ජර්මනියේ නොවැම්බර් විප්ලවයේ සිට වසර සියයක්

One hundred years since the November Revolution in Germany

2018 නොවැම්බර් 9

වසර සියයකට පෙර 1918 නොවැම්බර් 9දා එහි කූටයට ලඟා වුනු ජර්මානු කම්කරු පන්තියේ යුද්ධයට හා රාජාන්ඩුවට එරෙහි විප්ලවවාදී නැගී සිටීම ධනපති පද්ධතිය එහි පදනම් දක්වා ම සොලවාලී ය.

මර්දනය, රුදුරු වාරනය හා විප්ලවවාදී නායකයන් සිරගත කිරීම සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්පීඩී) හා වෘත්තීය සමිති පලමු ලෝක යුද්ධයට දුන් සහයෝගය නො තකා, කම්කරු පන්තිය යුද්ධයට දැක්වූ විරෝධය තවදුරටත් පාලනය කිරීමට අධිරාජ්‍ය ආන්ඩුව සමත් නො වීය. ලේවැකි සංහාරය, අවුරුදු තුනහමාරක ව්‍යසනකාරී බලපෑම් හා බටහිර පෙරමුනේ මිලිටරි පරාජයන් විප්ලවවාදී අර්බුදයකට මාවත විවර කලේ ය.

බොහෝ ප‍්‍රදේශවල ආහාර සැපයුම සම්පූර්නයෙන් ම පාහේ බිඳවැටුනි. 1914 ගිම්හානයේ පටන් යුද කර්මාන්ත නිෂ්පාදනය නාටකාකාර ව ඉහල නැගුන ද 1917 අවසානය වන විට සමස්ත කාර්මික නිෂ්පාදනය යුද්ධයට පෙර පැවති මට්ටමයට වඩා සියයට 47කින් පහල වැටී තිබුනි. කෘෂිකාර්මික නිෂ්පාදනය සියයට 60කින් පහල ගොස් තිබුනි. සාගතය සිතාගත නො හැකි මට්ටම්වලට ලඟා විය.

යුද්ධයේ අවසන් මාසවල දී යුද පෙරමුනු චලනය වූයේ මඳ වසයෙන් වුව ද මහා මානව සංහාරය නො නැවතී සිදු වුනි. සංහාරයට ලක්වීම සඳහා නිරර්ථක ව ඉදිරියට යවනු ලැබූ සොල්දාදුවන් එක්කෝ යුද අගල්වල කුසගින්නේ මිය යාම හෝ නැතහොත් වසංගත රෝග හේතුවෙන් මරනයට පත්වීම සිදු විය. ඒ අවස්ථාව වන විට පලමු ලෝක යුද්ධය වසර හතරක් තිස්සේ ඇදෙමින් පැවතුනි. ජෙනරාල් ලුඩන්ඩ්‍රොෆ් හා උත්තරීතර හමුදා අනදෙන මන්ඩලය සටන් විරාම සාකච්ඡා පමා කල අතරේ, 1918 නොවැම්බරයේ යුද්ධය අවසාන වන විට ලොව පුරා මිලියන 10ක් ජනයාට ජීවිත අහිමි ව මිලියන 20ක් සොල්දාදුවන් තුවාල ලබා තිබුනි. ඊට අමතර ව මිලියන 7ක සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී තිබුනි.

රුසියාවේ කම්කරු පන්තිය 1917 ඔක්තෝබරයේ බොල්ශෙවික්වරුන්ගේ නායකත්වය යටතේ බලය අල්ලාගෙන රුසියාව යුද්ධයට සහභාගි වීම අවසන් කර තිබුනි. එම ජයග‍්‍රහනය ජර්මනියේ කම්කරුවන් ව උද්‍යෝගිමත් කලේ ය. ලෝක යුද්ධයේ සංහාරය මධ්‍යයේ ධනවාදයට ඔබ්බේ සූරාකෑම හා යුද්ධයෙන් තොර ලෝකයක් තිබිය හැකි බව රුසියානු විප්ලවය සනාථ කලේ ය.

1918 ජනවාරියේ දී හෙනිංස්ඩෝෆ්හි යුද උපකරන කර්මාන්තශාලාවල කම්කරුවෝ ඔවුන්ගේ මෙවලම් පහත දැමූ හ. අසල්වැසි බර්ලිනයේ ඔවුන්ගේ විරෝධතාවට 400,000ක ජනතාවක් එක් වූ හ. “ජනවාරි වැඩ වර්ජනය විල්හෙල්මියානු පර්යායේ අවසානය ආරම්භය වන අතර, එය, සටන් විරාමය විසින් නො සැඟවූ පමනක් නො ව රාශීභූත කල රයිකය තුල භ‍්‍රමනය වෙමින් තිබූ සියලු පරස්පර විරෝධයන්ගේ ගිනිකඳුමය පුපුරා යාමක් විය” යයි “1918” නමැති කෘතිය තුල ජෝකිම් කැප්නර් ලියයි.

කර්මාන්තශාලා තුල විරෝධය ඉන්පසුව වර්ධනය වී යුද බල ඇනිය හා පෙරමුන කරා ව්‍යාප්ත විය. 1918 හේමන්තයේ දී තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් තිබුනි. විප්ලවීය රැුල්ල පාලනය කිරීමට හා යුද පරාජය පිලිබඳ වගකීම අනෙකුන් මතට මාරු කිරීමට ආන්ඩුව පසුබෑම් මාලාවක් සිදුකලේ ය. “ඒ වෙනුවට සම්පූර්න කර තිබූ අනික් පැත්ත ගැසීමේ මූලික අදහස නම් පහලින් එන විප්ලවය ඉහලින් කෙරෙන ප‍්‍රතිසංස්කරන හරහා වැලැක්වීම යි” යනුවෙන් වෝල්කර් උල්රිච් “1918/19 විප්ලවය” කෘතිය තුල සඳහන් කරයි.

ඔක්තෝබර් 3දා මැක්ස් වොන් බේඩන් කුමාරයා රයිකයේ චාන්සලර් ධුරයට පත්කරන ලද්දේ, ඉතිහාසයේ පලමු වතාවට ආන්ඩු වගකීම භාරගත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සමග ආන්ඩු සභාගයක් තැනීමට ය. ඉන් සති තුනකට පසුව උත්තරීතර හමුදා අනදෙන මන්ඩලයේ බලවත් ම පුද්ගලයා වූ ජෙනරාල් ලූඩන්ඩ්‍රොෆ් ව නෙරපා දැමුනි.

එහෙත් මෙම පියවරයන් පැමිනුනේ පමා වී ය. විප්ලවවාදී නැගිටීම තවදුරටත් නවත්වාලිය නො හැකි විය. ඔක්තෝබර් 30දා කැරලි ගසන ගැඹුරු-නාවික බලකායේ නාවිකයෝ, ඔවුන්ගේ මරනයට නිශ්චිතවම හේතු විය හැකි ව තිබූ “අවසන් සටනට” සහභාගි වීම ප‍්‍රතික්ෂේප කරති.

කම්කරුවන් සමග සහෘද වූ කියෙල්හි නාවිකයෝ මහා වැඩ වර්ජනයක් සංවිධානය කරති. නොවැම්බර් 4දා ඔවුහු නැව් හා කියෙල් නගර ශාලාව අල්ලා ගනිති. කම්කරුවන්ගේ හා සොල්දාදුවන්ගේ කවුන්සිල බිහි කෙරෙති. නොවැම්බර් 5දා ලියුබෙක්හි ද නොවැම්බර් 6දා හැම්බර්ග්හි ද ඉන්පසු බ්‍රෙමන්, හැනෝවර් හා ස්ටුට්ගාට්හි ද විප්ලවය රජයයි. නොවැම්බර් 7දා මියුනිච්හි විරෝධතාවේ යෙදෙන 80,000ක් කම්කරුවෝ, කම්කරු හා සොල්දාදු නියෝජිත සභාවක් බිහිකරති. ඉන් දිනකට පසුව කුර්ට් අයිස්නර් බැවේරියාවේ නිදහස් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කරයි.

එතැන් පටන් සිද්ධීහු වේගවත් වීමට පටන් ගති. කම්කරු හා සොල්දාදු නියෝජිත සභාවල විධායක සභාපති ලෙස නොවැම්බර් 9 දින බර්ලින් නැගී සිටීමේ දී ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකල රිචඩ් මුලර් එය මෙසේ විස්තර කරයි:

“උදේ ආහාර විවේකයෙන් පසුව දේවල් සජීවී බවට පත්විය. විශ්වාස කල නො හැකි වේගයකින් කම්හල් හිස්වුනි. වීදි යෝධ මහජන සන්නිපාතයන්ගෙන් පිරී ගියේ ය. විශාලතම කම්හල් පිහිටා තිබූ බැහැර ප‍්‍රදේශවල විශාල විරෝධතා පෙලපාලි සැකසී නගර මධ්‍යය වෙත ගලා ආවේ ය.”

රාජාන්ඩුව ආරක්ෂා කරමින් පර්යාය පවත්වාගෙන යාමට නියෝග ලබා සිටි සොල්දාදුවෝ ඉල්ලීමකින් පවා තොර ව කම්කරුවන්ගේ විරෝධතා සමග එක්වූයේ කෙසේදැයි මුලර් විස්තර කරයි. ”මිනිසුන්, ගැහැනුන්, සොල්දාදුවන්, සන්නද්ධ ජනතාවක් ආසන්නතම බැරැුක්ක වෙත වීදිවලින් ගලා ගියේ ය.” මෝවාබිට් බන්ධනාගාරයේ හා ටෙගෙල් බන්ධනාගාර කඳවුරේ රැුඳවියන් නිදහස් කරනු ලබති. ”විශාල පුවත්පත්, වොල්ෆ් විදුලි පනිවුඩ කාර්යාලය, විදුලි පනිවුඩ දෙපාර්තමේන්තුව, රයික්ස්ටාග් (පාර්ලිමේන්තු* ගොඩනැගිල්ල යන ඒවා සවස් වරුවේ පලමු පැය කිහිපය වනවිට ම වාඩිලාගෙන තිබුනි.”

“මෙම නැගී සිටීමේ ආවේනික ලක්ෂනය, එය පුපුරා යාමේ මූලික බලවේගයත්, එහි ප‍්‍රසාරනයේ සියල්ල වෙලාගත් විශාලත්වයත්, මහා බර්ලිනයෙහි විශාල ප‍්‍රදේශයේ සියලූ කොටස් තුල මුලූමනින් ම පාහේ ඒකාබද්ධ විධික‍්‍රමයකින් ක‍්‍රියාත්මක වීමත් තුල රැුඳී තිබේ” යනුවෙන් මුලර් මෙම සිද්ධීන් සාරාංශගත කරයි.

කම්කරු පන්තියේ මෙම දැවැන්ත ප‍්‍රහාරය හමුවේ, යුද්ධයෙන් පුපුරුවා හැර තිබූ රාජාන්ඩුවේ පාලනය බිඳවැටෙයි. රයිකයේ චාන්සලර් මැක්ස් වොන් බේඩන් මෙම උදෑසන තරම් කලින් ම දෙවන විල්හෙල්ම් අධිරාජයාගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි. දහවල වනවිට සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික ෆ්‍රෙඞ්රික් එබර්ට් වෙත ඔහු කාර්යාලය භාරදෙයි. හවස් වරුවේ පූර්ව කාලයේ එස්පීඞී සාමාජික ෆිලිප් ෂයිඞ්මාන් මහා ජන සන්නිපාතය ඉදිරියේ බර්ලින් නගර මන්දිර බැල්කනියේ සිට ප‍්‍රජාතාන්ත‍්‍රික සමූහාන්ඩුවක් ප‍්‍රකාශයට පත්කරයි. ඉන් ටික වේලාවකට පසුව අසල්වැසි ලූස්ට්ගාටන්හි දී ස්පාටසිස්ට් ලීගයේ නායක කාල් ලිබ්නෙක්ට් සමාජවාදී සමූහාන්ඩුව ප‍්‍රකාශයට පත්කරයි.

පසු දින, බහුතර සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් තිදෙනෙක් (එබර්ට්, ෆිලිප් ෂයිඞ්මාන් හා ඔටෝ ලෑන්ඞ්ස්බර්ග්) හා යූඑස්පීඞී සාමාජිකයන් තිදෙනෙක්ගෙන් (ස්වාධීන සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික හියුගෝ හාස්, විල්හෙල්ම් ඩිට්මන් හා එමිල් බාත්* සමන්විත ”මහජන නියෝජිත මන්ඩලය” නමැති නව ආන්ඩුවක් එස්පීඞී සභාපති ෆ්‍රෙඞ්රික් එබර්ට් විසින් තනයි. යූඑස්පීඞීය 1917 අපේ‍්‍රල් මාසයේ ආරම්භ කරනු ලැබ තිබුනේ මහජන පීඩනය යටතේ තවදුරටත් යුද්ධයට මුදල් ලබාදීමට විරුද්ධ වීම හේතුවෙන් එස්පීඞීයෙන් ඉවත් කර තිබූ එස්පීඞී සාමාජිකයන් විසිනි. බාත් බර්ලිනයේ ලෝහ කර්මාන්තය මත විශාල බලපෑමක් පවත්වන විප්ලවවාදී නියෝජිතයන්ගේ සාමාජිකයෙක් ද වෙයි.

හුදෙක් රාජාන්ඩුවට පමනක් නො ව, ධනපතියන්ගේ හා ඉඩම් හිමියන්ගේ දේපොලට ද මිලිටරි කුලයේ බලයට ද තර්ජනය කරමින් දින කිහිපයක් තුල රටපුරා ලැව්ගින්නක් මෙන් පැතිර ගිය යෝධ විප්ලවවාදී රැුල්ල යටත් කරගෙන එහි හුස්ම හිරකිරීමේ හා එය ලේවැකි ලෙස මැඞීමේ කර්තව්‍යය මහජන කොමසාරිස් මන්ඩලය විසින් භාරගනී.

1914 ගිම්හානයේ ජර්මානු ආන්ඩුවේ යුද අයවැයට ඡන්දය දුන් එස්පීඩී නායකයෝ ඒ මගින් කම්කරුවන් මිලියන ගනනක් අධිරාජ්‍යවාදී යුද්ධයේ සංහාරකාගාරය වෙත දැක්කුවෝ ය. වසර හතරකට පසුව, ඔවුහු ධනේශ්වර පාලනයේ වඩාත් ම වැදගත් ආරක්ෂකයන් බව සනාථ කලෝ ය. එබර්ට්, ජෙනරාල් ග්‍රෝනර් යටතේ තිබූ උත්තරීතර හමුදා අනදෙන මන්ඩලය සමග රහස් ගිවිසුමකට එලඹෙයි. ප‍්‍රතිවිප්ලවයේ සාමාන්‍ය කාර්ය මන්ඩලය සමග දෛනික හා ඍජු සහයෝගයෙන් යුතුව විප්ලවීය කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාර සූදානම් කොට සංවිධානය කරනු ලැබේ.

එබර්ට් සමග තමන්ගේ සන්ධානය පිලිබඳ ව ජෙනරාල් ග්‍රෝනර් සිය මතක සටහන්වල මෙසේ ලීවේ ය: “නිලලත් හමුදා ඛන්ඩයන්ට සහයෝගී විය හැකි වූයේ රැුඩිකල්වාදයට හා බොල්ශෙවික්වාදයට එරෙහි සටන අතට ගත් ආන්ඩුවක් සමග පමනි. එබර්ට් එයට සූදානම් විය.” හමුදාව ආන්ඩුව සමග එක්වන බවත් එහෙත් බොල්ශෙවික්වාදයට එරෙහි ව සටන් කල යුතු බවත් නොවැම්බර් 10දා ඔහු එබර්ට් වෙත පවසා තිබුනි. ”සන්ධානයක් සඳහා මගේ යෝජනාවට එබර්ට් ප‍්‍රතිචාර දැක්වී ය. එතැන් පටන් සෑම සැඳෑවක ම රයික් චාන්සලර් කාර්යාලය හා හමුදා අනදෙන මධ්‍යස්ථානය අතර රහසිගත සැලැස්මක් සඳහා අවශ්‍ය පියවර අපි සාකච්ඡුා කලෙමු. සන්ධානය එය මගින් ම තහවුරු වී තිබේ.”

මෙම සන්ධානය මත පදනම් වූ එස්පීඩී නායකත්වය විප්ලවීය කම්කරුවන්ට එරෙහි ව එකකට පසු තවෙකක් ප‍්‍රහාර සංවිධානය කරයි. යුද හමුදා හා නාවික හමුදා මහජන කොමිසාර්වරයා වූ ගුස්ටාව් නොස්කේට නැගිටීමට විරුද්ධ ව විසිරී ගිය ෆ‍්‍රයිකෝප්ස් ප‍්‍රතිගාමී සොල්දාදුවන් බඳවා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ. ඔහු මෙසේ කියමින් එම කර්තව්‍යය භාරගනී: ”කිසියම් අයෙකු ලේවැකි දඩබල්ලා ලෙස සෙල්ලම් කල යුතු ව තිබේ.” නාසි කුනාටු බලකායේ පූර්වගාමියා වූ ෆ‍්‍රයිකෝප්ස් සමග සහයෝගී වන ලෙස කරන ආයාචනා ”ස්පාටකස්වරුන්ගෙන් ඔබලා ම ආරක්ෂා වන්න!” යන සිරස්තලය යටතේ එස්පීඞීයේ පක්ෂ පුවත්පත වූ ෆෝවට්ස්හි පලවේ.

එක්පසෙක කම්කරු පන්තිය ද අනෙක් පස ෆ‍්‍රයිකෝප්ස් ප‍්‍රතිවිප්ලවවාදී භටයන් හා එබර්ට් ආන්ඩුව ද අතර ගැටුම විවෘත සිවිල් යුද්ධයක් බවට වර්ධනය වෙයි. එහෙත් බර්ලිනයේ වීදි පුරා සන්නද්ධ ගැටුම් පුපුරා ගිය දෙසැම්බර් 29දා වනතෙක් ම යූඑස්පීඞී ඇමතිවරු එබර්ට් ආන්ඩුව හැරගියේ නැත. ඔවුන් ක‍්‍රියාකර තිබුනේ සිද්ධීන් මත කිසිදු බලපෑමක් රහිත වූ වාම ආවරනයක් ලෙස ය.

යුද්ධය ආරම්භයේ පටන් ම එස්පීඞීයේ පාවාදීමට එරෙහි ව සටන් කරමින්, “ජාත්‍යන්තර කන්ඩායම” හා පසුව “ස්පාටකස් සංගමය” තැනූ කාල් ලිබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග්, 1918/19 වසර එලිපත්තේ ශ්‍රේෂ්ඨ විප්ලවීය අරගලවල ගින්න මධ්‍යයේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කල හ. බලකොටුවක් තුල දීර්ඝ කාලයක් සිරගත වී සිට නිදහස් කරනු ලැබ තිබූ රෝසා ලක්සම්බර්ග් ආරම්භක සම්මේලනයේ ප‍්‍රධාන දේශනය ඉදිරිපත් කලා ය. කාල් රඩෙක් බොල්ශෙවික් පක්ෂයේ සුභපැතුම් ඉදිරිපත් කලේ ය. සති දෙකකට පසුව ජනවාරි 15දා නොස්කේගේ ෆ‍්‍රයිකෝප්ස්වරු විසින් අල්ලා ගන්නා ලද ලක්සම්බර්ග් හා ලිබ්නෙක්ට් ද්‍රෝහී ලෙස ඝාතනය කරනු ලැබී ය.

ප‍්‍රතිවිප්ලවය ජයගනී! රුදුරු අපරාධකාරීත්වයකින් යුතු ව එය බර්ලිනයේ හා අනෙකුත් කාර්මික ප‍්‍රදේශවල විප්ලවීය කම්කරුවන්ට එරෙහි ව දිගහැරේ. දසදහස් ගනනක් ඝාතනය කරනු ලැබේ. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදා ඇමතිගේ භටයෝ විප්ලවය ලෙයෙහි ගිල්වති.

අද දින නිල ඉතිහාසවේදය තුල නොවැම්බර් විප්ලවය ඉදිරිපත් කරනු ලබන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවදි වීමක් හා ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භය ලෙස ය. එහෙත් කිසිසේත් ම එවැන්නක් නො වේ. 1930 දී ලියොන් ට්‍රොට්ස්කි අතිශය යෝග්‍ය පරිදි සඳහන් කල ආකාරයට, 1918 ජර්මානු විප්ලවය ”ධනේශ්වර විප්ලවයේ ප‍්‍රජාතාන්ත‍්‍රික සම්පූර්න කිරීමක් නො ව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් හිස ගසා දැමූ නිර්ධන පන්තික විප්ලවයක් විය.” වඩාත් නිවැරදි ලෙස කීවොත්, එය වනාහි නිර්ධන පන්තිය අභිබවා ලත් ජයග‍්‍රහනයෙන් පසුව ව්‍යාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී රූපාකාරයන් පවත්වාගෙන යාමට බලකෙරුනු ධනේශ්වර ප‍්‍රතිවිප්ලවය යි.

ඒ වන විටත්, එනම් වසර 70කට පෙර, ජර්මානු ධනේශ්වරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන්ට සමු දී තිබුනි. 1848 දී ජර්මනිය හා යුරෝපයේ බොහෝ ප‍්‍රදේශ හරහා හමාගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට පිටුපසින් ඇන තිබූ ජර්මානු ධනේශ්වරය වැඩවසම් ප‍්‍රතිගාමීත්වය සමග හාද වී තිබුනි. අධිරාජ්‍යවාදී මහා බලයක් ලෙස ජර්මනියේ නැගී සිටීම එතැන් පටන් හොහෙන්සෝලර්න් තන්ත‍්‍රයේ පාලනය යටතේ සිදු විය. පෘසියානු මිලිටරිවාදය, ආඥාදායක පෘසියානු රාජ්‍ය යාන්ත‍්‍රනය හා එහි පිටකොන්ද වූ සුවිසල් ඉඩම්හිමි දේපොල හිමියෝ කම්කරු පන්තිය පීඩනයට ලක්කරමින් එහි අධිරාජ්‍යවාදී අරමුනු හඹායාමේ අභිලාෂයෙන් යුත් ජර්මානු ධනේශ්වරයට සේවය කල හ. පලමු ලෝක යුද්ධයේ ව්‍යසනය ලෙස මෙය කූටප‍්‍රාප්තියට ලඟා වූ අතර, එම යුද්ධය පුපුරා යාම පිලිබඳ ව බොහෝ සෙයින් වග කිව යුතු වන්නේ ජර්මානු ධනේශ්වරය යි.

වසර හතරක ම්ලේච්ඡු සංහාරයෙන් හා කිව නො හැකි යුද අපරාධවලින් පසුව මහා සන්නිපාතයක් ලෙස නැගී සිටි කම්කරුවන් හා සොල්දාදුවන් මුහුන දුන්නේ ධනේශ්වර-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්න කිරීමේ කර්තව්‍යයට නො වේ. අධිරාජ්‍ය තන්ත‍්‍රයේ ආරක්ෂාව සහිත ව බොහෝ කලකට පෙර පාලක පන්තිය බවට පත්ව තිබූ ධනේශ්වරය, යුද්ධය හරහා එහි බංකොලොත් බව සනාථ කර තිබුනි. කම්කරුවන් හා සොල්දාදුවන් මුහුන දුන්නේ ධනේශ්වරයේ හා මිලිටරි කුලයේ ද්‍රව්‍යමය පදනම වූ කාර්මික ස්වාමිවරු, යුද්ධයෙන් ලාබ උපයන්නන් හා ඉඩම් හිමියන් අස්වාමික කොට සමාජවාදී කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට යි.

ජර්මානු නොවැම්බර් විප්ලවය වර්ධනය වෙමින් පැවති ලෝක නිර්ධන පන්ති විප්ලවයෙන් වෙන් කල නො හැකි එහි කොටසක් විය. වසරකට පෙර බොල්ශෙවික්වරුන්ගේ නායකත්වය යටතේ කම්කරු පන්තිය රුසියාවේ බලය අල්ලාගෙන තිබුනි. ඔක්තෝබර් විප්ලවයේ නායකයන් වූ ලෙනින් හා ට්‍රොට්ස්කි, ඔවුන්ගේ සමස්ත මූලෝපාය පදනම් කර තිබුනේ ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් මත යි. රුසියානු විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ පූර්විකාව බව ඔවුහු අවබෝධ කරගත් හ. පලමු ලෝක යුද්ධයේ ම්ලේච්ඡුත්වය තුල ප‍්‍රකාශයට පත්වූ අධිරාජ්‍යවාදී ලෝක පද්ධතියේ පරස්පරවිරෝධතාවන්, අනෙකුත් රටවල කම්කරු පන්තීන් විප්ලවය කරා ධාවනය කොට රුසියානු කම්කරුවන් ව ආරම්භක හුදකලා භාවයෙන් ක්ෂනික ව මුදාගනු ඇතැයි ඔවුන් ඒත්තු ගෙන තිබුනි. ජර්මනියේ සිද්ධි මෙම ඉදිරිදර්ශනය සනාථ කලේ ය.

ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහනය ජර්මානු කම්කරුවන් ව උද්යෝගීමත් කල අතර, පාලක ප‍්‍රභූන් තුල බිය හා ත‍්‍රස්තය දැනවී ය. “බොල්ශෙවික්වාදයට එරෙහි ආරක්ෂාව” හුදෙක් ආන්තික ප‍්‍රතිගාමීත්වයේ පමනක් නො ව, එස්පීඞීයේ ද යූඑස්පීඞීයේ කොටස් අතර ද සටන් පාඨය බවට පත් විය. ”කාල් ලිබ්නෙක්ට් ... ස්වාධීනයන්ගේ රයික්ස්ටාග් කන්ඩායම රුසියානු සටන් පාඨය වූ ”සියලූ බලය සෝවියට් සභාවලට” යන්නට ඒත්තු ගන්වාගැනීමට නොවැම්බර් 9දා උත්සාහ කල විට, එවක ජීවත් ව සිටි එඩුවාඞ් බර්න්ස්ටයින් ‘ඔහුගේ ඔලූවට හෙන ගෙඩියකින් මෙන් ගසනු’: ‘එය අපට ගෙන එන්නේ ප‍්‍රතිවිප්ලවය යි’ ආදී මෙන් ප‍්‍රතිචාර දැක්වී ය” යයි හෙන්රික් වින්ක්ලර් ඩර් ලාංග් වෙල් නාක් වෙස්ටන් (ජර්මනිය: ද ලෝං රෝඞ් වෙස්ට් -ජර්මනිය: බටහිර කරා දිගු මාවත* යන කෘතිය තුල ලිවී ය.

ජර්මානු විප්ලවය අසාර්ථක වූයේ විප්ලවවාදී නායකත්වයේ අඩුව නිසා ය. ඕගස්ට් බෙබෙල් හා විල්හෙල්ම් ලිබ්නෙක්ට් යටතේ එස්පීඞීය ලොව විශාලතම මාක්ස්වාදී මහජන පක්ෂය ගොඩනගා තිබුනි. එහෙත් ආර්ථික උත්පාතය විසින් තමන් ව ම ඇදගෙන යාමට ඉඩහල එහි නායක ස්ථරයෝ, තමන්ගේ ම ක‍්‍රියාමාර්ගය 1914 දී පාවාදී පලමු ලෝක යුද්ධයට සහාය දුන් හ.

කම්කරු පන්තිය මෙම ප‍්‍රහාරයෙන් කල්වේලා ඇති ව ප‍්‍රකෘතිමත් නො වී ය. යුද්ධය ආරම්භ වී වසර තුනක් ගෙවුනු පසුව පමනක් යූඑස්පීඞීය ගොඩනගන ලද අතර, එය ද සිදුවූයේ එහි ම ආරම්භකත්වයක් මත නො ව පක්ෂයෙන් නෙරපා දැමීම් හරහා එස්පීඞීය විසින් වෙනත් විකල්පයක් නැති තැනට ඇදදැමූ විට ය. එහි පිලිවෙත් සෑම විට ම එබර්ට්ගේ ආන්ඩුවට සම්බන්ධ වීම වැනි ධනේශ්වරයේ සෑම පීඩනයකට ම අනුගත වූ මාධ්‍යමික පිලිවෙත් විය. ස්පාටකස් ලීගය තුල සංවිධානය වූ ජර්මානු කම්කරු පන්තියේ වඩාත් ම විප්ලවවාදී හා ධෛර්යය සම්පන්න නියෝජිතයන්ට පවා එස්පීඞීයෙන් හා යූඑස්පීඞීයෙන් කල්වේලා ඇති ව බිඳී වෙන්වීම අසීරු විය.

නොවැම්බර් විප්ලවයේ පරාජය ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ජනිත කලේ ය. පසුකාලීන ව ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රයේ වර්ධනයට ඉඩ ලබාදෙමින් එය සෝවියට් සංගමය හුදකලා කලේ ය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පිලිවෙත් මත ජෝසෆ් ස්ටැලින්ගේ වැඩෙන බලපෑම ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩිදුර පරාජයන්ට බලපෑ වැදගත් සාධකයක් විය. ඒ අනුව, වැරදි පිලිවෙත් හේතුවෙන් 1923 දී කේපීඞීය (ජර්මානු කොමියුනිස්ට් පක්ෂය* අත්‍යසාමාන්‍ය විප්ලවවාදී තත්ත්වයක් මගහැරී ය. එලෙස ම 1933 දී, ස්ටැලින් විසින් අනවන ලද නාසීන්ට එරෙහි එක්සත් පෙරමුනකට අත්‍යන්තයෙන් විරුද්ධ වූ කේපීඞීයේ ව්‍යසනකාරී පිලිවෙත් කිසිදු බාධාවකින් තොර ව හිට්ලර්ට බලය ගැනීමට මග පෑදී ය.

සියල්ලට මත් වඩා නොවැම්බර් විප්ලවයේ පරාජය වසර 15කට පසුව හිට්ලර්ට බලයට පත්වීමට උදවු කිරීමට නියමිත වූ බලවේගයන් අත බලය හා දේපොල තබා ගියේ ය. එම බලවේගයන් වූයේ, ස්ටිනස්, ක්රුප් හා දයිසන් වැනි කාර්මික ස්වාමිවරු; පෝල් වොන් හින්ඩන්බර්ග් හා අනෙකුත් ජෙනරාල්වරු පදනම් වූ යුන්කරයන් (ප‍්‍රසියානු ඉඩම්හිමි රදලයන් - පරිවර්තක*; හා හිට්ලර්ගේ කුනාටුබලකායට භටයන් බඳවාගත් ෆ‍්‍රයිකෝප්ස්වරුන් ය. වසර 120කට පෙර ප‍්‍රන්ස විප්ලවය මගින් කර්තව්‍යයක් ලෙස භාරගෙන සම්පූර්න කල පරිදි ඉහල ම වංශාධිපතියන් පවා අස්වාමික කිරීම හා අහෝසි කිරීම නො කෙරුනේ ය.

වසර සියයකට පසුව, ජර්මනියේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය 1918 අභියෝගයන්ට ම යලිත් මුහුන දී සිටී. ධනවාදයේ ගෝලීය අර්බුදය තීව‍්‍ර වීමත් සමග -ආන්තික සමාජ අසමානතාව, වෙලඳ යුද්ධය හා යුද්ධය- විසිවන ශතවර්ෂයේ සියලූ නො විසඳුනු ගැටලූ යලිත් ආපසු මුනගැසේ. ජර්මනිය ඇතුලූ සෑමතැනක ම දක්ෂිනාංශික අන්තවාදී පක්ෂ ඉහල නගිමින් සිටී; මිලිටරිවාදය හා වර්ධිත රාජ්‍ය බලය සම්බන්ධ තත්ත්වය ද එය ම ය. පන්ති අරගල උත්සන්න වෙමින් තිබේ. නුදුරු අනාගතයක් තුල සමාජවාදී විප්ලවයක් සිදු නො වුවහොත් මානව වර්ගයා යලි වතාවක් යුද්ධයට හා ම්ලේච්ඡුත්වයට ඇදවැටීමේ තර්ජනයට මුහුන දෙයි.

සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් ම පන්ති අරගලයේ මූලෝපායික අත්දැකීම්වලින් පාඩම් උකහාගෙන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදින එක ම දේශපාලනික ප‍්‍රවනතාව වේ. ජර්මානු විප්ලවයේ අත්‍යවශ්‍ය පාඩම වන්නේත් අද දින කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේත් දේශපාලනික ව ස්වාධීන කම්කරු පන්තියේ විප්ලවීය සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි භාවය යි.

උල්රිච් රිපර්ට් හා පීටර් ෂ්වාට්ස්

Share this article: