බ්‍රසීලය තුල අන්ත දක්ෂිනාංශයේ තර්ජනය හා කම්කරු පක්ෂයේ කාර්යභාරය

The far-right threat in Brazil and the role of the Workers Party

2018 ඔක්තෝබර් 10

.

පසු ගිය ඉරිදා බ්‍රසීලයේ මහා මැතිවරනය දීර්ග කාලයක් තිස්සේ දේශපාලන භූදර්ශනයේ ආධිපත්‍ය ගෙන තිබූ පක්ෂ සක්ක ගල් බවට පත් කෙරුනු දේශපාලන භූමිකම්පාවක් විය. ඒ අතරම එය එලිදරව් කලේ, 1964 එක්සත් ජනපදය අනුබල දුන් කුමන්ත්‍රනය විසින් අටවන ලද විසි වසරක මිලිටරි ඒකාධිපතිත්වයෙන් පසු ස්ථාපිත කෙරුනු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පර්යායේ සම්පූර්න දිරා යාම යි.

ෆැසිස්ට්තාලයේ විගඩම්කාරයෙකු වන හිටපු හමුදා කපිතාන් මෙන්ම නව වතාවක් බ්‍රසීල කොංග්‍රසයේ උප ප්‍රධානියා වූ ජායිර් බොල්සොනාරෝට ඡන්දවලින් ආකර්ෂනීය සියයට 46ක් ජය ගත හැකි වූ අතර, සම්පූර්න ජයග්‍රහනය කෙස් ගහක අන්තරයකට පැමිනීම හෙලිදරව් කරන්නේ, පුද්ගලයන් මිලියන 200ට වැඩි ජනගහනයක් සහිත, ලතින් ඇමරිකාවේ විශාල ම රට ෆැසිස්ට්වාදී මිලිටරි පාලනයකෙට යලි පැමිනීමේ අතිමහත් අනතුරු යි.

ඔහුගේ ආසන්න ම තරඟකරුවා වන කම්කරු පක්ෂයේ (පීටී) අපේක්ෂක, ෆර්නැන්ඩෝ හඩාඞ්, ආසන්න වසයෙන් සියයට 17කින් බොල්සොනාරෝ පසු පස සිටී. මේ දෙදෙනා ඔක්තෝබර් 28වැනිදා දෙවැනි වටයේ මැතිවරනයේ දී ඍජු ගැටුමකට මුහුන දෙනු ඇත.

ජාතික එකතුවට වඩා විශාල පරතරයකින් බොල්සොනාරෝ විසින් හඩාඞ් පරාජය කල කලාපවලට, බ්‍රසීලයේ මෝටර්රථ හා ලෝහ කර්මාන්ත කේන්ද්‍රය ද,කම්කරු පක්ෂයේ උපන් ස්ථානය මෙන් ම, 1978-1980දී මිලිටරි ඒකාධිපතිත්වය බිඳ දමා මහාවැඩවර්ජන සිදු වූ තැන ද වන, සාඕ පාවුලෝ අවට ඊනියා ඒබීසි කාර්මික තීරුවේ සියළු නගර ඇතුලත් ය. දැනට හිරේ සිටින හිටපු කම්කරු පක්ෂ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වා ලෝහකම්කරු වෘත්තීය සමිති නායකයා ලෙස ඔහුගේ ආරම්භය ගත් මෙම නගර, කම්කරු පක්ෂ හඩාඞ්ට දෙන ලද යන්තම් සියයට 20 හා සසඳා බලන විට,බොල්සොනාරෝට ඡන්දවලින් සියයට 50ක් ලබා දුන්නෝ ය.

ඒ ආකාරයනේ ම, ලූලාගේ 2002 මැතිවරනයට පෙර කම්කරු පක්ෂ බලකඳවුරක් වූ ද, 2001 ලෝක සමාජ සංසදයේ ආරම්භය සඳහා තෝරා ගැනුනු තැන වූ ද, රියෝ ග්‍රෑන්ඞ්ඩි ඩු සුල් හි දී හඩාඞ්ගේ සියයට 21ට එරෙහිව, බොල්සොනාරෝ හට ඡන්දවලින් සියයට 45ක් ලැබී ය.

රියෝ ඩි ජනෙයිරෝ ප්‍රාන්තයේ දී, වාමාංශික ක්‍රියාවාදය පිලිබඳ එහි දීර්ග ඉතිහාසය සහිත, අගනගරය ද, වානේ නිෂ්පාදන කේන්ද්‍රයක් මෙන් ම කටුක වෘත්තීය සමිති අරගලවල භූමිභාගයක් ද වන වොල්ටා රෙඩොන්ඩා ඇතුළු සෑම නගරයක් ම බොල්සොනාරෝ ජය ගත්තේ ය.

ලූලා යටතේ ස්ථාපනය කෙරුනු ඉතා කුඩා වූ සමාජ සත්කාර වැඩසටහනින් ප්‍රතිලාභ ලැබූවා වු ද, කම්කරු පක්ෂයේ දේශපාලන බලකොටුව ලෙස සැලකුනා වූ ද, රටේ දුප්පත් ම කලාපය වන, ඊසාන දිග පවා, බොල්සොනාරෝ ප්‍රාන්ත නගර 26න් 23ක් ජය ගත්තේ ය.

බ්‍රසීල කොංග්‍රසය සඳහා ඡන්ද ඒ සමානව ම පුදුම සහගත වන්නේ,කම්කරු පක්ෂය රඳවා ගත් ආසන 56ට(මුල්68න්) ආසන 4ක් අඩුව, එක ආසනයක සිට ආසන 52ක් දක්වා බොල්සොනාරෝගේ සමාජ ප්‍රජාතන්තවාදී පක්ෂය යෑමත් සමගිනි. ව්‍යවස්ථාදායකයේ සභාපතිත්වය හා ප්‍රධාන බලය ඉසුලූ, මධ්‍යස්ථ-දක්ෂිනාංශික පක්ෂ වන පීඑස්ඩීපී හා එම්ඩීපී, ඔවුන්ගේ කොංග්‍රස් මන්ඩල නියෝජනය අඩකින් අඩු වෙනවා දුටුවෝ ය.

ඒ තරම් ම වැදගත් වන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටීමේ වාර්තාගත අනුපාතය හා හිස් ඡන්දපත්‍රිකා යි, ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වූ මෙය, දල වසයෙන් බොල්සොනාරෝටදුන් ඡන්ද සංඛ්‍යාවට සමාන ය. තව ද, සෑම ඡන්දයක් ම ඇඟවූයේ සෑම අපේක්ෂකයෙකුට ම සහයෝගයට වඩා විරුද්ධත්වයක් තිබූ බව යි.

බ්‍රසීලයේ අන්ත දක්ෂිනාංශික අපේක්ෂකයෙකු සඳහා පෙර නො වූ විරූ ඡන්ද සංඛ්‍යාවක් ලැබීමට වග කිව යුත්තේ කව්රුන් ද? පලමුව හා ප්‍රධාන වසයෙන්, ඒ කම්කරු පක්ෂයයි. ලූලාගේ පලමු පත්විමේ සිට, ඔහුගේ අනුප්‍රාප්තිකා ඩිල්මා රුසේෆ්ගේ 2016 දෝෂාභියෝගය දක්වා වසර 13ක් බ්‍රසීලය පාලනය කලේ කම්කරු පක්ෂය යි.

සඳුදා ඡන්දය 2013 එරටට එල්ලවූ මූල්‍ය අර්බුදයේ ද, එම අර්බුදයේ සම්පූර්න බර බ්‍රසීල කම්කරු පන්තිය මත පැට වූ කම්කරු පක්ෂ ආන්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීල මහජනතාවගේ බහුතරය මුහුන දෙමින් සිටින විනාසකාරී සමාජ හා ආර්ථික අර්බුදය පිලිබඳ ජනමතයක් ලෙස ගනන් ගත හැක. තවමත් රැකියාවල සිටින අයගේ සැබෑ වැටුප් කප්පාදු කිරීමට මග පාදමින්, මෙම තත්වය කම්කරුවන් මිලියන 14ක් විරැකියාවට ඇද දැමූවේ, සමාජ අසමානතාවේ තියුනු වර්ධනයත් සමගිනි.

රජයට අයක් බලශක්ති සංගතයක් වන පෙට්‍රොබාස් තුල අල්ලස් හා සන්තෝසම් පිලිබඳ ලාවා ජටා විමර්ශනයේ දී හෙලිදර්ව් කෙරුනු ක්‍රමානුකූල දූෂන පිලබඳ මහජන කෝපය ද මෙම මැතිවරනය ප්‍රකාශයට පත් කලේ ය. ගනන් බැලූ ආකාරයට මහජන මුදල් වලින් ඩොලර් බිලියන 4ක් දේශපාලකයින් හා ඔවුන්ගේ සංස්ථා අනුග්‍රහයකයින්ගේ සාක්කුවලට ඇදී ගියේ, මිලියන ගනනාවක් විරැකියාවට හා දැඩි දරිද්‍රතාවට මුහුන දෙන අතර ය.වෙරලාසන්න මහල් නිවසක් සබම්බන්ධ අතිශයින් නිස්සාර සාක්ෂි මත වරදකරු කෙරුනු ලූලා ද, කෙසේ නමුත් මෙම සෝලියේ කේන්ද්‍රයේ විය.

බොල්සොනාරෝගේ ෆැසිස්ට්තාලයේ කයිවාරුවලට එරෙහිව මහජන සහයෝගය ආකර්ෂනය කර ගැනීමට ඉඩ තිබූ කිසියම් වැඩසටහනක් කම්කරු පන්තියට හෝ ගොවිජනතාවට ඉදිරිපත් කිරීමට හඩාඞ් හා කම්කරු පක්ෂය අකමැති වූවාක් මෙන් ම අපොහොසත් ද විය. බ්‍රසීල කොංග්‍රසයේ දී ඔහු සමග සන්ධානගත වූ ,කම්කරු පක්ෂය විසින් බොල්සොනාරෝගේ දේශපාලන නැගීම පෝෂනය කෙරුනි.

බොල්සොනාරෝට (එමෙන්ම හඩාඞ්ට හා දේශපාලන සංස්ථාපිතයේ සෙස්සන්ට ද) වන මහජනතාවගේ බහුතරයේ විරෝධතාව ඔක්තෝබර 28වැනිදා නව-ෆැසිස්ට්වාදියාගේ පරාජයට හේතු වනු ඇති යි ද පෙනෙන්න තිබේ. කෙසේ නමුත්, ප්‍රශ්න කල නොහැකි දෙය වන්නේ,දෙවැනි වටයේ ඡන්දය මිලිටරි ඒකාධිපතිත්වයේ ඇද වැටීමෙන් පසු බ්‍රසීලයේ ඉතාමත් දක්ෂිනාංශික ආන්ඩුවක් ඇති කරනු ඇත යන්න යි.

කම්කරු පක්ෂයේ ව්‍යාජ වාම අනුචරයින් දැන් කතා කරමින් සිටින්නේ “ෆැසිස්ට්වාදයට එරෙහිව ජාතික එක්සත් පෙරමුනක” වචනවලිනි. සම්ප්‍රදායානුකූල දක්ෂිනාංශික පක්ෂ මෙන් ම, බොල්සොනාරෝ පිලිබඳ විවේචනාත්මක ව සිටින්නා වූ, ඔ ග්ලෝබෝ (ධ ඨකදඉද) හා වේජා (ඪැව්) සඟරා වැනි, නොයෙකුත් ප්‍රතිගාමී මාධ්‍ය හොරනෑ මෙම පෙරමුනට ඇතුලත් වෙති.

නිලධාරී පාලන ක්‍රමයකට පරිවර්තනය කෙරුනු වෘත්තීය සමිති සම්මේලනය වන, සීයූටීය සමග තම බැඳීම් මගින් කම්කරු පන්තියේ විරෝධය මර්දනය කිරීමට තමන්ට වඩා හොඳින් හැකි වනු ඇති බව, හා බොල්සොනාරෝ සමාජ පිපිරීම් ප්‍රකෝප කිරීමට ඉඩ ඇතැ යි යන පදනම මත, කම්කරු පක්ෂය බ්‍රසීල පාලක පන්තියට මෙන් ම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ද කන්නලව් කරමින් සිටී.

බොල්සොනාරෝ යනු හුදෙක් හානිකර විකෘතියක් වන අතර කම්කරු පක්ෂය අතින් ඔහු පරාජයට පත් කිරීම බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පල ගැනීමක් වනු ඇතැ යි විශ්වාස කරන ඕනෑ ම අයෙකු ජීවත්වනු ඇත්තේ සිහින ලෝකයක ය.

සමස්ත බ්‍රසීල සංස්ථාපිතය ම දකුනට මාරුවීම පිලිබඳ විවෘත ප්‍රකාශනයක් ඉස්මතු වූයේ මැතිවරනයට යන්තම් සතියකට පෙර, බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරන සභාපති ඩයස් ටොෆොලි විසින් කරන ලද කතාවක් තුල ය. එහි දී ඔහු පැවසුවේ, 1964දී බ්‍රසීල සන්නද්ධ හමුදා විසින් සීඅයිඒ පිටුබලය ඇතිව බලය අල්ලා ගැනීම හා ජෝආඕ ගෝලාර්ට්ගේ ආන්ඩුව පෙරලා දෑමිම ගැන කතා කරන විට, තමන්ට තව දුරටත් මිලිටරි කුමන්ත්‍රනයක් හෝ ඒකාධිපතිත්වය යන වචන වලින් කතා කිරීමට අවශ්‍ය නොවන බව යි. ඊට වෙනස් ව, ඔහු එය “1964 ව්‍යාපාරය” ලෙස කතා කරනු ඇත්තේ,මිලිටරි ක්‍රමන්ත්‍රනය නීත්‍යානුකූල වූ අතර දේශපාලන පක්ෂවල “වැරදි” එයට හේතු වූ බව පෙන්වා දෙමිනි.

ටොෆොලිගේ කතාව පැවත්වුනේ අතිරේක හමුදා ජනරාල්වරයෙකු උපරිමාධිකරනයේ ප්‍රධාන උපදේශක ලෙස ඔහුගේ තෝරා ගැනීමෙන් යන්තම් සතියකට පසු ය. ඔහුගේ පත්වීම යෝජනා කරන ලද්දේ ඉහල මිලිටරි නිලධාරීන්ගේ ප්‍රධානියා වන ජනරාල් එඩුවාර්ඩෝ විලාස් බෝස් විසිනි. වාර්තා වන පරිදි, පත් කෙරුනු ජනරාල්වරයා, බොල්සොනාරෝගේ උද්ඝෝෂන වැඩ සටහන සූත්‍රගත කිරීමට උදව් කල ඉහල මිලිටරි නිලධාරීන්ගෙන් කෙනෙකි.

විනිශ්චයකාර ටොෆොලි ඔහුගේ අධිකරන තනතුරට එසවුනේ කම්කරු පක්ෂයේ හිතවතෙකු ලෙස,1998, 2002 හා 2006 වර්ෂවල දි ලූලාගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ නීති නියෝජිතයා ලෙස සේවය කරමිනි.

බ්‍රසිලයේ දේශපාලන ජීවිතයේ සෑම පැත්තකට ම වඩ වඩා මිලිටරි නිලධාරීන් එසවීම, ප්‍රවර්ධනය කර ඇත්තේ කම්කරු පක්ෂය විසිනි. එය හයිටි රාජ්‍යයේ එක්සත් ජනපදය අනුබලදුන් වාඩිලා ගැනීමේ දී තම හමුදාවන්ගේ “ලේ හැලීමෙන්” පසු රියෝ නගරයේ ෆාවෙල්ස්( මුඩුක්කු නගර) හමුදා රැඳවීම අධික්ෂනය කලේ ය. බොල්සොනාරෝ මිලිටරි බලයේ වර්ධනය ගසා කෑමට උත්සාහ කර ඇත්තේ,මැතිවරනය තුල ඔහුගේ පරාජය නීති විරෝධී වනු ඇතැ යි අඟවමින්, ඔහු වෙනුවෙන් හමුදාව මැදිහත්වීම යුක්ති සහගත වන බවට සංඥා කරමිනි.

බ්‍රසීල කම්කරු පන්තිය මුහුන දෙමින් සිටින වර්තමාන අන්තරායන්ට පාර කපා ඇත්තේ කම්කරු පක්ෂය යි. කම්කරු පක්ෂය පිහිටු වීමේ දි හා ප්‍රචාරය කිරීමේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කල වෛවාරන ව්‍යාජ-වාම පක්ෂ මෙහි වගකීම බෙදා හදා ගත යුතු ය.

ඒවා අතර මොරේනෝවාදී-පැබ්ලෝවාදී සන්ධානය විය; සමාජවාදී හා ලිබරල් පක්ෂය(පීඑස්ඕඑල්)- 2006දී එය පලමු වරට අපේක්ෂකයෙකු ඉදිරිපත් කල අවස්ථාවේ ලැබූ සියයට 7 සලකන විට, තම ඡන්ද පංගුව යන්තම් 0.6ට අඩු කෙරෙනවා දැක ගත්තේ ය. දෙවනි වටයේ දී එය කම්කරු පක්ෂයට හා හඩාඞ්ට තම සහාය ප්‍රකාශ කර ඇත.

ආරම්භයේ දී ම, කම්කරු පක්ෂය පිහිටු වීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ලද්දේ, 1960දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී ගිය සංවිධාන විසිනි. එවායින් සමහරක් ප්‍රචාරය කරමින් සිටියේ කම්කරු පන්තිය තුල මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීමේ අවශ්‍යතාව වෙනුවට කැස්ත්‍රෝවාදය හා ගරිල්ලා යුද්ධ ආදේශ කර ඇතැ යි යන න්‍යාය යි. මෙම දේශපාලන අවමංගත වීම කම්කරු පන්තියේ විනාසකාරී පරාජයන්ට ද මිලිටරි ඒකාධිපතිත්වයන්ගේ නැගීමට ද දායක විය.

බ්‍රසීලයේ මිලිටරි තන්ත්‍රයට එරෙහි ශිෂ්‍යයින්ගේ දැවන්ත වැඩවර්ජන හා සටන්කාමී අරගලවල තතු යටතේ, මෙම කොටස් කම්කරු පක්ෂය පිහිටු වීමට වෘත්තීය සමිති නායකත්වය, කතෝලික පල්ලිය හා වාම ශාස්ත්‍රාලිකයන් කන්ඩායම් සමග එක්වූහ. එමෙන් ම එය විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම හා කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය සඳහා සටන් කිරීම වෙනුවට ආදේශකයක් ලෙස සේවය කලේ ය. කම්කරු පක්ෂය සමාජවාදය සඳහා සුවිශේෂ බ්‍රසීලියානු පාර්ලිමේන්තු මාවතක් සැපයීමට නියමිත විය. මෙම මාවතේ ආවෘත අන්තය (ෆැසිස්ට්වාදී කයිවාරුකාර බොල්සොනාරෝගේ නැගීම විසින් පුද්ගලාරෝපනය කෙරී) පැහදිලිව ම ලඟා වී ඇත.

කම්කරු පක්ෂය සමග “එක්සත් පෙරමුනක” කොටසක් ලෙස හා බ්‍රසීල පාලක පන්තියට සහාය සඳහා ආයාචනය කරමින් බ්‍රසීල කම්කරු පන්තියට තමන්ටම ආරක්ෂා විය නො හැක. එකම ඉදිරි මාවත පවතින්නේ පොදු හතුරාට, එනම් මූල්‍ය ප්‍රාග්ධනය හා අන්තර්ජාතික සංගත වලට එරෙහිව ලතින් ඇමරිකාවේ මෙන් ම උතුරු ඇමරිකාවේ කම්කරුවන් සමග බ්‍රසීල කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීම ඔස්සේ පමනි.

එවැනි අරගලයකට කම්කරු පක්ෂය හා එහි සියළු ව්‍යාජ වාම අනුචරයින් සමග තීරනාත්මක දේශපාලන කැඩීමක් අවශ්‍ය ය. ඉතාමත් හදිසි ප්‍රශ්නය වන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල මූර්තිමත් කෙරෙන ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ දීර්ඝකාලීන ඉතිහාසයේ නිගමන මත පාදකව, කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: