2018 මැයි දිනය

May Day 2018

2018 මැයි 1

ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගීතාවයේ දිනය වන මැයි දිනයේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලොව පුරා අරගලයන්හි යෙදී සිටින කම්කරුවන් හට සිය සුභාශිංසන පල කර සිටී.

පාලක පන්තියේ අසාධාරනයේ ගොදුරු බවට පත් වූ හැමදෙනා වෙතද, විශේෂයෙන්ම, කුරිරු ලෙස දඩයමට පාත‍්‍ර කෙරුනු ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්; තමන් සතු සියල්ලට අහිමි කරනු ලදුව, මනුෂ්‍යයන් ලෙස සිය මූලික අයිතීන් පවා ලබා නොදෙන එදිරිවාදී අධිරාජ්‍යවාදී හා ධනපති ආන්ඩුවල කෲර වධ හිංසාවලට පාත‍්‍ර වූ මැද පෙරදිග සරනාගතයන්; ගාසාහිදී ඊස්රායල පාලන තන්ත‍්‍රයේ මිනීමරු ප‍්‍රචන්ඩත්වයට ගොදුරුවූවන් හා ගෙස්ටාපෝ ආකාරයේ වැටලීම් මගින් දඩයම් කරනු ලැබ රටින් පිටුවහල් කරනු ලැබීමට භාජනය වෙමින් සිටින එක්සත් ජනපදය තුල වෙසෙන සංක‍්‍රමනිකයන් වෙත, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නියෝජනය කරමින් අපේ සහෝදරාත්මක සුබපැතුම් පල කර සිටිමු. තවද, අධිරාජ්‍යවාදයේ අපරාධකාරී ස්වභාවය හෙලිදරව් කිරීමේ තම වික‍්‍රමාන්විත අරගලයේ දිගටම නියුතුව සිටින ජුලියන් අසාන්ජ් වෙත ආචාරය පුද කරන ජාත්‍යන්තර කමිටුව, ඔහුගේ නිදහස තහවුරු කිරීම සඳහා දැරෙන සිය ප‍්‍රයත්නයන් දෙගුන කිරීමට ප‍්‍රතිඥා දෙයි.

එමෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව දිනෙන්දින වැඩිවැඩියෙන් එල්ල කෙරෙන ප‍්‍රහාරවලට ද, දක්ෂිනාංශයේ හා රාජ්‍යයේ අනුග‍්‍රහය ලබමින් වර්ධනය වෙමින් පවත්නා ඒකාධිපතිවාදයේ අන්තරායයට ද, නැගෙමින් පවතින අතිශය විනාශකාරී යුද්ධවල තර්ජනයට ද එරෙහිව කෙරෙන සටන තුල, ලොව පුරා ජාත්‍යන්තර කම්කරු පන්තිය හා තරුනයන් ඒකරාශී කර ගැනීමේ සියලු ප‍්‍රයත්නයන් අප විසින් දැරෙන බව 2018 මැයි දිනයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිවේදනය කර සිටී.

මෙම වසරේ මැයි දිනය සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුතු වූවකි. මෙය සමරනු ලැබෙන්නේ 1818 මැයි 5 දිනට යෙදුනු නූතන ලෝකයේ විශිෂ්ඨතම භෞතිකවාදී දාර්ශනිකයා හා විප්ලවවාදී චින්තකයා වූ කාල් මාක්ස්ගේ උපතෙහි ද්වි ශතවාර්ෂික සංවත්සරය එලැඹෙමින් පවතින අවස්ථාවක දී ය. “ලෝකයේ කම්කරුවනි, එක්වව්!” යනුවෙන් මාක්ස් ද, දශක ගනනාවක් පුරා ඔහුගේ සහෝදර සටන් සගයා හා මිතුරා වූ ෆ්‍රෙඞ්රික් එංගල්ස් ද විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල හඬවන ලද අනතුරු සංඥාව, පන්ති අරගල යලිත්වරක් එලිමහනට පුපුරා එමින් පවත්නා අද දවසේ බලගතු ලෙස නින්නාද දෙමින් පවතී.

ලෝක ධනපති ක‍්‍රමයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදය තුල කම්කරු පන්තිය, කෝපරේට්වාදී වෘත්තීය සමිතිවල දශක ගනනාවක පාවාදීම්වලින් පසුව, සිය බලය පෙන්වීම අරඹමින් සිටී. රට පුරා දසදහස් සංඛ්‍යාත ගුරුවරු පහත වැටෙමින් පවත්නා වැටුප්, වර්ධනය වෙමින් පවත්නා සෞඛ්‍ය සේවා වියදම්, සහ දශක ගනනාවක් පුරා ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකන්වරුන් විසින් හසුරුවනු ලැබූ පිරිවැය කපා දැමීම් හා කප්පාදු වැඩසටහන්වල ප‍්‍රතිවිපාක, වලට එරෙහිව සටන් වැද සිටිති. යුරෝපය තුල ප‍්‍රන්ස කම්කරුවන් ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ කප්පාදු පියවරවලට හා ඒකාධිපති නියෝගවලට එරෙහිව විරෝධය දක්වන අතර, බ්‍රිතාන්‍යයේ සරසවි ඇදුරෝ ද ජර්මනියේ ලක්ෂ සංඛ්‍යාත කාර්මික කම්කරුවෝ ද මේ වසරේ මුල් කාලසීමාව තුල ප‍්‍රධාන පෙලේ වැඩ වර්ජන ක්‍රියාත්මක කලෝය. ජනවාරියේ ග්‍රීක කම්කරුවෝ, ප‍්‍රතිගාමී දේශපාලන වංචාකරුවෙකු වන ඇලෙක්සිස් සිප‍්‍රාස්ගේ නායකත්වයෙන් යුතු ධනපති සිරිසා ආන්ඩුව විසින් පටවන ලද කප්පාදු පියවරවලට එරෙහිව නාවුක හා පොදු ප‍්‍රවාහන සේවා අක්‍රිය කර දැමූහ.

2018 වසරේ මුල් සිව් මස තුල ලෝකය පුරාම වර්ජන හා පෙලපාලි දක්නට ලැබින. ජනවාරියේ ඉරානයේ කප්පාදුවලට එරෙහි මහජන පෙලපාලි, නයිජීරියාවේ, කෙන්යාවේ හා සිම්බාබ්වේහි ගුරුවරුන් හා සරසවි ඇදුරන්ගේ වර්ජන, ටියුනීසියාවේ ගුරුවරුන්ගේ දේශ ව්‍යාප්ත වර්ජනයක්, මෙක්සිකෝවේ, බ‍්‍රසීලයේ හා පුවර්ටෝරිකෝහි ගුරුවරුන්ගේ වර්ජන, චීනයේ තාක්ෂනවේදී කම්කරුවන්ගේ සති තුනක වර්ජනයක්, කැනඩාවේ වින්ඞ්සර්හි මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජනයක් හා තවත් ගනනාවක් ඊට ඇතුලත්ය.

මෙකී වර්ධනයන් විසින් නියෝජනය කරනු ලබන්නේ ප‍්‍රසාරනය වෙමින් පවත්නා පුපුරන සුලු පන්ති අරගලයේ ජාත්‍යන්තර ක්‍රියාදාමයක හුදු ප‍්‍රාරම්භක අවස්ථාවයි. කම්කරු පන්තිය විප්ලවවාදී සමාජ බලවේගයක් නොවන ලෙස සලකා කපා හරින ලද්දා වූ ද, නූතන සමාජයේ අරගල වාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂභාවය හා ලිංගික හැඩගැස්ම මත කේන්ද්‍රගත වනු ඇතැයි කියා සිටියා වූ ද සුලු ධනපති ව්‍යාජ වම්මුන්ගේ ප‍්‍රතිගාමී ව්‍යාජ බෙහෙත් එමගින් නිෂ්ප‍්‍රභ කෙරී ඇත.

කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප‍්‍රතික්ෂේප කලවුන් එසේ සිදු කලේ වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී නිලධරයන් සමග සිය සම්මුතිය හා එම නිලධරයන් කෙරේ සිය අවනතභාවය සාධාරනීකරනය කරනු උදෙසාය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් වෘත්තීය සමිතිවල දක්ෂිනාංශික කාර්යභාරය හා ඒවායේ කම්කරු පන්ති විරෝධී ස්වභාවය පිලිබඳව කෙරුනු හෙලිදරව් කිරීම් තරම් ව්‍යාජ වම්මුන්ගේ කර්කශ ප‍්‍රහාරයන්ට ලක් වූ එහි අනෙක් ආස්ථානයක් නොමැති තරම්ය. එතෙකුදු, කම්කරුවන් හා සමිති අතර ගැටුම 2018 වර්ෂයේ පන්ති අරගලයේ වර්ධනයෙහි නිශ්චිත විශේෂාංගයක් වෙයි.

“සෑම රටකදී ම මෙකී නිලධාරිවාදී උපකරනයෙහි කාර්යභාරය, කම්කරුවන්ට සහන සැලසීම සඳහා සේව්‍යයන්ට හා රාජ්‍යයට පීඩනය යෙදීමේ සිට, ප‍්‍රාග්ධනය ආකර්ෂනය කර ගැනීමට ඉවහල් වනු වස් සේව්‍යයන්ට සහන සැලසීම සඳහා කම්කරුවන්ට පීඩනය යෙදීම කරා පරිවර්තනය වී ඇත,” යනුවෙන් (එජ) සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය 1993 දී ලිවීය. පන්ති අරගලයේ වර්ධනය විසින් කම්කරුවන් මෙම සංවිධාන සමග කිසිදා නොවූ විරූ තරම් සෘජු ගැටුමකට ගෙන එනු ලබනු ඇතැයි එය අවධාරනය කලේය.

මෙම විශ්ලේෂනය දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ අත්දැකීම්වලින් තහවුරු වී ඇත. ශත වර්ෂ කාලකට අධික කාලයක් පුරා වෘත්තීය සමිති ක්‍රියා කොට ඇත්තේ, කිසිදු ඓතිහාසික පූර්වාදර්ශයකින් තොර ආකාරයකට සම්පත් ධනවතුන් වෙත යලි බෙදාදීමට එරෙහිව නැගෙන සියලු විරුද්ධත්වයන් යටපත් කර දැමීමටය. ධන සම්පත්වල මෙම දැවැන්ත සම්පත් ගලායාම සේන්දු වී ඇත්තේ, ලෝක ජනගහනයේ ධනවත්ම සියයට එකක් විසින් ලෝකයේ ධන සම්පත්වලින් අඩකට වැඩි කොටසක් පාලනය කෙරෙන තතු කරාය. 2030 වන විට මෙම කන්ඩායම ලෝකයේ සම්පත්වලින් තුනෙන් දෙකක් පාලනය කරනු ඇතැයි අපේක්ෂා කරයි.

අසමානත්වය හා කප්පාදු කෙරේ පවත්නා විරෝධය වඩවඩාත් වර්ධනය වත්ම, සමාගම්කාර ප‍්‍රභූවේ ආඥාවන්ට එරෙහි කවර හෝ විවෘත ප‍්‍රතිරෝධයක් වේවා හුදෙකලා කර දැමීමට හා ඒවා අක්‍රිය කර දැමීමට දැරෙන තම ප‍්‍රයත්නයන් දෙගුන තෙගුන කිරීමට වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටිති. එක්සත් ජනපදය තුල සෑම ජනමත විචාරයකින්ම ධනපති ක‍්‍රමයට එරෙහි අතිමහත් සමාජ කෝපාග්නියක් හා විරෝධයක් පෙන්නුම් කෙරුනු නමුදු, පසුගිය වසරේ ප‍්‍රධාන පෙලේ වැඩ නැවැත්වීම්වලට එලැඹුනේ කම්කරුවන් 25,000ක් පමනෙකි. මෙය 1947 සිට මේ දක්වා වසරක වාර්තා වූ දෙවැනි අඩුම සංඛ්‍යාවයි. බ්‍රිතාන්‍යය තුල පතල් කම්කරුවන්ගේ වර්ජනය පැවැති 1984 වර්ෂයේ වැඩ වර්ජන නිසා අහිමි වූ වැඩ දින දශ ලක්ෂ 27ක් සමග සසඳා බලන විට, එම සංඛ්‍යාව 2016 දී 322,000ක් ද 2015 දී 170,000ක් ද විය.

වෘත්තීය සමිතිවලින් පිටස්තරව හා ඒවාට එරෙහිව යමින් වර්ජන සංවිධානය කිරීමට කම්කරුවන් විසින්, විශේෂයෙන්ම එජ ගුරුවරුන් විසින්, දරනු ලබන ප‍්‍රයත්න පාලක ප‍්‍රභූන්ගේ හදවත් තුල භීතිය දනවා ඇත. තම විරෝධය සන්නිවේදනය කිරීමට හා සමායෝජනය කිරීමට කම්කරුවන් සමාජ මාධ්‍ය කරලිය යොදා ගැනීමට ප‍්‍රතිචාර දක්වමින් එය, පසුගිය වසරේ තම සෙවුම් ක‍්‍රමලේඛයන් රිසි ලෙස හැසිරවීම සඳහා ගූගල් සමාගම කටයුතු කිරීමෙන් ඇරඹුනු අන්තර්ජාල වාරනය සඳහා වන උද්ඝෝෂනය තවදුරටත් තීව‍්‍ර කරමින් සිටී. එහි ප‍්‍රධාන ඉලක්කයක්ව ඇත්තේ කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කිරීම හා බලමුලු ගැන්වීම සඳහා වෙහෙස නොබලා සටන් වදින ලෝක සමාජවාදී වෙබ් අඩවියයි.

පන්ති අරගලය වැලැක්වීම සඳහා ධනපති පක්ෂ, වෘත්තීය සමිති හා ඒවායේ ඉහල මධ්‍යම පාන්තික උපාංගයන් විසින් දැරෙන ප‍්‍රයත්න ඇදවැටෙනු ඇත; ඇත්තෙන්ම ඒවා දැනටමත් ඇද වැටෙමින් පවතී. හතරවැනි ජාත්‍යන්තරයේ මූලාරම්භක ලියවිල්ලේ ට්‍රොට්ස්කි ලියූ පරිදි, “මහජනයාගේ දිශානුයෝජනය පලමුව හා ප‍්‍රමුඛව නිර්නය කෙරෙන්නේ ධනපති ක‍්‍රමය දිරාපත්වීමේ කොන්දේසි විසිනි; දෙවනුව, පැරනි කම්කරු සංවිධානවල ද්‍රෝහී දේශපාලනය විසිනි. මෙකී සාධක අතරින් පලමුවැන්න සත්තකින්ම තීරනාත්මක එක වෙයි: ඉතිහාසයේ නීති නිලධර මෙවලමට වඩා ප‍්‍රබලය.”

ඉතිහාසයේ නීති හා ධනේශ්වර ක‍්‍රමයේ පරස්පර විරෝධයන් විසින් සමාජ බලවේගයක්, එනම් ජාත්‍යන්තර කම්කරු පන්තිය, නිර්මානය කරනු ලැබ ඇත. එය කෙබඳුද යත්, අරගලයට එලැඹෙන කල්හි එය ධනපති පාලක ප‍්‍රභූවන්හි සියලු ගනනයන් පසෙක හෙලයි.

පැරනි කම්කරු සංවිධානවල හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල ජාතික ප‍්‍රතිසංස්කරනවාදී ඉදිරිදර්ශනයට යටින් වල කපන ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය, ඒ සමගම චීනයේ, ඉන්දියාවේ හා අනෙකුත් පීඩිත රටවල කම්කරුවන් මිලියන සිය ගනනින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එක් කරමින් එය සාතිශය ලෙස ශක්තිමත් කොට ඇත. සන්නිවේදන ආකෘතීන්හි ඇතිව තිබෙන අන්තර්ජාලය හා බැඳුනු නව වෙනස්කම් විසින්, ලෝකය පුරා කම්කරුවන්ට ක්ෂනිකව තොරතුරු බෙදාගැනීමේ හා සංවිධානය වීමේ අවකාශය සලසා දෙනු ලැබ ඇත. සමාජ අසමානත්වයේ ආන්තික වර්ධනය පාලක පන්තියේ සියලු ආයතනයන්හි විශ්වාසනීයත්වය හා ආධිපත්‍යය ඒවායේ දෙපා යටින් බිඳ හෙලා ඇති අතර, සමාජ කෝපාවිෂ්ඨතාවයේ දැවැන්ත කටාරයක් නිර්මානය කොට ඇත.

මෙහි ප‍්‍රතිවිපාකයෝ විප්ලවකාරී වෙති. පන්ති අරගලයන් ඒවායේ ප‍්‍රාරම්භක රූපාකාරයන් තුල කේන්ද්‍රගතව පවතින්නේ වැටුප්, සෞඛ්‍ය සේවාවලට එල්ල කෙරෙන ප‍්‍රහාර හා කම්කරුවන්ගේ විවිධ කොටස්වල සේවා තත්වයන් මතය. කෙසේවෙතත් ජීවත්වීමට සරිලන වැටුපක්, සෞඛ්‍ය සේවා, පොදු අධ්‍යාපනය, සුරක්ෂිත විශ‍්‍රාම දිවියක් ආදිය තහවුරු කරගැනීමට ඇති අයිතිය සඳහා වන සටන් වූ කලී හුදු පාර්ශ්වීය ප‍්‍රශ්න මත නොව පන්තිමය ප‍්‍රශ්න මත කෙරෙන ඒවා වෙති. එනම්, සෑම අවස්ථාවකදීම ඒවා විසින් සියලු රටවල සියලු කම්කරුවන් පොදු ව්‍යාපාරයක් තුල එකමුතු කිරීමේ අවශ්‍යතාවය මතුකරනු ලැබේ. මාක්ස් හා එංගල්ස් අවධාරනය කල පරිදි, සෑම පන්ති අරගලයක්ම දේශපාලන අරගලයකි - බලය සඳහා වූ අරගලයකි. රාජ්‍යය හා එහි සියලු උපස්ථම්භක අංගෝපාංගයන් පාලනය කරන ධනේශ්වර කතිපයාධිපත්‍යයන්හි ධනයට හා වරප‍්‍රසාදවලට මුහුනටමුහුන ලා එල්ල කෙරෙන ප‍්‍රහාරයකින් තොරව එකදු හදිසි සමාජ අවශ්‍යතාවයක් හෝ සාක්ෂාත් කල හැකි නොවේ.

එතෙකුදු නොව, කම්කරුවන් මුහුන දී සිටින්නේ හුදු සූරාකෑමේ හා අසමානත්වයේ ප‍්‍රතිවිපාකවලට පමනක් නොවේ. ගැලවී යා නොහැකි පරිද්දෙන් ඒ හා බැඳුනු ලෝක යුද්ධයේ හා ඒකාධිපතිවාදයේ අනතුරට ද ඔවුහු මුහුන පා සිටිති. හැරෙන හැරෙන අතින් පාලනය කර ගත නොහැකි අර්බුදවලට මුහුන දෙමින්, රුදුරු අභ්‍යන්තර ගැටුම් හා සමාජ ආතතීන්ගෙන් ඔද්දල්ව සිටින පාලක පන්ති විසිවන සියවසේ දරුනුතම සන්ත‍්‍රාසයන් සිහිපත් කරවන මට්ටමක මිලිටරිමය ප‍්‍රචන්ඩත්වයක් හා දේශීය මර්දනයක් සූදානම් කරමින් සිටිති.

කම්කරු පන්ති ප‍්‍රතිරෝධයේ ආරම්භක ප‍්‍රකාශනයන් කෙතෙක් තීරනාත්මක වුවද, ඒවා ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටින ඓතිහාසික කාර්යභාරයන් විසඳීමට අසමත්ය. කම්කරු පන්තියේ වැඩපිලිවෙල වන්නේ ධනපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරනය කිරීම නොව එය පෙරලා දැමීමයි. 1865 දී මාක්ස් ලිවූ පරිදි:

කම්කරු පන්තිය මෙම දෛනික අරගලවල අත්‍යන්ත ක්‍රියාකාරීත්වය තමාටම අතිශයෝක්තියෙන් දැක්විය යුතු නොවේ. තමන් සටන් වැද සිටින්නේ ප‍්‍රතිපල සමග විනා එම ප‍්‍රතිපල වලට තුඩුදුන් හේතූන් සමග නොවන බවත්, එමගින් ඒවා පල්ලම් බැසීමේ වේගය බාල කෙරෙනු විනා එම සංචලනයේ දිශාව වෙනස් නොකෙරෙන බවත්, එය වේදනානාශක භාවිතා කිරීමක් විනා රෝගය සුව කිරීමක් නොවන බවත් ඔවුන් අමතක නොකල යුතුය. එබැවින් ඔවුන් ප‍්‍රාග්ධනයේ නිමක් නොමැති බලහත් ප‍්‍රවේශයන් හෝ වෙලඳපොලේ ඇතිවන වෙනස්කම්වලින් අනවරත ලෙස පැන නගින මෙකී නොවැලැක්විය හැකි ගරිල්ලා සටන් තුල මුලුමනින් ගිලී ගත යුතු නොවේ. වර්තමාන පර්යාය විසින් තමන් මත පටවනු ලැබ ඇති මුලුමහත් දුර්භාග්‍යසම්පන්න තතු තිබියදීම, ඊට සමගාමීව එය සමාජයේ ආර්ථික ප‍්‍රතිනිර්මානය කිරීමක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය කොන්දේසි හා සමාජ ආකෘතීන්වලට ද උපත දෙන බව ඔවුන් වටහා ගත යුතුය. “සාධාරන වැඩ දිනයක් සඳහා සාධාරන දෛනික වැටුපක්” යන ගතානුගතික උපදේශ වාක්‍යය වෙනුවට ඔවුන්, “වැටුප් ක‍්‍රමය අහෝසි කරනු!” යන විප්ලවවාදී ආදර්ශ පාඨය තම ධජයේ ඔබ්බවා තැබිය යුතුය. [වටිනාකම, මිල සහ ලාභය]

දැවෙන දේශපාලන ප‍්‍රශ්නය වන්නේ වැටුප් ක‍්‍රමය එනම්, ධනපති ක‍්‍රමය අහෝසි කිරීමයි. යුද්ධයට, අසමානතාවයට හා ආඥාදායකත්වයට එරෙහි බහුජන විරෝධය ද, ලෝකය පුරා කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ වර්ධනය වෙමින් පවත්නා අරගල ද, තර්කාන්විත පාලනයේ, ජාත්‍යන්තර සමායෝජනයේ, හා සමාජ සමානතාවයේ පදනම මත ආර්ථික ජීවිතය ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා බලය ගැනීමේ දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතුය.

මෙම කර්තව්‍යය මුදුන්පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරනය වනුයේ විප්ලවවාදී නායකත්වයයි; ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. මැයි දිනය හා කාල් මාක්ස්ගේ උපතින් දෙසිය වස් සංවත්සරය සමරමින් අපි, ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂ හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරයෙන් සමන්විත වන හජාජාකට බැඳීමට හා එය ගොඩ නැගීමට තීන්දු කරන ලෙස අපේ පාඨකයන් වෙත කැඳවුම් කරමු.

මාක්ස්ගේ උපතින් දෙසිය වන සංවත්සරය යෙදෙන මෙම මැයි 6 වන ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 3.00 ට හජාජාකය සිය වාර්ෂික ජාත්‍යන්තර මැයි දින රැලිය අන්තර් ජාලය ඔස්සේ පවත්වයි. එය wsws.org/mayday ඔස්සේ ලොව පුරා විකාශනය කෙරේ. අපේ සියලු පාඨකයන්ට ද, ලොව පුරා සියලු කම්කරුවන්ට ද මෙම 2018 මැයි දිනයට ලියාපදිංචි වන ලෙසත්, ඊට සහභාගී වන ලෙසත් අපි තරයේ ඉල්ලා සිටිමු.

ජෝසෆ් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්

Share this article: