බටහිර වර්ජිනියාවේ ගුරුවරුන්ගේ කැරැල්ල

The revolt of the West Virginia teachers

2018 මාර්තු 2

දැන් හත්වන දිනයට එලඹෙමින් තිබෙන බටහිර වර්ජනියාවේ ගුරුවරුන් 30,000ක් නිරත වන වර්ජනයට සමස්ත කම්කරු පන්තියේ ක්ෂනික හා ක‍්‍රියාකාරී සහයෝගය අවශ්‍ය කෙරේ. ගුරුවරුන් සටන් වදින ප‍්‍රශ්න සෑමතැනකට ම පොදු ඒවා ය: එනම්, පහල වැටෙන වැටුප්, පිරිහෙමින් පවතින සමාජ යටිතල පහසුකම්, නිදහස් අධ්‍යාපනය මත ප‍්‍රහාරය, වැඩෙන සමාජ අසමානතාව හා ඉහල යන සෞඛ්‍යාරක්ෂන පිරිවැය ආදිය යි.

වෘත්තීය සමිති සහ ප‍්‍රාන්තයේ ප‍්‍රකෝටිපති ආන්ඩුකාර ජිම් ජස්ටිස් විසින් තිරයෙන් පිටුපස සූදානම් කල එකඟතාව ප‍්‍රතික්ෂේප කිරීමට ගුරුවරුන් ගත් තීරනය ඇමරිකානු ගුරු සම්මේලනය, ජාතික අධ්‍යාපන සංගමය හා ඔවුන්ගේ ප‍්‍රාන්ත ශාඛා වෙත එල්ල කල අතුල් පහරකි. අරගලය ආරම්භයේ පටන් ම එය මර්දනයට, සීමා කිරීමට, විරෝධය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීමට හා ප‍්‍රාන්ත නියෝජිතයන් වෙත නිෂ්ඵල ආයාචනා කිරීමට වෘත්තීය සමිති යත්න දරා ඇත. මෙම උපාමාරු කෙලවර වූයේ ආපසු වැඩට යන නියෝගයක් සමගින් අත්වැල් බැඳගන්නා ගුරුවරුන්ගේ කිසිදු මූලික ඉල්ලීමක් ඉටුකිරීමට අපොහොසත් වන ගනුදෙනුවක් ජස්ටිස් සමග ඇතිකර ගැනීමෙනි.

පෙබරවාරි 28දා ගුරුවරු ප‍්‍රාන්ත අගනුවර දී ක්ෂනික ව සූදානම් කල රැස්වීම් පවත්වා තම අරගලය අවසන් කිරීමට කරන ආයාචනා ප‍්‍රතික්ෂේප කිරීමට තීන්දු කල හ. ජනපදයක් ගානේ පැවැත්වූ ඡන්ද විමසීම්වල දී සෑම පාසල් දිස්ත‍්‍රික්කයක් ම තීන්දු කලේ වර්ජනය අඛන්ඩ ව පවත්වන බවටත් පාසල් වසා තිබෙනු ඇති බවටත් ය.

මාර්තු 1දා වර්ජනය හේතුවෙන් වසා දමා තිබුනු පාසල් පිලිබඳ සිතියම

ගුරුවරුන්ගේ මූලික ඉල්ලීම වන්නේ ගුරුවරුන්ගේ හා රාජ්‍ය සේවයකයන්ගේ සෞඛ්‍යාරක්ෂනය කලමනාකරනය කරන රාජ්‍ය සේවක රක්ෂන ඒජන්සිය (පීඊඅයිඒ) වෙත සම්පූර්න අරමුදල් ලබා දීමයි. සෞඛ්‍යාරක්ෂන වියදම්වල වැඩිවන පිරිවැයක බර කම්කරුවන්ගේ කරමත පැටවීම ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකේ ම සහයෝගය ලැබෙන ජාතික පිලිවෙතක කොටසකි. සෞඛ්‍යාරක්ෂනය වෙත ප‍්‍රවේශය සීමා කිරීම හරහා කම්කරු පන්තියේ ආයු අපේක්ෂාව පහත හෙලීමට දැනුවත් උත්සාහයක් පවතින අතර, එය, සමාජ අර්බුදය විසින් ධාවිත ඔපියොයිඩ් ඖෂධ වසංගතයේ කේන්ද්‍රස්ථානයක් වන ඇපලාෂියාව තුල ව්‍යසනයක ස්වරූපය අත්කර ගනී.

ගුරුවරුන් මත දැවැන්ත පීඩනයක් යොදනු ලැබේ. වර්ජනය අවසන් කිරීම සඳහා බලකිරීමට වෘත්තීය සමිති නිලධරය වාරු වී සිටින්නේ රාජ්‍යය මගින් දඩගැසීමේ හා තහනම් නියෝග පැනවීමේ තර්ජන සමගින් ඒකාබද්ධ වන ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ වැඩිදුර උපාමාරු මත ය. මෙම වර්ජනයේ ක්ෂනික ප‍්‍රතිඵලය කවරක් වුවත් එමගින් සනිටුහන් කරන්නේ එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ නැගී ඒමක ආරම්භය යි.

බටහිර වර්ජිනියාවේ සිද්ධි එක්සත් ජනපදය තුල වැඩෙන කම්කරු පන්තික සටන්කාමීත්වය සමග අත්වැල් බැඳගනී. ඇරිසෝනා, ඔක්ලහෝමා, ඩලාස්, පිට්ස්බර්ග් හා මිනියාපොලිස් ගුරුවරුන් සහ ඔක්ලහෝමාවේ බස් රථ රියදුරන් අතර වර්ජන සඳහා කැඳවීම් පවතී. ලොස් ඇන්ජලීස්හි පාසල් ආපනශාලා කම්කරුවන්, බස් රථ රියදුරන් හා භාරකාර කම්කරුවන් අතර වර්ජනයන් බලාත්මක කෙරෙන ඡන්ද විමසීමක් මාර්තු 5දා පැවැත්වේ. මාර්තු 3දා කොන්ත‍්‍රාත්තුව නිමවීමෙන් ඉක්බිති ව බටහිර වර්ජිනියාවේ ෆ‍්‍රන්ටියර් විදුලි සන්දේශ කම්කරුවන් සියගනනක් වර්ජනය කරනු ඇත. සංගත විධායකයන්ගෙන් අල්ලස් ගන්නා වෘත්තීය සමිති නිලධරයන් විසින් පටවනු ලබන කොන්ත‍්‍රාත්තුන් අවලංගු කරන ලෙස මෝටර් රථ කම්කරුවෝ ඉල්ලා සිටිති.

එක්සත් ජනපදයේ දේශසීමාවන්ගෙන් ඔබ්බේ මේ වසරේ ජර්මනිය හා තුර්කිය තුල ලෝහ කම්කරුවන්, ප‍්‍රන්සයේ ගුවන් සේවා කම්කරුවන් හා එක්සත් රාජධානිය තුල විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වර්ජනවල යෙදී ඇත. චෙක් ජනරජයේ ස්කෝදා මෝටර් රථ කම්කරුවෝ වර්ජනය කරන බවට තර්ජනය කරමින් සිටිති. ඉරානය, ටියුනීසියාව, මොරොක්කෝව, ග‍්‍රීසිය හා අනෙකුත් රටවල කම්කරුවන්ගේ විරෝධතා පුපුරා ගොස් තිබේ.

පන්ති අරගලයේ ඉස්මතු වීම මූලික දේශපාලන ප‍්‍රශ්න පැනනංවයි. පලමුව, ඩිමොක‍්‍රටික් පක්ෂය හා එය වටා සිටින මධ්‍යම පන්තික සංවිධාන විසින් තොරොම්බල් කරන කියාපෑම වන සමාජයේ මූලික බෙදීම් වනාහි වර්ගය හා ලිංගිකත්වය ය යන්න එමගින් ප‍්‍රතික්ෂේප කරනු ලැබෙයි.

ඩිමොක‍්‍රටිකයන් විසින් “හෙලා දකිනු ලබන්නන්ගේ බක්කියට” දමන සහ වාර්ගික හා ප‍්‍රතිගාමී ලෙස හංවඩු ගසනු ලබන ඇපලාෂියා කම්කරුවන් සටන් කරමින් සිටින්නේ අන් සියලු බේදයන් ඉක්මවා යන පන්ති ප‍්‍රශ්න අරබයා ය. පුදුම වීමකට ඉඩක් නො තබා, තම දේශපාලනයේ වාර්ගික-ලිංගික-ලිංගිකත්ව රාමුව විසංවාදයට ලක්කරන කම්කරුවන්ගේ සාමූහික අරගලවලට හැඟීමෙන් ම සතුරු ව්‍යාජ-වාම සංවිධාන විසින් මෙම වර්ජනය තථ්‍ය ව ම නොසලකා හැර තිබේ.

දෙවනුව, ප‍්‍රතිරෝධයේ වර්ධනය දශක ගනනක් තිස්සේ සූරාකෑමට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් මර්දනය කිරීමට ක‍්‍රියාකර තිබෙන වෘත්තීය සමිති සංවිධානය සමග කම්කරුවන් ව සෘජු ගැටුමක පිහිටුවයි.

බටහිර වර්ජිනියානු ගුරුවරුන්ගේ කැරැල්ලට දිනකට පෙර ඇමරිකානු රාජ්‍ය ෆෙඩරේෂනයේ, ප‍්‍රාන්ත හා නාගරික සේවකයන්ගේ නීතිඥයෙක් වෘත්තීය සමිති ක‍්‍රියාත්මක වන්නේ කුමන මූලධර්මයක් මතද යන්න පැහැදිලිව දැක්වූයේය. ජනූස්ට එදිරිව ඒඑෆ්එස්සීඑම්ඊ නඩුවේ වාචික වාදකිරීම් වලදී ඩේවිඩ් ෆෙඩ්රික් කියා සිටියේ “වෘත්තීය සමිති වලට ලබා දෙන ආරක්ෂාව වැඩවර්ජන නො කිරීම සඳහා තුටුපඬුරක් බවයි.” වෘත්තීය සමිතිවල ස්ථාවර බව සහතික කර ගැනීමේ මූල්‍ය යාන්ත‍්‍රනයක් නොමැත්තේ නම් “රට පුරා කිව නොහැකි තරම් කම්කරු නැගිටීම් ඇති වනු ඇතැ”යි ඔහු පැවසීය.

වෘත්තීය සමිති වනාහි “කම්කරුවන්ගේ සංවිධාන” වනු වෙනුවට පන්ති අරගලය මර්දනය කිරීමේ තීරනාත්මක යාන්ත‍්‍රනයන්ය. කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා වන ව්‍යාපාරයකට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල්, වැඩහල් හා නිවහන් ප‍්‍රදේශවල කම්කරුවන් විසින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව පාලනය කරන හා මෙහෙයවනු ලබන නව ක‍්‍රියාකාරී කමිටු පිහිටුවාගැනීම අවශ්‍ය කෙරේ.

තෙවනුව, සෑම වෙන් වෙන් අරගලයක් ම එහි සහයෝගී පදනම කම්කරු පන්තියේ පලල් කොටස් කරා විහිදුවීමේ අත්‍යවශ්‍ය භාවය ඉස්මතු කරයි. වර්ජකයන්ට දඩ ගැසීමට හා තහනම් නියෝග පැනවීමට බටහිර වර්ජිනියාවේ කරන තර්ජනයට පතල් කම්කරුවන්, රාජ්‍ය සේවකයන්, කම්හල් කම්කරුවන් හා සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් සහ ශිෂ්‍යයන් හා තරුනයන් බලමුලුගන්වමින් ප‍්‍රතිචාර දැක්විය යුතු ය. පාලක පන්තියට හා එහි ඒජන්තයින්ට ප‍්‍රතිරෝධය දැක්වීම මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම අනම්‍ය ලෙස ඉස්මතු කරයි.

සිවුවැන්න වන්නේ කම්කරුවන්ගේ අරගල ඔවුන් ව හුදෙක් ඒ හෝ මේ හාම්පුතාට පමනක් නො ව ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙක සහ සමස්ත රාජ්‍ය උපකරනය හෙවත් ධනේශ්වර පාලක පන්තියේ දේශපාලන අවයව සමග සෘජු ගැටුමක පිහිටුවීම යි. ගුරුවරුන්ගේ වැටුප් හා ප‍්‍රතිලාභ පිලිබඳ කොන්ත‍්‍රාත් සාකච්ඡා වෙනුවට, නීති කෙටුම්පත් හරහා ඒවා නීර්නය කරනු ලබන බටහිර වර්ජිනියාව තුල මෙම ගැටුම ක්ෂනික එකකි.

කම්කරු පන්තියේ සෑම කොටසක ම අරගල එකම මූලික ප‍්‍රශ්නය, එනම්, පාලනය කරන්නේ කවුද? යන්න ඉස්මතු කරයි. සමාජීය හා ආර්ථික පිලිවෙත නීර්නය කරන්නේ කාගේ අවශ්‍යතා ද? මහා ව්‍යාපාරික පක්ෂ පාලනය කරන සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ අවශ්‍යතා ද නැතහොත් සමාජයේ සියලු ධනය නිපදවන එහෙත් සෑමතැන ම සූරාකෑවෙන හා පීඩනයට පත්වන ජනගහනයේ සුවිසල් කොටස වන කම්කරුවන්ගේ අවශ්‍යතා ද? සෑම පන්ති අරගලයක ම තර්කනය තුල ගැබ් වී තිබෙන අවශ්‍යතාව වන්නේ කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අල්ලාගෙන ධනේශ්වර ලාභ පද්ධතිය පහකර දැමීම යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය වසරේ නිකුත් කල මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය දයන ප‍්‍රකාශය තුල, විදෙස් පිලිවෙත කේන්ද්‍ර කරගෙන ධනේශ්වර පාලක ප‍්‍රභූව ඇතුලත වැඩෙන කටුක ගැටුම්වලින් ඔබ්බේ ”පාලක පන්තිය හා සමාජ ව්‍යසනයේ විවිධ රූපයන්ගෙන් පීඩා විඳින හා දේශපාලන ජීවිතයෙන් මුලුමනින් වියෝකොට තිබෙන ජනගහනයේ පුලුල් කොටස වන කම්කරු පන්තිය අතර මුලුමනින් වෙනස් ගැටුමක් වර්ධනය වෙමින් තිබෙන” බව සඳහන් කලේ ය.

දැන් මෙම ගැටුම විවෘත ව පුපුරා ඒමට පටන් ගනී. ලෝක ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානය වන එක්සත් ජනපදය තුල කම්කරු පන්ති අරගලය ඉස්මතු වීම ජාත්‍යන්තර දේශපාලනය සෘජු ව එක්පසෙක පිහිටුවනු ඇත. එය ධනේශ්වර පාලක ප‍්‍රභූවේ සියලූ ගනන් බැලීම් හා සැලසුම් පුපුරුවා හරිනු ඇත. ජාතික ස්වෝත්තමවාදයේ බලපෑම දැඩි ලෙස දුර්වල කරන එය ජාත්‍යන්තර පන්ති සහෝදරත්වය පිලිබඳ හැඟීමක් අභිවර්ධනය කරනු ඇත. අසමානතාව, පීඩනය, අධිරාජ්‍යවාදී යුද්ධය හා ආඥාදායකත්වයට විරුද්ධ ව සටන් කිරීමේ මාවතක් සොයන කම්කරු ජනකායන්ට එය ආකර්ශනයේ නව ධ‍්‍රැවයක් වනු ඇත.

ආන්ඩුවේ හා සංගත වාරකයන්ගේ උත්සාහයන් තිබිය දී ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය බටහිර වර්ජිනියාවේ ගුරුවරුන් අතර මහජන ශ‍්‍රාවකත්වයක් දිනාගෙන ඇත. බටහිර වර්ජිනියාවේ වර්ජනය විකුනා දැමීම ප‍්‍රතික්ෂේප කරන ලෙස අප කල ආයාචනය ප‍්‍රාන්තය පුරා ගුරුවරුන් දහස් ගනනක් කරා ලඟා වී තිබේ. සමාජවාදී සමානතා පක්ෂයේ සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ කර්තව්‍යය වන්නේ ගුරුවරුන් වෙත කම්කරුවන්ගේ සෑම කොටසක ම සහයෝගය ගොනුකිරීම, වර්ජිත කම්කරුවන්ගේ පන්ති විඥානය ඉහල දැමීම, අරගලය මගින් මතු කරන දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කිරීම මෙන් ම එක්සත් ජනපදයේ පමනක් නො ව සමස්ත ලෝකය පුරා මෙම වර්ජනය හා ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා වන අරගලය අතර සම්බන්ධය පැහැදිලි කිරීම යි.

ජෝසෆ් කිෂෝර්

Share this article: