ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා එහි පාඩම්

The political crisis in Sri Lanka: Its lessons for the international working class

2018 නොවැම්බර් 16

පසුගිය සති තුන තිස්සේ ශ්‍රී ලංකාවේ ඇවිලී තිබෙන දේශපාලන අර්බුදය ලොවපුරා කම්කරුවන් විසින් සැලකිල්ලෙන් අවධානයට ගැනීම වටනේ ය.

ඉන්දියාවෙන් දකුනු කොනෙහි පිහිටි මිලියන 22ක ජනතාවක් ජීවත් වන දූපතේ සිද්ධීන් ධාවනය කරවනු ලබන්නේ, භූගෝලය පුරා සමාජ-ආර්ථික ජීවිතය හැඩගස්වමින් තිබෙන ලෝක ධනවාදයේ බිඳවැටීමෙන් හටගත් ක්‍රියාවලීන් විසින් ම ය.

මේවා අතර ප්‍රමුඛ වන්නේ:

■ කම්කරු පන්තිය විප්ලවීය මැදිහත්වීමක් නො කලහොත් මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයකට ඇදගෙන යාමට තර්ජනය කරන්නා වූ එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් පුනර්ජීවනය කෙරුනු මිලිටරිවාදය හා මහා බලයන්ගේ මූලෝපායික එදිරිවාදිකම

■ දශක ගනනාවක කප්පාදු වැඩ පිලිවෙල හා ඉහ වහා ගිය සමාජ අසමානතාව අවසන් කිරීමට උත්සාහ දරන වැඩකරන ජනයාගේ පන්ති අරගලවල පුනර්ජීවනය

■ ධනේශ්වර ප්‍රභූවේ සියලු කන්ඩායම් ප්‍රතිගාමීත්වයට හා ආධිපත්‍යවාදයට හැරෙන තතු තුල ප්‍රජාතන්ත්‍රවාදී, නෛතික-ව්‍යවස්ථාමය පාලන ක්‍රමයන්ගේ බිඳවැටීම

සති තුනකට පෙර, සිකුරාදා, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ නීති විරෝධී ලෙස රටේ අගමැති ධුරයෙන් නෙරපා එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කලේ ය.

මෙය අනපේක්ෂිත ආපසු හැරවීමක් විය. එය කෙතරම්ද යත් වොෂින්ටනය තුල ක්ෂනික ව අනතුරු නලා හැඬවූයේ, ලෝකයේ වඩාත් ම වැදගත් නාවික ගමන් මාර්ග අතර පිහිටා ඇති ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය විසින් චීනයට එරෙහි එහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට නතු කරගැනීමට කරගෙන යන දීර්ඝ-කාලීන ධාවනයට ඉන් වල කැපෙන හෙයිනි.

2014 වසර අවසානයේ තම සමීප සගයා වන ඉන්දියාවේ ආධාර ලත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, එතෙක් රාජපක්ෂගේ සගයෙක් වූ සිරිසේන හා වික්‍රමසිංහත් ඔහුගේ එජාපයත් අතර සන්ධානයක් අටවා තිබුනි. 2015 ජනවාරි ජනාධිපතිවරනයට සති කිහිපයකට පෙර හා රාජපක්ෂගේ ආන්ඩුවෙන් ඉවත් වීමෙන් දිනකට පසුව, රාජපක්ෂට විරුද්ධ “විපක්ෂයේ පොදු අපේක්ෂකයා” සිරිසේන බව ප්‍රකාශයට පත්කෙරුනි.

එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා 2015 දී ඉවත් කරනු ලබන තෙක් 2005 සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ රාජපක්ෂට, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරනයට පත්කරමින් බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට එරෙහි ව ගෙනගිය සංහාරක යුද්ධයේ දී වොෂින්ටනයේ නොමසුරු සහයෝගය ලැබී තිබුනි. එහෙත් යටිතල පහසුකම් ද ඇතුලු විශාල පරිමානයේ චීන ආයෝජන පිලිගැනීම හේතුවෙන් වොෂින්ටනය ඔහු සමග නොරොක් විය.

ඔක්තෝබර් 26දා සිරිසේන සිදුකල ව්‍යවස්ථාමය කුමන්ත්‍රනය පැන නැගුනේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග මත සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය විසින් පටවනු ලැබූ රුදුරු කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව කම්කරු පන්තියේ මූලිකත්වය යටතේ වර්ධනය වන විරුද්ධත්වය හේතුකොටගෙන පාලක කවයන් තුල අවුලුවාලන ලද අර්බුදය විසිනි. ඊට පෙර ගෙවීගිය මාස කිහිපය තුල මතුපිටින් ආන්ඩු සගයන් ලෙස පෙනී සිටි සිරිසේන හා වික්‍රමසිංහ, ඛාදනය වන කොන්දේසි පිලිබඳ මහජන අපකීර්තියේ වගකීම එකිනෙකා මත පටවමින් මංමුලා සහගත ලෙස පරිභව කරගැනීමක නිරත වූ හ. ඒ අතරේ, කම්කරු පන්තිය බෙදා මහ ව්‍යාපාරිකයට හිතවාදී “ප්‍රතිව්‍යුහකරන” ක්‍රියාවට දැමීම පිනිස දෙමල-විරෝධී ස්වෝත්තමවාදය අවුලුවනු ඇති රාජපක්ෂ, තමන් “බලවන්තයෙක්” ලෙස හුවා දක්වා ගනිමින් යලි බලයට ඒමට උද්ඝෝෂනය කලේ ය.

තම පැසිෆික් බලකාය පෙන්ටගනය විසින් මෑතදී ඉන්දු-පැසිෆික් බලකාය ලෙස යලි නම් කිරීම තුලින් සංඥා කල පරිදි, චීනය වටලෑමේ, හුදකලා කිරීමේ හා යටත් කරගැනීමේ එක්සත් ජනපද ධාවනයේ මූලික පොරපිටියක් බවට සමස්ත දකුනු ආසියාව හා ඉන්දියන් සාගර කලාපය පරිවර්තනය කර ඇති කොන්දේසි යටතේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ දේශපාලන අර්බුදය හා කාකොටා ගැනීම වොෂින්ටනය හා බීජිනය අතර භූ-දේශපාලනික ප්‍රතිමල්ලතාව තුල පැටලීම අනිවාර්ය විය.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය, කැනඩාව හා තරමක් අප්‍රකට ලෙස ඉන්දියාව විසින් දිරිගැන්වුනු වික්‍රමසිංහ හා ඔහුගේ එජාපය, සිරිසේනට එරෙහිවී රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම හෝ ඔහුගේ කැබිනට්ටුව පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

සිරිසේන එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ වඩ වඩා නග්න ව ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා සිදුකරමිනි. අතයට ගනුදෙනු හරහා ව්‍යවස්ථාදායකයේ බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමත් වූ විට, නීති-විරෝධී ව පාර්ලිමේන්තුව විසිර වූ සිරිසේන නව මැතිවරනයක් කැඳවී ය. දෙසැම්බර් 7දා අවසන් තීන්දුවක් දෙනතෙක් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් මෙය ආපසු හැරවීමෙන් හා බදාදා රාජපක්ෂට එරෙහි “විශ්වාසභංගයක්” සඳහා මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් පසු, ව්‍යවස්ථාව ප්‍රසිද්ධියේ උල්ලංඝනය කල සිරිසේන, පාර්ලිමේන්තුවේ පිටුබලය ලැබුනත් නැතත් අගමැතිවරයා පත්කරන්නේ තමන් ය යන ආඥාදායක මූලධර්මය තහවුරු කලේ ය.

ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන අනදෙන නිලධාරියා වන සිරිසේන, පොලීසිය හා මාධ්‍ය ආයතන බාර අමාත්‍යාංශවල ප්‍රධානියා ලෙස තමන් ව ම නම් කරගනිමින් බලතල වඩ වඩා සංකේන්ද්‍රනය කරගෙන ඇත. තවත් අනතුරුදායක වර්ධනයක් පෙන්නුම් කරමින්, කොලඹ තදාසන්න ප්‍රදේශවල සොල්දාදුවන් හා යුද ටැංකි ස්ථානගත කොට, පාර්ලිමේන්තුවෙන් හා ආන්ඩුවේ සියලු ම අමාත්‍යාංශවලින් පිටත පොලිස් කොමාන්ඩෝ භටයන් රඳවනු ලැබ ඇත.

වික්‍රමසිංහ හා ඔහුගේ එජාපය, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටීමට සිරිසේන-රාජපක්ෂ කල්ලියේ නීති-විරෝධී ක්‍රියා ගසාකමින් සිටිති. කොතරම් දුෂ්ට ප්‍රෝඩාවක් ද! ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා පීඩිතයන් මත ජාමූඅ කප්පාදු පිලිවෙත් පටවන අතරේ, ශ්‍රී ලංකාව චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද ධාවනයට ඒකාග්‍ර කල හැකි වන පරිදි වොෂින්ටනය, ලන්ඩනය හා නව දිල්ලියේ උදව්වෙන් රාජ්‍ය යාන්ත්‍රනයට යලි අතගසා ගැනීමට වික්‍රමසිංහ නොඉවසිලිමත්ව සිටියි. එයට එකතු කිරීමක් ලෙස එජාපය පිලිබඳ ව කිවයුත්තේ, සිරිසේනගේ හා රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) තරම් ම දෙමල-විරෝධී ස්වෝත්තමවාදය තුල ගිලී සිටින බව යි. 1983 සිට 2009 දක්වා දිවයින වියවුලට පත්කල දෙමල-විරෝධී සිවිල් යුද්ධය ජයවර්ධන යටතේ දියත් කලේ ද නිදහස ලැබීම සමඟ දෙමල වතු කම්කරුවන්ට ඔවුන්ගේ පුරවැසි අයිතිය අහිමි කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ ජාන සැකැස්ම තුලට සිංහල ස්වෝත්තමවාදය එන්නත් කලේ ද එජාපය යි.

මේ කිසිවක් නිසා, එක්සත් ජනපද ගැති දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), සිංහල ජනතාවාදී හා “වාමාංශික” ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම් එජපායේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී කොඩිය යටට ගාල් වීම, වැලකී නැත.

ප්‍රතිමල්ලව ධනේශ්වර කඳවුරු දෙකට ම එරෙහි ව කම්කරු පන්තිය තමන්ගේ ම පන්ති අවශ්‍යතා අවධාරනය කරමින් එම කඳවුරු දෙකෙන් ස්වාධීන ව බලමුලුගැන්විය යුතු බව අවධාරනය කරන්නේත්, පාලක පන්තිය තුල ගැටුමේ ගෙවුනු සති තුන තුල සිදු වූ සෑම උපාමාරු දැමීමක දී ම එය දිගමට අවධාරනය කර ඇත්තේත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

“ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු” යන හිසින් ඔක්තෝබර් 31දා ප්‍රකාශයක් නිකුත් කල සසප, “රාජ්‍ය බලය ඩැහැ ගැනීම සඳහා” පොරවැදී සිටින සිරිසේන-රාජපක්ෂ හා වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය යන පාර්ශව දෙකට ම එරෙහි වන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේ ය. “ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ මෙම දූෂිත නියෝජිතයන් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි කිසිවකුට මිථ්‍යාවක් නො තිබිය යුතු” බව එය ප්‍රකාශ කලේ ය.

“මෙම දේශපාලන කුමන්ත්‍රනය මගින් ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර තියුනුවන භූ-දේශපාලනික ආතතීන් හා ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන පන්ති අරගල ශ්‍රී ලංකාව තුල තියුනු ප්‍රකාශනයක් අත්පත් කරගන්නා” බව එය වැඩිදුරටත් සඳහන් කලේ ය.

පාර්ලිමේන්තුව වනාහි කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික හා සමාජ අයිතීන්ගේ ද අභිලාෂයන්ගේ ද වියදමින්, ධනේශ්වරය විසින් එහි අවශ්‍යතා රුදුරු ලෙස හඹා යාම ආවරනය කරන්නාවූ ධූමාවරනයක් බව ප්‍රකාශය පෙන්වා දුන්නේය. අද වන විට, භූ-දේශපාලනික අර්බුදයේ හා වැඩෙන සමාජ විරෝධයේ ද ධනේශ්වරය සන්ත්‍රාසයට හා භීතියට පත්කරමින් දෙමල හා සිංහල කම්කරුවන් අතර වර්ධනයවන පන්ති එකමුතුවේ ද කොන්දේසි යටතේ එම වහන්තරාව බිඳවැටෙමින් පවතී.

වඩ වඩා තිත්ත වන කන්ඩායමික ගැටුම අවසානයේ කුමන කන්ඩායම ඉදිරියට පැමිනියත් (ඊයේ ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව තුල ගුටිබැට හුවමාරු සිදු විය) එම ආන්ඩුව, රුදුරු ලෙස කප්පාදු පැටවීමට වැඩපිලිවෙල හා නැතහොත් ධනේශ්වර ප්‍රභූවේ කොල්ලකාරී අවශ්‍යතා බලයෙන් පැටවීමට කැපවූ වඩ වඩා ආධිපත්‍යධාරී පන්නයේ ආන්ඩුවක් වනු ඇත. අවධාරනය කල යුතු තවත් දෙයක් වන්නේ, රාජපක්ෂ වොෂින්ටනය සමග වැඩ කිරීමට ඇති සූදානම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව යි.

එහෙත් මේ දක්වා, එක්සත් ජනපදය ඔහුගේ ආයාචනා ප්‍රතික්ෂේප කර ඇත. බීජිනයට එරෙහි ප්‍රහාරයේ දී කිසිදු ලඝු කිරීමක් දැකගැනීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් නැත. මෙය අවධාරනය කිරීම සඳහා විශ්වාසභංගය පුද්ගලික ව ම දැකබලා ගැනීමට එක්සත් ජනපද තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් බදාදා පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීමට සහභාගි වූවා ය. මෙයට සම්බන්ධ තවත් වර්ධනයක් වන්නේ, වොෂින්ටනය සමග ටීඑන්ඒයට තිබෙන සමීප සබඳතා හෙලිදරවු කල ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිල දෙමල භාෂා ෆෙස්බුක් පිටුවෙන් ඉවත් කිරීමට, එක්සත් ජනපදය තුල පදනම් වන අනෙකුත් තාක්ෂනික දැවැන්තයන් මෙන් එක්සත් ජනපද ඔත්තු සේවා ආයතන සමග වෙලී සිටින ෆෙස්බුක් ක්‍රියා කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, සමාජ සමානතාව හා අධිරාජ්‍යවාදයෙන් අව්‍යාජ නිදහස සුරක්ෂිත කරගත හැකි එක ම බලවේගය වන්නේ, සමාජවාදී-ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට කරන සටන තුල ග්‍රාමීය හා නාගරික දුගීන් තමන් පිටුපස රැලි කරගන්නා කම්කරු පන්තිය යි.

එලෙස ම එක්සත් ජනපද යුද ධාවනයට එරෙහි එක ම ප්‍රගතිශීලී ප්‍රතිබලය වන්නේ ධනේශ්වර සමාජ පර්යායට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීම යි. ධනවාදය පුනස්ථාපනය කිරීම හරහා 1990 ගනන්වල ඉස්මතු වූ කතිපයාධිකාරයේ නියෝජිතයා වන චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය, වොෂින්ටනයට මුහුන දීමට උත්සාහ කරන්නේ තමන්ගේ මිලිටරි ගොඩනැංවීම් සහ ගෝලීය ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික බලපෑම් කරා ධාවනය මගිනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරනයට ගැම්මක් ලබාදීම පමනක් කලහැකි ක්‍රියාවක් සිදුකරමින්, චීන ජනාධිපති ෂී ජින්පින්ග්, සිරිසේනගේ ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රනය සාදරයෙන් පිලිගත්තේ ය.

වැඩෙන සමාජ අර්බුදය හා වැඩිදියුනු වන ගෝලීය ආතතීන් මධ්‍යයේ සිදුවන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පර්යායේ කුනු වීම අන් සියල්ලට මත් වඩා අවධාරනය කරන්නේ, කම්කරු පන්තියේ අරගලයේ වෛෂයික තර්කනයට හා ගෝලීය ස්වභාවයට අනුරූපී වන සමාජවාදී ක්‍රියාමාර්ගයකින් කම්කරු පන්තියේ නැගී එන ව්‍යාපාරය සන්නද්ධ කලහැකි විප්ලවවාදී නායකත්වයක් එනම්, ශ්‍රී ලංකාව තුල සසප හා සෑම රටක් තුල ම හජාජාක ශාඛා ගොඩනැගීමේ හදිසි භාවය යි.

කීත් ජෝන්ස් හා කේ. රත්නායක

Share this article: