ශ‍්‍රී ලංකාව: දේශපාලන එක්සත්කම සඳහා ජනාධිපති නොඉවිසිලි සහගත කැඳවුමක් නිකුත් කරයි

Sri Lankan president makes anxious calls for political unity

කේ. රත්නායක විසිනි, 2018 මැයි 9

කලින් අත්හිටුවා තිබුනු පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් 8දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාලක සභාගය තුල ද අනෙකුත් පාර්ලිමේන්තු පක්ෂ අතර ද එකමුතුවක් වෙනුවෙන් මංමුලා සහගත ආයාචනයක් කලේය.

එම කථාව, ආන්ඩුව තුල සිදුවෙමින් ඇති කාකොටාගැනීම් වලට ද නැඟෙන ආර්ථික ගැටලු වලට මෙන්ම දිවයින පුරා වැඩකරන ජනතාව අතරින් නැඟී එන විරුද්ධත්වයට ද දැක්වුන ප්‍රතිචාරයකි.

පාලක පැලැන්තියේ කොටසකගේ බිය ප්‍රකාශයට පත් කරමින් සිරිසේන මෙසේ පැවසීය: "මෙය පක්ෂ වලට බල අරගලයේ යෙදීමට කාලයක් නොවේ, ජාතික එකමුතුවේ ආන්ඩුව තුල පක්ෂ අතරත්, ආන්ඩුව හා විපක්ෂය අතරත් බල අරගලය නතර කිරීම අවශ්‍යය." ශ්‍රී ලංකාව මුහුනපා ඇත්තේ, "දැවැන්ත නය බරකටය." "ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යයි" සලකා ක්‍රියාකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

පසුගිය මාසයේ සිරිසේන පාර්ලිමේන්තුව මැයි 8 තෙක් කල් තැබුවේ, අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධාන පාලක සභාගය තුල තියුනු බෙදීම් හටගැනීමට ප්‍රතිචාර දක්වමිනි.

අගමැතිට එරෙහි විශ්වාස භංඟ යෝජනාවට පක්ෂ වෙමින් ඇමතිවරු 16 දෙනෙක් ඉල්ලා අස්වීමෙන් පසුව ගිය මාසයේ ශ්‍රීලනිපය තුල මතභේද උග්‍රවී ආන්ඩුව බිඳ වැටීමේ අද්දරටම ගෙනාවේය. එම යෝජනාව ගෙනාවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රීලනිපයේ කන්ඬායමයි. ඉල්ලා අස්වූ ඇමතිවරු 8දා පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.

2015 අගෝස්තු මහ මැතිවරනයෙන් පසුව අස්ථාවර හවුල් ආන්ඩුව පිහිටුවනු ලැබීමේ තැන් පටන්, මැයි 1දා දක්වා අමාත්‍ය මන්ඬලය හතරවන වතාවටත් සංශෝධනය කිරීමට සිරිසේනට හා වික්‍රමසිංහට බල කෙරුනි. එය මේ වසරේ පෙබරවාරියේ සිට සිදුකල දෙවන සංශෝධනයයි. ඇමති තනතුරු යොදාගනු ලැබ ඇත්තේ, හවුල හා ආන්ඩුව සැදුම්ලත් ඇතුලතින් බෙදී ගිය පක්ෂ එකට තබාගැනීමේ උත්සාහයක් ලෙසය. ආන්ඩුවට නව පෙනුමක් ලබාදීමට පොරොන්දු වෙමින් එජාපය, සිය පක්ෂ නායකයින්ගේ වෙනස්කම් ගනනාවක් සිදුකලේය.

ආන්ඩුවේ අර්බුදය එලිමහනට පැමිනියේ, පෙබරවාරියේ පැවති පලාත් පාලන ඡන්දයෙන් ශ්‍රීලනිපය හා එජාපය නින්දිත ජරාජයකට මුහුන දීමෙන් පසුවය. අලුතින් පිහිටුවාගත් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පලාත් පාලන ආයතන බහුතරයක පාලනය හිමිකර ගත්තේය. මැතිවරන පරාජය එජාප ප්‍රතිපත්ති නිසා සිදුවූ බවට සිරිසේන කුහක ලෙස චෝදනා කලේය.

2015 ජනවාරි ජනාධිපතිවරනයෙන් රාජපක්ෂ පරාජය වුනේ, ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තන්ත්‍රය ද එය ජීවන තත්වයන් හා සමාජ අයිතීන් වලට එල්ල කල ප්‍රහාරයන් ද කෙරෙහි මිලියන ගනන් ඡන්දදායකයින්ගෙන් පලවූ විරුද්ධත්වය මධ්‍යයේය. පලාත් පාලන මැතිවරනයෙන් ඔහුගේ පෙරමුනට ඡන්ද ලැබුනේ, ඔහු කෙරේ ජනතා විශ්වාසය පලවීමක් ලෙස නොව, ආන්ඩුවේ රුදුරු කප්පාදු වැඩසටහන කෙරේ පලවූ විරෝධතා ඡන්දයක් ලෙසය.

පාර්ලිමේන්තුව හමුවේ 8දා කල කථාවේදී සිරිසේන, "නීතියේ ආධිපත්‍යය යලි පිහිටුවීම, අධිකරනයේ ස්වාධීනත්වය ඇතිකිරීම, සංහිඳියාව හා ජාත්‍යන්තර ප්‍රජාවගේ හොඳ හිත යලි දිනාගැනීම" ඇතුලු වැදගත් වෙනස්කම් ආන්ඩුව විසින් ඇතිකර තිබේ යයි පැවසීය.

"නය ප්‍රශ්නය සමග පොරබදන අතරම" ආන්ඩුව, "ආදායම් මට්ටම් ද ඉහල නංවා ඇති බව" ඔහු පැවසීය. එසේම අධ්‍යාපනය, සෞඛ්‍යය සේවය හා කෘෂිකර්ම ක්ෂේත්‍රවල "ප්‍රගතියක්" අත්කරගෙන තිබෙන බව ද ඔහු පැවසීය.

"ප්‍රගතිය" කෙසේ වෙතත් වැඩකරන ජනතාව මුහුන දෙන්නේ, සිය ජීවන තත්වයන් කාබාසීනියා කරන ප්‍රහාරයන්ටය. එම තත්වය වැඩි වැටුප්, යහපත් සේවා තත්වයන් හා විශ්‍රාම අයිතිය ඉල්ලා කම්කරුවන් ගෙන ගිය වැඩවර්ජන හා විරෝධතා මාලාවක් නිර්මානය කලේය. පසුගිය සතියේ දස දහස් සංඛ්‍යාත කම්කරුවෝ ආන්ඩුවේ මැයි දින තහනම බිඳ රැස්වීම් හා පෙලපාලි වලට සහභාගී වූහ.

දිවයින පුරා ගොවීහු, පොහොර හා ජලය වැනි අත්‍යවශ්‍ය දේ සඳහා සහන සලසන මෙන් ද සිය භෝග සඳහා සහතික මිලක් ද ඉල්ලා විරෝධතාවල නිරතව තිබේ. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව හා සහන වැඩිකරන ලෙස ඉල්ලා විරෝධතා මාලාවක් පවත්වා ඇත.

සංහිඳියාව--මෙය වාර්ගික වෙනස්කම් කිරීම නතර කිරීම හැඳින්වීමට පාලක පන්තිය යොදාගන්නා පදයකි-- ආන්ඩුව විසින් ඇතිකර තිබෙන බවට සිරිසේන කරන ප්‍රකාශ මුසාවාදයන්ය.

දෙමල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව පාලක පන්තිය 26 වසරක් තිස්සේ ගෙන ගිය යුද්ධයෙන් සමාජ තත්වයන් විනාශයට පත්ව ඇති උතුරේ දෙමල ජනතාව, සෑම සතියකම පාහේ විරෝධතා පවත්වති. විරෝධතාකරුවෝ මිලිටරිය විසින් අත්පත් කරගෙන ඇති සිය භූමි භාගයන් ආපසු දෙන ලෙසත් අතුරුදහන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු සපයන ලෙසත් ප්‍රජාතන්ත්‍ර විරෝධී මිලිටරි පාලනය අවසන් කරන ලෙසත් බල කරති.

ඒ සමඟම මෑතදී අන්තවාදී දක්ෂිනාංශික සිංහල-බෞද්ධ කන්ඩායම් විසින් අවුලුවන ලද මුස්ලිම් විරෝධී කැරලි, ආන්ඩුවේ ද රාජපක්ෂගේ විපක්ෂයේ ද පක්ෂ විසින් පෝෂනය කරන ලදී.

සිරිසේන බලයට පත් වුනේ, රාජපක්ෂ ඉවත් කර , චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට ගැලපෙන පරිදි රට පෙලගස්වා ගැනීමේ, ඇමරිකාව මූලිකත්වය ගත් තන්ත්‍ර මාරු මෙහෙයුමක කොටසක් ලෙසය. එම ව්‍යාපාරයට වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ හා නව සමසමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඬායම් රොත්තක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය ද සහාය දුන්හ.

බලයට පත්වීමෙන් පසුව සිරිසේන හා වික්‍රමසිංහ, ඇමරිකාවට හා එහි සහචරයා වන ඉන්දියාවට වාසිදායක වන ලෙස රටේ විදෙස් පිලිවෙත වෙනස් කරමින් දෙරට සමඟම සමීප මිලිටරි සබඳකම් ගොඩනඟාගෙන ඇත.

වැටුප් හා සහන වැඩිකිරීමේ සමහර මූනබේරා ගැනීමේ පියවර ආන්ඩුව විසින් ගනු ලැබුව ද ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ගැනීමට හැරී ගත්තේය. අරමුදලේ නය මුදල, 2020 වන විට රටේ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා, අඩකින් පහත හෙලීමේ කප්පාදු නියෝග වලට බැඳී ඇත. මෙය අත්කරගත හැක්කේ, බදු වැඩිකිරීම ද සහනාධාර කැපීම ද අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ද හරහා ය.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් ප්‍රතිස්ථාපනය කල බවට ආන්ඩුව ගසන කයිවාරු මුසාවන්ය. සැබවින්ම හවුල් ආන්ඩුව කර ඇත්තේ, කම්කරුවන්, ගොවීන් හා සිසුන් විසින් ගෙන ගිය විරෝධතා ප්‍රචන්ඩ ලෙස මැඩීම පිනිස පොලිසිය හා මිලිටරිය යෙදීවීම සඳහා අත්‍යවශ්‍ය සේවා නියෝග හා හදිසි නීතිය උපයෝගී කර ගැනීමයි. 8දා මේ සතියේ දෙවන වතාවට ආන්ඩුව කොලඹ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව මැඩීමට පොලිසිය යොදවනු ලැබින. පොලිසිය තරුනයින්ට එරෙහිව මාර්ග බාධක යොදා කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කලේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින්, වෛරයට පාත්‍රව තිබුනු ආඥාදායක විධායක ජනාධිපති තනතුරේ වෙනස්කම් සිදු කල බව ද සිරිසේන පාර්ලිමේන්තුවේදී පැවසීය.සංශෝධනයෙන් ජනාධිපතිගේ සමහර බලතල කප්පාදු කල ද සිරිසේන මුලින් පැවසුවේ, විධායක ජනාධිපති ක්‍රමය මුලුමනින්ම අහෝසි කරන බවය.

පාලක පන්තියේ සමහර කොටස් තුලින් පලවන භීතිය, සිරිසේන එක්සත්කම වෙනුවෙන් කල ආයාචනයෙන් ප්‍රකාශයට පත්විය. සති අන්ත සන්ඩේ ටයිම්ස් පත්‍රයේ සඳහන් කෙරුන පරිදි ආන්ඩුව "උභතෝකෝටිකයකට" මුහුනපා සිටී. එය මෙසේ අනතුරු ඇඟවීය. "සිරිසේන-වික්‍රමසිංහ හවුලේ ලොකුම ගැටලුව, සංවර්ධනය පිලිබඳ ලොකු සැලසුම් නොවේ. යථාර්තය නම් ජනතාවගෙන් විශාල කොටසක් ජීවන වියදම ඉහල යද්දී සිය කුසට වැදෙන පහර නිසා පීඩාවට පත්ව සිටීමයි."

මෑතකදී මහ බැංකුව මාධ්‍ය වෙත නිකුත් කල ප්‍රකාශයක සඳහන් වුනේ, ආන්ඩුව කිසිදු ආකාරයක "මූල්‍ය පැහැර හැරීමක්" නොකල යුතුය. "කෙටි කාලීන දේශපාලන වාසි තකා කෙරෙන ප්‍රතිපත්ති මාරුකිරීම් අවම කරගන්නා අතර දිගු කාලීනව ජනතාවගේ ශුභ සෙත සැලසීම කෙරේ තර්කාන්විත ප්‍රතිපත්ති සැකසීමක් තීරනාත්මක වේ."

ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ හොරනෑවක් වන, ඉකොනමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් ද මෙසේ අනතුරු ඇඟවීය. ඊලඟ අවධියේදී "හවුල් ආන්ඩුව තුල ආතතිය ඉහල මට්ටමක පවතිද්දී දේශපාලන ක්‍රමයේ අස්ථාවරත්වය ද ඉහල නැඟිය හැක." එය "ස්ථාවර" පාලනයක් ඉල්ලා සිටියේය. ලෝක බැංකුව හා ෆිච් වැනි ප්‍රමිති ආයතන ද රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය ගැන කනස්සල්ල පල කරයි. එය ආන්ඩුවේ කප්පාදු වැඩසටහන කෙරෙහි මෙන්ම විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ලා ආන්ඩුවේ හැකියාවට ද එකසේ බලපානු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය මෙල්ල කරගන්නේ කෙසේදැයි පාලක පන්තියේ සෑම කොටසක්ම ගනන් බලති. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව වඩාත් දැඩි ප්‍රහාර එල්ල කිරීමට කොන්දේසි සකසා ගැනීම සඳහා සිරිසේන හා වික්‍රමසිංහ, හවුල් ආන්ඩුව තුල ඇති ආතතිය සමහන් කර ගැනීමට වෑයම් කරති.

ඒ සමගම රාජපක්ෂ හා ඔහුගේ කන්ඩායම, දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනඟමින් සිටී. ඔවුන් දෙමල විරෝධී වර්ගවාදය උසිගන්වමින් බෞද්ධ සංස්ථාපිතයට හා මිලිටරියට ආයාචනා කරයි."ස්ථාවර ආන්ඩුවක්" පිහිටුවා ගැනීම පිනිස වහාම මැතිවරනයක් පවත්වන මෙන් රාජපක්ෂ ඉල්ලා සිටියි. එහි අර්ථය කම්කරු පන්තියට විරුද්ධව ආඥාදායක බලතල යොදාගත හැකි ආන්ඩුවකි.

පාලක පන්තියේ ප්‍රධාන දේශපාලන මුක්කු කරුවන් නම් කම්කරුවන් හා තරුනයින්ගේ සෑම අරගලයක්ම යටපත් කිරීමටත් විසුරුවා හැරීමටත් මුලු වෙර යොදා වැඩ කරන වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මුන්ය.

Share this article: