ගෝලීය මිලිටරි වියදම වාර්තාගත ඩොලර් ට්‍රිලියන 1.7 මට්ටමක

Global military spending at record $1.7 trillion

2018 මැයි 4

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂන ආයතනය (සිප්රි) මැයි 3දා නිකුත් කල සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය මිලිටරි වියදම සීතල යුද්ධයේ පටන් ඉහල ම අගය වාර්තා කරමින් 2017 වසර තුල ඩොලර් ට්‍රියන 1.7කටත් වඩා ඉහලට නැගුනි.

විනාශකාරී දේවල් සඳහා සම්පත් නාස්ති කර දැමීමේ පරිමානය ගැන වාර්තාව මගින් යම් අදහසක් ලබා දෙයි. සිප්රි ආයතනයට අනුව, ලෝකයේ වාර්ෂික මිලිටරි වියදමෙන් සියයට 13ක් ලෝකයේ දුගී බව හා කුසගින්න අවසන් කිරීමට ප‍්‍රමානවත් ය; සියයට හතරක් ලෝක ජනගහනයේ ආහාර සුරක්ෂිතතාව සහතික කරනු ඇත; සියයට පහක් සෞඛ්‍ය අවශ්‍යතා සපුරනු ඇත; සියයට 12ක් ලෝකයේ සෑම අයෙකුට ම අධ්‍යාපනය සම්පාදනය කරනු ඇත; සියයට තුනක් පිරිසිදු ජලය හා හොඳ සනීපාරක්ෂාවක් සම්පාදනය කරනු ඇත.

2017 වසරේ දී තම යෝධ මිලිටරි යාන්ත‍්‍රනයට ඩොලර් බිලියන 610ක් වෙන්කල එක්සත් ජනපදය, ලෝකයේ ඊ ලඟ රටවල් හතෙහි ඒකාබද්ධ මිලිටරි වියදමටත් වැඩි පිරිවැයක් කැපකරමින් ලොව විශාලතම මිලිටරි වියදම්කාරයාගේ තැනෙහි රැඳී සිටී. මෑත දී ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් අත්සන් කරන ලද ආරක්ෂක අයවැය මගින් මෙම අගය ඩොලර් බිලියන 700 දක්වා ඉහල දමනු ඇත.

පසුගිය විසිපස් වසර පුරා අනවරත ව යුද්ධවල නිරත ව තිබෙන එක්සත් ජනපදය, 1991 ඉරාකය ආක‍්‍රමනය කිරීමෙන් එය ඇරඹූ අතර, ඉන් ඉක්බිත්තේ එම දශකය තුල හයිටි රාජ්‍යය, සූඩානය, ඇෆ්ගනිස්තානය හා ඉරාකය මත මිලිටරි ආක‍්‍රමන හා පහර දීම් ද යුගෝස්ලාවියාවට එරෙහි ගුවන් ප‍්‍රහාර ද සිදුකලේ ය. 2001 දී ඇෆ්ගනිස්තානය ආක‍්‍රමනය කිරීම හා වාඩිලා ගැනීම සමගින් ඇරඹුනු 2000 ගනන් “ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” දියත් කිරීම දැකගත්තේ ය. ඉන්පසු 2003 දී ඉරාකය ආක‍්‍රමනය කිරීම, 2004 දී ඩ්‍රෝන් ප‍්‍රහාර දියත් කිරීම සමගින් ඇෆ්ගන් යුද්ධය පාකිස්තානය දක්වා ප‍්‍රසාරනය කිරීම, 2011 ලිබියාවේ තන්ත‍්‍ර-මාරු යුද්ධය හා එම වසරේ ම සිරියාව තුල සීඅයිඒ විසින් අවුලුවාලූ සිවිල් යුද්ධය හා ඉන්පසු ඉරාකය තුල තුන්වන යුද්ධයක් දියත් කිරීම සිදු විය.

රුසියානු-හිතවාදී හා ඉරාන-හිතවාදී බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව නෙරපීමට සටන් කරමින් සිටින එක්සත් ජනපදය විසින් සන්නද්ධ කර අරමුදල් සපයන ඉස්ලාමීය කුලීකාර හමුදාවන් විසින් තන්ත‍්‍ර-මාරු මෙහෙයුමක් ලෙස ඇරඹුනු සිරියානු යුද්ධය, එක්සත් ජනපද හමුදාවන් සහ රුසියානු හා ඉරාන හමුදාවන් අතර ගැටුමක් බවට විකාශනය වී තිබෙන්නේ, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එක්සත් ජනපදය රුසියානුවන් දුසිම් ගනන් මරා දමා ඇතැයි පුරසාරම් දොඩවද්දී හා, ඊස්රායලය සිරියාව තුල ඉරාන ඉලක්ක වෙත මිසයිල ප‍්‍රහාර ද එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප‍්‍රන්සය සිරියානු ආන්ඩුවේ ඉලක්ක වෙත ඒකාබද්ධ මිසයිල ප‍්‍රහාර ද එල්ල කිරීම සමගය.

1991 දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය විසින් සෝවියට් සංගමය බිඳ විසිරවනු ලැබීමෙන් ඉක්බිති ව, ධනවාදයේ ක්ෂමාලාපකයෝ ධනවාදයේ අවසාන ජයග‍්‍රහනය හා සමාජවාදයේ පරාජය හෙවත් “ඉතිහාසයේ අවසානය” ප‍්‍රකාශයට පත්කලහ. ඔවුහු ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, සාමයේ හා සමෘද්ධියේ නව යුගයක හිමිදිරිය උත්කර්ෂයට නැංවූ හ.

එහෙත් වසර විසිපහකටත් වඩා ගෙවුනු තැන, ධනවාදය විසින් නිපදවා ඇත්තේ උන්මාදනීය ප‍්‍රතිසන්නද්ධ වීමේ හා යුද්ධයේ ලෝකයක්, මිලිටරීකෘත දේශසීමා හා වර්ගවාදී දඩයම් කිරීම්වලට මුහුන දෙන මිලියන ගනනක සරනාගතයන්, රුදුරු කප්පාදු පිලිවෙත් හා බැඳී පිම්මේ ඉහල යන අසමානතාව, අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂවල වර්ධනය සහ ආන්ඩු විසින් ලෝක පරිමාන ව ආඥාදායක පාලනයන් කරා හැරීම යන ඒවා ය.

ප‍්‍රාදේශීය යුද්ධ දැන් පෘථිවි ගෝලය යලි බෙදාගැනීම සඳහා වන තුන්වන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. සෑම මහ බලවතෙක් ම යලි සන්නද්ධ වෙමින් සිටින්නේ 2008 ගෝලීය ආර්ථික අර්බුදයේ පටන් ජාත්‍යන්තර මිලිටරි වියදම සියයට 10කට ආසන්න ව ඉහල දමමිනි.

පසුගිය දශකය පුරා මධ්‍යම යුරෝපයේ (සියයට 20කින් ) හා නැගෙනහිර යුරෝපයේ (සියයට 33කින්) මිලිටරි වියදම්වල තියුනු ඉහල යාම, එක්සත් ජනපදය හා නැටෝ සන්ධානය රුසියාව සමග වන යුද්ධයකට සූදානම් වීම් පිලිබිඹු කරයි. නැටෝ සාමාජිකයන් 29 දෙනා දැන් ලෝකයේ මිලිටරි වියදමෙන් අඩකටත් වඩා දරා සිටී.

ඔබාමා යටතේ ද දැන් ට‍්‍රම්ප් යටතේ ද වොෂින්ටනය සිය යුරෝපීය සගයන්ට ඔවුන්ගේ මිලිටරි වියදම් වඩා ඉහල දමන ලෙස පීඩනය යොදා තිබේ. ජර්මනියේ නව මහා සභාග ආන්ඩුව, 2024 වන විට එහි මිලිටරි වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් දක්වා දෙගුනයකට ආසන්න ව වැඩිකිරීමට පොරොන්දු වී තිබෙද්දී, ප‍්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් සිය මිලිටරි වියදම සියයට 35කින් ඉහල දැමීමට සැලසුම් කරමින් රටෙහි මිලිටරි ව්‍යවස්ථාව අලුත් කිරීම සඳහා ආයාචනා කර ඇත. මේ සෑම රටක් තුල ම යලි සන්නද්ධ වීම අත්වැල් බැඳගෙන ඇත්තේ, සමාජ වියදම් හා කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් මත ප‍්‍රහාරයක් සමග ය.

රුසියාව වනාහි එහි අසල්වැසි රටවලට තර්ජනය කරන යෝධ මිලිටරි බලවතෙක් ය යන එක්සත් ජනපදයේ අනවරත උද්ඝෝෂනය පසෙක තිබිය දී, එහි මිලිටරි වියදම 2016 සිට සියයට 20කටත් වැඩියෙන් අඩු වී ඇත්තේ වාර්ෂික මිලිටරි වියදම වැඩියෙන් ම අඩුවුනු රටවල් අතරට රුසියාව අයත් වෙමිනි. 2017 වසර සඳහා ක්‍රෙම්ලිනය ඩොලර් බිලියන 66.7ක මිලිටරි වියදමක් වැය කල අතර, එය එක්සත් ජනපදය වියදම් කල ප‍්‍රමානයට වඩා දහයෙන් පංගුවකට වැඩිවන්නේ යන්තමිනි.

ඒ අතර, මැද පෙරදිග තුල එක්සත් ජනපදයේ මූලික සහකරුවකු වන සවුදි අරාබිය, 2017 වසරේ ඩොලර් බිලියන 69.4ක් වියදම් කරමින් රුසියාව අභිබවා තුන්වන ස්ථානයට පත් විය. අරාබි අර්ධද්වීපයේ තෙල්වලින් පොහොසත් රාජධානිය, එහි වාර්ෂික ආර්ථික ආදායමෙන් සියයට 10ක් මිලිටරියට වියදම් කරන්නේ, ලෝකයේ දෙවන තැනට වැඩි ම ප‍්‍රතිශතය වාර්තා කරමිනි. එක්සත් ජනපදයෙන් මිල දී ගන්නා සවුදි අරාබියේ බොහෝ මිලිටරි උපකරන, අසල්වැසි යේමනය සංහාරයට ලක් කිරීම පිනිස යොදාගෙන ඇති අතර ම, එය වනාහි, ප‍්‍රධාන ඉලක්කය වන ඉරානයට එරෙහි යුද්ධයට පූර්ව රංගයක් පමනි.

ආසියාව හා ඕෂනියාව (ඔස්ට්‍රේලියාව හා අවට රටවල්) අඛන්ඩ ව වසර 29ක් පෙර නුවූ විරූ මිලිටරි වියදම් ඉහල දැමීම දැකගෙන ඇත. ඔබාමා යටතේ ඇරඹී, ට‍්‍රම්ප් යටතේ ඉදිරියට යමින් තිබෙන ඊනියා “ආසියාවට හැරීම” තුල, එම කලාපය ප‍්‍රධාන මිලිටරි ගොඩනැංවීම් සිදුකලේ ය. කලාපය තුල සන්නද්ධ තරගය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව යටතේ ඉන්දියාවේ මිලිටරි හමුදා ප‍්‍රසාරනය කිරීම හා නවීකරනය කිරීම සුරක්ෂිත කරනු ලබන්නේ චීනය හා පාකිස්තානය සමග යුද්ධයට සූදානම් වීම සඳහා ය.

රුසියාවට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානම් වීම් දැකගනු ලබන්නේ වොෂින්ටනයේ වඩාත් ම දරුනු ප‍්‍රතිමල්ලවයා ලෙස සැලකෙන චීනය සමග මිලිටරි මුනගැටුමකට පූර්ව රංගය ලෙස ය. කලාපය තුල සිය නාවික හමුදාවන් ක්ෂනික ව ගොඩනගමින් සිටින එක්සත් ජනපදය, චීනය වටලෑමට මිසයිල ආරක්ෂන පද්ධති හා අනෙකුත් මිලිටරි ස්ථානගත කිරීම් කරමින් සිටින අතර, චීනයට එයට ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ තමන්ගේ ම මිලිටරි ගොඩනැගීම්වලිනි.

සාමවාදය පිලිබඳ ව පශ්චාත් දෙවන ලෝක යුද සමයේ කල මවාපෑම් සියල්ල පසෙක දමමින් සිටින ජපානය යලි සන්නද්ධ වෙමින් එම මාවතේ ම ගමන් කරයි.

එක්සත් ජනපදයේ මිලිටරි වියදම ඓතිහාසික ව ඉහල මට්ටම්වලට වැඩී තිබෙද්දී, පෙන්ටගනය යෝධ තාක්ෂනික සංගතයන් සමග සමීපතම බැඳීම් ස්ථාපිත කරගෙන තිබෙන්නේ, සිලිකන් නිම්නයේ පදනම් වන පර්යේෂනාත්මක ආරක්ෂක නව සොයාගැනීම් ඒකකය (Defense Innovation Unit Experimental) නමැති විශේෂ ඒකකයක් පිහිටුවමිනි. ඇමේසන් සංගතයට, සීඅයිඒ හා පෙන්ටගනය යන දෙක ම සමග කොන්ත‍්‍රාත්තු තිබෙන අතර, ගූගල් සමාගම ඩ්‍රෝන් මිනීමැරුම් වැඩසටහන සඳහා පෙන්ටගනය සමග සම්බන්ධ වී ඇත.

මිලිටරි වියදම්වල වාර්තාගත මට්ටම්, බිලියනපතියන් අත ධනය වඩ වඩා සංකේන්ද්‍රනය වීම, ඔවුන් පාලනය කරන සංගතයන් රාජ්‍ය යන්ත‍්‍රනයට ඒකාග‍්‍ර වීම සහ අන්තර්ජාලය මත සමාජවාදී හා යුද-විරෝධී හඬ වාරනය කිරීම ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගේ ඛාදනය සමග අත්වැල් බැඳගෙන ඇත.

යුද්ධයේ, කප්පාදුවේ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත ප‍්‍රහාරයන්ගේ මූල හේතුව වන්නේ, සෑම සමාජ අවශ්‍යතාවක් ම සමාජය මත ආධිපත්‍යය දරන මූල්‍ය කතිපයාධිකාරයේ ධනවත් වීමට යටත් කරන පිරිහුනු හා යල්පිනූ ධනේශ්වර පද්ධතිය යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 2016 වසරේ දී අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පහත දැක්වෙන මූලධර්ම ප‍්‍රකාශයට පත්කලේ ය:

* යුද්ධයට එරෙහි අරගලය පදනම් විය යුත්තේ ජනගහනයේ සියලු ප‍්‍රගතිශීලී බලවේග තමන් පිටුපස ඒකාබද්ධ කරගන්නා සමාජයේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත යි.

* මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාදායකත්වයට සහ මිලිටරිවාදයේ හා යුද්ධයේ අතිමූලික බීජය වන ආර්ථික පද්ධතියට එරෙහි අරගලය හැරෙන්නට යුද්ධයට එරෙහි ව ගැඹුරු අරගලයක් තිබිය නො හැකි නිසා, නව යුද-විරෝධී ව්‍යාපාරය ධනේශ්වර-විරෝධී හා සමාජවාදී විය යුතු ය.

* එම නිසා, නව යුද-විරෝධී ව්‍යාපාරය, අත්‍යවශ්‍යයෙන් ම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂවලින් හා සංවිධානවලින් මුලුමනින් ම හා සම්මුති විරහිත ව ස්වාධීන ද ඒවාට ද හතුරු ද විය යුතු ය.

* සියල්ලට ඉහලින්, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ යෝධ බලය බලමුලුගන්වා ගන්නා නව යුද-විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතු ය. ධනේශ්වරයේ නොනවතින යුද්ධයට කම්කරු පන්තිය නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතු අතර, එහි මූලෝපායික ඉලක්කය වන්නේ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර සමාජවාදී ලෝක සමූහාන්ඩුවක් ස්ථාපනය කිරීම යි. භූගෝලයේ සම්පත්වල තාර්කික හා සැලසුම්ගත වර්ධනයකට හැකියාව ලබාදෙන මෙය, එහි පදනම මත දුගී බව සුන් කර මානව සංස්කෘතිය නව ඉහලකට නංවනු ඇත.

එලඹෙන මැයි 5 සෙනසුරාදාට මාක්ස්ගේ උපතින් දෙසියවන වසර යෙදෙන අතර, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය අන්තර්ජාල මැයි දින රැලිය එදින ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් මැයි 6 දින පෙරවරු 3.00ට පවත්වයි. එම රැලිය ලෝකය පුරා wsws.org/mayday සජීවී ව විකාශය කරනු ඇත. 2018 මැයි දිනයට ලියාපදිංචි වී සහභාගි වන ලෙස අපගේ සියලු පාඨකයන්ගෙන් හා ලෝකයේ සියලු කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

නයිල්ස් නිමුත්

Share this article: