සමාජවාදය සම්බන්ධ ධවල මන්දිර වාර්තාව
මාක්ස්ගේ අවතාරය ඇමරිකානු පාලක පන්තිය තුල හොල්මන් කරයි

White House report on socialism
The specter of Marx haunts the American ruling class

2018 නොවැම්බර් 6

ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ කාර්යාංශයක් වන ආර්ථික උපදේශකයන්ගේ කවුන්සිලය, “සමාජවාදයේ විකල්ප වියදම” (The Opportunity Costs of Socialism) නමින් පසුගිය මාසයේ අපූර්ව වාර්තාවක් නිකුත් කලේය. වාර්තාව ආරම්භ වන්නේ මෙම ප්‍රකාශයෙනි: “කාල් මාක්ස්ගේ උපතෙහි 200 වෙනි සංවත්සරය සමග සමපාතවෙමින් ඇමරිකානු දේශපාලන විවාදය තුල සමාජවාදය නැවත හිස ඔසවමින් තිබේ. තමන් සමාජවාදීන් යැයි කියාගන්නා අයගෙන් ඉදිරිපත් වෙන සවිස්තරාත්මක ප්‍රතිපත්තිමය යෝජනා කොන්ග්‍රසය තුල සහ තරුන ඡන්ද දායකයන්ගෙන් වැඩිමනත් පිරිස අතර සහයෝගය දිනා ගනිමින් ඇත.”

සමාජවාදය සඳහා වන ජනතාවගේ සහයෝගයේ වර්ධනයක්, විශේෂයෙන්ම රටේ තරුනයන් අතර, ඇතැයි එජ ආන්ඩුව විසින් නිල වශයෙන් පිලිගනී යන කරුන, කම්කරු පන්තියේ දේශපාලන විඤ්ඤාානයේ සිදුවෙමින් පවතින මහා පරිමාන වෙනස්කම් සහ මෙය පාලක ප්‍රභූව තුල ඇතිකරමින් සිටින භීතියට සාක්ෂි සපයයි. සියල්ලටම වඩා ඇමරිකාව යනු, ශතවර්ෂයකින් වැඩිමනත් කාලයක් පුරාවට කොමියුනිස්ට් විරෝධය රාජ්‍ය අනුග්‍රහය ලත් ලෞකික ආගමක් ව තිබූ රාජ්‍යයකි. ඇමරිකානු පාලක පන්තිය තරම් කිසිදු පාලක පන්තියක් සමාජවාදී දේශපාලනය දේශපාලන විවාදයෙන් බැහැර කිරීමට එතරම් කෲර ලෙස උත්සාහ කොට නොමැත.

පිටු හැත්තෑවකින් යුතු ලේඛනයම මෝඩ දක්ෂිනාංශික හෑල්ලකි. එය, බැංකු වල පුද්ගලික හිමිකාරිත්වය ආරක්ෂා කරන අතරම ආර්ථිකයේ කොටස්වල රාජ්‍ය හිමිකාරීත්වය පුලුල් කර ඇති සහ තෙල් සහ අනෙකුත් භාන්ඩ වල මිල 2008 න් පසු පහල වැටීමත් සමග වඩ වඩාත් කම්කරු පන්තියේ ජීවන කොන්දේසි වලට පහර දී තිබෙන වෙනිසියුලාව වැනි ධනවාදී රටවල් සමග, සමාජවාදය සමකරමින් එය අපකීර්තියට පත් කිරීමට උත්සාහ ගනියි.

ඩිමොක්‍රටික් පක්ෂයේ කොටසක් විසින් මතුකෙරුනු සහ වඩ වඩාත් අත්හැර දමන “සියල්ලන්ට මෙඩිකෙයා” වැනි මෘදු සමාජ ප්‍රතිසංස්කරන සඳහා වන යෝජනාවන් එය සමාජවාදය සමග සම කරයි. “ආර්ථික නිදහසේ” එනම් ධනපති වෙලඳ පොලෙහි බාධා රහිත ක්‍රියාකාරීත්වයේ ගුන යහපත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා සහ සියලු සමාජ ප්‍රතිසංස්කරනයන්, ව්‍යාපාර නියාමනය, බදු ඉහල දැමීම හෝ කතිපයාධිකාරිත්වයේ ධනවත්වීම සමග ගැටෙන කුමන හෝ දෙයක් හෙලාදැකීමට, එය මිල්ටන් ෆ්‍රීඞ්මන් සහ මාර්ග්‍රට් තැචර් උපුටා දක්වයි.

වාර්තාවේ තර්කයන් සහ විෂයන් ප්‍රකාශනයක් අත් කරගන්නේ, නිරන්තරයෙන් සහ හාස්‍ය ජනක ලෙස ඩිමොක්‍රටිකයන්ට සමාජවාදීන් යැයි පහර දෙන සහ ඇමරිකාව තවත් “සමාජවාදී” වෙනිසියුලාවක් බවට හැරවීමට උත්සහ ගන්නා බවට ඔවුන්ට චෝදනා කරන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී උද්ඝෝෂනයේ සිදු කෙරෙන කතාවන් තුලය.

සමාජවාදයට බැන වැදීමේ මෙම උත්සාහයට හේතු වී ඇත්තේ කුමක්ද?

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මෑත කාලීන ඡන්ද විමසීම් මාලාවකදීම ධනවාදය පිලිබඳ මහජන පිලිකුලෙහි තියුනු වර්ධනයක් සහ සමාජවාදය සඳහා සහයෝගයක් දක්නට ලැබී ඇත. යුරෝපියානු විකාශකයන්ගේ සංගමය විසින් 2017 මැයි මාසයේ පවත්වන ලද සංගනනයකදී, වයස 18ත් 35ත් අතර පුද්ගලයන්ගෙන් භාගයකටත් වඩා වැඩි පිරිසක් තමන් “විශාල පරිමාන මහජන කැරැල්ලකදී” ඊට සහභාගී වනු ඇතැයි පැවසූහ. 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම “බැංකු සහ මුදල් ලෝකය පාලනය කරයි” යන ප්‍රකාශය සමග එකඟ විය.

යූගොව් විසින් පසුගිය නොවැම්බරයේ සංවිධානය කරන ලද ඡන්ද විමසීමක් විසින්, වයස අවුරුදු 21ත් 29 ත් අතර අමරිකානුවන්ගෙන් සියයට 51ක් ධනපති රටක ජීවත් වනවාට වඩා සමාජවාදී හෝ කොමියුනිස්ට් රටක ජීවත් වීමට වැඩි මනාපයක් දක්වනු ඇතැයි පෙන්වා දුන්නේය.

මෙම වසරේ අගෝස්තු මාසයේ ගලප් (ඇමරිකානු උපදේශන සමාගමකි) ඡන්ද විමසීමක් මගින්, ධනවාදය සම්බන්ධයෙන් සුබවාදී දැක්මක් ඇත්තේ වයස අවුරුදු 18 ත් 29 ත් අතර ඇමරිකානුවන්ගෙන් අඩකටත් වඩා අඩු පිරිසකට බවත්, එම පිරිසෙන් අඩකටත් වඩා වැඩි පිරිසකට සමාජවාදය සම්බන්ධයෙන් සුබවාදී හැඟීමක් ඇති බවත් සොයා ගන්නා ලදී, ඒ එම සංවිධානය මෙම අගය නිරීක්ෂනය කිරීම ආරම්භ කිරීමෙන් පසු පලමු වතාවටය. තරුන පිරිස් ධනවාදය සුබවාදී ව දැකීමේ ප්‍රතිශතය 2014 දී සියයට 68 සිට මෙම වසර වන විට සියයට 45 දක්වා අවුරුදු අටක් තුල සියයට 23කින් පහල වැටුනි.

සමාජවාදයට වාසිදායකව පැමිනෙන මෙම ගැස්ම, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර පරිමානව පන්ති අරගලයේ පුනර්ජීවනයක් සමග බැඳී පවතී. එක්සත් ජනපදය තුල මෙම වසර තුල මේ දක්වා පැවති ප්‍රධාන වැඩ වර්ජන ගනන 21 වන අතර එය 2017 ගනන මෙන් තුන් ගුනයකි. මෙම වසරේ මුල පැවතී ගුරුවරුන්ගේ වැඩවර්ජනය මගින් පාලක පන්තිය විශේෂයෙන්ම භීතියට පත් කරනු ලැබුනේ, පන්ති අරගලය දශක ගනනාවක් පුරාවට මර්දනය කර තිබූ සංගත ගැති සංවිධාන වල දුර්වල වෙමින් පවතින ග්‍රහනය පිලිබිඹු කරමින්, විශාලම වැඩවර්ජනය, වෘත්තීය සමිති වලට එරහි කැරැල්ලක් ලෙස සාමාන්‍ය අධ්‍යාපන වෘත්තිකයන් විසින් සංවිධානය කල බැවිනි.

පන්ති අරගලයේ වර්ධනය යනු, තම වඩාත්ම තියුනු සමාජ සහ දේශපාලන ප්‍රකාශනය ලෝක ධනවාදයේ කේන්ද්‍රය වන එක්සත් ජනපදය තුල ප්‍රකාශයට පත් කරන, ධනවාදයේ ගෝලීය අර්බුදය විසින්, මෙහෙයවෙන වෛෂයික ක්‍රියාවලියකි. අවංක සමාජවාදය සඳහා සටන් කිරීමට යතුර ලබා දෙන්නේ පන්ති අරගලයයි.

එක දිගට සිදු කෙරීගෙන ගිය යුද්ධයේ දශක ගනනාවක් විසින් සහ සමාජ අසමානතාවයේ ඉතා විශාල වර්ධනය විසින් කම්කරුවන් සහ තරුනයන් සමූහයන් අරගලයට සහ දේශපාලනික රැඩිකලීකරනයට මෙහෙයවමින් සිටී. 2008 සිදු වූ බිඳ වැටීමෙන් පසු ගෙවුනු වසර දහය තුල මෙම ක්‍රියාවලිය වේගවත් වී ඇත. ඉතිහාසය තුල පහල සිට ඉහලට සිදුවූ විශාලතම ධනය හුවමාරුව, බුෂ් පරිපාලනය සමයේ ආරම්භ වූ යුද්ධයන් ඉහල නැගීම සහ ඒවා ලිබියාව, සිරියාව සහ යේමනය වෙත පැතිර යාම සහ මහා පරිමාන ඔත්තු බැලීම්, සංක්‍රමනිකයන් වෙත එල්ල කෙරෙනා ප්‍රහාරයන් සහ අනෙකුත් පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ගයන් තියුනු වීම, ඔබාමා පරිපාලනය පැවති වසර තුල දක්නට ලැබුනි.

පාලක කතිපයාධිකාරීත්වයේ අපරාධකාරීත්වයේ සහ පසුගාමීත්වයේ පුද්ගලාරෝපනය වන ට්‍රම්ප්ගේ නැගීමට මෙය පාර කැපීය.

එක්සත් ජනපදයේ සිටින සාමාන්‍ය ප්‍රධාන විධායක නිලධාරියෙකු, දැන් වන විට සාමාන්‍ය කම්කරුවෙකු මුලු මහත් වසර පුරාම හම්බ කරන දේ එක දිනකදී හම්බ කරන සහ ධනවත්ම ඇමරිකානුවන් 400 දෙනාගේ දල වටිනා කම පසුගිය දශකය තුල දෙගුනවී තිබෙන තත්වයන් යටතේ කම්කරු පන්තිය පවතින තත්වයට රැඩිකල් විකල්පයක් සොයමින් සිටී.

“ධනවාදය බිඳ වැටීම සහ එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා සටන” යන සිය වැඩපිලිවෙල තුල සමාජවාදී සමානතා පක්ෂය වසර අටකට පෙර සඳහන් කල ආකාරයට:

“කෙසේනමුත්, වෛෂික කොන්දේසි තුල සිදුවන වෙනස ඇමරිකානු කම්කරුවන්ව තමන්ගේ මනස වෙනස්කරගනීමට මෙහෙයවනු ඇත. සමාජයේ ආර්ථික සංවිධානයේ මූලධර්මාත්මක සහ විප්ලවීය වෙනසක් සඳහා සටන් කිරීමට හේතු ගනනාවක් ධනවාදයේ යතාර්ථය විසින් කම්කරුවන්ට සපයනු ඇත.”

පාලක පන්තියේ ප්‍රතිචාරය කොටස් දෙකකින් යුක්තය. පලමුවැන්න වන්නේ පාලනයේ ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික ස්වරූපය අත්හැර දැමීම සහ ඒකාධිපතිත්වයක් දෙසට හැරී ගැනීමයි. සංක්‍රමනිකයන් මත සිදු කෙරෙන ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදීවාදී ප්‍රහාරයන්, සෙබලුන් දේශ සීමාව වෙත පිටත් කර හැරීම, රැකවරනය සොයමින් එම නිරායුධ මිනිසුන්, ගැහැනුන්, සහ දරුවන් හට වෙඩි තබන බවට කරන තර්ජන සහ ජන්ම අයිතියෙන් පුරවැසිභාවය ලැබීම ස්ථාපිත කරන 14 වන සංශෝධනය අවලංගු කිරීමට වන ඔහුගේ පොරොන්දුව සමග මධ්‍යකාලීන මැතිවරනයට ආසන්න කාලය, මෙම සූදානම් වීම් වල ඉහල මට්ටම අනාවරනය කර තිබේ.

ඩිමොක්‍රටිකයන් අතරින් සහ මාධ්‍ය මගින් කිසිදු බලපතල විරෝධයක් මීට එරහිව එල්ල නොවී තිබීම මගින් මුලුමහත් පාලක පන්තියම ඒකාධිපතිත්වයක් කරා වන හැරී ගැනීම වටා එක්සත්ව සිටී යන්න පිලිබිඹු කරයි. ඇත්තවශයෙන්ම ඩිමොක්‍රටිකයන් වාමාංශික සහ සමාජවාදී විරෝධය නිහඬ කිරීම සඳහා අන්තර්ජාලය වාරනය කිරීමට වන ධාවනයට නායකත්වය දෙමින් සිටී.

දෙවන ප්‍රතිචාරය වන්නේ කම්කරු පන්තිය ව්‍යාකූල කිරීමට සහ එහි විරෝධය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපසට හැරවීමට බර්නි සැන්ඩර්ස්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඇමරිකාව (ඩීඑස්ඒ) සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන වැනි ව්‍යාජ සමාජවාදීන් ප්‍රවර්ධනය කිරීමයි.

2018 දී සැන්ඩර්ස් සම්පූර්නයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වයට එක් වීමත් සමග මෙම භූමිකාව විශාල වශයෙන් ඩිමොක්‍රටිකයන්ගේ හස්තයක් ලෙස ක්‍රියාත්මක වෙන ඩීඑස්ඒ වෙත පැවරී තිබේ. ඩීඑස්ඒ සාමාජිකයන් දෙපලක් වන නිව්යෝක් හී ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාසිඕ කෝර්ටෙස් සහ ඩිට්‍රෝයිට් හී රශිදා ට්ලාඉබ් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයන් ලෙස නියෝජිතයන්ගේ සභාව තුල ආසන දිනාගැනීමට හැකියාවක් පවතී.

ඔවුන් වඩ වඩාත් තේරී පත් වීමට ආසන්න වත්ම ඔවුන්ගේ ඇතැයි කියන සමාජවාදයට ඇති සම්බන්ධයෙන් වඩාත් ඈත් වීමට උත්සාහ කරයි. උදාහරනයක් ලෙස ඔකාසිඕ කෝර්ටෙස්, මෑතකදී මරනයට පත්වූ යුදකාමියෙකු වන ජෝන් මැක්කේන් වර්නනා කරමින් සැන්ඩර්ස් හා අත්වැල් බැඳ ගත්තේය, මැද පෙර දිග කෙරීගෙන යන එක්සත් ජනපද යුද්ධයන්ට ඇය විරුද්ධ දැයි විමසූ විට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කලාය එමෙන්ම සංක්‍රමන සහ රේගු බලාධිකාරය (අයිසීඊ) අහෝසි කර දැමීමට ඇය සිය උද්ඝෝෂනයේදී කල කැඳවුම අත්හැර දැමුවාය.

කම්කරු පන්තිය සහ තරුනයන් වඩ වඩාත් සමාජවාදී විකල්පයක් සොයමින් සිටින නමුත් සමාජවාදය සහ එහි ඉතිහාසය සම්බන්ධ ඔවුන්ගේ අවබෝධය සීමා සහිතය. මෙහිදී විප්ලවවාදී පක්ෂයේ එනම් සමාජවාදී සමානතා පක්ෂයේ භූමිකාව තීරනාත්මකය. එය පමනක්ම කම්කරු පන්තියේ මතුවෙමින් පවතින මහජන ව්‍යාපාරය අව්‍යාජ විප්ලවවාදී, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට උත්සාහ ගනියි.

සසප එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව වෙසෙන කම්කරු පන්තිය, මුලු මහත් පාලක පන්තියට සහ එහි දූෂිත දේශපාලඥයන්ට සහ පක්ෂ සියල්ලන්ටම එරහිව බලමුලු ගැන්වීමට සහ එක්සත් කිරීමට සටන් කරයි. අපගේ වැඩපිලිවෙල පැහැදිලි කරන ආකාරයට:

නමුත් සමාජවාදය සාක්ෂාත් කරගත හැක්කේ කම්කරුවන්ගේ බලය ස්ථාපනය කිරීම හරහාය. මෙය අසීරු අරගලයක් වනු ඇත... සමාජවාදය කම්කරු පන්තියට ප්‍රදානය කෙරෙන ත්‍යාගයක් නොවේ. එය කම්කරු පන්තිය තමන් වෙනුවෙන් සටන් කර දිනාගත යුතු දෙයකි.

යුද්ධයට, අසමානතාවයට, දරිද්‍රතාවයට සහ මර්දනයට එරහිව සටන් කිරීමට මාර්ගයක් සොයමින් සිටින කම්කරුවන් හා තරුනයන් මුහුනදෙන කර්තව්‍ය වන්නේ, පැමිනෙමින් තිබෙන මහජන අරගලයන්ට නායකත්වය දීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයට සම්බන්ධ වීම සහ එය ගොඩ නැංවීමයි.

බැරී ග්‍රේ

Share this article: