මධ්‍යම ඇමරිකානු සරනාගතයින්ට ම්ලේච්ඡ ලෙස සැලකීම

එක්සත් ජනපදය සරනාගත අයිතිය ප‍්‍රතික්ෂේප කරයි

US denies right to asylum

2018 මැයි 3

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ රිජු නියෝග යටතේ එක්සත් ජනපද (එජ) ආගමන විගමන නිලධාරියෝ සංක‍්‍රමනිකයින් 200 ට ආසන්න සංඛ්‍යාවකගේ රැකවරන සඳහා අයදුම්පත් බාර ගැනීම ප‍්‍රතික්ෂේප කලහ. මේ නිසා, මධ්‍යම ඇමරිකාවේ ප‍්‍රචන්ඩත්වයෙන්, යුද්ධයෙන් සහ දුගීභාවයෙන් බේරීමට පලාපැමිනි මෙම සංක‍්‍රමනිකයින්ට සන් දිඑගො - ටිජුආනා දේශසීමාවෙහි තාවකාලික කූඩාරම් ඉදි කිරීමට බල කෙරින.

සැතපුම් 3,000 අන්තරායකර අසීරු ගමනක් මාර්තු 25 ආරම්භ කල රැකවරන පතන්නන් තවලම හොන්ඩුරාස්, එල් සැලවදෝර් සහ ගුවාතමාලා වලින් පැමිනි පුද්ගලයින්ගෙන් සමන්විත වූහ.

ට‍්‍රම්ප් පරිපාලනය, මධ්‍යම ඇමරිකානු සරනාගතයින්ගේ මංමුලාගත දුක් ගැනවිල්ල ඉස්මතු කිරීමට සිදු කරන ලද වාර්ෂික වන්දනාවක් වූ තවලම දඩමීමා කරමින් තර්ජනය කිරීමේ වෑයම තුල ෆැසිස්ට්වාදී භාෂාව භාවිතා කර ඇත. එජ යේ රැකවරන පතන්නන් “වාසිය ලබාගෙන ඇති” නිසා “අපගේ රට සොරකම් කෙරෙමින් පවතී” යනුවෙන් චෝදනා කලායින් පසුව අප්‍රේල් 4 ට‍්‍රම්ප් ජාතික ආරක්ෂක භටයින් යොදවන ලෙසට ජනපදවලට නියෝග කලේය. තවලම “නවතා දැමීම වඩා හොඳයැ”යි ඔහු තර්ජනය කලේය. අද වන තුරු, ට‍්‍රම්ප් පරිපාලනය අවසර දී ඇත්තේ කුඩා කන්ඩායමකට රැකවරන අයදුම්පත් භාර දීමට පමනි.

රැකවරන සඳහා අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම මගින් එජය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරයි. 1949 අංක 14 ඡේදය අනුව මානව අයිතීන් පිලිබඳව විශ්ව ප‍්‍රකාශනයේ පවසන්නේ: “පීඩාවට එරෙහිව ඕනෑම කෙනෙකුට වෙනත් රටක රැකවරන සෙවීමටත් සහ භුක්ති විඳීමටත් අයිතියක් ඇත.” 1951 දී, එක්සත් ජාතීන්ගේ සංවීධානය “ජීවිතයට හෝ නිදහසට තර්ජනයක බියක් ඔහුට හෝ ඇයට දැනෙන වැයික්කියකට කුමන අකාරයකට හෝ සරනාගතයකුව ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට එරෙහිව කිසිවකුට නෙරපා හැරීමට හෝ යලි පිටමං කිරීමට නොහැකි” යනුවෙන් සරනාගතයින්ගේ තත්වය පිලිබඳව සම්මුතිය සම්මත කලේය.

එජ ආන්ඩුවේ මෙම මූලධර් ප‍්‍රතික්ෂේප කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙත ප‍්‍රහාර එල්ල කිරීමේ ඓතිහාසික හැරීම් ලක්ෂයක් සනිටුහන් කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සම්මත කරන ලදුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂනයන් යුද්ධය මගින් තම නිවෙස්වලින් නෙරපන ලද මිලියන සංඛ්‍යාත ජනතාව ආරක්ෂා කිරීම අභිලාෂය විය. හොලොකෝස්ටයෙන් දිවි බේරාගත්තවුන් නාසීන්ගේ දඬුඅඬුවට හසුවී මරනයට අතහැර දමමින් යුදෙව්වන් හා අනෙකුත් සරනාගතයින්ට මිත‍්‍ර රටවල ආන්ඩුවල දොර වසා තිබුනේය යන කාරනාව හුවා දක්වමින් රැකවරන පතන්නන්ගේ අයිතිය පිලිබඳව භාෂාව ශක්තිමත්ව ලියවිල්ලේ සටහන් කරන ලෙසට කෙටුම්පත්කරුවන්ට බල කෙරිනි.

1939 දී, නිදසුනක් ලෙස, කැප්ටන් ගුස්ටව් ෂ්රෝඩර් රැකවරන සඳහා අයදුම් කිරීමට අත්ලාන්තික් සාගරය හරහා එම්එස් ශාන්ත ලුවී නෞකාවේ ජර්මානු යුදෙව් ජාතික සරනාගතයින් ආසන්නව 1,000 එක්සත් ජනපදයට රැගෙන ගියේය. රාජ්‍ය ලේකම් කෝඩ්ල් හල් විසින් මෙහෙයවනු ලැබූ ෆ‍්‍රැන්ක්ලින් රූස්වෙල්ට් පරිපාලනයේ නිලධරයෝ, ප‍්‍රථමව කියුබාවෙත් සහ දෙවනුව එක්සත් ජනපදයේත් නෞකාව නැංගූරම්ලෑම ප‍්‍රතික්ෂේප කලහ.

යුරෝපයට එය හරවා යැවීමට බල කරමින් කැනේඩියානු ආන්ඩුවද කැනඩාව වෙත නෞකාව ප‍්‍රවිෂ්ට වීම ප‍්‍රතික්ෂේප කලේය. බ්‍රිතාන්‍ය නිලධරයෝ නෞකාවේ තුනෙන් එකකට වඩා අඩු මගීන් සංඛ්‍යාවක් භාර ගැනීමට එකඟ වූ අතර සෙස්සන් යුරෝපයේ මහා භූමි ප‍්‍රදේශය වෙත හරවා යැවින. යලි පැමිනියවුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් හොලොකෝස්ටය විසින් ඝාතනය කෙරින.

එක්සත් ජනපදයේ ජීවත්වීමේ අයිතිය ප‍්‍රතික්ෂේප වූ දුසිම් ගනන් සංක‍්‍රමනිකයින් සෑම වසරකම තම රට තුලම ඝාතනය කෙරුනු බව වාර්තා පල විය. 2015 ගාඩියන් පුවත්පතේ පලවූ වාර්තාවක් සොයා ගත්තේ තවලම් රැකවරන පතන්නන් නියෝජනය කරන ප‍්‍රධාන රටවල් තුනේ, එනම් එල් සැල්වදෝරය, ගුවාතමාලාව සහ හොන්ඩුරාස් තුල පෙර වසරේ පිටුවහල්වූවන් 83 කු ආපසු පැමිනි විට ඝාතනය කෙරුනු බවයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් මෙම රටවල් සමාජ ඛේදජනක කලාප බවට පරිවර්තනය කර ඇත.

එල් සැල්වදෝරය තුල, එජ ආන්ඩුව 1980 දශකය පුරා දසදහස් ගනන් ගොවීන් සහ කම්කරුවන් ඝාතනය කල මිලිටරි අඥාදායකත්වයන් පුහුනු කරමින් ආයුධ සන්නද්ධ කලේය.

ගුවාතමාලාව තුල, එජ ආන්ඩුව විසින් පුහුනු කර ආයුධ සන්නද්ධ කල ජෙනරාල් එෆේ‍රන් රිඔස් මොන්ට්ගේ මිලිටරි ආන්ඩුව 1980 දශකයේදී ස්වදේශික ජන කන්ඩායමක් වන මායාවරුන් දස දහස් ගනන් මරමින් සමූලඝාතනයක් සිදු කලේය. එජයේ පිටුබලය ලත් ආන්ඩුව ගම්බිම් ජනවාර්ගිකව ශුද්ධ කරමින් රටේ ගංගාවන් මලමිනිවලින් පිරූහ.

එජය හොන්ඩුරාස්හි තම “කොන්ට්රා” හමුදාවන් මෙහෙයවමින් රට තුලත් සහ අසල්වාසි නිකරගුවාව තුලත් ඝාතක කල්ලිවල ත‍්‍රස්තය ගෙනයාම සඳහා ඔවුන්ව භාවිතා කරන ලදී. වඩාත්ම මෑතදී, 2009 දී, ඔබාමා පරිපාලනය සහ හිටපු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් දැවැන්ත රාජ්‍ය මර්දනයකට මාවත විවෘත කරමින් හොන්ඩුරාස්හි තේරීපත්වූ ජනාධිපති මනුවෙල් සෙලායාට එරෙහිව කුමන්ත‍්‍රනයකට පිටුබලය සැපයූහ.

සමස්ථ ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයටම රැකවරන පැතීමේ අයිතිය අහෝසි කිරීම ගැන චෝදනා නැගිය යුතුය. ඩිමොක‍්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට වඩා අඩුවෙන් සාපරාධී නොවේ.

එක් නිදසුනක් පමනක් ඉදිරිපත් කලහොත්, ඩිමොක‍්‍රටික් බිල් ක්ලින්ටන් පරිපාලනය එජට පැමින වසරක් ඉක්මවූ සංක‍්‍රමනිිකයින්ට රැකවරන සඳහා අයදුම් කිරීම වලකන ත‍්‍රස්ත විරෝධී සහ ඵලදායි මරන දඬුවම් පනත 1996 (ඒඊඞීපීඒ) බලපෑම් කර සම්මත කර ගත්තේය. මෙය අනෙකුත් බාධාවන් අතරින් එකක්විය. ඒඊඞීපීඒය ජෝ බිඩන්, බාර්බරා බොක්සර්, ඩයනෙ ෆීන්ස්ටීන්, ජෝන් කෙරි, රොන් වෛඩන්, පෝල් වෙල්ස්ටන් සහ හැරී රීඩ් ඇතුලු ආසන්න ලෙස සියලුම සෙනේට් සභික ඩිමොක‍්‍රටිකයින්ගේ සහයෙන් 91ට 8ක ඡන්දයෙන් සෙනේට් සභාව තුල සම්මත විය. නියෝජිත මන්ඩලය තුල ඩික් ඩර්බින්, චාල්ස් ෂූමර්, ස්ටෙනි හොයර් සහ ජේම්ස් ක්ලිබර්න් ඇතුලුව වැඩිම ඩිමොක‍්‍රටිකයො සංඛ්‍යාවක් පනතට ඡන්දය දුන්හ.

ඩිමොක‍්‍රටික් පක්ෂය, මධ්‍යම ඇමරිකානු සංක‍්‍රමනිකයින්ගේ තවලමට එල්ලවූ ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ප‍්‍රහාරයට හවුල්ය. කැලිෆෝර්නියාවේ ඩිමොක‍්‍රටික නගරාධිපති ජෙරි බ‍්‍රව්න් ජාතික ආරක්ෂක (National Guard) භටයින් සඳහා ට‍්‍රම්ප්ගේ ඉල්ලීමට එකඟවී, දේශසීමා හමුදා භටයෝ 400ක් රැඳවීය. බ‍්‍රව්න්ගේ ක්‍රියාව මගින් දැනට සංක‍්‍රමනිකයින් කූඩාරම් තනා ඇති සැන් ඩිඑගො-ටිජුආනා හරස්මාර්ගය පාලනය කිරීමට ආගමන විගමන නිලධාරීන් මුදා හැරින.

තවලම පිලිබඳව ප‍්‍රමූක ඩිමොක‍්‍රටික්වරුන් කිසිවකු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කර නැත. අප්‍රේල් 5 දා, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායිකා නැන්සි පෙලොසිගේ තනි ට්වීටර් පනිවිඩයට අමතරව, බර්නි සෑන්ඩර්ස්ගේත්, එලිසබෙත් වොරන්ගේත්, චාල්ස් ෂූමර්ගේත් සහ ඩිමොක‍්‍රටික් ජාතික කමිටු සභාපති ටොම් පෙරෙස්ගේත් ට්විටර් ගිනුම් මෙම කාරනාව පිලිබඳව මුනිවත රකිති. #මීටූ ව්‍යාපාරයේ මමංකාරක මිලියනපති ප‍්‍රකාශකයෝවත් එජ දේශසීමාව හරහා මාරුවන විට සියයට 80 ක් කාන්තාවන් ලිංගික අතවරවලට හෝ දූෂනයට ගොදුරු වන බව සඳහන් නොකරති.

ලොව පුරා දේශසීමාව හරහා මාරුවන ස්ථානවල, තම රටවල්වලින් මිලියන ගනනාවක් ජනයා පලා යන විට, රැකවරන පතන්නන්ගේ කඳවුරු ගැසීම් ව්‍යාප්ත වෙමින් පවතී. තම දේපල අහිමි වූ බහුතරයක් ජනතාව එජ ආක‍්‍රමන සහ බෝම්බ ප‍්‍රහාර මගින් විනාශ වූ රටවලින් පැමිනෙති.

අප්‍රේල් 20 දා, ග්‍රීසියේ සිරිසා ආන්ඩුව, සරනාගතයින් ඛේදජනක තත්වයන් යටතේ රඳවනු ලැබ ඇති දූපත්වලින් ඔව්න් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි උසාවි නියෝගයට අවනත වීම ප‍්‍රතික්ෂේප කලේය.

අප්‍රේල් 22 ප‍්‍රන්ස ආන්ඩුව රැකවරන සඳහා අයදුම් කිරීම් නාටකාකාරව බාධා කෙරෙන පනතක් සම්මත කලේය.

එක්සත් රාජධානියේ, කැරීබියානු සංක‍්‍රමනිකයින්ට ක‍්‍රමිකව අසාධාරන ලෙස සැලකීම පිලිබඳව එලිදරව්ව මගින් ස්වදේශ කටයුතු බාර රාජ්‍ය ලේකම්ට ඉල්ලා අස්වීමට බල කෙරින.

අප්‍රිකානු සංක‍්‍රමනිකයින් අත්අඩංගුවට ගෙන ඇති ඊස්රායල් ආන්ඩුව තව දහස් ගනනාවක් පිටුවහල් කිරීමට තර්ජනය කරමින් සිටියි.

ලෝකය පුරා සංක‍්‍රමනිකයින්ට එරෙහිව පරීක්ෂාවට බඳුන් කරන ලද පොලිස් රාජ්‍ය විධික‍්‍රම සමස්ථ කම්කරු පන්තියට එරෙහිව සූදානම් කෙරෙමින්ද, නැතිනම් දැනටමත් භාවිතා කෙරෙමින්ද පවතී.

මිලියන ගනන් මහජනතාව රටක් නැති සරනාගතයින් බවට පරිවර්තනය වීම දේශසීමා හරහා මුදල් සහ භාන්ඩ ගමන් කිරීමට හැකි එහෙත් මිනිස් වර්ගයාට එසේ නොහැකි ධනපති ක‍්‍රමය තුල අනිවාර්යයි. විශේෂයෙන් ප‍්‍රතිමල්ලව අධිරාජ්‍යවාදී පාලක පන්තීන් ලෝක යුද්ධය මාර්ගයෙන් ලෝකය යලි බෙදා ගැනීමට සූදානම් වෙමින් සිටින තතු තුල, ඔව්හු කම්කරු පන්තිය බෙදීමට සංක‍්‍රමනික විරෝධී වර්ගවාදය සහ ආගන්තුක භීතිකාව අවුලවමින්, පාලනයේ ඒකාධිපති විධික‍්‍රම යුක්තියුක්ත කරමින් සිටිති.

1940 මැයි මාසයේ දී ට්‍රොට්ස්කි ලීවේ:

ජරපත්වන ධනේශ්වරයේ ලෝකයට වැඩිවන ජනගහනය දරාගත නොහැකි ව තිබේ. එක්සත් ජනපදය වැනි ලෝක බලවතෙකුට සරනාගතයන් කිහිප සියයක් වැද්ද ගැනීම මහා ප‍්‍රශ්නයක් බවට පත්වී ඇත. ගුවන් ගමන්, විදුලි පනිවුඩ, රේඩියෝ, රූපවාහිනි යුගයේදී, පාස්පෝට් සහ වීසා වලින් රටින් රට ගමන දුෂ්කරවී ඇත. ජාත්‍යෝත්තමවාදයේ ද විශේෂයෙන්ම යුදෙව් විරෝධයේ ද මේ යුගය, විදේශ වෙලඳාම ද දේශීය වෙලඳාම ද දිරාපත් වීමේ යුගය ද වෙයි. මහාපොලව පමනක් නොව අවකාශය ද මිනිසා සඳහා දිනා ගෙන තිබෙන, භූමි ප‍්‍රදේශ පුලූල් වීම සහ තාක්ෂනයේ ආශ්චර්යයන් ද මධ්‍යයේ අපගේ ග‍්‍රහලෝකය, දුගඳ සිර ගෙයක් බවට පත් කිරීමට ධනේශ්වරය කටයුතු කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් කැඳවුම් කරන්නේ එජ-මෙක්සිකානු දේශසීමාවේ සිටින සංක‍්‍රමනිකයින් ආරක්ෂා කරන ලෙසටත් ඔවුන්ට දේශපාලන රැකවරනය ලබාදීමට බල කරන ලෙසටත්ය. සංක‍්‍රමනිකයින්ටද, ලේඛනගතවූ සහ ලේඛනගත නොවූ ජනයාටද එරෙහි සියලු ප‍්‍රහාරවලට විරුද්ධ අපි, බාධාවලින් තොර සහ සියලු දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් සහිතව, තමන් කැමැති ඕනෑම රටක ජීවත් වීමටත් වැඩ කිරීමටත් සියලු කම්කරුවන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ලබා දිය යුතු යැයි බල කරමු. තරඟකාරී ජාතික රාජ්‍යයන්වලට ලෝකය බෙදීමටත් සහ සියලුම ආකාරයේ ජාතිකවාදයටත්, යල්පැන ගිය ධනපති ක‍්‍රමයේ විසකුරු දෘෂ්ටිවාදයටත් එරෙහිව අප සමාජවාදය සඳහා අරගලය තුල ලෝක කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කරමු.

එරික් ලන්ඩන්

Share this article: