හොදෙයිදා වටලෑම: වොෂින්ටනය යේමනය මත තම යුද අපරාධ තීව්‍ර කර යි

The siege of Hodeidah: Washington doubles down on its war crime in Yemen

2018 නොවැම්බර් 7

ලෝකයේ ඉදිරියට ඇදෙන විශාල ම යුද අපරාධ ඇති කරන වඩාත් ම ලේ වැකි සිදුවීම්වලින් එකක් රතු මුහුදේ හොදෙයිදා වරාය නගරයේ දිග හැරෙමින් තිබේ. යේමනයේ දරිද්‍රාපන්න හා සාගින්නෙන් පෙලෙන ජනයාගෙන් අඩු වසයෙන් සියයයට 70ගේ ජීවිතය ගැට ගසා ගැනීම රඳා පවතින එම වරාය ආහාර, ඉන්ධන හා ඖෂධ සඳහා ප්‍රධාන ජීවනාලිය ලෙස සේවය කර යි.

පසු ගිය වසර තුන හමාර තිස්සේ යේමනයට එරෙහි ව විනාසකාරී යුද්ධයක් ගෙන ගොස් ඇති සෞදි අරාබිය නායකත්වය දෙන සභාගය වාර්තා කරන්නේ, නගරය වට කිරීමට තමන් 30,000ක හමුදා භටයින් රැස් කර ඇති බව යි.එයට ඉමිරේටයේ හා සුඩානයේ නිත්‍ය භටයින්, අල්කයිඩා මිලීෂියා භටයින් හා යේමන කුලී හමුදා භටයින් අයත්වන අතර, සියල්ලෝ ම හොදෙයිදා අවට ප්‍රදේශයේ රැස් කෙරෙමින් සිටිති.

ගුවනින් හා මුහුදින් එල්ල කෙරෙන අතොරක් නැති බෝම්බ දැමීම්වලට නගරය යටත් කෙරෙමින් තිබෙන අතර, “ලමුන් රැක ගනු” (Save the Children ) නම් ආධාර කන්ඩායම වාර්තා කරන්නේ හුදෙක් සති අන්තයේ පමනක් තම කාර්ය මන්ඩලය ගුවන් ප්‍රහාර 100ක් ගනන් කල බව යි. ඔක්තෝබරයේ පලමු සතිය හා සන්සන්දනය කරන විට එය පස් ගුනයක වැඩි වීමකි.

මෙම සංහාරයේ මෑත ම විපතට පත් වූවන් අතර නේවාසික අසල්වාසයකට එල්ල කෙරුනු ගුවන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයෝ දෙදෙනෙක් හා තුවාල ලත් 24දෙනෙක් වූහ. යේමනයේ කම්හලකට බෝම්බ දැමීමෙන් කම්කරුවෙක් මිය ගිය අතර තවත් පස්දෙනෙක් තුවාල ලැබූහ, පල්ලියක් මතට එල්ල කෙරුනු කාලතුවක්කු ප්‍රහාරයකින් තරුන කාන්තාවක් මිය ගිය අතර හොදෙයිදාවේ මධ්‍යම සිරගෙයට බෝම්බ දැමීමෙන් රැඳවියෝ පස්දෙනෙක් තුවාල ලැබූහ.

මන්දපෝෂනය හේතුවෙන් මරනයේ අද්දර සිටින ලමුන් වෙනුවෙන් සත්කාර ක්‍රියාත්මක කරන අන්තිම වෛද්‍ය මධ්‍යස්ථානය වන, අල් තව්රා රෝහල අසලට බෝම්බ දැමීම ලඟා වී ඇත. එය ආධාර බලාපොරොත්තු වන අයට රෝහලට ලඟා වීම අපහසු කර ඇති අතර, යේමනය පුරා රෝහල් හා සායන බහුතරය මෙන් එය ද ඉලක්ක කෙරනු ඇති යි අපේක්ෂා කෙරේ.

හොදෙයිදා වරාය හා එම නමින් ම යුත් අවට ප්‍රෙද්ශය, හැම විටම තම උර මත ඇඳුම් හැරුනු විට අන් යමක් නැතිව නිතර පලා යන, පුද්ගලයෝ 570,000ක් නිවාස අහිමි සරනාගතයන් බවට පත් කෙරී සිටිති.

යලි ඇරඹුනු වටලෑමට වොෂින්ටනයේ ආශීර්වාදය ඇති බවට විවාදයක් නැත. හමුදා භටයින් බලමුළු ගැන්වීම, නාවික අවහිර කිරීම් හා අවසානයක් නැති බෝම්බ දැමීම් පෙන්ටගනයේ කිට්ටු සහයෝගයෙන් තොරව මුළුමනින් ම අපහසු වනු ඇත.පෙන්ටගනය සෞදි බෝම්බ යානාවලට ගුවනේ දී ඉන්ධන ද, හොදයිදා පිවිසුම් මාර්ග ග්‍රහනයට ගැනීම සඳහා මුහුදෙන් නාවික ආධාර මෙන් ම වරාය නගරයේ ඉලක්ක තෝරා ගැනීම සඳහා ඔත්තුසේවා සහාය ද සපය යි.

ඇරත් අල්ලා ගැනීම තීව්‍ර කිරීම සිදු වන්නේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හා රාජ්‍ය ලේකම් ජේම්ස් මැටිස් යේමනය තුල සටන් විරාමයක් සඳහා ඉල්ලීම හා සාම සාකච්ඡා යලි ඇරඹීම සඳහා දින 30ක අන්තිම නිවේදනයක් සංඥ කිරීම පිලිබඳ ව එක්සත් ජනපද මාධ්‍ය තුල විස්තීරන වාර්තා පල කිරීමෙන් යන්තම් සතියකට පසු ය.

හොදෙයිදාව අල්ලා ගැනීම සූදානම් කෙරෙමින් තිබුන මොහොතේ ම, නිව් යෝක් ටයිම්ස් පත්‍රය නොවැම්බර 5වැනිදා, “යේමනයේ ලතෝනිය අවසන් කරනු” නමින් කුහක කතුවැකියක් පල කලේ, “සියලු පැතිවලට ඝාතන නතර කිරීමට ඉල්ලීම” ගැන පොම්පියෝ හා මැටිස්ට ප්‍රශංසා කරමින් හා “ලේකම්වරුන් පලමු පියවර ගෙන ඇතැ”යි නිවේදනය කරමිනි.

බිම් මට්ටමේ සිදුවීම් ඇති තරම් පැහැදිලි කරන්නේ මේ සියල්ල ප්‍රලාප, මෙන් ම ආසන්න වසයෙන් ජනසංහාරයක පරිමාවට ලඟා වෙමින් ඉදිරියට ඇදෙන හා තීව්‍ර වන සංහාරය සඳහා කඩතුරාවක් පමනක් බව යි.

“සියලු පැතිවලට ඝාතන නැවත් වීමට” ඉල්ලමින් එක්සත් ජනපදය අනුබල දෙන හා සෞදිය නායකත්වය දෙන සභාගය මෙන් ම විපතට පත් වූවන් ද යේමනයේ සමූහ ඝාතනවලට එක සමානව වග කිව යුතු යැයි කීම, සැලැසුම් කෙරෙන්නේ යුද අපරාධ වෙනුවෙන් නිදහසට කරුනු නිර්මානය කිරීමට පමනී.

“සන්නද්ධ ගැටුම් පිහිටීම හා සිද්ධි දත්ත ව්‍යාපෘතිය” (Armed Conflict Location and Event Data Project) නම් ගැටුම් විශ්ලේෂන හා අර්බුද සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතිය විසින් කෙරුන මෑත ම ඇස්මේන්තුවලට අනුව, 2016 එක්සත් ජනපදය අනුබල දුන් ප්‍රහාරය ඇරඹුන දා සිට යේමන ජාතිකයෝ 56,000ක් පමන ජීවිතක්ෂයට පත්වූහ. යුද්ධයේ පලමු මාස නවයේ මරන සමග, සම්පූර්න මරන සංඛ්‍යාව 70,000ත් 80,000ත ් ්අතර යැයි ගනන් බැලේ, ඉන් අතිවිශාල බහුතරය සිදු වූයේ සෞදි බෝම්බ දැමීම හා මිසයිල ප්‍රහාර හේතුවෙනි.

සෞදිය විසින් එරට වැටලීම හා ජලය, මලාපවහන හා අනෙකුත් මූලික පොදුකාර්ය පහසුකම් ක්‍රමානුකලව සීමා කිරීම විසින් ඇති කෙරුනු, සාගින්න හා වැලැක්විය හැකි රෝගවලින් ඇති කෙරුනු මරන සංඛ්‍යාව, පසු ගිය වසරේ පමනක් ගනන් බැලූ පරිදි 50,000කි.

ආසන්න වසයෙන් රටේ ජනගහනයෙන් අඩක් වන, මිලියන 14ක් තරම් පුද්ගලයන් හාමත අද්දර සිටින්නේ, හොදෙයිදා වටලෑම හා සහනාධාර සැපයීම කපා දැමීම ජීවිත බිලි ගැනීමට තර්ජනය කිරීමත් සමගිනි.

පොම්පියෝ හා මැටිස් විසින් කරන ලද ප්‍රකාශ කිට්ටුවෙන් විභාග කිරීමක් ඔවුන්ගේ අභිප්‍රාය පැහදිලි කරයි.“සටන් විරාමයක්” සඳහා වන පොම්පියෝගේ ඉල්ලීම කියන්නේ, “ හවුති පාලන ප්‍රදේශවල සිට සෞදි අරාබි රාජධානියට හා එක්සත් අරාබි එමිරේටයට මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කීරීම ඇතුළු හතුරුකම් නැවත්වීමට දැන් වෙලාව යි. දෙවනුව, යේමනයේ ජනයා පදිංචි සියළු ප්‍රදේශවල සභාගයේ ගුවන් ප්‍රහාර නැවත් විය යුතු” බව යි. (අවධාරනය ඈඳුනි)

වෙනත් වචනවලින් කියතොත්, මිසයිල ප්‍රහාරය නැවත්වීමේ වගකීමේ බර පැටවෙන්නේ හොදයිදා හා සනා අගනුවර පාලනය කරන හවුති කැරලිකරුවන් මත ය; හවුති මිසයිල ප්‍රහාර සෞදියට හෝ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට කිසිදු බරපතල හානියක් කර නැත. මෙම ඒකපාර්ශ්වීය යටත් වීමෙන් පසු පමනකි “දෙවනුව” එක්සත් ජනපදය අනුබල දෙන සෞදි හමුදා “ජනයා පදිංචි ප්‍රෙද්ශවල” ප්‍රහාර නවත් වනු ඇත්තේ, අනුමාන කෙරෙන පරිදි ජනයා පදිංචි නැත යි පෙනෙන ප්‍රදේශවල ඒවා ඉදිරියට යනු ඇත.

ඉරිදා ෆොක්ස් නිව්ස් සමග සම්මුඛ සාකච්ඡාවක දී, ඔහුගේ හා මැටිස්ගේ ප්‍රකාශන ගැන පොම්පියෝගෙන් විමසූ තැන, “අවංකව ම, එය අළුත් දෙයක් නොවේ”යැයි ඔහු ප්‍රතිචාර දැක් වූයේ, සාගින්නට හේතු වන්නේ ඉරානය විසින්, “සෞදි අරාබිය තුල සටන් කරමින් සිටින හවුති කැරලිකරුවන්ට ආයුධ හා මිසයිල සැපයීම මගින්” යැයි ප්‍රකාශ කරන අතර ය. ආන්ඩුවේ බොරු වුවද යම් හෝ හැඟීමක් ඇති කරන බොරු විය යුතුය. ඉරානය හවුති කැරලිකරුවන් සන්නද්ධ කරමින් සිටී යන්නට වොෂින්ටනය තවමත් විශ්වාසදායි සාක්ෂියක් සැපයීමට තිබිය දී, හවුති කැරලිකරුවන් සෞදි අරාබිය තුල සටන් කරමින් සිටිතැ යි යන අදහස (ඔවුන් ආක්‍රමනිකයන් ලෙස පෙන්වා දෙමින්) ලෝකය එහි ඔලුවෙන් සිටවන මන:කල්පිතයකි.

යේමන සටන් විරාමය සඳහා යෝජිත දින 30ක අවසන් නිවේදනය යොදා ගැනුනේ, මානව වියදම කුමක් වුවත්, හැකි වේගවත්ම ලෙස සංහාරය සමග ඉදිරියට යාමට හා හොදෙයිදාව අල්ලා ගැනීමට සටන් විරාමය යොදා ගැනීමට සෞදියට යැවූ ටෙලිග්‍රාෆ් පනිවුඩයක් බවට දැන් පැහැදිලි ය. මෙම දැවන්ත ලේ හැලීම සඳහා රියාද් පාලනයට දීර්ග කිරීමක් අවශ්‍ය ද, එය ඉදිරියේ එලඹෙන බවට කිසිවෙකුටත් සැකයක් නැත.

වොෂින්ටනය යේමනයේ සමූහ මිනීමැරුම් දකින්නේ මැද පෙරදිග සිසාර ඉරානයේ බලපෑම අඩු කිරීම හා ටෙහෙරානයේ තන්ත්‍ර වෙනස සඳහා කෙරෙන තම උත්සාහයේ ප්‍රිස්මය ඔස්සේ ය. හොදෙයිදා වටලෑම තීව්‍ර කිරීම සමග යුද පියවරකට සමාන ලෙස ඉරානයට එරෙහි ව ඒකපාර්ශ්වීය දඬුවම්කාරී හා නීතිවිරෝධී සම්බාධක පැටවීම සම්පාත වීම අහම්බයක් නො වේ.ඉරානය සමග ගැටුමේ ප්‍රධාන මිත්‍රයා මෙන් ම එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයන් සඳහා වන ඩොලර් බිලියන ගනනාවක ලාභයෙහි මූලාශ්‍රය වන, සෞදි අරාබිය මැද පෙරදිග එක්සත් ජනපද ප්‍රතිගාමිත්වයේ කඩ ඇනය ලෙස දකිනු ලැබේ. මෙම උත්සුකයන් සුරැකීම සඳහා මිලියන ගනනාවක් මියයනවා දැකීමට වොෂින්ටනය සූදානම් ය.

ඔක්තෝබර් 2වැනිදා ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාලයේ දී සිදු කෙරුනු, හිටපු රියාද් ඇතුලතෙකු වන මාධ්‍යෙව්දී ජමාල් ඛෂෝගි ගේ භයානක දේශාපාලන ඝාතනය හමුවේ, යේමනයේ සමූහ ඝාතන විශාල වසයෙන් වසන් කර ඇති, එක්සත් ජනපද මාධ්‍ය කෙටි හදිසි ආවරනයක් සැපයූවේ, සෞදි පාලකයන් සමග වඩා වාසිදායක සම්බන්ධතාවක් රැක ගැනීමේ උත්තෝලනයක් ලෙස මෙම දේශපාලන ඝාතනය මත පැන නැගුනු අර්බුදය යොදා ගැනිම වොෂින්ටනයට ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇති නිසා බව පෙනේ.

මසකට පසුව, ඛෂෝගි ඝාතනය හා යේමනයේ සංහාරය පිලිබඳ මාධ්‍ය ආවරනය විශාල වසයෙන් බැස ගොස් ඇත්තේ, වොෂින්ටනය හා රියාද් අතර යම් ආකාරයක එකඟත්වයක් ඇති වී ඇතැ යි ඉඟි කරමිනි. එක්සත් ජනපදයේ ජනගහනයේ බොහෝ දෙනා සම්බන්ධයෙන් ගත් විට, ඇමරිකානු මිලිටරිය සම්පූර්න කොටසක් ලෙස සිටින, හොදෙයිදා නගරය වට කිරීමේ ප්‍රවෘත්තිය වාරනය කෙරුනකි.

තව ද, තීරනාත්මක යැයි සැලකෙන මධ්‍යවාර මැතිවරනයක් මධ්‍යයේ, ප්‍රධාන මහා පක්ෂ දෙකේ එක් අපේක්ෂයෙකු හෝ යේමනය තුල පිරිමි, ගැහැනු හා ලමුන්ගේ සමූහ ඝාතන සඳහා වොෂින්ටනයේ නැතිව ම බැරි සහාය, උද්ඝෝෂනයේ ප්‍රශ්නයක් ලෙස තෝරා ගෙන නැත. ඊට හොඳ හේතුවක් තිබේ. ඩෙමොක්‍රටික ඔබාමා පාලනාධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන ලදුව, හා ට්‍රම්ප්ගේ රිපබ්ලිකානු පාලනාධිකාරිය යටතේ ඉදිරියට ගෙන ගොස් ගැඹුරු කෙරුනු, සෞදිය නායකත්වය දෙන යුද්ධය සදහා සහයෝගිත්වයේ සියළුම මෙවලම් සැපයීම සමග(ගුවනේ දී නැවත ඉන්ධන පිරවීම, ඔත්තු හුවමාරුව, ඉලක්ක කිරිමේ සහාය සැපයීම, නාවික අවහිර කිරීම් සඳහා සහාය හා දැවන්ත එක්සත් ජනපද ආයුධ විකිනීම) ප්‍රධාන පක්ෂ දෙක ම මෙම යුද අපරාධයට පූර්න වශයෙන්ම සහභාගී වීඇත.

යේමනය හා ඉරානය සමග නො නැවත උත්සන්න වෙමින් තිබෙන ගැටුමේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර උපක්‍රමික වෙනස්කම් කුමක් වුවත්, ධනේශ්වර පක්ෂ දෙකම කැප වන්නේ තෙලින් ආඪ්‍ය මැද පෙරදිග අනභියෝගී එක්සත් ජනපද ආධිපත්‍ය පැටවීමේ ප්‍රතිපත්තියකි. මෙම ප්‍රතිපත්තිය වචනයෙන් කිව නො හැකි බියකරු පරිමානයක “අමතර හානියක්” ලෙස යේමන ජීවිත බිලිගනිමින් තිබේ.

බිල් වෑන් ඕකන්

Share this article: