ස්ක‍්‍රිපාල්ට විෂ වැද්දීම: රුසියාවට එරෙහි බ්‍රිතාන්‍ය - එක්සත් ජනපද අවසන් නිවේදන පිටුපස ඇත්තේ කුමක් ද?

The Skripal poisoning: What lies behind UK-US ultimatums against Russia?

2018 මාර්තු 14

හිටපු රුසියානු ඔත්තුසේවා ඒජන්තයෙකු මෙන් ම බ්‍රිතාත්‍ය චරපුරුෂයෙකු ද වූ සර්ගේයි ස්ක‍්‍රිපාල් හා ඔහුගේ දියනිය යූලියාට, මාර්තු 4වැනිදා, බ්‍රිතාන්‍යයේ සැලිස්බරි හි දී අද්භූත ලෙස විෂ වැද්දීමෙන් යන්තම් සතියකට වැඩි කාලයකට පසු, විෂ වැද්දීම ගැන දෝෂාරෝපනය රුසියාව මත ඇමිනීමට නැටෝ සන්ධානයේ පාලක කවයන් තුල උද්ඝෝෂනයක් මතු වී ඇත. වොෂින්ටනයේ හා යුරෝපයේ ඉහල නිලධාරීන් විසින් තල්ලුව දෙන ලදුව, බ්‍රිතාන්‍ය ආන්ඩුව මෙම විෂ වැද්දීම ප‍්‍රයෝජනයට ගනිමින් සිටින්නේ බොහෝ දුර දිග යන ගම්‍යයන් සහිතව රුසියාවට එරෙහිව චෝදනා ගෙතීමට ය.

සඳුදා, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අද රාත‍්‍රියේ අවසන් වන, අන්තිම නිවේදනයක් නිකුත් කලේ, මොස්කව් වෙතින් “විශ්වාස කල හැකි” ප‍්‍රතිචාරයක් නැත් නම්, “එක්සත් රාජධානියට එරෙහිව රුසියානු ආන්ඩුව විසින් නීතිවිරෝධී ව බලය පාවිච්චි” කර ඇත යි ඇගේ ආන්ඩුව නිගමනය කරනු ඇත යි ප‍්‍රකාශ කරමිනි. “ඕනෑම නැටෝ සමාජිකයෙකුගේ භෞමික ඒකාබද්ධතාව, දේශපාලන ස්වාධීනත්වය හෝ ආරක්ෂාවට තර්ජනය කරන්නේ” නම් සන්ධානයට සාකච්ඡා කිරීමට බල කරමින්, නේටෝ ගිවිසුමේ 4වැනි වගන්තියේ පිහිට පතන බව අගමැතිනි මේ පාර්ලිමේන්තුවේ දී නිවේදනය කලා ය.

මෙම ප‍්‍රශ්න රටවල් යුද්ධයට යන කාරනා වන අතර, නැටෝ ඉහල නිලධාරීහු, ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමග යුද්ධය සඳහා සිද්ධිය උපයෝගී කරගනිමින් සිටිති. අවශ්‍ය පියවර සඳහා යෝජනා සමග අද පාර්ලිමේන්තුවට පැමැනීමට අගමැතිනි මේ සූදානම් වීමත් සමග, ඊයේ දිනයේ දී, ජාත්‍යන්තර මාධ්‍ය තුල වාර්තා පල වූයේ නැටෝ ගිවිසුමේ 5වැනි වගන්තියේ ද පිහිට පැතීම ගැන ලන්ඩනයේ පාලක කව සාකච්ඡා කරමින් සිටින බව යි. “සන්නද්ධ හමුදා යොදා ගැනීම ඇතුලුව, අත්‍යාවශ්‍ය යැයි ඒත්තු ගන්නා එවැනි පියවර” ගැනීමට තමන්ට පහර දී ඇත යි කියන ඕනෑම නැටෝ සාමාජික රටකට “සහාය” දීමට, සියලු නැටෝ රටවලට මෙම වගන්තිය බල කරයි.

න්‍යෂ්ටික යුද්ධයක අනතුරු ඉහල නංවන එවැනි ප‍්‍රබල තර්ජනයන්ට මුහුන පාන යමෙකු මෙසේ ඇසිය යුතු ය: දැන් බොහෝ අසනීපව සිටින, ස්ක‍්‍රිපාල් හා ඔහුගේ දියනියට විෂ වැද්දුවේ මොස්කව් (තන්ත‍්‍රය) විසින් යැයි පවසන චෝදනාවේ පදනම කුමක් ද?

1991දී සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධරය විසින් ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසු රුසියාව තුල මතු වූ චෞරතන්ත‍්‍රීය ව්‍යාපාරික කතිපයාධිකාරය වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙනී නො සිටියි. ව්ලැඩිමීර් පුටින්ගේ දැනුම ඇතිව හෝ නැතිව ක‍්‍රියා කරමින්, රුසියානු ඔත්තුසේවා කන්ඩායමක්, ස්ක‍්‍රිපාල්ට විෂ වැද්දීමට ඉඩ ඇත යි යන්න ද බැහර කල නො හැක.

එහෙත් ලන්ඩනය හෝ නැටෝව ක්‍රෙම්ලිනයේ සම්බන්ධය පිලිබඳ ද්‍රව්‍යමය සාක්ෂි ඉදිරිපත් කර හෝ උපකල්පිත රුසියානු ප‍්‍රහාරයක අරමුන හෝ තහවුරු කර නොමැත. 1990 ගනන් හා 2000 මුල් කාලයේ ඔහු බ්‍රිතාන්‍යයට ඔත්තු සැපයූ බැවින්, ක්‍රෙම්ලිනයට ස්ක‍්‍රිපාල්ගේ මරනය අවශ්‍ය වී නම්, 2006දී ඔත්තු බැලීම වෙනුවෙන් ඔහු වරදකරු කිරීමෙන් පසු, ලන්ඩනය විසින් හිර කර සිටි රුසියානු ඔත්තුකරුවන් හුවමාරු කර ගැනීම සඳහා වසර හතරකට පසු ඔහු බ්‍රිතාන්‍යට යවනවා වෙනුවට, ඔහු ජීවිතක්ෂයට පත් නො කලේ මන්දැ යි ලන්ඩනය ද පැහදිලි කර නැත.

ඒ වෙනුවට, මොස්කව්වලට චෝදනා කරමින් අති සරල කතාන්දරයක් මතුව ඇත්තේ, තවමත් නො විසඳුනු වෙනත් සිදුවීම් දෙකක් (2014දී යුක්‍රේනයට ඉහල අහසේ දී අංක 17 දරන මැලේසියානු ගුවන්යානයක් වෙඩි තබා බිම දැමීම හා මොස්කව් හි දී විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකු වන බොරිස් නෙම්ස්ටෝව්ට වෙඩි තැබීම) පසු පස ආ නාටක ග‍්‍රන්ථයක් පුනුරුච්චාරනය කරමිනි. රුසියානු ආන්ඩුවට හතුරු රටවල් හෝ පුද්ගලයන් ඉලක්ක කර යම් කිසි අපරාධයක් කෙරෙන්නේ නම්, නේටෝ ආන්ඩු හා මාධ්‍ය පැය කීපයක් ඇතුලත නිගමනය කරන්නේ එය ක්‍රෙම්ලිනය වග කිව යුතු බවට ස්වසාධනයක් බව යි.

සැබවින් ම, ජාත්‍යන්තර දේශපාලනයේ දී, සරල හා ප‍්‍රකට උත්තර එකක් නෑර අදාල සිද්ධිය හෝ ප‍්‍රතිපත්තිය ඇති කරන දේශපාලනික හා ආර්ථික උත්සුකයන්ගේ සංකීර්න ජාලය හෙලිදරව් කිරීමට අසමත් වෙයි. ස්ක‍්‍රිපාල් ප‍්‍රහාරය ල කරේ (Le Carré) ඔත්තු නව කතාවක් විය යුතු වී නම්, මේ දක්වා වන චෝදනා පොතේ පලමු පිටු 10 ගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන අතර, ඊට පසු ඊ ලඟ පිටු 400 පුරා සැබෑ කතාව දිග හැරෙනු ඇත. එවැනි අවස්ථාවල දී මතු කල යුතු ප‍්‍රශ්න වන්නේ: චෝදනා කරන්නාගේ විශ්වසනීයත්වය කුමක් ද, විශේෂයෙන් ම, අපරාධයෙන් වාසි ලබන්නේ කව්රුන් ද? යන්න යි.

රුසියාව ස්ක‍්‍රිපාල්ට විෂ වැද්දූ බව පැහදිලි යැයි කියන අයට, 2001 එක්සත් ජනපදයේ ඇන්ත‍්‍රැක්ස් ප‍්‍රහාරය මතක් කර දීම වටී, සැප්තැම්බර් ප‍්‍රහාරය ක්ෂනික ඉක්බිත්තේ, මෙහි දී මාරාන්තික ඇන්ත‍්‍රැක්ස් මාදිලියක් වොෂින්ටනයේ බොහෝ නිලධාරීන්ට තැපල් කෙරුනේ, පුද්ගලයන් පස්දෙනෙකු මරා දමමින් හා තවත් 17දෙනෙකුට ආසාධනය කරමිනි. එහි දී නැවතත්, මාධ්‍ය වහා ම ප‍්‍රහාරයන්ට දෝෂාරෝපනය කලේ එක්සත් ජනපද -එක්සත් රාජධානී යුද්ධයේ ප‍්‍රකට ඉලක්කවලට ය, එනම් ඉරාක තන්ත‍්‍රයේ ජන ඝාතක අවි වැඩසටහන හා අල් කයිඩාව සමග එහි චූදිත බැඳීම්වලට ය? ඉරාකය සමග යුද්ධයට යෑමට එය උත්සාහ කිරීමත් සමග මේවා වොෂින්ටනයේ විදේශ ප‍්‍රතිපත්ති උත්සුකයන්ට සේවය කල බොරු බව ඔප්පු වුනි.

එමෙන් ම, එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමනය කර වාඩිලා ගැනීමෙන් පසු, ඉරාකයට ජන ඝාතක අවි නො තිබුන අතර, ප‍්‍රහාරයට වග කිව යුතු නැති බව පැහදිලි වීමත් සමග, පැහදිලි වූයේ ප‍්‍රහාරයන්ට යොදා ගැනුනු විශේෂ ඇන්ත‍්‍රැක්ස් මාදිලිය සැබවින් ම නිර්මානය කෙරී තිබුනේ මේරි ලෑන්ඩ් හි, ඩෙට්‍රික් බල කොටුවේ පිහිටි වොෂින්ටනයේ ම ජන ඝාතක අවි වැඩසටන මගින් බව යි. එක්සත් ජනපද විද්‍යාඥ, ස්ටීවන් හැට්ෆිල් වග කිව යුතු බවට කට කතා පැතිර ගිය නමුත්, පරීක්ෂා කොට, අන්තිමේ දී නිදහස් කෙරුනි.

ඇන්ත‍්‍රැක්ස් ප‍්‍රහාරය ක‍්‍රියාවට නැගීමට කුමන එක්සත් ජනපද නිලධාරියා සම්බන්ධ වී දැයි යන්න මේ දක්වා රහසක් ව තිබේ. එෆ්බීඅයි සංවිධානය 2010දී පරීක්ෂනය අවසන් කලේ, වෙනත් විද්‍යාඥයෙකුට, එනම් 2008දී සිය දිවි නසා ගත් එඩ්ගාර් අයිවන්ස්ට දෝෂාරෝපනය අමුනමිනි. කෙසේ නමුත්, එක්සත් ජනපද විද්‍යාව පිලිබඳ ජාතික ශාස්ත‍්‍රාලය (National Academy of Sciences) නිගමනය කලේ, ප‍්‍රහාරයයන්ට යොදා ගැනුනු ඇන්ත‍්‍රැක්ස් අයිවින්ගෙන් ආ බවට නිශ්චිතව ම සහතික කිරීමට එක්සත් ජනපද ආන්ඩුවට ප‍්‍රමානවත් විද්‍යාත්මක සාක්ෂි නො තිබූ බව යි.

ස්ක‍්‍රිපාල් ප‍්‍රහාරයේ දී, මොස්කව්ව වාසි ලබනු ඇත්තේ කෙසේ ද යන්න අපැහැදිලි ය. මෙම සති අන්තයේ රුසියාවේ මැතිවරනයට යන්තම් පෙර ප‍්‍රහාරය සිදු වූයේ, මෑත සතිවල දී එක්සත් ජනපද හමුදා සිරියාව තුල රුසියානු මිලිටරි කොන්ත‍්‍රාත්කරුවන්ට පහර දී ඝාතනය කිරීම ප‍්‍රදර්ශනය කර ඇති සිරියාවේ තන්ත‍්‍ර වෙනස සඳහා වන ඔවුන්ගේ අසාර්ථක යුද්ධය සම්බන්ධයෙන් නේටෝ බලවතුන් රුසියාව සමග ගැටුමක් කුපිත කිරීමත් සමග ය. ඊට වඩා වෙනස් ලෙස, ස්ක‍්‍රිපාල් ප‍්‍රහාරය රුසියාවට එරෙහිව යොදා ගැනීමට නේටෝව තුල පුටින්ගේ හතුරන් අත නියම රාජ්‍යතාන්ත‍්‍රික හා දේශපාලනික අවියක් තබා ඇත.

වඩාත් ම වාසි ගලා යන්නේ රුසියාවට එරෙහිව යුද භීතිකාව මොලවමින් සිටින්නා වූ බ්‍රිතාන්‍ය හා යුරෝපීය කන්ඩායම්වලට මෙන් ම, රුසියාවේ ඒජන්තයෙකු යැයි උපකල්පිත ට‍්‍රම්ප් අපකීර්තියට පත්කිරීමට වැඩ කරමින් සිටින, විශේෂයෙන් ම සීඅයිඒ හා ඩෙමොක‍්‍රටික් පක්ෂය වටා වන ඇමරිකානු පාලක ප‍්‍රභුවේ කන්ඩායම්වලට ය. යුරෝපීය පාලක පන්තියේ තරඟකාරී කන්ඩායම් මත, විශේෂයෙන් ම එක්සත් ජනපදයෙන් ස්වාධීන යුරෝපා විදේශ ප‍්‍රතිපත්තියක් ද රුසියාව සමග කිට්ටු බැඳීම් ද ඉල්ලා සිටින, සැලකිය යුතු ලෙස ප‍්‍රන්ස හා ජර්මානු ආන්ඩුවල කන්ඩායම් මත අතිවිශාල පීඩනයක් තැබීමට ස්ක‍්‍රිපාල් ප‍්‍රහාරය මෙම කන්ඩායම්වලට ඉඩ ලබා දෙයි.

ඒ අනුව, සඳුදා, හිටපු ප‍්‍රන්ස ජනාධිපති ෆ‍්‍රැන්කොයිස් ඔලන්ද්, බර්ලිනය සමග කිට්ටුවෙන් වැඩ කරමින් සිටින, ඔහුගේ අනුප‍්‍රාප්තික, එමානුවල් මැක්‍රෝන්ට, ල මොන්ඬේ පත‍්‍රය තුලින් විවෘත තියුනු ප‍්‍රහාරයක් එල්ල කලේ ය. වර්තමාන නේටෝ ප‍්‍රතිපත්තිය “තම විරුද්ධ පාර්ශ්වය දිය කර හැරීමටත් තමන්ගේම මිනිසුන් ඝාතනය කිරීමටත්” මොස්කව් හා සිරියානු ආන්ඩුවට ඉඩ ලබා දෙන බව අවධාරනය කරමින්, ඔලන්ද් මොස්කව් සමග ගැටුමක් ඉල්ලා සිටියේ ය: “රුසියාව වසර ගනනවාක් තිස්සේ යලි සන්නද්ධ වෙමින් සිටනවා, රුසියාව තර්ජනය කරමින් සිටිනවා නම්, එයට තර්ජනය කල යුතු ය.”

ඊයේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ප‍්‍රහාරය ගැන බිතාන්‍ය තක්සේරුව ගැන එක්සත් ජනපදයට “සම්පූර්න විශ්වාසය” ඇති බව පැවසී ය; ඊට පසු රුසියාව “වග කියනවා විය හැකි” බව පමනක් ප‍්‍රකාශ කරමින් ඔහු පැහදිලිව ම එම ප‍්‍රකාශයට විරුද්ධව කතා කලේ ය. මෙම ප‍්‍රකාශය කල ක්ෂනික ඉක්බිත්තේ ටිලෙර්සන් තනතුරින් පහ කිරීම නො තකා, ට‍්‍රම්ප් රුසියානු දුස්සාහය ගැන ටිලෙර්සන්ගේ චෝදනාව දෝංකාර නැංවූයේ, “ඔවුන්ට ඇති සියලූම සාක්ෂි මත පදනම් වී, එය මට හැඟෙන්නේ එය රුසියාව විය හැකි” බව යැයි ප‍්‍රකාශ කරමිනි.

මෙම තත්වයන් යටතේ, හා ඇන්ත‍්‍රැක්ස් ප‍්‍රහාරයේ අත්දැකීමෙන් පසු, බ්‍රිතාන්‍ය හා ඇමරිකානු රාජ්‍යවල ම කන්ඩායම් ස්ක‍්‍රිපාල් ප‍්‍රහාරයේ මූලික සැකකරුවන් වන බව පැවසිය යුතු ය.

ලන්ඩනය රුසියාවට එරෙහි තම චෝදනාව මුලුමනින් ම පදනම් කර ඇත්තේ, සමපාතී ලෙස සැලිස්බරයට සැතපුම් 10ක් පමනක් ඈතින් පිහිටා ඇති, තම පෝටොන් ඩවුන් ජෛවරසායනික යුද කටයුතු ආයතනයේ සීරුමාරු විශ්ලේෂනය මත ය. මුල දී, ලන්ඩනය චෝදනා කලේ, ස්ක‍්‍රිපාල් හෙරෝයින්වලට වඩා බලගතු කෘතිම මත්ද්‍රව්‍යයක් වන, ෆෙන්ටනිල් ඖෂධයට (නිර්වින්දන ඖෂධයකි) නිරාවරනය වී සිටි බව යි. එනමුත්, මාර්තු 7වැනිදා, බ්‍රිතාන්‍ය නිලධාරීන් විෂ නර්ව් ගෑස් සරින් වැනි දෙයක් යැයි චෝදනා කලේ, දශක ගනනාවක් නර්ව් ගෑස් නිෂ්පාදනයේ විශේෂඥ දැනුමක් ලබා ඇති පෝටොන් ඩවුන් ආයතනය, එය පාවිච්චි කෙරුනාට පසු, එකක් හඳුනා ගැනීමට අසමත් වූයේ මන් දැ යි පැහදිලි කිරීමකින් තොරව ය.

සඳුදා, ප‍්‍රශ්නයට භාජනය වන නර්ව් ගෑස්, සෝවියට් සංගමය මුල දී නිෂ්පාදනය කරන ලද විශේෂ රසායනික අවියක් වූ “නොවිකොක්”, බවට අගමැතිනි මේ චෝදනා කලා ය. කෙසේ නමුත්, රසායනික අවි සම්මුතිය (Chemical Weapons Convention) අපේක්ෂිත පරිදි, විශ්ලේෂනය සඳහා සැලිස්බර් ප‍්‍රහාරයට යොදා ගැනුනු ද්‍රව්‍යයේ සාම්පලයක් සපයන්නැ යි මොස්කව් කල ඉල්ලීම ලන්ඩනය ප‍්‍රතික්ෂේප කර ඇත. මෙතැන් සිට, අඩු තරමින්, රුසියාවට එරෙහි සිද්ධිය පදනම් වන්නේ පෝර්ටොන් ඩවුන් ආයතනය එසේ කීම මත ය.

කෙසේ වුවත්, පොර්ටොන් ඩවුන් ආයතනය විශ්වාස කල හැකි මූලාශ‍්‍රයක් නො වේ. බ්‍රිතාන්‍ය වැසියන් සම්බන්ධ ජෛවවිද්‍යාත්ම හා රසායනික අවි පිලිබඳ නීති විරෝධී මෙන්ම අභිරහස් පරීක්ෂා කිරීම් පිලිබඳ දීර්ග වාර්තාවක් එයට ඇත. 1942 ගෘයිනාඩ් දූපත ඇන්ත‍්‍රක්ස් බීජානු සමග දූෂනය වීම (1986දී මෙය පවිත‍්‍ර කිරීමට බ්‍රිතාන්‍ය ආන්ඩුවට බල කෙරුනි); 1953 බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් සම්බන්ධ සරින් ගෑස් පරීක්ෂනය අතරතුර දී රොනල්ඞ් මැඩිසන්ගේ නීති විරෝධී මරනය; හා 1963-1975 අතරතුර ලයිම් බේ හි ජෛව අවි ඉසීම මෙයට අතුලත් විය. 2008දී එවැනි අත්හදා බැලීම්වල දී විපතට පත්වූවන්ට බ්‍රිතාන්‍ය ආන්ඩුව පවුම් මිලියන 3ක් ගෙව්වේ, වගකීම නො පිලිගනිමිනි.

තවමත් සැක කටයුතු ස්ක‍්‍රිපාල්ට විෂ විදීමේ සිද්ධිය මත එවැනි මූලාශ‍්‍රයන් විසින් රුසියාවට එරෙහිව එල්ල කෙරෙන මෙම චෝදනාවලට කිසි විටක විශ්වාසයේ ලේශමාත‍්‍රයක් හෝ නොමැත. පරීක්ෂනයේ ප‍්‍රගතිය අතරතුර දී ම ඒවායේ සොයා ගැනීම් ප‍්‍රසිද්ධ කෙරෙන, සම්පූර්න, වෛෂයික ජාත්‍යන්තර ප‍්‍රසිද්ධ පරීක්ෂනයකට පමනක්, සිදු වූයේ කුමක් ද යන සත්‍ය ස්ථාපිත කිරීමට හැක. මේ අතර, රුසියාවට එරෙහි පාලක ප‍්‍රභූව යුද ගිනි මෙලවීම හා න්‍යෂ්ටිකව සන්නද්ධ ලෝකයේ ප‍්‍රධාන බලවතුන් අතර සම්පූර්න ගැටුමක තර්ජනයට විරුද්ධ වීම ඇමරිකාව, යුරෝපය මෙන් ම ලොව වටා කම්කරුවන්ගේ ස්වයං ආරක්ෂාව සඳහා තීරනාත්මක පියවරකි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: