ඇමරිකාව තුල තුවක්කු ප‍්‍රචන්ඩත්වයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවල අර්ථභාරය

The significance of the mass student protests against gun violence in America

2018 මාර්තු 16

ෆ්ලොරිඩාහි පාක්ලෑන්ඩ් උසස් පාඨශාලාවේ සමූහ ඝාතනයෙන් එක් මසක් සම්පූර්න වූ මාර්තු 14දා ඇමරිකාවේ තුවක්කු ප‍්‍රචන්ඩත්වයට හා සමූහ වෙඩිතැබීම්වලට විරෝධය පෑම සඳහා මිලියනයකට ආසන්න ශිෂ්‍යයෝ තම පන්ති කාමරවලින් එලියට ආහ.

එක්සත් ජනපදයේ සෑම ප‍්‍රාන්තයක ම ද එයට අයත් පුඑතෝ රිකෝ ජනපදයේ ද පන්ති වර්ජන, රැලි හා විරෝධතා පවත්වනු ලැබිනි. ජාත්‍යන්තර ව ගත්කල ජපානය, ටැන්සානියාව, ඊස්රායලය, අයිස්ලන්තය, මෙක්සිකෝව, කොලොම්බියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය හා යුරෝපය පුරා අනෙකුත් බොහෝ රටවල ද විරෝධතා පැවැත්වුනි.

මාර්තු 14 විරෝධතා, මාර්තු 24 සෙනසුරාදා දින පාක්ලෑන්ඩ් ඝාතනයෙන් බේරුනු ශිෂ්‍යයන් විසින් සංවිධානය කර ඇති විරෝධතාවන්ට පූර්විකාවකි. වොෂින්ටන් ඩීසී නගරයේ අවම වසයෙන් මිලියන බාගයක් ජනයා පෙලපාලි යතැයි අපේක්ෂිත වන අතර එක්සත් ජනපදයේ සෑම ප‍්‍රාන්තයක ම හා ලොව පුරා රටවල් දුසිම් ගනනක ආසන්න වසයෙන් විරෝධතාවන් 800ක් සැලසුම් කරනු ලැබේ.

ඩිමොක‍්‍රටික් පක්ෂය හා ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ඉහලින් දිරිමත් කරන පරිදි මෙම විරෝධතාවන්ගේ ක්ෂනික ඉලක්කය තුවක්කු සීමා කිරීම යි. දේශපාලන සංස්ථාපිතය තුල තිබෙන “විසඳුම්” වන්නේ, පාසල් වඩ වඩා මිලිටරීකරනය හෝ ඒවාට පොලීසිය යෙදවීමට සීමා වෙමින් රාජ්‍යයේ බලතල ඉහල දැමීමට අනිවාර්යයෙන් ගසාකනු ඇත්තා වූ සන්නද්ධ අවි මිලට ගැනීම මත සීමා පැනවීම යි.

පෙර නුවූ විරූ සමාජ අසමානතාව, නො නවතින යුද්ධය, සමාජය මිලිටරීකරනය කිරීමේ ප‍්‍රතිවිපාක සහ අධ්‍යාපනය හා සමාජ වැඩසටහන්වල අරමුදල් කැපීම යන පාසල් ප‍්‍රචන්ඩත්වයට යටින් දිවෙන හේතු රිපබ්ලිකානුවන් හා ඩිමොක‍්‍රටිකයන් විසින් එකාකාර ව නො තකා හරින්නේ, මෙම සමාජීය ප‍්‍රපංචයෙහි මූලයන් ගැඹුරින් විභාග කිරීමක් එය වර්ධනය වී ඇති සමාජ අර්බුදය නිර්මානය කිරීමේ දී ඔවුන් ම ඉටුකල ක‍්‍රියාකලාපය හෙලිදරවු වනු ඇති නිසා ය.

පාසල් වෙඩිතැබීම් වසංගතය පිටුපස වඩාත් මූලික හේතු පවතින්නාක් මෙන් ම තරුන ජනයා අතර පුලුල් පරිමානයේ විරෝධතාවන් පැනනැගීම පිටුපස අතිශය මූලික හේතු පවතී. ඇමරිකානු පාසල් තුල තරුන ජනයා ඝාතනය කිරීමේ පහසුව හා වාර සංඛ්‍යාව පිටුපසින් රටේ පාලක කතිපයාධිකාරය තරුන ජනයාගේ ජීවිත ගැන දක්වන නොසැලකිල්ල හා අවඥාව පිලිබඳ රෝග ලක්ෂනයක් ලෙස ඔවුන් අතර පැතිරුනු හැඟීමක් පවතී.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) රටපුරා ශිෂ්‍යයන් සමග කල සාකච්ඡාවල දී තරුන ජනයා ආයුධ පාලනයට වඩා පුලුල් ප‍්‍රශ්න කෙරෙහි තැකීමෙන් පසුවන බව දැනගන්නට ලැබුනි.

නිව් යෝක් ශිෂ්‍යයන් මෙම සිද්ධියට සහභාගි වීමට හේතුව ලෙස කීවේ විශේෂයෙන් මානසික සෞඛ්‍යය ඇතුලු සෞඛ්‍යාරක්ෂනය කෙරෙහි පවතින ප‍්‍රශ්න බව යි. වොෂින්ටන් ඩීසීහි ශිෂ්‍යයෝ මිලිටරි අයවැය හා යුද ධාවනය හෙලා දුට හ. සැන් ඩියේගෝහි ශිෂ්‍යයෝ “ආන්ඩුව දුවවන්නේ සංගත විසින්” යයි විශ්වාස කරන බව කියමින් සමස්ත දේශපාලන සංස්ථාපිතය හෙලා දුටුවෝ ය.

මිචිගන් ප‍්‍රාන්තයේ ෆ්ලින්ට්හි ශිෂ්‍යයෙක් වන කෙන්ටන් තමන්ගේ පරම්පරාවේ දෘෂ්ටිය සමාජ කොන්දේසි විසින් සකසා ඇත්තේ කෙසේදැයි විස්තර කලේ ය: “ජනයා අතර තමන්ට නරක අතකින් පහර වැදී ඇති බවත් එයට ප‍්‍රතිප‍්‍රහාර දියයුතු බවත් ගැඹුරු හැඟීමක් පවතිනවා. මගේ දෙමව්පියොයි ආච්චිල සීයලයි එංගලන්තෙ ඉඳන් මෙහෙට ආපු කාලෙ කර්මාන්තශාලාවක හොඳ රැකියාවක් ලැබීමේ ඉඩකඩ තිබුනා. ඒත් දැන් උසස් අධ්‍යාපනයක් නැත්නම් අපිට සිද්ධ වෙන්නෙ වෝල්මාට් සංගතයෙ හරි ගෑස් විකුනන ස්ථානයක හරි වැඩ කරන්න.”

එක්සත් ජනපදය පුරා ජ්‍යෙෂ්ඨ උසස් පාඨශාලා සිසුන්ගේ ජීවන අත්දැකීම් සැලකිල්ලට ගන්න. සියවස ආරම්භයේ දී උපත ලැබූ ඔවුන්ගේ වයස, බුෂ් පරිපාලනය විසින් සමස්ත භූගෝලය ම අලලා ගත් “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප‍්‍රකාශයට පත්කරද්දී අවුරුද්දක් වන්නට ඇත.

ඔවුන්ගේ වයස අවුරුදු අටක් වෙද්දී අලුතෙන් පත්වූ ඩිමොක‍්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමා විසින් බැංකුවලට ඇප තැබීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෝල් වීදියට හැරවීමට හේතු වූ මූල්‍ය අර්බුදය විසින් සමාජ අතෘප්තියේ වඩදිය රැල්ලක් නිර්මානය කලේ ය. සින්න වීම හේතුවෙන් නිවාස අහිමි වූ, බංකොලොත් වීමට බලකෙරුනා වූ හෝ රැකියා අහිමි වූ මිලියන ගනන් ජනයා අතර ඔවුන්ගේ දෙමව්පියන් සිටින්නට ඇත.

වයස අවුරුදු 14 වනවිට ඔවුන් මිසූරිහි ෆර්ගියුසන් නගරයේ වීදියක දී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබා මරා දැමූ මයිකල් බ‍්‍රවුන්ගේ ඝාතනය පිලිබඳ ප‍්‍රවෘත්තිය අසා තිබෙනවා වන්නට පුලුවන. සන්නද්ධ රථවාහන සහිත ව දිගේලි කරනු ලදුව පතරොම් පිරවූ ප‍්‍රහාරක රයිෆල්වලින් සැරසුනු කැරලි මර්දන ස්වැට් පොලිස් කන්ඩායම් පොලිස් ප‍්‍රචන්ඩත්වයට විරුද්ධ ව විරෝධතා පවත්වන්නන්ට රබර් උන්ඩවලින් වෙඩි තැබීම හා ගම්මිරිස් ඉසීම ඔවුන් රූපවාහිනියෙන් දැක තිබෙනු ඇත. ඔවුන්ගේ උසස් පාඨශාලා ජීවිතයේ ඊ ලඟ වසර කිහිපය තුල ඒ හා සමාන මරා දැමීම් පෙන්වන වීඩියෝ පටි යලි යලිත් දැක තිබෙන්නට පුලුවන. ඔවුන්ගේ ජීවිත කාලය තුල පොලීසිය විසින් මිනිසුන් 15,000කට අධික පිරිසක් මරා දැම්මේ ය.

දැන් 18වන වියේ පසුවන මෙම තරුන ජනයා විරැකියාව, නො නවතින යුද්ධය, හැල්මේ ඉහල යන අසමානතාව හා ආන්තික දුගී බව ආදියෙන් ඇවුරුනු ලෝකයකට මුහුන දෙති. ඔවුන් විශ්ව විද්‍යාලයට යාමට තීරනය කලහොත් ඩොලර් දසදහස් ගනනක් නො වේ නම් සියදහස් ගනනක් වන ශිෂ්‍ය නය මගින් ඔවුන් ව පක්ෂගාත කරනු ලැබේ. නවීන ඉතිහාසයේ පලමු වතාවට ඔවුන්ගේ පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාවට වඩා අඩු ජීවිත කාලයක් ගෙවමින් හා අඩු මුදලක් හරිහම්බ කරමින් දිවිගෙවනු ඇත.

සමස්ත රටපුරා කම්කරු පන්තික තරුනයන්ගේ අලුත් පරම්පරාවේ ජීවිත හැඩගස්වා ඇත්තේ මෙම අත්දැකීම් විසිනි. එක්සත් ජනපදය තුල බොහෝ තරුන ජනයා ධනවාදයට වඩා සමාජවාදයට කැමති බව මත විමසුම් මගින් පෙන්වා දෙයි. ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ කතිපයාධිකාරී දක්ෂිනාංශික මුහුන ලෙස තරුනයන් විසින් හඳුනා ගන්නා වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහි ව සෞඛ්‍ය සම්පන්න වෛරයක් පවතී. මිලියන ගනන් දෙනා වෝල් වීදියේ සංගත හිතවාදී හා මිලිටරි-රහස් තොරතුරු ඒජන්සීන්ගේ පක්ෂය ලෙස පලල් ව සලකන ඩිමොක‍්‍රටික් පක්ෂය ගැන ද එවැනි ම කලකිරීමකින් පසුවෙති.

ඩිමොක‍්‍රටික් පක්ෂය තරුන ජනයාට ඉදිරිපත් කරන්නේ කුමක් ද? ඩිමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප් කෙරෙහි දක්වන විරුද්ධත්වයේ ප‍්‍රධාන සංරචකය වන රුසියාව කෙරෙහි වඩා ආක‍්‍රමනශීලී පිලිවෙතක් අනුගමනය කිරීම ඉෂ්ට කරගැනීමට ඔවුන් සමත් වූවහොත්, මාර්තු 14දා විරෝධතා දැක්වූ බොහෝ තරුනයන් ව ඇමරිකානු පාලක පන්තියේ භූදේශපාලනික ආධිපත්‍යධාරී අවශ්‍යතා වෙනුවෙන් මිනී මැරීමට හෝ ඝාතනයට ලක්වීම සඳහා යවනු ඇත්තා වූ යුද්ධයක් ආරම්භ කරන බව එහි අර්ථය යි.

ඩිමොක‍්‍රටික් පක්ෂය තම සමස්ත මැතිවරන මූලෝපාය වර්ගය, ලිංගිකත්වය, ජනවර්ගය හා අනෙකුත් අනන්‍යතාවන් මත පදනම් කර තිබුන ද පාසල් ප‍්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවන් සෑම වාර්ගික හා ජනවාර්ගික පසුබිමක ම කම්කරු පන්තික තරුනයන් එක්සත් කර තිබීම සැලකිල්ලට ලක් විය යුතු ය.

මෙම විරෝධතාවල දේශපාලන සීමා සහිත ස්වභාවය වෘත්තීය සමිති විසින් දිගු කලක් තිස්සේ කම්කරු පන්තික අරගල මර්දනය කිරීම සමග බැඳී තිබේ. එහෙත් මෑතක හටගත් බටහිර වර්ජිනියාවේ ගුරුවරුන්ගේ අරගලය තුල සිදු වූවාක් මෙන් පන්ති අරගලය වර්ධනය වන විට, අධ්‍යාපන කම්කරුවන් වෘත්තීය සමිතිවල පාලනයෙන් තාවකාලික ව අත් මිදී උසස් පාඨශාලා ශිෂ්‍යයන් ද සමගින් ප‍්‍රාන්ත අගනුවර වන චාල්ස්ටන්හි දී මහජන විරෝධතාවක් සංවිධානය කරද්දී කම්කරුවෝ හා තරුනයෝ බලගතු ලෙස ප‍්‍රතිචාර දැක්වූ හ.

ඉදිරියේ එලඹෙන දේවල් පිලිබඳ ඉඟියක් වන එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව තරුන ජනයාගේ දේශපාලනීකරනය සසජාතශි සාදරයෙන් පිලිගනී. එහෙත් කම්කරු පන්තික තරුනයන් හා සමස්තයක් ලෙස කම්කරු පන්තිය මුහුන දෙන අර්බුදය විසඳීමට අවශ්‍ය දේශපාලන මූලෝපායක, ක‍්‍රියාමාර්ගයක හා ඉදිරිදර්ශනයක අඩු පාඩුව පවතී.

ඇමරිකාව තුල පලල් ප‍්‍රචන්ඩත්වයේ නො නවතින දාමයේ හා තරුනයන් මුහුන දෙන අනෙකුත් සමාජීය ගැටලුවලට මූලික හේතුව වන්නේ ධනේශ්වර පද්ධතිය හා එමගින් නිර්මිත බියකරු ලෝකය යි. තරුනයන්ගේ හා ශිෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා හා ඉල්ලීම්, කම්කරු පන්තිය දේශපාලනය බලය සඳහා කරන අරගලයෙන් සහ අසමානතාව හා යුද්ධය අවසන් කර සමාජවාදී සමාජයක් ස්ථාපනය කිරීමට කරන අරගලයෙන් පිටස්තර ව ඉෂ්ට කරගත නොහැක.

ගෙනවීව් ලෙයි

Share this article: