සංක‍්‍රමනිකයන්ගේ කූඩාරම් නගර සහ දක්ෂිනාංශික භීෂනය: ඇමරිකාවේ නව සාමාන්‍යය

Immigrant tent cities and right-wing terror: The new normal in America

2018 නොවැම්බර් 3

අඟහරුවාදා පැවැත්වෙන මධ්‍යවාර මැතිවරනය මධ්‍යයේ, පසුගිය සතිය විසින් සිය පාදාන්තය දක්වා කුනුවෙමින් පවතින දේශපාලන සංස්ථාපිතය හෙලිදරව් කොට ඇත.

එක්සත් ජනපදය හා ලෝකය පුරා දේශපාලන සිදුවීම් වඩා වඩාත් 1930 දශකයේ සිදුවීම් වලට සමානතාවයක් දක්වයි. අති නවීන ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය යුගය, අවතැන් කඳවුරු, දක්ෂිනාංශික වීදි ප‍්‍රචන්ඩත්වයේ හා ස්වෝත්තමවාදයේ, වර්ගවාදී ප‍්‍රතිගාමිත්වයේ යුගය බවට පත්වෙමින් ඇත. ඇමරිකාව තුල, ට‍්‍රම්ප් පරිපාලනය මරනීය ඇඟවුම් සහිතව රට නුපුරුදු භූමියක් දක්වා ගෙන යමින් සිටින බවට ජනගහනය තුල වර්ධනය වන හැඟීමක් පවතී.

සෑම දිනකම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට නව පහරක් එල්ල වේ.

ට‍්‍රම්ප් විසින් ඉලක්ක කරගෙන ඇති ඩිමොක‍්‍රටික් දේශපාලනඥයින් සහ කැපී පෙනෙන චරිත දුසිමකට වඩා වැඩි ගනනකට කිසිදු සැලසුමකින් තොර පයිප්ප බෝම්බ යැවූ ඔහුගේ ආධාරකරුවෙකු වන ෆ්ලොරිඩාවේ උපන් සෙසර් සයෝක් ජේ, පසුගිය සිකුරාදා, මධ්‍යම පරීක්ෂන කාර්යාංශය අත් අඩංගුවට ගත්තේය.

ඊලඟ දිනයේ, සංක‍්‍රමනිකයන් සහ යුදෙව්වන්ට ද්වේෂ කල තුවක්කුකරුවෙකු වූ රොබට් බවර්ස්, 11 දෙනෙකු මරා දමමින් පිට්ස්බර්ග්හි ටී‍්‍ර ඔෆ් ලයිෆ් (බයිබලයේ එන තහනම් ගස යන අරුත ඇති ගස) යුදෙව් දේවස්ථානයේ වෙඩි තැබීමක් සිදු කලේය. ඔහු එම දේවස්ථානය තෝරාගනු ලැබුවේ එය මධ්‍යම ඇමරිකානු සංක‍්‍රමනිකයන්ට සහය දෙන හෙයිනි.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ “සංක‍්‍රමනික ආක‍්‍රමනයක්” ලෙස ඔහු හැඳින්වූ දෙය අවහිර කිරීම සඳහා සොල්දාදුවන් 5,200 ක් යෙදවීම සඳුදා නිවේදනය කරමින් ට‍්‍රම්ප් බවර්ස්ගේ භාෂාව ප‍්‍රතිරාවය කලේය.

වහලුන් සහ එජ භූමිය මත උපන් සියල්ලන් නිදහස් කොට ඔවුන්ගේ පුරවැසි භාවය තහවුරු කිරීමට සිවිල් යුද්ධයෙන් පසු පැනවූ 14 වන සංශෝධනයේ එන ඇමරිකාවේ ඉපදීම මත පුරවැසි භාවය ප‍්‍රදානය කිරීම අවලංගු කරමින් විධායක නියෝගයක් නිකුත් කිරීමට ධවල මන්දිරය සූදානම් වෙමින් සිටින බවට එච්බී ඕ රූපවාහිනී නාලිකාවට ට‍්‍රම්ප් අගහරුවාදා පැවසීය.

ඊලඟ දිනය වූ බදාදා ට‍්‍රම්ප් සංක‍්‍රමනිකයන් ඝාතකයන් ලෙස පින්තාරු කරන සහ “ඔවුන්ට ඇතුලට ඒමට ඉඩ දීම” සම්බන්ධයෙන් ඩිමොක‍්‍රටිකයන්ට බැන වදින වීඩියෝ දර්ශනයක් මගින් වර්ගවාදී උද්ඝෝෂනයක් ට්විටර් මගින් සිදු කලේය. දේශ සීමාවට යැවූ භට කන්ඩායම 15,000 දක්වා වැඩිකරමින් එය තුන්ගුනයක් දක්වා වැඩි කරන බවට ද ඔහු නිවේදනය කලේය.

බ‍්‍රහස්පතින්දා ට‍්‍රම්ප් සංක‍්‍රමනිකයන් සිරගත කොට රඳවා තබා ගැනීමට “දැවැන්ත කූඩාරම් නගර” ඉදිකිරීමට සහ ප‍්‍රවේශ වීම සඳහා විධිමත් ලියකියවිලි නොමැතිව දේශ සීමාව තරනය කරන සංක‍්‍රමනිකයන් සඳහා රැකවරනය සදහා වූ අයිතිය අවසන් කිරීමක් වන සංක‍්‍රමනිකයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට තමා නියෝග කල බව නිවේදනය කලේය. සංක‍්‍රමනිකයන්ට වෙඩි තැබීම සඳහා මිලිටරියට නිදහස ඇති බවද ට‍්‍රම්ප් පැවසීය.“අපේ හමුදාවට ගල් ගැසීමට ඔවුන්ට අවශ්‍යය, අපේ හමුදාව නැවත සටන් කරනු ඇත. එවැනි දෙයක් රයිෆලයෙන් සලකා බලන ලෙස මම ඔවුන්ට පැවසීමි”.

මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් මෙවන් වචන ප‍්‍රකාශ කොට නැත.

සිකුරාදා, මෙක්සිකෝ දේශසීමාවට ආසන්න ටෙක්සාස්හි සරනාගත මධ්‍යස්ථානයකදී ලියාපදිංචි නොකල සරනාගතයන්ට පුද්ගලයෙකු විසින් වෙඩි ප‍්‍රහාරයක් දියත් කොට ඇති බව බ‍්‍රවුන්ස්විල් හැරල්ඩ් පුවත්පත වාර්තා කලේය. සන්නද්ධ හා නිල ඇඳුමින් සැරසුනු ෆැසිස්ට්වාදී දේශ සීමා සටන්කාමීන් රංචු පිටින් පැමිනෙමින් සිටින අතර ඔවුන්ව සංක‍්‍රමන නිලධාරීන් විසින් සාදරයෙන් පිලිගනිමින් සිටින බවද ප‍්‍රාදේශීය ටෙක්සාස් මාධ්‍ය වේදියෙකු වාර්තා කලේය.

ඒ සියල්ලම අතර, සාම්ප‍්‍රදායික දේශපාලන සංස්ථාපිතය “මගහැර යාමට” හැකි “ව්‍යාපාරයක්” තමා ගොඩ නගමින් සිටින බවට ඡන්ද දායකයන්ට පවසා රැස්වීම් පවත්වමින් ට‍්‍රම්ප් මුලු රටම දෙවනත් කරමින් සිටී. “එක් පවුලක් සහ එක් උත්කර්ෂවත් ඇමරිකානු ඉරනමක් ” ලෙස ඇමරිකානුවන්ට වොල්කිෂ් ආකාරයේ ජාතිකවාදී ආයාචනයන් කරමින් සංක‍්‍රමනිකයන්ට සහ විරෝධතාකරුවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වයේ තර්ජනයන් ඔහු නැවත නැවතත් සිදු කලේය.

ට‍්‍රම්ප්ගේ ක‍්‍රියාවන්, ඔහුගේ භාෂාව සහ ඔවුන් කුපිත කොට ඇති ප‍්‍රචන්ඩත්වය මගින් අති විශාල බහුතර ජනතාවක් කැලඹීමට පත් වේ. මිලියන දහස් ගනනක් ඇමරිකානුවන් තමාගෙන්ම මෙසේ අසයි. “මෙම භයානක වර්ධනයන් නතර කල හැක්කේ කෙසේද?”

ඒ ඔවුන්ගේ නිල නොවන උද්ඝෝෂන සටන් පාඨය ලෙස ට‍්‍රම්ප් සමග “සහයෝගිතාව” පිලිගෙන ඇති ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා මාධ්‍ය තුල එහි අනුචරයින් මගින් නොවේ.

ට‍්‍රම්ප්ගේ ක‍්‍රියාවන් හෙලා දැකීමට හෝ සාධාරනීකරනය කිරීමට කේබල් පුවත් වැඩ සටහන් පැය දහස් ගනනක් සහ තීරුලිපි ඉඩකඩෙහි ගිනිය නොහැකි අඟල් ප‍්‍රමානයක් වෙනුවෙන් ඩිමොක‍්‍රටිකයන් සහ එයට හිත පක්ෂපාත මාධ්‍ය විසින් ඩොලර් බිලියන ගනනක් යොදවා ඇත. දැවැන්ත ලෙස හමුදා භට කන්ඩායම් යෙදවීම්, යුද නීතිය හොල්මන් කිරීම සහ රැඳවුම් කඳවුරු ගොඩනැගීම ආදිය සාධාරන යෝජනා, සමස්ථයක් ලෙස ප‍්‍රශ්න නොවන දේ හෝ හුදු “අපගමනයන්” ලෙස ඩිමොක‍්‍රටිකයන් විසින් සලකනු ලබයි.

“දේශ සීමාව ආරක්ෂා කර ගැනීම සදහා තමාට අවශ්‍ය දෙය කරමින් සිටින ජනාධිපතිට මම සියයට සියයක් සහය දෙමි” යනුවෙන් ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමනික විරෝධී ක‍්‍රියාවන් වගවර්නනා කොට ඇති යලි පත්වීමට නියමිත ඩිමොක‍්‍රටික් සෙනෙට් සභිකයන් කිහිප දෙනා අතරින් අයකු වන ඩිමොක‍්‍රටික් සෙනෙට් සභික ක්ලෙයාර් මැක්කාස්කිල් විසින් ප‍්‍රකාශ කලේය. බදාද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත “කොන්ග‍්‍රසයේ පාලනය ඩිමොක‍්‍රටිකයින් ජයගතහොත් ඩිමොක‍්‍රටිකයන් යනු ට‍්‍රම්ප් මහතා විස්තර කරන කරන වාමාංශික රැලක් නොව ආන්ඩු කරන පක්ෂයක් බව ඡන්ද දායකයන්ට පෙන්වමින් මැතිවරන චෝදනාවකින් පසු දෑත ඔහු වෙත දිගු කරන” බවට වූ කොන්ග‍්‍රසයේ සුලුතර නායක නැන්සි පෙලෝසිගේ සහතික වීම උපුටා දැක්වීය.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් “ස්වාධීන” වීම පිලිබද රැවටීම පවා අතහැර දමා ඇති සහ දක්ෂිනාංශික ඩිමොක‍්‍රටිකයන් සදහා උදඝෝෂනය කරමින් රට පුරා යමින් සිටින සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, පිට්ස්බර්ග්හි සමූල ඝාතනය සඳහා ට‍්‍රම්ප්ගේ පූච්චානම් වලට බැනවදින්නන්ට එරෙහිව ට‍්‍රම්ප්ව ආරක්ෂා කලේය. “මම මෙතන වාඩිවී ජනාධිපතිට බැන වැදීමට යන්නේ නැත.” ඔහු කීවේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ වගකට නැති ප‍්‍රතිචාරයට මග සෑදී ඇත්තේ පහතින් එල්ල වන සමාජ විරෝධයේ වර්ධනය පිලිබඳ එහි දැවෙන භීතිකාව මගිනි. රුසියාව දඩයම් කිරීම සඳහා සහ වාමාංශික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වේදිකා වාරනය කිරීමට පසුගිය දෙවසර පුරා තමාම කැපවීගෙන ඇති ඩිමොක‍්‍රටිකයින්ට ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික පිලිවෙත් සමග කිසිදු මූලික නො එකඟතාවන් නොමැති අතර මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අතුගා දැමීම සඳහා එක සමාන එකඟත්වයකින් සිටී.

මහා වැඩවර්ජන හා පෙලපාලි සදහා පෙලඹවීම් ඇති කරනු ලැබිය හැකි අප‍්‍රකාශිත සමාජ කෝපයේ වෙඩි නූලට ට‍්‍රම්ප් ගිනි දල්වමින් සිටී යන බියෙන් සිටින පාලක පන්තියේ කොටසක් වෙනුවෙන් ඔවුන් කථා කරයි. ඩිමොක‍්‍රටිකයන්ගේ ප‍්‍රධාන අරමුන වනුයේ හිටපු සීඅයිඒ (මධ්‍යම රහස් ඔත්තු සංවිධානය) අධ්‍යක්ෂකවරයෙකු වන ජෝන් බර්නන් පසුගිය අගෝස්තු මාසයේ ප‍්‍රකාශ කල පරිදි ජනතාව නිර්වින්දනයට පත්කොට සමාජ ආතතිය වීදි කරා ව්‍යාප්ත වීම වැලැක්වීමයි.

දක්ෂිනාංශික ප‍්‍රචන්ඩත්වයේ වර්ධනය හා පාලනයේ ආඥාදායක ආකෘතීන් කරා වූ අවගමනය අනවරත දෙයක් නොවන අතර එය වැලැක්විය හැකිය.

නමුත්, මෙය ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් කැඩී වෙන් වීමක් සහ ධනවාදය යටතේ සියලු ලෝක ධනය නිපදවීමේ විප්ලවවාදී තත්ත්වය ඇති කරන බිලියන ගනනින් ශක්තිමත් සමාජ බලය වන ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත ශක්‍ය බලය බලමුලු ගැන්වීමක් ඉල්ලා සිටී.

එජ යුද්ධ සහ එක්සත් ජනපද පිටුබලය ලත් ආඥාදායකයන් විසින් විනාශයට ඇද දැමූ රටවල් වල සිට දරිද්‍රතාවයෙන් හා ප‍්‍රචන්ඩත්වයෙන් බේරි පලා එන සංක‍්‍රමනිකයන් සිය මිතුරන් වන බව ඇමරිකානු කම්කරුවන් විසින් අවබෝධ කර ගත යුතුය. වඩා හොඳ ජීවන තත්ත්වය සුරක්ෂිත කර ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් ජනපදයට සංචාරය කිරීම පිනිස සිය මව් රටවල් තුලදී මෙම කම්කරුවන් බස්රථ රියදුරන්, යන්ත්‍රෝපකරන ශිල්පීන්, කෘෂි කාර්මික කම්කරුවන්, වෙලඳ සැල් කම්කරුවන්, රෙදිපිලි කර්මාන්ත ආශ‍්‍රිත කම්කරුවන් සහ ගුරුවරුන් ලෙස සිය රැකියා අත්හලේය.

“පැරනි රටේ” සාගතයෙන්, යුද්ධයෙන් සහ ආඥාදායකත්වයෙන් බේරීමට ලෝකයේ සෑම අස්සක් මුල්ලකින්ම පැමිනි, වාර්ගික වශයෙන් පහත් විදේශිකයන් ලෙස පෙර යුගයක ඇමරිකානු කතිපයාධිකාරීන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමට භාජනය වූ තමාගේම මුතුන් මිත්තන්ගේ කථාවන් මෙම කැප කිරීම තුල ස්වදේශික කම්කරුවන් විසින් අවබෝධ කර ගත යුතුය. ස්වදේශික ඇමරිකානුවන් හැර පරම්පරා පහක් සිය පවුලේ පුරවැසි භාවය ආපස්සට යා හැකි වනුයේ ඉතාම සුලු ඇමරිකානුවන් පිරිසකටය.

ට‍්‍රම්ප් සහ ඔහුගේ මහ ව්‍යාපාරික හිතුවතුන් කම්කරුවන් මෝඩයන්ට ගෙන ඇත! වර්ගවාදය හා ජාතික වෛරය උත්සුකයට නංවා එය පන්ති අරගලය පරාජය කොට පොඩි පට්ටම් කොට බෙදා වෙන් කිරීමට භාවිතා කිරීම ධනවාදී පොතෙහි එන පැරනිතම උපායකි.

“නීති විරෝධී” සංක‍්‍රමනිකයින්ට එරෙහිව යොදවා ඇති මිලිටරි යෙදවීම් සහ ආඥාදායක ක‍්‍රියාමාර්ග ඉහල වැටුප්, යහපත් ජීවන තත්වයන් සහ සේවා කොන්දේසි, සෞඛ්‍යාවරනය, අධ්‍යාපනය සහ අනෙකුත් මූලික අවශ්‍යතාවන් සදහා වැඩවර්ජන හා විරෝධතාවන්හි යෙදෙන සියලු කම්කරුවන්ට එරෙහිව ඉක්මනින් යොදා ගනු ඇත.

එක්සත් ජනපද පුරවැසි කම්කරුවනි අවධානයෙන් සිටිනු: ඔබ මෙන්ම ඔබේ සංක‍්‍රමනික සහෝදර සහෝදරියන් ට‍්‍රම්ප්ගේ ආඥාදායක පියවරයන්ගේ අවසන් ඉලක්කය වේ.

කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් නොමැතිව සංක‍්‍රමනිකයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර වඩාත් බරපතල හා මාරාන්තික බවට වර්ධනය වීම පමනක් වනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. ආඥාදායකත්වය සදහා යන සම්පූර්න ගමනේදී ට‍්‍රම්ප් සහ ඔහුගේ ෆැසිස්ට්වාදී ආධාරකරුවන් සමග ඩිමොක‍්‍රටිකයන් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

විකල්පය වනුයේ සමාජවාදී විප්ලවය යි.

පාලක පන්තියට සමාජ පාලනය පිලිබඳ වගකීම පැවරිය නොහැක. එජ තුල සහ ජාත්‍යන්තර පරිමානයෙන් දැන් මහජනතාවට පෙනෙන්නට ඇති එහි සැලසුම් වනුයේ ආඥාදායකත්වය, යුද්ධය සහ දැවැන්ත සමූල ඝාතනය ඇතුලූ ඇතැම් විට ඊටත් වඩා දැවැන්ත හා විනාශකාරී න්‍යෂ්ටික පරිමානයකින් 1930 හා1940 දශකවල රුදුරුතම අපරාධයන් යලි සිදු කිරීමය.

ධනේශ්වර ආර්ථිකයේ ඉහල තලයේ පාලනයෙන් ගලා එන පාලක ප‍්‍රභූවේ දේශපාලන හා මිලිටරි බලය, කම්කරුවන් සමාජ හා දේශපාලන අරගලය මගින් ඉවත් කර දැමිය යුතුය. ආන්තික අවශ්‍යතාවයෙන් නොව සිය තෝරා ගැනීම මගින් සංචාරය කිරීමට හෝ නතර වී සිටීමට සිය තීරනයන් සකස් වන පරිදි සුරක්ෂිත හා සම්පූර්න ජීවිත සහිතව සියලු ජනයාගේ ප‍්‍රයෝජනය සඳහා ට්‍රිලියන ගනනින් ධනය යෙදවීමට බැංකු හා සංගත අත්පත් කොට ගත යුතුය.

පාලක පන්තිය සටනකින් තොරව සිය සම්පත් අත් නොහරිනු ඇත. මෙය ධනපති පාලනය අවසන් කොට කම්කරුවන්ගේ දේශපාලන බලය ස්ථාපිත කිරීම සඳහා අරගලයකි. ඊට අවශ්‍ය වන්නේ සමාජය සමානතාවයේ පදනම මත පරිවර්තනය කිරීම සඳහා බිලියන ගනන් කම්කරුවන් ජාත්‍යන්තර වශයෙන් ඒකාබද්ධ කරන විප්ලවවාදී අරගලයක ක‍්‍රියාමාර්ගයකි.

එරික් ලන්ඩන් විසිනි

Share this article: