන් යෝජනා කලේ මැති ඇමතියන්ගේ වියදම් කපා හැරීමෙන් තම ඉල්ලීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 700 සපයාගත හැකි බවයි.

මෙය, අල්ලස සහ දූෂනය අහෝසි කෙරුනු ශුද්ධ ධනපති ක්‍රමයක් පිලිබඳ ව්‍යාජ සංකල්පයෙන් ගලා එන්නකි.

රුසියානු විප්ලවයට නායකත්වය දුන් වී.අයි. ලෙනින් මීට ශතවර්ෂයකට පෙර කියා සිටියේ, ධනවාදයේ උච්ඡතම අවධිය වන මූල්‍ය ප්‍රාග්ධනය ආධිපත්‍ය දරන මෙම යුගයේ, “මහා පරිමාන දූෂනය සහ අල්ලස මෙන්ම සියලුම ආකාරයේ වංචනයන්” තම චරිත ලක්ෂනය කරගත් නව “මූල්‍ය ධුරාවලියක්” මතුවන බවයි.

මෙම තතු තුල, අල්ලස, දූෂනය සහ වරප්‍රසාද අත්හැර දමන ලෙස ධනපති පාලකයන්ට කරන යෝජනාව මුලුමනින්ම අතාර්කිකය.

අධ්‍යාපනය සඳහා සම්පත්

අධ්‍යාපනය වැඩි දියුනු කිරීම මෙන්ම මහජනතාවගේ ආර්ථික සහ සංස්කෘතික මට්ටම ඉහල දැමීම සිදුකල හැක්කේ, කම්කරු පන්තිය විසින් නිපදවන දැවැන්ත පරිමාන වත්කම් ද දැනටමත් පවත්නා මාහැඟි මානව සහ තාක්ෂනික සම්පත් ද තාර්කිකව යොදවා ගැනීමෙනි. එය කල හැක්කේ සමස්ත ආර්ථික සහ දේශපාලනික ජීවිතය මත කම්කරු පන්තියේ ආධිපත්‍යය පිහිටුවීමෙනි.

මේ සඳහා මහා පරිමාන බැංකු, වතු සහ කම්හල් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරමින්, ලාභය සඳහා කෙරෙන ධනේශ්වර නිශ්පාදනය අහෝසි කොට මානව අවශ්‍යතා සපුරාලන අයුරින් නිශ්පාදන ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගත යුතුය. මේ වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

ධනේශ්වර පර්යායට අත්‍යන්තයෙන්ම බැඳීගත් ධනේශ්වර උපකරනයන් වන වෘත්තීය සමිති එවන් සටනකට මුලුමනින්ම සතුරුය. එබැවින්, වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වීම එම සටන සඳහා පූර්වාවශ්‍යතාවයක් වෙයි. එසේ වෙන්වන කම්කරුවන් තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදිය යුතුයි.

මනා අධ්‍යාපනයක්, ජීවත් වීමට සරිලන වැටුපක්, යහපත් සෞඛ්‍ය සේවයක් සහ සුරක්ෂිත විශ්‍රාම දිවියක් තහවුරුකල හැක්කේ එමගින් පමනි.

Share this article: