පිට්ස්බර්ග් යුදෙව් ධර්මාශ්‍රයේ සමූහ ඝාතන: ඇමරිකාව තුල යුදෙව් විරෝධී ප්‍රචන්ඩත්වය පිපිරේ

Mass shooting at Pittsburgh synagogue:Anti-Semitic violence erupts in America

2018 ඔක්තෝබර් 29

පෙනිසිල්වියා ප්‍රාන්තයේ ජීවිත වෘක්ෂය (Tree of Life) නම් යුදෙව් ධර්මාශ්‍රමය තුල යුදෙව් විරෝධී සංහාරය, ඇමරිකානු දේශපාලන හා සමාජ අර්බුදය නව මට්ටමකට නංවා ඇත. එක්සත් ජනපදය තුල තත්වය වඩ වඩා සිවිල් යුද්ධයක ස්වභාවය ගන්නා අතර, මෙය තුල ඉතාමත් පසුගාමී මෙන් ම ප්‍රතිගාමී කන්ඩායම් දිරිමත් කෙරෙමින් හා ප්‍රචාරය කෙරෙමින් තිබේ.

සෙනසුරාදා උදේ ආගමික මෙහෙයක් අතරතුර ඇති වූ, පිට්ස්බර්ග් සංහාරයේ දී පුද්ගලයෝ එකලොස් දෙනෙක් මියගියහ. කැපී පෙනෙන ලෙස වැඩිහිටියන් වූ විපතට පත්වූවන් අතර සහෝදරයින් දෙදෙනෙක්, වයස අවුරුදු 84ක් 86ක් වන යුවලක්, හා හොලෝකෝස්ටයෙන් බේරුනු අයෙකු වූ රෝස් මලින්ගර් ද වූහ. වෙඩික්කාර රොබට් බෝවර්ස්ට, සාපරාධී ඝාතන චෝදනා 11ක් හා වාර්ගික බියවැද්දීම් චෝදනා 13ක් එල්ල කෙරී ඇත.

එක්සත් ජනපදය තුල යුදෙව් විරෝධය අමුත්තක් නොවන නමුත්, යුදෙව් පුද්ගලයන් ඉලක්ක කෙරුනු මෙම පරිමානයේ සමූහ ප්‍රචන්ඩතා පෙර නො වූ විරූ ය. ඊස්රායල් පුවත්පතක් වන හාරෙට්ස්(්‍ය්රුඑ‘) පත්‍රයේ එක් අදහස් දක්වන්නෙකු සඳහන් කල පරිදි,“ිමෙය මෙහි සිදුවිය නො හැකි ය’ යන මිත්‍යාව පුපුරා ගොස් ඇත.ඇමරිකානු යුදෙව්වන් නව හා වඩා බියගැන්වෙන අනාගතයකට ඊ ලඟ දිනයේ අවදි වනු ඇත්තේ, මෙය මෙහි සිදුවිය හැකි බව පමනක් නොව, අනාගතයේ එවැනි ප්‍රහාරයන්ගේ පෙර නිමිත්තක් බව අවබෝධ කර ගනිමිනි.”

මෙම ක්‍රියාවේ සැඟවුනු අර්ථය වටහා ගැනීමට එය එහි දේශීය පමනක් නොව, එහි ජාත්‍යන්තර හා ඓතිහාසික සන්දර්භය තුල තැබිය යුතු ය.

මෙම ප්‍රහාරය ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ෆැසිස්ට් ප්‍රචන්ඩතා සඳහා විවෘත ව කරන ලද ඉල්ලීමේ නිර්මිතයකි. බෝවර්ස් පැහදිලිව ම පොලඹන ලද්දේ උමතු යුදෙව් විරෝධය හා සංක්‍රමන විරෝධී ස්වෝත්තමවාදය විසිනි. මධ්‍යම ඇමරිකාවෙන් පලා යමින් සිටින, සංක්‍රමනිකයන්ට සත්කාර පිනිස, ජීවිත වෘක්ෂයේ ධර්මාශ්‍රමයට අනුබද්ධ, හීබෘ සංක්‍රමනික ආධාර සමාජයේ (එච්අයිඒඑස්) උත්සාහයන් නිසා යුදෙව්වන් කෙරේ ඇති වූ ඔහුගේ වෛරයට සම්බන්ධ ප්‍රහාරයට යන්තම් පෙර ඔහු සමාජ මාධ්‍ය වෙතට අදහස් විසුරුවා හැරියේ ය. “එච්අයිඒඑස් අපගේ මිනිසුන් මරන ආක්‍රමනිකයන් ගෙන ඒමට කැමති” යයි ඔහු ලිය යි. “මට වාඩිවෙලා මගේ මිනිසුන් මරා දමනවා බලා ඉන්ට බෑ.”

අධිරාජ්‍යවාදය විසින් ඇති කෙරුනු හේතු මත මධ්‍යම ඇමරිකාවේ දරිද්‍රතාව හා ප්‍රචන්ඩත්වයෙන් පලා යන සංක්‍රමනිකයන් සඳහන් කිරීමට “ආක්‍රමනිකයන්” යන්න පාවිච්චි කිරීම ඇතුලුව ඔහු යොදා ගන්නා භාෂාව, ට්‍රම්ප් පාලනාධිකාරියේ භාෂාව යි. පසු ගිය සතියේ කතාවක දී, ට්‍රම්ප් එක්සත් ජනපද දේශසීමාව කරා එන සංක්‍රමනිකයන්ගේ ගමන් රියක් “අපේ රටට ප්‍රහාරයක්” යැයි හැඳින් වූයේ ය. ඔහු එය හැඳින්වුයේ “ඔබගේ අසල්වාසය, ඔබගේ රෝහල්, ඔබගේ ඉස්කෝල” විනාස කිරීමට තර්ජනය කරන ආක්‍රමනයක් ලෙස ය. යුදෙව් විරෝධී හා ෆැසිස්ට්වාදී රූපාලංකාර පිරුනු සඳහන් කිරීම් තුල, ට්‍රම්ප් “ඔර්ලෝසුව ආපසු හැරවීමට උත්සාහ දරන, දූෂිත, බලලෝභී ගෝලීයවාදීන් හට” බලය ලබා දීම හෙලා දුටුවේ ය.

ධර්මාශ්‍රමය තුල ප්‍රහාරය සිදුවුනේ ට්‍රම්ප් ආධාරකරුවෙකු විසින් ප්‍රමුඛ ඩෙමොක්‍රටිකයන්ට පයිප්ප බෝම්බ පෙලක් එවීමෙන් අනතුරුවය.

ට්‍රම්ප් ම ද රෝග ලක්ෂනයකි, කෙසේ නමුත්, පැහැදිලි කිරීමක් නොවේ. කුමක් විසින් ට්‍රම්ප් බලයට ගෙන ආවේ ද?

2008 මූල්‍ය අර්බුදයේ ප්‍රතිවිපාක හා ඔබාමා පාලනාධිකාරියේ වෝල් වීදිය ගැති ප්‍රතිපත්ති, “අමතක කෙරුනු මිනිසාගේ” ආරක්ෂකයා ලෙස මවා පෑමට දක්ෂිනාංශිකයට හැකියාව ඇති කලේ ය. අවුරුදු 17ක් “ත්‍රස්තවාදය මත යුද්ධය” හා අවසානයක් නැති විසිපස්වසරකට වඩා දීර්ග යුද්ධයේ බලපෑම? ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකානු යන පක්ෂ දෙකම හා පාලක පන්තිය කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිවිරෝධයට ප්‍රතිචාර වසයෙන් පෙර නො වූ විරූ ඒකාධිපතිවාදී පාලන රූපාකාරයන්ට හැරේ.? ( අවසන් වාක්‍ය දෙක ගැටළු සහගත ය)

ට්‍රම්ප් පාර්ලිමේන්තුවට පිටස්තර අන්ත දක්ෂිනාංශයේ ව්‍යාපාරයක් වගාදිගා කිරීමට උත්සාහ ගන්නා අතර, ඩෙමොක්‍රටිකයෝ “බෙදීම් වැපිරීම” හා අසන්තෝසයට එරෙහිව ඇපකරුවන් ලෙස එෆ්බීඅයි, සීඅයිඒ හා මිලිටරිය පුම්බති.

ජාත්‍යන්තර සන්දර්භය අවධාරනය කරන්නේ හුදෙක් ට්‍රම්ප් පාලනාධිකාරියට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ යි යන කාරනය යි. අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී ව්‍යාපාර මෙන් ම ආන්ඩුවල වර්ධනය ගෝලීය ප්‍රපංචයකි.

පිලිපීනයේ දී, එය රොද්‍රිගෝ දුතර්තේ බිහි කලේ ය, ඔහු නීතිය ක්‍රියා කරවන ඝාතක කල්ලිවලට ප්‍රශංසා කර සංවිධානය වීමට උදව් කලේ ය.

ඉන්දියාවේ දී, අගමැති නරේන්ද්‍ර මෝදි ෆැසිස්ට්වාදී රාෂ්ට්‍රීය ස්වයංසේවක් සන්ග් සංවිධානයේ සාමාජිකයෙකි. ගුජරාටයේ ප්‍රධාන ඇමති ලෙස, ඔහු 2002දී මුස්ලිම් පුද්ගලයන් සියගනනක් ඝාතනය කල කැරල්ල සංවිධානය කලේ

ය.

බ්‍රසීලයේ, ඊයේ පැවති මැතිවරනය අන්ත දක්ෂිනාංශික අපේක්ෂක ජායිර් බොල්සොනාරෝ බලයට ගෙන ආවේ ය.

යුරෝපය පුරා, පාලක පන්තිය විසින් අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂ ක්‍රමානුකූලව ප්‍රචාරය කර ඇත. විශේෂයෙන් ම කැපී පෙනෙන්නේ ජර්මනිය තුල වර්ධනය යි. ජර්මනිය තුල හිට්ලර් ද හොලෝකෝස්ටයේ දී පුද්ගලයන් මිලියන හයක් ඝාතනය කිරීම ඇතුලුව 20වැනි සියවසේ ඉතාමත් බියකරු අපරාධ ද ඇති කල රට තුල ෆැසිස්ට්වාදය නැවත වතාවක් ප්‍රධාන දේශපාලන බලවේගයකි.

ප්‍රධාන විපක්ෂය වන ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්ප පක්ෂය, හිතාමතා ම වගාදිගා කරන ලද්දේ දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ, එනම් ක්‍රිස්තියානී ප්‍රජාතන්ත්‍රවාදීන් හා සෑම හැරීමක දී ම එහි සංක්‍රමන විරෝධී ස්වෝත්තමවාදය පිලිගෙන හා වැලඳගෙන ඇති සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසිනි.

පසු ගිය මාසයේ දී, ඒඑෆ්ඩී නායක ඇලෙක්සැන්ඩර් ගෝලාඩ් හිට්ලර්ගේ කතාවක් අනුකරනය කෙරුනු තීරු ලිපියක් ප්‍රධාන පුවත්පත වන ෆ්‍රැන්ක්ෆර්ටර් අල්ජමේයින් සේයිතුංග් හි ප්‍රසිද්ධ කලේ ය. මේ අතර ආන්ඩුව ඒඑෆ්ඩීය සමග සන්ධානාගතව, ෆැසිස්ට්වාදයට වන වාමාංශික විරුද්ධත්වය සාපරාධීකරනය කිරීමට ගමන් කර ඇත.

නිව් යෝක් ටයිම්ස් ඇතුලු ඇමරිකානු මාධ්‍ය විසින් ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ නැගීමේ තීරනාත්මක බව මුළුමනින් ම වාගේ නො සලකා හැර ඇත. ජර්මානු ඉතිහාසය නැවත ලිවීම මෙන් ම නාසි අපරාධ සාපේක්ෂකරන කිරීමේ ප්‍රතිගාමී ඉතිහාසඥයින්ගේ ප්‍රයත්න එක්සත් ජනපදයේ දූෂිත ශාස්ත්‍රාලිකය ඇතුලු ලිබරල් සංස්ථාපිතයේ විරුද්ධත්වය අවුස්සා නැත.

මෙම ක්‍රියාදාමයේ සාර්වත්‍රික භාවය අවධාරනය කෙරෙන්නේ ෆැසිස්ට්වාදය නැගී එන රටවල් අතර ඊස්රායලය ම ද වේ ය යන කරුනෙනි. යුදෙව්වන්ගේ වෛරය ජාතිකවාදයේ දරුනු වර්ගයක විශේෂිත රූපාකාරයකි, එය ඊස්රායලය තුල ප්‍රකාශ කෙරෙන්නේ පලස්තීනුවන්ට එරෙහි ආන්ඩුවේ සම්බාධක හා සංවිධානගත ප්‍රචන්ඩත්වය තුල ය. මෑත දී යුදෙව් ශ්‍රේෂ්ටත්වය සුරක්ෂිත කෙරෙන “ජාතික රාජ්‍ය නීතියේ” කොටසක් අධීක්ෂනය කල, ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් ඇතුලු, යුරෝපයේ අන්ත දක්ෂිනාංශිකයන් සමග පොදු ප්‍රතිපත්තියක් සකසා ඇත.

අවසානයේ දී, ෆැසිස්ට්වාදී ව්‍යාපාරයේ ජාත්‍යන්ර වර්ධනය එහි ඓතිහාසික සන්දර්භයේ තැබිය යුතු ය. හිට්ලර් බලයට පැමිනීමෙන් වසර 85ට පසු හා දෙවැනි ලෝක යුද්ධය පිපිරීමෙන් ආසන්න වසයෙන් වසර 80ට පසු, ෆැසිස්ට්වාදයේ යලි මතු වීමේ තීරනාත්මක බව කුමක් ද?

ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ තැන් පටන් 30වැනි වසරට ලඟාවන අද, 1989-1991 සිදු වූ දෙයෙහි සාරභුත ප්‍රතිගාමී ස්වභාවය මුලු ලෝකයා ඉදිරියේ හෙලිදරව් වේ. එක්තරා දුරකට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදය තුල මැඩ පැවත්වුනු ෆැසිස්ට්වාදී ව්‍යාධිය බලගතු ලෙස යලි මතු වී ඇත. ධනවාදයේ ප්‍රචාරකයින් අනාවැකි කල පරිදි, සෝවියට් සංගමයේ අවසානය ප්‍රජාතන්ත්‍රවාදයේ මල්හටගැන්වූයේ නැති නමුත් අසමානතාවයේ පුපුරායාම, අධිරාජ්‍යවාදී යුද්ධ, ඒකාධිපතිවාදය හා ෆැසිස්ට්වාදයේ පුනරාගමනය ඇති කලේ ය.

ෆැසිස්ට්වාදය යනු සීමාන්තික ධනේශ්වර අර්බුදයේ දේශපාලනික ප්‍රකාශනය යි. 1933දී “ජාතික සමාජවාදය යනු කුමක් ද?” නම් ලිපිය තුල ට්‍රොට්ස්කි පැහදිලි කලේ, නාසිවාදයේ නැගීමත් සමග “ධනේශ්වර සමාජය (තම) දිරවා නො ගැනුනු ම්ලේච්ඡත්වය වමනය කරමිනි සිටින” බව යි. ෆැසිස්ට්වාදය යනු, “ඒකාධිකාරී ධනවාදයේ ඉතාමත් කුරිරු ඒකාධිපතිත්වය යි” යනුවෙන් ඔහු ලිව්වේ ය.

ඒ තරමට අද ද, ධනවාදය තම නො දිර වූ ම්ලේච්ඡත්වය වමනය කරමින් සිටී. වඩාත් ආසන්න ඉලක්කය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයේ ද ධනේශ්වර සූරාකෑමේ ද ප්‍රතිවිපාකවලින් පලා යමින් සිටින සංක්‍රමනික හා සරනාගත කම්කරුවන් ය. එක්සත් ජනපදය තුල, ලමුන් ඇතුලු සංක්‍රමනිකයන් ඉතාමත් ම්ලේච්ඡ කොන්දේසි යටතේ රඳවා ගෙන සිටින, සරනාගත කඳවුරු එක්සත් ජනපද - මැක්සිකෝ දේශ සීමාව ඔස්සේ ඉදි කර ඇත.

ඔහුගේ අන්තිම ප්‍රධාන ලියවිලිවලින් එකක් වන, “අධිරාජ්‍යවාදය හා යුද්ධය ගැන හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රකාශනය” තුල ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය, “පිරිහෙන ධනවාදය සියළු ම විවරවලින් යුදෙව් ජනතාව මිරිකා ගනිමින් සිටී; බිලියන දෙකක් වන ගෝලීය ජනගහනයෙන් මිලියන දාහතකට, එනම් සියයට එකකට අඩු කොටසකට තවදුරටත් අපගේ ග්‍රහලෝකයේ තැනක් සොයා ගත නො හැක. භූමියේ අතිමහත් ව්‍යාප්තියත් එමෙන් ම මිනිසා වෙනුවෙන් ගුවන මෙන් ම මහපොලව ද ජය ගෙන ඇති තාක්ෂනයේ ආශ්චර්ය මධ්‍යයේ ධනේශ්වරය අපගේ ග්‍රහලෝකය අතිශයින් අපවිත්‍ර හිරගෙයක් බවට හැරවීමට සමත් වී ඇත.” එය යි “සංක්‍රමනිකයන් මිලියන ගනනක් මුහුන දෙමින් සිටින තත්වය.”

සෙනසුරාදා සංහාරය නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇති ලෙස, දේශපාලන ප්‍රතිගාමිත්වය හා යුද්ධයේ කාලපරිච්චේදයක්, ස්වෝත්තමවාදයේ පැරනිම රූපාකාරයක් වන යුදෙව්වාදයේ පුනරාගමනය සමග අනිවාර්යයෙන් ම ඒකාබද්ධ වේ. ඊස්රායලය පැවතීම යුදෙව් විරෝධී වධ දීම හා ප්‍රචන්ඩත්වයට එරෙහි එක්තරා ආකාරයක ආරක්ෂාවක් වෙති යි යන මතය පහ කල යුතු මිත්‍යාවන් අතර වේ.

දක්ෂිනාංශික ප්‍රතිගාමිත්වයේ අතිමූලිකම ඉලක්කය වන්නේ කම්කරු පන්තිය යි. ෆැසිස්ට්වාදය ධනවාදයෙන් පැන නැගෙන්නාක් මෙන් ම පන්ති අරගලය ද පැන නගී. පන්ති අරගලයේ වර්ධනය ද සමාජවාදය පිලිබඳ වැඩෙන උත්සුකය ද පාලක පන්තිය භීතියට පත් කර යි. කම්කරු ජනතාව ගමන් කරමින් සිටින්නේ වමට ය, දකුනට නො වේ. සමාජ අසමානතාවට ද පාලක පන්තිය යුද්ධය සඳහා සූදානම් වීමට ද එරෙහි ව දැඩි හා වැඩෙන විරුද්ධත්වයක් ඇත.

සමාජ විරුද්ධත්වයේ පලමු සංඥාවේ දී ම, එය ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය පෙරට ගැනීම, පාලක පන්තියේ මංමුලාවේ සංඥාවකි. 1930 ගනන්වල, ෆැසිස්ට්ව්‍යාපාරය දැවන්ත පදනමක් අත්කර ගත් අතර, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤය තුල ඔවුන්ට බලයට නැගීමට හැකි වූයේ පාලක ප්‍රභූවේ කුමන්ත්‍රනය නිසයි. අද, ඉහලින් හිතාමතා ෆැසිස්ට්වාදය ඇවිලවීම ඊටත් වඩා ප්‍රමුඛ කාරනයකි.

ධනවාදය නැවත වතාවක් මනුෂ්‍යවර්ගයා ඉදිරියේ විකල්ප ඉදිරිපත් කරමින් සිටී: සමාජවාදී විප්ලවය ද ධනේශ්වර ම්ලේච්ඡත්වය ද. “ශිෂ්ටත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම” හා “බේද ඇති කරන දේශපාලන කයිවාරු” අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන මාධ්‍ය තුල කෙරෙන සම්පූර්න සාකච්ඡා සියලු තීරනාත්මක ප්‍රශ්න මග හරින හිස් ප්‍රලාපයෝ ය. තුරන් කර දැමිය යුත්තේ ධනේශ්වර ක්‍රමය ම යි.

වසර අසූවකට පෙර, 1938දී, හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවන ලද්දේ ස්ටැලින්වයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවාදීම්වලට ප්‍රතිචාර වසයෙන් කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමට ය. නව ජාත්‍යන්තරයේ දේශපාලන ක්‍රියාමාර්ගයේ හරි මැද වූයේ, කම්කරු පන්තියේ විශාලම පරාජය වූ, ජර්මනිය තුල ෆැසිස්ට්වාදය ජයග්‍රහනය පිලිබඳ පාඩම් උකහා ගැනීම යි.

ඉතාමත් වැදගත් පාඩම වන්නේ විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනමින් තොරව ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරිමට නො හැකි බව යි. 1930ස් ගනන්වල භීෂනයන් නැවත වතාවක් මතු වීමත් සමග, මෙම අවබෝධය කම්කරු පන්තිය තුලට ගෙන ආ යුත්තේ සමාජවාදී නායකත්වය, එනම් අසමානතාව, යුද්ධය හා ධනේශ්වර පද්ධතියට විරුද්ධත්වය සමග ෆැසිස්ට්වාදයට එරෙහි සටන සම්බන්ධ කරන සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම හරහා ය.

ජෝශප් කිෂෝර්

Share this article: