මුහුනුපොතේ දත්ත සෝලිය පිටුපසින්: අන්තර්ජාලය වාරනය කිරීම සඳහා වන ධාවනය

Behind the Facebook data scandal: The drive to censor the Internet

2018 මාර්තු 23

ප්‍රමුඛ පෙලේ සමාජ හා දේශපාලන වර්ධනයන්ගෙන් ගහන ගෙවුනු සතිය තුල, ට්‍රම්ප්ගේ හිටපු මැතිවරන උද්ඝෝෂන සභාපති ස්ටීව් බැනන් සමග කලින් සමීප ව සිටි කේම්බ්‍රිජ් ඇනලිටිකා මැතිවරන දත්ත සමාගම සමග මුහුනුපොතේ සම්බන්ධය අරබයා වන සෝලිය තරම් එක්සත් ජනපද මාධ්‍ය ද්වාරයන් අරක්ගත් වෙන එකදු මාතෘකාවක් වත් නැත.

මේ සතිය පුරා එක් දිනකට අවම වසයෙන් එක් මුල් පිටු ලිපියක් වත් පලකල නිව් යෝක් ටයිම්ස් පත්‍රය ගෙවී ගිය දින පහෙන් තුනක ම කතන්දරයට නායකත්වය දී ඇත. ප්‍රධාන ධාරාවේ අනෙකුත් මාධ්‍ය එය ම අනුගමනය කරමින් කිසිදු සාක්ෂි සහිත මහජන අනුගාමිකත්වයකින් තොර ව, සමාජ මාධ්‍ය සමාගමෙන් ඉවත් වන ලෙස කරන මුහුනුපොත මකා දමන්න නමැති කල්තබා සැලසුම් කල හෑෂ් ටෑග් උද්ඝෝෂනයක් දිරිගන්වති. මෙම උද්ඝෝෂනයට ප්‍රතිචාර වසයෙන් මුහුනුපොතේ කොටස් මිල සියයට 11කින් වැටී ඇත්තේ සමාගමේ වෙලඳපොල පිරිවැටුමෙන් ඩොලර් බිලියන 50ක් අතුගා දමමිනි.

මුහුනුපොත භාවිතා කරන මිලියන 50 ගනනක පුද්ගලික තොරතුරු කේම්බ්‍රිජ් ඇනලිටිකා විසින් එක්රැස් කිරීම පුද්ගලිකත්වය පිලිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරයි. නිව් යෝක් ටයිම්ස් හා ගාඩියන් විසින් එක්වර කතන්දරය නිකුත් කිරීම මගින් අවුලුවන ලද මාධ්‍ය ගිනිජාලාවට, වඩා අඳුරු හා දුෂ්ට අභිප්‍රේරනයන් තිබේ. මැතිවරන දත්ත සෝලිය ආවරනයක් ලෙස භාවිතා කරන මාධ්‍ය, රහස් තොරතුරු ඒජන්සි හා ඉදිරිපෙලේ ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයන් සමග ක්‍රියාකරමින් ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය ජාලය මත පලවන දේශපාලන විරුද්ධත්වය මතට කඩාපැනීමට අවශ්‍ය කරන වටපිටාවක් නිර්මානය කිරීම සඳහා ක්‍රම සොයමින් සිටී.

ධනේශ්වර මැතිවරන උද්ඝෝෂනවල ආස්ථානයෙන් ගත්කල සුවිසල් දත්ත එක්රැස් කරගැනීමේ මෙහෙයුම් ඉතා යහපත් ය. 2012 ඔබාමා යලි තේරී පත්වීමේ උද්ඝෝෂනය කේම්බ්‍රිජ් ඇනලිටිකා කල දෙය ම කලේ භාවිතා කරන්නන්ගේ සමස්ත තොරතුරු රැස්කල මුහුනුපොත් ක්‍රමලේඛයක් ස්ථාපනය කරමින් මිලියන 190ක් දෙනාගේ දත්ත සොයාගත්තේ ය. ඒ සමයේ මෙම ක්‍රියාව පලල් ව වාර්තා කරනු ලැබුවා පමනක් නො ව ප්‍රමුඛ පෙලේ ප්‍රවෘත්ති ද්වාරයන් විසින් උද්ඝෝෂනයේ නවීනත්වය හා ඉදිරිගාමී චින්තනය පිලිබඳ සාක්ෂියක් ලෙස හුවාදැක්වීම ද කලේ ය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සතුව තිඛෙන මුහුනුපොතේ සුවිසල් දත්ත ගබඩාවට ප්‍රවේශය තිබුනත් ට්‍රම්ප්ගේ උද්ඝෝෂනය එම දත්ත භාවිතාවට නොගත්තේ එය සතුව ඒ වනවිටත් රිපබ්ලිකානු ජාතික කමිටුවෙන් ලැබුනු වඩා විශාල, විස්තීර්න හා වඩා නිරවද්‍ය දත්ත සමුදායක් තිබුනු බැවිනි.

අන් කවරදාටත් වඩා ධනවත් බිලියනපති ආධාර දෙන්නන්ගෙන් ලබාගන්නා ඩොලර් මිලියන ගනනක මුදල් අතැති නවීන ධනේශ්වර මැතිවරන උද්ඝෝෂන, සිය ගනනක් නො වේ නම් දහස් ගනනක් - මින් බොහෝ දෙනා පරිගනක විද්‍යාව හෝ සංඛ්‍යානය පිලිබඳ ඉහල උපාධිධරයන් ය- මාන්ඩලික නිලධාරීන් ලෙස නියුක්ත කරන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා, ප්‍රමානය නීර්නය කොට විශ්ලේෂනය කරන්නේ, ඔවුන්ගේ දේශපාලන අදහස් මත බලපෑම් කොට ඒවා සකස් කිරීමේ එල්ලය ඇති ව ය.

මුහුනුපොත විසින් සෙනෙට් රහස් තොරතුරු කමිටුවට බාරදුන් වාර්තාවකට අනුව මැතිවරනයෙන් පෙර හා පසුව ඩොලර් 100,000ක පමන මුහුනුපොත් වෙලඳ දැන්වීම් මිල දී ගැනීම් අඩංගු කරගත් 2016 ජනාධිපතිවරනයට කලායයි කියන —රුසියානු අතපෙවීම්˜, මෙම මෙහෙයුම් විසින් අතිශයින් අඟුටුමිටි තත්ත්වයට පත්කරයි.

මැතිවරනය තුල කේම්බ්‍රිජ් ඇනලිටිකා ඉටුකල සුලුපහේ පරිමානයේ භූමිකාව සමග ගත්කල “මුහුනුපොත මකා දමන්න” යනුවෙන් මාධ්‍ය විසින් ගෙනයන යෝධ උද්ඝෝෂනයට හේතුව කුමක් ද?

බටහිර වර්ජිනියාවේ ආරම්භ වී ඔක්ලහෝමා, ඇරිසෝනා හා අනෙකුත් ප්‍රාන්තවලට පැතිර යාමේ අවදානම පවතින අධ්‍යාපන කම්කරුවන්ගේ වර්ජන ව්‍යාපාරය පිලිබඳ ව අනතුරු අඟවමින් —හොඳට ම ඇති, මීලඟට පාරට බසිනු ඇත්තේ ඔක්ලහෝමා ගුරුවරුන් ය˜ යන හිසින් මාර්තු 21දා නිව් යෝක් ටයිම්ස් පත්‍රය පලකල මුල් පිටුවේ වාර්තාවක් තුල මෙම උද්ඝෝෂනය යටින් දිවෙන සැබෑ හේතූන් දැකගත හැකි ය.

“මුහුනුපොත් කන්ඩායම් කිහිපයක් පාරට බැසීමක් සඳහා තල්ලුව දෙමින්” සිට ඇතැයි ද “සාමාන්‍ය සාමාජික ගුරුවරුන්” වෘත්තීය සමිති රාමුවෙන් පිටත සංවිධානය වීම සඳහා සමාජ මාධ්‍ය ජාලය භාවිතා කර ඇතැයි ද ලිපිය සඳහන් කරයි.

මුහුනුපොතේ චූදිත දත්ත අවභාවිතය අරබයා මාධ්‍ය ගෙනයන ගිනිජාලාවේ සැබෑ ඉලක්කය වන්නේ වර්ධනය වන කම්කරු-පන්තික විරෝධය යි. මාධ්‍ය උද්ඝෝෂනයේ ඉලක්කය වන්නේ වඩා නිශ්චිත වාරන පියවරයන් හඳුන්වා දීමේ වටාපිටාවක් නිර්මානය කිරීම යි.

සම්මුඛ සාකච්ඡා එකකට පසු තවෙකක දී චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් තම පැරනි ආස්ථාන ආපසු හරවන මුහුනුපොතේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂෙරිල් සෑන්ඩ්බර්ග්, දේශපාලන වෙලඳ දැන්වීම් මිලට ගැනීම් දැඩි ලෙස සීමා කිරීම මගින් එක්සත් ජනපද දේශපාලනය තුලට “විදෙස් අතපෙවීම්” ඉලක්ක කරමින් දැනට කොංග්‍රසයට යොමු කෙරී ඇති පනතක් ඝෝෂාකාරී ලෙස අනුමත කල හ. මුහුනුපොත වෙත පලල් කියවන්නන් පිරිසක් ඇදගැනීම සඳහා ස්වාධීන ප්‍රවෘත්ති ද්වාරයන් වෙත විවෘත ව ඇති මාවත්සුලු ගනනකින් එකක් වන්නේ මෙම දේශපාලන වෙලඳ දැන්වීම් ය.

“අපි රෙගුලාසිවලට විවෘත යි. ලෝකය පුරා නීති සම්පාදකයන් සමග අපි වැඩ කරනවා” යයි සෑන්ඩ්බර්ග් සීඑන්බීසී වෙත කීවා ය. “රුසියානුවන්” විසින් මිලට ගත්තා යයි කියන වර්ගයේ වැනි ෆෙස්බුක් වෙලඳ දැන්වීම් ඉලක්ක කරන රෙගුලාසි “දැකගැනීමට කැමති” බව සීඑන්එන් සමග කතාකල සකර්බර්ග් කීවේ ය.

“බෙදීම් වගාදිගා කිරීමට උත්සාහ කරන්නන්ගේ” උත්සාහයන්ට එරෙහි ව සටන් කිරීමේ මුහුනුපොතේ ප්‍රයත්නය යලි දෙගුන කිරීමට සීඑන්එන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී සකර්බර්ග් පොරොන්දු විය. “සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි හසුකර ගැනීමේ සහ ඒවා පරිලෝකනය කිරීමට හා නිරීක්ෂනය කිරීමට කෘතිම බුද්ධි උපකරන භාවිතා කිරීමේ රාජකාරිය වඩා හොඳින්” සමාගම විසින් කරනු ඇතැයි ඔහු කීවේ ය. රාජ්‍යය හා එහි රහස් තොරතුරු සමග මුහුනුපොත වැඩිවැඩියෙන් අන්තර්ග්‍රහනය වීම අර්ථවත් කරමින්, සමාගම මත ආන්ඩුව විසින් වැඩිදුරටත් පනවන රෙගුලාසිවලට තමන් විවෘත යයි ඔහු කියා සිටියේ ය.

“ආරක්ෂාව හා අන්තර්ගතයන් විමර්ශනය කිරීමට 15,000ක්” මුහුනුපොත දැන් යොදවා ඇතැයි ද එම සංඛ්‍යාව වසර අවසානය වනවිට 20,000 තෙක් ඉහල යනු ඇතැයි ද ඔහු කීවේ ය.

මේ වසර මුල සමාගමේ සේවයේ යෙදී සිටි සේවකයන් 25,000 සමග සලකන කල මෙම පුදුම සහගත පිලිගැනීමේ අර්ථය වන්නේ, සමාගමේ සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නිරත ව සිටින්නේ භාවිතා කරන්නන් පලකරන දේ විමර්ශනය කරමින් හා වාරනය කරමින් බව යි. පාඨකයන්ට තොරතුරු බෙදා ගැනීමට හා ලෝකය පිලිබඳ ව දැනගැනීමට උපකාර කිරීම පිනිස නාමික ව කැපවුනු මුහුනුපොත දැන් පොලිස් මර්දනයේ හා වාරනයේ උපකරනයක් බවට පරිවර්තනය කරනු ලැබෙමින් තිබේ.

ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය වේදිකාව මත මහා පරිමාන වාරනයක් තවදුර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන වටාපිටාව නිර්මානය කිරීමට මාධ්‍ය වැඩකරමින් සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වැනි ස්වාධීන ප්‍රවෘත්ති ද්වාරයන් වාරනය කිරීම සහ නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි “විශ්වාසදායී” ප්‍රවෘත්ති මූලාශ්‍ර දිරිමත් කිරීම ඉලක්ක කරගන්නා “නව ආරම්භකත්වයන්˜” ගූගල් සමාගම විසින් මේ සතියේ නිවේදනය කිරීම මෙම උද්ඝෝෂනය සමග තිරයට පිටුපසින් බද්ධ වී ඇත. වාමාංශික, යුද-විරෝධී හා සමාජවාදී වෙබ් අඩවි වෙත වාරන පිවිසුම් විශාල පරිමානයෙන් අඩුවීමට හේතු වී ඇති පසුගිය අප්‍රේල් මාසයේ දියත් කල ගූගල් සෙවුම් ක්‍රමලේඛන වෙනස් කිරීම් සමග ආරම්භ වුනු පියවරයන් පෘථුලව තීව්‍ර කිරීමක් මෙම නිවේදනය විසින් සනිටුහන් කරනු ලබයි.

තම රැකියා, වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කරගැනීම සඳහා අරගලයට පිවිසෙන කම්කරුවන් වාරනය වෙත වන ධාවනය එහි නියම අර්ථයෙන් වටහාගත යුතු ය. එනම්, එය වනාහි, ව්‍යවස්ථාවෙන් සහතික කෙරුනු නිදහස් ප්‍රකාශනයේ අයිතිය පමනක් නොව වෘත්තීය සමිති නිලධරයේ ග්‍රහනයෙන් වෙන්වීමට කරන අරගලය හා ස්වයං-සංවිධානය සඳහා වන උත්සාහයන් කුඩුකර දැමීම ඉලක්ක කරගත් තර්ජනයක් බව යි.

වාරනය කරා ධාවනය හෙලිදරවු කිරීමට හා එයට විරෝධය සංවිධානය කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ හා සමාජවාදී සමානතා පක්ෂය අන්තර්ජාල වාරනයට එරෙහි විරෝධය සංවිධානය කිරීම නම් රැස්වීම් මාලාවක් එක්සත් ජනපදය පුරා ද පන්ති අරගලය යලි පැනනැගීම හා අන්තර්ජාල වාරනයට එරෙහි සටන නමැති සම්මන්ත්‍රනයක් අප්‍රේල් 22දා ඩිට්‍රොයිට්හි දී ද පවත්වයි. මෙම රැස්වීම්වලට සහභාගි වන ලෙසත් ඒවා හැකිතාක් ප්‍රචාරය කරන ලෙසත් ඔබගේ ප්‍රදේශයේ රැස්වීමක් පැවැත්වීම සංවිධානය කරන ලෙසත් අපේ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: