රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාජිකත්වයෙන් නොවිමසා ආන්ඩුවේ “සයිටම් විසඳුම” අනුමත කරයි

තුෂර සේනානායක සහ සමන්ත මහගම විසිනි, 2018 මැයි 18

මැයි 11 දා උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකින් පසුව සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට (කේඩීයූ) අනුයුක්ත කිරීමට අමාත්‍ය මන්ඩලය ගෙන ඇති තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) විසින් “සාදරයෙන්” පිලිගනු ලබන බව සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ඬේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත. සයිටම් ආයතනය නොමැතිව එහි සිසුන් පමනක් කේඩීයූවට අනුයුක්ත කර ගැනීමට උසස් අධ්‍යාපන ඇමති ගත් තීන්දුව ගැන සිය “ප්‍රසාදය” පලකරන බව ද අලුත්ගේ සඳහන් කරයි.

රවෛනිස විධායක සභාව ආන්ඩුවේ තීරනයට එකඟ වී ඇත්තේ එහි සාමාජිකයන්ගේ කිසිදු අදහස් විමසීමකින් තොරව ය. සමිති නායකයන්ගේ එම තීරනය හිතුවක්කාර සහ සාමාජිකත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොතැකීමකි. සයිටම්, කේඩීයූ හෝ මුදලට උපාධි ලබාදෙන වෙනත් අධ්‍යාපන ආයතන කවරක් හෝ පිහිටුවීම සහ පවත්වාගෙනයාම සම්බන්ධව විශ්ව විද්‍යාල සිසුන් අතර මෙන් ම වෛද්‍යවරුන් අතර පවතින්නේ බරපතල විරුද්ධත්වයකි.

සයිටම් සිසුන් කේඩීයූ වට අනුයුක්ත කිරීමේ ආන්ඩුවේ තීරනයට එකඟතාවය පලකිරීම රවෛනිස යේ නව ඉරියව්වක් නොවේ. ආරම්භයේ සිටම රවෛනිස දැරුවේ පුද්ගලීකරනයට එකඟ ප්‍රතිගාමී ආස්ථානයකි. ඔවුන් සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූයේ “ප්‍රමිතිය” මත පමනි.

පොලිස් පහරදීම් හා සිරගත කිරීම් ඇතුලු ආන්ඩුවේ මර්දනයන් නොතකා සයිටම් ආයතනයට එරෙහිව වසරකට ආසන්න කාලයක් වෛද්‍ය සිසුන් ඇතුලු විශ්ව විද්‍යාල සිසුන් හා වෛද්‍යවරුන් සටන් කලේ හුදෙක් සයිටම් ආයතනය වසා දැමීම සම්බන්ධ කාරනාව මත නොව අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පිලිවෙතට එරෙහිව ය.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එය විසින් මෙහෙයවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් පමනක් නොව; දැන් පොදු ජන පෙරමුන බවට පරිවර්තනය කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂය ද ඇතුලත්කර ගත් ඊනියා “සයිටම් විරෝධී ජන පවුර” සමග පෙල ගැසී ගෙන රවෛනිස නායකයන් එක දිගටම යෙදීගෙන සිටියේ එම අරගලය දේශපාලනිකව පීලිපැන්නවීමේ උත්සාහයක ය.

සයිටම් ආයතනය අහෝසිකරන බවට පසුගිය නොවැම්බර් මාසයේ ආන්ඩුව දුන් ප්‍රෝඩාකාරී පොරොන්දුව පිලිගත් රවෛනිස ඇතුලු මෙම පෙරමුන එය “ජයග්‍රහනයක්” ලෙස හුවා දැක්වීය. දින කිහිපයක් ඇතුලත ආන්ඩුවේ ප්‍රෝඩාව එලිදරව් වූ පසු රවෛනිස කලේ ප්‍රශ්නය විසඳීම පිනිස මැදිහත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කන්නලව් කිරීමය.

සයිටම් සිසුන් කේඩීයූවට අනුයුක්ත කිරීමේ යෝජනාව ජනාධිපතිට ඉදිරිපත් කලේ ද රවෛනිස නායකයන් විසිනි. එය පිලිගෙන ක්‍රියාවට දැමීම ගැන ඔවුන් ජනාධිපතිට “ප්‍රසාදය” පල කලේ ය. රවෛනිස නායකයන්ගේ අනුමැතිය ඇතිව ආන්ඩුව ගත් තීරනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන් මතුවිය හැකි විරුද්ධත්වය කල්තියාම යටපත් කිරීම් සඳහා මුලික පඩියට එකතු නොවන සොච්චම් දීමනාවක් ලබාදීම ට ද ආන්ඩුව එකඟ වී ඇත.

කේඩීයූ ව මිලිටරිය විසින් පාලනය කරනු ලබන පුද්ගලික විශ්ව විද්‍යාලයකි. ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් පුහුනු කරන ආයතනයක් ලෙස 1981 ස්ථාපිත කල කේඩීයූ ව 1986 විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කරන ලද අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුව යටතේ 2012 දී එය මුදල් අයකිරීමේ පාඨමාලාවන් හඳුන්වා දෙනු ලැබීය.

වර්තමාන ආන්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනතක් මගින් පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස එහි විෂය පථය තවදුරටත් පුලුල් කෙරෙන අතර එය විසින් ප්‍රදානය කරනු ලබන උපාධි වලට නෛතික වලංගුභාවයක් ලබා දෙයි. එය පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා මිලිටරියේ නිලධාරි මන්ඩලයක් විසිනි. එයට ඇතුලත් කරගනු ලබන සිසුන් දැඩි මිලිටරි විනයකට යටත් කරනු ලබයි. එමෙන් ම, පාඨමාලා ගාස්තු තීරනය කිරීමේ අයිතිය එම පාලක මන්ඩලය සතු ය. දුප්පත් සිසුන්ට දරාගත නොහැකි රුපියල් මිලියන දෙකක් පමන වන ඉහල ගාස්තු දැනටමත් ඉංජිනේරු වැනි සමහර පාඨමාලා සඳහා අය කරනු ලබයි. (කියවන්න:ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධ වනු! අධ්‍යාපන පුද්ගලීකරනය එපා!)

නව පනතෙහි භයානක ආදීනව එලිදරව් වන තතු තුල හා ඊට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් සහ වෛද්‍යවරුන් අතරින් විරුද්ධත්වයක් මතුවීම වලකනු සඳහා නව පනතක් අවශ්‍ය නැති බවත් පවතින පනත සංශෝධන කිරීම ප්‍රමානවත් බවත් රවෛනිස ආන්ඩුවට උපදෙස් දී ඇත. කෙසේ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ ක්‍රියාවට දමන ආර්ථික ප්‍රතිසංස්කරනවල කොටසක් ලෙස ආන්ඩුව යෝජිත පනත ක්‍රියාවට දමනු ඇත.

අධ්‍යාපනය, සෞඛ්‍යය, දුප්පත් ජනයා සම්බන්ධයෙන් දෙනු ලබන සමෘද්ධි දීමනා අතුලු සමාජ සහනාධාර කප්පාදු කරන ලෙසත්, රාජ්‍ය ආයතන හා සේවාවන් පුද්ගලීකරනය කඩිනම් කරන ලෙසත් ජාමූඅ ආන්ඩුවට නියෝග කර ඇත. දැනටමත් සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 හා 1.9 දක්වා කප්පාදු කර ඇති ආන්ඩුව එම ක්ෂේත්‍ර දෙකම පුද්ගලික ආයෝජකයන් සඳහා වඩ වඩා විවෘත කෙරෙමින් ඇත. රවෛනිස නායකයන් පෙල ගැසී සිටින්නේ ආන්ඩුවේ මෙම කප්පාදු පිලිවෙත් සමගය.

Share this article: