ට‍්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංඟු කිරීම යුරෝපීය බලවතුන්ගේ හෙලා දැකීමට ලක්වේ

European powers condemn Trump’s cancellation of Iran nuclear treaty

ඇලෙක්ස් ලැන්ටියර් හා ජොහැනස් ස්ටර්න් විසිනි, 2018 මැයි 10

ට‍්‍රම්ප් පාලනය, 2015 ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීම, වොෂින්ටනය හා එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් අතර උග‍්‍ර හා ගැඹුරු බෙදීම් එලිමහනට පමුනුවා ඇත. යුරෝපය පුරා ආන්ඩු හා ප‍්‍රමුඛ මාධ්‍ය ජාලයන්, ගිවිසුම ආරක්ෂා කල යුතු බව කියාසිටිමින් ට‍්‍රම්ප්ගේ ක‍්‍රියාව ඒකමතිකවම පාහේ හෙලා දකිති. “ඉරානයට එරෙහිව ඉහලම මට්ටමේ ආර්ථික සම්බාධක” පැනවීමට ට‍්‍රම්ප් කරන තර්ජනයට විරුද්ධව, තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සුරක්ෂිත කර ගන්නා බවට ඔවුහු දිව්රති.

ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්, බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ හා ප‍්‍රන්ස ජනාධිපති ඉමෑනුවෙල් මැක්‍රෝන්, ඉරාන ගිවිසුමේ නිල නාමය වන ක‍්‍රියාකාරිත්වයේ ඒකාබද්ධ සංයුක්ත සැලැස්ම, ට‍්‍රම්ප්ට එරෙහිව ආරක්ෂා කරන බව සඳහන් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කලහ. එය තුල නායකයින් තිදෙන, ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීම ගැන “අමනාපය හා කනස්සල්ල” පල කරති. “ඒ ගිවිසුම කෙරේ දිගටම අපගේ කැපවීම අවධාරනය කරන්නෙමු.” එරට න්‍යෂ්ටික වැඩසටහනේ සීමාවන්ට ඉරානය ගරු කරනතාක් දුරට, “අපි (යුරෝ 3) එම ගිවිසුමේ පාර්ශවකරුවන් වන්නෙමු.”

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අධීක්ෂනය කිරීමට ජාත්‍යන්තර පරමානුක බල ශක්ති ආයතනයට දිගටම ඉඩ සැලසිය යුතු යයි කියා සිටින අතර බර්ලිනය, ලන්ඩනය, හා පැරිසිය වොෂින්ටනයට කියන්නේ, නව සම්බාධක නොපමුනුවන ලෙසයි. “ඉරානයට අඛන්ඩව සම්බාධක සහන ලැබිය යුතු අතර එය ගිවිසුමේ කොන්දේසි වලට යටත් විය යුතුය.”

ඉරාන තන්ත‍්‍රය, මැද පෙරදිග ඇමරිකානු හා යුරෝපීය විදෙස් පිලිවෙතට යටහත් පහත් ලෙස නැමිය යුතු යයි වොෂින්ටනය දමන කොන්දේසි පිලිබඳව සඳහන් කරමින්, “උත්සුක වන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර” කෙරෙහි අවධානය යොමු කරන බවට ද ඔවුහු පිලින දෙති. මෙම උත්සුකයන් අතර, “ඉරානයේ බැලිස්ටික් මිසයිල් වැඩසටහන, එරට කලාපය තුල ගෙන යන අස්ථාවරකාරී කටයුතු, විශේෂයෙන්ම සිරියාවේ, ඉරාකයේ හා යේමනයේ, වේ.”

යුරෝ සංගමයේ විදෙස් පිලිවෙත් ප‍්‍රධානී ෆෙඩ්‍රිකා මොගරිනී එම ආස්ථානයන් ප‍්‍රතිරාවය නංවමින්, “අපගේ සමීපතම සහකරුවා හා මිතුරා” යයි එක්සත් ජනපදය හුවා දැක්වූවාය. එහෙත් ගිවිසුමට අත්සන් තැබූ යුසං, ඉරානය එයට ගරු කරන තාක් දුරට, එයට සහයෝගය දක්වන බව ඇඟවුම් කලාය. “අප හැම විටම කියා ඇති පරිදි, න්‍යෂ්ටික ගිවිසුම ද්වි පාර්ශවික එකඟත්වයක් නොවන අතර, එය එක් රටකට පමනක් හිතුමතේ අවලංඟු කල නොහැකිය” යි ද පැවසුවාය.

ඇමරිකානු සම්බාධක යුරෝපයේ ඉරාන ව්‍යාපාරික කටයුතු කපාගෙන යාමේ තර්ජනය වෙත ද ඇය අවධානය යොමු කලාය. “න්‍යෂ්ටික කටයුතු වලට සම්බන්ධ සම්බාධක ඉවත් කිරීම ගිවිසුමේ අවශ්‍යම කොටසකි.... මම විශේෂයෙන්ම නව සම්බාධක නිවේදනය කිරීමෙන් කම්පාවට පත්ව සිටිමි. මම එලඹෙන පැය හා දින ගනනක් තුල, ඒවායේ ඇඟවුම් පිලිබඳව අපගේ සියලු හවුල් කරුවන් සමග කථා කිරීමට බලාපොරොත්තු වන්නෙමි. යුරෝපීය සංගමය සිය ආරක්ෂක උත්සුකයන් හා ආර්ථික ආයෝජන වලට අදාල වන පරිදි කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

කෙසේ වුව ද ඉරානය තුල ද මැද පෙරදිග පුරාම ද යුසං තම ව්‍යාපාරික උත්සුකයන් පෙරට ගැනීමේදී, එහි කියනු ලබන වොෂින්ටන් සහකරුවා සමග ගැටුමකට මුහුනපාන බව උදක්ම පැහැදිලිය. ට‍්‍රම්ප් ඉරාන ගිවිසුමෙන් ඉවත් වීමත්, නැටෝ බලවතුන්ට විරුද්ධව සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් තන්ත‍්‍රයට සහාය දෙන සිරියාවේ සිටින ඉරාන හමුදාවන්ට පහර දීමේදී ඊස්රායලයට පූර්න සහාය දැක්වීමත් සමග දිග හැරෙන මෙම සිදුවීම්, මුලු මැද පෙරදිගම යුද්ධයක මුව විටේ තබා ඇත. එවන් යුද්ධයක් කරා, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව විසින් කලාපයේ රඳවා ඇති හමුදාවන් ද ඇදී ඒම නොවැලැක්විය හැකිය.

යුරෝපීය ධනපති දේශපාලඥයෝ, විනාශකාරී කලාපීය යුද්ධයක අන්තරාය ගැන පුලුල් ලෙසින් සාකච්ඡා කරති. මින්ස්ක් සාම ගිවිසුම පිලිබඳ සාකච්ඡාවන්ට පෙරතුව, එවක ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද්, යුක්‍රේනය මුල්කරගෙන නැටෝව, රුසියාව සමග පූර්න පරිමානයේ යුද්ධයක පැටලෙනු ඇති බව පවසා වසර තුනකට පසුව වත්මන් ජනාධිපති ඩර් ස්පීගල් වෙත මේ සති අන්තයේ පවසා ඇත්තේ, “කෙලවරක් නැති ප‍්‍රශ්න ඇතිකරන පැන්ඩෝරාගේ පෙට්ටිය අප විසින් විවර කරමින් සිටී. යුද්ධයක් ඇතිවිය හැකි” ය යනුවෙනි.

තම ප‍්‍රතිපත්ති ව්‍යසනයක් මුදාහැරීමට තර්ජනය කරන බව පිලිගන්නා නමුදු යුරෝපීය බලවතුන් හා වොෂින්ටනය, තෙල් වලින් පොහොසත් මැද පෙරදිග සිය සංගතවල එකිනෙකට සතුරු ආසක්තයන් මත අන් කවරදාකටත් වඩා බිහිසුනු ගැටුම්වලට පැටලී ඇත.

ට‍්‍රම්ප් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන බව නිවේදනය කල දිනම ඇමරිකානු නිලධාරීහු, යුරෝ සංගමය ඉරානය සමග ඇතිකරගෙන තිබෙන වෙලඳ සම්බන්ධකම් අකුලාගත යුතු යයි කියා සිටිති. ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, “කිසිදු නව කොන්ත‍්‍රාත්තුවකට අවසර නැතැයි” පැවසීය. ඔහු තෙල්, බලශක්ති, මෝටර් රථ හා නාවික වැනි ඉලක්ක කෙරී තිබෙන ක්ෂේත‍්‍රයන්හි මෙහෙයුම් ඇකිලීම පිනිස යුරෝපීය ව්‍යාපාර වලට දින 90-180 අතර කාලයක් ලබා දුන්නේය.

ජර්මනියේ ඇමරිකානු තානාපති ලෙස වැඩ බාර ගැනීමෙන් පැය කිහිපයකට පසුව රිචඩ් ග්‍රෙනෙල්, බර්ලිනය ඉරානයේ ජර්මානු ආර්ථික බැඳීම් අවසන් කල යුතු යයි ට්විටර් සටහනකින් කියා සිටියේය. “ඇමරිකානු සම්බාධක, ඉරාන ආර්ථිකයේ තීරනාත්මක ක්ෂේත‍්‍ර ඉලක්ක කරගනු ඇතැයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසා ඇත. ඉරානය තුල ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ජර්මානු සමාගම් වහාම ඒවායේ මෙහෙයුම් කපා හැරිය යුතුය.”

මෙම ප‍්‍රකාශ ඉහල පෙලේ යුරෝපීය නිලධාරීන්ගේ කෝපාවිෂ්ඨ ප‍්‍රතිචාරයකට මුල් විය. ප‍්‍රන්ස ආර්ථික ඇමති බෘනෝ ලේ මාරි පැවසුවේ, “ලෝක ආර්ථික පොලිස්කාරයා ලෙස” වොෂින්ටනය කටයුතු කිරීම “පිලිගත නොහැකි” බවයි.

ඇමරිකාවේ හිටපු ජර්මානු තානාපති වොල්ෆ්ගෑන්ග් ඉස්චින්ගර් ප‍්‍රසිද්ධියේම ඔහුට පහර දුන්නේය. “රිච්, දිගු කාලයක් තානාපති සේවයේ නියුතුව සිටි මා දෙන උපදේශය අහන්න, පලමුව ඔබේ රටේ ප‍්‍රතිපත්ති පැහැදිලි කර ආගන්තුක රටට බලපෑම් කරන්න, නමුත් ඔබට කරදරයකින් තොරව සිටීමට අවශ්‍ය නම්, කිසිවිටෙකත් කල යුත්තේ කුමක් දැයි ආගන්තුක රටට කියා නොසිටින්න. ජර්මානුවන් ඇහුන්කන් දීමට උනන්දුය, නමුත් ඔවුන් උපදෙස් පිලිපැදීමට මනාප නැත.”

ඉස්චින්ගර් කෙලින්ම අසා ඇත්තේ, ග්‍රෙනෙල්ගේ ප‍්‍රකාශ ඇඟවුම් කරන්නේ, ඇමරිකාව හා යුරෝපීය බලවතුන් අතර සන්ධානය බිඳ වැටී ඇතැයි යන්න ද? “අන්තර්අත්ලාන්තික් සන්ධානය මියැදී තිබේ ද? එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය ඉදිරිපත් කරන තර්ක සැලකිල්ලට ගන්නේවත් නැත්නම්, අපගේ ආරක්ෂක ආසක්තයන් ට එල්ලවන අභියෝග බෙදා හදා ගැනීමට දරන උත්සාහයේදී අප තවමත් සිටින්නේ එකට ද? නැතහොත් හැමෝගේම ශුභ සිද්ධිය තකා අප වෙන්වන්නේ ද? කනගාටුදායක ප‍්‍රශ්නය.”

ග්‍රෙනෙල් වහාම පිලිතුරු සැපයිය, තමන්ගේ තර්ජන ඇමරිකාවේ ප‍්‍රතිපත්තිය බව ඔහු යලි කියා සිටියේය. තම ට්වීටර් සටහන අන්කිසිවක් නොව, “කථා කලයුතු ප‍්‍රශ්න හා කරුනු අඩංගුකර ධවල මන්ඳිරය නිකුත්කර තිබෙන කඩදාසියේ සඳහන් භාෂාවමය.”

මේ ගැටුමේදී යුරෝපීය අධිරාජ්‍යවාදීහු, ට‍්‍රම්ප් ඉදිරිපත් කර තිබෙනවාට අඩු නොවන අයුරෙන් ප‍්‍රතිගාමී ලෙස, තමන්ගේ අධිරාජ්‍යවාදී ආසක්තයන් ඉදිරිපත් කර ආරක්ෂා කිරීමට උත්සාහ කරති. ඔවුන් මෙම ආසක්තයන් ආරක්ෂා කරන්නේ, මැද පෙරදිග තුල අපකීර්තිමත් හා නීති විරෝධී මැදිහත්වීම් හරහාය. පසුගිය මාසයේදී වොෂින්ටනය, ලන්ඩනය හා පැරීසිය සිරියාවට බෝම්බ දැමුවාක් මෙන්ය. වොෂින්ටනයෙන් ස්වාධීන වානිජ්‍ය හා මිලිටරි පිලිවෙතක් අනුගමනය කිරීමට උත්සාහ කරන අතර ඔවුහු, පෙන්ටගනයේ විභව එදිරිවාදියාට මුහුනපෑම පිනිස තමන්ගේ මිලිටරි බලය ගොඩනැංවීම සඳහා කම්කරු පන්තියට පහර දෙමින් යුරෝ බිලියන සිය ගනන් එකතු කරමින් සිටිති.

“බිලියන ගනන් වටිනා කොන්ත‍්‍රාත්තු, ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ සම්බාධක හේතුවෙන් වතුරේ යයි” යන හිසින් යුත් ලිපියක් තුල ලේ මොන්ඬේ, යුසං ප‍්‍රමුඛ සංගත වලට ඉරානයේදී අහිමිවීමට නියමිත කොන්ත‍්‍රාත්තු ලැයිස්තු ගත කර ඇත. ඒ අතර, ඉරානයේ මගී ප‍්‍රවාහනය සඳහා වන එයාබස් සමාගමේ යුරෝ බිලියන 10ක කොන්ත‍්‍රාත්තුව, දකුනේ පාස් ගෑස් නිධිය පාවිච්චි කිරීමට යුරෝ බිලියන 5ක් සඳහා වන ප‍්‍රන්සයේ ටෝටල් සංගතයේ කොන්ත‍්‍රාත්තුව, ඉරානය තුල මෝටර් රථ අලෙවි කිරීමේ ෆොක්ස්වාගන් සැලසුම් මෙන්ම ඉරාන මෝටර් රථ වෙලඳපොලේ සියයට 30ක පංගුවක් හිමිකරගෙන සිටින පර්ජෝ-සිට්රොයින්හි මෙහෙයුම් හා දැනට වාර්ෂිකව ඉරානය තුල කාර් 170,000ක් අලෙවි කරන රෙනෝල්ට්-නිසාන් සමාගම ද වේ.

ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල ඉරානය සමග කරන වෙලඳාම වසරකට යුරෝ බිලියන 3.4න් වැඩිවී 2015 වන විට එය සියයට 42න් ඉහල නැගී ඇත. ජර්මානු කාර්මික සම්මේලනයේ සභාපති ඩීටර් කෙම්ෆ් බර්ලිනයේදී පැවසුවේ, වෙලඳපොලක් ලෙස ඉරානය අතහැර දැමීමට තමන් සූදානම් නැති බවයි. “ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ ප‍්‍රතිපල වශයෙන් වෙලඳපොල විවෘත වීම නිසා, අපගේ සමාගම්, බොහෝ සම්පත් එහි ආයෝජනය කර තිබේ.”

ඩොයිශ්ලනඩ්්ෆන්ක් නම් ජර්මානු රේඩියෝවට කථා කරමින් යුරෝපීය පාර්ලිමේන්තුවේ විදෙස් කටයුතු පිලිබඳ කොමිසමේ හිටපු ප‍්‍රධානි එල්මා බ්‍රොක්, ඇමරිකානු පිලිවෙත හෙලා දුටුවේය. “ට‍්‍රම්ප්ගේ වචන තේරුම් ගත යුත්තේ, යුරෝපයට සෘජු තර්ජනයක් ලෙස දැයි” නැගූ ප‍්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඔහු පැවසුවේ, “ඔව්, මම කියන්නේ, අප නිරන්තරයෙන්ම ඇමරිකාවේ හඬ අසා ඇත්තෙමු, නිදසුනක් ලෙස කියුබානු ප‍්‍රශ්නය වැනි දේ, ඇමරිකානු පිලිවෙත අනුගමනය නොකරන සමාගම් වලට ඒ සඳහා දඬුවම් කෙරේ. මෙය වනාහි භූමිභාග පිලිබඳ අසාමාන්‍ය ප‍්‍රකාශයකි, එය හුදෙක් තවදුරටත් පිලිගැනීමට නොහැකි දෙයකි.”

අන්තර්-අත්ලාන්තික් සන්ධානය බිඳ වැටී, නැටෝ අධිරාජ්‍යවාදී බලවතුන් අතර විවෘත ගැටුමක් යලි මතුවීමේ හැකියාව ගැන මාධ්‍ය තුලින් හඬ නැගේ. “ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැඩ කරන්නේ ගිනි තියන්නෙකු විලසිනි, බර්ලිනයේ, ප‍්‍රන්සයේ හා ලන්ඩනයේ ආන්ඩු වලට බලකෙරෙන්නේ, මොස්කව්, බීජිං හා ටෙහෙරානයේ නව මිතුරන් සෙවීමට” යයි ඉහතකී ගුවන් විදුලියේ විදෙස් හා ආරක්ෂක පිලිවෙත් සම්බන්ධ ප‍්‍රධාන ප‍්‍රකාශකයා වන ක්ලාවුස් රෙමි පැවසීය. “වොෂින්ටනය සමග මතභේද ගැන සඳහන් කරමින් යුරෝපය තම ඉරනම තමන්ගේම අතට ගන්නේ කෙසේදැයි 2017දී චාන්සලර්වරිය කිවූ දේ ගැන තවදුරත් නැගෙන කථාවක් නොවේ මෙය. යුරෝපීයන් දැන් ස්වාධීනත්වය ප‍්‍රදර්ශනය කල යුතුවා පමනක් නොවේ. ඔවුන් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහිව විරෝධතා සංවිධානය කල යුතුය.”

Share this article: